රටක් ලෙස අපට තේරීම් දෙකක් තිබේ. එකක් නම් ලේ වගුරුවමින් ඝාතන කරමින්, කඩ සාප්පු කොල්ලකමින්, ජන ජීවිතය අවුල් කරමින්, අහිංසක ජන ජීවිත බිල්ලට ගනිමින් මේ රට විනාශයකට ඇද දැමීමය. අද වනවිට මුස්ලිම් ජනතාව කෙරෙහි ඇති වෙමින්, කැකෑරෙමින් තිබෙන වෛරය පුපුරුවා හරිමින් ජීවිත බිල්ලට ගනිමින් මේ රට මහා විනාශයක් සිදු කිරීමය. එය මුස්ලිම් ජනතාවගෙන් නොනැවතී, දෙමළ, කතෝලික, ඉන් පසුව සිංහල සිංහලයන් කෙළ ගැනීමෙන් අනතුරුව අවසන් වනු ඇත.
දෙවැන්න නම් සාමකාමීව ඉවසීමෙනුත් කටයුතු කරමින් මේ රට සාමය කරා ගෙන යාමය. තිස් වසරක් මුළුල්ලේ පැවැති සිවිල් යුද්ධය අපි 2009 වසරේදී අවසන් කළෙමු. එය එවකට ජනාධිපතිවරයාට, හමුදාපතිවරයාට මෙන්ම ගෞරවය හිමිවිය යුතු සියලු දෙනාටත් රටේ ජනතාවටත් කැප කිරීම් කළ සියලු දෙනාටත් ඒ කීර්තිය සහ ගෞරවය හිමිවිය යුතුය.
සාමයෙන් හා ඉවසීමෙන් කටයුතු කරමින් සියලු දෙනාගේ ආරක්ෂාව ඇති කරමින් සංහිඳියාව ඇති කිරීම දුෂ්කර වෑයමකි. එහෙත් එහි ප්‍රතිඵල සුන්දර බව අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැත. තම තමන්ගේ වැරැදි පිළිගනිමින්, අනවබෝධය දුරු කරමින්, සමාජයේ සියලු දෙනා අතර විශ්වාසය ඇති කරමින් කටයුතු කිරීම ඉතා වැදගත් බව සිහිපත් කළ යුතුය.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය ජාත්‍යන්තර සංවිධානයක, ජාත්‍යන්තර මූල්‍ය ආධාර මත ජාත්‍යන්තරයේ සැලසුම් කර මෙරට ක්‍රියාත්මක කරන ලද්දකි. ඊට සහාය දුන් සියලු දෙනාට එරෙහිව විශේෂයෙන්ම රට තුළ එයට සහාය දුන් සියලු දෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුය. වැරැදිකරුවන්ට දඬුවම් දෙන්නට ගෙනා මෙම ආණ්ඩුව වැරැදිකරුවන්ට දඬුවම් දුන්නා නම් මේ දේවල් මීට වඩා කලින් අඩු විනාශයකින් අවසන් කරගැනීමට ඉඩ තිබිණි. තමන් කළොත් හරි අනෙක් අය කළොත් වැරැදි යන්න තේමාව කරගෙන සිටින මෙරට දේශපාලනය තුළ එවැන්නක් බලාපොරොත්තු වීම කළ නොහැක්කි. සිංහල ද, දෙමළ ද, මුස්ලිම් ද සුදු ද කළු ද යන්න නොබලා වැරැදිවලට දඬුවම් කිරීම මෙරට තුළ සිදු නොවූවකි. ඒවායේ අනිටු විපාක අද අපි අත්විඳිමින් සිටිමු. ජනාධිපති ද , අගමැති ද, හමුදාපති ද, බුද්ධි අංශයේ, මහ බැංකු අධිපති ද යන තරා තිරම් නොබලා වැරැදිකරුවන්ට දඬුවම් කළ යුතුය. එසේ නොකිරීමේ අනිටු විපාක අපි අත්විඳිමින් සිටිමු.
අනෙක් අතට මේ රටේ දෙනාට සත්‍ය තේරුම් කිරීම කළ නොහැක්කකි. බොහෝ දෙනා පිළිගන්නේ තමන් පිළිගන්නට සහ විශ්වාස කරන්නට කැමැති දේ විනා සත්‍ය නොවේ.
මෙතැන ඇත්තේ මුස්ලිම් ප්‍රජාව පිළිබඳ ගැටලුවක් නොව අන්තවාදය පිළිබඳ ප්‍රශ්නයකි. මේ අන්තවාදය පෝෂණය කරන්නේ මෙරට දේශපාලනඥයන් බව අමුතුවෙන් කියන්නට වුවමනා නැත. ඕනෑම ආකාරයක අන්තවාදයකට අපි විරුද්ධ විය යුතු වෙමු. එසේ නොවනතාක් පාස්කු ඉරිදා ප්‍රහාරය මෙන්ම මුස්ලිම් පල්ලිවලට ගල්මුල් ගසමින්, පොඩි මිනිසුන්ගේ කඩවලට ගිනි තබමින්, කටයුතු කිරීම අතර වෙනසක් නොවන්නේය. පාස්කු ඉරිදා එල්ල කළ පිරිස් සහ මුස්ලිම් පල්ලිවලට ගල්මුල් විසි කරමින් ප්‍රචණ්ඩත්වය වපුරන අය අතර වෙනසක් නැත. සියලු දෙනාම යක්ෂයන්ය.
මෙරට දේශපාලනඥයන් හැකි අවස්ථාවකදීම රට ගිනි තැබීය. අදත් සිදුවෙමින් තිබෙන්නේ එයමය. අදත් දේශපාලනඥයන්ගේ පටු වුවමනා එපාකම් වෙනුවෙන් ඇතැම් පිරිස් රට ගිනි තබමින් රට අවුළුවමින් ලේ ඉල්ලති. බොහෝ දෙනා මේ කියවා අවසන් කරන්නටත් පෙර මගේ අම්මා තාත්තා මතක් කරනු ඇත. එහෙත් ඔබ නිවී සැණසිල්ලේ සිතා බලන්න. නැවත මේ රට ලේ විලක් කරනවාද නැතහොත් සියලු ප්‍රජාවන් ජීවත්වන සාමය සහ සංහිඳියාව පවතින රටක් දක්වා ගෙන යනවා ද කියා අප තීරණය කළ යුතුය. එක් අන්තවාදයකින් තවත් අන්තවාදයකට පිළිතුරු දිය නොහැක. එය අප තේරුම් ගත යුතුය. මුස්ලිම් අන්තවාදීන් කඩු අතට ගන්නේ නම් බෝම්බ පුපුරුවන්නේ නම් අප ද කඩු අතට ගනිමින් ඊට ප්‍රතිචාර දක්වන්නට ගියොත් සිදු වන්නේ අන්තවාදී නොවන අහිංසක මුස්ලිම් ප්‍රජාව ද මුස්ලිම් අන්තවාදයේ ගොදුරු බවට පත්වීමය. අනෙක් අතට ලේ වැගිරීමකි. ඒ නිසා ඉවසීමෙන් කටයුතු කරමින් ආරක්ෂක අංශවලට ඔවුන්ගේ රාජකාරිය ඉටු කිරීමට අවස්ථාව දිය යුතුය. එපමණකින් නොනැවතී රටේ සාමාන්‍ය මුස්ලිම් ප්‍රජාව අපෙන් ඈත් නොකරමින් ඔවුන් හා තිබෙන සබඳතා වැඩි කරගනිමින් මුස්ලිම් අන්තවාදයට එරෙහි සටන් ඔවුන් අතරින්ම ඔවුන්ගේ ප්‍රමුඛත්වයෙන්ම දියත් කිරීම සඳහා ඔවුන් පෙළඹවීමය.
හර්ෂණ තුෂාර සිල්වා
2019.05.13
මට හිතෙන දැනෙන දකින දේවල් ලියලා තියන තැන, ඇවිල්ලා බලන්න, එවබලව.............................මෙහි පළවන්නේ මාගේ පෞද්ගලික අදහස්ය
Monday, May 13, 2019
Sunday, May 5, 2019
සුවපත් වෙමු, ඉවසීමෙන් වගකීමෙන් වැඩ කරමු
සමාජ මාධ්‍යය වගකීම් සහගත අයුරින් භාවිත කිරීම අප කාගේත් වගකීමකි. සමාජ මාධ්‍යය ජනතාවට තොරතුරු දැනගැනීමට තිබෙන මාධ්‍යයක් මිස ජනතාව කුපිත කරවන්නක් නොවිය යුතුය. ඒ නිසා එය වාරණයකට ලක් නොවන අයුරින් කටයුතු කිරීම කාගේත් වගකීමක් සහ යුතුකමකි.
අනෙක් අතට සමාජ මාධ්‍යය තහනම් කිරීමෙන් හෝ වාරණය කිරීමෙන් ආණ්ඩු බලාපොරොත්තු වන්නේ කුමක් ද යන්න ගැටලුවකි. වාරණ හා තහනම් මධ්‍යයේ වුවත් රටේ ජනාධිපතිවරයාගේ සිට බොහෝ දේශපාලනඥයන්ගේ ෆේස්බුක් ගිණුම් යනාදිය සක්‍රීයව පවතී.
සමාජ මාධ්‍යය ඔස්සේ අසත්‍ය, ව්‍යාජ පුවත් පැතිර යන්නේ නම් ඊට පිළියම වාරණය හෝ තහනම නොව නියාමනයයි. වෛරී ප්‍රකාශ පැතිර යන්නේ නම් ඒවා ඉවත් කිරීම ආණ්ඩුවක සහ පාලන තන්ත්‍රයේ වගකීමකි. තම වගකීම් ඉටු නොකර වාරණය හෝ තහනම ප්‍රායෝගික නොවේ. තාක්ෂණය දියුණු වී ඇති අද වැනි කාලයක වාරණ හා තහනම් මධ්‍යයේ බොහෝ දෙනා සක්‍රීයව සමාජ මාධ්‍යය භාවිත කරති.
විශේෂයෙන්ම අසත්‍ය හා ව්‍යාජ පුවත් පතුරවන්නන් වෛරී හා අන්තවාදී ප්‍රකාශ කරන්නන් වාරණ හා තහනම් මධ්‍යයේ ඒවා භාවිත කරති. අවාසනාවකට මෙවැනි තහනම් සහ වාරණ මධ්‍යයේ සිදුවන්නේ සාමාන්‍ය හා සාමකාමී ජනතාවට තොරතුරු දැනගැනීමට තිබෙන අවස්ථා සහ අයිතීන් අහිමි වීම යෑම පමණකි.
මේ කාලය අප කවුරුන් ද යන්න පිළිබඳව පරීක්ෂාවට ලක්වන කාලයකි. අප අපගේ වගකීම් හා යුතුකම් ඉටු කරමින් ඉවසීමෙන් හා සාමකාමීව කටයුතු කළ යුතුම කාලයකි. අපි නීතිය අතට නොගත යුතුය. ආරක්ෂාව, නීතිය හා සාමය, ඒ ඒ වගකීම් හා රාජකාරි ඒ පාර්ශවවලට ඉටු කරන්නට ඉඩ දී අපි අපගේ වගකීම් හා යුතුකම් ඉටු කළ යුතුය. මේ රටේ වැගිරුණු ලේ ඕනෑවටත් වැඩිය. ඒ නිසා මේ රට නැවත ලේ විලක් වීමට ඉඩ නොදිය යුත-ුය. ඒ නිසා අප සියලු දෙනා ඉවසීමෙන්, වගකීම් සහගතව, සාමකාමීව සහ කල්පනාවෙන් කටයුතු කළ යුතුය.
ඡායාරූපය හොංකො - ශ්‍රී ලංකා
Subscribe to:
Posts (Atom)
‘මිඩ්ල් ක්ලාස්’ ක්‍රියිසිස් සහ ‘ඩිකෝඩිං’
අපි ජන සමාජයක් විදියට උග්‍ර අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. දරුවෙක්ගේ සාර්ථකත්වය මනින්නේ, යාන වාහනවලින්, උපාධිවලින්, හම්බවෙන පඩියෙන්, කරන රස්සා...
-
කැලැරන්ස් විජේවර්ධන, සිනමා කතාව බලන්නට ඉස්පාසුවක් ලැබුණේ අද ඉරිදා ය. මිතුරන් කිහිපදෙනකු සමඟ කැලැරන්ස් බලන්නට මීට සති දෙකකට කලින් ප්‍රවේශ පත...
-
අපි ජන සමාජයක් විදියට උග්‍ර අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. දරුවෙක්ගේ සාර්ථකත්වය මනින්නේ, යාන වාහනවලින්, උපාධිවලින්, හම්බවෙන පඩියෙන්, කරන රස්සා...
