Wednesday, February 20, 2019

තට්ටු කරන්නාට දොර අරිනු ලැබේ

ජනවාරි 1 වැනිදා යනු තවත් එක් දවසක් පමණක් වන්නේ නැත. සෑම මසකටම පළමු වැනිදාවක් තිබුණත් ජනවාරි පළමු වැනිදා විශේෂය. විදුලි මීටරයේ ඉලක්කම් කැරෙන්නාක් මෙන් 2018, අට වෙනුවට 9 එක්වීමෙන් නව වසරේ උදාවේ සනිටුවහන් වේ.

අප සියලු දෙනා විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ බොහෝ දෙනා ජීවිත ගත කරන්නේ දැඩි කලකිරීමකින් බව නොරහසකි. අප සියලු දෙනාටම සිහින තිබේ. බලාපොරොත්තු තිබේ. වඩාත් හොඳ ජීවිතයක් ගත කිරීම සියලු දෙනාගේ අපේක්ෂාවය. බලාපොරොත්තුව ද එයයි. එකිනෙකා ජීවිතය දකින්නේ අවුරුද්ද දකින්නේ වෙනස් වෙනස් ආකාරවලටය.

ජනවාරි 1 වැනිදා උණුසුම දින දෙක තුනකින් පහව යයි. ජනවාරියේ ටික දවසක් යනතෙක්ම අවුරුද්ද සටහන් කරන තැන්වල අපි 2018 යනුවෙන් ලියනු ඇත. පාසල් යන කාලයේ එය බොහෝ අවස්ථාවලදී සිදුවිය. අප රටක් ලෙස ආපස්සට යෑමට ප්‍රධාන හේතුව, දින ගෙවීගියත් අලුත් අවුරුදු ආවත් අතීතයේ ගුලි වී සිටීමයි. වෙනස් වෙනස් දේ කළ යුතුය. අත්හදා බැලීම් කළ යුතුය. රටක නම් සමාජ, ආර්ථික ප්‍රතිසංස්කරණ කළ යුතුය. එහෙත් අපි රටක් ලෙසත් පුද්ගලයන් ලෙසත් වෙනස්වීම මෙන්ම ප්‍රතිසංස්කරණ ප්‍රතික්ෂේප කරන්නෝ වෙමු. ඒ නිසා අප බොහෝ දෙනකුගේ ජීවිත අතීතය හා බැඳී පවතී. අතීතයෙන් ඉගෙන ගත යුතු දෑ බොහෝය. එහෙත් අප බොහෝ දෙනා අතීතයෙන් මිදීම වෙනුවට අතීතයටම ගුලි වෙමින් සිටින්නෙමු.
එනිසා හෙටින් ආරම්භ වන නව වසරේදී ඔබ ඔබේ ජීවිතය සොයායන්න. තමන්ගේ ජීවිතයේ සියල්ල ඇත්තේ තමන් සතුවය. තමන්ගේ ජීවිතය වගකීම ඇත්තේ තමන් සතුවය. ඔබ ඔබ සොයා යන්න. ආදරය කරන්න. තමන් කවුරුන් ද සොයා යන්න. අප ජීවිතවලදී වැඩි හරියක් කරන්නේ අනුන් ගැන සෙවීමය. එසේ සොයන්නට යාමෙන් අපට අපේ ආදරයත් ජීවිතයත් යන දෙකම නැති වී යයි. ඒ නිසා තමන් ගැන සොයන්න. තමන්ගේ ජීවිතයේ තේරුම සොයායන්න. ඇවිදින්න. ඇවිදින්න. ඇවිදින්න. සොයන්න.

ශුද්ධවර මතෙව්:

ඉල්ලන්න, ඔබට දෙනු ලැබේ; සොයන්න, ඔබට සම්බ වේ; තට්ටු කරන්න, ඔබට දොර අරිනු ලැබේ. මන්ද, ඉල්ලන්නාට ලැබේ; සොයන්නාට සම්බ වේ; තට්ටු කරන්නාට දොර අරිනු ලැබේ.

හර්ෂණ තුෂාර සිල්වා
31.12.18

Thursday, February 14, 2019

ඉන්දියාව

විසි එක්වැනි සියවසේදී කුල ප්‍රශ්නය දරුණුවටම දැකිය හැකි රටක් වනුයේ ඉන්දියාවය. ඉන්දියාවේ කුල ප්‍රශ්නය අද ඊයේ ආරම්භ වූවක් නොවන වසර සිය දහස් ගණනක් මුළුල්ලේ පැවැතිය එකකි. එතරම් කුල හා අනෙකුත් ප්‍රශ්න රැසක්  මධ්‍යයේ වුවද අද වනවිට ඉන්දියාව ආර්ථික වර්ධනය අතින් ඉහළ තැනකට පැමිණ තිබේ. වාර්තාවලට අනුව 2017 වසර හැරෙන්නට පසුගිය අවුරුදු හතරක පමණ කාලයේදී ඉන්දියාවේ ආර්ථික වර්ධනය වේගය ඇත්තේ චීනයටත් ඉහළිනි.   

චීනයේ මෙන්ම ඉන්දියාවේ ද වඩාත් ප්‍රමුඛතම ආර්ථික වර්ධන මූලාශ්‍රය සහ සම්පත වනුයේ ඔවුන්ගේ ජනගහනයයි. යුරෝපයේ මෙන්ම ආසියාවේ රටවල් බොහෝමයක වයස් ගත ජනගහනය වැඩි වනවිට ඉන්දියාවේ පමණක් තරුණ ජනගහනය වැඩිවෙමින් තිබේ. ආසියාව පමණක් ගත් විට ඉන්දියාවේ  මධ්‍ය වයස අවුරුදු 27කි. වසර 2050 වනවිට ඉන්දියාවේ ශ්‍රම බලකාය හෙවත් වැඩ කළ හැකි ජනගහනය බිලියනය ඉක්මවා යනු ඇතැයි පැවසේ. ඉදිරි වසරවලදී ඉන්දියාවේ ජනගහනය චීනයේ ජනගහනය ඉක්මවා යනු ඇතැයි ද පැවසේ. රටින් රටට මධ්‍ය වයස ගත්විය චීනයේ එය සියයට 37ක අගයක් ගන්නා අතර ජපානයේ එම අගය සියයට 47කි. 

රටක ජනගහනය යනු එම රටේ ප්‍රධානතම සම්පතයි. එම ජනගහනයෙන් ද වැඩ කළ හැකි ජනතාව වැඩි වීම යනු තවත් සුවිශේෂී වාසියකි. වැඩ කළ හැකි ජනගහනයෙන් වැඩි දෙනා තරුණ තරුණියන් වීමත් ඊටත් වඩා සුවිශේෂීය.

එකල ඉන්දීය සමාජය ගැන මාර්ටින් වික්‍රමසිංහයන් 1942.02.03 වැනිදා ‘මයුරපාද’ නමින් සිළුමිණ පුවත්පතට ලිපියක් සපයා ඇත. ‘කුලවාදය නිසා ඉන්දියාවේ ශාස්ත්‍ර පිරිහුණු සැටි’ යනුවෙන් එම ලිපිය ශීර්ෂ යොදා තිබේ.
එහි එක් තැනක මෙසේ සඳහන් වේ.

“භෞතික විද්‍යාවන් දියුණු කරනු සඳහා වැර වෑයම් ගත් කළ පැරැණි ජාතීන් අතර ග්‍රීකයෝ ප්‍රමුඛස්ථානය ගත්හ; ඒ පැරැණි ග්‍රීකයන්ගේ සභ්‍යත්වය හිමි වූයේ බටහිර ජනයාට ය. එහෙයින් ග්‍රීකයන් විසින් පාදා දෙන මඟ ගත් ඔවුහු, භෞතික විද්‍යාවන් දියුණු කිරීමෙන් පෙරදිග ලෝකය මඬින තරම් බලසම්පන්නයෝ වූහ” යනුවෙනි.

එම ලිපියේම ඊට පහළින් වික්‍රමසිංහයන් මෙසේ ලියා ඇත. 

“ඉන්දියාවේ මහජනකායට සම කරන විට ඉංගිරිසීන්ගේ ගණන අතේ ඇඟිලිවලින් ගිණිය යුතු තරම් අල්ප යයි කිව යුතු ය. එවැනි අතළොස්සකට, ඉන්දියාව වැනි මහා රටක ජනකාය මැඩගෙන පාලනය කළ හැකි වූයේ, ඔවුන්ගේ භෞතික විද්‍යඥානය නිසාය. යුරෝපයන්ගේ දාසයන් වී සිටින ඉන්දියාවේ ජනයා අතර, ධර්මයත් අධ්‍යාත්මික විද්‍යාවනුත් ගැන පුරසාරම් දොඩන්නෝ බහුල වෙති. ඒ දෙඩීම වූ කලී ‘අරූප ස්ත්‍රියගේ පතිවත’ වැනීම වැන්නැයි යන ප්‍රස්තාව පිරුළ සිහිකර වන්නකි. ඉංගිරිසීන්ගේ දාසයන් වී සිටීම ශ්‍රේෂ්ඨ අතීතයක් ඇති භාරතීයන්ගේ ලවත් ලැජ්ජාවට කරුණකි”. 



මේ ලිපිය අදටත් ගැලපෙන අතර වඩාත් සුදුසු වන්නේ ඉන්දියාවට නොව අපටය. කොතරම් අර්බුද මධ්‍යයේ වුවද ඉන්දියාව ආර්ථික වර්ධනයක් අත්පත් කරගනිමින් ඉදිරියට යමින් සිටි. පසුගිය වසරේ දී ඉන්දියාවේ ආර්ථික වර්ධන වේගය සියයට 7.3 ත් 7.4ත් අගයක පවතිනු ඇතැයි අපේක්ෂා කළ අතර මේ වසරේදී ඉන්දියාවේ ආර්ථිකය සියයට 7.4කින් වර්ධනය වනු ඇතැයි අපේක්ෂිතය. වසර 2030 වනවිට ඉන්දියාවේ ආර්ථිකය ඇමෙරිකාව අභිබවමින් චීනයට පමණක් දෙවැනි වෙමින් ලොව දෙවැනි විශාලතම ආර්ථිකය වනු ඇතැයි අනාවැකි පළ වී තිබේ.

ලිපිය කියැවීමේදී වර්තමානයේ දී අප දෙස බැලීමේදී අපි ආගම් ගැන පුරසාරම් දොඩවුම. ඉතිහාසය ගැන පුරසාරම් දොඩවන්නෙමු. බොහෝ දේ ගැන පුරසාරම් දොඩවන අතරේම ඉතිහාසය, ආගම, ජාතිය, බෙදීම, මිත්‍යාව යනාදී බොහෝමයක් වහලුන් බවට පත්ව සිටිමු. ඉතිහාසයේ, ආගම්, ජාතීන් යනාදී තම තමන්ගේ පෞද්ගලික හා පොදු අනන්‍යතා පිළිබඳ වැරැදි වැටහීම් සහ නොදැනුවත්කම් නිසාම ඒවායේ වහලුන් බවට පත්ව සිටිමු.



ඉන්දියාවේ කුල ප්‍රශ්නය නිසා එරට ශාස්ත්‍ර කොතරම් පිරිහුණේ ද බෙදීම, නොදැනුවත්කම, අලසකම, කුහකකම, මිත්‍යාව, විද්‍යාව බැහැර කිරීම, අනවබෝධය, නොතේරුම් ගැනීම, බොරු ඇදහිලි , මෝඩ හා අනුවණකම් යනාදිය නිසා ම මේ රට පිරිහෙමින් පවතී. 


ඡායාරූප රොයිටර් 
https://pictures.reuters.com/C.aspx?VP3=CMS3&VF=RTRRTT_1_VForm


Sunday, February 10, 2019

හිතන්නේ නැති මිනිස්සු

ගෙවීගිය දින කිහිපයේම මාර්ටින් වික්‍රමසිංහයන්ගේ පොත් පත් හා ඔහු ලියූ ලිපි ඇසුරින් සකස් කරන ලද පොත් පත් කිහිපයක්ම අතරින් පතර කියවූයෙමි. එම පතපොත කියවීමේදී වඩාත් සිත් ගන්නේ ඔහුගේ බස් වහරයි. බස වැනුමේ නම් හේ හරි අපූරූ සමතෙකි. කොයි කෙසේ වෙතත් ඔහු ලියන දෑ කියවීමේදී එකල සමාජය පිළිබඳ යම් අවබෝධයක් මිනිසුන්ගේ සිතුම් පැතුම් කන බොන විදි ආදී නොයෙක දෑ ගැන යම් අවබෝධයක් අප සතු වන්නේ කිසිදු වෑයමකින් තොරවය. මෙය එකල සිටි අනෙකුත් ලේඛකයන් හා සැසඳීමේදී කොතරම් දුරට සත්‍යයක් ද සහ අනෙකුත් ලේඛකයන්ගේ ලියුම්වලින් ඒ බව සනාථ වන්නේ ද යන්න විමසා බැලිය හැක්කේය. සේකරයන්ගේ කවි සිංදු ගීත යනාදි ලිවීම් දෙස බැලීමේදී නම් ඒ බව සත්‍යයක් යැයි මට හැඟේ.
ඉතිං මේ සියල්ල දෙස බැලීමේදී එදත් අදත් අතර වෙනසක් නැති බව නම් සක්සුදක් සේ පැහැදිලි වේ. එකල ජනතාවි සිතූ ආකාරයත් ඒ පාලකයන් බොහෝමයක් ඉතාම සුළු පිරිසක් හැර අනෙක් අය තීන්දු තීරණ ගත් ආකාරයත් අතර මහ ලොකු වෙනසක් දක්නට නැත. මිනිසුන් සිතන පතන ආකාරවල වෙනස් සිදු වී නැත්තේම නැති වුවත් එය මහ ලොකු වෙනසක් යැයි කිව හැකි සාක්ෂ්‍ය අප සතුව නැත. ඉතිං වෙනස් විදියට සිතන මිනිසුන් නැතිව අපට ඉදිරි ගමනක් තිබේ ද යන ගැටලුව නිරන්තරයෙන් අප හමුවට පැමිණෙන්නේය. 


ඡායාරූපය සන්ඩේ ඔබ්සවර්

Tuesday, February 5, 2019

සූකර අවුරුද්ද

චීන අලුත් අවුරුද්ද, එහෙමත් නැතිනම් චීනයේ වසත් උත්සවය අදට යෙදී තිබේ. චන්ද්‍ර මාසය ක්‍රමය පදනම් කරගනිමින් චීනය නව වසර සමරයි. එයට පදනම් වන්නේ චන්ද්‍ර මාස ක්‍රමය සහිත සාම්ප්‍රදායික දින දර්ශනයයි. චීන වැසියන් මීට නව අවුරුද්ද යැයි නොකියන අතර ඔවුන් එය හඳුන්වන්නේ වසන්ත උත්සවය නමිනි. එසේත් නැතිනම් චන්ද්‍ර අලුත් අවුරුද්ද වශයෙනි. චීනයේ සාම්ප්‍රදායික දින දර්ශනය පදනම් කරගෙන සකසා ගන්නා ලද රාශී චක්‍රයක් තිබේ. ඊට අනුව මේ වසර සූකරයාගේ වසර යනුවෙන් නම් කර තිබේ. චීන රාශී චක්‍රය සතුන් 12 දෙනකුගෙන් සමන්විතය.




ඡායාරූප රොයිටර්


Sunday, February 3, 2019

එහෙනං සුබ නිදහස් දිනයක් වේවා.

නිදහසින් පසු රටට අත්වී තිබෙන ඉරණම ගැන දෛනිකව පැයෙන් පැයට විනාඩියෙන් විනාඩියට ලියන්නට බොහෝ දේ අප සතුව. අප නිදහස සමරන්නේ ජාතික දිනය ද, නිදහස් දිනය ද, එසේත් නැතිනම් ජාතික නිදහස් දිනය ද තෝරාගන්නට බැරි මොහොතකය. අපි 71 වැනි නිදහස සමරන්නේ මෙය සැබෑ නිදහස ද නැතිනම් බි‍්‍රතාන්‍ය පාලනයෙන් නිදහස් වීමේ අර්ධ නිදහස ද යන ප්‍රශ්නය ඇතිවය. වසර 30කට ආසන්න කාලයක් එම ප්‍රශ්නය අප හමුවේ තිබිණි. 

අපි ශ්‍රී ලංකාව බවට පත්වන්නේ 1972 දීය. සිලෝන් නම අත්හරිමින් ශ්‍රී ලංකා ජනරජය බිහිවන්නේ 1972 දීය. 72 මැයි මාසය වන තෙක්ම අපේ රටේ රාජ්‍ය නායකයා වූයේ බි‍්‍රතාන්‍ය කිරීටයයි. සිරිමාවෝ බණ්ඩාරනායක හිටපු අගමැතිනියගේ කාලයේදී එනම් 72 දී ගෙනෙන ව්‍යවස්ථාව සංශෝධනය කරමින් ජේ.ආර්.ජයවර්ධන 77/78 දී විධායක ජනාධිපති ධුරය නිර්මාණය කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපතිවරයා බවට පත්වන්නේය.

48 න් පසු ඉතිහාසයේ වැදගත් සිදුවීම් කිහිපයක් එසේ සිහිපත් කරන අතරවාරයේම මේ රට ලේ විලක් කළ බොහෝ සිදුවීම් අමතක නොකළ යුතුය. 71 කැරැල්ල, 88 කැරැල්ල, එල්.ටී.ටී.ඊ. සංවිධානය හා තිස් වසරක සිවිල් යුද්ධය, බලය පැහැර ගැනීමේ කුමන්ත්‍රණ, සිංහල මුස්ලිම් කෝලහල යනාදි ලැයිස්තුවක් කිව හැකි ඉතිහාසයක් අප සතුය.
එහෙත් නිදහසින් පසු අප අත්පත් කරගෙන ඇත්තේ මොනවාද ? පාරේ බුලත් කෙළ ගැසීම, පාරේ කුණු දැමීමේ සිට මිග් යානා ගනුදෙනු, මහ බැංකු බැඳුම්කර වංචා යනාදි බෙහෝමයක් අපට ලියන්නට කියන්නට හැකිය. හැමදාමත් ඉතිහාසය ගැන අතිශයෝකිත්තියෙන් කියනවා විනා අපට සැබෑවටම දෙයක් තිබේ ද ?

අපට අපේකම අමතකව ගොස් තිබේ. ජාත්‍යන්තර අලුත් වෙද්දි අපි අපේ දේවල් මොනවාද දන්නේ නැතිව අවුල් වියවුල් කරගත් අසංස්කෘතික සංස්කෘතියක පැටලී සිටිමු. බි්‍රතාන්‍ය පාලනය සමයත් ඉන් පෙර පැවැති විදේශීය පාලන සහ නිදහසින් පසු ගත වූ කාලයේදීත් අපි අපේ දේවල් මෙන්ම අලුත් බොහෝමයක් දේ අමතක කර විසංස්කෘතියක එල්බ ගෙන සිටිමු.

වික්ටෝරියානු සදාචාරය ඉන් එකකි. අපි ගෙවනුයේ අපටවත් අයිති නැති ජීවන රටකි. අප නඩත්තු කරනුයේ අපේත් නොවන රටේ ලෝකයේත් නැති අමුතුම අමුතු විසම ජීවන රටාවකි. පාලන ක්‍රමයකි. අපි අපේ ක්‍රමය දන්නේ ද නැත. අනුන්ගේ ක්‍රමය හරියට කොපි කරද නැත. එහෙත් කොහේවටත් නැති විසම විකෘතියකි ජීවත් වන්නෙමු. 

මාර්ටින් වික්‍රමසිංහ 1971 දී පැරැණි ලිපියක් ගැන මා මීට පෙර ද සඳහන් තැබුවේ මේ රට හදන්නට බැරි බව කියමිනි. මේ රට හදන්නට බැරුවා සේම මේ රටට හැදෙන්නට ද වුවමානවක් නැත. රටේ ජනතාවට වෙනස් වෙන්නට වුවමනාවක් නැත.

උදාහරණ පසුගිය මාස දෙක තුනෙන්ම ගත හැකිය. මීට මාස කිහිපයකට පෙර ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ මහත් උනන්දුවෙන් කතා කළ බොහෝ දෙනකුට ප්‍රජාතන්ත්‍රවාදය දැන් අමතකව ගොස් තිබේ. එදා පක්ෂ පාටවල බෙදුණු අය අද ඔවුනොවුන්ගේ වැඩවලය. ඔය අතරවාරයේදී ඉන්ධන මිල ගණන් අඩු වූයේය. ඊට පෙර ඉන්ධන මිල ගණන් අඩු වූ අවස්ථාවල බස් ගාස්තු හා ත්‍රී රෝද ගාස්තු ඉහළ ගියත් පසුගිය මාස හතරක කාලයේදී සිවු වතාවකදී (පෙබරවාරි මාසය නොමැතිව) ඉන්ධන මිල ගණන් අඩු විය. එහෙත් කිසිදු හා හෝවාක් නැත. රෑට එකට බජව් දාන දේශපාලකයන් වෙනුවෙන් පිල් බෙදාගත් පාට පක්ෂවල බෙදුණු ලාංකිකයෝ තමන්ගේ අයිතිවාසිකම් දිනාගන්නට එකතු වන්නේ නැත. ලාංකිකයන්ට පොදු සතුරන් අවශ්‍යය. එහෙත් එයත් තමන් කැමැති දේශපාලන නායකයන් යටතේ පමණි.

ලාංකිකයෝ උදයට රස්සාවට එන්නේ තෙරපීය. හවසට ගෙදර යන්නේ ඊටත් වඩා තෙරපිලාය. මහා මාර්ගවල වරු ගණන් පැය ගණන් ගත කරති. රෝහල්වල හරියට බෙහෙත් නැත. පාරවල් කැඩිලාය. මොකක් හෝ වාසනවකට අධ්‍යාපන හා සෞඛ්‍ය දර්ශකවල අපි ඉහළින් සිටින්නෙමු. එහෙම වුවත් අපේ සියල්ල අවුල්ය. වියවුල්ය. පාර තොටේ කුණුය. අධ්‍යාපන සම්පූර්ණයෙන් අවුල්ය. සියල්ල අවුල් රටේ ක්‍රිකට් විතරක් කලක් හොඳින් තිබුණත් දැන් එයත් අවුල්ය. ක්‍රිකට් ටීම් එකක් නැති ගාණය. දරුවෝ දෙපාරක් ඉගෙන ගනිති. උදයට පාසල් යති. හවසට ටියුෂන් යති. අපේ අධ්‍යාපන ක්‍රමය එසේය. බස්වල සීට්වල එකෙක්ට ඉඳගන්නත් බැරිය. ත්‍රීවිල් යන්න බැරිය. එක එක දිනට එක එක ගණන්ය. මීටර් ටැක්සියේ එක ගාණක් ද නිකං එකේ ඊට දෙගුණයක් ද අය කරයි. හැම තැනම මාෆියාවය.

ස්වයංපෝෂිත යැයි කියන රට කෘෂිකර්මාන්තයම අවුල්ය. ගෙනෙන තරමක් ගේන්නේ පිටරටින්ය. රට වටේටම මුහුද තිබුණත් මාළුත් ගෙනෙන්නේය. කන්න දෙයක් නැත, හැම එකේම වසය.
ලියන්නට නං නිමක් නොමැතිය. නිදහසින් පසු රට හැත්තෑ එක් අවුරුද්දකින් වයසට ගිහිල්ලාය. ඇය මහළුය. එහෙත් ඇගේ වයස දැන් දෙගුණ තෙගුණ වී පෙනේය. ගැබ්බරය. එහෙත් රටේ දුදන පාලකයෝ ඇය හා සංවාසයේ. දරුවෝ නිදිය. එදාවේල ටුවර්ස් යන දරුවෝ වෙන කුමක් කරන්න ද? දැන් දැන් බොහෝ රට පනිති. රට යති. සංක්‍රමණය වෙති. අපට නිදහසක් තිබේ ද ?



අපට අපේ වරාය ටිකවත් කරගන්නට බැරිය. මහින්ද මැතිඳුන්ටත් බැරිය. රනිල් හාමුටත් බැරිය. තට්ටු මාරු ක්‍රමය කියන ජවිපෙටත් බැරිය. ඔක්කොම කයිවාරු හෝ බොරු පමණි. මේ රටේ පන්ත තුනකි. පාලක පැළැන්තිය හා ඔවුන්ගේ ගජ මිතුරු හවුලය. දුක් විඳින නිදන කිසිදු හැඟීමක් නැති කම්මැලි කුහක බෙදුණු අපිය. ඉතිරිය එක් පාදයක් ඒ පැත්තටත් අනෙක් පාදය මේ පැත්තටත් තබා සිටින්නෝය.

නිදහස සමරන අපි නිදහස් ද ? කන්න නිදහසක් නැත, බොන්න නිදහසක් නැති, කියන්නට ලියන්නට කතා කරන්නට නිදහස් නැති අඩු ම තරමේ සංවාසයටත් නීති පනවන රටකි. හාදු දීම මහා පාපකර්මය යැයි සලකන මහ දවල් වෙඩි තැබීම්, කඩුවලින් කැපීම් යනාදි ලේ සෙලවීම් මහා වීරත්වය යැයි සලකන රටකි.

එහෙනං සුබ නිදහස් දිනයක් වේවා.
2019.01.03

ඡායාරූප ෂෙහාන් ගුණසේකරගෙනි
https://www.facebook.com/sheh1173/

‘මිඩ්ල් ක්ලාස්’ ක්‍රියිසිස් සහ ‘ඩිකෝඩිං’

අපි ජන සමාජයක් විදියට උග්‍ර අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. දරුවෙක්ගේ සාර්ථකත්වය මනින්නේ, යාන වාහනවලින්, උපාධිවලින්, හම්බවෙන පඩියෙන්, කරන රස්සා...

Blog Archive