Wednesday, January 11, 2017

සමාජ ආරක්ෂණය


ලෝක ජනගහනයෙන් සියයට 73කට සමාජ ආරක්ෂණ පියවරවලට ප්‍රවේශ වීමේ හැකියාව නොමැත. එයිනුත් බොහෝමයක් ජීවත් වන්නේ ග්‍රාමීය ප්‍රදේශවලය. 

වසර 2006 දී ජාත්‍යන්තර කම්කරු සංවිධානය නිකුත් කළ වාර්තාවකට අනුව ලෝක ජනගහනයෙන් දුප්පත්ම ජනතාවට මූලික සමාජ ආරක්ෂක ප්‍රතිලාභ සැපයීම සදහා අවශ්‍ය වන්නේ ලෝක දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 2ක් බව පැවසේ. 

එමෙන්ම සමාජ ආරක්ෂණයට සදහා කාන්තාවන්ට ඇත්තේ සීමිත ඉඩකඩකි. පිරිමින්ට වඩා කාන්තා පාර්ශවය අවිධිමත් රැකියාවල ඊට හේතුවය.

ග්‍රාමීය ගෘහ ඒකක මුහුණ දෙන තර්ජනවලට සාර්ථකව මුහුණ දීම එක් අතකින් සමාජ ආරක්ෂණය ලෙස පෙන්වා දිය හැකිය. සමාජ ආරක්ෂණය යටතේ ආහාර හෝ පෝෂණය ඉහළ නැංවීම ග්‍රාමීය දරිද්‍රතාව තුරන් කිරීම කෙරෙහි ද අවධානය යොමු වී ඇත.

හර්ෂණ තුෂාර සිල්වා
එෆ්.ඒ.ඕ ඇසුරිනි


Saturday, January 7, 2017

ගැටුම නිර්මාණය කළෝ කවරහුද ?


හම්බන්තොට සිදුවීමත් ජනවාරි 8ත් දෙවසරකට පෙර මෙරට තත්ත්වය සිහිපත් කරවන්නකි. අප කිසිලෙසකින් වත් ප්‍රචණ්ඩත්වය අනුමත නොකරන බව සටහන ආරම්භයේදීම සඳහන් කළ යුතුය. මහින්ද රාජපක්ෂ පාලනය වේවා මෛත්‍රී රනිල් පාලනය වේවා ජනතාව වෙත පහරදීම අනුමත නොකරනවා මෙන්ම නීතිය අතට ගැනීම හෝ නීති විරෝධී ලෙස හැසිරීම ජනතාව නොකළ යුත්තක් බව ද සඳහන් කරනු කැමැත්තෙමි.

මීට වසර දෙකකට පෙර ජනවාරි 7 වැනිදා යනු ඉතාමත් උද්වේගකර සහ මෙරට ඉතිහාසයේ තීරාණාත්මක දිනයකි. මහින්ද රාජපක්ෂ මහතා තෙවැනි වරටත් ජනාධිපතිධුරයට පත්වීම සඳහා ජනපතිවරණයට ඉදිරිපත් වී ජනාධිපතිවරණයට පෙර දිනයයි. ඒ සිදුවීම් පෙළ පසෙකට තබා මහින්ද රාජපක්ෂ මහතාගේ පාලනය ගැන සංක්ෂිප්ත වශයෙන් මෙසේය.

යුද්ධය අවසන් කිරීමෙන් මහින්ද රාජපක්ෂ පාලනය විසින් කළ යුතුව තිබූ බොහෝ වෙනස්කම් මෙරට තුළ කිරීමට ඔවුහු අපොහොසත් වූහ. ඒවා මහින්ද රාජපක්ෂ පාලන සමයේදී ඉතා පහසුවෙන් කළ හැකිව තිබිණි. මෙරට ආර්ථික දේශපාලන ප්‍රතිසංස්කරණ රැසක් එම සමයේදී කිරීමට හැකි බලය, ජනතා කැමැත්ත ආදී සියල්ල තිබුණ ද රටේ හෝ කාගේ හෝ අවාසනාවකට ඒවා සිදු නොවිණි.

ආසියානු කලාපයේ අද වනවිට බොහෝ ඉදිරියෙන් සිටින රටවල් අද වනවිට එම තත්ත්වය ළඟා කරගෙන ඇත්තේ අධිකාරීවාදී පාලන තන්ත්‍ර යටතේ බව අප කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් වුවත් පිළිගත යුතුය. එම අධිකාරීවාදී පාලන තන්ත්‍රයට පසුගිය සමයේදී ජනතා කැමැත්ත හා ආකර්ෂණය තිබිණි.

පෙර සටහනකදී ලීවා මෙන් මහින්ද රාජපක්ෂ පාලන සමයේදී යටිතල පහසුකම් සංවර්ධනය කෙරුණ ද ඒ සියල්ල නිසි සැලැස්මක් හෝ ඉදිරි දැක්මක් හෝ සහිතව කෙරුණේ ද යන්න සැක සහිතය. හම්බන්තොට වරාය යනු ඉතා වැදගත් ස්ථානයක පිහිටි වරායක් යන්න ඉතිහාසය පුරා සාක්ෂි දරන්නකි. එහෙත් හුදෙක් වරායක් ඉදි කිරීම හැරෙන්නට එය නිශ්චිත සැලැසුමකට සිදු වූයේද යන්න අප විසින් ප්‍රශ්න කළ යුතුය.

සහෝදරයන්, පුතුන්, ඥාතීන් සහ හුදෙක් තම වාසිය පමණක් බැලූ සමීපතමයන් හා හරි දේ හරි ලෙසත් වැරැදි දේ වැරැදි ලෙසත් නොපෙන් වූ නිලධාරීන් හා උපදේශකයන් නිසා මහින්ද රාජපක්ෂට මහතාට වසර දෙකක් කලින් ගෙදර යන්නට වූ බව නොරහසකි. මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී ඔවුන් කළ කී දේවල් අමුතුවෙන් ලිවිය යුතු නැත. එහෙත් ජනාධිපතිවරයා වශයෙන් නිහඬව කටයුතු කිරීමද යම් යම් සිදුවීම්වලට අනුමැතිය දීම ද සමහර සිදුවීම් ඔහු විසින් සාධාරණීය කිරීම ද අනුමත කළ නොහැක්කකි. 

අද මහින්ද රාජපක්ෂ පාලනය දැඩි ලෙස විවේචනය කරන පුද්ගලයන් එදා සිටියේ කොතැනද ඔවුන් හෙට කොතැන සිටීද යන්න ගැන අමුතුවෙන් කිව යුතු නැත. එය මෙරට දේශපාලනයේ හැටිය. මේ දේශපාලකයන් හුදෙක් තම වාසිය වෙනුවෙන් ඕනෑම ජහා ජරා කටයුත්තක නිරත වෙන බව ජනතාව සිහි තබා ගත යුතු කරුණයි. ප්‍රතිපත්තිමය දේශපාලනයේ යෙදෙන පිරිසක් සිටී නම් ඒ අතළොස්සකි. 

මේ සියලු සිදුවීම් මධ්‍යයේ ජනවාරි 8 වැනිදා මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිධුරයට පත්විය. ඒ සියල්ලෙන් පසු මෛත්‍රී රනිල් ජනාධිපති අගමැති පාලනය යටතේ  රටට හිතකර සහ අහිතකර තීරණ තීන්දු, ප්‍රතිසංස්කරණ හා ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරෙණු දක්නට ලැබිණි. විටෙක යහපත් ක්‍රියාමාර්ග ගන්නා අතරම ජනවාරි 8 වැනිදා පරාජයට පත් කළ මහින්ද රාජපක්ෂ පාලන සමයේ දුර්දාන්ත අනුවණ ක්‍රියා ඉදිරියටත් ක්‍රියාත්මක කරනු දක්නට ලැබිණි.

වත්මන් පාලනය යටතේ හම්බන්තොට වරාය චීන සමාගමක් සමඟ එක්ව ඒකාබද්ධ ව්‍යාපෘතියක් යටතේ පවත්වාගෙන යෑමත් හම්බන්තොට හා ඒ ආසන්න දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් කර්මාන්ත පුරයක් ඉදි කිරීමේ ආණ්ඩුවේ එක් ව්‍යාපෘතියකි. මෙම ව්‍යාපෘතිය මහින්ද රාජපක්ෂ පාලනයේ දී සැලැසුම් කරන ලද එහෙත් වත්මන් පාලනය යටතේ වෙනස්කම්වලට භාජනය වී ක්‍රියාත්මක වන ව්‍යාපෘතියකි. මේ සම්බන්ධයෙන් ආණ්ඩුව ජනතාව දැනුවත් කළේ ද යන්න ගැටලුවක්. වත්මන් ආණ්ඩුවේ සන්නිවේදන ක්‍රියාවලිය ඇත්තේ ඉතාමත් පහත තත්ත්වයක් බවත් එම අඩුපාඩුව සකස් කර නොගන්නේ නම් ඉදිරි මැතිවරණයකදී එය ආණ්ඩුවේ පරාජයට හේතුවක් වන බව සඳහන් කළ යුතුමය. 

ඕනෑම සංවර්ධන ව්‍යාපෘතියක අඩුපාඩු හොඳ නරක හා යහපත් හා අයහපත් බලපෑම් ඇති බව අමුතුවෙන් කිව යුතු නැත. හම්බන්තොට මිරිජ්ජවිලදී ආරම්භ කෙරුණු සංවර්ධණ ව්‍යාපෘතියට ඒකාබද්ධ විපක්ෂයෙන් හා ඊට සම්බන්ධ පිරිස්වලින් දැඩි විරෝධයක් එල්ල විය. එය ප්‍රචණ්ඩකාරී ගැටුමක් දක්වා දුරදිග ගියේය.

මේ ගැටුම නිර්මාණය කළෝ කවරහුද ? ජනතාවට ඒ සම්බන්ධයෙන් අවබෝධයක් තිබේ ද ? මහින්ද රාජපක්ෂ පාලනය යටතේ මේ ව්‍යාපෘතිය ආරම්භ කෙරුණා නම් මෙවැනි තත්ත්වයක් උද්ගතවේද ? අප විමසා බැලිය යුත්තේ එයයි. දේශපාලකයන්ගේ පටු වාසි තකා ජනතාව උසි ගන්වමින් පටු දේශපාලකයන් මේ රට ගෙන යෑමට උත්සහ කරන්නේ කොතැනකට ද ? ස්වාමීන් වහන්සේලා ඉදිරියට දමමින් මොවුන් කරන්නට උත්සහ කරන්නේ රට තුළ නැවත ගැටුම්කාරී තත්ත්වයක් ඇති කිරීම ද ? ගැටලුවක් ඇත්නම් එයට විරෝධය පෑ යුත්තේ මෙලෙස නොව බුද්ධිමත් අයුරින්ය. ජනතාව දැනුවත් කර, එවැන්නක ප්‍රතිවිපාක ගැන මාධ්‍යය ඔස්සේ නිවැරැදි තර්ක විතර්ක ඉදිරිපත් කරමින් කිරීම වෙනුවට ජනතාව උසි ගන්වමින්, මැරයන් යෝදාගනිමින් මේ කරන්නේ මොනවාදැයි විමසිය යුත්තේමය. 



    -සටන්කාමියෙක් හා වැස්සට තෙමුණ කපුටෙක්-
    (ඡායාරූප අදහස හා ඡායාරූප ෆිලිප් ශාන්තගේ මුහුණු පොත් පිටුවෙනි.....)

හර්ෂණ තුෂාර සිල්වා
2017.01.08

Wednesday, January 4, 2017

අප කොතැනද



ආණ්ඩුව පෙරළීමට කටයුතු කරන බව හිටපු ජනාධිපති කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ඉකුත් දිනෙක පැවැසීය. ඔහු එසේ පවසද්දි ආණ්ඩුව 2020 තෙක් පවතින බවත් ආණ්ඩුව ශක්තිමත් කිසිදු දේශපාලන අස්ථාවරත්වයක් නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාත් හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රකාශයට පිළිතුරු දෙමින් පැවැසීය. 

වත්මන් දේශපාලනයේ සිටින ප්‍රබලතම තිදෙනා යැයි හැඳින්විය හැකි ඔවුන් තිදෙනා එලෙස ප්‍රකාශ කරන විට වත්මන් ජාතික ආණ්ඩුවේ විවිධ පාර්ශව එකිනෙකට පරස්පර ප්‍රකාශ කරන අතරම එක්සත් ජාතික පක්ෂය මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ සිටින පිරිස් ද එකිනෙකට පරස්පර ප්‍රකාශ කරනු දක්නට ලැබිණි.

අද රට හමුවේ පවතින ආර්ථික අර්බුදය ඇතුළු අර්බුද සියල්ල වත්මන් ආණ්ඩුව විසින් නිර්මාණය නොකළ ද වත්මන් ආණ්ඩුව ද ඊට වගකිව යුතුය. නිදහසින් පසු පත් වූ සෑම ආණ්ඩුවක්ම රටේ යහපත උදෙසා යම් යම් පියවර ගත්ත ද අද අප සිටින්නේ එදා සිටියාටත් වඩා පහත අඩියකය. 

මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත් කර 2015 වසරේ ජනවාරි 8 වැනිදා වත්මන් ආණ්ඩුව පිහිටුවීමට කටයුතු කරන ලද්දේ යටිතල පහසුකම් දියුණු කිරීමෙන් පමණක් රටක් සංවර්ධනය හෝ දියුණු කිරීම හෝ කළ නොහැකි බව පසක් කරමිනි. මහින්ද රාජපක්ෂ පාලන සමයේදී යටිතල පහසුකම් සංවර්ධනය කළ ද ඊට මුවා වී රටේ ඇති වූ දුර්දාන්ත පාලනය ජනවාරි 8 වැනිදා පරාජයට පත් කෙරිණි. මහ පරිමාණ හොරකම හා වංචාව ජනතාව ප්‍රතික්ෂේප කළහ. ඒ පාලනය එතැනින් අවසන් වුවද එවකට බලයේ සිටි පිරිස්වල බලපෑම්, ඔවුන් පත් කළ නිලධාරීන්ගේ බලපෑම්, ඔවුන් නිර්මාණය කළ ක්‍රියාකාරකම්වල අහිතකර ප්‍රතිවිපාක අද රට ඉදිරියේ පෙනෙන්ට තිබේ.

ඒ කෙසේ වෙතත් වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් අනතුරුව ද පසුගිය පාලනයේ දුර්දාන්ත ක්‍රියාකාරකම් ඉදිරියට ගෙන යනු දක්නට ලැබිණි. ඒවා යම් අවස්ථාවක පරාජයට පත් කිරීමට හැකියාව ලැබුණේ සිවිල් සමාජය, විපක්ෂ කණ්ඩායම්, ජනතාව, මාධ්‍ය හා ඒකාබද්ධ විපක්ෂයේ මැදිහත් වීම මතය. එසේ වත්මන් ආණ්ඩුවේ අකටයුතුකම් මර්දනය කිරීමෙන් ඉහත කී සියලු පාර්ශව නිර්දෝශී නොවන බව අප තේරුම් ගත යුතුය. සමාජයේ කිසිවකුත් සියයට සියයක් පිරිසුදු චරිත නොවන්නේය. හැමෝගේම කිල්ලෝටවල හුණු තිබෙන බව අප අවබෝධ කරගත යුතුය.

එහෙත් අපට අවශ්‍ය වන පාලනය වනුයේ අදාළ කාලයේ සිටින අවම වැරැදි සහිත පාලකයන්ය. එසේ නිශ්චිතව අවම වැරැදි පාලකයන් යැයි කිව හැකි පිරිසක් අපට වත්මන් දේශපාලකයන්ගෙන් හඳුන්වා දිය නොහැකිය. වත්මන් ආණ්ඩුව බලයට පත්  වීමෙන් පසු රටට යහපත් තීන්දු තීරණ, ප්‍රතිසංස්කරණ කළ ද ආණ්ඩුවේම නොහැකියාව ආණ්ඩුවේ සන්නිවේදන දුර්වලතාව නිසා ඒ පිළිබඳ ජනතාවට අවබෝධයක් දැනුමක් නොවීය. මීට වසර දෙකකට පෙර ජනවාරි 8 වැනිදා මහින්ද රාජපක්ෂ පාලනය පරාජයට පත් කිරීම සම්බන්ධයෙන් කිසිදු කනගාටුවක් එම පාර්ශවවලට නැතැයි විශ්වාස කරමි. එහෙත් වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ඔවුන්ට සතුටක් ඇතැයි ද විශ්වාස නොකරමි. පසුගිය ආණ්ඩුව මෙන්ම මේ ආණ්ඩුවේ ද අත්තනෝමතික තීරණ ගන්න, දේශපාලන ඇඟිලි ගැසීම් කරන පිරිස් මෙන්ම, පසුගිය ආණ්ඩුවේ මෙන්ම වත්මන් ආණ්ඩුවේ ද බලය පාර්ශව කිහිපයක් වටා කේන්ද්‍ර ගත වී ඇති බව බැලූ බැල්මට පෙනෙන්ට තිබේ. 

අපට අවශ්‍ය වන්නේ මැතිවරණ නොව යහපත් දේශපාලනයක්. යහපත් රටක්ය. මහින්ද රාජපක්ෂ වේවා, මෛත්‍රීපාල සිරිසේන වේවා, රනිල් වික්‍රමසිංහ වේවා, ශ්‍රීලනිප, එජාප, ජවිපෙ හෝ වෙනයම් පක්ෂයක ආණ්ඩුවක් වේවා යහපත් රටක්ය. ජනතාවට නිදහසේ ජීවත්විය හැකි රාජ්‍ය ආයතනයකින් තමන්ගේ කටයුත්තක් ඉක්මනින් කරගත හැකි රටක්ය. රටේ දරුවන්ට යහපත් අධ්‍යාපන ක්‍රමවේදයක්ය. අදට වඩා යහපත් සෞඛ්‍ය ක්ෂේත්‍රයක්ය. අදට වඩා හොඳ ප්‍රවාහන පද්ධතියක්ය. යහපත් ආර්ථිකයක්ය. 
අප එදා සිටියේ කොතැනද අද සිටින්නේ කොතැනද. පාලකයන්ට බියෙන් කුණු නොදාන රටක් නොව තමන්ම සිතා කුණු නොදාන රටක්ය. මර්ගයේ අදාළ මංතීරුවේ ගමන් කරන රටක්ය. එවැනි රටක් අද හෙට බිහිවන්නේ නැත. මිනිසුන්ගේ ආකල්ප වෙනස් විය යුතුය. හොඳ අධ්‍යාපන ක්‍රමවේදයක් අවශ්‍ය වන්නේ එබැවිනි. එහෙත් පාලකයන් ක්‍රමයෙන් අත්තනෝමතික තීරණ ගනිමින් සිටින බව කනගාටුවෙන් වුවද සඳහන් කළ යුතුය. පසුගිය ආණ්ඩුව විසින් එලෙස ගන්නා ලද යම් යම් පියවර මේ ආණ්ඩුව ඉදිරියට ගෙන යමින් තිබේ. 

තවමත් ජනතාව දෙපිළ බෙදී කා කොටාගන්නා රටකි අප සතුව ඇත්තේ. තවමත් අපට ශ්‍රී ලාංකික හැඟීම නැත. අරූ මුස්ලිම්, ඌ දෙමළ, ඒකා සිංහල, බෙදී වෙන් ව අපි ජීවත්වෙමු. කොතරම් වර්ගවාදී ගැටුම් තිබුණද ලෝකයේ තමන් ඉන්දියානුවෙන් කීමට ඉන්දියාවට හැකිය. දූෂණයට වංචාව ඉදිරියේ ඔවුන් එකටය. ඉන්දියාව පමණක් නොව ලොව අද දියුණු යැයි පැවසෙන, දියුණු වෙමින් පවතින රටවල් බොහෝමයක් එසේය. මෑත කාලීනව ඊට හොඳම උදාහරණය සපයන ලද්දේ දකුණු කොරියාවය. එබැවින් මැතිවරණවලදී ඡන්දය ප්‍රකාශ කළද රටේ තීරණ හමුවේ රටේ දියුණුව හමුවේ එකට සිටින ජනතාවක් අපට අවශ්‍යය. රටේ පුරවැසියකුට පහරදුන් විට ඊට එරෙහිව ජනතාවක් අපට අවශ්‍යය. පුරවැසියාගේ පක්ෂය, ජාතිය, ආගම, ආයතනය , කුල මල නොසලන ජනතාවක් අපට අවශ්‍යය. එකමුතුව වැඩ කරන ජනතාවක් අපට අවශ්‍යය. මේ රට ඉදිරියටත් මේ තත්ත්වයෙන් ගමන් කළහොත්, අනාගත පරම්පරාවටත් මේවාම ලියන්නට වනු ඇත. ලොව අනෙක් රටවල් කරන්නේ මොනවාද අප කරන්නේ මොනවාද ? අනෙක් රටවල් තාක්ෂණයෙන් ඉදිරියට යද්දි අපේ දරුවන් ඉගෙන ගන්නේ මොනවාද ? අනෙක් රටවල් ඉතිහාසය ගැන බොහෝ දේ සොයාගනිද්දි, ඔවුන්ගේ සංස්කෘතිය ආරක්ෂා කරගනිමින් ඉදිරියට යද්දි අප කරන්නේ මොනවාද ? උපුල් ශාන්ත සන්නස්ගල මහතා නිරන්තරයෙන් කියන කතාවක් මෑතකදී නැවත කීවේය. ‘යුරෝපය ඉදිරියට ගියාට පල්ලි කඩන්නේ නැත’ යන්න එයයි. 

ඡායාරූපය ඩේලි එෆ්.ටී ඇසුරිනි

හර්ෂණ තුෂාර සිල්වා
2016.01.04


‘මිඩ්ල් ක්ලාස්’ ක්‍රියිසිස් සහ ‘ඩිකෝඩිං’

අපි ජන සමාජයක් විදියට උග්‍ර අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. දරුවෙක්ගේ සාර්ථකත්වය මනින්නේ, යාන වාහනවලින්, උපාධිවලින්, හම්බවෙන පඩියෙන්, කරන රස්සා...

Blog Archive