Showing posts with label පොතක් ගැන. Show all posts
Showing posts with label පොතක් ගැන. Show all posts

Thursday, April 14, 2022

කියවන්නම ඕනේ පොතක්

 

 

අලුත් අවුරුද්දට, අවුරුද්ද ලබද්දි, නැතිනං වැඩ අල්ලදි අම්මා පොඩි කාලේ ඉඳන් අපිට පුරුදු කළේ පොතක් කියවන්න.

මේ පුරුද්ද ජනවාරි 1 වැනිදටත් සිංහල දෙමළ අලුත් අවුරුද්දත් දැන් අවුරුදු ගාණක් තිස්සේ කෙරෙනවා.

ඉතිං මේ අලුත් අවුරුද්ද ලබද්දි, අලුත් අවුරුද්දේ වැඩ අල්ලද්දි කියවන්න හොඳම පොත තමා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව.

නිල භාෂාවෙන් කියනවා නම්, ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව.

මේ පොතේ රට ගැන, රටේ ජනතාව, ජනතාවගේ අයිතිවාසිකම්, අධිකරණය, පාර්ලිමේන්තුව, මහජන ආරක්ෂාව, මේ දවස්වල අපි වැඩි වැඩියෙන් කතා වෙන මූල්‍ය ආදී ඉතා වැදගත් කරුණු ගණනාවක් තිබෙනවා.

රටක දේශපාලන සාක්ෂරතාව ඇති පුද්ගලයකු වීමට නම් ඔහු හෝ ඇය හෝ එම මනුෂ්‍යයා අනිවාර්යෙන්ම මෙය කියවිය යුතු යැයි යන්න මගේ අදහස යි.

පාර්ලිමේන්තුවට පත්වන නීති සම්පාදකයන්ගෙන් බොහෝ පිරිසක් මෙය නොකියවීම ම අපේ රටේ අභාග්‍යයක්.

රටේ ඉහළම පාලකයන් ආණ්ඩුකම ව්‍යවස්ථාව නොකියවීම තවත් අර්බුදයක්.

මුලින් ම සඳහන් කළ යුතු යමක් අමතක වුණා.

රට කරවන ලියවිල්ල තමා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව.

එහෙමත් නැතිනං රටේ ප්‍රධාන නීති ලියවිල්ල වෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි.

මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මම වැඩියෙන්ම කැමැති පරිච්ඡේද දෙක නම්, ප්‍රමුඛතාව දෙන්නේ 1 වැනි සහ 3 වැනි පරිච්ඡේදය.

පළමුවැනි පරිච්ඡේදය ජනතාව, රජය සහ පරිමාධිපත්‍ය යි.

තෙවැන්න, මූලික අයිතිවාසිකම්.

මේ මූලික අයිතිවාසිකම්වල

සිතීමේ නිදහස, හෘදය සාක්ෂියේ නිදහස සහ ආගමික නිදහස ගැන තියෙනවා.

ඊට අමතරව භාෂණයේ, රැස්වීමේ, සමාගමයේ, රැකියාවේ සහ යාම් ඊම් යනාදියේ නිදහස තියෙනවා.

ඉතිං මේ දවස්වල අපි භුක්ති විඳින්නේ මේ නිදහස තමයි.

පසුගිය දවසක අපේ මේ නිදහස උල්ලංඝනය වුණා.

අලුත් අවුරුද්දේ අලුතෙන් හිතමු.

අපි මේ අවුරුද්දේ අපේ සිතීම නිදහස භුක්ති විඳිනකොට, අලුත් රටක් ගැන හීන දකින්න වුවමනාය. එය අත්‍යවශ්‍ය යි.

Saturday, July 3, 2021

යක්ෂයාගේ ‌හෝරාව 01

 

 මේ මෑත දවසක දිලිත් ජයවීර ළහිරු මුදලිගේ ගේ යූ ටියුබ් නාලිකාවට ඇවිත් මහාචාර්ය නලින්ද සිල්වා අවුරුදු ගණනාවකට කලින් කියපු කතාවක් කියනවා. කොතරම් විද්‍යාව තිබුණත් විද්‍යාව ඉදිරියට ගෙනියන්නේ සාහිත්‍යය කියන දේ. මේක තමයි ඒ කතාවේ මට මතක විදියට. ගල්කන්දේ හාමුදුරුවෝ කියන කතාවකුත් පහුගිය කාලයක ඉඳන් ෆේස්බුක් හි සැරිසරනවා. ඒකත් මතකයෙන් කියනවා නම් මෙහෙමයි. ගෙදරක පොත් රාක්කේ තියෙන්නේ ධම්මපදය, බයිබලය, කුරානය යනාදි ආගමික පොත් නම් එතැන හැදෙන්නේ රළු මිනිහෙක් කියලා.

ලෝක ඉතිහාසය ගත්තාම සාහිත්‍යය බොහෝ අරගලවලදී සටන්වලදී නිදහස දිනාගැනීමේ ඉඳලා විශාල කාර්යභාරයක් කරලා තියෙනවා. උදාහරණයකට ලංකාව ගන්නත් පුළුවන්. වැඩ ඈතකට යන්නේ නැතුව අපිට පහුගිය අවුරුදු 20 දිහා හැරිලා බැලීමක් කරන්න පුළුවන්. එක අතකට ඒක යුද සාහිත්‍යය කියලා වෙන් කරගන්නත් පුළුවන්. වසර 30ක සිවිල් යුද්ධය අවසන් කිරීමේ ඉඳන් අද වෙනකන් ගෙවිච්ච කාලයේ ලියැවුණු කියැවුණු පෙන්වුණු දේ ගැන. අද වෙද්දි සාහිත්‍ය කියන්නේ පොත්ම විතරක් නෙමෙයි. රූපවාහිනිය, ගුවන් විදුලිය, ෆේස්බුක්, ට්විටර් මේ හැමදෙයක්ම සාහිත්‍යයේ කොටස් කියන එක තමයි මගේ හැඟීම.

මේ විදියට අපට ලෝකයේ විවිධ රටවල්, විවිධ සාහිත්‍ය ගැන බලන්න පුළුවන්.

ඇතැම් විටක රටක සාහිත්‍යයෙන් හෝ මිනිස්සුන්ගේ සාහිත්‍ය සාක්ෂරතාවයෙන් හෝ රටක් මනින්න පුළුවන්, මිනිස්සු සාහිත්‍යයට දක්වන ලැදියාව තුළින් ඒ රටේ මිනිස්සුන්ගේ දේශපාලනය තේරුම් ගන්න පුළුවන් කියන ගැටලුවත් එනවා.

මේ ඊයේ පෙරේදා දවසක ටවර් හෝල් හැදුවේ කවුද, එල්ෆින්ස්ටන් හැදුවේ කවුද කියලා අහල සරච්චන්ද්‍ර මහත්තයාට ගැහුවේ මෙයා කියලා දේශපාලන වේදිකාවක කෑ ගහන කලාකරුවෙක් දැක්කාම කලාව ගැනත් සැකයක් ආවා.

ඒත් එක්කම ආචාර්ය ජයලත් මනෝරත්නට වදින දේශපාලනඥයකු වගේම හිටපු ජනාධිපතිවරයකුගේ ආර්යාවට වැඳලා සම්මාන ගන්නා කලාකරුවකුගේ ඡායාරූපයකුත් දැක්කා.

අපේ රටට අත්වෙලා තියෙන ඉරණම හරියටම පැහැදිලි කරගන්න බැරි වගක් නම් තියෙනවා. මේක අපේ කන්තෝරුවවල, තේ වෙලාට රාත්‍රී බීර වීදුරුවලට සීමා වෙච්ච සාකච්ඡා බවට පත්වෙලත් තියෙනවා.

මෙහෙම බලද්දි ලංකාවට උදාහරණ වෙන රටවල් කිහිපයක්ම හොයාගන්න පුළුවන්. ලෙබනනය, මාලදිවයින, නවසීලන්තය, වියට්නාමය, සිංගප්පූරුව වගේම කොලොම්බියාව.

විවිධාකාරයෙන් සංසන්දනය කරන්න පුළුවන් රටවල් ගොන්නක්ම තියෙනවා.

මේ අතරින් කොලොම්බියාව තෝරාගන්න හේතුව. ගබ්‍රියෙල් ගාර්ෂියා මාකෙස්. ඒකත් ස්පාඤ්ඤයේ කොලනියක් වෙලා තිබුණු රටක්. අපි බ්‍රිතාන්‍ය කොලනියක් වෙලා තිබුණට අපි රටේ තාමත් ප්‍රධාන භාෂාව සිංහල. හැබැයි කොලොම්බියාවේ ප්‍රධාන භාෂාව ස්පාඤ්ඤ.

ඉතිං මාර්කෙස් හඳුන්වන්නේ 20 වැනි සියවසේ අග්‍රගණ්‍ය සාහිත්‍යකරුවකු විදියට, විශේෂයෙන්ම ස්පාඤ්ඤ භාෂාව තුළ.

මාර්කෙස්ගේ පොත් රැසක්ම මේ වෙද්දි සිංහලට පරිවර්තනය වෙලා තියෙනවා.

මාර්කෙස්ගේ විකල් හෝරාව, ඉංග්‍රීසි බසින් In Evil Hour පොත කියවන්න අරගෙන පළමු පරිච්ඡේදය අවසන් කළා විතරයි. පොත පරිවර්තනය කරලා තියෙන්නේ නිලූක කදුරුගමුව. නිලූක කියන්නේ රාජ්‍ය තාන්ත්‍රිකයෙක්.

ඒ ගැන පස්සේ කතාකරමු.

බ්‍රිටනිකා විශ්ව කෝෂයට අනුව කොලොම්බස්ගේ නම ගත්තු එකම ඇමෙරිකානු රට වෙන්නේ කොලොම්බියාව යි.

දේශපාලන අස්ථාවරත්වයෙන් බැට කන රටක් වෙන කොලොම්බියාව සිවිල් යුද්ධ, ප්‍රචණ්ඩත්වය, මත්ද්‍රව්‍ය මේ වගේ අර්බුද ගණනාවකට මුහුණ දෙන රටක්.

කොහොම නමුත් කොලොම්බියානු සිවිල් යුද්ධයට තිත තියන්න සාම ගිවිසුමකට අත්සන් තබන්න ෆාක් ගරිල්ලා සංවිධානයත් රජයත් සමත් වෙනවා. මේ වෙද්දි නම් මේ ක්‍රියාවලිය අඩපණ වෙලා.

මේ සාම ක්‍රියාවලිය නිසා කොලොම්බියාවේ එවකට ජනාධිපති යුවාන් මැනුවෙල් සැන්ටෝස් ට 2016 වසරේ නොබෙල් සාම ත්‍යාගය ලැබෙනවා.

යුවාන් මැනුවෙල් සැන්ටෝස් කියන්නේ කොලොම්බියාවේ ධනවත් හා බලවත් සැන්ටෝස් පවුලේ සාමාජිකයෙක්.

ඔහු වෘත්තියෙන් ආර්ථික විද්‍යාඥයෙන්. කොහොම නමුත් පවුලට උරුම වෙච්ච පුවත්පත් ව්‍යාපාරයක් තියෙනවා. ‘එල් ටියැම්පෝ’ තමයි මේ පුවත්පතේ නම්.

කොලොම්බියාවේ ධනවත්ම පුද්ගලයා විදියට හැඳින්වෙන ලුවිස් කාර්ලෝස් සමියන්තෝ පුවත්පතේ සැන්ටෝස් පවුලට හිමිවෙලා තිබූ කොටස් හිමිකාරීත්වය මිලදී ගන්නවා.


ඡායාරූපය - මෙතැනින් - https://www.lifie.lk/2019/04/05/05-sri-lankan-devils/  

Sunday, August 26, 2018

මට දෙවියන් වහන්සේ මුණ ගැහෙන්න පුළුවන් වුණේ නෑ

පොත් කියවීම කොහොම හුරු වූවාදැයි කියන්නට මට ඒ හැටි මතකයක් නැත.  එහෙත් අම්මාගේ බලපෑම ඊට විශාල වශයෙන් හේතුවිය. සෑම ජනවාරි පළමු වැනිදාවකම, සෑම බක් මහකම අලුත් අවුරුදු උදාවේදී වැඩ අල්ලන නැකතට මා පොතක් කියවන්නට පුරුදු වූයේ අම්මාගේ බලපෑම හා වුවමනාව නිසාය. කුඩා කාලයේ දී අම්මාගේත් තාත්තාගේත් කියවීම හා බලපෑම නිසා චාරිත්‍රයක් වූ එය කාලයත් සමඟ මා දැඩි කැමැත්තකින් හා වුවමනාවකින් කරන්නට යෙදුණක් විය. අවුරුදු 25ක් ගත වී ඇති තැන මා තවමත් එම චාරිත්‍රය ඉටු කරන්නේය. එය චාරිත්‍රයකට වඩා ජීවිතය හා බැඳුණු පුරුද්දක් වී තිබේ. එය මගෙන් මගේ සහෝදරියට ද උරුම වීම එක්තරා ආකාරයක තෘප්තියක් ගෙන දෙන්නකි.  

අද වනවිට මගේ පොත් කියවීමේ පුරුද්දත් පොත් මිලදී ගැනීමේ උන්මන්තකභාවයත් අම්මාට කරදරයක් වී තිබේ. තැන තැන විසිරුණු පොත් ඉවක් බවක් නොමැතිව පොත් මිලදී ගැනීමත් ඇයට මහත්  හිසරදයක් ව තිබේ. මිලදී ගත් බොහෝ පොත් මා තවමත් කියවා නැත. මිලදී ගන්නා ලද පොත් කියවා අවසන් නොකර දිගින් දිගටම පොත් මිලදී ගැනීම විටෙක මට ම එක්තරා ආකාරයක පීඩාවක් ගෙන දෙන්නකි. එහෙත් එම පීඩාවට පොත් මිලදී ගැනීමෙන් හා ඒවා නිතර නිතර දැකීමෙන් ගෙන දෙන තෘප්තිය මග හැර යන්නට හෝ මැඩ පැවැත්වීමට හෝ හැකියාවක් නැත.

මෑතකදී තැන තැන විසිරුණු පොත් කිහිපයක් එක් තැනකට ගොනු කරන්නට අවස්ථාව ලැබිණි. ඒ නිසාම කලකට කලින් කියවන ලද පොත් කිහිපයක පිටු පෙරළන්නට නැවත වරක් අවස්ථාව ලැබිණි. නොකියවූ පොත් රැසක් ද ඒ අතර විය. එයින් ද චූලානන්ද සමරනායකගේ මහතාගේ පරිවර්තනවලට මම මහත් ඇළුම් කරමි. සිත්ගත් පරිවර්තකයන් අතර ඔහුට මුල් තැනක් හිමි වේ. කාටත් චූල අයියා, චූලේ අයියා හෙවත් චූලානන්ද සමරනායක මහතා මට අවසන් වරට මුණ ගැසුණේ ප්‍රියන්ත කොඩිප්පිලිගේ ‘කොඩි’ කවිපොත එළිදැක්වූ දිනයේදීය. ඊට අමතරව ඔහු මෑතකදී විශ්ව විද්‍යාලයක කරන ලද දේශනයක් සහ ඔහු ගැන අසන්න ලැබුණු ආරක්ෂණීය තොරතුරු කිහිපයක් නිසාම මා සතු ඔහුගේ වඩාත් සිත්ගත් පරිවර්තනයක් නැවත කියවන්නට ගතිමි.

පාවුලෝ කොයියෝ යනු මෑත කාලයේදී මෙරට පාඨක ජනතාවගේ ආකර්ෂණය දිනාගත් විදෙස් ලේඛකයෙකි. බ්‍රසීල ලේඛකයකු වන කොයියෝ 1988 දී පෘතුගිසි බසින් ප්‍රකාශයට පත් කරන “ ඔයැ ්කජයැපසිඑ ද ඇල්කෙමිස්ට්” කෘතිය චූලානන්ද සමරනායක මහතා සිංහලට නගන්නේ 2003 වසරේදීය. මේ කෘතිය මුල් වරට ඉංග්‍රීසි බසින් මුද්‍රණය වන්නේ 1993 වසරේදීය. ජාත්‍යන්තරයේ විශාල අලෙවියකට හිමිකම් කියන ද ඇල්කෙමිස්ට් කෘතිය භාෂා 70කට වැඩි සංඛ්‍යාවකට පරිවර්තනය වී ඇතැයි පැවසේ.

මේ පොත කියවන අයකුට අපූරු තැන් බොහෝමයක් මුණ ගැසෙනු ඇත. ඒවා තම තමන්ට කැමැති කැමැති ආකාරයට අර්ථ ගන්වා ගත හැකිය. ඕනෑම කෘතියක් කලා නිර්මාණයක් පාඨකයන්ගේ රසිකයන්ගේ ග්‍රහණයට ලක්වන්නේ ඔවුන්ගේ සිතුම් පැතුම් හා අත්දැකීම්වලට අනුවය.

සැලකිය යුතු ආගමික පසුබිමක් හා නැඹුරුවක් මෙන්ම ආගම සැලකිය යුතු ආකාරයකින් ආගම බද්ධ වූ ජීවිත ගෙවන්නන් සිටිනි අප වැනි රටක ජනතාව දෙවියන් බුදුන් පස්සේ යෑම අලුත් දෙයක් නොවේ. අපි බොහෝමයක් දෙනා බොහෝ දේ සොයමින් යන්නෙමු. සතුට, සැපත, සත්‍යය ආදී බොහෝ දේ සොයා යන්නෙමු. බුද්ධාගම ප්‍රධාන ආගම වන මේ රටේ බොහෝ දෙනා නිවන සොයා යන්නෝ වෙති. එහෙත් අපි සොයන දේ අපට හමු වූයේ ද යන්න අප අපගෙන් විමසිය යුතු ප්‍රශ්නයකි. දේශපාලන, සමාජ ආර්ථික, භෞතික හා ආධ්‍යාත්මික බොහෝ දේ සොයා යන අපට බොහෝ දේ මග හැරී ඇති බව නම් සහ සුදක් සේ පැහැදිලිය. සොයන දේ වෙනුවට වෙනත් බොහෝ දෑ හමු වී ඇති බවත් සියල්ල අවුල් ජාලයක් බවට පත්ව ඇති බවත් නොකිවමනාය.

සන්තියාගෝ නම් සැරිසන්නා නමින් සිංහලට පරිවර්තනය වන ද ඇල්කෙමිස්ට්හි පරිවර්තති කෘතියේ 11 වැනි පිටුව අවසානයේ එඬේර කොලුවා මෙසේ කල්පන් කරන්නේය. ඔහුගේ කල්පනාව තුළ බොහෝ දේ කියවෙන්නේය. අපි පාසල් යන්නෙමු. කෝවිල් යන්නෙමු. රැකියාව ද යන්නෙමු. අධ්‍යාපනය ලබන්නෙමු. පාසල් යන්නෙමු. පල්ලි දේවලවල ගාටන්නෙමු. තවත් බොහෝ දේ සොයා යන්නෙමු. රස්තියාදු වන්නෙමු. එහෙත් අපි සොයන දේ හමු වී ඇත් ද ?

“ “සෙමනේරියේදී මට දෙවියන් වහන්සේ මුණ ගැහෙන්න පුළුවන් වුණේ නෑ”. ඉර උදාව දෙස බලා ඉන්න ගමන් ඔහු කල්පනා කළේය.”  

Saturday, February 3, 2018

ආදරණීය වික්ටෝරියා ගැන ආදරයෙන්

කියවන පොත් ගැන සටහනක් තැබීමට නිරන්තරයෙන් සිතාගෙන සිටියත් එය කිසිදු අවස්ථාවකදී මෙතෙක් කලක් ඉටු නොවුණු බලාපොරොත්තුවක් විය. කෙසේ නමුත් මේ වසරේදීවත් කියවන පොතක් ගැන එක ඡේදයක් හෝ ලියා තබන බවට කරගත් අදිටන අද කූඨප්‍රාප්ත වී තිබේ. බ්ලොග් අඩවියේ මුලින්ම ලියන්නට සිතුනේ ආචාර්ය ලියනගේ අමරකීර්තිගේ කුරුළු හදවත ගැනය. පසුගිය වසර කිහිපයේදී මට වඩාත් සමීප වූ පොත් කිහිපය අතර මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේ සෙංකොට්ටං හා කුරුළු හදවතට හිමිවන්නේ මුල් තැන බව නොකිවමනාය. ඒ තැනට තවත් අලුත් පොතක් එක් කළ හැකිය. ඒ මොහාන් රාජ් මඩවලගේ ආදරණීය වික්ටෝරියා කෘතියයි.

මා සටහන ලිවීම ආරම්භ කරන ලද්දේ පෙබරවාරි 4 උදා වීමට පැයක් තිබෙන මොහොතකය. හෙට උදා වන්නේ ශ්‍රී ලංකාවේ 70 වැනි නිදහස යැයි කියති. නිදහස ලැබුණාද, නිදහස දිනාගත්තා ද , සුද්දා රට දාලා ගියා ද ? නිදහස හරියටම ලැබුණේ 1972 වසරේදී කියා තෝරා බේරා ගන්නට බැරි රටක අපි ජීවත් වන්නෙමු. එහෙව් රටක තීරණාත්මක කාල පරිච්ඡේදයක් ගැන මොහාන් අපුරූවට ආදරණීය වික්ටෝරියා හි ලියා තබා තිබේ.

බි්‍රතාන්‍ය පාලනයත්, බි්‍රතාන්‍ය පාලනයෙන් උරුම වූ දෑ නිසි පරිදි ගලපා ගැනීමට නොහැකි වීමත්, බඩජාරී කමට කෑ දෑ දිරවා ගත නොහැකි තත්ත්වයත් පොතේ අපුරූවට ලියා තබා ඇත. අද වනවිට ලංකාවේ තිබෙන සමාජ, සංස්කෘතිමය හා ආර්ථිකමය මෙන්ම ආකල්ප හා සිතුවිලිවලට සුවිශේෂී බලපෑමක් කරන ලද කාලසීමාවක් ලෙෂ බි්‍රතාන්‍ය පාලන කාලයත්, එයිනුත් වික්ටෝරියානු රැජින යටතේ පැවති බි්‍රතාන්‍ය පාලනයත් විශේෂයෙන් පෙන්වා දිය හැකිය.

වික්ටෝරියානු රැජිනගේ පාලන සමයේදී බි්‍රතාන්‍ය තුළ සමාජ, සංස්කෘතික, ආර්ථිකමය , දේශපාලනමය ඇතුළු බොහෝ ක්ෂේත්‍රවල ප්‍රතිසංස්කරණ රැසක් සිදු වූ අතර එහි බලපෑම එවකට බි්‍රතාන්‍ය පාලනය යටතේ පැවති ලංකාව වැනි කොලනිවලට ද තදින්ම බලපෑවේය.

වික්ටෝරියානු සුචරිතවාදය, වික්ටෝරියානු සංස්කෘතිය, වික්ටෝරියානු සදාචාරය යනුවෙන් හඳුන්වනුයේ වික්ටෝරියානු රැජිනගේ පාලන සමයේදී සිදු වූ සමාජ සංස්කෘතික ප්‍රතිසංස්කරණය, වෙනස්කම්. එම ප්‍රතිසංස්කරණ එසේත් නැතිනම් වෙනස්කම්වලින් පසු එඞ්වඞ් රජුගේ යුගය ආරම්භ වූ අතර ඉන් පසු වත්මන් දෙවැනි එළිසබෙත් රැජිනගේ කාලය වනතෙක් දක්වා පැමිණ තිබේ. මෙම යුගවලදී බි්‍රතාන්‍ය වික්ටෝරියානු ප්‍රතිසංස්කරණවලට බොහෝ දුර ගොස් තිබේ. බි්‍රතාන්‍ය අද වනවිට බොහෝ දුරක් පැමිණ ඇතත් ශ්‍රී ලංකාව තවමත් පය දෙතැනක තබාගෙන සිටියි. බි්‍රතාන්‍ය තුළ නූතන තත්ත්වලට ගැලපෙන අයුරින් බොහෝ ප්‍රතිසංස්කරණ සිදුව තිබේ. තාක්ෂණය අතින් ඔවුන් බොහෝ දුර ගොස් තිබේ.

ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන ඇතැම් නීතිරීති බි්‍රතාන්‍ය පාලන සමයේදී, විශේෂයෙන්ම වික්ටෝරියානු රැජිනගේ පාලන සමයේදී පැනවූ නීතිරීති වීම ඊට හොඳම උදාහරණයයි. එය මෑතකදී වඩාත් හොඳින් දක්නට ලැබිණි. කාන්තාවන්ට මත්පැන් මිලදී ගැනීම තහනම් කරමින් බි්‍රතාන්‍ය පාලනයේදී පනවන ලද නීති තවදුරටත් අඛණ්ඩව පවත්වාගෙන යෑමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා කටයුතු කිරීමට ඊට කදිම උදාහරණයකි. ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව අතින් බි්‍රතාන්‍ය ඉදිරියට යද්දි, කාන්තාවන්ගේ අයිතීන් සීමා කරමින් බි්‍රතාන්‍ය පාලන සමයේදී පනවන ලද නීතිරීති වෙනස් කර අදට ගැලපෙන සහ රටට ගැලපෙන නීතිරීති සකස් කිරීමට වත්මන් පාලකයන් පවා අසමත් වීම වික්ටෝරියානු බලපෑම කොතරම් තදින් සිදු ව ඇත්දැයි පෙනී යයි.

පෘතුගිසී, ලන්දේසි සහ බි්‍රතාන්‍ය පාලන සමවලට පෙර ලංකාවත්, එම පාලන සම සහ බි්‍රතාන්‍ය පාලනයෙන් පසු 1948 සිට 1972 දක්වාත් ඉන් පසු අද දක්වා කාලයත් බැලීමේ දී රටක් ලෙෂ අසාර්ථකවීම, කඩාවැටීම මනාව අවබෝධ කරගත හැකිය. වික්ටෝරියානු රැජිනගේ පාලනයේදී ශ්‍රී ලංකාවේ සිදුවන සමාජ, ආර්ථික සිදුවීම් මනාව පෙන්වාදෙන මොහාන් , තම කෘතියේ එක් තැනක මෙසේ සඳහන් කරයි.

“ඔය ධර්මපාල සිංහල මිනිසුන්ගේ නිදහස සීමා කරලා හදන්ඩ හදන සුචරිතවත් සමාජයම තමයි, වික්ටෝරියා මහ බිසවුන්නාන්සෙත් ඒ විදිහටම හදන්ඩ බලාපොරොත්තු වෙන්නේ.....”

පෘතුගිසී, ලන්දේසි සහ විශේෂයෙන්ම බි්‍රතාන්‍ය පාලනයත්, එම පාලන සමයේ වික්ටෝරියානු පාලන සමයේදීත් අපට සිදු වූ ඛේදවාචකය ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපට අපේ සංස්කෘතිය , අපේ කම අපේ ශක්තීන් මොනවාදැයි හඳුනාගැනීමට නොහැකි වීමය. අපට අපගේ අනන්‍යතාව හඳුනාගැනීමට නොහැකිවීම මෙහි ඛේදවාචකයයි. එහි ප්‍රතිඵලයක් ලෙස අවසාන වශයෙන් බිහි වූයේ මිශ්‍ර, විකෘති, දෙමුහුන් (හයිබි්‍රඞ්) නිශ්චිත අර්ථ කථනයක් නොදිය හැකි සමාජයකි.

මොහාන් ආදරණීය වික්ටෝරියා අවසන් කරන ආකාරය ගැන මට ඇත්තේ අපිළිවෙළ ගතියකි. එහෙත් එම අපිළිවෙළ, එම අවසානය ශ්‍රී ලංකාවේ වත්මන් මිශ්‍ර, විකෘති, දෙමුහුන් (හයිබි්‍රඞ්) නිශ්චිත අර්ථ කථනයක් නොදිය හැකි සමාජයේ ආරම්භය සනිටුවහන් කරයි. කෘතියේ අවසානයේ සඳහන් වනුයේ හිටපු අග්‍රාමාත්‍ය එස්.ඩබ්.ආර්.ඩී බණ්ඩාරනායක මහතාගේ උපතය. බණ්ඩාරනායක මහතා සම්බන්ධයෙන් දැඩි විවේචනයක් තිබේ. සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කරමින් ඔහු මහත් විනාශයක් රටට අත්කළ බව මාගේ විශ්වාසයයි. තමන්ගේ දරුවන් ඉංග්‍රිසි බසින් ද අකුරු කරද්දි, රටේ අනෙක් දරුවන්ට තිබූ එම අවස්ථාව අහිමි කිරීමේ ප්‍රතිවිපාක අපි අද හොඳින් අත් විඳින්නෙමු.

ආදරණීය වික්ටෝරියා මෙසේ අවසන් වෙයි.

“කෙසේ හෝ මේ දවසේම රාත්‍රියේ තවත් අහඹු සිද්ධියක් සිද්ධ වී තිබුණේය. එනම් කොළඹ මහමුදලි වලව්වේ මහමුදලි සොලමන් බණ්ඩාරනායකගේ බිරිඳ ඬේසි ඔබේසේකර පිරිමි දරුවකු ප්‍රසූත කළාය. සර් ජෝසප් වෙස්ට් රිජ්වේ ඉංග්‍රිසි ආණ්ඩුකාරවරයාගේ  අතිශයින්ම කුලුපග සේවකයකු වූ මහමුදලි බණ්ඩාරනායක සිය කුලදුල් පිරිමි දරුවාට සිය නමේ සොලමන් ඩයස් යන කොටසත්, ඉංග්‍රිසි ආණ්ඩුකාරවරයාගේ වෙස්ට් රිජ්වේ යන කොටසත් එකට එක්කොට සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක නමින් නම් තැබුවේ ඊට දින කිහිපයකට පසුය”.

ඉන් වසර 12කට, 1901 වසරේ පෙබරවාරි 4 වැනිදා බි්‍රතාන්‍යයේ වික්ටෝරියා රැජිනගේ ‘රාජකීය දේහය’ වින්ඞ්සර්හි ‘ෆ්‍රොග්මෝ මුසලියම්’ හෙවත් ෆ්‍රොග්මෝ රාජකීය සුසාන භූමියේදී භූමදානය කරන ලදි. 

ඡායාරූපය 1901 වසරේ පෙබරවාරි 04 වැනිදා ‘මැන්චෙස්ටර් ගාඩියන්’ හි පළ වූවකි. අයිතිය ‘ද ගාඩියන්’
https://www.theguardian.com/theguardian/2012/feb/04/archive-1901-death-queen-victoria

Friday, October 6, 2017

කඩ්ඩෙන් දුරස්වීම

ඉංග්‍රිසි භාෂාව ප්‍රචලිත කිරීමට ලංකාවේ දරුවන් යොමු කිරීම, රටේ තිබෙන ඇතැම් කරුණු සම්බන්ධයෙන් ලංකාව තුළ තිබෙන අනවබෝධය දුරු කිරීම බෙහෙවින් හේතුවනවා නොඅනුමානයි. අනෙක් අතට විෂය කරුණු, අලුත් දැනුම අපේ රටේ පිරිසකට සීමිත වීමට ප්‍රධාන හේතුව ඉංග්‍රීසි දැනුම, ඉංග්‍රිසි භාෂා භාවිතය අවම වීම. ඒ වගේම ශ්‍රී ලංකාවේ බොහෝ කටයුතුවලට ඉංග්‍රිසි භාෂාව මැදිහත් භාෂාව, ප්‍රධාන භාෂාව ලෙස යොදා ගැනීම රටේ තිබෙන වාර්ගික ප්‍රශ්නය ඇතුළු ප්‍රශ්න රැසකට විසඳුම් සපයා දෙනු ඇත.

එවැනි අවස්ථාවක බිග් බෑඩ් වුල්ෆ් වැනි පොත් ප්‍රදර්ශන එහෙමත් නැතිනම්, පොත් සල්පිල් ශ්‍රී ලංකාවේ පාඨකයන්ට ඉතා හොඳ අවස්ථාවක් ලබා දී තිබෙනවා. ශ්‍රී ලංකාවේ ඉංග්‍රිසි පොත්වල මිල සාමාන්‍යයෙන් ඉහළ බව නොරහසක්. අනෙක් අතට ඉංග්‍රිසි පොත කියවීමත් ඉතා සීමාකාරියි. එවැනි තත්ත්වයක් මත ‘බිග් බෑඞ් වුල්ෆ්’ කියන්නේ ලංකාවේ හැමෝටම ඉතාමත් හොඳ අවස්ථාවක්.
කොළඹ මේ දිනවල පැවැත්වෙන ‘බිග් බෑඩ් වුල්ෆ්’ දෙවැනි වරටත් ලියන්න හිතුනේ, මිත්‍රයකුගේ මේ සටහන නිසයි.

"බිග් බෑඩ් වුල්ෆ්ට බය කවුද? මෙහෙම අහල තිබ්බෙ Damith Kethaka . බොහොම වලංගු ප්‍රශ්නයක්.

මට දේවල් කීපයක් කියන්න පුලුවන්

එක, බිග් බෑඩ් වුල්ෆ් ප්‍රදර්ශනයේ අඩුපාඩු තියෙනව. එයාලා ලංකාවෙ මාර්කට් එක ගැන තියෙන දැනුම මදි බව පේනවා. උදාහරණයක් විදියට Tin Tin, Asterix වගේ පොත් නැති එක ගන්න පුලුවන්.
දෙක, අඩුපාඩු හරි ගස්සගෙන දිගටම මේක කරගෙන ගියොත්, කොළඹ "ජාත්‍යන්තර" පොත් ප්‍රදර්ශනයට එන ඉංග්‍රීසි පාඨකයො ගාණ පහල වැටෙනව.
තුන, සමහර අංශවලින් හොඳ පොත් මෙයාලා ළඟ තියෙනව. චීන, ජපන් වගේ රටවල නූතන ලේඛකයන්ගෙ පොත් කීපයක්ම මේ අය ළඟ තිබ්බා.
හතර, ඉංග්‍රීසි පොත් විතරක් තිබ්බා කියල, කවුරු බය වුනත් අපි බය වෙන්න අවශ්‍ය නෑ. ළමයින්ට ගන්න හොඳ පොත් ලාබෙට එහෙ තියෙනව. ළමයින්ට පොඩි කාලෙම ඉංග්‍රීසි පොත් අරන් දෙන්න. ළමයින්ව භාෂාවට ආස කරවන්න. අපිට බැරි වෙච්ච තරම් හොඳට එයාලා ඉංග්‍රීසි ඉගෙන ගනිවි.
මම නම් අද ඒක පටන් ගත්තා".

Chamara Sumanapala කියනවා වගේ, බිග් බෑඩ් වුල්ෆ් උත්සවයේ අඩුපාඩු තිබෙනවා. ලංකාව සම්බන්ධයෙන්, ඔවුන්ට ලොකු වැටහීමක් තිබෙන බව පේනවා. අඩුපාඩු මධ්‍යයේ මේ කරන ලද කාර්යය ඇගයිය යුත්තක්. ඒ නියතයෙන්ම කළ යුතුයි. භාෂාවක් සම්බන්ධයෙන් තිබෙන දැනුම අඩුකම අපේ සීමා කරනවා. අලුත් දේ සොයා යන්න තිබෙන ආශාව අඩු කරනවා. භාෂා කිහිපයක් දැන ගැනීම ඉතාමත් වටින්නේ ඒ නිසයි. භාෂා කිහිපයක් වෙතත්, අපේ රටේ ප්‍රධාන භාෂා දෙක වන සිංහල දෙමළ දැනගැනීම අපට බොහෝ දේ ඉගෙන ගැනීමට අවස්ථාව උදා කරනවා.
ඒ අර්ථයෙන්ම, ලෝකයේ ප්‍රධානතම භාෂාව වන ඉංග්‍රිසි ඉගෙන ගැනීම අපේ රටට, අපේ පසු පරම්පරාවවලට, අපේ පරම්පරාවට අතිශයින්ම වැදගත් වෙනවා. ලංකාවේ දක්ෂයන්ට ලෝකය ඉදිරියට යන්න, එයි නිතැතින්ම අවස්ථාව උදා කරනවා. අපට ලස්සන සාහිත්‍යයක් තිබුණත්, ඒවා ලෝකයට නොගියේ මේ භාෂාමය සීමාව නිසා. සිංහල හා දෙමළ යනු ලස්සන භාෂා දෙකක්. සුවිශේෂී අනන්‍යතාවක් තිබෙන, ඉතිහාසයක් තිබෙන භාෂා දෙකක්. එහෙත් සිංහල බසින් ලියැවුණු කෘති, දෙමළ බසින් ලියැවුණු කෘති ලෝකයට නොගියේ අපේ රටේ තිබුණා ඉංග්‍රීසි භාෂාමය දැනුම අඩු බව, භාෂාව භාවිත කරන පිරිසේ සීමිත බව යන කරුණු යන්න අදහසයි. මැදිහත් භාෂාවක් ලෙස ඉංග්‍රිසි භාෂාවට අපේ රටේ සමාජයේ වැඩි ඉඩක් ලැබුණේ නැහැ. ඉංග්‍රිසි භාෂාව මැදිහත් භාෂාවක්, සියල්ල එක් කරන භාෂාවක් කරන්නා වගේම, සිංහල හා දෙමළ යන භාෂා පුළුල් කළ යුතුයි.
ඒ නිසා භාෂාවක් පෝෂණය කිරීම යන කරුණේදී කලාව හා සාහිත්‍යයට හිමිවන්නේ ඉතා ඉහළ ස්ථානයක්. සාහිත්‍ය හා කලාව තුළ යොදාගන්නා භාෂාව මිනිස්සුන්ගේ දැනුම වර්ධනය කරනවා. මිනිස්සුන්ගේ භාෂාව පොහොසත් කරනවා. පොත් පත්, නාට්‍යය, චිත්‍රපට යනාදිය භාෂා පොහොසත් කිරීමේදී කරන කාර්යයභාරය අපට මෙතැකියි කියන්න බැහැ.


එනයින් ගත් කළ කියවීම, එසේත් නැතිනම් පොත පත කරන කාර්යය ඉතාමත් ඉහළයි. එහෙත් අපට ඉංග්‍රිසි බසින් කියවන්න පොත් තිබෙනවද? රටේ බහුතරයකට ඉංග්‍රිසි පොත පත මිලදී ගන්න, පොත් කියවන්න, ඒ සඳහා ප්‍රවේශය තිබෙනවාද ? එම නිසා බිග් බෑඩ් වුල්ෆ් කියන්නේ අපිත් ඉංගි‍්‍රසි බසත් අතර පාලමක්, අපිත් ඉංගි‍්‍රසි පොත පතත් අතර පාලමක්. බිග් බෑඩ් වුල්ෆ් අපිත් ඉංගි‍්‍රසි බසත් අතර තිබෙන පරතරය අඩු කරාවි. ඒ වගේම මේ පාලම හැම අවුරුද්දෙදිම විවෘත වේවි යන්න අපේ පැතුමයි.



හර්ෂණ තුෂාර සිල්වා
06.10.17

‘මිඩ්ල් ක්ලාස්’ ක්‍රියිසිස් සහ ‘ඩිකෝඩිං’

අපි ජන සමාජයක් විදියට උග්‍ර අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. දරුවෙක්ගේ සාර්ථකත්වය මනින්නේ, යාන වාහනවලින්, උපාධිවලින්, හම්බවෙන පඩියෙන්, කරන රස්සා...

Blog Archive