Showing posts with label අධ්‍යාපනය. Show all posts
Showing posts with label අධ්‍යාපනය. Show all posts

Tuesday, May 16, 2017

වත්මන් පාලනයත් පෙර පාලනයත් කලින් කලට මාතෘකා නිර්මාණය කරමින් රටේ සැබෑ ප්‍රශ්න සඟවමින් කටයුතු කරන බව අලුතෙන් ලියන්නට අවශ්‍ය නැත. දේශපාලනයේදී මෙන්ම මුහුණ පොතේද කලින් කලට අලුත් අලුත් මාතෘකා නිර්මාණය වෙයි. ඒ ගැන ලියයි, කියයි, ඇණ කොට ගනියි. මේ සියල්ල හුදෙක් රටක් ලෙස සමාජයක් සමාජයක් ලෙස අප මුහුණ දෙන සැබෑ ප්‍රශ්න යට ගසන්නට නිර්මාණය කරන ලද කතා යැයි විශ්වාස කරමි. එසේ නොවන්නට ද පුළුවන. 

මගේ මතකය නිවැරැදි නම් එක් අවස්ථාවකදී ඔබට ජුලම්පිටියේ අමරේ මතකද යනුවෙන් සිරස්තලයක් සහිතව තරුණයා පුවත්පතේ ලිපියක් පළවිය. මීතොටමුල්ල මතකද, රටේ ණය අර්බුදය මතකද, හම්බන්තොට වරාය මතකද ? එසේත් නැතිනම් රටක් ලෙස සමාජයක් ලෙස අප මුහුණ දෙන ප්‍රශ්න මතකද යනුවෙන් අප විසින් අපගෙන් විමසා ගත යුතු ව තිබේ. 

තමන් කළ යුත්තේ මොනවාද නොකළ යුත්තේ මොනවාද තීරණය කළ යුත්තේ ඒ ඒ පුද්ගලයන්ය. එසේ තමන් කරන්නේ මොනවාද යන්න තීරණය කිරීමේ අයිතිය තමන්ට තිබුණ ද ඉන් අනුනට බාධාවක් නොවීම අනුන් සතුව අයිතියක් මෙන්ම තමන්ගේ සීමාව පෙන්වන්නකි. එහෙත් අනුන් කරන දෙයක්, තමන්ගේ කරමින් තමන්ට බාධාවක් වූ බව පෙන්වීම විහිළුවකි. සරලව කියන්නේ නම් අහක යන නයි ඔඩොක්කුවේ දමාගෙන කෑවෝ කෑවෝ කීමකි.

අනුන්ගේ පල් හෑලි සෙවීම, කියවීම විනෝදාංශයක් කරගත් අපේ රටේ බොහෝ දෙනා ඒවා පෞද්ගලිකවම විඳ දරා ගන්නවා වෙනුවට තමන්ගේ ද කරගනිමින් අනුන්ගේ ද කාලය කා දමයි. තමන්ගේ මුහුණු පොතේ තමන්ට කැමැති දෙයක් ලියන්නට කියන්නට අයිතිය ඇතිවාක් මෙන්ම අනුන්නට ද එම අයිතියම ඇත. පොදු අවකාශයේ පොදුවේ විනෝද වීමට මෙන්ම පොදුවේ අදහස් දැක්වීමට ද අයිතිය ඇත. රසාස්වාදය, විනෝදය පොදුවේ විඳින අවස්ථාව මෙන්ම පෞද්ගලිකව විඳින අවස්ථා ද ඇත. 
නීති ශිෂ්‍යාවක සිදුවීමක් ඈඳා ගනිමින් ඒ පිළිබඳව තවත් නීතිඥවරයෙක් කරන ලද ප්‍රකාශයත් සමඟ නැවත වරක් මුහුණු පොතේ පිරිස් එකිනෙකට පක්ෂවත් විපක්ෂවත් අදහස් දක්වන්නට වී ඇත. සිදුවීම සම්බන්ධයෙන් වැඩි යමක් නොදන්නවා වුව ද එහි සත්‍ය අසත්‍ය බව ගැන වැටහීමක් නැති වුවද මේ ටික ලියා තැබීමේ අවශ්‍යතාවක් නම් ඇත. 

රටක් ලෙස සමාජයක් ලෙස අප අද සිටින්නේ කොතැනද යන්න තේරුම් ගැනීමට එතරම් අපහසු කාර්යයක් නොවේ. යමකුගේ වෘත්තීය ජීවිතය හා පෞද්ගලික ජීවිතය යනු දෙකකි. පෞද්ගලික ජීවිතයේදී ඔහු නීතිමය සීමා ඉක්මවා නොයමින් මොනයම් අයුරින් කටයුතු කළත් ඉන් අන් අයට පලක් වන්නේ නැත. මිනිසකුට තම ආත්ම අභිමානය සතුව ජීවත් වීමේ අයිතියි තමන් කැමැති ජීවන රටාවකට අනුව ජීවිත් වීමේ අයිතිය ව්‍යවස්ථාව විසින්ම ලබාදි ඇත. ගැහැණියක වුවද පිරිමියක වුවද තමන් කැමැති දෙයක් කිරීමේ නිදහස ඇති අතර තෝරා ගැනීම සහ අවශ්‍ය තැන්වලට අවශ්‍ය පරිදි තමන්ගේ කැමැත්ත අකැමැත්ත අනුව ගැලපෙන කටයුතු කිරීම තීරණය ඔවුනොවුන් සතුය. වෘත්තිකයකු තම වෘත්තීමය රාජකාරි පැහැර හරින්නේ නම්, වගකීම් පැහැර හරින්නේ ගැටලුව විය යුත්තේ එයයි. අරගල කළ යුත්තේ වෘත්තිකයන් ඔවුන්ගේ වගකීම නිවැරැදිව කරන තැනට ගෙන ඒමටය.

මෙය ලියන්නට පාදක වූ කරුණම සලකා බලන්නේ නම් අදාළ තරුණිය බිකිණියක් හැඳ උසාවියකට හෝ විශ්ව විද්‍යාලයට හෝ සුදුසු ඇඳුමක් අවශ්‍ය තැනකට එසේ නොවන ආකාරයෙන් සහභාගී වූවා නම් ඒ ගැන කතා කිරීමේ වරදක් නැත. එහෙත් එය ද ඔවුනොවුන්ගේ ආත්ම ගෞරවයට හානි නොවන අයුරින්, ඒ කරුණු අවධාරණය කිරීම හෝ අවශ්‍ය පියවර ගැනීම යුතු වන්නේය.
මෙරට අධ්‍යාපන අර්බුදයත් මේ ප්‍රශ්නයට ඈඳා ගන්නා නිසාම මේ දේ ලිවිය යුතුයි. රටේ දැවැන්ත අධ්‍යාපන අර්බුදයක් උද්ගතව තිබියදී අප සයිටම් වසා දැමීම හෝ පෞද්ගලික අධ්‍යාපනය එපා යැයි කියන කුඩා ප්‍රශ්නයක එල්ලී සිටිමු. නිදහසින් පසු වසර 70කට ආසන්න කාලයක් ගෙවී ගියද මිලියන 21කට ආසන්න ජනතාවක් සිටින රටේ රාජ්‍ය විශ්ව විද්‍යාල ඇත්තේ 17කි. මිලියන අටකටත් අඩු ජනගහනයක් සහිත ජෝර්දානයේ රාජ්‍ය හා පෞද්ගලික විශ්ව විද්‍යාල 30ක වැඩි සංඛ්‍යාවක් තිබේ. මහ බැංකුවේ 2016 වාර්ෂික වාර්තාවට අනුව විශ්ව විද්‍යාලවලට ඇතුළත් වීම සඳහා සියයට 51.43ක් සුදුසුකම් ලබද්දි සුදුසුකම් ලැබුවන්ගෙන් ඇතුළත් වන්නේ සියයට 18.61ක් පමණි. ආසන්න වශයෙන් විශ්ව විද්‍යාල සඳහා සුදුසුකම් ලබන සියයකට 30කට ආසන්න ප්‍රමාණයකට සුදුසුකම් ලැබුවද රාජ්‍ය විශ්ව විද්‍යාලයකට ඇතුළත්වීමට අවස්ථාව හිමි වන්නේ නැත. ඔවුන්ගේ වගකීම බාරගන්නේ කවු ද ?

උපුටා දැක්වීම, 

“රජය යටතේ පවතින විශ්ව විද්‍යාල 17 තුළ සීමිත සම්පත් විශාල ශිෂ්‍ය සංඛ්‍යාවකට උසස් අධ්‍යාපන අවස්ථා ලබාදීමට තරම් ප්‍රමාණවත් නොවන බව පැවැති සියලුම රජය විසින් හඳුනාගෙන ඇත. එබැවින් රජය විසින් උසස් අධ්‍යාපනය සඳහා ආයෝජනය කිරීමට සහ උපාධි පාඨමාලා පවත්වන රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන පිහිටුවීමට පෞද්ගලික ආයෝජකයන්ට අවස්ථාව සලසා දීමට පියවර ගෙන ඇත” උපුටා දැක්වීම අවසන්. 

මෙසේ කියන්නේ 2016 ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවයි. 

එය පසෙකින් තබන්න. සරසවි වරම් ලැබුවත් සරසවියකට ඇතුළත් නොවන පිරිසත් ඉතිරි සියයකට 49කට ආසන්න පිරිසත් රැකියා සහ වෙනත් උසස් අධ්‍යාපන ක්‍රමවේද සොයා යයි. ඇතමෙක් විදෙස් ගතවෙයි. 
උසස් පෙළින් සිය අධ්‍යාපන කටයුතු හමාර කරන පිරිස හැරෙන්නට අන් සියලු දෙනාම උසස් අධ්‍යාපනයේ නිරත වෙති. එයින් මාපියන් වියදම් දරන දරුවෝ අනෙක් සියලු දෙනාම කුමක් හෝ රැකියාවක් කරමින් අධ්‍යාපනය නිරත වෙති. එය රාජ්‍ය විශ්ව විද්‍යාල ද පෞද්ගලික විශ්ව විද්‍යාල ද කියා වෙනසක් නැත. පීසා විකුණන රාජ්‍ය විශ්ව විද්‍යාලවල සිසුන්, හන්දි ගානේ පත්තර විකුණන රාජ්‍ය විශ්ව විද්‍යාලවල මිතුරන් මෙන්ම මුරකරු රස්සාව කරමින් පෞද්ගලික විශ්ව විද්‍යාලවල අධ්‍යාපනය ලබන මිතුරන් ද  පුද්ගලිකව හඳුනමි. ඒ නිසා තමන්ගේ දහඩියෙන් නීතිමය සීමාවල උපයාගත් මුදලින් අධ්‍යාපනය ලැබීමේ ඕනෑම ශිෂ්‍යයකුට ශිෂ්‍යයාවකට හිමිය. අයකුගේ ලිංගික අවශ්‍යතා සපයමින් අධ්‍යාපන කටයුතුවලට මුදල් උපයා ගන්න සිසුවියන් ඇත. එය ඇයට තිබෙන පහසුම මඟ විය හැකිය.  එය ඔවුන්ගේ කැමැත්ත වුවත්, වෙනත් ක්‍රමයකින් ඔවුන් තම අධ්‍යාපන මුදල් උපයන්නේ නම් අප බෙහෙවින් කැමැති වන්නේ එය ඔවුන්ගේ ජීවිතයටම යහපතක් වනු ඇතැයි අපේක්ෂාවෙනි. 

උතුරු හා නැගෙනහිර පළාත්වල පිරිමි සිසුන්ගේ  1 සිට 11 ශ්‍රේණිය දක්වා දළ රැඳී සිටීමේ අනුපාතය නැගෙනහිර පළාතේ සියයට 71.59ක් වශයෙන් ද උතුරු පළාතේ සියයට 75.36ක් වශයෙන් අඩු අගයක පවතින බව මහ බැංකු වාර්තාව සඳහන් කරයි. තම ගෘහ ආදායමට දායක වීම සඳහා පිරිමි දරුවන් පාසල් හැරගොස් රැකියා අවස්ථා සොයා යෑම නිසා 11 ශ්‍රේණිය දක්වා රැඳී සිටීම අඩු අගයක පවතින බව ද සඳහන් කරයි. 

මේ, රටේ අර්බුදවලින් අල්පයකින් අල්පයකි. නීතිවේදිනියගේ බිකිණියට වඩා අපට සිතන්නට, කියන්නට කරන්නට ලියන්නට බොහෝ දේ ඇත. 


ඡායාරූපය ෂෙහාන් ගුණසේකරගේ ෆේස්බුක් ගිණුමෙනි.. 

https://www.facebook.com/photo.php?fbid=1270576133035996&set=pb.100002508644713.-2207520000.1494955676.&type=3&theater


හර්ෂණ තුෂාර සිල්වා
16.05.17

Saturday, March 4, 2017


පසුගිය සතියේ දවසක වෙච්ච සිද්ධියක්. අපි බොහෝ ප්‍රශ්න දිහා බලන්නේ අපේ අත්දැකීම්වලින්. පසුගිය සතියේ දවසක තැන් දෙකකින් කණ්ඩායම් දෙකක් බස්රථවලට ගොඩවෙනවා. කට්ටියක් කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ සිසුන් කණ්ඩායමක්. අනෙක් අය සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ අවසාන වසරේ සිසුන් කණ්ඩායමක්. මේ දෙගොල්ලෝ 138 පාරේ බස් රථවලට ගොඩවෙනවා. තමන්ගේ අරමුණ ගැන මිනිස්සුන්ට කියන්න.

වෛද්‍ය පීඨ සිසුන් සයිටම් ගැන කතා කරද්දි කලා විශ්ව විද්‍යාලයේ සිසුන් තමන්ගේ අවසන් වසරේ නිර්මාණය කරගන්න මුදල් නැති බව කියනවා. ඔවුන් නාට්‍ය ගීත කිහිපයක් ගායනය සහ වාදනය කරලා මිනිස්සු අතරට යනවා සහ බස් රථයේ හිටපු හැමෝම වගේම කට්ටියට සල්ලි දෙනවා. ඔවුන් බස් රථයට නැගපු අරමුණ සාර්ථකයි. මේ කට්ටි දෙක බස් රථවලට මාරු වෙනවා. එදා ලබපු අත්දැකීම මං ජීවිතයේ ලබපු සුන්දර අත්දැකීම්වලින් එකක්. කලා විශ්ව විද්‍යාලයේ සිසුන් මං හිටපු බස් රථයක් ඉපැයුවද ඔවුන්ගේ අවසාන වෑයම කොහොම ද කියන්න මම තාම දන්නේ නැහැ. මේ විදියට වෛද්‍ය පීඨ සිසුන් කණ්ඩායමත් සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ සිසුන් කණ්ඩායමත් බස් රථවලට ගොඩවෙලා අදහස් ප්‍රකාශ කර කර යනවා. 

අපේ අධ්‍යාපනයේ අවුල මෙතැන හොඳට තියෙනවා. සයිටම් කියන්නේ ඇත්තටම බැලුවොත් අපේ රටේ අධ්‍යාපනයේ තිබෙන පුංචි ප්‍රශ්නයක්. ඇත්තටම සයිටම් කියන්නේ ප්‍රශ්නයක් නොවෙන ගානයි.
අධ්‍යාපන ප්‍රතිපත්තියක් නැතිකම, රටේ සියල්ල දේශපාලනීකරණය වීම, නෛතික හිඩැස්වලින් රිංගලා සයිටම් කියන ආයතනයක් බිහි වෙනවා. කෙසේ වෙතත් අද වනවිට සයිටම් දැවැන්න සහ ප්‍රධාන මාතෘකාවක් වී තිබෙනවා. එදා සයිටම් හොඳයි කියපු අද සයිටම් වහන්න කියනවා. සයිටම් වහන්න කියපු සමහරු අද සයිටම් අරින්න කියනවා. විවිධ පිරිස් තම දේශපාලන වුවමනා එපාකම්, පුද්ගලික ප්‍රතිලාභ උදෙසා සයිටම් ප්‍රයෝජනයට ගෙන තිබෙනවා.

සයිටම් ආයතනයේ ප්‍රමිතිය ඉහළ නංවා ගුණාත්මකභාවය ඉහළ නංවන්නැයි කියන විටෙක ලංකාව වැනි රටක එවැන්නක් ගැන විශ්වාස තැබිය හැක්කේ කෙසේදැයි සයිටම් විරෝධී පාර්ශවය විමසති. එය එසේ නම් ලංකාව වැනි රටක උසස් පෙළින් විශ්ව විද්‍යාලවලට සුදුසුකම් ලබන සියලු දෙනාට සරසවි වරම් ලැබේවිද යන ප්‍රශ්නය පෙරළා විමසිය හැකිය.

රටේ තිබෙන දුර්වල ක්‍රමවේද නිසා ගුණාත්මකභාවයෙන් තොර සයිටම් වැනි ආයතන ඕනෑ තරම් ආරම්භ වී තිබේ. වෛද්‍ය අධ්‍යාපනය පමණක් නොව අනෙක් විෂය ක්ෂේත්‍ර ද ප්‍රමිත ගත යුතුය. අනෙක් අධ්‍යාපන මට්ටම් බැරි නම් උසස් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා ජාතික ප්‍රතිපත්තියක් ගෙන ආ යුතුය. ජාතික ප්‍රතිපත්තිය ගෙන ආ යුතු බව පැවැසීම පහසු කටයුත්තක් වුවද එය සැකැසීම සහ ක්‍රියාවට නැංවීම සුළුපටු කරුණක් වන්නේ නැත. එම නිසා මේ ඇති වී තිබෙන අවස්ථාවෙන් ප්‍රයෝජන උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රගතිය උදෙසා ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සැකසීමේ කාලය දැන් උදා වී තිබේ.

හර්ෂණ තුෂාර සිල්වා
2017.03.04


Friday, February 17, 2017

වෙනසක් නොතිබිය යුතුයි



නිදහස් අධ්‍යයාපනය, නොමිලේ අධ්‍යාපනය ලබාදීමට කිසිවකුත් විරුද්ධ නැත. අද පාගමන් යන අන්තරේ හෝ වෙනත් අයකු හෝ වේවා පුද්ගලික උපකාර පන්තිවලින් අධ්‍යාපනය ලබා නැද්ද ? අසල ඇති ඩිස්පෙන්සරියකින් සෞඛ්‍ය සේවා ලබා නැද්ද ?

සයිටම් අර්බුදය මේ වනවිට දැඩි ලෙස පාර්ශවීකරණයකට ලක්ව ඇත. දේශපාලනීකරණය වී ඇත. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රමුඛ වෘත්තීය සමිති අද තම පටු වුවමනා මුදුන් පමුණුවා ගැනීම සඳහා සයිටම් අර්බුදය යොදාගනිමින් සිටිති.

නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය ගැන කතා කරන රෝගීන් අයිතිවාසිකම් ගැන කතා කරන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතින් කොතරම් රෝගී අයිතිවාසිකම් කඩ වන්නේ ද ? රෝහලේ ඖෂධ තිබියදී ෆාමසියකින් ඖෂධ ගන්නැයි ලියන වෛද්‍යවරු අදටත් සිටිති. මා පුද්ගලිකවම ද මෙම අත්දැකීමට මුහුණ දී ඇත. කොළඹ ජාතික රෝහලේදී මේ තත්ත්වයට කොතෙකුත් මුහුණ දුන් අය වෙති.

රජයේ රෝහලේ සිටිය යුතු වුවද පෞද්ගලික චැනල් සේවා අවසන් කර රජයේ රෝහලට පැමිණෙන වෛද්‍යවරුන් ගැන දැනගන්නට අදටත් අපට හැකියාව ඇත. තමා උගත් දෙයින්, තමාගේ දක්ෂතාවයෙන් තමා කළ කැපවීමෙන් ප්‍රයෝජනයක් ගත්තාට වරදක් නැත. එහෙත් වෛද්‍ය වෘත්තීය තමාගේ බූදලය යැයි සිතා කටයුතු කරන වෛද්‍යවරු .. දෙකක් ගසා පන්නා දැමිය යුතුය.

අද පාගමන් යන වෛද්‍ය සිසුන් අද නිදහස් අධ්‍යාපනය ගැන කියන කතා තවත් අවුරුදු පහකින් හයකින් කියාවිද ? රෝගී අයිතිවාසිකම් ගැන කියන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයන් රෝගීන් කොතරම් නම් අපහසුතාවට පත් කරන්නේ ද ?

අදටත් පුද්ගලික උපකාරක පන්තියකට යන්නට සල්ලි නැති සිසුන් ඕනෑ තරම් ලංකාවේ සොයාගන්නට ඇත. වැඩිදුර යා යුතු නැත බස්නාහිර පළාතනේ සොයා ගත හැක. අන්තරේ මිතුරන් පුද්ගලික උපකාරක පන්ති ගැන කිනම් අදහසක් දරන්නේ ?

පාසල් අධ්‍යාපනය හා පුද්ගලික උපකාරක පන්ති නියාමනය ප්‍රායෝගිකව දුෂ්කර කාර්යයකි. එහෙත් අපට කළ හැකි දෙය නම් පාසල් අධ්‍යාපනය ශක්තිමත් කිරීමය. පාසල්වල හොඳින් ඉගැන්වීම් කටයුතු කිරීමය. එසේම හොරු ගුරුවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීම, සිසුන් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීම, විෂය මාලා නවීකරණය හා විධිමත් කිරීම ආදී ක්‍රියාමාර්ග අපට ගත හැකිය.

එහෙත් උපාධි පිරිනමන ආයතන පෞද්ගලික විශ්ව විද්‍යාල නියාමනය කිරීමේ හැකියාව රජය සතුව අදාළ වෘත්තීය ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨයන් ප්‍රමුඛ පිරිස සතු විය යුතුය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉන් එකකි. අප කිසිවකුත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එපා යැයි කියන්නේ නැත. එහෙත් එය පටු අරමුණු පුද්ගල වුවමනාවලින් බැහැර විය යුතුය.

සයිටම් වසා දැමීම වෙනුවෙන් ගෙනෙන තර්කයක් වනුයේ මිනිස් ජීවිතය. සෑම වෘත්තීය ක්ෂේත්‍රයක්ම පුද්ගල බද්ධය. වෛද්‍යවරයාගේ අත් වැරැදීමකින් රෝගියකු මිය යන්නා සේම, ඉංජිනේරුවකු වරදින් ද අහිංසක පුද්ගලයකු මියයන්නට පුළුවනි. අනෙක් අතට වෛද්‍යවරුන්ගේ අත්වැරැදීම්, නොසලකා හැරීම් නිසා අද වනතෙක් කොතරම් ප්‍රමාණයක් මිය ගොස් ඇත් ද ? එසේ අත්වැරැදීම් කළ, නොසලකා හැරීම් කළ සියලු දෙනා සයිටම් වෛද්‍යවරුන් ද ?

අධ්‍යාපනය ලැබිය යුත්තේ මුදල් ඉපැයීමේ අරමුණින් නොවූවත්, සෑම දෙනාම අධ්‍යාපනය ලබන්නේ යහපත් ජීවිතයක් උදා කරගැනීමටය. අන්තරේ සිටින සියලු දෙනාත් අද රජයේ විශ්ව විද්‍යාලවල අධ්‍යාපන ලබන සියලු දෙනාත් පුද්ගලික අධ්‍යාපන ආයතනවල අධ්‍යාපනය ලබන සියලු දෙනාත් යහපත් ජීවිතයක් අපේක්ෂා කරති. සියලු දෙනාටම දේශපාලන අරමුණු ඉලක්ක ප්‍රත්පත්ති මෙන්ම පුද්ගලික අරමුණු ඉලක්ක ද ඇත. රැකියාවක් අවශ්‍යය. ජීවත්වන්නට මුදල් අවශ්‍යය. එම අධ්‍යාපනය සෛද්ධාන්තික අධ්‍යාපනය වන්නට පුළුවන. එසේත් නැතිනම් වෘත්තීය අධ්‍යාපනයක් වන්නට පුළුවනි. මේවා ඉතා සරල කරුණුය.

රාජ්‍ය අධ්‍යාපනය තිබිය යුතුය. නිදහස් අධ්‍යාපනය මෙන්ම අධ්‍යාපනයේ නිදහස ද තිබිය යුතුය. නැති බැරි අයට, වත්කම් අතින් පහළ මට්ටමේ සිටින සියලු දෙනාට නොමිලේ අධ්‍යාපනය ලැබීමේ වරප්‍රසාදය හිමිවිය යුතුය. ඇති හැකි අයට අවශ්‍ය නම් රාජ්‍ය අධ්‍යාපනය ද අවශ්‍ය නම් පුද්ගලික අධ්‍යාපනය ද ලැබීමේ අයිතිවාසිකම වරප්‍රසාදය හිමිවිය යුතුය. එහෙත් අධ්‍යාපනය ලැබීමේදී ඇති හැකි අය ද නැති බැරි අය ද කියා වෙනසක් නොතිබිය යුතුය. රාජ්‍ය හෝ පෞද්ගලික වේවා, උපාධි පිරිනමන සියලු ආයතන අංශවල ප්‍රමිතිය මැන බැලෙන නිර්ණායක, සාධක ආදියේ වෙනසක් නොවිය යුතුය. ගුණාත්මකභාවය මැන බැලෙන සාධකවල වෙනසක් නොවිය යුතුය. තත්ත්ව එක සමාන විය යුතුය.

ඡායාරූය ෂෙහාන් ගුණසේකරගෙනි 


හර්ෂණ තුෂාර සිල්වා

2017.02.18

Thursday, February 2, 2017



පහුගිය කාලයේ ලෙඩ්ඩු මැරුණේ කොහෙන් ඉගෙන ගත්තු දොස්තරලා නිසා ද ?
කොළඹ ජාතික රෝහලේ වැරැදි ඩයි එකක් භාවිත කළේ මොන වෛද්‍ය පීඨයේ වෛද්‍යවරු ද?
සල්ලි දුන් පමණින් උපාධි ලැබෙනවාද ?
ගුණාත්මකභාවයෙන් ඉහළ සෞඛ්‍ය සේවයක් ගැන කතා කරන පිිරිස් රජයේ රෝහල්වල සේවය මගහැර පුද්ගලික සායනවල ඉන්නේ ඇයි ?
දුප්පත්කම පන්ති විෂමතාව, ධනවාදය, එක එක වාද ගැන කතා කරන අය ඖෂධ සමාගම්වල කොමිස් මුදල් ලබාගනිමින් අහිංසක මිනිස්සුන්ට මිල වැඩි ඖෂධ නිර්දේශ කරන්නේ ඇයි ?
මේ රටේ විශ්ව විද්‍යාවල සිටින සියලා බුද්ධිමතුන් ? විශ්ල විද්‍යාලවලට යන්න බැරි වුණු සියලු දෙනා නූගතුන්ද ? මොළේ නැති නිසාද විශ්ව විද්‍යාලවලට යන්න බැරි වුණේ ?
( මෙසේ අසන්නට බොහෝ ප්‍රශ්න ඇත. සයිටම් ගැන අපටත් ප්‍රශ්න තිබේ. එහෙත් සයිටම් වැසීම හෝ සයිටම් සිසුන් සහ සමස්ත ජන සමාජය, තමන්ට අවාසිදායක පුවතක් හෝ තීරණයක් දුන් පමණින්, තමන්ට බැණ වැදුන පමණින්, මාධ්‍යයට, අධිකරණයට, ජනතාවට අපහාස උපහාස කිරීම විශ්ව විද්‍යාල සිසුන්ට තබා සාමාන්‍ය මිනිසකුට වුවද ඔබින්නේ නැත. සියල්ල දේශපාලනීකරණය වූ රටක ජන සමාජය භේද බින්න වීම තරුණ ප්‍රජාව බෙදී කොටස්වලට කැඩී යෑම කනගාටුවට කරුණක් මෙන්ම එය පටු දේශපාලකයන්ගේ බලය ශක්තිමත් කරගැනීමට හේතුවකි.
අනෙක් අතට මුදල් තිබූ පමණින් සියල්ල කළ හැකියි සිතන සයිටම් දරුවන්ට ද කියන්න ඇත්තේ සයිටම් එකෙන් එළියට එන්න කියාය. සයිටම් සිසුන් මෙන්ම  වෛද්‍ය පීඨ සහ සරසවි සිසුන්ට තමන් සිටින තැනින් එළියට පැමිණ මේ ගැන කතා කළ යුතුය.
 පසුගිය දින කිහිපයේ සයිටම් වසන්නැයි, සයිටම් එපා යැයි කියන අතරේම, සාමාන්‍ය මිනිසුන්, අධිකරණය, මාධ්‍ය, විශ්ව විද්‍යාල ප්‍රවේශය නොලද පිරිස් අපහාසයටත් උපහාසයටත් පත් කරමින් කරන ලද ක්‍රියා අනාගත වෛද්‍යවරුන් වන අයට කිසිසේත නොගැලෙපේ. මා මීට පෙර අවස්ථාවලදී සඳහන් කළාක් මෙන් මේ අරගලය දියත් කළ යුත්තේ සමස්ත සිසු ප්‍රජාවම එක්ව සටන් කරමිනි. ඊට සයිටම් සිසුන් ද එක්විය යුතුයි. එබැවින් හුදෙක් පටු සහ ජනප්‍රිය තර්කවලින් මිදී යථාර්ථවාදී සටනක් ආරම්භ කළ යුතුය. )
දිග විස්තර ලියන්න කම්මැලි... මිනිස්සුන්ගේ ජීවිතයි සල්ලියි කියන තර්කය ජනප්‍රිය තර්කයක් විතරයි... ගුණාත්මකභාවයෙන් ඉහළ දොස්තරලා බිහි කරන්න අවශ්‍ය වන්නේ මූලිකව ආකල්ප වර්ධනයක්. එකම ආකල්පය හැමෝම තුළ වර්ධනය කරන්න බැහැ .. නමුත් යම් නියාමනයක් ඇති කරන්න පුළුවන්...මිනිස්සුන්ගේ ජීවිත ඕනෑම විදියකට නැති වෙන්න පුළුවන්..වෛද්‍යවරයාගේ අතපසු වීම්, හෙදියකගේ අතපසුවක්..බෙහෙත් විසවීමක්...මිනිස්සුන්ගේ ජීවිත කියන තර්කය හුදෙක් ජනප්‍රිය තර්කයක් පමණයි. අනෙක් අතට විශ්ව විද්‍යාලවල මගේ මිත්‍රවරු සයිටම් එක ඇතුළේ හිරවෙලා.. එතනින් පිට අධ්‍යාපනය සම්බන්ධයෙන් ලොකු අර්බුදයක් තිබෙනවා..පුද්ගලික අධ්‍යාපනය එපා නම්, එය මොන්ටිසොරියේ ඉඳන්ම නැති වෙන්න ඕනේ..මොන්ටිසෝරියේ කොන්සට් එකට සල්ල දෙන්න නැතිව ළමයා ගෙදර තියාගත්තු අම්මලා තාත්තලා මම අත්දැකීමෙන් දන්නවා.. ඒ නිසා අධ්‍යාපන ආයතනයක් වසා දැමීම කියන තැනට මම කිසිසේත් එකග නැහැ.. සයිටම් තිබිය යුතුයි. හැබැයි සයිටම් සහ කොළඹ කැලණිය හෝ ජපුරේ වෛද්‍ය පීඨයේ ගුණාත්මකභාවය එකක් විය යුතුයි. මුදල් ගෙවා හෝ නොගෙවා සැමට අධ්‍යාපනයේ අයිතිය තිබිය යුතුයි.. ආණ්ඩු මාරුවෙන් වෙනස් නොවන අධ්‍යාපන ප්‍රතිපත්තියක් නිර්මාණය කළ යුතුය. අරගලය තිබෙන්නේ එතැනයි.. සයිටම් කියන්නේ එක් පරිච්ඡේයක් විතරයි... අපි සියලු දෙනා එකතු විය යුත්තේ සයිටම් වැසීමට නොව නිසි අධ්‍යාපන ප්‍රතිපත්තියක් නිර්මාණය කරන්න..

Wednesday, September 14, 2016

සයිටම් අර්බුදය මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ සුවිශේෂී ස්ථානයක් සටහන් කරනු ඇතැයි මීට පෙර කිහිප අවස්ථාකදීම සඳහන් කළෙමි. එම අරගලයේ සතුරු හා මිත්‍ර පාර්ශව හඳුනාගැනීමේ වැදගත් කමද මම කීවෙමි. සයිටම් අර්බුදය හුදෙක් සයිටම් වැසීමෙන් හෝ ඊට විසඳුමක් දීමෙන් අවසන් නොකර එය සමස්ත අධ්‍යාපන ක්‍රියාවලිය තුළම සුවිශාල පුළුල් ප්‍රතිසංස්කරණයක් සිදු කිරීම කෙරෙහි යොමු කළ යුතු බව අප දැන්වත් තේරුම් ගත යුතුය.
ස්ලිට් ආයතනයේ සිසුන් සංවිධානය කළ පාගමනක, ඔවුන් ප්‍රදර්ශනය කළ පාඨ විකෘති කරමින් පහත් මානසිකත්වයකින් හැසිරුණේ කවුරුන්ද යන්න පිළිබඳව නොදන්නා නමුත් ඇත්තේ කනගාටුවකි. සයිටම් අර්බුදය එකිනෙකාගේ දේශපාලන වාසිවලට හසු වීමට ඉඩ නොදීම අධ්‍යාපනයට ආදරය කරන අප සියලු දෙනාගේම වගකීමකි.
සයිටම් එසේත් නැතිනම් මාලඹේ පුද්ගලික විශ්ව විද්‍යාලය ආරම්භ කළ ආාරයේ සිටම එය අවුල් ජාලයක් බව අප සියලු දෙනා දන්නා කරුණකි. සයිටම් වසා දැමීමෙන් මේ අර්බුදය විසඳනේනේ නැත. මෙරට ලියාපදිංචි කරන බොහෝ අධ්‍යාපන ආයතන තවමත් ලියාපදිංචි කෙරෙන්නේ ආයෝජනය මණ්ඩලයේය. සයිටම් පාලනාධිකාරිය අත්තතනෝමතික ලෙස ක්‍රියාකරන බව ද නොරහසකි.
ගැටලුව ඇත්තේ සටන ගෙන යා යුත්තේ කෙසේ ද යන්න පිළිබඳවය. අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය හෝ ඒ පිරිස් ’උපාධි කඩ’ යන වචනය භාවිතය සම්බන්ධයෙන් නම් මගේ ඇත්තේ කනගාටුවකි. ලාභ අරමුණු කරගෙන පටන් ගත්තද අධ්‍යාපනය දෙන තැනකට එවැන්නක් භාවිත කිරීම නුසුදුසුය යන්න මගේ හැඟීමයි. 
අධ්‍යාපන වෙළෙඳ භාණ්ඩයක් නොවන බව හැබෑය. එහෙත් වර්තමානයට සුදුසු අයුරින් අනාගත පරම්පරාවල අධ්‍යාපන අවස්ථා සැපයිය යුතුය. අධ්‍යාපනය රජයේ හෝ පුද්ගලික අංශයේ සෙල්ලම් බඩුවක් නොව, මානව අයිතිවාසිකමකි. ඒ මානව අයිතිවාසිකම නියමිත පරිදි ලැබීමට හැකි සැලසුම් සකස් කිරීමට මැදිහත් වීම අප සියලු දෙනාගේ වගකීමකි. 
සයිටම් අරගලය හුදෙක් සයිටම් වැසීමෙන් හෝ එහි ගුණාත්මකභාවය ඇති කර පිළිගත හැකි සුදුසු තැනක් බවට පත්කිරීමෙන් සියල්ල අවසන් වන්නේ නැත. පළමු ශ්‍රේණියේ සිටම, පුද්ගලික පන්ති, පුද්ගලික විශ්ව විද්‍යාල, උපාධියක් ලැබීමේ අවම සුදුසුකම් , උපාධි දෙන ආයතන ලියාපදිංචි කිරීම, ඒවායේ තත්ත්වය පරීක්ෂා කිරීම , විෂය නිර්දේශ, පහ ශිෂ්‍යත්ව විභාගය සිට උසස් පෙළ දක්වා විභාග, උසස් පෙළ අසමත් වන සිසුන්ට වෙනත් අවස්ථා සැලැසීම ආදිය ද ඇතුළු පුළුල් ප්‍රතිසංස්කරණ සිදු කරමින් රාජ්‍ය අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකසන තැනට මේ අරගලය ගෙන යා යුතුය. 

හර්ෂණ තුෂාර සිල්වා
14.09.16

‘මිඩ්ල් ක්ලාස්’ ක්‍රියිසිස් සහ ‘ඩිකෝඩිං’

අපි ජන සමාජයක් විදියට උග්‍ර අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. දරුවෙක්ගේ සාර්ථකත්වය මනින්නේ, යාන වාහනවලින්, උපාධිවලින්, හම්බවෙන පඩියෙන්, කරන රස්සා...

Blog Archive