Showing posts with label ආර්ථිකය. Show all posts
Showing posts with label ආර්ථිකය. Show all posts

Sunday, August 17, 2025

‘මිඩ්ල් ක්ලාස්’ ක්‍රියිසිස් සහ ‘ඩිකෝඩිං’

අපි ජන සමාජයක් විදියට උග්‍ර අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. දරුවෙක්ගේ සාර්ථකත්වය මනින්නේ, යාන වාහනවලින්, උපාධිවලින්, හම්බවෙන පඩියෙන්, කරන රස්සාවෙන්, නැත්තං ලබපු අධ්‍යාපන සුදුසුකම්/සහතිකවලින්. ඒ වගේම අපි උග්‍ර අනන්‍යතා අර්බුදයකත්, උග්‍ර මධ්‍යම පාන්තික අර්බුදයකටත් මුහුණ දීලා ඉන්නවා.


අද (අගෝස්තු 17) සැලුන් එකට ගියාම වෙච්ච කතාබහක් තමයි, මිනිස්සුන්ට සල්ලි නෑ කිව්වාට, පාරට ගියාම අලුත් වාහන ගොඩයි කියන කතාව. ඇත්ත, කන්න බොන්න නැතුව, බෙහෙත් ටික නැතුව, තෙල් ටික, විදුලිය නැතුව උද්ඝෝෂණ කරපු රටක, ලෝකයට ණය රටක, පාරක තොටක ගියාම තියෙන අලුත් වාහන ගාණ, රටේ ආර්ථිකය කරන හැඳින්වීමට කිසිසේත් ගැලපෙන්නේ නැහැ. පසුගිය කාලයේ අපි විහිළුවට කිව්වෙත්, විරෝධතා ආණ්ඩුමාරු, පුටු පෙරළිවලින් පස්සේ රටේ පාරවල් සරසවපු විදිය, දන්සැල් දීපු විදිය, අවුරුදු කාපු විදිය, සංගීත ප්‍රසංග ආදිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැක්කා නං කියලා. ඒවා වෙන වෙනම කතාබහ කරන්න අවශ්‍ය මාතෘකා. 


ඉතිං, ජනසමාජයේ ආර්ථිකයත්, තනි පුද්ගලයකුගේ ආර්ථිකයත්, සමස්ත රටේ ආර්ථිකයත් අතරේ සමානකම් වගේම නොසෑහෙන්න වෙනස්කම් වගේම, ඒවා ක්‍රියාත්මක වන ආකාරයේ බරපතළ වෙනස්කම් තියෙනවා. ඉතිං මනුස්සයෙක් දියුණු වීම පොහොසත් වීම වත්කම් අත්පත් කරගැනීමත් ආර්ථිකය පල්ලම් බැහීමත්, දියුණු වීමත් සංවර්ධනය අත්පත් කරගැනීමත් කියන්නේ වෙනස්ම ආකාරයේ මාතෘකා දෙකක්. 


මෙතැන නොපෙනෙන කතාව තමයි, ලෝකය පුරාම අපි දකින දුප්පත් පොහොසත් පිරිස අතරේ ඇතිවෙන පරතරය. ඇති නැති පරතරය, සරලවම කිව්වොත්. මැදක් නැතිවෙන හැටි. අධ්‍යාපනය, සාර්ථකත්වය, දියුණුව, සංවර්ධනය කියන කරුණුවලදීත් ඇතිවෙමින් තිබෙන්නේ මේ විපරීත බව. මනුස්සකම, සානුකම්පාව, සහකම්පනය, මේ කියන දේවල් තුළින් වුණත් ඇතිවෙමින් තිබෙන්නේ මේ බරපතළ පරතරය. විපරීත ස්වභාවය. නූතන ලෝකයේ තියෙන දරුණු අර්බුදය. මධ්‍යම පාන්තික අර්බුදයේ ඉඳන් මේක හැමතැනකටම විහිදිලා. ආර්ථිකයේ ඉඳන් මනුස්සකම් සම්බන්ධකම් වෙනකම් ම. ඒ වගේම මිනිස්සු විදියට අපි තුළ ඇතිවෙමින් තිබෙන දෙබිඩි පිළිවෙත්. නූතන ලෝකයේ ආර්ථික මොඩලයත් මේකට විශාල වශයෙන් වගකියන්න ඕනේ. 


මධ්‍යම පාන්තිකයෝ විදියට මුහුණ දීලා උග්‍ර අර්බුදය අද ලාල්කාන්ත ලස්සනට කියනවා. ගේ ඉස්සරහා අලුත්ම අලුත්, හැබැයි ෆ්‍රිජ් එක හිස්. ඒ විඩියෝව මෙතැනින් බලන්න පුළුවන්. මේ කියන කතාවෙන් මේ අර්බුද සම්පූර්ණයෙන්ම කියවෙන්නේ නෑ. අපේ ජනසමාජයේ තියෙන අර්බුදය ආර්ථිකයේ පොඩි පැත්තක් විතරයි මෙතැනින් කියවෙන්නේ. 


මම මේ බ්ලොග් සටහන ලියන්න හිටියේ ඊයේ (අගෝස්තු 15). අටවන බුවනෙක බලලා එන ගමන් කල්පනා කර කර ආවේ. ඒත් නින්ද හරස් වුණා. අදත් ලියාගෙන හිටියට, සැලුන් එකයි ලාලයි ඒකට හැඳින්වීමක් අරන් දුන්නා. 


මට පුංචි කාලේ ඉඳන්, අපි දෛනකිව නොකරන, ඒත් සතුට වෙනුවෙන්, විනෝදය, රසාස්වාදය, මිහිර වෙනකං දෙයක් කරද්දි හැමතිස්සෙම ඔළුවට එන දෙයක් තියෙනවා. ඒ අම්මට තාත්තට මෙහෙම කරන්න පුළුවන් වුණා නං, මේ කෑම තිබ්බා නම්, ඉඳන් මුළු මහත් ලෝකයා සම්බන්ධයෙන් එන අදහස. රස කෑමක් කද්දි, අම්මා තාත්තා ඉඳලා එහෙම කෑමක් කන්න නොලැබෙන හැමෝම ගෙන අදහස. 


මේ අදහස එන්න ඇතැම් විට හේතු වන්නේ ඇත්තේ අපිට කවද්දි පොවද්දි, ඉතියෝපියාවේ ළමයි මතක් කරලා බැනපු හින්දද දන්නේ නෑ. ලංකාවේ ගම් පළාත්වල ළමයින්ට කන්න බොන්න නෑ කියලා පෙන්නද්දි, අම්මා තාත්තා ඒවා පෙන්න පෙන්න බැනපු නිසා ද දන්නේ නෑ. මේ ඉතියෝපියානු ළමයි ගැන කතාව මං හිතන්නේ ලංකාවට විතරක් සීමා සහිත නෑ. ලෝකයේ බොහෝ රටවලත් උදාහරණයක් විදියට උපහැරණයක් විදියට පාවිච්චිවෙලා තියෙනවා. ඒක ගැන ‘මීම්’ එකක් තිබ්බා ෆේස්බුක් එකේ, මේ ඉන්නේ ඒ ඉතියෝපියානු ළමයා කියලා. 


හැබැයි මට දැන් කල්පනා වුණේ, යුද්දේ හෝ යාපනයේ ළමයි දුක් විඳිනවා, ළමයින්ට ඉස්කෝලේ යන්න බැහැ කියන උදාහරණය අපේ අම්මලා තාත්තලා පාවිච්චි කළා ද කියලා. සහකම්පනයත් සානුකම්පාවත් සමහර විට, තමන්ගේ වත්තට විතරයි වගේ. 


ඉතිං ඊයේත් පුරුදු පරිදි මේ අදහස ආවා. නාට්‍ය බලද්දි, නාට්‍යයක් බලන්න සල්ලි නැතුව වගකීම් අස්සේ හිරවෙන මිනිස්සු, සල්ලි තිබ්බත් ඒ පහසුකම් තමන්ගේ පැත්තේ නැති මිනිස්සු, සල්ලිත් නැති අවස්ථාවත් නැති මිනිස්සු කියලා මේ විදියට දහස් ගණනක් ඉන්නවා. 


මිනිස්සුන්ගේ සවිඥානය වැඩි කරන්න පොත්පත්වලට, සිංදු ගීතවලට, නාට්‍යවලට, චිත්‍රපටවලට ලොකු හැකියාවක් තියෙනවා. කොටින්ම කිව්වොත්, කලාවට සහ සාහිත්‍යයට. හිතවත් විමුක්තිවාදියෙක් නං ඒ අදහස බැහැරවෙලා, ගල උස්සලා තිබ්බොත් මං ගෙනියන්නං කියලා කතාවක් කියලා ෂේප් වුණා. 


කොච්චර නාට්‍ය තිබ්බත්, කොච්චර පොත්පත් තිබ්බත්, ඒවා බලන්න කියවන්න අහන්න අවස්ථාවක් නැතිනං, මිනිස්සු අතරට ඒවා යන්නේ නැතිනම් අපිට පුළුවන් ද හිතන්න මිනිස්සුන්ගේ සවිඥානය වැඩිවෙයි කියලා. ඒවා ගැන කතා කරන්නේ නැතිනං අපිට පුළුවන් ද තාර්කිව හිතන මිනිස්සු හිතන රටක් බිහිවෙයි කියලා බලාපොරොත්තු තියන්න. මොකක්හරි සාහිත්‍යයක කලාවක තියෙන දෙයක්, බෙදලා බෙදලා පොඩියට තේරුම් ගන්න, ඩිකෝඩ් කරගන්න පුළුවන්නං. 


"The planet does not need more successful people. The planet desperately needs more peacemakers, healers, restorers, storytellers, and lovers of all kinds" 


දැන් ඔය උඩ කියන කතාව හැමතිස්සේම එහා මෙහා වෙනවනේ. ඔය කියන මිනිස්සු ඔක්කොම හිටියත්, මිනිස්සු පුරුදු වෙලා නැත්තං, කොච්චර ආදරේ කරන මිනිස්සු හිටියත්, කාරුණික මිනිස්සු හිටියත්, සුවපත් කරන මිනිස්සු හිටියත්, කතා කියන අය හිටියත් වැඩක් වෙයි ද ? (මේක කිසිසේත් ම ආදරය වෙනුවෙන් සාමය වෙනුවෙන් මිනිස්සු කරන වැඩ කන්දරාව හෝ කැපවීම හෝ අවතක්සේරු කිරීමක් නෙමෙයි). 


දැන් උදාහරණයකට, අපේ රටේ ඔය කියන හැමවිදියේම මිනිස්සු ඉන්නවා. එහෙම මම පෞද්ගලිකව දන්න විශාල පිරිසක් ඉන්නවා. මාධ්‍යවේදීන්ගේ ඉඳලා, කතා කියන අයගේ ඉඳලා. ලෝකය ගත්තත් එහෙමයි. මිනිස්සු සූදානම් නැතිනම්, හෝ මිනිස්සු පුරුදු පුහුණු වෙලා නැත්තං, කොච්චර කතා කිවව්ත් වැඩක් වෙයි ද ? අඩුම තරමේ සාහිත්‍යයක කලාවක තියෙන දෙයක් ‘ඩිකෝඩ්’ කරගන්න මිනිස්සුන්ට පුළුවන් වෙයි ද ? ඒක කරගන්න පුළුවන් සුළුතරය ගැන ප්‍රශ්නයක් නැහැ. ඒක හරියට පන්තියක වැඩ පුළුවන් ළමයි සහ බැරි ළමයි වගේ. අපි ගොඩයන්න නං, වැඩ පුළුවන් ළමයා වගේම වැඩ බැරි ළමයවත් තමයි ගමන යන්න ඕනේ. අනෙක් තර්කය තමයි, වැඩ බැරි ළමයි කියලා පිරිසක් නෑ, එක එක ළමයට අවශ්‍ය අවධානය, ආදී වශයෙන් අවශ්‍ය වෙන සාධක. 


අනෙක් පැත්ත තමයි ආර්ථිකය. මිනිස්සුන්ට ‘ඩිකෝඩ්’ කරගන්න වේලාවක් නැතිකම. තමන්ගේ පවුල වෙනුවෙන් ළමයි වෙනුවෙන් වාහනයක් ගන්න කන්න බොන්න ගෙයක් දොරක් හදාගන්න, මිනිස්සුන්ට පේන්න සතුටින් ජීවත් වෙන්න හැල්මේ දුවනවා. (මේ කියන කාරණය කාවවත් විවේචනය කරන්නවත්, සැලැස්මක් ඇතිව තමන්ගේ අරමුණුවලට යන මිනිස්සු හෑල්ලු කරන්නවත් නෙමෙයි. කොටින්ම කිසිම කෙනෙක් පහළට දැමීමක්, අවතක්සේරු කිරීමකවත් නෙමෙයි). 


ඔන්න ඔය කාරණයේ දී තමයි ඉතිහාසය ඉගෙන ගැනීමත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණත් වැදගත් වෙන්නේ. මිනිස්සු, මහජනතාවක් නෙමෙයි, පුරවැසියෝ බිහිකරන්නත්, ආදරය සහකම්පනය, කරුණාව, මනුස්සකම තියෙන මනුස්සයෙක් බිහි කරන්නත් තමයි අධ්‍යාපනය සකස් වෙන්න ඕනේ. 


මෙතැනින් එහාට මට නින්ද ගියා. මට නින්දෙන් ඇහරුණේ දොඩම් ගෙඩියක් හෝ ඒ් සමාන කතාවක් හීනෙන් දැකලා. මතක විදියට, දොඩම් ගෙඩියක් දැකලා නැති, කාලා නැති මිනිස්සුන්ගෙන් දොඩම් රස කොයි වගේද කියලා ප්‍රශ්න අහලා වැඩක් නෑ. සවිඥානයත්, සහකම්පනයත් ඒ වගේ තමයි. මම ලියන්න හිතාගෙන හිටියේ මේ ගැන නෙමෙයි. ඒක පස්සේ ලියමු.


Sunday, June 26, 2022

ආර්ථික අර්බුදය 5

 



ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් දේශපාලන විචාරකයන්, විශ්ලේෂකයන්, ආර්ථික විද්වතුන් මෙන්ම මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන බොහෝ දෙනා මේ වනවිට බො‌හෝ දේ ලියා ඇත.

ලාංකිකයන් පමණක් නොව මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන විදේශිකයන් පවා මේ සම්බන්ධයෙන් දිගින් දිගටම අදහස් දක්වා ඇත.

මෙය ලියන මම ද මාධ්‍යවේදියකු ලෙස නොව සාමාන්‍ය සමාජයේ සාමාන්‍ය තරුණයකු ලෙස යමක් ලිවිය යුතු යැයි අදහස් කරගනිමින් සරල යමක් ලියන්නට ආරම්භ කළ අතර මාර්තු 12 වැනිදා මගේ බ්ලෝග් අඩවියේ එසේ ලියා පළ කළෙමි.

වඩාත් බරසාර යමක් නොව සාමාන්‍යය සරල භාෂාවකින් ද සරලව යම් ගැටලුවක් ප්‍රශ්නයක් ඇති නම් අපි කළ යුත්තේ මොනා ද යන්න සම්බන්ධයෙන් සාමාන්‍ය තරුණයකු ලෙස මට අත්දැකීම් මා සිතන දේ ද එසේ ලියන්නට ආරම්භ කළ අතර ඒ අනුව ලිපි අතළොස්සක් එහි පළ කළෙමු.

පළමු ලිපිය ලියද්දීම මම මෙසේ ලීවෙමි. “මේ වනවිට රට දරුණු අර්බුදයකට මුහුණ දී සිටියි. ආර්ථික විශ්ලේෂකයන් ට අනුව නම් හරි අර්බුදය තවමත් ආරම්භ වී නොමැත.”

මේ ගැන මටත් වඩා හොඳට මා මිත්‍ර ධනා, එහෙමත් නැතිනම් ධනනාත් ප්‍රනාන්දු එක් අවස්ථාවක ලියා තිබිණි.

ධනා ලියපු ලිපි දෙකක්, එක දෙක

ධනනාත් ආර්ථිකය සම්බන්ධයෙන් නිරන්තරයෙන් අදහස් දක්වන ඒ සම්බන්ධයෙන් විශේෂඥතාවයක් දක්වන සහ ඒ සම්බන්ධයෙන් නිතර අදහස් දක්වන අයෙකි.

ධනනාත් නියෝජනය කරන ආර්ථික කඳවුර සම්බන්ධයෙන් යම් විවේචනයක් තිබේ. එනම් ඔවුන් ධනවාදී සහ ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති නියෝජනය කරන්නේ ය යනුවෙනි. මම මේ සම්බන්ධයෙන් ලියා තැබුවෙමි. මෙතැන තියෙනවා.

අපේ රටේ ලේබල් ගැසීමත් යම් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට යෑමේදී, වමේ ප්‍රතිපත්ති, නියෝ ලිබරල්, ධනවාදය ආදී එකී මෙකී නොකී තර්ක ගෙන ඒම සුලබම සිදුවන්නකි.

මගේ අදහස නම් යම් අවස්ථාවකදී, යම් ගැටලුවකට අවශ්‍ය වන්නේ ප්‍රායෝගික විසඳුම් ය. තිරසර විසඳුම් ය. එය ඇතැම් විටෙක ධනවාදී වන්නටත් තවත් විටෙක වමට බර වන්නටත් පුළුවන් ය.

අවශ්‍ය වන්නේ ගැටලුවක් ඇති නම් ගැටලුවට තිරසර විසඳුම් ය.

එම කරුණ අදටත් වලංගුය. ඊට ප්‍රධානම කරුණක් වන්නේ අපි ගසන්නේ “රෝල්” බැවිනි.

අතනින් ටිකක් අරගෙන මෙතැනටත්, මෙතැනින් ටිකක් අරගෙන අතනටත් දීමේ ක්‍රමවේදය අපි භාවිත කරමු. රටක් ලෙසත් රටේ පුරවැසියන් ලෙසත් මෙය නිරන්තරයෙන් සිදුවන්නකි.

අවුරුදු 74ක් තිස්සේ ම අපි මෙම ක්‍රමවේදය දිගින් දිගටම භාවිත කළෙමු.

යම් පුද්ගලයකු ලෙස එය කරනවා වගේ නෙමෙයි රටක ආර්ථික ප්‍රතිපත්තිය එහෙම වුණාම.

අපි අවුරුදු ගාණක් ආර්ථිකයේ මූලධාර්මික එහෙමත් නැතිනං මූලික ප්‍රශ්නවලට විසඳුම් හෙව්වේ නෑ. දීර්ඝකාලීන ප්‍රතිපත්ති සකස් කළේ නෑ.

අපි පාර්ලිමේන්තුවට පත් කරලා යවන දේශපාලනඥයෝ කළේ පුළුවන් තරම් හම්බ කරගත්තු එක සහ අවුරුදු පහකින් ආයේ පත්වෙන්න මොනාද කරන්න පුළුවන් ඒ ටික කරපු එක. ඔය චක්‍රය තමයි දිගටම කැරැකුණේ.

එහෙමයි කියලා අද රට මේ තියෙන තත්ත්වයට හේතුව දේශපාලනඥයෝ විතරක් ම නෙමෙයි. රටේ ජනතාව, එහෙමත් නැතිනම් මහජනතාවත් වගකියන්න අවශ්‍ය යි. එතැන තියෙන ප්‍රධානම කරුණ තමයි, අපට පුරවැසියෝ හිඟ වීම.

කොහොමින් කොහොම හරි පහුගිය අවුරුදු දෙක තුනේදී වුණේ, ටිකක් පස්සේ එන්න තිබ්බ අවුල් ගොඩක් ඉක්මන් කරගත්තු එක.

කලින් පත්වෙච්චි ආණ්ඩු පැලැස්තර විසඳුම් ගහලා, රෝල් ගහලා වැඩේ ෂේප් කරගත්තා.

බිත්තියක සිදුරකින් වහලේ හිලකින් වතුර වැටෙනවා නං අපි කරන්නේ මොකක් හරි විදියකින් තාවකාලිකව සිදුර හෝ හිල වහන එක. වතුර වැටෙන තැනට භාජනයක් තියන එක. ඒත් මේ ආණ්ඩුව කළේ ඒ සිදුර නැතිනං හිල ලොකු කරපු එක.

ඒකෙන් වුණු ඉරි තලපු තැන් තවත් ඉරි තැලුවා. වතුර ගලන එක වැඩි වුණා. දැන් ඉතින් එක දිගට ගලනවා.

එහෙම වෙලත් මේ ආණ්ඩුව තවමත් අඩුම ගාණේ කෙටි කාලීන සැලැස්මක් ඇතිව හරි වැඩ කරන බවක් පේන්නේ නෑ.

පොඩි පොඩි තැන් තිබ්බට දීර්ඝකාලීන සැලැස්මක්, මධ්‍ය කාලීන හා කෙටිකාලීන සැලැස්මක් පේන්න නැහැ.

ඒ වගේම කලින් කරපු වැරැදි ටික ඒ විදියට කරගෙන යනවා.

තමන්ගේ පැවැත්ම තහවුරු කරගන්න වත් බුද්ධිමත් දෙයක් කරන බවක් පේන්නේ නැහැ.

ඒ වගේ විරෝධතාකරුවන්ට පහර දුන්නු සැකකරුවෝ අත්අඩංගුවට ගන්නවා වගේ සාධනීය දේවල් කරන්නෙත් නැහැ.

ඒ වගේම විරෝධතාවල හිටපු මිනිස්සු අත්අඩංගුවට ගන්නවා. පොලිස් කෲරත්වය පවත්වාගෙන යනවා. රාජ්‍ය මර්දනය ක්‍රියාත්මක කරනවා.

මේ ක්‍රියාදාමයෙන් වෙන්නේ තවමත් ආණ්ඩුව ගැන විශ්වාසය තියාගෙන ඉන්න මිනිස්සු ටිකත් නැති කරගැනීම.

ඒ වගේම අර්බුදය තවදුරටත් උත්සන්න කිරීම.

Wednesday, March 23, 2022

ආර්ථික අර්බුදය 4

 4.1



කාටූනය අවන්ත ආටිගල 


රට මේ වනවිට මුහුණ දී සිටින ආර්ථික අර්බුදයේදී ත් පසුගිය වසර ගණනාවකදී අප මුහුණ දුන් අර්බුද දෙස බැලීමේදීත් ප්‍රධාන කරුණු දෙකක් ඉස්මතු කළ හැකි ය.

එකක් ප්‍රශ්න දෙස බැලීමේදී ඒවා දැඩි ලෙස දේශපාලනීකරණය කිරීම ය. අනෙක ප්‍රශ්න විහිළු බවට පත් කිරීම ය.

මනුෂ්‍යයෝ යනු දේශපාලන සත්වයෝ ය දේශපාලනයෙන් තොර ලෝක පැවැත්මක් නැතැයි යනුවෙන් බුද්ධිමතුන් පවසා ඇත. ඔය අදහස දෙන ප්‍රකාශ ඔවුහු විසින් නිකුත් කරනු ලැබ තිබෙති.

දේශපාලනීකරණය යන්නෙන් වඩාත් ම අදහස් කරන්නේ අපේ රටේ තිබෙන පක්ෂ දේශපාලන අර්බුදයත්, අනෙකා වෙත බෝලය පාස් කිරීමත්, ව්‍යවස්ථාදායක ක්‍රියාවලියෙන් ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලියෙන් බැහැරට ගොස් සෑම කටයුත්තකට දේශපාලන ඇඟිලි ගැසීම් කිරීම ය.

අනෙක් අතට පසුගිය කාලයේ ත් ඉතිහාසයේ ත් අප දුටු දෙයක් නම් බිල්ලන් මැවීම ය. අනෙක වාමවාදී දක්ෂිණවාදී ලෙස හෝ වෙනත් ආකාරවලින් ලේබල් ගැසීම ය.

වත්මන් ආර්ථික අර්බුදය තුළත් අපට එය දක්නට ලැබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගමන් කිරීම සම්බන්ධයෙන් අපට එය දක්නට ලැබිණි.

වත්මන් ආර්ථික අර්බුදය සැලකිල්ලට ගැනීමේදීත් ලිබරල් ආර්ථික ප්‍රතිසංස්කරණ, ධනවාදය, වාමාංශික, සමාජ ප්‍රජාතන්ත්‍රවාදී, යනාදී විවිධ දේශපාලන මතවාදවලින් විසඳුම් සෙවීම ගැනත් විවේචනත් ඉදිරිපත් විය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා ලිබරල් ආර්ථික ප්‍රතිසංස්කරණ විවේචනය කළේ ය.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නියෝ ලිබරල් කල්ලිය යනුවෙන් පිරිසක් ඉලක්ක කරගෙන පහර ගැසුවේ ය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා, එම ධුරයට පත් වූ අවස්ථාවේ දී ඔහු ලිබරල්වාදියකු යැයි ඇතැම් පිරිස් චෝදනා නැඟූහ.

දේශපාලන මත දැරීම ඔ්නෑම අයකුගේ අයිතියකි.

අනෙක් අතට මේ කිසිදු ක්‍රමවේදයක් සියයට සියයක් නිවැරැදි වන්නේ නැති බවත් සියයට සියයක් වැරැදි වන්නේ නැති බවත් ලෝකය දෙස බැලීමේදී අපට බලාගත හැකි ය.

මේ කිසිදු ආර්ථික ක්‍රමවේදයක් සියයට සියයක් සාර්ථක නැති බවත් ඒ කිසිවක් සියයට අසාර්ථක නැති බවත් වටහා ගත හැකි ය.

මේ නිසා ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීමේදී කළ යුත්තේ අප රටට ගැලපෙන, ප්‍රායෝගික ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කිරීම ය.

මතවාදයකට අනුව ගමන් කරනවාට වඩා ප්‍රායෝගික වීම වැදගත් යැයි මම විශ්වාස කරමි.

ඒ ඒ අවස්ථාවට ප්‍රායෝගිකව සිතා බලා ගන්නා කෙටිකාලීන, මධ්‍යකාලීන, දිගුකාලීන ප්‍රතිපත්තිමය තීන්දු තීරණ, විසඳුම් සහ ප්‍රතිසංස්කරණ යමකුට ලිබරල් යැයි ද තවත් අයකුට වාමාවාදී යැයි තර්ක කළ හැකි ය.

එහෙත් අදාළ අවස්ථාවේ ගත යුතුව තිබෙන සහ දීර්ඝකාලීනව අවදානම අඩු වඩාත් උචිත පිළියම එය නම්, අදාළ පියවරේ වරදක් නැත.

මේ නිසා මේ අවස්ථාවේ දී දේශපාලනික මත පසෙක තබා ප්‍රායෝගික විසඳුම් ගත යුතු ය. එහිදි කෙටිකාලීන, මධ්‍යකාලීන සහ දීර්ඝකාලීන තත්ත්ව සලකා බැලිය යුතු ය.

සරලවම ස්වොට් (SWOT – Strengths, weaknesses, opportunities and threats / ශක්තීන්, දුර්වලතා, අවස්ථා සහ තර්ජන) විශ්ලේෂණයක් කළ හැකි ය.

අනෙක් අතට කාලයක් මුළුල්ලේ අප කරන බරපතළ වරදක් තිබේ.

දේශපාලන තන්ත්‍රය තුළ තිබෙන මෙම බරපතළ මතවාදී ගැටලුවත්, ඇතැම් විශේෂඥයන් විවිධ පක්ෂවලට පක්ෂපාතී යැයි සිතා ලේබල් ගැසීමත් නිසා දේශපාලනඥයන් විශේෂඥ මත ඉවත දැමීම ය.

ඇතැම් විට විශේෂඥ මත අනුව ප්‍රායෝගිකව කටයුතු කිරීම මදිකමක් යැයි හීනමානයෙන් ද ඇතැම් දේශපාලනඥයෝ පෙළෙති.

අනෙක විශේෂඥ මත විමසීමෙන් තමන්ට පෞද්ගලිකව ලැබෙන ප්‍රතිලාභ නොලැබී යෑම ය.

අනෙක් අතට විශේෂඥ කමිටු කියා පත් කරන්නේ කිසිදු විශේෂඥ දැනුමක් නොමැති තමන්ට හිතැති පිරිස් ය.

අර්බුදයට විසඳුම් සෙවීමට පෙර අප විසඳාගත යුතු මූලික ප්‍රශ්න ගණනාවක් ම තිබේ.

මෙම මූලික ප්‍රශ්න විසඳාගන්නේ නම් ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම ඉතා පහසු ය.

එහෙත් ප්‍රතිඵල ලැබීමට නම් කාලයක් බලා සිටිය යුතු ය. ඉවසීමෙන් කටයුතු කළ යුතු ය. නිරන්තරයෙන් යහපත් දෑ කළ යුතු ය.

 

 

කාටූනය අවන්ත ආටිගල

https://www.facebook.com/PoliticalCartoonsLKA/photos/a.472114272913538/2621147138010230 

Monday, March 21, 2022

ආර්ථික අර්බුදය 3


ඡායාරූපය - රොයිටර්ස් 


වත්මන් ආර්ථික අර්බුදයට වගකිව යුත්තේ ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ ආණ්ඩුව සහ එම පාලන තන්ත්‍රය යි.

එහෙත් මේ අර්බුදය නිදහසින් පසු අනුගමනය කළ වැරැදි පිළිවෙත්, ප්‍රතිපත්ති සහ නොමනා හැසිරීමේ උච්ඡතම අවස්ථාවේ ආරම්භය හෝ එහි කොටසක් යැයි කිව හැකි ය.
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වූයේ 2019 වසරේ දී ය. වත්මන් ආණ්ඩුව බලයට පත්වූයේ 2020 වසරේ දී ය.

ඒ වනවිට මේ රට සුඛිත මුදිත සෞභාග්‍යමත්/වත් රටක් ව තිබුණේ නැත.
එහෙන් වත්මන් ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, ආණ්ඩුව, රාජ්‍ය තන්ත්‍රය, පාලන තන්ත්‍රය සහ නිලධාරී තන්ත්‍රය නිදොස් කොට නිදහස් කෙරෙන්නේ නැත.
නිදහසින් පසු ගෙවුණු වසර 70කට වැඩි කාලයේ දී මෙරට දේශපාලනඥයන්ගෙන් දැක්මක් ඇති ප්‍රතිපත්තිමය තීන්දු තීරණා ක්‍රියාත්මක කළා නම් එම පිරිසගේ ගණන හරි අතළොස්සකි.

රටේ සාක්ෂරතාව ඉහළ මට්ටමක පැවැතියත්, දේශපාලන, ආර්ථික, සමාජයීය, සහ මාධ්‍ය සාක්ෂරතාව ඇත්තේ ඉතාමත් පහළ මට්ටමක ය.

බොහෝ අමාරුවෙන් දුවන නිදහස් සෞඛ්‍යයත් නිදහස් අධ්‍යාපනයත් නොවෙන්නට මේ රට, මෙසේ නොතිබෙන්නට ඉඩ තිබිණි.

ඇතැම් විට ශ්‍රී ලංකාව කිය රටක් ද තිබෙන්නට ඉඩ නොතිබිණි.

මේ සියල්ල මධ්‍යයේ 1948 සිට 1972 දක්වාත්, 1972 සිට 1977 දක්වාත්, 1977 සිට 1994 දක්වාත්, 94 සිට 2000, 2001, 2002, යන වසරත්, 2004/2005ත් එතැන් සිට 2010 දක්වාත් ඉන්පසු 2015 දක්වාත් ඊටත් පසු 2019 දක්වාත් මේ රටේ තීරණාත්මක කාලපරිච්ඡේද ලෙස දැක්විය හැකි ය.

ඉහතින් සඳහන් කළ 1948 සිට 1972 දක්වාත්, 1972 සිට 1977 දක්වාත්, 1977 වසරත් මේ රටේ දේශපාලන තන්ත්‍රයේ සුවිශේෂී කාලපරිච්ඡේද සහ වසර ලෙස දැක්විය හැකි ය.

උගත් බුද්ධිමත් වියතුන්ගෙන් පිරි පාර්ලිමේන්තුව, කාලයත් සමඟ කොල්ලකාරයන්ගේ නිදහස් භූමියක් බවට පත්ව තිබේ.

නිදහස් ශ්‍රී ලංකාව උගත් බුද්ධිමත් වියතුන්ගේ පිරී නොතිබුණු බවට තර්ක කළ හැකි ය. මේ අර්බුදය සියල්ලට ම හේතුව ඇතැම් උගත් බුද්ධිමත් වියතුන්ගේ පටු අරමුණු යැයි තවකකුට තර්ක කළ හැකි ය.

කෙසේ නමුත් අවසන් නිගමනය ලෙස දැක්විය යුත්තේ වර්තමානයේ ඇති වී තිබෙන අර්බුදය හුදෙක් වසර දෙකක් තුළ නිර්මාණය වූවක් නොව නිදහසින් පසු ගෙවුණු වසර 70කට වැඩි කාලයේ දී කරන ලද නොමනා සහ අමනෝඥ, අදූරදර්ශී ප්‍රතිපත්ති තීරණවල ප්‍රතිවිපාක බව ය.

ඒ නිසා 69 ලක්ෂයකට දොස් තැබීමෙන් ප්‍රතිඵල අත්වන්නේ හෝ අනෙකා නිදහස් වන්නේ නැත.

මේ සා අර්බුදයකට ම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාටත්, සිරිසේන-වික්‍රමසිංහ ආණ්ඩුවටත් ඡන්දය දුන් ජනතාවට මුහුණ දෙන්නට සිදුවිය.

ජනතාව ඡන්දය භාවිත කරන්නේ පාලකයන්, දේශාපලනඥයන් ගැන විශ්වාසය තබා ය.

ඒ විශ්වාසය පළුදු කළ විට ජනතාවට දොස් තැබීමෙන් පලක් නැත.
ඒ නිසා ආණ්ඩුව හෝ පාලනයේ සිටින දේශපාලනඥයන් අසමත් වන විට අසාර්ථක වන විට ජනතාවට දොස් තැබීමෙන් වැඩක් හෝ ප්‍රතිඵලයක් හෝ අත්වන්නේ නැත.

එක පුද්ගලයකුට හෝ එක් පක්ෂයකට හෝ ඡන්දය දීමට නම් අප ජනාධිපතිවරණ, මහ මැතිවරණ යනාදී මැතිවරණ අවශ්‍ය වන්නේ නැත.
කොටින්ම ප්‍රජාතන්ත්‍රවාදය අවශ්‍ය වන්නේ නැත.

අප බිහි කළ යුත්තේ තමන් ඡන්දය දෙන දේශපාලනඥයන්, පාලකයන් වැරැදි මග යන විට ප්‍රශ්න කරන ජනතාවක් ය. තම දේශපාලන පක්ෂය හෝ දේශපාලන නායකයන් නොමනා වැඩ කරන විට ඒ සම්බන්ධයෙන් විවේචන ඉදිරිපත් කරන, ඔවුන්ගේ හැසිරීම ප්‍රශ්න, විචාර බුද්ධියෙන් හෙබි පුරවැසියන් ය, පාක්ෂිකයන් ය.

වත්මන් ජනාධිපතිවරයාටත්, වත්මන් ආණ්ඩුවටත් ඡන්දය දුන් 69 ලක්ෂයට චෝදනා කරන පිරිස කලින් සිටි දේශපාලන පක්ෂවලට හෝ දේශපාලන නායකයන් ට ඡන්දය භාවිත කර නැත් ද ?

වත්මන් ජනාධිපතිවරයා, වත්මන් ආණ්ඩුව, නොව විපක්ෂයේ සිටින අනෙක් දේශපාලකයන් අපේ රට සුඛිත මුදිත කර තිබේ ද ?

අද විපක්ෂයේ සිටින මීට වසර දෙක තුනකට පෙර ආණ්ඩුවේ සිටි මැති ඇමැතිවරුන් වංචා දූෂණ නොකළේ ද ?

අද ආණ්ඩුවට බැන වදින හිටපු ජනාධිපතිවරයා කොතරම් අමනෝඥ, අදූරදර්ශ ක්‍රියාමාර්ග ගත්තේ ද ?

ජනතාවට තෝරන්නට සිදු වන්නේ ඉදිරිපත් කරන ලැයිස්තුවෙන් ය.
අපට දැන් තෝරන්නට සිටින්නේ මේ රටේ ම මෙතෙක් සිටි පිරිස ය. අපට වෙනත් ලෝකයකින් දේශපාලකයන් පැමිණෙන්නේ නැත.

වත්මන් ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ගෙදර ගියහොත් හෝ යැව්වෝත් විකල්පය කවුරුන් ද ?

දැනට තිබෙන විකල්ප දෙක තුන නම් සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක, රනිල් වික්‍රමසිංහ, මෛත්‍රීපාල සිරිසේන යනවුන් ය.

අනුර කුමාර දිසානායක හැර අනෙක් අය රට කරවූ හැටි ගැන අපි හොඳින් දනිමු. සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායක ඇමැතිකම්වලට පමණක් සීමා වූවෝ ය.

ඉහත කී සිවුදෙනාට අමතරව විකල්පයක් තිබේ නම්, හොඳය. එසේ ඇති බවක් නම් පෙනෙන්නේ නැත.

කෙසේ නමුත් වත්මන් ආර්ථික අර්බුදයට වගකිව යුත්තේ ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, මුදල් ඇමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ය.

රට අද පත්ව ඇති තැනට නූපන් සියලු දෙනාත්, කුඩා අත දරුවන්, පොඩි දරුවන් හැර අන් සියලු දෙනාම වගකිව යුතු ය.

වත්මන් ආර්ථික අර්බුදය එක රැයින් ඇති වූවක් නොවේ.

මීට පෙර සිටි සියලු දෙනා අර්බුදවලට පැලැස්තර ඇලවූහ. වත්මන් ආණ්ඩුව තම උද්ධච්ඡ, අහංකාරත්වය සහ මමත්වය නිසා ප්‍රශ්නය තේරුම් නොගත්තේ ය. අඩු ගණනේ පැලැස්තර ඇලෙව්වේ ද නැත. එහෙයින් වසර ගණනාවක් තිස්සේ උඩ යමින් පහළ යමින් තිබූ අර්බුද ගණනාවක් උග්‍ර අතට හැරිණි.

මේ මොහොතේ විරෝධතා වැදගත් වන්නේ හෙයිනි. ආණ්ඩුවට, ජනාධිපතිවරයාට බල කර ඔවුන් ලවා නිවැරැදි කරවා ගැනීම ය.

ජනතා විරෝධය ද නොසලකා හැර තවදුරටත් සිය උද්ධච්ඡ, අහංකාර, අමනෝඥ සහ අදූරදර්ශ ප්‍රතිපත්ති අනුගමනය කරන්නේ නම්, ඔවුන්ට ඔවුන් අදහන දෙවියන්ගේ ම පිහිට යි.



ඡායාරූපය - රොයිටර්ස්

Saturday, March 12, 2022

ආර්ථික අර්බුදය 1

ඡායාරූපය - රොයිටර්ස් 


මේ වනවිට රට දරුණු අර්බුදයකට මුහුණ දී සිටියි. ආර්ථික විශ්ලේෂකයන් ට අනුව නම් හරි අර්බුදය තවමත් ආරම්භ වී නොමැත.

ශ්‍රී ලංකාව නිදහස දිනා ගැනීමෙන් පසු අර්බුදයකින් තොරව ගෙවූ වසරක් තිබේ ද යන්න සැක සහිත තරමට මේ පුංචි දිවයිනත් මේ පුංචි රටේ මිනිස්සුත් ප්‍රශ්නවලින් හෙම්බත් වී සිටිති.

කෙසේ නමුත් ඉතිහාසය ගැන කියන්නටත් ඉතිහාසය ගැන දන්නා අයටත් අප දන්නා ඉතිහාසයටත් අනුව මේ රට මෙතරම් ආර්ථික අර්බුදයකට පමණක් නොව දේශපාලන, ආර්ථික සහ සමාජ අර්බුදයකට පත්වුණු කාලයක් ම නොමැති බව අවිවාදිත ය.

තිස් වසරකට ආසන්න කාලයක් පැවැති යුද්ධය 2009 වසරේ දී අවසන් වීමත්, ඊට පසු වසරේ පැවැති ජනාධිපතිවරණයත්, යුද්ධය සමයේ දී එක පෙරමුණේ සිටි ජනාධිපතිවරයා සහ යුද හමුදාවේ, හමුදාපතිවරයා ඡන්දයට ඉදිරිපත් වූ එම ජනාධිපතිවරණයත්, එම ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ ජනාධිපතිවරයා ඉන් වසර කිහිපයකට පසු තම ධුර කාලයේ තවත් වසර දෙකක් ඉතිරිව තිබියදී තෙවැනි ධුර කාලයක් සඳහා ජනාධිපතිවරණයක් පැවැත්වීමත්, එම ජනාධිපතිවරණයෙන් විපක්ෂයේ පොදු අපේක්ෂකයා ජයග්‍රහණය කිරීමත්, පසුව එම කාලයේ ඇති වූ වාර්ගික අර්බුදත්, 2019 වසරේ අප්‍රේල් මස 21 වැනිදා ට යෙදී තිබුණු පාස්කු ඉරිදාවේ එල්ල වූ මරාගෙන මැරුණු ප්‍රහාර මාලාවත්, ඒ වසරේ ම පැවැති ජනාධිපතිවරණයත්, ඉන් පසු ව පැමිණි කොවිඩ්-19 වසංගතයත් තීරණාත්මක සන්ධිස්ථානය ය.

පාස්කු ඉරිදා ප්‍රහාරයටත් ජනාධිපතිවරණයටත් කලින් වසරේ සිදු වූ ව්‍යවස්ථාදායක කුමන්ත්‍රණය තවත් තීරණාත්මක සන්ධිස්ථානයකි.

මේ සියලු කරුණු කාරණා, සිදුවීම් යනාදිය මධ්‍යයේ වුව ද අප මෙතරම් අර්බුදකාරී තත්ත්වයකට පැමිණි බව නම් සිහිපත් කළ නොහැකි ය.

නිදහස ලැබුණු දා පටන් අර්බුදවලින් පිරුණු මේ පුංචි දේශය උච්ඡතම අවස්ථාවකට පැමිණ තිබේ.

සෑම මැතිවරණයකදීම එක පාර්ශවයක් සිය මැතිවරණ ව්‍යාපාරයට රට බේරාගැනීමේ අන්තිම අවස්ථාව මෙය යැයි කියමින් ජනතාව රැව ටූ කාලයක් අපට තිබිණි.

මින් ඉදිරියටත් එසේ නොවනු ඇතැයි කැට තබන්නට අපට බැරි ය.

ශ්‍රී ලංකා රාජ්‍ය ය, රාජ්‍ය ප්‍රතිසංස්කරණ අත්‍යවශ්‍ය රාජ්‍යය කි.

කෙසේ නමුත් පශ්චාත් නිදහස් සමයේ දී අප මුහුණ දී ඇති අර්බුද ගණනාවත් දැන් ඇති වී තිබෙන අර්බුදයත් යන කරුණු සැලකිල්ලට ගැනීමේ දී මොකක් ද අර්බුදය යන ප්‍රශ්නය ද අපට පැන නැගේ.

ඊට හේතුව නම් කොතැනකින්වත් ජනතා ප්‍රතිවිරෝධයක් ගොඩ නොනැගීම ය.

ජනතා ප්‍රතිවිරෝධයක් ගොඩ නැගෙන්නේ නැත්තේ ඇයි ද යන්න ප්‍රශ්නයට පිළිතුරු සෙවී ම තරමක් දුෂ්කර කාලය වැය වන කාරණයකි.

ඊට හේතු වන්නට ඇතැයි කිව හැකි කරුණු කාරණා කිහිපයක් ම තිබේ. ඊට හේතු වන්නට ඇතැයි කිව හැකි සරල එහෙත් වැදගත් නිගමන අතළොස්සක් තිබේ. කොටින්ම දෙකක් තිබේ.

ඉන් පළමු වැන්න නම් එවැන්නක් සඳහා මේ රාජ්‍යයේ පුරවැසියන් තවම මුහුකුරා ගොස් නැතැයි යන්න ය. දෙවැන්න රට බෙදුණු ජාතියක් වීම ය. දේශපාලන අර්ථයෙන් ගන්නේ නම් බරපතළ සහ උග්‍ර ධ්‍රැවීකරණය, සහ බලය කේන්ද්‍ර ගත කිරීමේ සහ මධ්‍යගත කිරීමේ දිසාවකට ගමන් කිරීම යි.

මෙම දේශපාලන අර්ථයෙන් සඳහන් කළ කාරණය මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතාගේ රාජ්‍ය ප්‍රතිසංස්කරණ ; මොනවාද ? කුමකට ද ? කාට ද ? පොත් පිංචේ මැනවින් දක්වා ඇත.

වත්මන් ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් අප කුමක් කළ යුතු ද ? ප්‍රතිවිරෝධයක් නැත්තේ ඇයි ?

දෙවැනි ප්‍රශ්නයට පිළිතුරු සෙවීමේ ආරම්භයක් ඉහතින් ලබා දෙන ලදි.

ඊට තවත් පිළිතුරු සපයන්නේ නම් රටේ ජනතාව, කොටින්ම මිනිස්සු හෙම්බත්ව සිටිති. ඔවුහු පුරුදු වී ඇත්තේ ‘එදා වේල ටුවර්ස්’ ජීවන රටාවකට ය. අනෙක ආත්මාර්ථ ය. අනෙක තමා සහ තම ආදරණීයන් ය. මේ කිසිවක් වැරැදි යැයි කිව නොහැක.

මේ කාලයක් තිස්සේ  මේ රට තුළ නිර්මාණය කරන ලද හැසිරීම් රටා ය.

ඊට වගකිව යුත්තේ ද සියලු දෙනා ය. දේශපාලන පැලැන්තිය, මාධ්‍ය, සිවිල් සමාජය, උගතුන් බුද්ධිමතුන්, යනා දී සියලු දෙනා ඊට වගකිව යුතු ය.

අධ්‍යාපන ක්ෂේත්‍රය ඊට වගකිව යුතු තවත් ප්‍රධානම ක්ෂේත්‍රය කි.

මේවා ඉතා සංකීර්ණ කරුණු ය.

අනෙක් අතට වසර පහකට හයකට සැරයක් පැවැත්වෙන් ජනාධිපතිවරණයේ දී එක් පුද්ගල චරිතයක් වටා දේශපාලනය ගොනු වීම තවත් විශාල අර්බුදයකි.

එක් පුද්ගලයකුට මේ රට නිවැරැදි දිශාවකට ගෙන යා හැකි නම් මේ වනවිට එය සිදු වී බොහෝ කල් ය.

පුද්ගලයන් මත විශ්වාසය තැබීමේ අභාග්‍ය සම්පන්න අත්දැකීම අපි මේ වනවිට අත්විඳිමින් සිටින්නෙමු.

අනෙක් අතට කණ්ඩායම් මත ද විශ්වාසය තැබිය නොහැකි බව අප පැහැදිලිව දන්නා දෙයකි. කණ්ඩායමක් මත විශ්වාසය තැබීම හෝ නොතැබීමටත් වඩා වැදගත් වන්නේ ඊට පාලන බලය හොබවන කණ්ඩායම්වලට පීඩනයක්, එල්ල කළ හැකි විපක්ෂ කණ්ඩායම්, සිවිල් සමාජය හෝ ජන කණ්ඩායම් ගොඩ නොනැගීම ය.

ගොඩ නැගෙන ඒවා ද කෙටිකාලීන ය, නැතිනම් ශක්තිමත් මදි ය, එසේත් නැතිනම් ඒවා අඛණ්ඩ නොවීම ය.

මේ අර්බුදයේදීත් කලින් අර්බුදවලදීත් අප දුටු දෙයක් එක් ප්‍රධාන දෙයක් වේ නම්, ඒ දේශපාලන තන්ත්‍රයේ සිට රටේ පුංචිම තැන දක්වා බෝලය පාස් කිරීමේ උග්‍ර අර්බුදය යි.

කිසිවකුත් වගකීමක් නොගැනීමත්, කිසිවකුත් කෙටිකාලීන, මධ්‍ය කාලීන සහ දීර්ඝ කාලීන අර්බුද ඉදිරිපත් නොකිරීමත් ය. රටේ අර්බුදයක් ඇති වූ සෑම අවස්ථාවකදීම සිදු වූයේ ඒවාට පැලැස්තර විසඳුම් ඉදිරිපත් කිරීමත්, කෙටිකාලීන සහ දේශපාලන වශයෙන් ජනප්‍රිය තීන්දු තීරණ ගැනීමත් ය.

අනෙක් අතට පාලන තන්ත්‍රයේ සිට රටේ පුංචි ම පුරවැසියා දක්වා බොහෝ පිරිසකට අර්බුද හෝ ගැටලු ගැන අවබෝධයක් නොමැති කම ය.

කළ යුත්තේ කුමක් ද නොකළ යුත්තේ කුමක් ද යන්න අවබෝධ කරගැනීමට හෝ වටහා ගැනීමට නොහැකි කම ය.

අනෙක් අතට පාලන තන්ත්‍රයේ සිටින බොහෝ දෙනකුගේ සිට ඊට පහළ දක්වා සිටින බොහෝ දෙනකුගේ තිබෙන හීනමානය, උද්ධච්චකම, අහංකාරත්වය, මමත්වය, යනාදී නරක ගති ගුණ ය.

අද වනවිට අපි මේ සියල්ලම දකිමින් සිටිමු.

ඒ නිසා සියලු දෙනා මේ කරුණු අවබෝධ කරගෙන ප්‍රශ්න, ගැටලු සහ අර්බුද හඳුනාගෙන කටයුතු කරන්නේ නම් මේ ප්‍රශ්න විසඳා ගත හැකි ය.

තනි තනි පුද්ගලයන්ට රටක් වෙනස් කළ නොහැකි ය. ඊට දේශපාලන නායකත්වයේ සිට පහළ දක්වාත් පොදු එකඟත්වයක් පොදු අරමුණක් සහ කැපවීමක් අවශ්‍ය කෙරේ. ඊට සාමූහික ප්‍රයන්ත අවශ්‍ය කෙරේ.

මේ මොහොතේ තනි තනිව ගමනක් නොමැති බව පැහැදිලි ය.

 

 

ඡායාරූපය රොයිටර්ස් - Reuters - 

Amila Uduwerell, an IT officer who is home-based uses a car battery to charge his laptops as he works during the seven hours power outage, in Colombo, Sri Lanka, March 2, 2022. REUTERS/Dinuka Liyanawatte

‘මිඩ්ල් ක්ලාස්’ ක්‍රියිසිස් සහ ‘ඩිකෝඩිං’

අපි ජන සමාජයක් විදියට උග්‍ර අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. දරුවෙක්ගේ සාර්ථකත්වය මනින්නේ, යාන වාහනවලින්, උපාධිවලින්, හම්බවෙන පඩියෙන්, කරන රස්සා...

Blog Archive