Tuesday, September 3, 2019

ජනාධිපතිවරයාගේ කතාව සමස්තයක් විදියට ගත්තොත් හොඳයි. ඒ වගේම ඒකේ ගන්න වැදගත් කරුණු දෙකක් තියෙනවා. ජනාධිපතිවරයා තමන්ගේ කතාවේදී කිව්වා 2020 ආණ්ඩු හදන්නේ අපි කියලා. මොකද කිසිදු පක්ෂයකට බහුතර බලයක් ගන්න අවස්ථාවක් නැහැ. අපට මැතිවරණ ගැන අනාවැකි කියන්න බැරි වුණත් දැනට තියෙන තත්ත්වය අනුව බහුතර බලයක් ගන්න තියෙන්නේ සීමිත ඉඩක් . ඒ කියන්නේ සන්ධානයක් හැදෙන්න ඔ්නේ. ජනාධිපතිවරයා 2020 ආණ්ඩු හදන්නේ අපි කියන කතාවෙන් තේරුම් යන්නේ කේවල් කිරීම. එතකොට පොහොට්ටුවට හෝ අලියට හෝ සීනුවට හෝ ශ‍්‍රීලනිපය සමඟ සන්ධානගත වෙන්න වෙනවා.
ජනාධිපතිවරයාගේ කතාවේ තවත් වැදගත් කරුණක් තමයි මීළඟ ජනාධිපති ධුරය. හැමෝම ජනාධිපති සටනේ හිටියත් 19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිවරයාගේ බලතල අඩුවුණා. ඒ අනුව වැඩි බලතල තියෙන්නේ අගමැතිවරයාට. ජනාධිපතිවරණය ගැන කලබල නොවෙන කතාවක් වැදගත් වෙන්නේ ඒ නිසා. පොහොට්ටුවේ ජනාධිපතිවරණ ව්‍යාපාරය බැලුවත් එය තේරුම් ගන්න පුළුවන්. මොකද එතැනදී වුණත් වැඩිය හයිලයිට් කරන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ. මහින්ද රාජපක්ෂ අගමැති කිරීම.

ඡායාරූපය ලංකාදීප

‘විස්සයි - විස්ස අලුත් ආණ්ඩුවක් හදනවා’

Sunday, August 18, 2019

අනුර කුමාරගේ ජනපති සටන


ජාතික ජන බලවේගය සංවිධානය කළ ජන රැලියේදී අනුර කුමාර දිසානායක ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කළේය. වෘත්තීයවේදීන්, විද්වතුන් යනාදි කණ්ඩායමකින් සැඳුම්ලත් සංවිධානයක් මාර්ගයෙන් ජනතා විමුක්ති පෙරමුණ තම ජනාධිපති අපේක්ෂකයා නම් කළේය. ජනතා විමුක්ති පෙරමුණට සෘජුව ජනාධිපති අපේක්ෂකයා නම් කළ හැකිව තිබුණත් ඔවුන් එය වක්‍රාකාරව කරනු ලැබුවේ වෘත්තිකයන්, විද්වතුන් සහ සිවිල් සංවිධාන රැසක සහයෝගය ඇතිවය. එය එක අතකින් හොඳය.

ජනතා විමුක්ති පෙරමුණ ගාලුමුවදොරට පැමිණි ජන සංඛ්‍යාවෙන් උද්දමායට පත්විය හැකිය. අවසන් ජනාධිපතිවරණ දෙකේදීම ඔළු ගෙඩි ගණනින් ප්‍රතිඵල තීරණය කළා නම් ලැබෙන්නට තිබූ ප්‍රතිඵල මීට වෙනස් වන්නට ඉඩ තිබිණි. ජන රැලියකට පැමිණෙන සෙනඟ හෝ ඔළු ගෙඩි ගණනින් හෝ ජනාධිපතිවරණයේ ප්‍රතිඵල තීරණය කළ නොහැක. එය දැන් යල්පැන ගිය ක්‍රමවේදයකි. ඒ නිසා ගාලුමුවදෙරට පැමිණිය ජන සංඛ්‍යාව ගැන ජනතා විමුක්ති පෙරමුණ එතරම් උද්දාමයට පත් විය යුතු නැත. කෙසේ නමුත් ගාලු මුවදොර පුරවන බවට පුරසාරම් දෙඩූ ප්‍රධාන පක්ෂ දෙක දෙස බැලීමේදී ජනතා විමුක්ති පෙරමුණ අද ලැබුවේ ජයග්‍රහණයකි.

ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා කීවද ඒ සම්බන්ධයෙන් තවමත් ගැටලු පවතී. ඔහු තවමත් ඇමෙරිකානු පුරවැසියකු යැයි කියවේ. එනයින් බලන කළ දැනට ප්‍රකාශ කර ඇති එකම ස්ථීර ජනාධිපති අපේක්ෂකයා අනුර කුමාර දිසානායක ය. කෙසේ නමුත් මගේ පෞද්ගලික අදහස අනුව නම් ගෝඨාභය සහ අනුර කුමාර නම් කිරීම මුහුද හත් ගව්වක් තිබියදී අමුඩ ගැසීම හා සමානය. තවමත් බොහෝ දේ කීමට කල් වැඩිය. 

අනෙක් අතට අනුර කුමාර ඉදිරිපත් කරන ලද්දේ ගෝඨාභයට ලැබෙන ඡන්ද කැඩීමට යැයි ඇතැම් අය කියති. එසේ නම් ගෝඨාභයට පමණක් නොව එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානයෙන් ඉදිරිපත් කෙරෙන ඡන්ද කැඩෙන බව අප අමතක නොකළ යුතුය. පසුගිය වර එක්සත් ජාතික ප්‍රමුඛ සන්ධානයෙන් ඉදිරිපත් කළ අපේක්ෂකයා වූයේ මෛත්‍රීපාල සිරිසේනය. එයින් පසු බලයට පත්වූ සිරිසේන වික්‍රමසිංහ ආණ්ඩුව ජනතාවට දුන් පොරොන්දු තඹ සතයකට මායම් නොකළේය. මේ තත්ත්වය මත හැට දෙලක්ෂය, සිරිසේන වික්‍රමසිංහ සමඟ සිටි බොහෝ දෙනා ද අද වනවිට ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ තෙවැනි බලවේගය සමඟ අත්වැල් බැඳගෙන ඇති බව සැඟ විය යුතු නැත. 

නොවැම්බර් 9ත් දෙසැම්බර් 9ත් අතර දිනෙක ජනාධිපතිවරණය පැවැත්වෙනු ඇත. ඒ අනුව අවම වශයෙන් තවත් මාස හතරක් තිබේ. ඒ නිසා ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය සක්‍රීයව පවත්වාගෙන සෑම ජනාධිපති අපේක්ෂකයකු මුහුණ දෙන ප්‍රධාන අභියෝගයකි. මේ රටේ ජනතාව බොහෝ කලක සිට විකල්පයක් බලාපොරොත්තු විය. ජනතා විමුක්ති පෙරමුණට එම අවශ්‍යතාවට සරිලන පරිදි සැපයීම කළ හැකිද යන්න තවමත් තීරණය කළ නොහැක. කෙසේ නමුත් ජනතා විමුක්ති පෙරමුණට රාජපක්ෂ පාලනය, සිරිසේන වික්‍රමසිංහ පාලනය, දූෂණය, වංචාව, හැමදාම කියන සංවර්ධනය යනාදියට වඩා එහාගිය සටන් පාඨ සොයාගැනීමට සිදුවනු ඇත. වඩාත් ප්‍රායෝගික දෑ කියන්නට සිදුවනු ඇත. බොහෝ දේ සම්බන්ධයෙන් අලුතෙන් සිතන්නට සිදුවනු ඇත. 

වාමාංශික ලේබලයට වඩා එහා ගිය සියලු ජන කොටස්, දේශපාලන කණ්ඩායම්, තරුණ ජන කොටස්, සුළු ජාතීන් යනාදී සියල්ල ආමන්ත්‍රණය කළ හැකි සටන් පාඨ සොයාගැනීමට සිදුවනු ඇත. වඩාත් ආකර්ෂණීය, ජනප්‍රිය මෙන්ම ප්‍රායෝගික සහ දිගුකල් දැක්මක් ඇති සැලසුම් ඉදිරිපත් කිරීමට සිදුවනු ඇත. ජනාධිපති සටනේ ජනතා ආකර්ෂණය ලබාගනිමින් රැඳී සිටින්නට නම් ප්‍රධාන පක්ෂ හෝ සන්ධාන හෝ දෙකට වඩා වෙනස් අලුත් සිත්ගන්නා ආකර්ෂණීය, ජනප්‍රිය, ප්‍රායෝගික සහ දිගුකල් දැක්මක් ඇති බොහෝ දේ කියන්නට කරන්නට පැහැදිලි කරන්නට සිදුවනු ඇත. වසර 70ක මෙරට පොරොන්දු දේශපාලනයෙන් ඔබ්බට යන්නට ජනතාවට දැනෙන දේ කියන්නට මෙන්ම ජනතාව අතර ජනප්‍රිය නැති එහෙත් දීර්ඝකාලීනව රටට අවශ්‍ය දේ ගැනද කතා කළ යුතුය. මේ සියල්ල සමබර ලෙස පවත්වා ගැනීම ඉතා අවශ්‍ය වේ. 

ඡායාරූපය ලංකාදීප  http://www.lankadeepa.lk/top_story/ජාතික-ජනබලවේගයේ--ජනපති-අපේක්ෂක-‘අනුර--කුමාර‘/10-555508

Sunday, August 11, 2019

රජු හා රජුන් තනන්නෝ


අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ඔහුගේ අතිජාත උගත් නීතිඥ මිතුරා වන හිටපු ජනාධිපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉගෙන ගැනීමට බොහෝ දේ තිබේ. දේශපාලනයේදී එක් එක් පුද්ගලයාට රඟ දැක්වීමට නියමිත රඟ දැක්වීමට සිදුවන චරිත තිබේ. එක් පුද්ගලයාට ලැබෙන වගකීම් විවිධාකාර වේ. එක් එක් පුද්ගලයාට කරන්නට සිදුවන දේ වෙනස්ය. ලැබෙන කාර්යභාර්්‍යය විවිධාකාරය.
දේශපාලනයේදී රජ වන පුද්ගලයන් මෙන්ම රජුන් තනන්නන්ද වේ. මංගල සමරවීර , බැසිල් රාජපක්ෂ වැන්නෝ රජුන් තනන්නෝය.
සන්ඬේ ඔබ්සවර් පුවත්පතට ලිපියක් ලියන එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මෙසේ සඳහන් කරයි.
“තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස අපේ ජනාධිපති අපේක්ෂකයා විය යුත්තේ අපේ පක්ෂය පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස සහ කතානායක කරු ජයසූරිය යන තිදෙනාගෙන් කෙනෙක්. මගේ දැක්මට අනුව එක්සත් ජාතික පක්ෂයේ අනාගතය තීරණය වන්නේ ඔවුන් තිදෙනා මත.
ඔවුන් තිදෙනාගෙන් ජනාධිපති අපේක්ෂකයා විය යුත්තේ කවුදැයි එකඟතාවකට පක්ෂය පැමිණිය යුතුයි. අනෙක් දෙදෙනාගෙන් කෙනෙක් අපේ අගමැති අපේක්ෂකයා විය යුතුය. තෙවැන්නා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපදේශක තනතුරට උසස් විය යුතුයි. එය අභිමානවත් තනතුරක් විය යුතුයි වගේම ඔහු කරන ලද කැපවීම්වලට නිසි ගෞරවය හිමිවිය යුතුයි.”.
මට පෙනී යන අයුරින් නම් මේ තෙවැන්නා සහ ජ්‍යෙෂ්ඨ උපදේශකයා යැයි කියන්නේ රනිල් වික්‍රමසිංහටය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ තමන්ගේ අතිජාත මිත්‍රයා වන මහින්ද රාජපක්ෂගෙන් උගත යුත්තේ යැයි කියන්නේ එබැවිනි. මේ අවස්ථාවේදී මහින්ද රාජපක්ෂට විකල්පයක් නැත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, ජනතා කැමැත්ත, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යන මේ කරුණු කාරණා සියල්ලේදී අකැමැත්තෙන් හෝ ගෝඨාභය රාජපක්ෂට ජනාධිපති අපේක්ෂකකම දෙනවා හැරෙන්නට මහින්ද රාජපක්ෂ මහතාට වෙනත් විකල්පයක් නැත.
රනිල් වික්‍රමසිංහ ස්මාර්ට් නායකයෙකි. මොළයක් බව ඇත්තය. එහෙත් ඔහුට මහ පොළොවේ යථාර්ථය තේරෙන්නේ නැත. චෙස් බෝඞ් එකේ පෝන්ලා ගැන ඔහුට වගේ වගක් නැත. උද්ධච්ච නායකයෙකි. මහින්ද වෙනස් වෙන්නේ එබැවිනි. මහින්දට ඉහළ පැළැන්තිය, ගමේ ගොඬේ සෙට් එක, ජාත්‍යන්තරය, සුළුතරය, ආගමික නායකයෝ , මිතුරු කල්ලිය, පවුල යන සියල්ල එකවර බැලැන්ස් කරගත හැකිය. අද පොදුජන පෙරමුණේ කළ කතාවේදී ද මහින්ද එය කළේය. සාමාන්‍ය පොදු මහ ජනතාවට ආතල් එකක් දුන්නේය. තම අතිජාත මිත්‍රයා වන රනිල් වික්‍රමසිංහට හින්ට් ගැසුවේය. දෙමළ ජනතාවට වගේම මුස්ලිම් ජනතාවට ද කතා කළේය. තරුණයන් ද ඇමැතීය. රනිල් වික්‍රමසිංහට එය බැරිය. මොළය වුණාට ප්‍රැක්ටිකල් නැත. තියරි හරි වුණාට තියරි ඇප්ලැයි කරන්නට බැරිය. විකට් එක අනුව බැට් කරන්නට තේරෙන්නේ නැත. මහින්ද දැන් කරන්නේ රජුන් තනන භූමිකාවය. රජෙක් රජුන් තනන වැඬේ කරන්නේ නිකමට නොවන බවද අප මතක තබා ගත යුතුය.
ඩෙකෑන් ක්‍රොනිකල් පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් දෙන මහින්ද රාජපක්ෂ මහතා එහිදි ඉන්දියාව මෙන්ම පාකිස්තානය ද බැලැන්ස් කරගන්නේය. එපමණක් නොව අගමැති ලෙස තමන්ට ගෝඨාභය රාජපක්ෂ ද පාලනය කළ හැකි බව හෙතෙම කියන්නේය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ලෙසත් තමන් අගමැති ලෙසත් කටයුතු කරන බවත් ජ්‍යෙෂ්ඨ දේශපාලන නායකයා ලෙස ඔහුට උපදෙස් දෙමින් ජනතාවට අවශ්‍ය දෙය දිය හැකි බව හෙතෙම කීවේය. රුසියාවෙන් අපට උදාහරණයක් තිබේ. පුටින් එක් අවස්ථාවකදී අගමැති දක්වා පල්ලම් බැස්සේය. ඒ රුසියාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන සීමාවක් නිසාය. පුටින් අගමැති වෙද්දි පුටින්ගේ සමීපතමයකු වූ දිමිත්‍රි මෙද්වදෙව් ජනාධිපති ධුරය හෙබවූයේ ය. රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා තේරුම් ගත යුතු බොහෝ දේ තිබේ.

ඡායාරූපය ඒ.එෆ්.පී./ගෙටී ඉමේජස් ඉෂාර එස්. කොඩිකාර

Thursday, August 1, 2019

සාමය හා සංහිඳියාව

මේ ආණ්ඩුව පැමිණීමෙන් බරපතළ හානියක වූයේ යහපාලන හා සංහිඳියාව යන ක්‍රියාවලිවලටය. සංක්‍රාන්ති යුක්තිය, හානිපූරණය, සංහිඳියාව මෙන්ම යහපාලන මූලධර්ම සර්ව සම්පූර්ණ ස්ථාපිත කළ හෝ එම ක්‍රියාවලි සියයට සියයක් ක්‍රියාත්මක කිසිදු රටක් ලෝකයේ නොමැත. උදාහරණයකට දකුණු අප්‍රිකාව ගත හැකිය. දකුණු අප්‍රිකාව වඩාත් සාර්ථක සහ ජනප්‍රිය වූයේ සත්‍ය හා සංහිඳියා කොමිසම සම්බන්ධයෙනි. මෙවැනි එක් එක් අංශවලින් සාර්ථක වූ රටවල් ලෝකයෙන් සොයාගත හැකිය. ආර්ජන්ටිනාව, කොලොම්බියාව, මොසැම්බික්, නේපාලය, සියෙරා ලියෝන්, පේරු එක් අංශවලින් සාර්ථක වූ රටවල්ය. මේ රටවල ගැටුම්වලින් පසු සංක්‍රාන්ත යුක්ති ක්‍රියාවලිය දෙස බැලීමේදී අඩුපාඩු රැසක් දැකගත හැකි අතරම උගත හැකි පාඩම් ද බෙහෙවින් තිබේ. 

ජනාධිපතිවරණයක්, මහ මැතිවරණයක් පැමිණෙමින් සමයක ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන්, පශ්චාත් යුද ශ්‍රී ලංකාව, සාමය හා සංහිඳියාව සහ සංක්‍රාන්ති යුක්ති ක්‍රියාවලිය සම්බන්ධයෙන් ජනාධිපති අපේක්ෂකයන්, දේශපාලන පක්ෂ, දේශපාලනඥයන් හා සිවිල් සමාජය දක්වන අවධානය සහ ඔවුන්ගේ දැක්ම දෙස අවධානය යොමු කිරීම බෙහෙවින් වැදගත් වේ. ඒ දෙස අවධානයෙන් පසුවීම ජාතික ප්‍රශ්නය දෙස සාමය, සංහිඳියාව සහ සංක්‍රාන්ති යුක්ති ක්‍රියාවලිය සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පිරිසට ඉතා වැදගත් වනු ඇත. මහින්ද රාජපක්ෂ පාලන සමයේදීත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ධුරයට පත්වූ අවස්ථාවේදීත් තිරසර සාමය සඳහා අගනා සහ වටිනා අවස්ථා දෙකක් උදා වූ අතර එම පාලකයෝ දෙදෙනාම එම අවස්ථා දෙක අත්හැරියහ. ඇතැම් විට ඉදිරි ජනාධිපතිවරණයකදී ඒ සඳහා ලැබෙනු ඇත්තේ අවසන් අවස්ථාව වනු ඇත.

Tuesday, July 30, 2019

සාමය, සමගිය සහ සහජීවනය

ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා හා විපක්ෂ නායක සිට සියලූම දේශපාලනඥයන්, භික්ෂූන් වහන්සේලා ප්‍රමුඛ ආගමික නායකයන් , සිවිල් සමාජ ක්‍රියාකාරීන් ඇතුළු පිරිස් සම්බන්ධයෙන් අපට පෞද්ගලික අමනාපකම් කිසිවක් නැත. එහෙත් ඔවුනොවුන්ගේ දේශපාලන භාවිතය සමාජ භාවිතය සම්බන්ධයෙන් ජනතාව ඉදිරියේ කරන ප්‍රකාශ ඔවුන්ගේ දේශපාලනික ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් අපට විවේචනය ඇත. යහපත් යමක් කළ විට එය අගය නොකර සිටීමට තරමක් පහත් මානසිකත්වයක්ද අප සතුව නැත. කොළඹදී අද පැවැති සාමය, සමගිය සහ සහජීවනය සඳහා වූ ජාතික සමුළුව අවසන් වනතෙක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත්, ඕමල්පේ සෝභිත හිමියනුත් රැඳි සිටියහ. ඔවුන් ඒ වෙනුවෙන් කාලය වෙන් කරමින් එය අවසන් වනතෙක් රැඳි සිටීම අගය කළ යුත්තකි. මේ පුංචි ආර්ථික වශයෙන් සමෘද්ධිමත් කිරීමට සුවපත් කළ යුතුය. සුවපත් සමාජයක් එක්සත් හා එකමුතුව ඇති රටක් බවට පත් කළ යුතුය. එවැනි අවශ්‍යතාවක් තිබියදී ජනාධිපතිවරයාත්, ඕමල්පේ සෝභිත හිමියනුත් සමුළුව අවසන් වනතෙක් රැඳි සිටීම අගය කළ යුත්තකි.
ඊට අමතරව හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග යන මහත්ම මහත්මීන්ගේ සහ මහ සංඝ රත්නය ඇතුළු ආගමික නායකයන්, රාජ්‍ය තාන්ත්‍රිකයන් ඇතුළු පිරිසක් මීට සහභාගී වූ අතර ජනප්‍රිය නොවන මාතෘකාවක් සම්බන්ධයෙන් ඔවුන්ගේ සහභාගීත්වය අගය කළ යුතුය.

Monday, July 29, 2019

කුලේ

හැමෝටම තමන්ගේ ජීවිතේ හම්බවුණු මිනිස්සු ගැන මතක සටහන් තියෙනවා. මං මේක ලියන්නේ මාධ්‍යවේදියකු විදියට නෙමෙයි, බණ්ඩාරනයකේට ඉස්කෝලේ ගිය කොල්ලෙක් විදියට. තමන්ට හම්බවුණු සුන්දර මිනිස්සු, ලෝප්‍රකට මිනිස්සු, ජනප්‍රිය මිනිස්සු, සුප්‍රසිද්ධ මිනිස්සු, ළමා කාලේ වීරයෝ මෙම් විදියේ මිනිස්සු ඉන්නවා. මේ මිනිස්සු හම්බවුණාම ඒ මිනිස්සු එක්ක ගත්තු පින්තූර, පොතක තියන අත්සන ඔය විදියේ මතක තියෙනවා. කුලේ අයියා ගැනත් ඔය විදියේ මතක තියෙනවා. කුලේ අයියා සාමාන්‍යයෙන් ඉස්කෝලේ උත්සවවලට එනවා යනවා. ඩයනා මිස් කියන කතා වුණත් කොමස් එකේ අපේ උන් දන්නවා. 

කොහොමහරි එක අවුරුද්දක 2012ට කලියෙන් මං වැරැදි නැත්නං...ඉස්කෝලේ ක්‍රිකට් ටීම් එකයි පරණ ක්‍රිකට් ගහපු අයයි මැච් එකක් දාගත්තා. ඉඳලා හිටලා ක්‍රිකටට් ගැහුවට එදා නං මං ගියේ ෆොටෝ ගන්න. ඇම්මට. කුලේ අයියා උඩහට ගිහින් එන්නං කියලා ගියා. ගියේ කාර් එක ළඟට. මොකද කාර් පාක් කරන්නේ ග්‍රවුන්ඩ් එකට ටිකක් ඈතින්. සිලෝන් ටීම් එකේ කැප් දාගෙන හිටපු මිනිහා ගිහිං ඉස්කෝලේ කැප් එකක් දාගෙන ආවා. කුලේ කියන්නේ එච්චරටම නිහතමානී මිනිහෙක්.. මාලිංග චම්පක රාමනායක ගැන කිව්වා වගේම, කණිෂ්ක සර්ට තමන්ගේ වෙඩිමට එන්න ඇඳුම් ටික පවා අරන් දීපු කෙනෙක් තමා කුලේ..





ඡායාරූපය ගෙටී ඉමේජස් 

https://www.gettyimages.com/detail/news-photo/nuwan-kulasekara-of-sri-lanka-celebrates-after-claiming-the-news-photo/492870631?adppopup=true

උඩින් තියෙන්නේ ක්‍රිකට්. අනිත් ඔක්කොම ඊට යටින්..

නුවන් කුලසේකරට හරිහැටි සමුගැනීමක් නොදීම ගැන කතාවක් ඇදිලා ආපු එකට මං හරි කැමැතියි. මොකද හරි සමුගැනීමක් නොලැබුණු එකම ක්‍රිකට් ක්‍රීඩකයා නුවන් කුලසේකර නෙමෙයි. එහෙම අය බොහෝමයක් ඉන්නවා. මොනවා වුණත් ක්‍රිකට් ක්‍රීඩකයෝ ගැන මෙහෙම හරි කතාවෙනවා. එහෙත් ලංකාවේ අනෙක් ක්‍රීඩාවලට තියෙන තැන ඒවායේ ක්‍රීඩකයෝ ඉන්නවද නැද්ද කියන්නවත් ලංකාවේ මිනිස්සු හරියට දන්නේ නැහැ. ඒ අය ගැන වුණත් කතාබහක් ඇති වෙන එක හොඳයි. පහුගිය ටිකේ තර්ජනී ගැන කතාවක් ආවා. බේස්බෝල් ටීම් වෙස්ට් ඒෂියා ටුවරනමන්ට් එක දිනුවා.. ඒත් තවමත් උඩින් තියෙන්නේ ක්‍රිකට්. අනිත් ඔක්කොම ඊට යටින්..




ඡායාරූපය නුවන් සේනාරත්න 
https://twitter.com/NuwanSe/status/1154578163696930817/photo/1

Saturday, July 27, 2019

හරසර නොමැතිව සමුගත්තෝ වෙනුවෙනි

ක්‍රිකට් ක්‍රීඩාවේ වගේම ඕනෑම ක්‍රීඩාවක යම්කිසි ක්‍රිකට් ක්‍රීඩකයකු සාර්ථක වෙනවා නම් ඒ පිටුපස තවත් සගයකු, කණ්ඩායමක් ඇතුළු බොහෝ දෙනා ඉන්නවා. ලසිත් මාලිංගට වුණත් සොබාදහමේ ඒ යථාර්ථයෙන් පිට පනින්න බැහැ. ලසිත් මාලිංග නිර්ලෝභීව ඒ සත්‍යය තේරුම් ගත්තා වගේම අමතක නොකර ඔහු පිටුපස සිටි සියලු දෙනා මතක් කළා. ඒ සඳහා ඔහුට කිසිදු පැකිළීමක් තිබුණේ නැහැ. මට මතකයි මම බොහෝ අවස්ථාවලදී කියෙව්වා. ක්‍රිකට් ගැන කියවීමේ නොනිත් ලාලසාව නිසාම තෙන්ඩුල්කාර් ගැන කියෙව්වා. අච්රේකාර් සර් නොවෙන්න, ගවස්කාර් නොවෙන්න, විනෝද් කම්බිලි සහ රාහුල් ඩ්‍රාවිඩ් නොවෙන්න තෙන්ඩුල්කාර් කෙනෙක් නොවෙන්න තිබුණා කියලා ඒ බොහෝ තැන්වල තිබුණා. 

මුරලිට වාස් ද, මාලිංග ට කුලේ ද, මහේලට සංගක්කාරත්, සංගාට මහේලත් වූහ. මේවා ක්‍රිකට් පිටියේ අපූර්ව සුසංයෝගය. ජස්ටින් ලැන්ගර් - මැතිව් හේඩ්න් තවත් සුසංයෝගයක්ය. තෙන්ඩුල්කාර්ට ලැබුණු හරසර ඩ්‍රාව්ඩ්ට ලැබෙන්නේ නැත. මුරලිට, මහේල්ට, සංගාට ලැබුණු හරසර මාවන්ට, සනත්ට, කළුට, වාස්ට ලැබෙන්නේ නැත. මාලිට ලැබුණු හරසර කුලේට ලැබෙන්නේ නැත. ඒක තමා හැටි. නිහඬව සිනාසී ආයෙත් ක්‍රිකට් නැරැඹිය යුතුය. මාලි කුලේ වෙනුවෙන් ද කුලේ මාලි වෙනුවෙන් ද සිටියහ. අපට අවසානයේ වටින්නේ එයය. ප්‍රේක්ෂකයෝ ඔවුන් දෙදෙනා වෙනුවෙන්ම වූහ. පිළිගැනීම් හරසර ඇතිව සමුගත්තෝ බොහෝය. එසේ හරසර නැතිව සමුගත්තෝ ද බොහෝය. දෙගොල්ලෝම ක්‍රිකට් ලෝලී අපට නම් වීරයෝය. මේ හරසර නොමැතිව සමුගත්තෝ වෙනුවෙනි. ♥        






ඡායාරූපය ගෙටි ඉමේජස් 

https://www.gettyimages.ae/detail/news-photo/lasith-malinga-and-nuwan-kulasekara-of-sri-lanka-celebrate-news-photo/483086831?adppopup=true

Sunday, July 21, 2019

ඔවුහු දැන සිටියහ


පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය එල්ල කර අදට මාස තුනකි. අප්‍රේල් 21 වැනිදා මෙන්ම අදද ඉරිදාවකි. තිස් වසරක සිවිල් යුද්ධයෙන් පසුත් පාස්කු ඉරිදාවට පෙරත් බොහෝ ඉරිදාවල් සාමකාමීව ගෙවී ගියත් බොහෝ දේ සිදුව තිබිණි. එහි ප්‍රතිඵල දක්නට ලැබුණේ ගෙවුණු ලේ වැගිරුණු අප්‍රේල් 21 වැනිදාට යෙදී තිබූ පාස්කු ඉරිදාවේය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, කතානායක කරු ජයසූරිය, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ සිට රටේ ඉහළ පෙළේ මැති ඇමැත්තෝ සියලු දෙනා ඒ බව දැන සිටියහ. සරලවම ඔවුහු දැන සිටියහ. 

පාස්කු ඉරිදා ප්‍රහාරවලට මුල සෑදෙන්නේ අද ඊයක නොවන බව සක් සුදක් සේ පැහැදිලිය. පාස්කු ඉරිදා ප්‍රහාර එල්ල වන දැන දැන ඒ බව නොසලකා හැරී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ සිට වත්මන් පාලනයේ උඩ සිට පහළ සිටින සියලු දෙනාට මොන අධිකරණයෙන් මොන යුක්තියෙන් නිදොස් කොට නිදහස් වුවත් ජනතා අධිකරණයෙන්, ස්වභාවධර්මයේ යුක්තියෙන් සහ ජනතා සාපයෙන් මිදිය නොහැක. ඒ බව දැන දැන ජනතාවට නොකී පක්ෂ විපක්ෂ මැති ඇමැත්තෝ උස් පහත් සියලු නිලධාරීන්ට එයින් මිදිය නොහැක.

සහ්රාන්ලාට වැඩෙන්නට ඉඩ දුන් පසුගිය පරිපාලනයටත් ඒ සියලු දෙනාටත් ජනතා අධිකරණයෙන්, ඒ විනිශ්චය සභාවෙන් මිදිය නොහැක. පක්ෂ විපක්ෂ භේදයකින් තොරව අප මේ සත්‍යය පිළිගත යුතුය. 
පාස්කු ඉරිදාවෙන් පසුව ජනතාව, රටේ බොහෝ දෙනා හැසිරුණු ආකාරයට අප තවමත් රුධිරය අපේක්ෂාවෙන් බලා සිටින සමාජයක් බව හොඳින්ම පෙනී ගියේය. මහින්ද රාජපක්ෂ පාලනය මෙන්ම මෛත්‍රීපාල සිරිසේන රනිල් වික්‍රමසිංහ යන පරිපාලනය දෙකම සුවපත් සමාජයක් නිර්මාණය කිරීමේ භාරදූර කාර්යය සහ වටිනා අවස්ථාව ඉවතලූහ. එම වටිනා අවස්ථාව නොසලකා හැරියහ. 

තිස් වසරක සිවිල් යුද්ධය, යුද්ධයකින් අවසන් කළ ද යුද්ධයට මුල පිරූ බොහෝ කරුණුවලට අද වනතුරුත් විසඳුම් සොයා නැති බව පැහැදිලිය. යුද්ධයෙන් පසුව එම ප්‍රශ්න විවිධාකාර මාදිලිවලින් පැමිණ තිබෙන අතර බොහෝ ප්‍රශ්න එදාටත් වඩා සංකීර්ණ වී තිබේ. වසර තිහකට හතළිකට පෙර තිබුණාට වඩා අද වනවිට එම ප්‍රශ්න සංකීර්ණ වී තිබේ. මුළු මහත් සමාජය තුළම වේගයෙන් ව්‍යාප්ත වී තිබේ. ඒවා අළු යට ගිනි පුපුරු මෙන් දැවී දැවී තිබේ. අප සමාජය ඊට වතුර ඉහා ඒවා නිවා දමනවා වෙනුවට ගිනි පිඹිමින් පිදුරු දමමන් සිටී. 
තම පැවැත්ම පමණක් අපේක්ෂා කරන පාලකයන්ගෙන් සහ ඒදාවේල ටුවර්ස් ජන සමාජයකින් අපට ඊට වඩා යමක් අපේක්ෂා කළ නොහැක. පාලකයන්ට බැනීමෙන් වත් ජනතාව ලෙස අප එකිනෙකාට දොස් කියා ගැනීමෙන්වත් වැඩක් නැත.

දේශපාලන වුවමනාව සහිත අවංක පාලකයන්ගේ අවශ්‍යතාව සුවපත් සමාජයක් නිර්මාණය කිරීම සඳහා අතිශය වැදගත් සහ අත්‍යවශ්‍ය බව කිව යුතුමය. ජනතාව අතර අවබෝධය ඇති කිරීමත් බුද්ධිමත් ජන සමාජයක් ගොඩනැගීමේ අවශ්‍යතාවත් ඇති බව නිරන්තරයෙන් සිහිපත් කළ යුතුය. 

තිස් වසරක සිවිල් යුද්ධය අවසන් වී දශකයක් ගෙවී ගොස් ඇත. 2009 වසරේදී යුද්ධය අවසන් වීමෙන් පසුව අප ජීවත් වූයේ සිහින ලෝකයක බව පිළිගත යුතු සත්‍යයකි. කොටි නැගිටිනවා යන බිය ඇති කරමින්, මුස්ලිම් විරෝධයක් ඇති කරමින් වත්මන් ලෝක දේශපාලනයේ සිදුවන කිසිවක් සැලකිල්ලට ගනිමින් පාලකයෝ ඔවුන්ගේ පැවැත්ම තහවුරු කරගත්හ. ජනතාව ජීවත් වූයේ ද සිහින ලෝකවලය. එක් එක් කණ්ඩායම් ඉස්ලාමීය අන්තවාදය යැයි කියමින් දේශපාලකයන්ගේ පැවැත්ම තහවුරු කිරීමට කරන ලද ක්‍රියා පාස්කු ඉරිදාවෙන් පසු ‘අප කිව්වා නේද’ යනුවෙන් විමසූහ. තමන් කළ ජඩකම්, බලහත්කාරකම් සහ දේශපාලකයන්ගේ පැවැත්වම තහවුරු කිරීමට ඔවුන්ගේ පහසුව සඳහා මහජනතාව භේද බින්න කිරීමටත්, සරවලම මිනිස්සු කෙටවීමටත් කරන ලද ක්‍රියා සාධාරණීයකරණය කිරීමේ ක්‍රියාවලියක ඔවුහු නිරත වූහ. එක් අන්තවාදයකට තවත් අන්තවාදයකින් පිළිතු-රු දෙන්නට යෑමෙන් ප්‍රශ්න හෝ ගැටුම් විසඳෙන්නේ හෝ නිරාකරණය වන්නේ නැත. 

දූපතක සිටීම නිසාදෝ ජනතාව තුළ දූපත් හැඟීමත්, පාලකයන් ස්වකීය පැවැත්ම උදෙසා අනේක විධි අනියත බිය නිර්මාණය කරමින් සහ ජනතාව එකිනෙකා කෙටි වීමෙන් යන සිදුවීම් සමූදායට වඩා කිසිවක් මේ රටේ සිදුවන්නේ නැත.

වත්මන් ලෝක දේශපාලනයේ ආරක්ෂාව, විශේෂයෙන්ම ජාතික ආරක්ෂාව යනු සහ්රාන්ගේ ත්‍රස්ත ප්‍රහාරයටත් වඩා තර්ජිත තත්ත්වයකි. සහ්රාන්ගේ ප්‍රහාරයෙන් සිදුවූ ජීවිත හානිය එයින් සුළු කොට තැකෙන්නේ නැත. එක් මනුස්ස ජීවිතයක් වුවද මනුස්ස ජීවිත 200ක් 300ක් වූවද ඒවා මනුස්ස ජීවිතය. සහ්රාන්ලාගේ ප්‍රහාර මාලාවෙන් පසුව හෝ මේ රටේ පාලකයන්ගේ ඇතුළු බොහෝ දෙනාගේ දෑස් විවර වීම සතුටට කරුණක් වුවත් පලදායී යමක් වනවාද යන්න සැක සහිතය. අද වනවිට ලෝකයේ බලතුලනය වෙනස් වෙමින් තිබේ.  රාජ්‍ය නොවන ක්‍රියා කරන්නන්ගේ (ත්‍රස්තවාදීන්, අන්තවාදීන්, බහුජාතික සමාගම්, රාජ්‍ය නොවන සංවිධාන) යනාදියේ ක්‍රියාකාරීත්වය බෙහෙවින් බලවත් හා ශක්තිමත් වෙමින් තිබේ. ලෝකයේ යථාර්ථය තේරුම් ගැනීම රටේ පාලකයන් සහ ජනතාව අත්‍යවශයෙන්ම කළ යුත්තකි. ජනතාව නිද්‍රාශීලී හෝ බෙදී වෙන්වී ගිය කළ, ජනතාව අතර සමඟය අන්තයටම නැති වී ගිය කල පාලකයන් එකී යථාර්ථය වුවමනාවෙන්ම සඟවා දමනු ඇත.

අවසානයේදී කියන්නට ඇත්තේ පාස්කු ඉරිදා ප්‍රහාරය ද දේශපාලනීයකරණය වී අවසානයේදී ඊට වගකිව කිසිවකුත් නැති වීමය. ජනාධිපතිවරයා, අගමැතිවරයා අතර තිබූ අර්බුදය පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල වීමත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීමටත් ප්‍රධාන හේතුව බව අමතක නොකළ යුතුය. ජනාධිපතිවරයා, අගමැතිවරයා සිට පාලන තන්ත්‍රයේ සියලු දෙනා ඊට වගකිව යුතුය. රටට ආදරේ යැයි කියන ජනතාවට ආදරේ යැයි කියන ජනතා නියෝජිතයෝ මහජන නියෝජිතයෝ ද උවදුර දැන නිහඬව සිටියහ. එහෙත් අද කිසිවකුත් නැත. ජනතාව නැවත නැවත පීඩාවට පත්වෙමින් සිටිති. මාස තුනක් ගොස් ඇත. පාලකයන් නැවත වරක් ස්වකීය පැවැත්ම තහවුරු කරගැනීමේ සටනේය. ජනතාව එදා වේල ටුවර්ස්ය. දිනෙන් දින පීඩාවට පත්වෙමින් සිටිති. තම ආදරණීයයන් අහිමි වූ පාස්කු ඉරිදා ප්‍රහාරවල විපත්කරුවෝ තවමත් හැඬූ කඳුළින්ය. 





Tuesday, July 16, 2019




ක්‍රිකට් ක්‍රීඩාවේ ත්‍රිල් එක තිබෙන්නේ දැඩි පීඩනයක මනුෂ්‍යයන් ඊට ප්‍රතිචාර දැක්වීමය තුළය. . මනුෂ්‍ය වැරැදි අත්පසු වීම් සිදුවීම් ස්වභාවිකය. ක්‍රීඩාවක දියුණුව තිබෙන්නේ වැරැදි අඩුපාඩු වීමට ඇති ඉඩ අවම කරමින් තාක්ෂණය භාවිත කරමින් අලුත් වෙමින් ඉදිරියට යෑම තුළය. තාක්ෂණය භාවිතය නිසි පරිදි විය යුත්තකි. ඩී.ආර්.එස් තාක්ෂණය එසේත් නැතිනම් විනිසුරු තීරණ නැවත විමසීමේ ක්‍රමවේදයට බොහෝ දෙනා විරුද්ධ වූයේ ද එම නිසාය. (ඉන්දියාව විරුද්ධ වීම හැර) අඩුපාඩු , මනුෂ්‍ය වැරැදි මධ්‍යයේ ලොව එතෙක් මෙතෙක් පැවැති විශිෂ්ටතම එක්දින තරගය එසේ අවසන් විය. එතෙක් මෙතෙක් පැවැති හොඳම ලෝක කුසලාන අවසන් මහ තරගය එයයි. අවසානයේදී කුසලානය එංගලන්තයට හිමිවිය. එය ඔවුන්ටම හිමිවිය යුතුව තිබුණකි. මෙවැනි තරගයක සම ශූරයන් නම් කිරීම කළ යුතුව තිබුණා යැයි දැන් බොහෝ දෙනා කියති. එහිද වරදක් නැත. දැන් සිදුව අවසන්. ඉදිරි වසර හතරට ලෝක ශූරයන් එංගලන්තයයි.

ඡායාරූපය ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවියෙනි 

Monday, May 13, 2019

ඉවසීමෙන් වැඩ කරමු

රටක් ලෙස අපට තේරීම් දෙකක් තිබේ. එකක් නම් ලේ වගුරුවමින් ඝාතන කරමින්, කඩ සාප්පු කොල්ලකමින්, ජන ජීවිතය අවුල් කරමින්, අහිංසක ජන ජීවිත බිල්ලට ගනිමින් මේ රට විනාශයකට ඇද දැමීමය. අද වනවිට මුස්ලිම් ජනතාව කෙරෙහි ඇති වෙමින්, කැකෑරෙමින් තිබෙන වෛරය පුපුරුවා හරිමින් ජීවිත බිල්ලට ගනිමින් මේ රට මහා විනාශයක් සිදු කිරීමය. එය මුස්ලිම් ජනතාවගෙන් නොනැවතී, දෙමළ, කතෝලික, ඉන් පසුව සිංහල සිංහලයන් කෙළ ගැනීමෙන් අනතුරුව අවසන් වනු ඇත.

දෙවැන්න නම් සාමකාමීව ඉවසීමෙනුත් කටයුතු කරමින් මේ රට සාමය කරා ගෙන යාමය. තිස් වසරක් මුළුල්ලේ පැවැති සිවිල් යුද්ධය අපි 2009 වසරේදී අවසන් කළෙමු. එය එවකට ජනාධිපතිවරයාට, හමුදාපතිවරයාට මෙන්ම ගෞරවය හිමිවිය යුතු සියලු දෙනාටත් රටේ ජනතාවටත් කැප කිරීම් කළ සියලු දෙනාටත් ඒ කීර්තිය සහ ගෞරවය හිමිවිය යුතුය.

සාමයෙන් හා ඉවසීමෙන් කටයුතු කරමින් සියලු දෙනාගේ ආරක්ෂාව ඇති කරමින් සංහිඳියාව ඇති කිරීම දුෂ්කර වෑයමකි. එහෙත් එහි ප්‍රතිඵල සුන්දර බව අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැත. තම තමන්ගේ වැරැදි පිළිගනිමින්, අනවබෝධය දුරු කරමින්, සමාජයේ සියලු දෙනා අතර විශ්වාසය ඇති කරමින් කටයුතු කිරීම ඉතා වැදගත් බව සිහිපත් කළ යුතුය.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය ජාත්‍යන්තර සංවිධානයක, ජාත්‍යන්තර මූල්‍ය ආධාර මත ජාත්‍යන්තරයේ සැලසුම් කර මෙරට ක්‍රියාත්මක කරන ලද්දකි. ඊට සහාය දුන් සියලු දෙනාට එරෙහිව විශේෂයෙන්ම රට තුළ එයට සහාය දුන් සියලු දෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුය. වැරැදිකරුවන්ට දඬුවම් දෙන්නට ගෙනා මෙම ආණ්ඩුව වැරැදිකරුවන්ට දඬුවම් දුන්නා නම් මේ දේවල් මීට වඩා කලින් අඩු විනාශයකින් අවසන් කරගැනීමට ඉඩ තිබිණි. තමන් කළොත් හරි අනෙක් අය කළොත් වැරැදි යන්න තේමාව කරගෙන සිටින මෙරට දේශපාලනය තුළ එවැන්නක් බලාපොරොත්තු වීම කළ නොහැක්කි. සිංහල ද,  දෙමළ ද, මුස්ලිම් ද සුදු ද කළු ද යන්න නොබලා වැරැදිවලට දඬුවම් කිරීම මෙරට තුළ සිදු නොවූවකි. ඒවායේ අනිටු විපාක අද අපි අත්විඳිමින් සිටිමු. ජනාධිපති ද , අගමැති ද, හමුදාපති ද, බුද්ධි අංශයේ, මහ බැංකු අධිපති ද යන තරා තිරම් නොබලා වැරැදිකරුවන්ට දඬුවම් කළ යුතුය. එසේ නොකිරීමේ අනිටු විපාක අපි අත්විඳිමින් සිටිමු. 

අනෙක් අතට මේ රටේ දෙනාට සත්‍ය තේරුම් කිරීම කළ නොහැක්කකි. බොහෝ දෙනා පිළිගන්නේ තමන් පිළිගන්නට සහ විශ්වාස කරන්නට කැමැති දේ විනා සත්‍ය නොවේ. 

මෙතැන ඇත්තේ මුස්ලිම් ප්‍රජාව පිළිබඳ ගැටලුවක් නොව අන්තවාදය පිළිබඳ ප්‍රශ්නයකි. මේ අන්තවාදය පෝෂණය කරන්නේ මෙරට දේශපාලනඥයන් බව අමුතුවෙන් කියන්නට වුවමනා නැත. ඕනෑම ආකාරයක අන්තවාදයකට අපි විරුද්ධ විය යුතු වෙමු. එසේ නොවනතාක් පාස්කු ඉරිදා ප්‍රහාරය මෙන්ම මුස්ලිම් පල්ලිවලට ගල්මුල් ගසමින්, පොඩි මිනිසුන්ගේ කඩවලට ගිනි තබමින්, කටයුතු කිරීම අතර වෙනසක් නොවන්නේය. පාස්කු ඉරිදා එල්ල කළ පිරිස් සහ මුස්ලිම් පල්ලිවලට ගල්මුල් විසි කරමින් ප්‍රචණ්ඩත්වය වපුරන අය අතර වෙනසක් නැත. සියලු දෙනාම යක්ෂයන්ය. 

මෙරට දේශපාලනඥයන් හැකි අවස්ථාවකදීම රට ගිනි තැබීය. අදත් සිදුවෙමින් තිබෙන්නේ එයමය. අදත් දේශපාලනඥයන්ගේ පටු වුවමනා එපාකම් වෙනුවෙන් ඇතැම් පිරිස් රට ගිනි තබමින් රට අවුළුවමින් ලේ ඉල්ලති. බොහෝ දෙනා මේ කියවා අවසන් කරන්නටත් පෙර මගේ අම්මා තාත්තා මතක් කරනු ඇත. එහෙත් ඔබ නිවී සැණසිල්ලේ සිතා බලන්න. නැවත මේ රට ලේ විලක් කරනවාද නැතහොත් සියලු ප්‍රජාවන් ජීවත්වන සාමය සහ සංහිඳියාව පවතින රටක් දක්වා ගෙන යනවා ද කියා අප තීරණය කළ යුතුය. එක් අන්තවාදයකින් තවත් අන්තවාදයකට පිළිතුරු දිය නොහැක. එය අප තේරුම් ගත යුතුය. මුස්ලිම් අන්තවාදීන් කඩු අතට ගන්නේ නම් බෝම්බ පුපුරුවන්නේ නම් අප ද කඩු අතට ගනිමින් ඊට ප්‍රතිචාර දක්වන්නට ගියොත් සිදු වන්නේ අන්තවාදී නොවන අහිංසක මුස්ලිම් ප්‍රජාව ද මුස්ලිම් අන්තවාදයේ ගොදුරු බවට පත්වීමය. අනෙක් අතට ලේ වැගිරීමකි. ඒ නිසා ඉවසීමෙන් කටයුතු කරමින් ආරක්ෂක අංශවලට ඔවුන්ගේ රාජකාරිය ඉටු කිරීමට අවස්ථාව දිය යුතුය. එපමණකින් නොනැවතී රටේ සාමාන්‍ය මුස්ලිම් ප්‍රජාව අපෙන් ඈත් නොකරමින් ඔවුන් හා තිබෙන සබඳතා වැඩි කරගනිමින් මුස්ලිම් අන්තවාදයට එරෙහි සටන් ඔවුන් අතරින්ම ඔවුන්ගේ ප්‍රමුඛත්වයෙන්ම දියත් කිරීම සඳහා ඔවුන් පෙළඹවීමය. 

හර්ෂණ තුෂාර සිල්වා
2019.05.13

Sunday, May 5, 2019

සුවපත් වෙමු, ඉවසීමෙන් වගකීමෙන් වැඩ කරමු


සමාජ මාධ්‍යය වගකීම් සහගත අයුරින් භාවිත කිරීම අප කාගේත් වගකීමකි. සමාජ මාධ්‍යය ජනතාවට තොරතුරු දැනගැනීමට තිබෙන මාධ්‍යයක් මිස ජනතාව කුපිත කරවන්නක් නොවිය යුතුය. ඒ නිසා එය වාරණයකට ලක් නොවන අයුරින් කටයුතු කිරීම කාගේත් වගකීමක් සහ යුතුකමකි.

අනෙක් අතට සමාජ මාධ්‍යය තහනම් කිරීමෙන් හෝ වාරණය කිරීමෙන් ආණ්ඩු බලාපොරොත්තු වන්නේ කුමක් ද යන්න ගැටලුවකි. වාරණ හා තහනම් මධ්‍යයේ වුවත් රටේ ජනාධිපතිවරයාගේ සිට බොහෝ දේශපාලනඥයන්ගේ ෆේස්බුක් ගිණුම් යනාදිය සක්‍රීයව පවතී.
 
සමාජ මාධ්‍යය ඔස්සේ අසත්‍ය, ව්‍යාජ පුවත් පැතිර යන්නේ නම් ඊට පිළියම වාරණය හෝ තහනම නොව නියාමනයයි. වෛරී ප්‍රකාශ පැතිර යන්නේ නම් ඒවා ඉවත් කිරීම ආණ්ඩුවක සහ පාලන තන්ත්‍රයේ වගකීමකි. තම වගකීම් ඉටු නොකර වාරණය හෝ තහනම ප්‍රායෝගික නොවේ. තාක්ෂණය දියුණු වී ඇති අද වැනි කාලයක වාරණ හා තහනම් මධ්‍යයේ බොහෝ දෙනා සක්‍රීයව සමාජ මාධ්‍යය භාවිත කරති. 

විශේෂයෙන්ම අසත්‍ය හා ව්‍යාජ පුවත් පතුරවන්නන් වෛරී හා අන්තවාදී ප්‍රකාශ කරන්නන් වාරණ හා තහනම් මධ්‍යයේ ඒවා භාවිත කරති. අවාසනාවකට මෙවැනි තහනම් සහ වාරණ මධ්‍යයේ සිදුවන්නේ සාමාන්‍ය හා සාමකාමී ජනතාවට තොරතුරු දැනගැනීමට තිබෙන අවස්ථා සහ අයිතීන් අහිමි වීම යෑම පමණකි. 

මේ කාලය අප කවුරුන් ද යන්න පිළිබඳව පරීක්ෂාවට ලක්වන කාලයකි. අප අපගේ වගකීම් හා යුතුකම් ඉටු කරමින් ඉවසීමෙන් හා සාමකාමීව කටයුතු කළ යුතුම කාලයකි. අපි නීතිය අතට නොගත යුතුය. ආරක්ෂාව, නීතිය හා සාමය, ඒ ඒ වගකීම් හා රාජකාරි ඒ පාර්ශවවලට ඉටු කරන්නට ඉඩ දී අපි අපගේ වගකීම් හා යුතුකම් ඉටු කළ යුතුය. මේ රටේ වැගිරුණු ලේ ඕනෑවටත් වැඩිය. ඒ නිසා මේ රට නැවත ලේ විලක් වීමට ඉඩ නොදිය යුත-ුය. ඒ නිසා අප සියලු දෙනා ඉවසීමෙන්, වගකීම් සහගතව, සාමකාමීව සහ කල්පනාවෙන් කටයුතු කළ යුතුය. 


ඡායාරූපය හොංකො - ශ්‍රී ලංකා 

Wednesday, February 20, 2019

තට්ටු කරන්නාට දොර අරිනු ලැබේ

ජනවාරි 1 වැනිදා යනු තවත් එක් දවසක් පමණක් වන්නේ නැත. සෑම මසකටම පළමු වැනිදාවක් තිබුණත් ජනවාරි පළමු වැනිදා විශේෂය. විදුලි මීටරයේ ඉලක්කම් කැරෙන්නාක් මෙන් 2018, අට වෙනුවට 9 එක්වීමෙන් නව වසරේ උදාවේ සනිටුවහන් වේ.

අප සියලු දෙනා විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ බොහෝ දෙනා ජීවිත ගත කරන්නේ දැඩි කලකිරීමකින් බව නොරහසකි. අප සියලු දෙනාටම සිහින තිබේ. බලාපොරොත්තු තිබේ. වඩාත් හොඳ ජීවිතයක් ගත කිරීම සියලු දෙනාගේ අපේක්ෂාවය. බලාපොරොත්තුව ද එයයි. එකිනෙකා ජීවිතය දකින්නේ අවුරුද්ද දකින්නේ වෙනස් වෙනස් ආකාරවලටය.

ජනවාරි 1 වැනිදා උණුසුම දින දෙක තුනකින් පහව යයි. ජනවාරියේ ටික දවසක් යනතෙක්ම අවුරුද්ද සටහන් කරන තැන්වල අපි 2018 යනුවෙන් ලියනු ඇත. පාසල් යන කාලයේ එය බොහෝ අවස්ථාවලදී සිදුවිය. අප රටක් ලෙස ආපස්සට යෑමට ප්‍රධාන හේතුව, දින ගෙවීගියත් අලුත් අවුරුදු ආවත් අතීතයේ ගුලි වී සිටීමයි. වෙනස් වෙනස් දේ කළ යුතුය. අත්හදා බැලීම් කළ යුතුය. රටක නම් සමාජ, ආර්ථික ප්‍රතිසංස්කරණ කළ යුතුය. එහෙත් අපි රටක් ලෙසත් පුද්ගලයන් ලෙසත් වෙනස්වීම මෙන්ම ප්‍රතිසංස්කරණ ප්‍රතික්ෂේප කරන්නෝ වෙමු. ඒ නිසා අප බොහෝ දෙනකුගේ ජීවිත අතීතය හා බැඳී පවතී. අතීතයෙන් ඉගෙන ගත යුතු දෑ බොහෝය. එහෙත් අප බොහෝ දෙනා අතීතයෙන් මිදීම වෙනුවට අතීතයටම ගුලි වෙමින් සිටින්නෙමු.
එනිසා හෙටින් ආරම්භ වන නව වසරේදී ඔබ ඔබේ ජීවිතය සොයායන්න. තමන්ගේ ජීවිතයේ සියල්ල ඇත්තේ තමන් සතුවය. තමන්ගේ ජීවිතය වගකීම ඇත්තේ තමන් සතුවය. ඔබ ඔබ සොයා යන්න. ආදරය කරන්න. තමන් කවුරුන් ද සොයා යන්න. අප ජීවිතවලදී වැඩි හරියක් කරන්නේ අනුන් ගැන සෙවීමය. එසේ සොයන්නට යාමෙන් අපට අපේ ආදරයත් ජීවිතයත් යන දෙකම නැති වී යයි. ඒ නිසා තමන් ගැන සොයන්න. තමන්ගේ ජීවිතයේ තේරුම සොයායන්න. ඇවිදින්න. ඇවිදින්න. ඇවිදින්න. සොයන්න.

ශුද්ධවර මතෙව්:

ඉල්ලන්න, ඔබට දෙනු ලැබේ; සොයන්න, ඔබට සම්බ වේ; තට්ටු කරන්න, ඔබට දොර අරිනු ලැබේ. මන්ද, ඉල්ලන්නාට ලැබේ; සොයන්නාට සම්බ වේ; තට්ටු කරන්නාට දොර අරිනු ලැබේ.

හර්ෂණ තුෂාර සිල්වා
31.12.18

Thursday, February 14, 2019

ඉන්දියාව

විසි එක්වැනි සියවසේදී කුල ප්‍රශ්නය දරුණුවටම දැකිය හැකි රටක් වනුයේ ඉන්දියාවය. ඉන්දියාවේ කුල ප්‍රශ්නය අද ඊයේ ආරම්භ වූවක් නොවන වසර සිය දහස් ගණනක් මුළුල්ලේ පැවැතිය එකකි. එතරම් කුල හා අනෙකුත් ප්‍රශ්න රැසක්  මධ්‍යයේ වුවද අද වනවිට ඉන්දියාව ආර්ථික වර්ධනය අතින් ඉහළ තැනකට පැමිණ තිබේ. වාර්තාවලට අනුව 2017 වසර හැරෙන්නට පසුගිය අවුරුදු හතරක පමණ කාලයේදී ඉන්දියාවේ ආර්ථික වර්ධනය වේගය ඇත්තේ චීනයටත් ඉහළිනි.   

චීනයේ මෙන්ම ඉන්දියාවේ ද වඩාත් ප්‍රමුඛතම ආර්ථික වර්ධන මූලාශ්‍රය සහ සම්පත වනුයේ ඔවුන්ගේ ජනගහනයයි. යුරෝපයේ මෙන්ම ආසියාවේ රටවල් බොහෝමයක වයස් ගත ජනගහනය වැඩි වනවිට ඉන්දියාවේ පමණක් තරුණ ජනගහනය වැඩිවෙමින් තිබේ. ආසියාව පමණක් ගත් විට ඉන්දියාවේ  මධ්‍ය වයස අවුරුදු 27කි. වසර 2050 වනවිට ඉන්දියාවේ ශ්‍රම බලකාය හෙවත් වැඩ කළ හැකි ජනගහනය බිලියනය ඉක්මවා යනු ඇතැයි පැවසේ. ඉදිරි වසරවලදී ඉන්දියාවේ ජනගහනය චීනයේ ජනගහනය ඉක්මවා යනු ඇතැයි ද පැවසේ. රටින් රටට මධ්‍ය වයස ගත්විය චීනයේ එය සියයට 37ක අගයක් ගන්නා අතර ජපානයේ එම අගය සියයට 47කි. 

රටක ජනගහනය යනු එම රටේ ප්‍රධානතම සම්පතයි. එම ජනගහනයෙන් ද වැඩ කළ හැකි ජනතාව වැඩි වීම යනු තවත් සුවිශේෂී වාසියකි. වැඩ කළ හැකි ජනගහනයෙන් වැඩි දෙනා තරුණ තරුණියන් වීමත් ඊටත් වඩා සුවිශේෂීය.

එකල ඉන්දීය සමාජය ගැන මාර්ටින් වික්‍රමසිංහයන් 1942.02.03 වැනිදා ‘මයුරපාද’ නමින් සිළුමිණ පුවත්පතට ලිපියක් සපයා ඇත. ‘කුලවාදය නිසා ඉන්දියාවේ ශාස්ත්‍ර පිරිහුණු සැටි’ යනුවෙන් එම ලිපිය ශීර්ෂ යොදා තිබේ.
එහි එක් තැනක මෙසේ සඳහන් වේ.

“භෞතික විද්‍යාවන් දියුණු කරනු සඳහා වැර වෑයම් ගත් කළ පැරැණි ජාතීන් අතර ග්‍රීකයෝ ප්‍රමුඛස්ථානය ගත්හ; ඒ පැරැණි ග්‍රීකයන්ගේ සභ්‍යත්වය හිමි වූයේ බටහිර ජනයාට ය. එහෙයින් ග්‍රීකයන් විසින් පාදා දෙන මඟ ගත් ඔවුහු, භෞතික විද්‍යාවන් දියුණු කිරීමෙන් පෙරදිග ලෝකය මඬින තරම් බලසම්පන්නයෝ වූහ” යනුවෙනි.

එම ලිපියේම ඊට පහළින් වික්‍රමසිංහයන් මෙසේ ලියා ඇත. 

“ඉන්දියාවේ මහජනකායට සම කරන විට ඉංගිරිසීන්ගේ ගණන අතේ ඇඟිලිවලින් ගිණිය යුතු තරම් අල්ප යයි කිව යුතු ය. එවැනි අතළොස්සකට, ඉන්දියාව වැනි මහා රටක ජනකාය මැඩගෙන පාලනය කළ හැකි වූයේ, ඔවුන්ගේ භෞතික විද්‍යඥානය නිසාය. යුරෝපයන්ගේ දාසයන් වී සිටින ඉන්දියාවේ ජනයා අතර, ධර්මයත් අධ්‍යාත්මික විද්‍යාවනුත් ගැන පුරසාරම් දොඩන්නෝ බහුල වෙති. ඒ දෙඩීම වූ කලී ‘අරූප ස්ත්‍රියගේ පතිවත’ වැනීම වැන්නැයි යන ප්‍රස්තාව පිරුළ සිහිකර වන්නකි. ඉංගිරිසීන්ගේ දාසයන් වී සිටීම ශ්‍රේෂ්ඨ අතීතයක් ඇති භාරතීයන්ගේ ලවත් ලැජ්ජාවට කරුණකි”. 



මේ ලිපිය අදටත් ගැලපෙන අතර වඩාත් සුදුසු වන්නේ ඉන්දියාවට නොව අපටය. කොතරම් අර්බුද මධ්‍යයේ වුවද ඉන්දියාව ආර්ථික වර්ධනයක් අත්පත් කරගනිමින් ඉදිරියට යමින් සිටි. පසුගිය වසරේ දී ඉන්දියාවේ ආර්ථික වර්ධන වේගය සියයට 7.3 ත් 7.4ත් අගයක පවතිනු ඇතැයි අපේක්ෂා කළ අතර මේ වසරේදී ඉන්දියාවේ ආර්ථිකය සියයට 7.4කින් වර්ධනය වනු ඇතැයි අපේක්ෂිතය. වසර 2030 වනවිට ඉන්දියාවේ ආර්ථිකය ඇමෙරිකාව අභිබවමින් චීනයට පමණක් දෙවැනි වෙමින් ලොව දෙවැනි විශාලතම ආර්ථිකය වනු ඇතැයි අනාවැකි පළ වී තිබේ.

ලිපිය කියැවීමේදී වර්තමානයේ දී අප දෙස බැලීමේදී අපි ආගම් ගැන පුරසාරම් දොඩවුම. ඉතිහාසය ගැන පුරසාරම් දොඩවන්නෙමු. බොහෝ දේ ගැන පුරසාරම් දොඩවන අතරේම ඉතිහාසය, ආගම, ජාතිය, බෙදීම, මිත්‍යාව යනාදී බොහෝමයක් වහලුන් බවට පත්ව සිටිමු. ඉතිහාසයේ, ආගම්, ජාතීන් යනාදී තම තමන්ගේ පෞද්ගලික හා පොදු අනන්‍යතා පිළිබඳ වැරැදි වැටහීම් සහ නොදැනුවත්කම් නිසාම ඒවායේ වහලුන් බවට පත්ව සිටිමු.



ඉන්දියාවේ කුල ප්‍රශ්නය නිසා එරට ශාස්ත්‍ර කොතරම් පිරිහුණේ ද බෙදීම, නොදැනුවත්කම, අලසකම, කුහකකම, මිත්‍යාව, විද්‍යාව බැහැර කිරීම, අනවබෝධය, නොතේරුම් ගැනීම, බොරු ඇදහිලි , මෝඩ හා අනුවණකම් යනාදිය නිසා ම මේ රට පිරිහෙමින් පවතී. 


ඡායාරූප රොයිටර් 
https://pictures.reuters.com/C.aspx?VP3=CMS3&VF=RTRRTT_1_VForm


Sunday, February 10, 2019

හිතන්නේ නැති මිනිස්සු

ගෙවීගිය දින කිහිපයේම මාර්ටින් වික්‍රමසිංහයන්ගේ පොත් පත් හා ඔහු ලියූ ලිපි ඇසුරින් සකස් කරන ලද පොත් පත් කිහිපයක්ම අතරින් පතර කියවූයෙමි. එම පතපොත කියවීමේදී වඩාත් සිත් ගන්නේ ඔහුගේ බස් වහරයි. බස වැනුමේ නම් හේ හරි අපූරූ සමතෙකි. කොයි කෙසේ වෙතත් ඔහු ලියන දෑ කියවීමේදී එකල සමාජය පිළිබඳ යම් අවබෝධයක් මිනිසුන්ගේ සිතුම් පැතුම් කන බොන විදි ආදී නොයෙක දෑ ගැන යම් අවබෝධයක් අප සතු වන්නේ කිසිදු වෑයමකින් තොරවය. මෙය එකල සිටි අනෙකුත් ලේඛකයන් හා සැසඳීමේදී කොතරම් දුරට සත්‍යයක් ද සහ අනෙකුත් ලේඛකයන්ගේ ලියුම්වලින් ඒ බව සනාථ වන්නේ ද යන්න විමසා බැලිය හැක්කේය. සේකරයන්ගේ කවි සිංදු ගීත යනාදි ලිවීම් දෙස බැලීමේදී නම් ඒ බව සත්‍යයක් යැයි මට හැඟේ.
ඉතිං මේ සියල්ල දෙස බැලීමේදී එදත් අදත් අතර වෙනසක් නැති බව නම් සක්සුදක් සේ පැහැදිලි වේ. එකල ජනතාවි සිතූ ආකාරයත් ඒ පාලකයන් බොහෝමයක් ඉතාම සුළු පිරිසක් හැර අනෙක් අය තීන්දු තීරණ ගත් ආකාරයත් අතර මහ ලොකු වෙනසක් දක්නට නැත. මිනිසුන් සිතන පතන ආකාරවල වෙනස් සිදු වී නැත්තේම නැති වුවත් එය මහ ලොකු වෙනසක් යැයි කිව හැකි සාක්ෂ්‍ය අප සතුව නැත. ඉතිං වෙනස් විදියට සිතන මිනිසුන් නැතිව අපට ඉදිරි ගමනක් තිබේ ද යන ගැටලුව නිරන්තරයෙන් අප හමුවට පැමිණෙන්නේය. 


ඡායාරූපය සන්ඩේ ඔබ්සවර්

Tuesday, February 5, 2019

සූකර අවුරුද්ද

චීන අලුත් අවුරුද්ද, එහෙමත් නැතිනම් චීනයේ වසත් උත්සවය අදට යෙදී තිබේ. චන්ද්‍ර මාසය ක්‍රමය පදනම් කරගනිමින් චීනය නව වසර සමරයි. එයට පදනම් වන්නේ චන්ද්‍ර මාස ක්‍රමය සහිත සාම්ප්‍රදායික දින දර්ශනයයි. චීන වැසියන් මීට නව අවුරුද්ද යැයි නොකියන අතර ඔවුන් එය හඳුන්වන්නේ වසන්ත උත්සවය නමිනි. එසේත් නැතිනම් චන්ද්‍ර අලුත් අවුරුද්ද වශයෙනි. චීනයේ සාම්ප්‍රදායික දින දර්ශනය පදනම් කරගෙන සකසා ගන්නා ලද රාශී චක්‍රයක් තිබේ. ඊට අනුව මේ වසර සූකරයාගේ වසර යනුවෙන් නම් කර තිබේ. චීන රාශී චක්‍රය සතුන් 12 දෙනකුගෙන් සමන්විතය.




ඡායාරූප රොයිටර්


Sunday, February 3, 2019

එහෙනං සුබ නිදහස් දිනයක් වේවා.

නිදහසින් පසු රටට අත්වී තිබෙන ඉරණම ගැන දෛනිකව පැයෙන් පැයට විනාඩියෙන් විනාඩියට ලියන්නට බොහෝ දේ අප සතුව. අප නිදහස සමරන්නේ ජාතික දිනය ද, නිදහස් දිනය ද, එසේත් නැතිනම් ජාතික නිදහස් දිනය ද තෝරාගන්නට බැරි මොහොතකය. අපි 71 වැනි නිදහස සමරන්නේ මෙය සැබෑ නිදහස ද නැතිනම් බි‍්‍රතාන්‍ය පාලනයෙන් නිදහස් වීමේ අර්ධ නිදහස ද යන ප්‍රශ්නය ඇතිවය. වසර 30කට ආසන්න කාලයක් එම ප්‍රශ්නය අප හමුවේ තිබිණි. 

අපි ශ්‍රී ලංකාව බවට පත්වන්නේ 1972 දීය. සිලෝන් නම අත්හරිමින් ශ්‍රී ලංකා ජනරජය බිහිවන්නේ 1972 දීය. 72 මැයි මාසය වන තෙක්ම අපේ රටේ රාජ්‍ය නායකයා වූයේ බි‍්‍රතාන්‍ය කිරීටයයි. සිරිමාවෝ බණ්ඩාරනායක හිටපු අගමැතිනියගේ කාලයේදී එනම් 72 දී ගෙනෙන ව්‍යවස්ථාව සංශෝධනය කරමින් ජේ.ආර්.ජයවර්ධන 77/78 දී විධායක ජනාධිපති ධුරය නිර්මාණය කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපතිවරයා බවට පත්වන්නේය.

48 න් පසු ඉතිහාසයේ වැදගත් සිදුවීම් කිහිපයක් එසේ සිහිපත් කරන අතරවාරයේම මේ රට ලේ විලක් කළ බොහෝ සිදුවීම් අමතක නොකළ යුතුය. 71 කැරැල්ල, 88 කැරැල්ල, එල්.ටී.ටී.ඊ. සංවිධානය හා තිස් වසරක සිවිල් යුද්ධය, බලය පැහැර ගැනීමේ කුමන්ත්‍රණ, සිංහල මුස්ලිම් කෝලහල යනාදි ලැයිස්තුවක් කිව හැකි ඉතිහාසයක් අප සතුය.
එහෙත් නිදහසින් පසු අප අත්පත් කරගෙන ඇත්තේ මොනවාද ? පාරේ බුලත් කෙළ ගැසීම, පාරේ කුණු දැමීමේ සිට මිග් යානා ගනුදෙනු, මහ බැංකු බැඳුම්කර වංචා යනාදි බෙහෝමයක් අපට ලියන්නට කියන්නට හැකිය. හැමදාමත් ඉතිහාසය ගැන අතිශයෝකිත්තියෙන් කියනවා විනා අපට සැබෑවටම දෙයක් තිබේ ද ?

අපට අපේකම අමතකව ගොස් තිබේ. ජාත්‍යන්තර අලුත් වෙද්දි අපි අපේ දේවල් මොනවාද දන්නේ නැතිව අවුල් වියවුල් කරගත් අසංස්කෘතික සංස්කෘතියක පැටලී සිටිමු. බි්‍රතාන්‍ය පාලනය සමයත් ඉන් පෙර පැවැති විදේශීය පාලන සහ නිදහසින් පසු ගත වූ කාලයේදීත් අපි අපේ දේවල් මෙන්ම අලුත් බොහෝමයක් දේ අමතක කර විසංස්කෘතියක එල්බ ගෙන සිටිමු.

වික්ටෝරියානු සදාචාරය ඉන් එකකි. අපි ගෙවනුයේ අපටවත් අයිති නැති ජීවන රටකි. අප නඩත්තු කරනුයේ අපේත් නොවන රටේ ලෝකයේත් නැති අමුතුම අමුතු විසම ජීවන රටාවකි. පාලන ක්‍රමයකි. අපි අපේ ක්‍රමය දන්නේ ද නැත. අනුන්ගේ ක්‍රමය හරියට කොපි කරද නැත. එහෙත් කොහේවටත් නැති විසම විකෘතියකි ජීවත් වන්නෙමු. 

මාර්ටින් වික්‍රමසිංහ 1971 දී පැරැණි ලිපියක් ගැන මා මීට පෙර ද සඳහන් තැබුවේ මේ රට හදන්නට බැරි බව කියමිනි. මේ රට හදන්නට බැරුවා සේම මේ රටට හැදෙන්නට ද වුවමානවක් නැත. රටේ ජනතාවට වෙනස් වෙන්නට වුවමනාවක් නැත.

උදාහරණ පසුගිය මාස දෙක තුනෙන්ම ගත හැකිය. මීට මාස කිහිපයකට පෙර ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ මහත් උනන්දුවෙන් කතා කළ බොහෝ දෙනකුට ප්‍රජාතන්ත්‍රවාදය දැන් අමතකව ගොස් තිබේ. එදා පක්ෂ පාටවල බෙදුණු අය අද ඔවුනොවුන්ගේ වැඩවලය. ඔය අතරවාරයේදී ඉන්ධන මිල ගණන් අඩු වූයේය. ඊට පෙර ඉන්ධන මිල ගණන් අඩු වූ අවස්ථාවල බස් ගාස්තු හා ත්‍රී රෝද ගාස්තු ඉහළ ගියත් පසුගිය මාස හතරක කාලයේදී සිවු වතාවකදී (පෙබරවාරි මාසය නොමැතිව) ඉන්ධන මිල ගණන් අඩු විය. එහෙත් කිසිදු හා හෝවාක් නැත. රෑට එකට බජව් දාන දේශපාලකයන් වෙනුවෙන් පිල් බෙදාගත් පාට පක්ෂවල බෙදුණු ලාංකිකයෝ තමන්ගේ අයිතිවාසිකම් දිනාගන්නට එකතු වන්නේ නැත. ලාංකිකයන්ට පොදු සතුරන් අවශ්‍යය. එහෙත් එයත් තමන් කැමැති දේශපාලන නායකයන් යටතේ පමණි.

ලාංකිකයෝ උදයට රස්සාවට එන්නේ තෙරපීය. හවසට ගෙදර යන්නේ ඊටත් වඩා තෙරපිලාය. මහා මාර්ගවල වරු ගණන් පැය ගණන් ගත කරති. රෝහල්වල හරියට බෙහෙත් නැත. පාරවල් කැඩිලාය. මොකක් හෝ වාසනවකට අධ්‍යාපන හා සෞඛ්‍ය දර්ශකවල අපි ඉහළින් සිටින්නෙමු. එහෙම වුවත් අපේ සියල්ල අවුල්ය. වියවුල්ය. පාර තොටේ කුණුය. අධ්‍යාපන සම්පූර්ණයෙන් අවුල්ය. සියල්ල අවුල් රටේ ක්‍රිකට් විතරක් කලක් හොඳින් තිබුණත් දැන් එයත් අවුල්ය. ක්‍රිකට් ටීම් එකක් නැති ගාණය. දරුවෝ දෙපාරක් ඉගෙන ගනිති. උදයට පාසල් යති. හවසට ටියුෂන් යති. අපේ අධ්‍යාපන ක්‍රමය එසේය. බස්වල සීට්වල එකෙක්ට ඉඳගන්නත් බැරිය. ත්‍රීවිල් යන්න බැරිය. එක එක දිනට එක එක ගණන්ය. මීටර් ටැක්සියේ එක ගාණක් ද නිකං එකේ ඊට දෙගුණයක් ද අය කරයි. හැම තැනම මාෆියාවය.

ස්වයංපෝෂිත යැයි කියන රට කෘෂිකර්මාන්තයම අවුල්ය. ගෙනෙන තරමක් ගේන්නේ පිටරටින්ය. රට වටේටම මුහුද තිබුණත් මාළුත් ගෙනෙන්නේය. කන්න දෙයක් නැත, හැම එකේම වසය.
ලියන්නට නං නිමක් නොමැතිය. නිදහසින් පසු රට හැත්තෑ එක් අවුරුද්දකින් වයසට ගිහිල්ලාය. ඇය මහළුය. එහෙත් ඇගේ වයස දැන් දෙගුණ තෙගුණ වී පෙනේය. ගැබ්බරය. එහෙත් රටේ දුදන පාලකයෝ ඇය හා සංවාසයේ. දරුවෝ නිදිය. එදාවේල ටුවර්ස් යන දරුවෝ වෙන කුමක් කරන්න ද? දැන් දැන් බොහෝ රට පනිති. රට යති. සංක්‍රමණය වෙති. අපට නිදහසක් තිබේ ද ?



අපට අපේ වරාය ටිකවත් කරගන්නට බැරිය. මහින්ද මැතිඳුන්ටත් බැරිය. රනිල් හාමුටත් බැරිය. තට්ටු මාරු ක්‍රමය කියන ජවිපෙටත් බැරිය. ඔක්කොම කයිවාරු හෝ බොරු පමණි. මේ රටේ පන්ත තුනකි. පාලක පැළැන්තිය හා ඔවුන්ගේ ගජ මිතුරු හවුලය. දුක් විඳින නිදන කිසිදු හැඟීමක් නැති කම්මැලි කුහක බෙදුණු අපිය. ඉතිරිය එක් පාදයක් ඒ පැත්තටත් අනෙක් පාදය මේ පැත්තටත් තබා සිටින්නෝය.

නිදහස සමරන අපි නිදහස් ද ? කන්න නිදහසක් නැත, බොන්න නිදහසක් නැති, කියන්නට ලියන්නට කතා කරන්නට නිදහස් නැති අඩු ම තරමේ සංවාසයටත් නීති පනවන රටකි. හාදු දීම මහා පාපකර්මය යැයි සලකන මහ දවල් වෙඩි තැබීම්, කඩුවලින් කැපීම් යනාදි ලේ සෙලවීම් මහා වීරත්වය යැයි සලකන රටකි.

එහෙනං සුබ නිදහස් දිනයක් වේවා.
2019.01.03

ඡායාරූප ෂෙහාන් ගුණසේකරගෙනි
https://www.facebook.com/sheh1173/

Thursday, January 31, 2019


පත්තර රස්සාව මා වඩාත් ප්‍රිය කරන වෘත්තීන්වලින් එකකි. තාත්තාගේ ඡායාරූප ශිල්පයත්, කුඩා කළ සිට ඡායාරූප ශිල්පීන්, පත්තරකරුවන්, සිංදු කියන්නන් ආදී නොයෙක කලාකරුවන් ඇස ගැටීම් ඇසුර නිසාම මා ලියන්නට හුරු පුරුදු විය. ඒවා කොතරම් පිරිසක් කියවනවාද නැද්ද කියන්න මා දන්නේ නැත. කියවන අය මා අඩු පාඩු ගුණ දොස් කියා ඇත. පත්තර කලාවටත් වඩා මට වඩාත් සමීප වූයේ ඡායාරූප ශිල්පයය. එයිනුත් වඩාත්ම හුරු පුරුදු මතක පුද්ගලයා ලෑල් හෑගොඩය. මා කලෙකින් ඔහු දැක නැත. කුඩා කාලයේ ඔහු දැක අඳුරු ඡායා මනසේ ඇත. බම්බලපිටියේ ෆොටෝක්‍රෝම් එක මට කොළඹ ගැන කුඩා කාලයේ ඇති සුන්දරම මතකයන්ගෙන් එකකි.
ඔය කෙසේ වෙතත් මා කියන්නට සැරසුණේ වෙනත් කතාවකි. පත්තර රස්සාව ආරම්භ කළ මුල් කාලයේ දී පමණක් නොව කුඩා කාලයේදීත් මා සිත්ගත් චරිතවලින් එකක් වූයේ මාර්ටින් වික්‍රමසිංහය. එයින්ද පත්තර රස්සාව ආරම්භ කළ කාලයේ පාසලේ ජ්‍යෙෂ්ඨයකු වූ පාසල් කාලයේදී අපට දිරවන්නෙම නැති චරිතයක් වූ ගායන් Gayan Madushanka සමඟ එහෙ මෙහෙ ඇවිදින්නට ලැබිණි. ඔහු ඒ කාලයේ කැලණි විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටියේය. දැන් ඔහු කැලණියේ කථිකාචාර්යවරයෙකි. ඔහු මට ඒ කාලයේදී මාර්ටින වික්‍රමසිංහ පත්තර රස්සාව ගැන කියූ කතා කියවීය. ඒවා හරි සුන්දරය. ඉකුත් සැප්තැම්බරයේදී මාර්ටින් වික්‍රමසිංහයන්ගේ පොත් කීපයක්ම මිලදී ගත්තේය. වෙනත් වැඩකට වික්‍රමසිංහයන්ගේම පොත් කීපයක් සොයමින් සිටියදී මිලදී ගත් එහෙත් මට කියවන්නට නොලැබුණු පොතක් හමුවිණි. ඒ පොත කියවන්නට ආරම්භ කළේ ඔහුගේ අපූර්ව බාසාව ගැන මහත් තෘප්තියක්ද ඇති කරගනිමිනි. එය මා විසින් ඇති කරගනු ලැබුවක් නොව ඔහුගේ බාසා රටාව නිසා ඇති වුණු තෘප්තියකි.
කොහොම වුණත් අපට මේ රට හදන්නට බැරි බව නම් සක්සුදක් සේ පැහැදිලිය. මාර්ටින් වික්‍රමසිංහ ඒ කාලයේ ලංකාව ගැන ලියා තිබෙන දේවල් ගැන බලද්දි නිදහසින් අවුරුදු 71 ක් ගෙවී තිබියදීත් අප ඉන්නා තැන සහ සිටි තැන බලද්දි රට හදන්නට බැරි බව නම් පැහැදිලිය. එහෙත් එසේ නොවී රට හැදෙනවා නම් කැමැති වුවත් එය බොහෝ දුර ඈතක තිබෙන සිහිනයක් බව පැහැදිලිය. වික්‍රමසිංහයන් 1971 වසරේදී පැරැණි ලංකාදීපයට හරි අපූරු ලිපියක් ලියා තිබේ. එහි හෙඩිම ‘ස්වාධීන ඉන්දියාව සහ අනුකාරක ලංකාව’ යනුවෙනි. අපි ඇල්පෙනිත්තක් නොනිපදවන රටකි. එදත් එසේය. අදත් එසේය. හෙටවත් වෙනසක් වේවිද ?

ඡායාරූපය - දේශය පුවත්පත





Wednesday, January 30, 2019

ක්‍රිකට්

ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ලසිත් මාලිංග හා ඇන්ජෙලෝ මැතිව්ස් හමු වූ බව කියමින් ඡායාරූප දෙකක් පළ කර තිබිණි. ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් තත්ත්වය ගැන සාකච්ඡා කළ බව ද කියා තිබිණි. ඒ අතරවාරයේදී තිසර පෙරේරා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියාට ලිපියක් ද ලියා ඇත.
තිසර පෙරේරා නොකියා කියන්නේ ලසිත් මාලිංග සමඟ කරන්නට බැරි බවය. ක්‍රීඩා අමාත්‍යවරයා යමක් කළ හැකි දේශපාලනඥයකු ලෙස නමක් දිනාගත්තෙකි. මේ ඔහුට චරිත සහතිකයක් නොවන අතර ලංකාවේ දේශපාලනඥයන් සම්බන්ධයෙන් අපට චරිත සහතිකදෙන්නට බැරි බව ද නොරහසකි. එහෙත් පසුගිය වසර කිහිපයේ දේශපාලන ක්ෂේත්‍රය දෙස බැලීමේදී හරීන් ප්‍රනාන්දු යනු ප්‍රගතියක් පෙන්නුම් කළ අයෙකි. එහෙත් හැමෝගේම කිල්ලෝටවල හුණු තිබෙන බව අමතක නොකළ යුතුයි.
හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා ඡායාරූප දෙකක් පළ කර තිබේ. ඔහු ලසිත් මාලිංග හා මැතිව්ස් හමු වූයේ එකම වේලාවේද යන්න නොදනී. කෙසේ නමුත් වැඬේ වැරැදිය. අප කවුරුවත් දන්නා පරිදි පසුගිය වසර දෙක තුනක කාලයේදී අපට හරි කණ්ඩායමක් නොතිබිණි. දක්ෂ ක්‍රීඩකයන් රැසක් සිටියත් අපට කණ්ඩායමක් නැත. කණ්ඩායම් හැගීමෙන් ක්‍රීඩා කරන 11ක් නැත. එය පිටියේදීත් පිටියෙන් පිටතදීත් බොහෝ අවස්ථාවලදීත් දැකගන්නට මෙන්ම දැනගන්නට ද ලැබිණි.
මීට දින කිහිපයකට කලින් රාජකාරි කටයුත්තකට ගිය අවස්ථාවකදී එහි සේවකයන් සමඟ කතාකරන්නට ලැබිණි. ශ්‍රී ලංකා කණ්ඩායම සංචාරයක් සඳහා ගිය විට ක්‍රීඩකයන් සංචාරය නිම වී පැමිණෙන්නේ වෙන වෙන යැයි එහි සේවකයෝ අපි සමඟ කීහ.
“ඉස්සර නං එහෙම නෑ. ටීම් එක එකට ගියාම එන්නේ එකට. ඒකට දැන්. කට්ටිය එකට ගියාට එන්නේ වෙන වෙනම. ඔහොම කොහොමද මැච් දිනන්නේ. ඉස්සර නං හරි ලස්සනයි. කට්ටිය මැච් දින්නත් පැරැදුණත් ගියේ එකට. ආවේ එකට. හරි ලස්සනයි. එළියේදී ඔහොම නං ග්‍රවුන්ඞ් එකෙත් ඔහොම ඇති” ඔවුහු කීහ. ඔවුන්ගේ කතාවල වරදක් නැත.
අපට දක්ෂයන් සිටියත් බොහෝ අවස්ථාවලදී කණ්ඩායමක් ලෙස ක්‍රීඩා නොකිරීම තරග පරාජයට ප්‍රධාන හේත-ුවක් විය. එවැනි අවස්ථාවකදී ක්‍රීඩා අමාත්‍යවරයා වෙන වෙනම කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් දෙදෙනකු හමු වීම නොකළ යුතුව තිබුණකි. ක්‍රිකට් කණ්ඩායමේ සියලු දෙනා හමු වී එකට කතා කළා නං මීට වඩා හොඳය.


අමතර කතාවකි. සනත් අර පොඩි සෙට් එකට ඇඞ්වයිස් කරන එක මරු. අන්න කෝච්ලා. නැලවිලි නෑ.




ඡායාරූප අමාත්‍ය හරීන් ප්‍රනාන්දුගේ ට්විටර් ගිණුමෙන්

Sunday, January 27, 2019

දේශපාලන ධ්‍රැවීකරණය හා මාධ්‍යයේ හුරුපුරුදු

පළමු කොටස


විවිධ පාර්ශව පුවත් ලබාගැනීමේදී නරඹන නාලිකා, කියවන පුවත්පත් , බලන හා සැරිසරන වෙබ් අඩවි එකින් එකට වෙනස් වේ. ස්වාධීන යැයි කිව නොහැකි හෝ එසේ බලාපොරොත්තු විය නොහැකි තත්ත්වලදී මාධ්‍යයේ හැසිරීම මෙන්ම එවැනි අවස්ථාවලදී මාධ්‍ය ඒකපාර්ශවීය වීම නොවැළැක්විය හැකි තත්ත්වයකි. දේශපාලනමය වශයෙන් ධ්‍රැවීකරණය වූ තත්ත්වයකදී එසේත් නැතිනම් එක් පාර්ශවයක්, එක් දේශපාලන පක්ෂයක්, කණ්ඩායමක් හෝ මතවාදයක් හෝ ශක්තිමත් වූ අවස්ථාවකදී ද එවැනි දෑ සිදුවේ. එවැනි සිදුවීම් අපට පසුගිය සමයේදී දක්නට ලැබිණි.
වර්තාමන දේශපාලන වාතාවරණය තුළ ශ්‍රී ලංකාවේ මෙන්ම ඇමෙරිකා එක්සත් ජනපදයෙත් තවත් බොහෝ රටවලත් මෙම දේශපාලන ධ්‍රැවීකරණය හෙවත් දේශපාලන වශයෙන් දෙකඩ වීම දක්නට ලැබේ. මත එනම් දේශපාලන ධ්‍රැවීකරණය (දෙකඩ වීම ( Polarization) (මතවාදී පරස්පර බව)) තුළ මාධ්‍යයේ හැසිරීම විශේෂයෙන් අවධාරණය කළ යුත්තකි. ඇමෙරිකා එක්සත් ජනපදයේ ‘පිව්’ ( Pew Research Center ) පර්යේෂණ මධ්‍යස්ථානය 2014 වසරේදී අධ්‍යයනයක් සිදු කර තිබිණි. දේශපාලන ධ්‍රැවීකරණය සහ මාධ්‍යයේ හුරුපුරුදු යනුවෙන් එය නම් කර තිබිණි. මේ එහි පරිවර්තනයයි.
......
දේශපාලනය සහ ආණ්ඩුව සම්බන්ධයෙන් පුවත් ලබාගැනීමේදී නිදහස් සහ මධ්‍යස්ථ සහ කන්සර්වේටිව් පිරිස් ජීවත් වන්නේ ලෝක දෙකකය. පුවත් ලබාගැනීමේදී සහ ඔවුන්ගේ විශ්වාසය අනුව එම පුවත් මූලාශ්‍රවල සුළු සමානකම් දැකිය හැකිය. අන්තර්ජාලය තුළ දී හෝ මිතුරන් සමඟ දේශපාලනය සාකච්ඡා කිරීමේදී තමන් හා සමාන අදහස් දරන එසේත් නැතිනම් එකම තත්ත්වයක සිටින එකම මතවාදයක් දරන පිරිස් සමඟ එසේ දේශපාලනය සාකච්ඡා කිරීමට කැමැති බව මෙම අධ්‍යයනයෙන් පෙනී ගොස් ඇත.
ඇමෙරිකා එක්සත් ජනපදයේ දේශපාලන ධ්‍රැවීකරණය පාර්ශව දෙකකට කැඩීම සම්බන්ධයෙන් කරන ලද මෙම අධ්‍යයනය සම්පූර්ණ වසරක් මුළුල්ලේ කරන ලද ව්‍යාපෘතියකි. මෙහිදි ජනතාව ආණ්ඩුව සහ දේශපාලනය පිළිබඳ තොරතුරු ලබාගන්නා විවිධ ක්‍රම තුනක් සම්බන්ධයෙන් මෙහිදි අවධානය යොමු කර තිබේ. පුවත් මාධ්‍ය, සමාජ මාධ්‍ය සහ මිනිසුන් තම මිතුරන් සහ පවුලේ උදවිය/සාමාජිකයන් සමඟ දේශපාලනය පිළිබඳ කතාබහ කිරීම යනාදිය එම ක්‍රමවේද තුනයි.
මෙම සෑම ක්‍රමවේදයකදීම වම සහ දකුණ පිළිබඳව වෙනස් නොවන මතවාදයක් තිබෙන සියලු දෙනාගේ පුවත් මූලාශ්‍ර විවිධ හා මිශ්‍ර දේශපාලන මතවාද තිබෙන අයගේ පුවත් මූලාශ්‍රවලට වඩා වෙනස් බව අධ්‍යයනයේදී අනාවරණය වී තිබේ. එමෙන්ම ඔවුනොවුන් අතර පරතරය ද වැඩිය.
මෙම බෙදීම්/කොටස්වලට කැඩී යෑම් එක දෙක කළ හැකිය. එසේත් නැතිනම් වැඩිකොට දැක්විය හැකිය. වර්තමානයේදී ඇමෙරිකාව තුළ මතවාදී බුබුළක ජීවත්විය නොහැකි බව ද පෙන්වා දී තිබේ. බොහෝ ඇමෙරිකානුවන් බොහෝමයක් විවිධ පුවත් මූලාශ්‍ර මත යැපෙති. දේශපාලන පුවත් ලබාගැනීමේදී එය ප්‍රේක්ෂක/පාඨක/ශ්‍රාවක පිරිස් අනුව වෙනස් වේ. ඇමෙරිකා එක්සත් ජනපදයේ මධ්‍යස්ථ මතධාරීන් සහ නිදහස් මතධාරීන් දෛනිකව සවන් දෙන්නේ හෝ ඔවුන්ට ඇසෙන්නේ පරප්පර දේශාපලන මත බව ද මෙම අධ්‍යයනයෙන් සොයාගෙන තිබේ.

ඡායාරූපය - අන්තර්ජාලයෙනි





Friday, January 18, 2019

විපක්ෂය හා රැවටීම

දෙමළ ජාතික සන්ධානය විපක්ෂයේ කාර්යභාරය ඉටු නොකළ බව අමුතුවෙන් කිව යුතු නැත. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරය දැරූ සමයේදී එක්සත් ජාතික පක්ෂය හැසිරුණේ ද ඒ ආකාරයෙනි. 2015 වසරෙන් පසු මෙරට සැබෑවට විපක්ෂයක් නොවුණු බව පැහැදිලිය.  

අද ද එහි වෙනසක් නැත. විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් ජනාධිපතිවරයා සමඟ නිල සංචාරවල නිරත වීමෙන් ඒ බව හොඳින්ම පැහැදිලි වේ. ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධයෙන් විවේචන තිබුණ ද පසුගිය සමයේදී විපක්ෂයට පාර්ලිමේන්තුවට මෙන්ම පාර්ලිමේන්තුවට වියදම් වන ජනතාවගේ බදු මුදල්වලට වටිනාකම් දුන් පිරිසට ජනතා විමුක්ති පෙරමුණේ මන්ත‍්‍රීවරුන්ට යම් ඇගයීමක් හිමිවිය යුතුය. විශේෂයෙන්ම සුනිල් හඳුන්නෙත්ති මහතාගේ කාර්යභාරය ඇගයිය යුතුය. එහෙත් ඔහු ජනතාව අතින් පරාජයට පත්වූවෙකි. ඒ මේ රටේ තත්ත්වයයි.

මහින්ද රාජපක්ෂ මහතා පසුගිය වසරේ නොවැම්බර් මස 12 වැනිදා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ සාමාජිකත්වය ගත්තේය. ඔහු පමණක් නොව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ බොහෝ පිරිසක් එලෙස පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ගත්හ. එහෙත් එසේ නොවන බවට ‘අසත්‍යයක්’ සමාජ ගත වී තිබේ.

පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක ධුරය පිළිබඳ අර්බුදය පැමිණි අවස්ථාවේදී මහින්ද රාජපක්ෂ මහතා ද අනෙක් පිරිස ද ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් නොවූ බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්වරයා පවා කියා සිටියේය. ජනාධිපතිවරයාගේ පක්ෂයෙන්ම විපක්ෂ නායකවරයා පත්ව තිබේ. පසුගිය සමයේදී ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ කතා කළ එක්සත් ජාතික පක්ෂය ඇතුළු බොහෝ දෙනා මෙම කරුණේදී නිහඬ ප‍්‍රතිපත්තියක් අනුගමනය කළ අතර අවසානයේදී මහින්ද රාජපක්ෂ මහතාට විපක්ෂ නායක ධුරය හිමිවිය.
පසුගිය මසක කාලයේදී තහනම් වචනය බවට පත්ව තිබූ ‘පොහොට්ටුව’ එසේත් නැතිනම් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නැවත වරක් දේශපාලන පිටියේ කරළියට පැමිණ තිබේ.

මහින්ද රාජපක්ෂ පාලන සමයට වඩා දැන් වඩාත් සමීප සමය වන්නේ 2015න් පසු කාලයයි. මෛත‍්‍රීපාල සිරිසේන මහතා බලයට පත්වූයේ 2015 ජනවාරි 8 වැනිදාය. එතැන් පටන් මෛත‍්‍රීපාල සිරිසේන මහතා මෙන්ම රනිල් වික‍්‍රමසිංහ මහතා ද තමන්ට ජනතාවගෙන් ලැබුණු ජනවරම අවබෝධ නොකරගත්හ. ඔවුහු ජනතාවට දුන් බොහෝ පොරොන්දු අමතක කළහ. අමතකව ගිය ලෙස හැසිරුණහ. දැනටත් එසේ කරමින් සිටිති.
පසුගිය සිවුවසරක කාලයේදී මෛත‍්‍රීපාල සිරිසේන, මහින්ද රාජපක්ෂ, රනිල් වික‍්‍රමසිංහ අනෙක් සියලූ දෙනා ද ඔවුන්ගේ කණ්ඩායම් ද බොරු සමාජ ගත කරමින් ජනතාව මුලා කරමින් සිටිති.

පොහොට්ටුවේ ප‍්‍රශ්නය බොරු සමාජ ගත කිරීමේ තවත් එක් තැනකි. 

රටේ ජනතාවගෙන් වැඩි දෙනා එදා වේල ටුවරස් තත්ත්වයක් තිබීමත්, ඔවුන්ගේ පුවත් මූලාශ‍්‍ර මහින්ද රාජපක්ෂ, මෛතී‍්‍රපාල සිරිසේන, රනිල් වික‍්‍රමසිංහ, අනුර කුමාර දිසානායක, විමල වීරවංශ, සුමන්තිරන්, සම්බන්ධන්, ගම්මන්පිල සහ විග්නේෂ්වරන් වීමත් නිසා මේ රට මේ අගාධයෙන් ගොඩගැනීම පහසු වේ.
ඉහත කී දෙනාටම දේශපාලනයේ නිරත විය හැකිය. එහෙත් ඔවුන් ඔවුන්ටත් අවංක නැති විටෙක දවසේ තුන්වේල ගැන පමණක් සිතන ජනතාවක් සමඟ මේ රට ගැන අලූත් බලාපොරොත්තු තැබිය නොහැකි තරම්ය.

එක් පක්ෂයකින් ඡුන්දය ඉල්ලා ජනතා වරමින් පාර්ලිමේන්තුවට පැමිණීමේ සිට පාර්ලිමේන්තුවේ නොමැති පක්ෂයක සාමාජිකත්වය ගනිමින් පාර්ලිමේන්තුවට පැමිණි පක්ෂයෙන් ඉවත් වීම යන සියල්ල වැරැුදිය. එහෙත් අපි සියලූ දෙනා මේවා දෙස නිහඬව බලා සිටිමු. පසුගිය මාස තුන හතරේදී ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මුර බල්ලන් ලෙස හැසිරුණු ඇතැම් අය ද නිහඬය. 



ඡායාරූපය ඒ.එෆ්.පී. https://www.facebook.com/photo.php?fbid=10158227111337627&set=a.139276682626&type=3&theater

‘මිඩ්ල් ක්ලාස්’ ක්‍රියිසිස් සහ ‘ඩිකෝඩිං’

අපි ජන සමාජයක් විදියට උග්‍ර අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. දරුවෙක්ගේ සාර්ථකත්වය මනින්නේ, යාන වාහනවලින්, උපාධිවලින්, හම්බවෙන පඩියෙන්, කරන රස්සා...

Blog Archive