මට හිතෙන දැනෙන දකින දේවල් ලියලා තියන තැන, ඇවිල්ලා බලන්න, එවබලව.............................මෙහි පළවන්නේ මාගේ පෞද්ගලික අදහස්ය
Wednesday, January 4, 2017
අප කොතැනද
ආණ්ඩුව පෙරළීමට කටයුතු කරන බව හිටපු ජනාධිපති කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ඉකුත් දිනෙක පැවැසීය. ඔහු එසේ පවසද්දි ආණ්ඩුව 2020 තෙක් පවතින බවත් ආණ්ඩුව ශක්තිමත් කිසිදු දේශපාලන අස්ථාවරත්වයක් නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාත් හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රකාශයට පිළිතුරු දෙමින් පැවැසීය.
වත්මන් දේශපාලනයේ සිටින ප්‍රබලතම තිදෙනා යැයි හැඳින්විය හැකි ඔවුන් තිදෙනා එලෙස ප්‍රකාශ කරන විට වත්මන් ජාතික ආණ්ඩුවේ විවිධ පාර්ශව එකිනෙකට පරස්පර ප්‍රකාශ කරන අතරම එක්සත් ජාතික පක්ෂය මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ සිටින පිරිස් ද එකිනෙකට පරස්පර ප්‍රකාශ කරනු දක්නට ලැබිණි.
අද රට හමුවේ පවතින ආර්ථික අර්බුදය ඇතුළු අර්බුද සියල්ල වත්මන් ආණ්ඩුව විසින් නිර්මාණය නොකළ ද වත්මන් ආණ්ඩුව ද ඊට වගකිව යුතුය. නිදහසින් පසු පත් වූ සෑම ආණ්ඩුවක්ම රටේ යහපත උදෙසා යම් යම් පියවර ගත්ත ද අද අප සිටින්නේ එදා සිටියාටත් වඩා පහත අඩියකය.
මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත් කර 2015 වසරේ ජනවාරි 8 වැනිදා වත්මන් ආණ්ඩුව පිහිටුවීමට කටයුතු කරන ලද්දේ යටිතල පහසුකම් දියුණු කිරීමෙන් පමණක් රටක් සංවර්ධනය හෝ දියුණු කිරීම හෝ කළ නොහැකි බව පසක් කරමිනි. මහින්ද රාජපක්ෂ පාලන සමයේදී යටිතල පහසුකම් සංවර්ධනය කළ ද ඊට මුවා වී රටේ ඇති වූ දුර්දාන්ත පාලනය ජනවාරි 8 වැනිදා පරාජයට පත් කෙරිණි. මහ පරිමාණ හොරකම හා වංචාව ජනතාව ප්‍රතික්ෂේප කළහ. ඒ පාලනය එතැනින් අවසන් වුවද එවකට බලයේ සිටි පිරිස්වල බලපෑම්, ඔවුන් පත් කළ නිලධාරීන්ගේ බලපෑම්, ඔවුන් නිර්මාණය කළ ක්‍රියාකාරකම්වල අහිතකර ප්‍රතිවිපාක අද රට ඉදිරියේ පෙනෙන්ට තිබේ.
ඒ කෙසේ වෙතත් වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් අනතුරුව ද පසුගිය පාලනයේ දුර්දාන්ත ක්‍රියාකාරකම් ඉදිරියට ගෙන යනු දක්නට ලැබිණි. ඒවා යම් අවස්ථාවක පරාජයට පත් කිරීමට හැකියාව ලැබුණේ සිවිල් සමාජය, විපක්ෂ කණ්ඩායම්, ජනතාව, මාධ්‍ය හා ඒකාබද්ධ විපක්ෂයේ මැදිහත් වීම මතය. එසේ වත්මන් ආණ්ඩුවේ අකටයුතුකම් මර්දනය කිරීමෙන් ඉහත කී සියලු පාර්ශව නිර්දෝශී නොවන බව අප තේරුම් ගත යුතුය. සමාජයේ කිසිවකුත් සියයට සියයක් පිරිසුදු චරිත නොවන්නේය. හැමෝගේම කිල්ලෝටවල හුණු තිබෙන බව අප අවබෝධ කරගත යුතුය.
එහෙත් අපට අවශ්‍ය වන පාලනය වනුයේ අදාළ කාලයේ සිටින අවම වැරැදි සහිත පාලකයන්ය. එසේ නිශ්චිතව අවම වැරැදි පාලකයන් යැයි කිව හැකි පිරිසක් අපට වත්මන් දේශපාලකයන්ගෙන් හඳුන්වා දිය නොහැකිය. වත්මන් ආණ්ඩුව බලයට පත් වීමෙන් පසු රටට යහපත් තීන්දු තීරණ, ප්‍රතිසංස්කරණ කළ ද ආණ්ඩුවේම නොහැකියාව ආණ්ඩුවේ සන්නිවේදන දුර්වලතාව නිසා ඒ පිළිබඳ ජනතාවට අවබෝධයක් දැනුමක් නොවීය. මීට වසර දෙකකට පෙර ජනවාරි 8 වැනිදා මහින්ද රාජපක්ෂ පාලනය පරාජයට පත් කිරීම සම්බන්ධයෙන් කිසිදු කනගාටුවක් එම පාර්ශවවලට නැතැයි විශ්වාස කරමි. එහෙත් වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ඔවුන්ට සතුටක් ඇතැයි ද විශ්වාස නොකරමි. පසුගිය ආණ්ඩුව මෙන්ම මේ ආණ්ඩුවේ ද අත්තනෝමතික තීරණ ගන්න, දේශපාලන ඇඟිලි ගැසීම් කරන පිරිස් මෙන්ම, පසුගිය ආණ්ඩුවේ මෙන්ම වත්මන් ආණ්ඩුවේ ද බලය පාර්ශව කිහිපයක් වටා කේන්ද්‍ර ගත වී ඇති බව බැලූ බැල්මට පෙනෙන්ට තිබේ.
අපට අවශ්‍ය වන්නේ මැතිවරණ නොව යහපත් දේශපාලනයක්. යහපත් රටක්ය. මහින්ද රාජපක්ෂ වේවා, මෛත්‍රීපාල සිරිසේන වේවා, රනිල් වික්‍රමසිංහ වේවා, ශ්‍රීලනිප, එජාප, ජවිපෙ හෝ වෙනයම් පක්ෂයක ආණ්ඩුවක් වේවා යහපත් රටක්ය. ජනතාවට නිදහසේ ජීවත්විය හැකි රාජ්‍ය ආයතනයකින් තමන්ගේ කටයුත්තක් ඉක්මනින් කරගත හැකි රටක්ය. රටේ දරුවන්ට යහපත් අධ්‍යාපන ක්‍රමවේදයක්ය. අදට වඩා යහපත් සෞඛ්‍ය ක්ෂේත්‍රයක්ය. අදට වඩා හොඳ ප්‍රවාහන පද්ධතියක්ය. යහපත් ආර්ථිකයක්ය.
අප එදා සිටියේ කොතැනද අද සිටින්නේ කොතැනද. පාලකයන්ට බියෙන් කුණු නොදාන රටක් නොව තමන්ම සිතා කුණු නොදාන රටක්ය. මර්ගයේ අදාළ මංතීරුවේ ගමන් කරන රටක්ය. එවැනි රටක් අද හෙට බිහිවන්නේ නැත. මිනිසුන්ගේ ආකල්ප වෙනස් විය යුතුය. හොඳ අධ්‍යාපන ක්‍රමවේදයක් අවශ්‍ය වන්නේ එබැවිනි. එහෙත් පාලකයන් ක්‍රමයෙන් අත්තනෝමතික තීරණ ගනිමින් සිටින බව කනගාටුවෙන් වුවද සඳහන් කළ යුතුය. පසුගිය ආණ්ඩුව විසින් එලෙස ගන්නා ලද යම් යම් පියවර මේ ආණ්ඩුව ඉදිරියට ගෙන යමින් තිබේ.
තවමත් ජනතාව දෙපිළ බෙදී කා කොටාගන්නා රටකි අප සතුව ඇත්තේ. තවමත් අපට ශ්‍රී ලාංකික හැඟීම නැත. අරූ මුස්ලිම්, ඌ දෙමළ, ඒකා සිංහල, බෙදී වෙන් ව අපි ජීවත්වෙමු. කොතරම් වර්ගවාදී ගැටුම් තිබුණද ලෝකයේ තමන් ඉන්දියානුවෙන් කීමට ඉන්දියාවට හැකිය. දූෂණයට වංචාව ඉදිරියේ ඔවුන් එකටය. ඉන්දියාව පමණක් නොව ලොව අද දියුණු යැයි පැවසෙන, දියුණු වෙමින් පවතින රටවල් බොහෝමයක් එසේය. මෑත කාලීනව ඊට හොඳම උදාහරණය සපයන ලද්දේ දකුණු කොරියාවය. එබැවින් මැතිවරණවලදී ඡන්දය ප්‍රකාශ කළද රටේ තීරණ හමුවේ රටේ දියුණුව හමුවේ එකට සිටින ජනතාවක් අපට අවශ්‍යය. රටේ පුරවැසියකුට පහරදුන් විට ඊට එරෙහිව ජනතාවක් අපට අවශ්‍යය. පුරවැසියාගේ පක්ෂය, ජාතිය, ආගම, ආයතනය , කුල මල නොසලන ජනතාවක් අපට අවශ්‍යය. එකමුතුව වැඩ කරන ජනතාවක් අපට අවශ්‍යය. මේ රට ඉදිරියටත් මේ තත්ත්වයෙන් ගමන් කළහොත්, අනාගත පරම්පරාවටත් මේවාම ලියන්නට වනු ඇත. ලොව අනෙක් රටවල් කරන්නේ මොනවාද අප කරන්නේ මොනවාද ? අනෙක් රටවල් තාක්ෂණයෙන් ඉදිරියට යද්දි අපේ දරුවන් ඉගෙන ගන්නේ මොනවාද ? අනෙක් රටවල් ඉතිහාසය ගැන බොහෝ දේ සොයාගනිද්දි, ඔවුන්ගේ සංස්කෘතිය ආරක්ෂා කරගනිමින් ඉදිරියට යද්දි අප කරන්නේ මොනවාද ? උපුල් ශාන්ත සන්නස්ගල මහතා නිරන්තරයෙන් කියන කතාවක් මෑතකදී නැවත කීවේය. ‘යුරෝපය ඉදිරියට ගියාට පල්ලි කඩන්නේ නැත’ යන්න එයයි.
ඡායාරූපය ඩේලි එෆ්.ටී ඇසුරිනි
හර්ෂණ තුෂාර සිල්වා
2016.01.04
Subscribe to:
Post Comments (Atom)
‘මිඩ්ල් ක්ලාස්’ ක්‍රියිසිස් සහ ‘ඩිකෝඩිං’
අපි ජන සමාජයක් විදියට උග්‍ර අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. දරුවෙක්ගේ සාර්ථකත්වය මනින්නේ, යාන වාහනවලින්, උපාධිවලින්, හම්බවෙන පඩියෙන්, කරන රස්සා...
-
කැලැරන්ස් විජේවර්ධන, සිනමා කතාව බලන්නට ඉස්පාසුවක් ලැබුණේ අද ඉරිදා ය. මිතුරන් කිහිපදෙනකු සමඟ කැලැරන්ස් බලන්නට මීට සති දෙකකට කලින් ප්‍රවේශ පත...
-
අපි ජන සමාජයක් විදියට උග්‍ර අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. දරුවෙක්ගේ සාර්ථකත්වය මනින්නේ, යාන වාහනවලින්, උපාධිවලින්, හම්බවෙන පඩියෙන්, කරන රස්සා...

No comments:
Post a Comment