Sunday, February 3, 2019

එහෙනං සුබ නිදහස් දිනයක් වේවා.

නිදහසින් පසු රටට අත්වී තිබෙන ඉරණම ගැන දෛනිකව පැයෙන් පැයට විනාඩියෙන් විනාඩියට ලියන්නට බොහෝ දේ අප සතුව. අප නිදහස සමරන්නේ ජාතික දිනය ද, නිදහස් දිනය ද, එසේත් නැතිනම් ජාතික නිදහස් දිනය ද තෝරාගන්නට බැරි මොහොතකය. අපි 71 වැනි නිදහස සමරන්නේ මෙය සැබෑ නිදහස ද නැතිනම් බි‍්‍රතාන්‍ය පාලනයෙන් නිදහස් වීමේ අර්ධ නිදහස ද යන ප්‍රශ්නය ඇතිවය. වසර 30කට ආසන්න කාලයක් එම ප්‍රශ්නය අප හමුවේ තිබිණි. 

අපි ශ්‍රී ලංකාව බවට පත්වන්නේ 1972 දීය. සිලෝන් නම අත්හරිමින් ශ්‍රී ලංකා ජනරජය බිහිවන්නේ 1972 දීය. 72 මැයි මාසය වන තෙක්ම අපේ රටේ රාජ්‍ය නායකයා වූයේ බි‍්‍රතාන්‍ය කිරීටයයි. සිරිමාවෝ බණ්ඩාරනායක හිටපු අගමැතිනියගේ කාලයේදී එනම් 72 දී ගෙනෙන ව්‍යවස්ථාව සංශෝධනය කරමින් ජේ.ආර්.ජයවර්ධන 77/78 දී විධායක ජනාධිපති ධුරය නිර්මාණය කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපතිවරයා බවට පත්වන්නේය.

48 න් පසු ඉතිහාසයේ වැදගත් සිදුවීම් කිහිපයක් එසේ සිහිපත් කරන අතරවාරයේම මේ රට ලේ විලක් කළ බොහෝ සිදුවීම් අමතක නොකළ යුතුය. 71 කැරැල්ල, 88 කැරැල්ල, එල්.ටී.ටී.ඊ. සංවිධානය හා තිස් වසරක සිවිල් යුද්ධය, බලය පැහැර ගැනීමේ කුමන්ත්‍රණ, සිංහල මුස්ලිම් කෝලහල යනාදි ලැයිස්තුවක් කිව හැකි ඉතිහාසයක් අප සතුය.
එහෙත් නිදහසින් පසු අප අත්පත් කරගෙන ඇත්තේ මොනවාද ? පාරේ බුලත් කෙළ ගැසීම, පාරේ කුණු දැමීමේ සිට මිග් යානා ගනුදෙනු, මහ බැංකු බැඳුම්කර වංචා යනාදි බෙහෝමයක් අපට ලියන්නට කියන්නට හැකිය. හැමදාමත් ඉතිහාසය ගැන අතිශයෝකිත්තියෙන් කියනවා විනා අපට සැබෑවටම දෙයක් තිබේ ද ?

අපට අපේකම අමතකව ගොස් තිබේ. ජාත්‍යන්තර අලුත් වෙද්දි අපි අපේ දේවල් මොනවාද දන්නේ නැතිව අවුල් වියවුල් කරගත් අසංස්කෘතික සංස්කෘතියක පැටලී සිටිමු. බි්‍රතාන්‍ය පාලනය සමයත් ඉන් පෙර පැවැති විදේශීය පාලන සහ නිදහසින් පසු ගත වූ කාලයේදීත් අපි අපේ දේවල් මෙන්ම අලුත් බොහෝමයක් දේ අමතක කර විසංස්කෘතියක එල්බ ගෙන සිටිමු.

වික්ටෝරියානු සදාචාරය ඉන් එකකි. අපි ගෙවනුයේ අපටවත් අයිති නැති ජීවන රටකි. අප නඩත්තු කරනුයේ අපේත් නොවන රටේ ලෝකයේත් නැති අමුතුම අමුතු විසම ජීවන රටාවකි. පාලන ක්‍රමයකි. අපි අපේ ක්‍රමය දන්නේ ද නැත. අනුන්ගේ ක්‍රමය හරියට කොපි කරද නැත. එහෙත් කොහේවටත් නැති විසම විකෘතියකි ජීවත් වන්නෙමු. 

මාර්ටින් වික්‍රමසිංහ 1971 දී පැරැණි ලිපියක් ගැන මා මීට පෙර ද සඳහන් තැබුවේ මේ රට හදන්නට බැරි බව කියමිනි. මේ රට හදන්නට බැරුවා සේම මේ රටට හැදෙන්නට ද වුවමානවක් නැත. රටේ ජනතාවට වෙනස් වෙන්නට වුවමනාවක් නැත.

උදාහරණ පසුගිය මාස දෙක තුනෙන්ම ගත හැකිය. මීට මාස කිහිපයකට පෙර ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ මහත් උනන්දුවෙන් කතා කළ බොහෝ දෙනකුට ප්‍රජාතන්ත්‍රවාදය දැන් අමතකව ගොස් තිබේ. එදා පක්ෂ පාටවල බෙදුණු අය අද ඔවුනොවුන්ගේ වැඩවලය. ඔය අතරවාරයේදී ඉන්ධන මිල ගණන් අඩු වූයේය. ඊට පෙර ඉන්ධන මිල ගණන් අඩු වූ අවස්ථාවල බස් ගාස්තු හා ත්‍රී රෝද ගාස්තු ඉහළ ගියත් පසුගිය මාස හතරක කාලයේදී සිවු වතාවකදී (පෙබරවාරි මාසය නොමැතිව) ඉන්ධන මිල ගණන් අඩු විය. එහෙත් කිසිදු හා හෝවාක් නැත. රෑට එකට බජව් දාන දේශපාලකයන් වෙනුවෙන් පිල් බෙදාගත් පාට පක්ෂවල බෙදුණු ලාංකිකයෝ තමන්ගේ අයිතිවාසිකම් දිනාගන්නට එකතු වන්නේ නැත. ලාංකිකයන්ට පොදු සතුරන් අවශ්‍යය. එහෙත් එයත් තමන් කැමැති දේශපාලන නායකයන් යටතේ පමණි.

ලාංකිකයෝ උදයට රස්සාවට එන්නේ තෙරපීය. හවසට ගෙදර යන්නේ ඊටත් වඩා තෙරපිලාය. මහා මාර්ගවල වරු ගණන් පැය ගණන් ගත කරති. රෝහල්වල හරියට බෙහෙත් නැත. පාරවල් කැඩිලාය. මොකක් හෝ වාසනවකට අධ්‍යාපන හා සෞඛ්‍ය දර්ශකවල අපි ඉහළින් සිටින්නෙමු. එහෙම වුවත් අපේ සියල්ල අවුල්ය. වියවුල්ය. පාර තොටේ කුණුය. අධ්‍යාපන සම්පූර්ණයෙන් අවුල්ය. සියල්ල අවුල් රටේ ක්‍රිකට් විතරක් කලක් හොඳින් තිබුණත් දැන් එයත් අවුල්ය. ක්‍රිකට් ටීම් එකක් නැති ගාණය. දරුවෝ දෙපාරක් ඉගෙන ගනිති. උදයට පාසල් යති. හවසට ටියුෂන් යති. අපේ අධ්‍යාපන ක්‍රමය එසේය. බස්වල සීට්වල එකෙක්ට ඉඳගන්නත් බැරිය. ත්‍රීවිල් යන්න බැරිය. එක එක දිනට එක එක ගණන්ය. මීටර් ටැක්සියේ එක ගාණක් ද නිකං එකේ ඊට දෙගුණයක් ද අය කරයි. හැම තැනම මාෆියාවය.

ස්වයංපෝෂිත යැයි කියන රට කෘෂිකර්මාන්තයම අවුල්ය. ගෙනෙන තරමක් ගේන්නේ පිටරටින්ය. රට වටේටම මුහුද තිබුණත් මාළුත් ගෙනෙන්නේය. කන්න දෙයක් නැත, හැම එකේම වසය.
ලියන්නට නං නිමක් නොමැතිය. නිදහසින් පසු රට හැත්තෑ එක් අවුරුද්දකින් වයසට ගිහිල්ලාය. ඇය මහළුය. එහෙත් ඇගේ වයස දැන් දෙගුණ තෙගුණ වී පෙනේය. ගැබ්බරය. එහෙත් රටේ දුදන පාලකයෝ ඇය හා සංවාසයේ. දරුවෝ නිදිය. එදාවේල ටුවර්ස් යන දරුවෝ වෙන කුමක් කරන්න ද? දැන් දැන් බොහෝ රට පනිති. රට යති. සංක්‍රමණය වෙති. අපට නිදහසක් තිබේ ද ?



අපට අපේ වරාය ටිකවත් කරගන්නට බැරිය. මහින්ද මැතිඳුන්ටත් බැරිය. රනිල් හාමුටත් බැරිය. තට්ටු මාරු ක්‍රමය කියන ජවිපෙටත් බැරිය. ඔක්කොම කයිවාරු හෝ බොරු පමණි. මේ රටේ පන්ත තුනකි. පාලක පැළැන්තිය හා ඔවුන්ගේ ගජ මිතුරු හවුලය. දුක් විඳින නිදන කිසිදු හැඟීමක් නැති කම්මැලි කුහක බෙදුණු අපිය. ඉතිරිය එක් පාදයක් ඒ පැත්තටත් අනෙක් පාදය මේ පැත්තටත් තබා සිටින්නෝය.

නිදහස සමරන අපි නිදහස් ද ? කන්න නිදහසක් නැත, බොන්න නිදහසක් නැති, කියන්නට ලියන්නට කතා කරන්නට නිදහස් නැති අඩු ම තරමේ සංවාසයටත් නීති පනවන රටකි. හාදු දීම මහා පාපකර්මය යැයි සලකන මහ දවල් වෙඩි තැබීම්, කඩුවලින් කැපීම් යනාදි ලේ සෙලවීම් මහා වීරත්වය යැයි සලකන රටකි.

එහෙනං සුබ නිදහස් දිනයක් වේවා.
2019.01.03

ඡායාරූප ෂෙහාන් ගුණසේකරගෙනි
https://www.facebook.com/sheh1173/

No comments:

Post a Comment

‘මිඩ්ල් ක්ලාස්’ ක්‍රියිසිස් සහ ‘ඩිකෝඩිං’

අපි ජන සමාජයක් විදියට උග්‍ර අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. දරුවෙක්ගේ සාර්ථකත්වය මනින්නේ, යාන වාහනවලින්, උපාධිවලින්, හම්බවෙන පඩියෙන්, කරන රස්සා...

Blog Archive