Showing posts with label ප්‍රචණ්ඩත්වය. Show all posts
Showing posts with label ප්‍රචණ්ඩත්වය. Show all posts

Friday, July 28, 2023

තරිඳු නිදහස් කරනු

ඡායාරූපය - ෆේස්බුක් 


මා හා තරිඳු අතර මිත්‍රත්වය ආරම්භ වන්නේ මීට අවුරුදු දහයකට පෙර යැයි කිවහොත් වඩාත් නිවැරැදි ය. එකල තරිඳු රාවය පුවත්පතේ ය. මම ලංකාදීපයේ ය.

තරිඳු සිරගත කිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ විශේෂයෙන්ම ෆේස්බුක් ජන සමාජය තුළ විශාල කතාබහක් ඇති වී තිබේ. අනෙක් අතට තරිඳු කවුරුන්ද යන වග නොදන්නා අති විශාල ජන පිරිසක් මේ රටේ ජීවත් වෙති. තරිඳු ගැන නොදැනීම නම් කමක් නැත. එහෙත් මානව හිමිකම් යනු කවරේද ? භාෂණයේ නිදහස, ප්‍රකාශනයේ නිදහස, සිතීමේ නිදහස, විරෝධතා කිරීමේ නිදහස යනාදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ම සහතික කර දී ඇති මානව සමාජයක ප්‍රගමනයට බලපාන බොහෝ මූලික මිනිස් අයිතිවාසිකම් නොදන්නා අති විශාල ජනකායක් මෙරට ජීවත් වෙති.

අනෙක් අතට සම්බෝලයි බතුයිවත් කන්නට බැරි මිනිස්සුන්ට මොන මානව හිමිකම් ද යන ප්‍රශ්නය ද පැන නැගේ. ඔවුන් සවිබල ආහාර වේලක් ගන්නා දවසක මානව හිමිකම් කියා දෙන්නට ගියහොත් කියා දෙන්නට මානව හිමිකමකුත් කන්නට සම්බෝලයි බතුයිවත් නොතිබෙන්නට පුළුවන.

මා හා තරිඳු අතර, නැතිනම් අප යාළු මිත්‍රකමට කියන උඩුවා අතර මිත්‍රත්වය ආරම්භ වන්නේ තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ආරම්භ කිරීමට යන සමයේ ය.

තරිඳු මෙන්ම බිඟුන්, තරිඳු ජයවර්ධන, කසුන් පුස්සෙවල, ශාලික විමලසේන, නිරෝෂ් මෛත්‍රී, දිල්හාන් විමල්ක ආදී මෙකී නම් රැසක් කියන්නට හැකි ය. මේ මිත්‍ර සමාගම්වලට නීතිඥයන්, ක්‍රියාකාරීන්, ඇතුළු විවිධ වෘත්තිකයෝ ද එක්වූහ. ජයන්ත, රමිඳු, නජිත් මේ යනාදී අය වන අතර ඔවුන් ද තරිඳු ගැන මේ වනවිටත් සිය අවංක අදහස් සමාජ මාධ්‍යයට එක් කර ඇත.

තරිඳු ගැන ලිවීමේ ප්‍රධාන කාරණය. තරිඳු යනු අප සියලු දෙනා කැමැති අප බොහෝදෙනා ගරු කරන පුද්ගලයෙකි.

අප මිත්‍ර සංගමය තුළ ද නිරන්තරයෙන් වාද විවාද විවිධ මති මතාන්තර ඉදිරිපත් ව තිබේ. අප මේ සම්බන්ධයෙන් ඕනෑ තරම් වාද විවාද කර ඇත.

තරිඳු සිරභාරයට ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ මේ වනවිට ලොකු කතාබහක් ඇති වී තිබේ.

ඉන් ප්‍රධානම කාරණයක් වනුයේ තරිඳු මාධ්‍යවේදියෙක් ද ? සමාජ ක්‍රියාකාරිකයෙක් ද ? තරිඳු විඩියෝ කළේ ද නැද්ද යනාදි යි. මාධ්‍යවේදී හෝ සමාජ ක්‍රියාකාරි භූමිකාව හෝ දෙකම එකට කළ හැකි ද යනාදී ප්‍රශ්න ය.

මේ රටේ මාධ්‍ය ආචාර ධර්ම සම්බන්ධයෙන් විශාල කතාබහක් ද තිබේ. ඉහත සඳහන් කළ හෝ සමාජ මාධ්‍යයේ තරිඳු ගැන කරන කිසිදු ප්‍රශ්නයක් තරිඳු සිරභාරයට ගැනීමට හේතුවක් නොවේ. තරිඳුට මාධ්‍යවේදියකු වන්නටත් සමාජ ක්‍රියාකාරියකු වන්නටත් අයිතියක් තිබේ. ඒ දෙකම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර තිබෙන අයිතිවාසිකම් ය. පොලිසියේ නොපනත්කම් විඩියෝ කරන්නට ඕනෑම පුරවැසියකුට අයිතියක් තිබේ.

කොණ්ඩයෙන් ඇදීමටත්, පහරදීමටත්, වදහිංසා කරමින් අමානුෂික ලෙස පහර දීමටත් කිසිවකුටත් අයිතියක් නැත. ඒ කිසිවක් නොමැතිව නිදහසේ සිතීමට, නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමට, තමන් කැමැති ලිවීමට කීමට පුරවැසියන්ට අයිතියක් තිබේ. පුරවැසියන්ට තිබෙන සීමා මායිම් නිසා ඔවුන්ට ඡන්ද අයිතිවාසිකම් තුළින් තමන් වෙනුවෙන් තීන්දු තීරණ ගැනීමට ඒවා ක්‍රියාත්මක කිරීම යන ක්‍රියාවලියට නියෝජිතයන් පත් කර යැවීමට හැකියාව තිබේ. මේ පත් කර යවන පිරිස් ඒවා කරන්නේ ද යන්න වෙනම කාරණයකි.

මාධ්‍ය හෝ මාධ්‍යවේදීන් හෝ යනු ඒ ක්‍රියාවලියට සමාන පිරිසකි. මාධ්‍ය, රටක සිව්වුනි ආණ්ඩුව වන්නේ ද එක අතකින් ඒ නිසා ය. පුරවැසියන්ට සීමා ඇත. මාධ්‍යවේදීන් යනු පුරවැසියන් වෙනුවෙන් රටේ මහජනතාව වෙනුවෙන් එම සීමා ඉක්මවා යන පිරිසකි. මාධ්‍යයේ ප්‍රධාන මූලධර්මය ‘මහජන යහපත’, ‘මහජන ලැදියාව’, ‘මහජන අභිලාෂ’, වන්නේ එහෙයිනි.

තරිඳු මාධ්‍යවේදියෙක් ද ? සමාජ ක්‍රියාකාරිකයෙක් ද ? මාධ්‍යවේදියෙක් සමාජ ක්‍රියාකාරිකයෙක් නම් මාධ්‍යවේදියෙක් වන්නේ කොහොම ද ? සමාජ ක්‍රියාකාරිකයකුට මාධ්‍යවේදියකු විය හැකි ද යනා දී අනෙක් ප්‍රශ්න අසමින් ඔහුගේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් නිහඬ ප්‍රතිපත්තියක් දරන්නේ නම්, කියන්නට ඇත්තේ ඔවුන් ඔබ සොයා පැමිණෙනු ඇති බව ය. එවිට ඔබට ඔබවත් නොසිටිනු ඇත.

මාධ්‍යවේදියකු හෝ සමාජ ක්‍රියාකාරියකු හෝ සාමාන්‍ය පුරවැසියකු හෝ මෙලෙස අත්අඩංගුවට ගැනීමටත් මිලේච්ඡ ලෙස පහර දීමටත් කිසිවකුටත් අයිතියක් නැත. පොලිසියේ කෲර සැලකීම් ගැන දැන් කලක් තිස්සේ කතාබහට ලක්වූවත් තවමත් ඒවාට කිසිදු පිළියමක් ලැබී නැත. බොහෝ දෙනාගේ නිහඬ බව නිසාම ඒවා දිගින් දිගටම සිදුවෙමින් තිබේ.

තරිඳු සිරභාරයට ගැනීම මාධ්‍ය නිදහසට, භාෂණයේ නිදහසට, පුරවැසි අයිතිවාසිකම්වලට, මානව හිමිකම්වලට, යනාදී ශිෂ්ට සම්පන්න සමාජයක අපි පිළිගන්නා සියලු දේට එල්ල වූ බරපතළ ප්‍රහාරයකි. මේ මොහොතේ ඊට විරුද්ධ වීම හැර වෙනත් කිසිදු ප්‍රමුඛ කාර්යයක් නැත.

Sunday, May 16, 2021

අපේ දෙබිඩි කම

 

පලස්තීන ජනාතව වෙනුවෙන් හරිම නම් මුලින්ම පාරට බහින්න ඕනේ මේ රටේ මිනිස්සු. ඒත් එහෙම වෙන්නේ නෑ. (වයිරසේ පැතිරෙන නිසා එක් රැස් වෙන්න බෑ කියන එක සාධාරණ හේතුවක්).

පොලිසියේ කෲරත්වය ගැන ඇමෙරිකාව මිනිස්සු පාරට බැස්සාම, ඇමෙරිකාවේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ වගේ තමයි අපේ මිනිස්සු හිටියේ.

හැබැයි අන්තිමට මොකද වුණේ ?


ලංකාවේ පොලිසිය මිනිස්සුන්ට ගහද්දි අපේ මිනිස්සු ගෙවල්වල. තමන්ට පුළුවන් විදියට වචනයකින් හරි විරෝධය පළ කරන මිනිස්සු ගැන නෙමෙයි මේ කියන්නේ.

අපේ දෙබිඩි කම් ගැන.

පලස්තීනේ ජනතාව වෙනුවෙන් මුලින්ම පාරට බහින්න ඕනේ ලංකාවේ මිනිස්සු කියන්න විශේෂ හේතු කිහිපයක්ම තියෙනවා.

එකක් ශ්‍රී ලංකා පලස්තීන  මිත්‍ර සංගමය ආරම්භය සනිටුවහන් කරන්නේ මහින්ද රාජපක්ෂ වෙන නිසා.

දෙවැන්න මහින්ද රාජපක්ෂ මහත්තයාගේ නමින් පලස්තීනයේ පාරක් තියෙනවා.

පලස්තීනයේ ඉහළම සම්මානයෙන් මහින්ද රාජපක්ෂ පිදුම් ලබා තිබීම තෙවැන්න යි.  

මෙවාගේ සරල සුමට හේතු නිසා ම නෙමෙයි.

පලස්තීනය නැතිනම් පලස්තීන ජනතාව සටන් වදින්නේ තමන්ට රටක් වෙනුවෙන්. එහෙම බලද්දි මේ ලංකාවේ මිනිස්සු රටක් වෙනුවෙන් සටන් වැදුණා.

පලස්තීන ප්‍රශ්නය සරල ප්‍රශ්නයක් නෙමෙයි.

අනෙක් කරුණු මේ ආණ්ඩුවේ සහ රට ඇතුළු තියෙන බොරු මුස්ලිම් විරෝධය.

විශේෂයෙන්ම මේ ආණ්ඩුවට, කලින් පැවැති මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට බෙහෙවින් උදව් කරපු පිරිසක් තමයි මුස්ලිම් රටවල්.

යුද්ධය අවසන් කරන්න පාකිස්තානය එහෙමත් විශාල සහායක් දුන්නා.

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාවට මුස්ලිම් රටවල් සහාය දුන්නා.

එහෙම තියාගෙන මේ ආණ්ඩුව ඡන්ද දිනන්න බොරු මුස්ලිම් විරෝධයක් ඇති කරනවා.

එහෙම තියෙන කොටම ඇතැම් මාධ්‍යයත් සමාජ මාධ්‍යයත් ඊශ්‍රායල පලස්තීන අර්බුදය මුස්ලිම් යුදෙව් එහෙමත් නැතිනම් අරාබි සහ යුදෙව් ප්‍රශ්නයක් විදියට හරිම සරල හා සාමාන්‍යකරණය කරනවා.

මේක ඒ විදියේ සරල ප්‍රශ්නයක් නෙමෙයි.

පලස්තීන ප්‍රශ්නය හා සමාන ප්‍රශ්න කිහිපයක්ම ලෝකයේ තියෙනවා.

උදාහරණයක් විදියට කාශ්මීරය.

ලෝක පැරැණිතම සහ සංකීර්ණම ගැටුම්වලින් එකක් තමයි ඊශ්‍රායල පලස්තීන අර්බුදය.

එල්.ටී.ටී.ඊ. සංවිධානය වෙනම රටක් වෙනම පාලනයක් ඉල්ලද්දි ඊට දැඩිව විරුද්ධ වුණ පිරිස් කොහොමද ඊශ්‍රායලයේ පැත්ත ගන්නේ ?

හරිම සරලයි, අවුරුදු 30ක යුද්ධයත්, දෙමළ ජනාතවත් තේරුම් නොගැනීම.

රටේ අවුරුදු 30ක සිවිල් යුද්ධය තේරුම් නොගැනීම.

විශේෂයෙන්ම සිවිල් යුද්ධය, එල්.ටී.ටී.ඊ. සංවිධානය සහ ශ්‍රී ලංකා හමුදාව අතර යුද්ධයක් විදියට සීමා කිරීම.

ත්‍රස්තවාදීන් පරාජය කිරීමක් විදියට සරල කිරීම.

යුද්ධය දේශපාලනීයකරණය කර, තමන්ගේ ඡන්දවලට යුද්ධයත් ඒ අර්බුදයත් භාවිත කිරීම.

ඉතා සංකීර්ණ ප්‍රශ්න සාමාන්‍යකරණය සහ සරල කිරීම අපේ රටේ පාලකයන්ගේ පුරුද්දක්. ඊට උඩගෙඩි දෙන මාධ්‍යයත් ඒවටම හරියන ජනතාවකුත් අපිට ඉන්න එක ගැන සතුටු වෙන්න අවශ්‍ය යි.

යුද්ධයත්, යුද්ධය අවසන් කිරීමෙන් ලද අර්ධ සාමයත්, ආරක්ෂක අංශ සාමාජිකයනුත් විකුණාගෙන කනවා මේ රටේ හැම පක්ෂයකම දේශපාලනඥයෝ. ඒකටම හරියන පාක්ෂිකයෝ ටිකක් ඒ ඒ පක්ෂවලට ඉන්නවා.

ඊශ්‍රායලයේ ගුවන් යානා ඇවිල්ලා පලස්තීනයේ සාමාන්‍ය මිනිස්සුන්ගේ පුංචි දරුවන්ගේ ගෙවල් දොරවල්වලට බෝම්බ දානවා. එහෙම නම්,

හමාස් සංවිධානය සහ පලස්තීනයේ සන්නද්ධ කණ්ඩායම් රොකට් ප්‍රහාර එල්ල කරද්දි, සයිරන් නාදෙට ඊශ්‍රායලයේ මිනිස්සු බයෙන් ඉන්නවා නම්,

ඒ වගේම දේවල් අපට අහලා පුරුදු හුරු පුරුදු තැන්වල වුණා කියලා හිතන්න පුළුවන් නම්,

ඉන්දියන් සාගරයේ පුංචියට තියෙන රට මීට වඩා ලස්සන වෙන්න තිබ්බා නේද ?

ඉතින් ඊශ්‍රායල පලස්තීන ප්‍රශ්නය,

පලස්තීනය වෙනුවෙන් පෙනී සිටින ගමන්, ඊශ්‍රායලයේ ජනතාව ගැනත් කතා කරන්න අවශ්‍ය යි. ඊශ්‍රායලයේ දැඩි අන්තවාදී මත අදහස් දරන තමන්ගේ පරාජය යුද්ධයකින් වසා ගන්න හදන පාලකයෝ වෙනුවෙන් නම් නෙමෙයි.

අසල්වැසි ඉන්දියාවේ ඇතැම් පාලකයෝත් එහෙමයි, ඡන්දේ වෙලාවට, පාකිස්තානය පරම හතුරා කියලා ජනතාවට ඒත්තු ගන්වනවා,

පලස්තීන ජනතාව වෙනුවෙන් පෙනී සිටින්න අවශ්‍ය වෙන්නේ, ඉස්සෙල්ලා කියපු හරිම සරල, සරල වචනයෙන් කිව්වොත් සරල හේතු නිසාමත්, දෙවැනියට කිව්ව බරපතළ කරුණු නිසාමත් නෙමෙයි නං, තුන්වෙනියට රටක් විදියට ප්‍රතිපත්තියක් විදියට අපි අනුගමනය කරන ප්‍රතිපත්ති නිසාවත් අඩු ගානේ,

ශ්‍රී ලංකාව පලස්තීනය රාජ්‍යයක් විදියට පිළිගන්නේ 1988, පලස්තීනය රාජ්‍යයක් විදියට පිළිගත්ත මුල්ම රටවල් කිහිපය අතරට අපිත් අයත්,

පී.එල්.ඕ./පලස්තීන් ලිබරේෂන් ඕගනයිෂේෂන් (Palestine Liberation Organization) එහෙමත් නැතිනම් පලස්තීන විමුක්ති සංවිධානය සහ ශ්‍රී ලංකාව අතර සම්බන්ධතා ඊටත් වඩා පැරැණියි, එම සංවිධානයේ කාර්යලයක් කොළඹ දී පිහිටුවන්නේ 1975 දී.

ඊශ්‍රායලය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා පටන් ගන්නේ ජේ.ආර්. ජයවර්ධන, ඔන්න ජේ.ආර්. සහ යු.එන්.පී. විරෝධී අයට ඊශ්‍රායලයට විරුද්ධ වෙන්න අවස්ථාවක්.

ඊට පස්සේ ආර්.ප්‍රේමදාස ඊශ්‍රායලය සමඟ සම්බන්ධතා නවත්වන්න පියවර ගන්නවා 1990 දී.

මේ විදියට අපට හේතු රැසක් තියෙනවා.

ඊශ්‍රායලය සතුරකු ලෙස දකින්න අවශ්‍ය නැහැ. ඇතැම් උද්ධච්ඡ පාලකයන්ගේ ක්‍රියාකාරකම් නිසා මේ අර්බුදය උත්සන්න වෙලා තියෙනවා.

ඊශ්‍රායලය සමඟ සම්බන්ධකම් තියාගන්න ගන්න ගමන් පලස්තීනයේ ජනතාව වෙනුවෙන් වගේම ඊශ්‍රායලයේ පීඩාවට පත්වෙන ජනතාව වෙනුවෙනුත් කතා කරන්න අපිට පුළුවන් වෙන්න ඕනේ.

පලස්තීන සහයෝගීතා දිනය වෙනුවෙන් අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉකුත් අවුරුද්දේ නිකුත් කරපු නිවේදනයෙන්ම මෙය අවසන් කරන්නං,

“පලස්තීන විමුක්ති සංවිධානය නමින් පලස්තීනය බේරා ගැනීමේ සන්ධානයක් ප්‍රථමවරට ශ්‍රී ලංකාව තුළ පිහිටුවීමේදී එහි සභාපතීත්වය මා හට පිරි නැමීමත්, පලස්තීනය වෙනුවෙන් කළ ජාත්‍යන්තර මැදිහත්වීම අගය කරමින් පලස්තීනයේ ඉහළම සම්මානය වන පලස්තීන තාරකාව මා හට පිරිනැමීමත් අද දිනයේ කෘතවේදීව  සිහිකරමි.
ශ්‍රී ලංකාව හා පස්තීන රාජ්‍යයන් අතර සබඳතා විශේෂය. පලස්තීන රජයට හා පලස්තීනයේ මිත්‍රශීලී ජනතාවට උපරිම සහායෝගය ලබාදීමට අපි ඉදිරියේදීත්
බැඳී සිටින්නෙමු. පලස්තීනය යනුවෙන් ස්වෛරී රාජ්‍යයක් නුදුරු දිනයක ලෝක සිතියමට එක්

වේවායි ප්‍රාර්ථනා කරමි!

මහින්ද රාජපක්ෂ
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
අග්‍රාමාත්‍ය”

 

https://sinhala.news.lk/news/political-current-affairs/item/41086-2020-11-28-14-30-45

http://archives.dinamina.lk/2014/01/10/_art.asp?fn=f1401102

https://mfa.gov.lk/pc-sl-p/

https://sinhala.news.lk/news/political-current-affairs/item/41086-2020-11-28-14-30-45

https://www.divaina.com/2014/07/24/news37.html

http://thediplomaticsociety.com/index.php/archive/archive/420-palestine-has-strong-historic-relations-with-sri-lanka-the-maldives-and-south-africa-ambassador-of-the-state-of-palestine-to-sri-lanka-and-the-maldives-

http://archives.dailynews.lk/2008/10/09/fea01.asp

https://www.upi.com/Archives/1990/03/20/Sri-Lanka-to-suspend-relations-with-Israel/6077637909200/

https://www.upi.com/Archives/1990/03/20/Sri-Lanka-to-suspend-relations-with-Israel/6077637909200/

ඡායාරූපය https://www.bbc.com/sinhala/news/story/2004/11/041112_arafat_funeral

 

 

Monday, March 5, 2018

අපි අදත් කාසීම්ලාට, ධර්මෙලාට , රාජසුන්දරම්ලාට එන්න යැයි අඬ ගසමු

ප්‍රචණ්ඩත්වය කිසි ලෙසකින් ප්‍රශ්න නොවිසඳන බව අප තවමත් අවබෝධ නොකර ගැනීම මේ රටේ යමින් තිබෙන ඛේදනීය තත්ත්වය ඕනෑවටත් වඩා හොඳින් අපට පසක් කර තිබේ. ඉතිහාසය පැත්තකින් තබමු. 1956 සිට අද දක්වාම අප කොතරම් ප්‍රචණ්ඩකාරීව හැසිරුණේද යන්නට අමුතුවෙන් හෝ අලුතෙන් ලිවිය යුතු නැත. කනගාටුව මොනතරම් ලේ වැගිරීම් සිදුවුවත් අපි කිසිදු අවස්ථාවකදී ඒ කිසිවකින් පාඩම් ඉගෙන නොගැනීමය.

ආසන්න වශයෙන් අම්පාරත් ඉන් පසුවත් දිගනත් අපට ඒ බව හොඳින්ම කියා පාන්නේය. එපමණක් නොව දිවි නසා ගැනීම සඳහා හමුදා සාමාජිකයකු රැගෙන ආ බෝම්බයද අපට ඒ පාඩම් කියා දෙන්නේය. හමුදා සාමාජිකයා තමන් බෝම්බය රැගෙන ආවේ සිය දිවි නසා ගන්නට යැයි පාපොච්චාරණය කරද්දි ඇතැම් දේශපාලකයන් තම පටු දේශපාලන වාසි ඉටු කරගැනීම සඳහා එය ත්‍රස්තවාදය යැයි ද බෝම්බය යැයි ද නිරන්තරයෙන් පාරම්බාන්නට විය.

අම්පාරේ සිදුවීමේදී මෙන්ම දිගන සිදුවීමේදීත් වර්ගවාදය, ජාතිවාදය, ප්‍රචණ්ඩත්වය වපුරන ලොකු කුඩා සැමට ජාති, ආගම් ආදී කිසිදු භේදයකින් තොරව නීතිය ක්‍රියාත්මක විය යුතුය. පහළම සමාජ තත්ත්වයේ සිට ඉහළම සමාජ තත්ත්වය දක්වා දිවෙන සෑම තරාතිරමකම සිටින සියලු දෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුය.
ප්‍රශ්න විසඳාගැනීම සාකච්ඡා කිරීමට අකැමැති බහුතර ජනතාවක් සිටින රටක අපට සාමය ගොඩනැගීම සාමය ස්ථාපිත කිරීම සඳහා බොහෝ දේ කළ යුතුය. සිංහල දෙමළ මුස්ලිම් යනුවෙන් බෙදා වෙන් කොට මෙය ලියන්නට සිදුවීම තවත් කනගාටුවකි.

අම්පාරේදී සිංහලයන් ද දිගනදී මුස්ලිම් වැසියන් ද අමන හා මුග්ධ ලෙසින් හැසිරුණේය. අවසානයේ දෙපැත්තේම මුග්ධයෝ ගිනි තැබූහ.

අපේ රට මෙතරම් සුන්දර විවිධ ජන කොටස්, විවිධ ආගමික කොටස්, විවිධ සංස්කෘතීන් විවිධ ජන සම්ප්‍රදායන්ගෙන් පෝෂිත නිසාය. ජන කොටස් පමණක් නොව සොබා සම්පත අතින් ද විවිධත්වයට උරුමකම් කියන අපේ රටේ මෙතරම් ලස්සන විවිධත්වය නිසාය. මේ විවිධත්වය තේරුම් ගැනීමට නොහැකි අපේ අවාසනාව මිස අන් යමක් නොවේ.

රටවට කර මුහුද, කඳුකරය, රජරට, උතුර, දකුණ, දිය ඇළි මේ ආදී සියල්ලේ එකතුවට අප කියන නම ලංකාවය. සිංහල, දෙමළ, මුස්ලිම් යන ජනකොටස්, බෞද්ධ, හින්දු, කතෝලික, ඉස්ලාම් යන මේ සියලු ජනකොටස්වලින් සමන්විත අපි ශ්‍රී ලාංකිකයෝ වෙමු. මේ විවිධත්වය අපේ ශක්තියක් මිස අපේ දුර්වලතාවක් නොවන බව අප පසක් කරගන්නේ කවදාද එදින අපේ රටේ ජයග්‍රහණයේ පළමු පියවර වනු ඇත.
පනස් හයේ සිට කලකෝලහල, තිස් අවුරුද්දක යුද්ධය ඉන් පසු ඇති වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම් අපේ රටේ විනාශයටත් ආපස්සටත් ගෙන ගියා මිස අඩියක් හෝ ඉදිරියට ගෙන නොගියේය. දෙපැත්තට තුන් පැත්තට හැකි සෑම පැත්තකටම බෙදී එකිනෙකාට පහර දෙමින් ලේ වගුරුවමින් අප සොයන්නේ මොනවාදැයි මොහොතක් හෝ කල්පනා කරන්නට හැකි නම්, එහෙත් එවැන්නක් සිදු වන බවක් අපට පෙනෙන්නට නැත.
දේශපාලකයන් තම තමන්ගේ පටු වුවමනා එපාකම් වෙනුවෙන් ඕනෑම මුග්ධ මිලේච්ඡ ක්‍රියාවක් සිදු කරන බව අපට පසුගිය දශක කිහිපයේදීම දක්නට ලැබුණකි. සෑම පක්ෂයකම සෑම තරාතිරකම සෑම ජාතියක් ආගමක් නියෝජනය සෑම ආකාරයකම දේශපාලකයන්, අතලොස්සක් හැරෙන්නට අන් සියලු දෙනා ගිනි අවුලනවා මිස ගිනි නිවන්නට කිසිම අවස්ථාවකදී කටයුතු නොකළේය.

පාට පක්ෂ, ආගම්වලට, ජාතීවලට බෙදී ඇණ කොටා ගන්නවාට වඩා අපට කරන්නට බොහෝ දේ තිබේ. ශ්‍රී ලාංකිකයෝ ලෙස අපට කරන්නට බොහෝ දේ. රටක් ලෙස අප ලොව කෙසේ වෙතත් කලාපයේ අන් රටවලට සිටින්නේ ගව් ගණනක් පිටුපසිනි. අපට කරන්නට බොහෝ දේ තිබේ. පොලු මුගුරු ගෙන අනෙකාගේ ඔළු පෙළෙන්නට ඔබට කරන්නට තිබෙන දහසක් දේ ගැන සිතන්න. ඒ වෙනුවෙන් විනාඩියක් වැය කරන්න.

සේකරයන් හැත්තෑව දශකය මැදදි ධර්මෙලාට, කාසීම්ලාට, රාජසුන්දරම්ලාට ලෝකය යහපත් තැනක් කරන්නට එන්න කීවේය. කවි ලීවේය. පොත් ලීවේය. ලෝකය කෙසේ වෙතත් අපේ රට යහපත් තැනක් කරන්නට ධර්මෙලාට වුවමනා නොවීය. කාසීම්වලට වුවමනා නොවීය. රාජසුන්දරම්ලාට වුවමනා නොවීය. ඒ නිසා තවමත් අපි පව් ගෙවන්නෙමු. අපි අදත් කාසීම්ලාට, ධර්මෙලාට , රාජසුන්දරම්ලාට එන්න යැයි අඬ ගසමු. ඔවුන් කවදා අපේ ආරාධනාව පිළිගනිවිද ? එන්න . අපි දෑත් දිගුකර බලා හිඳින්නෙමු.

ඡායාරූපය අමිල ගමගේ


හර්ෂණ තුෂාර සිල්වා
2018.03.05


Tuesday, May 23, 2017

යුද්ධය ගැන නැවත නැවත ලිවීමට සිදුවීම අකැමැති මාතෘකාවක් වුවද ලියන්නට හේතු සාධක වන දෑ බොහෝ අවස්ථාවලදී අත්දකින්නට සිදුවේ. සිවිල් යුද්ධයක්, මහා පරිමාණ යුද්ධයක් ද හෝ මොනයම් අර්ථකතන දුන්න ද තිස් වසරක් මුළුල්ලේ පැවැති ගැටුම්වලින් අපට අහිමි වූ ජීවිත ගණන අති මහත්ය. ඒ නිසා මේ රටේ නැවත යුද්ධයක් හෝ ජාතීන් අතර ගැටුමක් ඇති වීමට ඉඩ නොදීම අප සියලු දෙනා සතු වගකීමකි.

දශක තුනක් පුරා පැවැති යුද්ධයේ අපි අමතක කළ යුතු නැත. එහෙත් යුද්ධය ගැන මතකය මිනිසුන්ගේ සිත්තුළ නැවත වෛරී අදහස් ඇති වීමට නොව සාමය කරා ගමනක් සඳහා විය යුතුය. එල්.ටී.ටී.ඊ සංවිධානය බිහිවන්නේ දකුණේ තරුණ පිරිස් මෙන්ම තම අයිතිවාසිකම් ඉල්ලමින් එම සටන දිනාගැනීමටය. එල්.ටී.ටී.ඊ යත් දකුණේ තරුණ කොටස් අතර වෙනසක් නැති තරම්ය. එහෙත් ප්‍රචණ්ඩත්වය කිසිදු ප්‍රශ්නයක් පිළිතුරක් නොදෙන්නා සේම එල්.ටී.ටී.ඊ යට ද අවි ආයුද ගැනීමෙන් ප්‍රතිඵලයක් අත්වූයේ නැත. අවි ගත්තෝ අවියෙන්ම නැසෙන්නේ යන පොදු ධර්මය ඔවුන්ට ද උරුමය. එම ලෝක ධර්මතාව සිංහල දෙමළ භේදයකින් තොරවම මේ රටේ බොහෝ දෙනා අත් විඳි බව අපි කවුරුත් දනිමු.

යුද විරෝධී සියලු දෙනාට යුද්ධය අවසන් වීම ගැන ඇත්තේ සතුටක් බව නොරහසකි. එය මෛත්‍රී පාක්ෂිකයන්, රනිල් මහින්ද පාක්ෂිකයන් හෝ වෙනයම් දේශපාලන මතයක් දැරුවේ ද කියා වෙනසක් නැත. යුද්ධය අවසන් වූ ආකාරය පිළිබඳ අපට ගැටලු ඇත. යුද්ධයට මුවා වී කළ වැරැදි ගැන අපි ප්‍රශ්න කළ යුතුය.
මැයි 18 හෝ ආසන්න දිනයකදී රූගත කරන ලද වීඩියෝ පටයක් මුහුණු පොතේ එහා මෙහා යමින් තිබිණි. මැයි 18 වැනිදා මතකද යන්න විමසමින් එහිදි ප්‍රශ්න කරන්නේය. එම ප්‍රශ්න කිරීමට එතැනින් එහාට ගොස් රටේ සාමය ඇති කිරීමට කළ යුත්තේ මොනවාදැයි විමසීමට හැකි වූවා නම් වඩා හොඳය.

තවමත් රටේ පිරිස් අතර දේශපාලකයන් අතර යුද්ධය අවසන් කළේ කවුද යන්නට මත ගැටුමක් තිබෙන බව පැහැදිලිය. එහෙත් කවදාවත් යුද්ධය ඇති කළේ කවුද යන්න හෝ එහි වගකීම බාරගැනීමට කවදාවත් කිසිවකුත් ඉදිරිපත්  වන්නේ හෝ අදහස් දක්වන්නේ නැත. යුද්ධය ඇති වූයේ ඇයි ද යන්න ගැන විමසා සිටින්නේ නම් එය ඉතා අතළොස්සකි. යුද්ධය ඇතිවීමේ මූලික වගකීම බාරගත යුත්තේ දේශපාලකයන්ය. දේශපාලකයන්ට සියල්ල පවරා නිහඬවම සිටීමට අපට නොහැක. ලෝකය විනාශ වී යන්නේ වැරැදි මිනිසුන්ගේ වැරැදි නිසා නොව යහපත් මිනිසුන්ගේ නිහඬ බව නිසා යැයි ඇල්බට් අයින්ස්ටයින් වරෙක කීවේය. එබැවින් යුද්ධයේ ආරම්භයට, ඒ පරම්පරාවත් ඊට පරම්පරා සියල්ලත් වගකිව යුතුය. යුද්ධය කඩිනමින් අවසන් කර නොගැනීමේ වරදට ඉන් පසු සියලු පරම්පරා වගකිව යුතුය. නැවත යුද්ධයක් ඇති නොවීමේ වගකීම වත්මන් පරපුර සතුය.  

බුදු දහම මුල් කරගත් රටක ජීවත්වන අපට බුදු දහමේ මූලික හර පද්ධති අමතකව ගොස් තිබීම කනගාටුවට කරුණකි. භික්ෂූන් වහන්සේලාට ඒ බව අමතකව යෑම තවදුරටත්  කනගාටුවකි. බුදුදහම මේ රටට ලැබෙන්න අශෝක අධිරාජ්‍යයාගේ මැදිහත් වීමෙනි. යුද්ධයෙන් අති විශාල ජනතාවක් ඝාතනය කරමින් තම අධිරාජ්‍යය පුළුල් කරගැනීමේ ගමනක යන අශෝක සාහිත්‍යයට අනුව චණ්ඩාශෝක යනුවෙන් නම් ලබන්නේය. එහෙත් නීග්‍රෝධි හිමියන්ගෙන් දහම් ඇසීමෙන් පසු චණ්ඩාශෝක බුදු දහම වැළැඳ ගනිමින් ධර්මාශෝක වන බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන්ය. යුද්ධයේ ආදීනව පිළිබඳ අපට සමීපතම පාඩම කියා දෙන්නේ බුදු දහම මෙරටට එවීමට මූලික වන ආශෝක රජුය. එම සරල කරුණ පවා අවබෝධ කර නොගන්නා දුවන්නන් වාලේ දුවන සමාජයක කොටස්කරුවෝ බවට අපි පත්ව සිටිමු.

යුද්ධය අවසන් වීම බොහෝ දෙනකු ජයග්‍රහණයක් යනුවෙන් හඳුන්වන අතරේම ජයග්‍රහණයට පියවරුන් බොහෝ දෙනකු සිටින බව නැවත නැවතත් පසක් කරමින් තමා යුද්ධය අවසන් කළේ යැයි කීමට බොහෝ පිරිස් නිරන්තරයෙන් සැදි පැහැදි සිටිති. එහෙත් අපි ජාතියක් වශයෙන් පරාදය. රටක් ලෙස පරාදය. ඉතිහාසය හැරෙන්න, පසුගිය කාලයේ දී ක්‍රීඩාව වශයෙන් හා පුද්ගලයන් වශයෙන් දිනාගත් දේ හැරෙන්නට අපි රටක් ලෙස දිනාගත් දෙයක් හෝ ආඩම්බර වීමට හෝ දෙයක් අපට නැත. විවිධ පුද්ගලයන් විවිධ ක්ෂේත්‍රවලින් දක්ෂතා දක්වමින් ජාත්‍යන්තරයට යෑම හැරෙන්නට අපට ආඩම්බර වන්නට දෙයක් නැත.

විජේවීර සැමරීමේ අයිතිය, ජේ.ආර්, ප්‍රේමදාස, බණ්ඩාරනායක සැමරීමේ අයිතිය මේ රටේ විවිධ කොටස්වලට තිබේ නම් ප්‍රභාකරන් සැමරීමේ අයිතිය ද හිමිවිය යුතුය. ඉහත කී සියලු දෙනාගේ තීන්දු තීරණ නිසා මේ රටට හිමි වූ දේවල්වලට වඩා අහිමි වූ දේවල් වැඩිය. යුද්ධය මැයි මාසයකම අවසන් වීම වඩාත් හොඳය. එයම නිමිත්තක් කරගනිමින් සමරන පිරිස්වලට ඔවුන්ගේ පාඩුවේ එය සමරන්නට ඉඩ දී ජාතියක් ලෙස මැයි මාසයම ජාතික සාම මාසය හෝ සංහිඳියාවේ මාසය යනුවෙන් නම් කරමින් ජාතික ප්‍රතිපත්තියක් ගෙන ආ හැකිය. මැයි 18 හෝ මැයි 19 වැනිදාට වෙසෙක් පොහොය දිනයක් යෙදෙන්නේ කවදාද අපට එදාට බොහෝ දේ කතා කළ හැකිය. එබැවින් අප ආයුද විසඳුම් හෝ ප්‍රචණ්ඩත්වය හෝ විසඳුමක් කර නොගත යුතුය.

හතළිස් අටට පෙරත් ඉන් පසුත් අද දක්වාම මේ රටේ විවිධාකාර ගැටුම් ඇතිවිය. තරුණයන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු සැපයීම පැවැති ආණ්ඩු මෙන්ම වත්මන් ආණ්ඩුව ද අසමත් වීම, සිංහල, දෙමළ හා මුස්ලිම් ජාතීන්වල අයිතීන් ආරක්ෂා කිරීමට පැවැති ආණ්ඩු හා වත්මන් ආණ්ඩුව අසමත්වීම රටේ ඇති වූ ගැටුම්වලට ප්‍රධාන හේතුය. පටු දේශපාලන වුවමනා වෙනුවෙන් ආණ්ඩු මෙන්ම විපක්ෂ කණ්ඩායම් ද විවිධ සංවිධාන කණ්ඩායම් පිහිටුවමින් රටේ කොටස් අතර ගැටුම් ඇති කිරීමේ උත්සාහයක නිරත වන බව පැවැති ආණ්ඩුවලින් මෙන්ම වත්මන් ආණ්ඩුවෙන් ද වෙනසකින් තොරව පෙනී යයි.

පසුගිය දින කිහිපයක කාලයේදී මුස්ලිම් හා දෙමළ ජාතීන් ඉලක්ක කරගනිමින් ප්‍රහාර කිහිපයක් එල්ල වූ බව රටේ විවිධ ස්ථානවලින් අපට අසන්නට ලැබුණි. තිස් වසරක පැවැති යුද්ධය මූලිකවම සිංහල දෙමළ අරගලයක් බවට පත් වූ අතර ඊට මුස්ලිම් ජාතිකයන් ද මැදිව තුන් කොන් අරගලයක් වූවා නම් මේ රට මීටත් වඩා විනාශයකට යෑමට ඉඩ තිබිණි. අද රට තුළ එවැනි තත්ත්වයක් නිර්මාණයක් කිරීම ඇතැම් කොටස්වල වුවමනාවක් බවට පත්ව තිබීමත් ආණ්ඩුවේ හා විපක්ෂවල පිරිස් එකිනෙකාට දොස් පවරා ගැනීමත් නිසා ප්‍රශ්නවලට විසඳුම් ලැබෙන සැටියක් පෙනෙන්නට නැත.

සෑම කරුණකම දේශපාලකයන්ට චෝදනා කරමින් සිටීම අපට අදත් හෙටත් තවත් වසර කිහිපයකින් වුවත් කළ හැකි පහසු කාර්යයකි. එහෙත් අප දැනට සිටිනාවට වඩා ඉදිරි පියවරක් තැබිය යුතුයි. පක්ෂ පාට භේදයකින් තොරව ප්‍රචණ්ඩත්වයට එරෙහි විය යුතුය. ඒ නිසා අපට අවශ්‍ය වන්නේ අවබෝධයෙන් කටයුතු කරනා ජනතාවකි. කවුරුන් හෝ කී පළියට හෝ සාම්ප්‍රදායික හෝ සමාජ හෝ නූතන මාධ්‍යයෙන් ප්‍රසිද්ධියට පත් වූ සැණින් විශ්වාස නොකරන කරුණු විමසන ජනතාවකි. දේශපාලකයන්ගෙන්, මාධ්‍යයෙන් හා වගකිව යුත්තන්ගෙන් අවබෝධයෙන් ප්‍රශ්න කරන ජනතාවකි. එවැනි අවබෝධයක් සහිත ජනතාවක් නොමැතිව මේ රටට ඉදිරි ගමනක් නැත. ආර්ථික, දේශපාලන හා සමාජයීය වශයෙන් අපි තවමත් පරාජිත ජාතියකි. පරාජිත්වයෙන් ගොඩ ආ හැක්කේ දිගුකල් පවත්නා සාමයකට ගමන් කිරීමෙන් පමණි.


කාටූනය අවන්ත අාටිගල 


හර්ෂණ තුෂාර සිල්වා
24.05.17


‘මිඩ්ල් ක්ලාස්’ ක්‍රියිසිස් සහ ‘ඩිකෝඩිං’

අපි ජන සමාජයක් විදියට උග්‍ර අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. දරුවෙක්ගේ සාර්ථකත්වය මනින්නේ, යාන වාහනවලින්, උපාධිවලින්, හම්බවෙන පඩියෙන්, කරන රස්සා...

Blog Archive