Saturday, March 31, 2018

කළුපැල්ලම

ඕස්ටේ්‍රලියානු කණ්ඩායමේ හිටපු නායක ස්ටීවන් ස්මිත්, උපනායක ඬේවිඞ් වෝනර් සහ කැමරන් බැන්ක්‍රොෆ්ට් සම්බන්ධයෙන් කතාබහ තවමත් නිම වී නැත. ඒ ගැන තිබූ අවධානය ද තවමත් අඩු වී නැත. ඔවුන් තම වරද පිළිගත්තා පමණක් නොව කඳුළු සලමින් පසුතැවෙන අයුරුද දක්නට ලැබිණි. ඒ අතරවාරයේම ඕස්ටේ්‍රලියානු කණ්ඩායමේ හිටපු ක්‍රීඩක ඩැරන් ලීමන් තමන් පුහුණුකාර තනතුරෙන් ඉවත් වන බව ද ප්‍රකාශ කර තිබේ. 

මෙම සිදුවීම පන්දුව පළුදු කිරීමේ පළමුවන සිදුවීම නොවන බව කිව යුතුය. එසේ චෝදනා එල්ල වූ සහ දඬුවම් ලැබූ ක්‍රීඩකයන් අතර සුපිරි ක්‍රීඩකයන් ද වේ. මයිකල් ඇතටන්, වකාර් යුනිස්, සචින් තෙන්ඩුල්කාර්, රාහුල් ඩ්‍රාවිඞ්, ෂහීඞ් අෆ්රිඩි සහ දකුණු අප්‍රිකා කණ්ඩායමේ වත්මන් නායක ෆෆ් ඩුප්ලෙසිස් යන ක්‍රීඩකයෝද ඒ අතර වෙති. පන්දුව පළුදු කිරීමට දඬුවම් ලැබූ අනාවරණය සිදුවීම් ඇත්තේ 20කටත් අඩු සංඛ්‍යාවකි.
ස්ටීවන් ස්මිත් යනු ක්‍රීඩකයකු වශයෙන් පිතිකරුවකු වශයෙන් මෑත කාලයේදී සුවිශේෂී දක්ෂතා පෙන්වූ ක්‍රීඩකයෙකි. පසුගිය වසරේදී, වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය දිනාගත් ඔහු වර්තමානයේ අංක එකේ ටෙස්ට් පිතිකරුය. ඬේවිඞ් වෝනර් ද ඊට නොදෙවැනිය. ඔවුන්ගේ වැරැදි තේරීම, ඔවුන්ට දඬුවම් ලබා දී තිබේ. ඔවුන් කර ඇත්තේ වරදක් බවට විවාදයක් නැත. වඩාත් වැදගත් වන්නේ ඔවුන් එම වැරැද පිළිගැනීමත් දඬුවම්වලට නියම වීමත්ය. කොතරම් දඬුවම් ලැබුවත් ඔවුන්ගේ ස්වයං පශ්චාත්තාපය සහ කනගාටුව අන් සියල්ලටම වඩා දරුණුය. මිනිමීරුමක් කර නීතියෙන් දඬුවම් නොලැබුවද තමන් කළ වරද තමන්ගේ සිතට දෙන වදය, විඩාව අන් සියල්ලටම වඩා දරුණුය. තමන් විසින්ම තමන් කළ වැරැදි පිළිබඳ පසුතැවීමට වදවීම නීතියෙන් දෙන දඬුවම්වලට වඩා ප්‍රබලය.

කෙසේ වෙතත් අවසානයේදී ස්ටීවන් ස්මිත්, වෝනර් සහ කැමරන් බැන්ක්‍රොෆ්ට් දඬුවම්වලට යටත්ව සිටිති. ඔවුන් වරදක් කළ බවත් ඒවාට දඬුවම් නියම විය යුතු බවත් ගැන විවාදයක් නැත. එමෙන්ම ඔවුන්ට දඬුවම් නියම වී තිබේ. අනෙක් අතට ඔවුන් තිදෙනාම නැවත ක්‍රිකට් ක්‍රීඩා කළ යුතුය යන්න මගේ විශ්වාසයයි.
අපි කිසිවකුත් පාරිශුද්ධ නොවෙමු. අපි සියලු දෙනාම නිවැරැදිකරුවෝ නොවෙමු. අප සියලු දෙනා අතින් වැරැදි සිදුවෙයි. දැන හෝ නොදැන හෝ කුමන තත්ත්වයක් යටතේ සිදුවන වැරැදිවලට අපි වැරැදිකරුවෝ වෙමු. ඒවාට නීතියෙන් දඬුවම් ලැබිය යුතුය. ඒ ගැන අමුතුවෙන් කියන්නට නැත. එහෙත් අනෙක් අතට අපි සමාව අයදිමු. ඒ නිසා ස්ටීවන් ස්මිත්, වෝනර් සහ කැමරන් බැන්ක්‍රොෆ්ට් සමාව ලැබිය යුතුය යන්න විශ්වාසයයි. ඔවුන් නැවතත් ක්‍රිකට් ක්‍රීඩා කළ යුතුය.

ඕස්ටේ්‍රලියාවට තම ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනාට මෙතරම් දඬුවම් දෙන්නේ ඇයි ? ඊට ප්‍රධානතම හේතුව ඕස්ටේ්‍රලියාව යනු ක්‍රීඩා රැසකින් ඉදිරියට පැමිණි රටක් වීමය. අනෙක් අතට ඕස්ටේ්‍රලියාවට ක්‍රිකට් ලෝකයෙන් එල්ල වන දැඩි පීඩනයයි. ඕස්ටේ්‍රලියාව ක්‍රිකට් ක්‍රීඩා කරන අන් රටවල් සියල්ලේම පොදු සතුරාය. මේ සම්බන්ධයෙන් අපූරු අදහස් වී.වී.එන් ලක්ෂ්මන් එන්.ඩී.ටී.වී රූපවාහිනිය සමඟ එක්වෙමින් පවසයි. ඉන්දියාව අනෙක් පොදු සතුරාය. ඕස්ටේ්‍රලියානු ප්‍රේක්ෂකයන්, ඕස්ටේ්‍රලියානු මාධ්‍යය සහ පරිපාලනය අනෙක් රටවල් ඕස්ටේ්‍රලියාවේ සංචාරය කරන විට සංචාරක කණ්ඩායම්වලට කරන සත්කාරය ගැන අපට උදාහරණ අවශ්‍ය හෝ අමුතුවෙන් ලියන්නට හෝ අවශ්‍ය නැත. මුරලිගේ නම කියූ සැණින් එය මතකයට නැගේ. තම ක්‍රීඩකයන් පන්දුව පළුදු කළ බවට චෝදනා එල්ල වීමත් වරද පිළිගැනීමත් සමඟ ඕස්ටේ්‍රලියාවට මෙතරම් පීඩනයක් එල්ල වන්නේ ඒ නිසාය.

අනෙක් අතට ක්‍රිකට් ක්‍රීඩකයන් යනු තරුණ ක්‍රීඩකයන්ගේ කුඩා දරුවන්ගේ ජීවිතවලට දැඩි බලපෑමක් කරන පුද්ගල චරිතය. අප ජීවිතය හැඩ ගස්වා ගැනීමේදී පූර්වාදර්ශ දෙසද අවධානය යොමු කරයි. විශේෂයෙන්ම වෘත්තීය මට්ටමේදී පූර්වාදර්ශ යනු ඉතා වැදගත් සිදුවීම්ය. ඒ නිසා මෙවැනි වැරැදි ඇති නොවීමට නම් පූර්වාදර්ශ සහ එම අවස්ථාවලදී ගත් තීරණ ඉතා වැදගත් වේ. ඕස්ටේ්‍රලියාව මෙතරම් දැඩි තීරණ ගන්නේ ද මෙවැනි වරදක් නැවත සිදුනොවීමට වග බලා ගැනීමටය.

අවසානයේදී මෙම සිදුවීම ඕස්ටේ්‍රලියාවට පමණක් නොව ක්‍රිකට් ලෝකයටම කළු පැල්ලමක් එක් කළේය. ක්‍රිකට් ඉතිහාසයේ අඳුරුතම කාලවකවානුවක් ලෙසින් වාර්තා වනු ඇත. මේවා සිදු නොවිය යුතුව තිබූ දේවල්ය. එහෙත් අවසානයේදී එය එසේ විය. ඉන්දියාවේ හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක වී.වී.එස් ලක්ෂ්මන් මෙසේ කියයි. “ඕනෑම ක්‍රීඩකයෙන් තරග වදින්නේ ජයග්‍රහාණය අපේක්ෂාවෙන්. එහෙම නොවන ක්‍රීඩකයෙක් මට හම්බවෙලා නැහැ. ඕනෑම කෙනෙක් තරගවදින්නේ ජයගන්න. අපි හැමෝම තරගකාරී. අපි බලන්නේ ජයගන්නේ. එහෙත් තිබෙන ප්‍රශ්නය එහි පිරිවැය. එහි මිල. එහි මහන්සිය. තරගයක් ජයගන්න අපි කරන දේවල්වල සීමාව. අවාසනාවකට ඕස්ටේ්‍රලියානු කණ්ඩායම පසුගිය වසරක දෙකක කාලයේදී, ඒ සීමාව ඉක්මවා ගියා” යනුවෙනි.

ක්‍රිකට් යනු මහත්වරුන්ගේ ක්‍රීඩාවකි. අන් බොහෝ ක්‍රීඩාවලට වඩා විනය සහ හික්මීම, ඉවසීම අවශ්‍ය ක්‍රීඩය. කාය ශක්තිය පමණක් නොව නුවණ ද අවශ්‍ය වන ක්‍රීඩාවකි. එයින් අන් ක්‍රීඩා පහත දැමීමක් නොකළ බව ද කිව යුතුය. අවසානයේදී නැවත වරක් වෝනර් සහ ස්මිත් ක්‍රීඩා කරනු දැකීම මගේ බලාපොරොත්තුව සහ විශ්වාසය බවයි. එමෙන්ම ජයග්‍රහාණය උදෙසා අප කරන සැලසුම්වල සීමාව කොතැනද යන්න හොඳින් අවබෝධ කරගෙන එම සැලසුම් ක්‍රියාත්මක කළ යුතු වීමය. ක්‍රිකට් ඉදිරියට යා යුතුය. යාවත්කාලීන විය යුතුය. නීතිරීත යාවත්කාලීන විය යුතුය. ෆෆ් මෙම සිදුවීම සම්බන්ධයෙන් පුවත්පත් සාකච්ඡාවකදී හිඩැස් ගැන කියන්නේ ඒ නිසාය. ක්‍රිකට් පැවැතිය යුතුය. ඉදිරියට යා යුතුය. ස්මිත්, වෝනර් දඩබ්බර ආඩම්බර කල්ලිය පාඩමක් ඉගෙන ගැන ඇත. ඔවුන්ගේ තම තමන්ගේ වැරැදි හදා ගත යුතුය. එපමණක් නොව ඔවුන්ට සමාව සහ අනුකම්පාව හිමිවිය යුතුය. අපට ඕනේ හොඳ ක්‍රිකට්ය. තරගකාරී ක්‍රිකට්ය. අවසාන පන්දුව තෙක් දිවෙන තරගය. එසේ බැරි නම් සුපිරි පන්දුවාරයෙන් අවසන් වන ක්‍රිකට්ය.


ඡායාරූපය http://www.dailymail.co.uk/sport/cricket/article-5560069/Australia-captain-Steve-Smiths-tears-heart-wrenching-fake.html

ලක්ෂ්මන්, රෝහිත් සහ ජොන්ට් සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් https://www.youtube.com/watch?v=z4mm-nPj3Bk&feature=share

ෆෆ්  https://www.youtube.com/watch?v=b1T4W7wPylA&t=5s

වෝන්  https://www.youtube.com/watch?v=sOMEM4rL9Yk

No comments:

Post a Comment

‘මිඩ්ල් ක්ලාස්’ ක්‍රියිසිස් සහ ‘ඩිකෝඩිං’

අපි ජන සමාජයක් විදියට උග්‍ර අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. දරුවෙක්ගේ සාර්ථකත්වය මනින්නේ, යාන වාහනවලින්, උපාධිවලින්, හම්බවෙන පඩියෙන්, කරන රස්සා...

Blog Archive