විශ්වවිද්‍යාලයකට සුදුසුකම් ලබන්නේ මේ රටේ උසස් පෙළ ලියන සිසුන්ගෙන් අතළොස්සකි. එයිනුත් ලක්ෂ දෙකකට ආසන්න පිරිසක් සරසවි වරම් ලැබුවද විශ්වවිද්‍යාලයකට යෑමට වාසනාව ලබන්නේ නැත. පුද්ගලිකව විශ්වවිද්‍යාලයකට යෑමට නොහැකි වුවද, උසස් පෙළින් පසු පත්තර කන්තෝරුවකට යෑමට ලැබීමෙන් මා උගත් දේ බොහෝය. ඒ අතරතුර විශ්වවිද්‍යාලවල බාහිර සිසුවෙක් වශයෙන් පුද්ගලික අධ්‍යාපනය ආයතනය අධ්‍යාපනය ලැබීමට ද මුදල් උපයා ගැනීමටත් ගෙදරට බරක් නොවී ගෙදරට යමක් දෙන්නට ලැබීම සම්බන්ධයෙන් ඇත්තේ සතුටකි.
අද ද විශ්වවිද්‍යාල පිළිබඳ මා තුළ ඇත්තේ මහත් ගරුත්වයකි. විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබන මගේ පාසල් මිතුරුන් ඇතුළු මිතුරන් සම්බන්ධයෙන් එදා තිබුණු මිත්‍රත්වය ගරුත්වය, ආදරය ඒ ආකාරයෙන්ම අදත් පවති. ඔවුන්ට අවස්ථාව ලැබීමත් මට නොලැබීමත් පිළිබඳ මට කිසිදු කුහකත්වයත් හෝ ඊර්ෂියාවක් නැත. මගේ මිතුරන් මෙන්ම මිතුරන් නොවන පිරිස් ද අතරේ දෙපිරිසක් වෙති. කොටසක් නවකවදයට විරුද්ධ අතරේ තවත් කොටසක් ඊට පක්ෂපාතීව අදහස් දක්වති. විශ්වවිද්‍යාලවල ඊට අදාළ සංස්කෘතියක් ඇත. උප සංස්කෘතිය වචනය දමා එය කා ගත්තේ විශ්වවිද්‍යාල සිසුන් බව කිව යුතුයි. පාසල් තුළ ද එසේය. අපේ පාසලට ඇතුළු අපි ඇතුළු බෑගයේ එක කරපටියක් ගලවාගෙනය. බණ්ඩාරනායකයට ආවේණික දේ වූ සේම, ආනන්දයට, නාලන්දයට, රාජකීයට වගේම යාපනයේ ජෝශප් විද්‍යාලයට, නුවර ත්‍රිත්තවයට, ගාල්ලේ මහින්දයට, කුරුණෑගල මලියදේවට ආවේණික දේ ඇත. ලෝක ගත්ත ද ලංකාවේ ආවේණික සංස්කෘතියක් ඇත. ඕස්ටේ්‍රලියාවට, නවසීලන්තයට, ඇමෙරිකාවට, එංගලන්තයට, ප්‍රංශයට ආවේණික සංස්කෘතියක් ඇත.
ඒ එහෙත් ඒ සියලු රටක්ම ජාත්‍යන්තර මානව හිමිකම්වලට යටත්ය. ජාත්‍යන්තර තමන් අත්සන් තැබූ ප්‍රඥප්තීන්වලට යටත්ය. විශ්වවිද්‍යාල තුළ ඇති උප සංස්කෘතින් රටේ මහ සංස්කෘතියට යටත් විය යුතුය. සමාජයක් වශයෙන් රටක් වශයෙන් අප විශ්වවිද්‍යාලවලින් අපේක්ෂා කරන බොහෝ දේවල් ඇත. එහෙත් අපට ඒවා ලැබෙනවාද. පසුගිය කාලය පුරාවට පත් වූ ආණ්ඩු අධ්‍යාපනය කප්පාදු කරන විට සරසවි සිසුන් ඊට එරෙහිව නැගී සිටී බව සැබෑවය. එමෙන්ම නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් කතා කරන අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය පිකටින්වලට එන්නට අකැමැති සිසුවාගේ සිට සියලු දෙනාට නිදහසේ අධ්‍යාපනය ලැබීමට ද අයිතියක් ඇති බව තේරුම් ගත යුතුය.
විශ්වවිද්‍යාලවල නවකවදය සම්බන්ධයෙන් ඉන් පිටස්තර පිරිස් ඒ සම්බන්ධයෙන් විවේචන, ප්‍රශ්න ඉදිරිපත් කරන විට වැස්සකටත් වත් විශ්වවිද්‍යාල නොගිය උන් කැම්පස්වල උප සංස්කෘතිය ගැන දන්නේ මොනවාදැයි ඇසීම විශ්වවිද්‍යාල ශිෂ්‍යයකුට කෙතරම් උචිත දැයි ඔවුන් විසින්ම සිතා බැලිය යුතුය. ඉහත කී පරිදි විශ්වවිද්‍යාල වරම් ලබන්නේ අතළොස්සකි. එවන් පිරිසක් එම වරම නොලැබූ පිරිසගෙන් අර කී ප්‍රශ්නයක් ඇසීම කෙතරම් යෝග්‍ය වන්නේ ද ඔවුන් සිතා බැලිය යුතුයි.
කැලණිය විශ්වවිද්‍යාලය ජල අර්බුදයක් හේතුවෙන් වසා දමන්නේ මැයි 05 වැනිදා නවත අරඹන බව දන්වමින් වුවත් එය විවෘත කිරීම 12 වැනිදා දක්වා කල් යන්නේය. ඩෙනිම් කලිසමේ අර්බුදය ආරම්භ වන්නේ ඒ අතරතුරේදීය. නායකත්වය පුහුණුව දෙමින් පෞරෂත්වය ගොඩනැංවීමට පසුගිය රජය ගත් උත්සාහයට අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය ද ඇතුළු බොහෝ පිරිස් විරෝධය දැක්වීය. මටනම් එහිත් නවකවදයේත් වෙනසක් නැත. නායකත්වය පුහුණු වැඩසටහන සිදු විය යුත්තේ පාසල්වලය. ආකල්ප හැදිය යුත්තේ පාසල්වලිනි. නවකවදය දෙමින් විශ්වවිද්‍යාලයේ තැන් කටපාඩම් කරවීම, ආචාර්යවරුන්ගේ නම් කටපාඩම් කිරීම, ගොඩනැගිලි ගැන කියාදීම, කියන්නට තරම් වරදක් නැත. එහෙත් එය සිදුවිය යුත්තේ ශිෂ්ට සම්පන්න ආකාරයකටය. ඉගෙන ගන්නා තැන, පාසල, අම්මා ගැන, තමන්ට දෙයක් දෙන තැන ගැන හැඟීමක් ඇති විය යුත්තේ හදවතින් මිස කටපාඩම් න්‍යායෙන් නොවන අප පසක් කරගත යුතුය.
සාමූහිකත්වය වර්ධනය කිරීමට කළ හැකි බොහෝ දේ ඇත.
හර්ෂණ තුෂාර සිල්වා
2016.05.08
2016.05.08