Showing posts with label ක්‍රිකට්. Show all posts
Showing posts with label ක්‍රිකට්. Show all posts

Wednesday, October 27, 2021

විරාත් කෝලිගේ මිත්‍රත්ව‌යේ හස්තය


 ඡායාරූපය - අන්තර්ජාලයෙන් 


ඉන්දු-පාකිස්තාන ක්‍රිකට් තරගයෙන් පසුව ඉන්දීය ක්‍රීඩකයන්ගේ සුහදශීලීත්වය සම්බන්ධයෙන් බොහෝ දෙනා ඉකුත් දිනවල අදහස් දක්වා තිබිණි.

ඒවායින් බොහෝමයක් ඉන්දියාවේ ‘ලොකු අයියා’ දේශපාලන චරිතය අදාළ කරගනිමින් එසේත් නැතිනම් එම බොහෝමයක් ලිවීම්වල දේශපාලන ප්‍රවේශයක් තිබිණි.

ඇත්ත ය.

අප උපන් දා සිට සෑම සංසිද්ධියකට ම දේශපාලනය සම්බන්ධ ය.

අනෙක් අතට භූ දේශපාලනය තුළ ඉන්දියාව සෑම විටම ලොකු අයියාගේ භූමිකාව රඟදක්වනට බව ද අමුතුවෙන් සඳහන් කළ යුතු නැත.

ඉන්දියාව පාකිස්තානය හමුවේ පරාජයට පත්වීමෙන් පසු අමුතු සුහදශීලීත්වයක් පෑවේ යැයි ද එය කළේ පරාජයේ විලි වසා ගැනීමට යැයි ද ඇතැම් හු කීහ.

කෝලි මොහොමඩ් රිස්වාන් බදා ගැනීම ද, ඔය අතරේ කතා බහට ලක්විය.

අනෙක් අතට තරගයෙන් පසු පැවැති විරාත් කෝලි මහත්මයකු මෙන් පිළිතුරු දුන්නේ යැයි ද මාලිංග සිටියා නම් මාධ්‍යවේදියා හොඳවයින් අසාගන්නා යැයි ද ලියා තිබිණි.

ඇත්ත ය, මාලිංග සිටියා නම්, ඔයා ඇවිල්ල ගහන්න යැයි කියන්නට ඉඩ තිබිණි. ඇතැම් විට ඊටත් වඩා දෙයක්, කොටින්ම ලුණු ඇඹුල් ඇතිව කියන්නට ඉඩ තිබිණි.

මාලිංග ගේ මීට පෙර ප්‍රසිද්ධ සිදුවීම්වලදී ද ක්‍රිකට් ගැන ලියන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් ඒ පිළිබඳ ඒ හැටි තැකීමක් කර තිබිණි.

වේග පන්දු යැවීමේ සර්වකාලීන විශිෂ්ටයන් වන වසීම් අක්‍රම් වැන්නන්ගේ උදාහරණ ගනිමින් අදාළ සිදුවීම සම්බන්ධයෙන් ලියා තිබිණි.

වේග පන්දු යවන්නන්ගේ හැටි එහෙම ය.

ඒ අතරේ ළහිරු කුමාරගේ සිදුවීම ය.

එයත් ඒ හැටි දෙයක් නොවේ.

එහි සිදු නොවිය යුතු යමක් තිබුණා නම් තිබුණේ ළහිරු කුමාර අතපය විසි කිරීමත් ලින්ටන් ඩාස් පිත්ත දිගු කිරීමත් ය.

අනෙක් සංග්‍රාම ක්‍රිකට් පිටියේ අලුත් දේ නොවේ.

ක්‍රිකට් පිටියේ වේග පන්දු යවන්නන් පිතිකරුවන් අතරේ ඔයිට වඩා සංග්‍රාම සිදු ව තිබේ.

ඇතැම් අවස්ථාවවල ඒවායේ ප්‍රතිපාර්ශව පිටියෙන් එපිට හොඳ මිත්‍රයන් ය. (ඔක්කොම යාළුවෝ මල්ලි).

වේග පන්දු යවන්නන්ට වේගය මෙන්ම ආවේගය ද තිබිය යුතු ය. එමෙන්ම ඔවුන් ඒවායේ සීමා මායිම් දැනගත යුතු ය. ආවේගය නැති වේග පන්දු යවන්නෝ ද වූහ. කුලේ.

ආයේත් ඉන්දියාවේ සුහදශීලීත්වය සහ විරාත් කෝලි ය.

ඉන්දු පාකිස්තාන ක්‍රිකට් තරග ක්‍රිකට්ම පමණක් නොවේ. ඇත්ත.

එය ඉන්දියාවට පාකිස්තානයට පමණක් නොව අපටත් එංගලන්තයටත් ඔස්ට්‍රේලියාවටත් නවසීලන්තයටත් අනෙක් රටවලටත් එසේ ය.

කෙසේ නමුත් ඒ ඒ රටේ ප්‍රේක්ෂක ජනතාව ක්‍රීඩාව විඳින ආකාරය ජය පරාජය දරාගන්න ආකාරය වෙනස් ය.

මහේල ජයවර්ධනට අනුව නම් හොඳම ප්‍රේක්ෂක ප්‍රජාව අපි ය. ඇත්ත ය.

ඉන්දු-පාකිස්තාන අභ්‍යන්තර දේශපාලනය මෙන්ම අප වගේ රටවල දේශපාලනය හෝ දේශපාලනඥයන්ගේ පැවැත්ම තිබෙන්නේ බෙදීම, එකිනෙකා අතර පවතින බෙදීම, පොදු සතුරන් මත ය.

මෙය හොඳින් දන්නා ඉන්දු පාකිස්තාන මාධ්‍ය ක්‍රිකට් තරගවලටත් මෙය රැගෙන එයි. දේශපාලනඥයන් ද එය භාවිත කරයි.

ඔය කෙසේ වෙතත් ඉන්දු පාකිස්තාන තරගවලින් පසු දෙරටේ ක්‍රීඩකයන් සුහදශීලීව කටයුතු කරන ආකාරයට වුවමනාටවත් වැඩියෙන් උදාහරණ තිබේ.

ඒ නිසා ඉන්දීය ලොකු අයියාගේ දේශපාලන භූමිකාවක් හෝ පරාජයේ විලී වසා ගැනීමක් යැයි මම පෞද්ගලිකවම විශ්වාස නොකරමි.

දේශපාලන රැඟුම් තිබේ. ඉන්දියාවේ ලොකු අයියා, ඊට දෙපැත්තෙන් ඉන්න ලොකු අයියලා ගැනත් වෙනම කතා කළ යුතු ය. කතා කළ හැකිය .

ඉන්දු පාකිස්තාන ක්‍රීඩකයන්ගේ සුහදශීලීත්වය රසා කතා රස සිදුවීම් අන්තර්ජාලයෙන් ඕනෑ තරම් සොයාගන්නට පිළිවන.

ඉන්දියාව මීට දශක එකහාමාරකට පෙර පාකිස්තානයට ගිය අවස්ථාවේ රස සිදුවීම් ද බොහෝ ය.

විරාත් කෝලි ප්‍රසිද්ධ ක්‍රිකට් පිටියේ ආවේගශීලී ක්‍රීඩකයකු ලෙස ය. එහෙත් පිටියෙන් එපිට ඔහු සංගක්කාර පන්නයේ චරිතය කි. සංගක්කාරට සමාන කිරීමක් නොවේ.

අනෙක් අතට ඕනෑම පුද්ගලයකුගේ සුදු කළු හොඳ නරක පැති තිබේ.

මහේල මගේ ප්‍රියතම ක්‍රිකට් ක්‍රීඩකයා ය. මහේල නිසා ක්‍රීඩකයන් ගෙදර ගියේ යැයි කොතරම් චෝදනා තිබුණා ද ? (සත්‍ය අසත්‍ය දන්නේ ඔවුනොවුන්ම පමණි).

විරාත් කෝලිගේ මහත්ම ගුණ මට ක්‍රිකට් මාධ්‍ය හමුවක පෞද්ගලික අත්දැකීමක් ද තිබේ.

මනුෂ්‍ය ස්වභාව සිදුවීමෙන් සිදුවීමට වෙනස් වන්නට ඇති ඉඩ මහා විශාල ය.

කෙසේ නමුත් ක්‍රීඩාව විඳීම ඒ සියල්ලට වඩා වැදගත් ය. අනෙක් අතට ලේබල් ගැසීම නොකිරීම ඊටත් වඩා වැදගත් ය.

ක්‍රීඩකයන් බොහෝ අවස්ථාවලදී තරගය අතරතුරදී එකිනෙකා පරයා යන්නට උත්සාහ කළ ද තරගයෙන් පසු ඔවුන්ගෙන් බොහෝ දෙනා ඉතා සුහදශීලී ය.

විරාත් කෝලි මීට අවුරුදු පහකට කලියෙන් මොහොමඩ් අමීර් ට පිත්තක් තෑගි දුන්නේ ය.

 

 


Monday, July 29, 2019

කුලේ

හැමෝටම තමන්ගේ ජීවිතේ හම්බවුණු මිනිස්සු ගැන මතක සටහන් තියෙනවා. මං මේක ලියන්නේ මාධ්‍යවේදියකු විදියට නෙමෙයි, බණ්ඩාරනයකේට ඉස්කෝලේ ගිය කොල්ලෙක් විදියට. තමන්ට හම්බවුණු සුන්දර මිනිස්සු, ලෝප්‍රකට මිනිස්සු, ජනප්‍රිය මිනිස්සු, සුප්‍රසිද්ධ මිනිස්සු, ළමා කාලේ වීරයෝ මෙම් විදියේ මිනිස්සු ඉන්නවා. මේ මිනිස්සු හම්බවුණාම ඒ මිනිස්සු එක්ක ගත්තු පින්තූර, පොතක තියන අත්සන ඔය විදියේ මතක තියෙනවා. කුලේ අයියා ගැනත් ඔය විදියේ මතක තියෙනවා. කුලේ අයියා සාමාන්‍යයෙන් ඉස්කෝලේ උත්සවවලට එනවා යනවා. ඩයනා මිස් කියන කතා වුණත් කොමස් එකේ අපේ උන් දන්නවා. 

කොහොමහරි එක අවුරුද්දක 2012ට කලියෙන් මං වැරැදි නැත්නං...ඉස්කෝලේ ක්‍රිකට් ටීම් එකයි පරණ ක්‍රිකට් ගහපු අයයි මැච් එකක් දාගත්තා. ඉඳලා හිටලා ක්‍රිකටට් ගැහුවට එදා නං මං ගියේ ෆොටෝ ගන්න. ඇම්මට. කුලේ අයියා උඩහට ගිහින් එන්නං කියලා ගියා. ගියේ කාර් එක ළඟට. මොකද කාර් පාක් කරන්නේ ග්‍රවුන්ඩ් එකට ටිකක් ඈතින්. සිලෝන් ටීම් එකේ කැප් දාගෙන හිටපු මිනිහා ගිහිං ඉස්කෝලේ කැප් එකක් දාගෙන ආවා. කුලේ කියන්නේ එච්චරටම නිහතමානී මිනිහෙක්.. මාලිංග චම්පක රාමනායක ගැන කිව්වා වගේම, කණිෂ්ක සර්ට තමන්ගේ වෙඩිමට එන්න ඇඳුම් ටික පවා අරන් දීපු කෙනෙක් තමා කුලේ..





ඡායාරූපය ගෙටී ඉමේජස් 

https://www.gettyimages.com/detail/news-photo/nuwan-kulasekara-of-sri-lanka-celebrates-after-claiming-the-news-photo/492870631?adppopup=true

උඩින් තියෙන්නේ ක්‍රිකට්. අනිත් ඔක්කොම ඊට යටින්..

නුවන් කුලසේකරට හරිහැටි සමුගැනීමක් නොදීම ගැන කතාවක් ඇදිලා ආපු එකට මං හරි කැමැතියි. මොකද හරි සමුගැනීමක් නොලැබුණු එකම ක්‍රිකට් ක්‍රීඩකයා නුවන් කුලසේකර නෙමෙයි. එහෙම අය බොහෝමයක් ඉන්නවා. මොනවා වුණත් ක්‍රිකට් ක්‍රීඩකයෝ ගැන මෙහෙම හරි කතාවෙනවා. එහෙත් ලංකාවේ අනෙක් ක්‍රීඩාවලට තියෙන තැන ඒවායේ ක්‍රීඩකයෝ ඉන්නවද නැද්ද කියන්නවත් ලංකාවේ මිනිස්සු හරියට දන්නේ නැහැ. ඒ අය ගැන වුණත් කතාබහක් ඇති වෙන එක හොඳයි. පහුගිය ටිකේ තර්ජනී ගැන කතාවක් ආවා. බේස්බෝල් ටීම් වෙස්ට් ඒෂියා ටුවරනමන්ට් එක දිනුවා.. ඒත් තවමත් උඩින් තියෙන්නේ ක්‍රිකට්. අනිත් ඔක්කොම ඊට යටින්..




ඡායාරූපය නුවන් සේනාරත්න 
https://twitter.com/NuwanSe/status/1154578163696930817/photo/1

Saturday, July 27, 2019

හරසර නොමැතිව සමුගත්තෝ වෙනුවෙනි

ක්‍රිකට් ක්‍රීඩාවේ වගේම ඕනෑම ක්‍රීඩාවක යම්කිසි ක්‍රිකට් ක්‍රීඩකයකු සාර්ථක වෙනවා නම් ඒ පිටුපස තවත් සගයකු, කණ්ඩායමක් ඇතුළු බොහෝ දෙනා ඉන්නවා. ලසිත් මාලිංගට වුණත් සොබාදහමේ ඒ යථාර්ථයෙන් පිට පනින්න බැහැ. ලසිත් මාලිංග නිර්ලෝභීව ඒ සත්‍යය තේරුම් ගත්තා වගේම අමතක නොකර ඔහු පිටුපස සිටි සියලු දෙනා මතක් කළා. ඒ සඳහා ඔහුට කිසිදු පැකිළීමක් තිබුණේ නැහැ. මට මතකයි මම බොහෝ අවස්ථාවලදී කියෙව්වා. ක්‍රිකට් ගැන කියවීමේ නොනිත් ලාලසාව නිසාම තෙන්ඩුල්කාර් ගැන කියෙව්වා. අච්රේකාර් සර් නොවෙන්න, ගවස්කාර් නොවෙන්න, විනෝද් කම්බිලි සහ රාහුල් ඩ්‍රාවිඩ් නොවෙන්න තෙන්ඩුල්කාර් කෙනෙක් නොවෙන්න තිබුණා කියලා ඒ බොහෝ තැන්වල තිබුණා. 

මුරලිට වාස් ද, මාලිංග ට කුලේ ද, මහේලට සංගක්කාරත්, සංගාට මහේලත් වූහ. මේවා ක්‍රිකට් පිටියේ අපූර්ව සුසංයෝගය. ජස්ටින් ලැන්ගර් - මැතිව් හේඩ්න් තවත් සුසංයෝගයක්ය. තෙන්ඩුල්කාර්ට ලැබුණු හරසර ඩ්‍රාව්ඩ්ට ලැබෙන්නේ නැත. මුරලිට, මහේල්ට, සංගාට ලැබුණු හරසර මාවන්ට, සනත්ට, කළුට, වාස්ට ලැබෙන්නේ නැත. මාලිට ලැබුණු හරසර කුලේට ලැබෙන්නේ නැත. ඒක තමා හැටි. නිහඬව සිනාසී ආයෙත් ක්‍රිකට් නැරැඹිය යුතුය. මාලි කුලේ වෙනුවෙන් ද කුලේ මාලි වෙනුවෙන් ද සිටියහ. අපට අවසානයේ වටින්නේ එයය. ප්‍රේක්ෂකයෝ ඔවුන් දෙදෙනා වෙනුවෙන්ම වූහ. පිළිගැනීම් හරසර ඇතිව සමුගත්තෝ බොහෝය. එසේ හරසර නැතිව සමුගත්තෝ ද බොහෝය. දෙගොල්ලෝම ක්‍රිකට් ලෝලී අපට නම් වීරයෝය. මේ හරසර නොමැතිව සමුගත්තෝ වෙනුවෙනි. ♥        






ඡායාරූපය ගෙටි ඉමේජස් 

https://www.gettyimages.ae/detail/news-photo/lasith-malinga-and-nuwan-kulasekara-of-sri-lanka-celebrate-news-photo/483086831?adppopup=true

Tuesday, July 16, 2019




ක්‍රිකට් ක්‍රීඩාවේ ත්‍රිල් එක තිබෙන්නේ දැඩි පීඩනයක මනුෂ්‍යයන් ඊට ප්‍රතිචාර දැක්වීමය තුළය. . මනුෂ්‍ය වැරැදි අත්පසු වීම් සිදුවීම් ස්වභාවිකය. ක්‍රීඩාවක දියුණුව තිබෙන්නේ වැරැදි අඩුපාඩු වීමට ඇති ඉඩ අවම කරමින් තාක්ෂණය භාවිත කරමින් අලුත් වෙමින් ඉදිරියට යෑම තුළය. තාක්ෂණය භාවිතය නිසි පරිදි විය යුත්තකි. ඩී.ආර්.එස් තාක්ෂණය එසේත් නැතිනම් විනිසුරු තීරණ නැවත විමසීමේ ක්‍රමවේදයට බොහෝ දෙනා විරුද්ධ වූයේ ද එම නිසාය. (ඉන්දියාව විරුද්ධ වීම හැර) අඩුපාඩු , මනුෂ්‍ය වැරැදි මධ්‍යයේ ලොව එතෙක් මෙතෙක් පැවැති විශිෂ්ටතම එක්දින තරගය එසේ අවසන් විය. එතෙක් මෙතෙක් පැවැති හොඳම ලෝක කුසලාන අවසන් මහ තරගය එයයි. අවසානයේදී කුසලානය එංගලන්තයට හිමිවිය. එය ඔවුන්ටම හිමිවිය යුතුව තිබුණකි. මෙවැනි තරගයක සම ශූරයන් නම් කිරීම කළ යුතුව තිබුණා යැයි දැන් බොහෝ දෙනා කියති. එහිද වරදක් නැත. දැන් සිදුව අවසන්. ඉදිරි වසර හතරට ලෝක ශූරයන් එංගලන්තයයි.

ඡායාරූපය ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවියෙනි 

Wednesday, January 30, 2019

ක්‍රිකට්

ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ලසිත් මාලිංග හා ඇන්ජෙලෝ මැතිව්ස් හමු වූ බව කියමින් ඡායාරූප දෙකක් පළ කර තිබිණි. ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් තත්ත්වය ගැන සාකච්ඡා කළ බව ද කියා තිබිණි. ඒ අතරවාරයේදී තිසර පෙරේරා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියාට ලිපියක් ද ලියා ඇත.
තිසර පෙරේරා නොකියා කියන්නේ ලසිත් මාලිංග සමඟ කරන්නට බැරි බවය. ක්‍රීඩා අමාත්‍යවරයා යමක් කළ හැකි දේශපාලනඥයකු ලෙස නමක් දිනාගත්තෙකි. මේ ඔහුට චරිත සහතිකයක් නොවන අතර ලංකාවේ දේශපාලනඥයන් සම්බන්ධයෙන් අපට චරිත සහතිකදෙන්නට බැරි බව ද නොරහසකි. එහෙත් පසුගිය වසර කිහිපයේ දේශපාලන ක්ෂේත්‍රය දෙස බැලීමේදී හරීන් ප්‍රනාන්දු යනු ප්‍රගතියක් පෙන්නුම් කළ අයෙකි. එහෙත් හැමෝගේම කිල්ලෝටවල හුණු තිබෙන බව අමතක නොකළ යුතුයි.
හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා ඡායාරූප දෙකක් පළ කර තිබේ. ඔහු ලසිත් මාලිංග හා මැතිව්ස් හමු වූයේ එකම වේලාවේද යන්න නොදනී. කෙසේ නමුත් වැඬේ වැරැදිය. අප කවුරුවත් දන්නා පරිදි පසුගිය වසර දෙක තුනක කාලයේදී අපට හරි කණ්ඩායමක් නොතිබිණි. දක්ෂ ක්‍රීඩකයන් රැසක් සිටියත් අපට කණ්ඩායමක් නැත. කණ්ඩායම් හැගීමෙන් ක්‍රීඩා කරන 11ක් නැත. එය පිටියේදීත් පිටියෙන් පිටතදීත් බොහෝ අවස්ථාවලදීත් දැකගන්නට මෙන්ම දැනගන්නට ද ලැබිණි.
මීට දින කිහිපයකට කලින් රාජකාරි කටයුත්තකට ගිය අවස්ථාවකදී එහි සේවකයන් සමඟ කතාකරන්නට ලැබිණි. ශ්‍රී ලංකා කණ්ඩායම සංචාරයක් සඳහා ගිය විට ක්‍රීඩකයන් සංචාරය නිම වී පැමිණෙන්නේ වෙන වෙන යැයි එහි සේවකයෝ අපි සමඟ කීහ.
“ඉස්සර නං එහෙම නෑ. ටීම් එක එකට ගියාම එන්නේ එකට. ඒකට දැන්. කට්ටිය එකට ගියාට එන්නේ වෙන වෙනම. ඔහොම කොහොමද මැච් දිනන්නේ. ඉස්සර නං හරි ලස්සනයි. කට්ටිය මැච් දින්නත් පැරැදුණත් ගියේ එකට. ආවේ එකට. හරි ලස්සනයි. එළියේදී ඔහොම නං ග්‍රවුන්ඞ් එකෙත් ඔහොම ඇති” ඔවුහු කීහ. ඔවුන්ගේ කතාවල වරදක් නැත.
අපට දක්ෂයන් සිටියත් බොහෝ අවස්ථාවලදී කණ්ඩායමක් ලෙස ක්‍රීඩා නොකිරීම තරග පරාජයට ප්‍රධාන හේත-ුවක් විය. එවැනි අවස්ථාවකදී ක්‍රීඩා අමාත්‍යවරයා වෙන වෙනම කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් දෙදෙනකු හමු වීම නොකළ යුතුව තිබුණකි. ක්‍රිකට් කණ්ඩායමේ සියලු දෙනා හමු වී එකට කතා කළා නං මීට වඩා හොඳය.


අමතර කතාවකි. සනත් අර පොඩි සෙට් එකට ඇඞ්වයිස් කරන එක මරු. අන්න කෝච්ලා. නැලවිලි නෑ.




ඡායාරූප අමාත්‍ය හරීන් ප්‍රනාන්දුගේ ට්විටර් ගිණුමෙන්

Saturday, March 31, 2018

කළුපැල්ලම

ඕස්ටේ්‍රලියානු කණ්ඩායමේ හිටපු නායක ස්ටීවන් ස්මිත්, උපනායක ඬේවිඞ් වෝනර් සහ කැමරන් බැන්ක්‍රොෆ්ට් සම්බන්ධයෙන් කතාබහ තවමත් නිම වී නැත. ඒ ගැන තිබූ අවධානය ද තවමත් අඩු වී නැත. ඔවුන් තම වරද පිළිගත්තා පමණක් නොව කඳුළු සලමින් පසුතැවෙන අයුරුද දක්නට ලැබිණි. ඒ අතරවාරයේම ඕස්ටේ්‍රලියානු කණ්ඩායමේ හිටපු ක්‍රීඩක ඩැරන් ලීමන් තමන් පුහුණුකාර තනතුරෙන් ඉවත් වන බව ද ප්‍රකාශ කර තිබේ. 

මෙම සිදුවීම පන්දුව පළුදු කිරීමේ පළමුවන සිදුවීම නොවන බව කිව යුතුය. එසේ චෝදනා එල්ල වූ සහ දඬුවම් ලැබූ ක්‍රීඩකයන් අතර සුපිරි ක්‍රීඩකයන් ද වේ. මයිකල් ඇතටන්, වකාර් යුනිස්, සචින් තෙන්ඩුල්කාර්, රාහුල් ඩ්‍රාවිඞ්, ෂහීඞ් අෆ්රිඩි සහ දකුණු අප්‍රිකා කණ්ඩායමේ වත්මන් නායක ෆෆ් ඩුප්ලෙසිස් යන ක්‍රීඩකයෝද ඒ අතර වෙති. පන්දුව පළුදු කිරීමට දඬුවම් ලැබූ අනාවරණය සිදුවීම් ඇත්තේ 20කටත් අඩු සංඛ්‍යාවකි.
ස්ටීවන් ස්මිත් යනු ක්‍රීඩකයකු වශයෙන් පිතිකරුවකු වශයෙන් මෑත කාලයේදී සුවිශේෂී දක්ෂතා පෙන්වූ ක්‍රීඩකයෙකි. පසුගිය වසරේදී, වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය දිනාගත් ඔහු වර්තමානයේ අංක එකේ ටෙස්ට් පිතිකරුය. ඬේවිඞ් වෝනර් ද ඊට නොදෙවැනිය. ඔවුන්ගේ වැරැදි තේරීම, ඔවුන්ට දඬුවම් ලබා දී තිබේ. ඔවුන් කර ඇත්තේ වරදක් බවට විවාදයක් නැත. වඩාත් වැදගත් වන්නේ ඔවුන් එම වැරැද පිළිගැනීමත් දඬුවම්වලට නියම වීමත්ය. කොතරම් දඬුවම් ලැබුවත් ඔවුන්ගේ ස්වයං පශ්චාත්තාපය සහ කනගාටුව අන් සියල්ලටම වඩා දරුණුය. මිනිමීරුමක් කර නීතියෙන් දඬුවම් නොලැබුවද තමන් කළ වරද තමන්ගේ සිතට දෙන වදය, විඩාව අන් සියල්ලටම වඩා දරුණුය. තමන් විසින්ම තමන් කළ වැරැදි පිළිබඳ පසුතැවීමට වදවීම නීතියෙන් දෙන දඬුවම්වලට වඩා ප්‍රබලය.

කෙසේ වෙතත් අවසානයේදී ස්ටීවන් ස්මිත්, වෝනර් සහ කැමරන් බැන්ක්‍රොෆ්ට් දඬුවම්වලට යටත්ව සිටිති. ඔවුන් වරදක් කළ බවත් ඒවාට දඬුවම් නියම විය යුතු බවත් ගැන විවාදයක් නැත. එමෙන්ම ඔවුන්ට දඬුවම් නියම වී තිබේ. අනෙක් අතට ඔවුන් තිදෙනාම නැවත ක්‍රිකට් ක්‍රීඩා කළ යුතුය යන්න මගේ විශ්වාසයයි.
අපි කිසිවකුත් පාරිශුද්ධ නොවෙමු. අපි සියලු දෙනාම නිවැරැදිකරුවෝ නොවෙමු. අප සියලු දෙනා අතින් වැරැදි සිදුවෙයි. දැන හෝ නොදැන හෝ කුමන තත්ත්වයක් යටතේ සිදුවන වැරැදිවලට අපි වැරැදිකරුවෝ වෙමු. ඒවාට නීතියෙන් දඬුවම් ලැබිය යුතුය. ඒ ගැන අමුතුවෙන් කියන්නට නැත. එහෙත් අනෙක් අතට අපි සමාව අයදිමු. ඒ නිසා ස්ටීවන් ස්මිත්, වෝනර් සහ කැමරන් බැන්ක්‍රොෆ්ට් සමාව ලැබිය යුතුය යන්න විශ්වාසයයි. ඔවුන් නැවතත් ක්‍රිකට් ක්‍රීඩා කළ යුතුය.

ඕස්ටේ්‍රලියාවට තම ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනාට මෙතරම් දඬුවම් දෙන්නේ ඇයි ? ඊට ප්‍රධානතම හේතුව ඕස්ටේ්‍රලියාව යනු ක්‍රීඩා රැසකින් ඉදිරියට පැමිණි රටක් වීමය. අනෙක් අතට ඕස්ටේ්‍රලියාවට ක්‍රිකට් ලෝකයෙන් එල්ල වන දැඩි පීඩනයයි. ඕස්ටේ්‍රලියාව ක්‍රිකට් ක්‍රීඩා කරන අන් රටවල් සියල්ලේම පොදු සතුරාය. මේ සම්බන්ධයෙන් අපූරු අදහස් වී.වී.එන් ලක්ෂ්මන් එන්.ඩී.ටී.වී රූපවාහිනිය සමඟ එක්වෙමින් පවසයි. ඉන්දියාව අනෙක් පොදු සතුරාය. ඕස්ටේ්‍රලියානු ප්‍රේක්ෂකයන්, ඕස්ටේ්‍රලියානු මාධ්‍යය සහ පරිපාලනය අනෙක් රටවල් ඕස්ටේ්‍රලියාවේ සංචාරය කරන විට සංචාරක කණ්ඩායම්වලට කරන සත්කාරය ගැන අපට උදාහරණ අවශ්‍ය හෝ අමුතුවෙන් ලියන්නට හෝ අවශ්‍ය නැත. මුරලිගේ නම කියූ සැණින් එය මතකයට නැගේ. තම ක්‍රීඩකයන් පන්දුව පළුදු කළ බවට චෝදනා එල්ල වීමත් වරද පිළිගැනීමත් සමඟ ඕස්ටේ්‍රලියාවට මෙතරම් පීඩනයක් එල්ල වන්නේ ඒ නිසාය.

අනෙක් අතට ක්‍රිකට් ක්‍රීඩකයන් යනු තරුණ ක්‍රීඩකයන්ගේ කුඩා දරුවන්ගේ ජීවිතවලට දැඩි බලපෑමක් කරන පුද්ගල චරිතය. අප ජීවිතය හැඩ ගස්වා ගැනීමේදී පූර්වාදර්ශ දෙසද අවධානය යොමු කරයි. විශේෂයෙන්ම වෘත්තීය මට්ටමේදී පූර්වාදර්ශ යනු ඉතා වැදගත් සිදුවීම්ය. ඒ නිසා මෙවැනි වැරැදි ඇති නොවීමට නම් පූර්වාදර්ශ සහ එම අවස්ථාවලදී ගත් තීරණ ඉතා වැදගත් වේ. ඕස්ටේ්‍රලියාව මෙතරම් දැඩි තීරණ ගන්නේ ද මෙවැනි වරදක් නැවත සිදුනොවීමට වග බලා ගැනීමටය.

අවසානයේදී මෙම සිදුවීම ඕස්ටේ්‍රලියාවට පමණක් නොව ක්‍රිකට් ලෝකයටම කළු පැල්ලමක් එක් කළේය. ක්‍රිකට් ඉතිහාසයේ අඳුරුතම කාලවකවානුවක් ලෙසින් වාර්තා වනු ඇත. මේවා සිදු නොවිය යුතුව තිබූ දේවල්ය. එහෙත් අවසානයේදී එය එසේ විය. ඉන්දියාවේ හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක වී.වී.එස් ලක්ෂ්මන් මෙසේ කියයි. “ඕනෑම ක්‍රීඩකයෙන් තරග වදින්නේ ජයග්‍රහාණය අපේක්ෂාවෙන්. එහෙම නොවන ක්‍රීඩකයෙක් මට හම්බවෙලා නැහැ. ඕනෑම කෙනෙක් තරගවදින්නේ ජයගන්න. අපි හැමෝම තරගකාරී. අපි බලන්නේ ජයගන්නේ. එහෙත් තිබෙන ප්‍රශ්නය එහි පිරිවැය. එහි මිල. එහි මහන්සිය. තරගයක් ජයගන්න අපි කරන දේවල්වල සීමාව. අවාසනාවකට ඕස්ටේ්‍රලියානු කණ්ඩායම පසුගිය වසරක දෙකක කාලයේදී, ඒ සීමාව ඉක්මවා ගියා” යනුවෙනි.

ක්‍රිකට් යනු මහත්වරුන්ගේ ක්‍රීඩාවකි. අන් බොහෝ ක්‍රීඩාවලට වඩා විනය සහ හික්මීම, ඉවසීම අවශ්‍ය ක්‍රීඩය. කාය ශක්තිය පමණක් නොව නුවණ ද අවශ්‍ය වන ක්‍රීඩාවකි. එයින් අන් ක්‍රීඩා පහත දැමීමක් නොකළ බව ද කිව යුතුය. අවසානයේදී නැවත වරක් වෝනර් සහ ස්මිත් ක්‍රීඩා කරනු දැකීම මගේ බලාපොරොත්තුව සහ විශ්වාසය බවයි. එමෙන්ම ජයග්‍රහාණය උදෙසා අප කරන සැලසුම්වල සීමාව කොතැනද යන්න හොඳින් අවබෝධ කරගෙන එම සැලසුම් ක්‍රියාත්මක කළ යුතු වීමය. ක්‍රිකට් ඉදිරියට යා යුතුය. යාවත්කාලීන විය යුතුය. නීතිරීත යාවත්කාලීන විය යුතුය. ෆෆ් මෙම සිදුවීම සම්බන්ධයෙන් පුවත්පත් සාකච්ඡාවකදී හිඩැස් ගැන කියන්නේ ඒ නිසාය. ක්‍රිකට් පැවැතිය යුතුය. ඉදිරියට යා යුතුය. ස්මිත්, වෝනර් දඩබ්බර ආඩම්බර කල්ලිය පාඩමක් ඉගෙන ගැන ඇත. ඔවුන්ගේ තම තමන්ගේ වැරැදි හදා ගත යුතුය. එපමණක් නොව ඔවුන්ට සමාව සහ අනුකම්පාව හිමිවිය යුතුය. අපට ඕනේ හොඳ ක්‍රිකට්ය. තරගකාරී ක්‍රිකට්ය. අවසාන පන්දුව තෙක් දිවෙන තරගය. එසේ බැරි නම් සුපිරි පන්දුවාරයෙන් අවසන් වන ක්‍රිකට්ය.


ඡායාරූපය http://www.dailymail.co.uk/sport/cricket/article-5560069/Australia-captain-Steve-Smiths-tears-heart-wrenching-fake.html

ලක්ෂ්මන්, රෝහිත් සහ ජොන්ට් සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් https://www.youtube.com/watch?v=z4mm-nPj3Bk&feature=share

ෆෆ්  https://www.youtube.com/watch?v=b1T4W7wPylA&t=5s

වෝන්  https://www.youtube.com/watch?v=sOMEM4rL9Yk

Friday, December 22, 2017

අපට බලාපොරොත්තුවක් දෙන්න

ක්‍රිකට් තරගවල සුන්දරත්වය රැඳී ඇත්තේ තරගකාරීත්වය මතය. බලාපොරොත්තු මතය. ජය පරාජයටත් වඩා වඩාත් වැදගත් වන්නේ තරගකාරීත්වයයි. ප්‍රේක්ෂකයන් වඩාත් ප්‍රිය කරන්නේ අවසන් පන්දුව දක්වා දිගහැරෙන ක්‍රිකට් තරගවලටය. 

ශ්‍රී ලාංකිකයන් වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහාණයට අප ප්‍රිය කරන්නා සේම, ඉන්දීය ප්‍රේක්ෂයන් ද එසේය. ක්‍රිකට් ක්‍රීඩා කරන අනෙක් රටවල ප්‍රේක්ෂකයන් ද එසේය. එසේ වුවත් පරාජයට වුවද පිළිගැනීමට අප සූදානම් වන්නේ එම තරගය බලාපොරොත්තු පොඳි බැඳගත් තරගයක් වුවහොත්ය. තරගකාරීත්වයෙන් පූර්ණ වුවහොත්ය. අවසන් පන්දුව තෙක් නොවුණත් උණුසුම් වුවහොත්ය. සුද්දාගේ බසින් කිවහොත් ‘නේල් බයිටින්’ එහෙමත් නැතිනම් පුටුවේ ආසනයේ කෙළවරට අප ගෙන්වන තරගයක් වුවහොත්ය. 

අද අපට අහිමි වී ඇත්තේ බලාපොරොත්තුය. තරග පරාජය වීම අනුමත කළ හැක්කේ තරගයකදී ප්‍රතිවාදී කණ්ඩායමට කරට කර සටනක් දුන්හොතය්. තරගකාරීත්වයේ උපරිමයට පැමිණියහොත්ය. එහෙත් අද ශ්‍රී ලංකාවේ ක්‍රිකට් උන් කීයක් ගැහුවත් අප ගහන්නේ අපට ඕන ගණන යැයි කියන තැනට පත්ව තිබේ. මේ තරගාවලිය මෙසේ අවසන් වීම එක් අතකින් වාසනාවකි. 

ශ්‍රී ලංකාවේ දී ඉන්දියාව සමඟ පැවැති තරගාවලිය 9ට 0ක් ලෙස පරාජයට පත්ව මේ තරගාවලිය ඊට වෙනස් ප්‍රතිඵලයක් දක්වා ගෙන ඒමට හැකිවීම සම්බන්ධයෙන් සතුටු විය යුතුය. ඉන්දියාවේදී, ඉන්දියාවට වාසි වන අයුරින් සකසන තණතීරුවල, ඉන්දීය ප්‍රේක්ෂකයන්ගේ පීඩනය හමුවේ ටෙස්ට් තරගාවලිය 1ට 0ක් ලෙසත් එක්දින් තරගාවලිය 2ට 1ක් ලෙස අවසන් කරගැනීමට හැකි වීම සතුටුදායකය. 

ගැටලුව ඇත්තේ කොතැනද ? දක්ෂතාව නම් නොවේ. මෑත කාලයේ ක්‍රීඩා කළ සියලුම ක්‍රීඩකයන් පාහේ දක්ෂයෝය. නායකයාගේ ද ? නැත. නායකයා පමණක් ක්‍රීඩා කරන්නේ නම් එසේ කිව හැකිය. අඩුපාඩුව ඇත්තේ වුවමනාවට වඩා විශ්වාසය නොමැතිකම. කැපවීම නොමැතිකමය. වගකීම් විරහිත බවය. ආකල්පවලය. තරගකාරීත්වය නොමැතිකම. සතුටට කරුණ නම් මීට වසර ගණනකට පෙර අපි දුටු උපුල් තරංග නැවතත් දක්නට ලැබීමය. කුසල් ලකුණු අතරට පැමිණීමය. මේ තත්ත්වය දිගින් දිගටම පවතින්නේ නම් හොඳය.

වුවමනාවට වඩා විශ්වාසය තැබීම අඛණ්ඩ පරාජයන්ට ප්‍රධාන හේතුවකි. අනෙක් අතට දක්ෂතා එක දිගට පවත්වා නොගැනීමය. ශ්‍රී ලංකා කණ්ඩායමේ මෙම කඩා වැටීම අද ඊයේ ආරම්භ වූවක් නොවේ. කාලයක් පටන් අළුයට ගිනි මෙන් කාලයක් පැවැති දුර්වලතා එක ගොන්නට පුපුරා යෑමය. මේ පුපුරා යෑම කොතැනකින් නවතින්නේ ද යන්න සැක සහිතය. මෙය හුදෙක් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ හිටපු ක්‍රීඩා අමාත්‍යවරුන්ගේ හා පරිපාලනවල දුර්වලතාය. නොසැලකිල්ලය. වත්මන් පරිපාලනයත් ඊට වගකිව යුතුය. අද ශ්‍රී ලංකා ක්‍රිකට්වලට අත්ව තිබෙන ඉරණමට එක් අයකු පමණක් වග කිව යුතු නොවේ. සියලු දෙනා වගකිව යුතුය.

චන්දික හතුරුසිංහ කණ්ඩායමේ පුහුණුකාරධුරයට පත්ව තිබේ. ඔහු අපට බලාපොරොත්තුව දේවිද ? 

ඡායාරූපය තාරක බස්නායක https://www.facebook.com/photo.php?fbid=1747450721953871&set=a.117085894990370.13746.100000668801507&type=3&theater

 http://www.gettyimages.com/

හර්ෂණ තුෂාර සිල්වා
22.12.17


‘මිඩ්ල් ක්ලාස්’ ක්‍රියිසිස් සහ ‘ඩිකෝඩිං’

අපි ජන සමාජයක් විදියට උග්‍ර අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. දරුවෙක්ගේ සාර්ථකත්වය මනින්නේ, යාන වාහනවලින්, උපාධිවලින්, හම්බවෙන පඩියෙන්, කරන රස්සා...

Blog Archive