අද හවස වැඩට එද්දි හැමදාම වගේ මම බස් එකේ ජනේලයෙන් එළිය බලාගෙන
ආවා. වෙච්චි දේවල් ටික පිළිවෙළින්, වෙඩින් එකක්, වෙඩින් එකක්, වෙඩින් එකක්, වෙඩින් එකක්, මළි මිනියක් උස්සන් යනවා, පොඩි හාමුදුරු
නමක් ස්මාර්ට් ෆෝන් එකක් දිහා බලාගෙන ඉන්නවා, පෑලියගොඩ
පහුවෙද්දි තියෙන මුඩුක්කු ගෙවල්වල බබෙක් හම්බවෙන්න ඉන්න අම්මා කෙනෙක් අමාරුවෙන්
ඉඳගෙන ඉන්නවා, තව බබෙක් හම්බවෙන්න වෙන්න ඉන්න අම්මා කෙනෙක් බස් එකෙන් බහින්න, නිල්
කොට කළිසමක් ඇඳගෙන පොත් බෑග් එකක් උස්සගෙන ගෙදර යන පොඩි පිරිමි ළමයෙක්. පළවෙනියට
දැකපු වෙඩින් එකේදී මනාල යුවළ පිටත්වෙනවා. දෙවැනි වෙඩින් එක ගැන අවබෝධයක් නැහැ.
තුන්වැනි එකත් ඉවරයා. හතරවැනි එකේ බීලා වැඩිඋන අය වාහනවලට හේතුවෙලා ඉන්නවා.
ලොරියකට බීම කේස් ටික පටවනවා. අන්තිමට මළගෙදරක්, මිනිය ගෙනියනවා.
ඔය අතරේ මට පිටිපස්සේ හිටපු මහත්තයෙක් කියනවා, යාළුවට ඔක්කොමලා
දඟලන්නේ ඕකට නේද කියලා. ඔව් අපි ඔක්කොම දඟලන්නේ ඕකට. ඊට පස්සේ හාමුදුරු නමක්
ස්මාර්ට් ෆෝන් එක්ක පාවිච්චි කරනවා. ඒක කැපද අකැපද කියන දේ ගැන මම කියන්න යන්නේ
නැහැ. මේ මම කියපු ටික අපි හැමදාම අපි අත් දකිනවා. අම්මා බඩෙන් ලෝකයට එන අපි
අන්තිමට යන්නේ පෙට්ටියෙන්. එහෙම යන්නත් ඒ පෙට්ටිය උස්සන් යන්න අපි බැඳීම් ඇති
කරගෙන ඉන්න ඕන. එහෙම නැත්නම් පොලිසියෙන් අරන් ගිහින් කොහේ හරි දායි. ඉපදීමත්
මරණයත් අතර අපිට තියෙන්න ඕන දේවල් මොනවාද. කෝටි ප‍්‍රකෝටි ගණන් සල්ලි තිබ්බත්, අවසානයේදී ඒකෙන්
සත පහක් අපි අරන් යන්නේ නැහැ. අපේ මරණයකට එන මිනිස්සුන්ගෙන් මනින්න බැහැ, ඒ මනුස්සයත්
අපිත් අතර තියෙන මනුස්ස සබඳතාව. ඒත් සාපේක්ෂව එහෙම එන පිරිසෙන් අපිට හිතන්න
පුළුවන් ඒ මනුස්සයත් අවට සමාජයත් අතර තිබුණ බැඳීම. ජීවිතයත් මරණයත් අතර අපි
ගොඩනැගෙන්නේ පවතින්නේ ආදරයත්, මනුස්ස බැඳීම් කියන දේ අතර. මනුස්ස කම අතර. අනේකාට කරන ගරු
කිරීම මත. අනෙකාගේ හැඟීම් දැනීම් තේරුම ගැනීම මත. මේ ටික අපිට පුළු පුළුවන් විදියට
කරන්න පුළුවන් නම්, මේ ලොකේ පොඞ්ඩක් හරි වෙනස් වේවි. සාපේක්ෂව. දවසට රුපියල් 250ක් පඩි ගන්න
මනුස්සයාට, 2500ක් පඩිගන්න, 25000ක් පඩිගන්න, 250,000ක් පඩිගන්න හෝ
ඊටත් වඩා පඩිගන්න මනුස්සයෝ හැමෝටම තියෙන්නේ එකම ප‍්‍රශ්න ටික. අපි ඒවා විසඳන්න ක‍්‍රමවේදය
හා ඒ සඳහා කෙරෙන මහන්සියේ ප‍්‍රමාණයේ වටිනාකම වැඩියි. සමහර විට 250,000ක් පඩි ගන්න
මනුස්සයා තමන්ගේ දරුවා ඉස්කොලේට දාගන්කොට දවසේ පඩිය 250ක් වුණ මනුස්සයට
තමන්ගේ දරුවාව පාසලට දාගන්න බැරි වෙන්න පුළුවන්. මේක තමා ලෝකේ යථාර්ථය. අපි අම්මා
බත් ටික නොකා විසිකරන වෙලාවල් තියෙනවා. ඒත් ඒ ටික තියා, නිකන් බත් ටිකක්
වත් කන්න බැරි අඩුගානේ තුන් වේලෙන් එක වේලකටවත් බත් නැති, දවස් තුන
හතරකින් කටට රහට නොකාපු මිනිස්සු ඉන්න පුළුවන්. මේක හරිම සාපේක්ෂ සරල සංසිද්ධියක්.
මේක වෙනස් කරන්න බැහැ.. නොකා ඉන්න මිනිස්සු ප‍්‍රමාණය අඩු කරන්න අපිට පුළුවන්, අසතුටෙන් ඉන්න
මිනිස්සු දවසක් හරි සතුටු කරන්න අපිට පුළුවන්. මෙහෙම ලියන දෙයක් කියවලා, කවුරු හරි, තව කෙනෙක්ගේ බඩ
පුරවනවා නම්, මම වගේම මෙහෙම ලියන, නොලියන ගොඩක් අය සතුටුවේවි.
මට හිතෙන දැනෙන දකින දේවල් ලියලා තියන තැන, ඇවිල්ලා බලන්න, එවබලව.............................මෙහි පළවන්නේ මාගේ පෞද්ගලික අදහස්ය
Sunday, May 28, 2017
Friday, May 26, 2017
ගංවතුර ස්විභාවික ව්‍යසනයක් යැයි ද එය ආසියාව හා අප්‍රිකාව වැනි දුප්පත් යැයි කියන රටවලට පමණක් ඇති වන්නක් යැයි ඔබ සිතනවා නම්, ඔබ කරන මුල්ම වැරැද්ද එයයි. ලොව ඇති වන සෑම ගංවතුර තත්ත්වයක්ම ස්වභාවික ඒවා යැයි වර්ග කළ නොහැක. බොහෝ ගංවත--ුර තත්ත්වලට හේතුව නොමනා මිනිස් ක්‍රියාකාරකම්ය. ඇමෙරිකාව, බි්‍රතාන්‍ය ඇතුළු දියුණු යැයි සම්මත රටවලට පවා ගංවතුර ඇතුළු දරුණු ස්වභාවික ව්‍යවසනවලට මුහුණ දීමට සිදු වේ. එසේ ඇතිවන ස්වභාවික ව්‍යවසන හා ගංවතුර තත්ත්ව හේතුවෙන් මිනිස් ජීවිත හා දේපළවලට මෙතකැයි කිව නොහැකි හානි සිදු වන බව නොරහසකි.
ලොව දරුණුතුම ගංවතුර තත්ත්ව ඇති වූ වසරක් ලෙස 1998 වසර හඳුන්වයි. එම වසරේදී උතුරු ඇමෙරිකාව, දකුණු ඇමෙරිකාව, ආසියාව හා යුරෝපයේ බොහෝ රටවලට ගංවතුර තත්ත්ව ඇති වූ අතර එම ගංවතුර තත්ත්වලට හේතුව එල් නීනෝ හා ලා නීනා තත්ත්වය යැයි ද පැවැසිණි. එම සාධක දෙකට අමතරව ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑම ද ස්වභාවික ව්‍යවසන දරුණු වීමට හේතු වී ඇතැයි විද්‍යඥයෝ පෙන්වා දෙති. ගෝලීය උෂණ්තවය ඉහළ යන්නේ අන් කවරක්වත් නිසා නොව මිනිසුන්ගේ අත්තනෝමතික ක්‍රියා හේතුවෙනි.
වන විනාශය හා ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑම ස්වභාවික ව්‍යවසන ඇති වීමට බලපාන ප්‍රධානම මිනිස් ක්‍රියාකාරකම් දෙක ලෙස හඳුනාගෙන ඇත. මිනිසාගේ වගක් නැති ක්‍රියාකාරකම් නිසා පරිසරයට සිදුවන බලපෑම මුළු ලෝකයටම පාරා වළල්ලක් වී ඇති අතර මිනිසාගේ ක්‍රියාකාරකම් නිසා ඇතිවන ව්‍යවසනවලින් හානි සිදුවන්නේ ද මිනිසුන්ටමය. එවැනි අවස්ථාවලදී මිනිස් ජීවිත විශාල ප්‍රමාණයකට ජීවත් වීමේ වරම ද අහිමි වී යන්නේය.
කාලයකට වැස්ස නැතැයි ද කාලයකට අව්ව නැතැයි ද කියන මිනිසුන් ස්වභාවික ව්‍යවසන ඇති වූ විට එය ද සොබාදහමට දොස් තබන අතර තවත් කොටසක් ස්වභාවික ව්‍යවසනවලට හේතුව මිනිස් ක්‍රියාකාරකම් යැයි ද පවසති. මේ සම්බන්ධයෙන් මිනිසුන් අතරමේ වාද විවද පවතියි. සොබාදහමේ අප ජීවිතවල කොටසක් නොවන බවත් අප සොබාදහමේ කොටසක් බවත් අප විසින් තේරුම් ගත යුතුව ඇත.
එක් වරක් චීනයට බලපෑ ගංවතුරින් මිලියන 250කට වැඩි පිරිසකට පීඩා ගෙන දුන් අතර පසුගිය සති දෙක තුනක කාලයේදී මෙරට බලපෑ ගංවතුර තත්ත්වයෙන් ලක්ෂ පහකට ආසන්න ප්‍රමාණයක් පීඩාවට ලක්විය. වර්ෂාව ඇති වීමට පෙර අප රට දැඩි ඌෂ්ණ කාලයක් ගෙවා දැමුවේය. මේ සංසද්ධීන් තුනටම හේතු ව එල් නීනෝ යැයි පැවැසිණි. මෙම කරුණු සොබාදහම සඳහා වන වන සත්ව අරමුදලේ (WWF) වෙබ් අඩවියේ සඳහන්ව ඇත.
මිනිස් ක්‍රියාකාරකම් ගංවතුරට ප්‍රධාන හේතුව යැයි ද මිනිසුන් විසින් කරන ගස් කැපීම් වන විනාශයන් ගංවතුරට හේතු යැයි ද නැවත නැවත අනාවරණය වෙමින් පවතියි. වන විනාශයන් හේතුවෙන් පසට සිදුවන හානිය ගංවතුර තත්ත්ව ඇති කරයි.
ගංඟ ද්‍රෝණිවලට, ගං ඉවුරුවලට, කඳුකරයේ ගස් කපා දැමීම්, ජලය බැස යන මාර්ග අවහිර කිරීම ආදිය මිනිසුන්ගේ ක්‍රියාකාරකම්ය. ඉවක් බවක් නොමැති සංවර්ධනය, නාගරීකරණය මිනිසුන්ගේ ක්‍රියාකාරකම්ය. මිනිසුන් ගස් සිටුවීම වෙනුවට කොන්ක්‍රීට් වනාන්නතර ඉදි කිරීම ජලයට රිසි සේ ගලා බැසීමට ඇති ඉඩකඩ අහුරන අතර තම මඟ ඇහිරීම නිසා කෝපයට පත්වන සොබාදහම මිනිසුන්ට පාඩම් උගන්වන්නට අමතක නොකරයි.
සියලු ජල මාර්ග හා පහත් බිම් විනාශ කරමින් දැවැන්ත සංවර්ධන ක්‍රියාවලියක් සිදු කිරීම සඳහා සියල්ල සකසා ඇතැයි පරිසර හා සොබාදහම් සංවර්ධන අධ්‍යයන මධ්‍යස්ථානය පෙන්වා දෙයි. බස්නාහිර නගර කලාපයේ මිලියන 3.5ක ජනතාවක් ද, දකුණ, ගාල්ල, නැගෙනහිර හා යාපනය යන මහ නගර කලාපවල මිලියනය බැගින් ද, උතුරු මැද මිලියන 4ක ජනතාවක් ද පදිංචි කිරීමට නියමිත යැයි ද ඉත් ඉක්මනින් ස්වභාවික ආපදාවලට ලක්වන ජනතාව ස්වේච්ඡාවෙන් ඉහත කී නගර කලාප වෙත සංක්‍රමණය යුතු බව ට තීරණය වී ඇතැයි ද 2030 වනවිට ලංකවේ මුළු ගුවන් තොටුපොළ සංඛ්‍යාව 19ක් වනු ඇතැයි ජාතික භෞතික සැලැස්මේ සඳහන්ව ඇතැයි එම මධ්‍යස්ථානය කියයි.
මෙවැනි දෑ මෙතරම් පුංචි රටකට දරා ගත හැකි ද ? උඩු ගුවනේ සිට නරඹන හරිත පරාදීසයක් පැවැති පුංචි වැසි වනාන්තරය ක්‍රමයෙන් කොන්ක්‍රීට් වනාන්තරයක් බවට පත් වෙමින් තිබේ. අනාගතයේ දිනක කව් ගී ලියන්නට හන්තාන කඳු වැටියක් නොවන්නට පුළුවනි. අත්තනෝමතික ලෙස කරන සංවර්ධනය නවතාලන්නට, පරිසර විනාශයන් නවතන්නට අප දැන්වත් පියවර ගත යුතුය. මොණරුන්ගේ මාර්ග, අලි ඇතුන්ගේ නිජබිම් වනසමින්, ගහ කොළ විනාශ කරමින් අපි අධිවේගී මාර්ග ඉදි කර වේගයෙන් ගමන් කරන්නේ ද විනාශයට නොවේ ද ? රෝමයට ගිය පසු රෝමයේ අයුරින් ජීවත් විය යුතු යැයි කියමනක් ඇත. අප සිටින්නේ අපට සින්නකරව හෝ උරුමයෙන් ලද භූමියක නොවන බව පසක් කර ගත යුතුය. අපි සොබාදහමේ කොටස්කරුවෝ වෙමු. එහෙයින් ඊට අනුකූලව ජීවත් වීමට අප කටයුතු කළ යුතු එසේ නොවුණහොත් පස් යට වැළලෙන්නට සිදුවන දවස ඉක්මනින්ම අප වෙත ළඟා වෙනු ඇත.
ඡායාරූපය රොයිටර්
හර්ෂණ තුෂාර සිල්වා
ගිය අවුරුද්දේ මැයි 31 වැනිදා ලියපු එකක්
Tuesday, May 23, 2017
යුද්ධය
ගැන නැවත නැවත ලිවීමට සිදුවීම අකැමැති මාතෘකාවක් වුවද ලියන්නට හේතු සාධක වන දෑ
බොහෝ අවස්ථාවලදී අත්දකින්නට සිදුවේ. සිවිල් යුද්ධයක්, මහා පරිමාණ යුද්ධයක් ද හෝ
මොනයම් අර්ථකතන දුන්න ද තිස් වසරක් මුළුල්ලේ පැවැති ගැටුම්වලින් අපට අහිමි වූ
ජීවිත ගණන අති මහත්ය. ඒ නිසා මේ රටේ නැවත යුද්ධයක් හෝ ජාතීන් අතර ගැටුමක් ඇති වීමට
ඉඩ නොදීම අප සියලු දෙනා සතු වගකීමකි.
දශක
තුනක් පුරා පැවැති යුද්ධයේ අපි අමතක කළ යුතු නැත. එහෙත් යුද්ධය ගැන මතකය
මිනිසුන්ගේ සිත්තුළ නැවත වෛරී අදහස් ඇති වීමට නොව සාමය කරා ගමනක් සඳහා විය යුතුය.
එල්.ටී.ටී.ඊ සංවිධානය බිහිවන්නේ දකුණේ තරුණ පිරිස් මෙන්ම තම අයිතිවාසිකම් ඉල්ලමින්
එම සටන දිනාගැනීමටය. එල්.ටී.ටී.ඊ යත් දකුණේ තරුණ කොටස් අතර වෙනසක් නැති තරම්ය.
එහෙත් ප්‍රචණ්ඩත්වය කිසිදු ප්‍රශ්නයක් පිළිතුරක් නොදෙන්නා සේම එල්.ටී.ටී.ඊ යට ද
අවි ආයුද ගැනීමෙන් ප්‍රතිඵලයක් අත්වූයේ නැත. අවි ගත්තෝ අවියෙන්ම නැසෙන්නේ යන පොදු
ධර්මය ඔවුන්ට ද උරුමය. එම ලෝක ධර්මතාව සිංහල දෙමළ භේදයකින් තොරවම මේ රටේ බොහෝ දෙනා
අත් විඳි බව අපි කවුරුත් දනිමු.
යුද
විරෝධී සියලු දෙනාට යුද්ධය අවසන් වීම ගැන ඇත්තේ සතුටක් බව නොරහසකි. එය මෛත්‍රී
පාක්ෂිකයන්, රනිල් මහින්ද පාක්ෂිකයන් හෝ වෙනයම් දේශපාලන මතයක් දැරුවේ ද කියා
වෙනසක් නැත. යුද්ධය අවසන් වූ ආකාරය පිළිබඳ අපට ගැටලු ඇත. යුද්ධයට මුවා වී කළ
වැරැදි ගැන අපි ප්‍රශ්න කළ යුතුය.
මැයි
18 හෝ ආසන්න දිනයකදී රූගත කරන ලද වීඩියෝ පටයක් මුහුණු පොතේ එහා මෙහා යමින් තිබිණි.
මැයි 18 වැනිදා මතකද යන්න විමසමින් එහිදි ප්‍රශ්න කරන්නේය. එම ප්‍රශ්න කිරීමට
එතැනින් එහාට ගොස් රටේ සාමය ඇති කිරීමට කළ යුත්තේ මොනවාදැයි විමසීමට හැකි වූවා නම්
වඩා හොඳය.
තවමත්
රටේ පිරිස් අතර දේශපාලකයන් අතර යුද්ධය අවසන් කළේ කවුද යන්නට මත ගැටුමක් තිබෙන බව
පැහැදිලිය. එහෙත් කවදාවත් යුද්ධය ඇති කළේ කවුද යන්න හෝ එහි වගකීම බාරගැනීමට
කවදාවත් කිසිවකුත් ඉදිරිපත් වන්නේ හෝ
අදහස් දක්වන්නේ නැත. යුද්ධය ඇති වූයේ ඇයි ද යන්න ගැන විමසා සිටින්නේ නම් එය ඉතා
අතළොස්සකි. යුද්ධය ඇතිවීමේ මූලික වගකීම බාරගත යුත්තේ දේශපාලකයන්ය. දේශපාලකයන්ට
සියල්ල පවරා නිහඬවම සිටීමට අපට නොහැක. ලෝකය විනාශ වී යන්නේ වැරැදි මිනිසුන්ගේ
වැරැදි නිසා නොව යහපත් මිනිසුන්ගේ නිහඬ බව නිසා යැයි ඇල්බට් අයින්ස්ටයින් වරෙක
කීවේය. එබැවින් යුද්ධයේ ආරම්භයට, ඒ පරම්පරාවත් ඊට පරම්පරා සියල්ලත් වගකිව යුතුය.
යුද්ධය කඩිනමින් අවසන් කර නොගැනීමේ වරදට ඉන් පසු සියලු පරම්පරා වගකිව යුතුය. නැවත
යුද්ධයක් ඇති නොවීමේ වගකීම වත්මන් පරපුර සතුය.
බුදු
දහම මුල් කරගත් රටක ජීවත්වන අපට බුදු දහමේ මූලික හර පද්ධති අමතකව ගොස් තිබීම
කනගාටුවට කරුණකි. භික්ෂූන් වහන්සේලාට ඒ බව අමතකව යෑම තවදුරටත් කනගාටුවකි. බුදුදහම මේ රටට ලැබෙන්න අශෝක
අධිරාජ්‍යයාගේ මැදිහත් වීමෙනි. යුද්ධයෙන් අති විශාල ජනතාවක් ඝාතනය කරමින් තම
අධිරාජ්‍යය පුළුල් කරගැනීමේ ගමනක යන අශෝක සාහිත්‍යයට අනුව චණ්ඩාශෝක යනුවෙන් නම්
ලබන්නේය. එහෙත් නීග්‍රෝධි හිමියන්ගෙන් දහම් ඇසීමෙන් පසු චණ්ඩාශෝක බුදු දහම වැළැඳ
ගනිමින් ධර්මාශෝක වන බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන්ය. යුද්ධයේ ආදීනව පිළිබඳ අපට
සමීපතම පාඩම කියා දෙන්නේ බුදු දහම මෙරටට එවීමට මූලික වන ආශෝක රජුය. එම සරල කරුණ
පවා අවබෝධ කර නොගන්නා දුවන්නන් වාලේ දුවන සමාජයක කොටස්කරුවෝ බවට අපි පත්ව සිටිමු.
යුද්ධය
අවසන් වීම බොහෝ දෙනකු ජයග්‍රහණයක් යනුවෙන් හඳුන්වන අතරේම ජයග්‍රහණයට පියවරුන් බොහෝ
දෙනකු සිටින බව නැවත නැවතත් පසක් කරමින් තමා යුද්ධය අවසන් කළේ යැයි කීමට බොහෝ
පිරිස් නිරන්තරයෙන් සැදි පැහැදි සිටිති. එහෙත් අපි ජාතියක් වශයෙන් පරාදය. රටක් ලෙස
පරාදය. ඉතිහාසය හැරෙන්න, පසුගිය කාලයේ දී ක්‍රීඩාව වශයෙන් හා පුද්ගලයන් වශයෙන්
දිනාගත් දේ හැරෙන්නට අපි රටක් ලෙස දිනාගත් දෙයක් හෝ ආඩම්බර වීමට හෝ දෙයක් අපට නැත.
විවිධ පුද්ගලයන් විවිධ ක්ෂේත්‍රවලින් දක්ෂතා දක්වමින් ජාත්‍යන්තරයට යෑම හැරෙන්නට
අපට ආඩම්බර වන්නට දෙයක් නැත.
විජේවීර
සැමරීමේ අයිතිය, ජේ.ආර්, ප්‍රේමදාස, බණ්ඩාරනායක සැමරීමේ අයිතිය මේ රටේ විවිධ
කොටස්වලට තිබේ නම් ප්‍රභාකරන් සැමරීමේ අයිතිය ද හිමිවිය යුතුය. ඉහත කී සියලු
දෙනාගේ තීන්දු තීරණ නිසා මේ රටට හිමි වූ දේවල්වලට වඩා අහිමි වූ දේවල් වැඩිය.
යුද්ධය මැයි මාසයකම අවසන් වීම වඩාත් හොඳය. එයම නිමිත්තක් කරගනිමින් සමරන පිරිස්වලට
ඔවුන්ගේ පාඩුවේ එය සමරන්නට ඉඩ දී ජාතියක් ලෙස මැයි මාසයම ජාතික සාම මාසය හෝ
සංහිඳියාවේ මාසය යනුවෙන් නම් කරමින් ජාතික ප්‍රතිපත්තියක් ගෙන ආ හැකිය. මැයි 18 හෝ
මැයි 19 වැනිදාට වෙසෙක් පොහොය දිනයක් යෙදෙන්නේ කවදාද අපට එදාට බොහෝ දේ කතා කළ
හැකිය. එබැවින් අප ආයුද විසඳුම් හෝ ප්‍රචණ්ඩත්වය හෝ විසඳුමක් කර නොගත යුතුය.
හතළිස්
අටට පෙරත් ඉන් පසුත් අද දක්වාම මේ රටේ විවිධාකාර ගැටුම් ඇතිවිය. තරුණයන්ගේ ප්‍රශ්නවලට
පිළිතුරු සැපයීම පැවැති ආණ්ඩු මෙන්ම වත්මන් ආණ්ඩුව ද අසමත් වීම, සිංහල, දෙමළ හා
මුස්ලිම් ජාතීන්වල අයිතීන් ආරක්ෂා කිරීමට පැවැති ආණ්ඩු හා වත්මන් ආණ්ඩුව අසමත්වීම
රටේ ඇති වූ ගැටුම්වලට ප්‍රධාන හේතුය. පටු දේශපාලන වුවමනා වෙනුවෙන් ආණ්ඩු මෙන්ම
විපක්ෂ කණ්ඩායම් ද විවිධ සංවිධාන කණ්ඩායම් පිහිටුවමින් රටේ කොටස් අතර ගැටුම් ඇති
කිරීමේ උත්සාහයක නිරත වන බව පැවැති ආණ්ඩුවලින් මෙන්ම වත්මන් ආණ්ඩුවෙන් ද වෙනසකින්
තොරව පෙනී යයි.
පසුගිය
දින කිහිපයක කාලයේදී මුස්ලිම් හා දෙමළ ජාතීන් ඉලක්ක කරගනිමින් ප්‍රහාර කිහිපයක්
එල්ල වූ බව රටේ විවිධ ස්ථානවලින් අපට අසන්නට ලැබුණි. තිස් වසරක පැවැති යුද්ධය
මූලිකවම සිංහල දෙමළ අරගලයක් බවට පත් වූ අතර ඊට මුස්ලිම් ජාතිකයන් ද මැදිව තුන්
කොන් අරගලයක් වූවා නම් මේ රට මීටත් වඩා විනාශයකට යෑමට ඉඩ තිබිණි. අද රට තුළ එවැනි
තත්ත්වයක් නිර්මාණයක් කිරීම ඇතැම් කොටස්වල වුවමනාවක් බවට පත්ව තිබීමත් ආණ්ඩුවේ හා
විපක්ෂවල පිරිස් එකිනෙකාට දොස් පවරා ගැනීමත් නිසා ප්‍රශ්නවලට විසඳුම් ලැබෙන සැටියක්
පෙනෙන්නට නැත.
සෑම
කරුණකම දේශපාලකයන්ට චෝදනා කරමින් සිටීම අපට අදත් හෙටත් තවත් වසර කිහිපයකින් වුවත්
කළ හැකි පහසු කාර්යයකි. එහෙත් අප දැනට සිටිනාවට වඩා ඉදිරි පියවරක් තැබිය යුතුයි.
පක්ෂ පාට භේදයකින් තොරව ප්‍රචණ්ඩත්වයට එරෙහි විය යුතුය. ඒ නිසා අපට අවශ්‍ය වන්නේ
අවබෝධයෙන් කටයුතු කරනා ජනතාවකි. කවුරුන් හෝ කී පළියට හෝ සාම්ප්‍රදායික හෝ සමාජ හෝ
නූතන මාධ්‍යයෙන් ප්‍රසිද්ධියට පත් වූ සැණින් විශ්වාස නොකරන කරුණු විමසන
ජනතාවකි. දේශපාලකයන්ගෙන්, මාධ්‍යයෙන් හා වගකිව යුත්තන්ගෙන් අවබෝධයෙන් ප්‍රශ්න කරන
ජනතාවකි. එවැනි අවබෝධයක් සහිත ජනතාවක් නොමැතිව මේ රටට ඉදිරි ගමනක් නැත. ආර්ථික,
දේශපාලන හා සමාජයීය වශයෙන් අපි තවමත් පරාජිත ජාතියකි. පරාජිත්වයෙන් ගොඩ ආ හැක්කේ
දිගුකල් පවත්නා සාමයකට ගමන් කිරීමෙන් පමණි.
කාටූනය අවන්ත අාටිගල
හර්ෂණ
තුෂාර සිල්වා
24.05.17
Saturday, May 20, 2017
සමාව දීමේ ක්‍රියාවලියක්
යුද්ධය
අවසන් කළ හැක්කේ යුද්ධයෙන් බවත් එම නිසා තුවක්කුව අත්හැරීමට නම් තුවක්කුව අතට ගත
යුතු බව මාඕ සේතුං වරෙක කියා සිටියේය. තිස් වසරක අඛණ්ඩ යුද්ධයකින් බැට කෑ අපි අද
තුවක්කුව බිම තබා ඇත්තේ මහත් වූ පිරිවැයක් දරමිනි. ගැටුම් නිරාකරණයේදී ඕනෑම
පිරිවැයක් යටතේ ගැටුම් නිරාකරණය කළ යුතුය යන්න මූලික කරගත්ත ද එම පිරිවැය මිනිස්
ජීවිත නොවිය යුතුය. එහෙත් අපට වූ පිරිවැය වූයේම මිනිස් ජීවිතයි.
වසර
1983 ආරම්භ වූ සිවිල් යුද්ධය ඒ වසරේම ආරම්භයක් නොව විසිවැනි සියවසේ මුල සිටම
පැවැති සිවිල් ගැටුම්, වාර්ගික ගැටුම් හා කලකෝලහාල ප්‍රතිඵලයකි. යහපත් හෝ අයහපත්
අයුරින් හෝ යුද්ධය අවසන් වීම පිළිබඳ අප සතුටු විය යුතුය. එහෙත් සතුටු වීම පසෙකින්
තබා කළ යුතු බොහෝ දේ අප හමුවේ ඇත. නැවත මේ රටේ යුද්ධයක් ඇතිවීම වැළැක්වීම සඳහා අප
ගත යුතු බොහෝ ක්‍රියාමාර්ග තිබේ.
යුද්ධයෙන්
වසර අටක් ගෙවී ගියද පසුගිය ආණ්ඩුව හෝ වත්මන් ආණ්ඩුව එවැනි පියවරක් ගෙන ඇති බව අපට
පෙනෙන්නට නැත. වසර 1915, 56, 71, 80 සහ 83 වසරවලදී මෙන්ම රටේ පැවැති සිවිල් යුද්ධය ප්‍රමුඛ ගැටුම්වලින් රටට අහිමි
වූ ජීවිත ගණන, රටට අහිමි වූ මුදල් කන්දරාව, සම්පත්, රටේ ආර්ථිකයට වූ බලපෑම අපට වැය
කරන්නට වූ සියල්ල මෙතැකයි කියා ගණනය කළ නොහැකියි. රටට එහෙම් පිටින්ම පරම්පරා නැති
ව ගියේය. තරුණ දේශපාලකයන්, තරුණ වෘත්තිකයන් අහිමි විය.
සැබෑවටම
නිදහස ලැබුවේ 48 ද 72 දී ද කියා තෝරා ගන්නට බැරි රටක 2009 මැයි 18 ද 19 ද කියා
තෝරා ගන්නට බැරි රටක අපට සමරන්නට හෝ සතුටු වන්නට පුළුවන් දෙයක් නැත. රටක් ලෙස අප
අද සිටින්නේ කොතැන ද යන්න හැමදාමත් අප මතක් කළ ද අමතක කර දමන කරුණකි. ආර්ථිකය
අතින් කලාපයේ අනෙක් රටවල් ඉදිරියට යද්දි රටේ ඉතා කුඩා ප්‍රශ්න විසඳා ගැනීමට
නොහැකිව අපි එකිනෙකාට බෝලය පාස් කරමින් සිටිමු.
රටේ
ඇති වූ අරගල සියල්ලේ නිර්මාපකයන් වූයේ පටු අරමුණු සහිත මුග්ධ දේශපාලකයන් මිස
අන්කවරකුත් නොවන බව පැහැදිලිය. අප විසඳුම් බලාපොරොත්තු වන්නේ ද එවැනි මුග්ධ
දේශපාලකයන්ගෙනි. ඒ හැර අපට වෙන විකල්පයක් පෙනෙන්නට ද නැත. එබැවින් මේ යකුන්ගෙන්ම
වැඩ ගැනීමට රටේ පුරවැසියන් ලෙස අපට කටයුතුව කළ යුතුව ඇත.
සාමයෙන්
තොර සංවර්ධනයක් අපට අත්පත් කරගත නොහැක. තිරසර සංවර්ධනයෙන් තොර තිරසර සාමයක් ද
තිරසර සාමයෙන් තොර තිරසර සංවර්ධනයක් ද අපට උදා කරගත නොහැක. යුද්ධයේ බිහිසුණු බව
උණ්ඩවල බිහිසුණු බව අපට අපේ රටේ වැසියන්ට අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැත. එම නිසා
තිස් වසරක යුද්ධයෙන් මියගියේ මේ රටේම තරුණයන්ම. මේ රටේ තරුණ පරම්පරාවය.
එම
නිසා උතුරේ හෝ දකුණේ හෝ වේවා මියගිය තම දරුවන්, පියන්, ඥාතීන් සැමරීමේ සිහි කිරීමේ
අයිතිය මේ රටේ සියලු දෙනාට හිමිවිය යුතුය. දඬුවම් දීමෙන් අපට අත්වන සෙතක් නොමැත.
එම නිසා සමාව දීමේ ක්‍රියාවලියකට අප ගමන් කළ යුතුය. එසේ වුවද යුද්ධයෙන් නාමයෙන් ,
යුද්ධයට මුවා වී වැරැදි කළ සියලු දෙනාට දඬුවම් දිය යුතුය.
මැයි
18 හෝ වේවා 19 හෝ වේවා එදින සමාව දීමේ දිනයක් බවට පත් කරමින් අප සියලු දෙනාට සමාව
දෙමින් අප සියලු දෙනා කළ වැරැදි නැවත නොවන්නට වගා බල ගත යුතුය. සමාව දීමේ ක්‍රියාවලියකට
යාමෙන් තොරව අපට සාමයක් හෝ සංහිඳියාවක් හෝ උදා කරගත නොහැක. තරමක් දුෂ්කර හා ප්‍රායෝගික
බවින් දුරස්ථ වුවත් අපට එවැනි මගකට ගමන් කිරීමේ හැකියාව ඇත. ඒ හැර දෙපාර්ශවයේම
පිරිස්වලට දඬුවම් දීමට යාමෙන් සිදුවනුයේ නැවැති ඇති යුද්ධයට අත්තටු දීමක් පමණි. වැරැදිකරුවන්
සෙවිය යුතුය. සමාව දීමේ ක්‍රියාවලියක්, සුව වීමේ ක්‍රියාවලියක් වගේම පාපෝච්චාරණ ක්‍රියාවලියක්
අපට අවශ්‍යය.
රජයේ
හමුදාව මෙන්ම එල්.ටී.ටී.ඊ ය ද වැරැදි කළේය. ඔවුන්ට වඩා වැරැදි කළෝ සිටිති. ඔවුනට
වඩා වැරැදි කළෝ අද ලොකු පුටුවල වැජඹෙති. එල්.ටී.ටී.ඊ
සංවිධානය ආරම්භ වූයේ කෙසේ ද එය අවසන් වූයේ කෙසේ ද යන්න අප විමසා බැලිය යුතුය.
අර්බුදයේ මුල සොයා ඊට විසඳුම් සෙවිය යුතුය. එල්.ටී.ටී.ඊ ය ආරම්භ වන්නේ විමුක්තිය
සොයමින් වුවද අවසානයේ ඔවුන් තෝරාගත් මග නිසාම ඔවුන්ගේ මුල් අරමුණු ක්‍රමයෙන් වෙනස්
විය. අවසානයේදී ඔවුන් ද අතකොළුවක් බවට පත්විය විය. අවසානයේදී හමුදාව මෙන්ම
එල්.ටී.ටී.ඊ යද දේශපාලකයන්ගේ පටු වුවමනා ඉටු කරන ලද පාර්ශව දෙකක් බවට පත්විය.
කෙසේ
වෙතත් අද වනවිට රටේ යුද්ධයක් නැති වුවත්, තැනින් තැනින් යුද්ධයට අත වනන සිදුවීම්
වාර්තා වේ. රටේ දේශපාලකයන්ගේ පටු වුවමනා හා නොමනා තීරණ හේතුවෙන් රට තුළ වරින් වර
ගැටුම් ඇති වූ අතර දශක තුනක් පැවැති සිවිල් යුද්ධය ඊට කදිම උදාහරණ සපයයි. සියල්ල
දේශපාලකයන් පිට පැටවීමෙන් අත්වන සෙතක් ද අපට නැත. එබැවින් බුද්ධිමත් වීම අප සියලු
දෙනා සතු වගකීමකි. රටේ බුද්ධිමතුන් ඊට පියවර තැබීම අනිවාර්යෙන්ම කළ යුත්තකි. උතුර
හා දකුණු දැනුම්වත් කිරීමේ මාධ්‍යයට, සිවිල් සංවිධානවලට, විශ්වවිද්‍යාල සිසුන්ට
මෙන්ම පාසල් සතුවද ඇත. සාමය, සංහිඳියාව, සමාව දීම හා පාපෝච්චාරණය ගැන කියාදෙන
විෂයයක් විෂයමාලාවලට ඇතුළත් කිරීම එහි එක් පියවරකි.
උතුරේ
හෝ දකුණේ සියලු දෙනාට ගැටුම්වලින් මියගිය
තම දරුවන්, ඥාතීන්, පියවරුන් හෝ කවුරුන් හෝ සිහි කිරීමේ අයිතිය හිමිවිය යුතුය. එම
අයිතිය සුරක්ෂිත විය යුතුය. එහෙත් එම අයිතියට මුවා වී කිසිවකුටවත් තම තමන්ගේ පටු
දේශපාලන අරමුණු හෝ මේ රට නැවත ආගාධයකට ගෙන යන ගැටුමක් නිර්මාණය කිරීමට අවස්ථාව
නොදිය යුතුය. එය දැන උගත් සියලු දෙනාගේ වගකීමක් හා යුතුකමකි.
අප
යුද්ධය අවසන් කළත්, ඇතමෙක් පවසන පරිදි අපි යුද්ධයෙන් ජයග්‍රහණය කළත් අපට තවමත්
සාමය ජයගත හැකිව නැත. ලොව ත්‍රස්තවාදය අවසන් කළ එකම රට අප උදම් ඇණුවද තවමත් අපට
සාමය ජයග්‍රහණය කිරීමට හැකියාවක් ලැබී නැත. සාමයෙන් ජය ගන්නට නම් අප බොහෝ කළ
යුතුය. දැන් හෝ එවැනි දේ ආරම්භ කළ යුතුය. සාමය ජයගැනීමෙන් ලොව පරමාදර්ශී රටක් වීමේ
හැකියාව අප සතුය. මේවා අපට බොහෝ දුරින් ඇති නමුත් අපට ළඟා කරගත හැකිය. අවශ්‍ය
වන්නේ කැපවීම හා දීර්ඝ කාලීන ප්‍රායෝගික වැඩපිළිවෙළක් පමණි. එමෙන්ම එම වැඩපිළිවෙළ
ක්‍රියාවට නැංවීමේදී සුදුසු පුද්ගලයන් සුදුසු තනතුරුවලට පත්විය යුතු වීම පූර්ව
අවශ්‍යතාවකි.
ඡායාරූපය ෂෙහාන් ගුණසේකර
හර්ෂණ
තුෂාර සිල්වා
20.05.17
Tuesday, May 16, 2017
වත්මන් පාලනයත් පෙර පාලනයත් කලින් කලට මාතෘකා නිර්මාණය කරමින් රටේ සැබෑ ප්‍රශ්න සඟවමින් කටයුතු කරන බව අලුතෙන් ලියන්නට අවශ්‍ය නැත. දේශපාලනයේදී මෙන්ම මුහුණ පොතේද කලින් කලට අලුත් අලුත් මාතෘකා නිර්මාණය වෙයි. ඒ ගැන ලියයි, කියයි, ඇණ කොට ගනියි. මේ සියල්ල හුදෙක් රටක් ලෙස සමාජයක් සමාජයක් ලෙස අප මුහුණ දෙන සැබෑ ප්‍රශ්න යට ගසන්නට නිර්මාණය කරන ලද කතා යැයි විශ්වාස කරමි. එසේ නොවන්නට ද පුළුවන. මගේ මතකය නිවැරැදි නම් එක් අවස්ථාවකදී ඔබට ජුලම්පිටියේ අමරේ මතකද යනුවෙන් සිරස්තලයක් සහිතව තරුණයා පුවත්පතේ ලිපියක් පළවිය. මීතොටමුල්ල මතකද, රටේ ණය අර්බුදය මතකද, හම්බන්තොට වරාය මතකද ? එසේත් නැතිනම් රටක් ලෙස සමාජයක් ලෙස අප මුහුණ දෙන ප්‍රශ්න මතකද යනුවෙන් අප විසින් අපගෙන් විමසා ගත යුතු ව තිබේ.
තමන් කළ යුත්තේ මොනවාද නොකළ යුත්තේ මොනවාද තීරණය කළ යුත්තේ ඒ ඒ පුද්ගලයන්ය. එසේ තමන් කරන්නේ මොනවාද යන්න තීරණය කිරීමේ අයිතිය තමන්ට තිබුණ ද ඉන් අනුනට බාධාවක් නොවීම අනුන් සතුව අයිතියක් මෙන්ම තමන්ගේ සීමාව පෙන්වන්නකි. එහෙත් අනුන් කරන දෙයක්, තමන්ගේ කරමින් තමන්ට බාධාවක් වූ බව පෙන්වීම විහිළුවකි. සරලව කියන්නේ නම් අහක යන නයි ඔඩොක්කුවේ දමාගෙන කෑවෝ කෑවෝ කීමකි.
අනුන්ගේ පල් හෑලි සෙවීම, කියවීම විනෝදාංශයක් කරගත් අපේ රටේ බොහෝ දෙනා ඒවා පෞද්ගලිකවම විඳ දරා ගන්නවා වෙනුවට තමන්ගේ ද කරගනිමින් අනුන්ගේ ද කාලය කා දමයි. තමන්ගේ මුහුණු පොතේ තමන්ට කැමැති දෙයක් ලියන්නට කියන්නට අයිතිය ඇතිවාක් මෙන්ම අනුන්නට ද එම අයිතියම ඇත. පොදු අවකාශයේ පොදුවේ විනෝද වීමට මෙන්ම පොදුවේ අදහස් දැක්වීමට ද අයිතිය ඇත. රසාස්වාදය, විනෝදය පොදුවේ විඳින අවස්ථාව මෙන්ම පෞද්ගලිකව විඳින අවස්ථා ද ඇත.
නීති ශිෂ්‍යාවක සිදුවීමක් ඈඳා ගනිමින් ඒ පිළිබඳව තවත් නීතිඥවරයෙක් කරන ලද ප්‍රකාශයත් සමඟ නැවත වරක් මුහුණු පොතේ පිරිස් එකිනෙකට පක්ෂවත් විපක්ෂවත් අදහස් දක්වන්නට වී ඇත. සිදුවීම සම්බන්ධයෙන් වැඩි යමක් නොදන්නවා වුව ද එහි සත්‍ය අසත්‍ය බව ගැන වැටහීමක් නැති වුවද මේ ටික ලියා තැබීමේ අවශ්‍යතාවක් නම් ඇත.
රටක් ලෙස සමාජයක් ලෙස අප අද සිටින්නේ කොතැනද යන්න තේරුම් ගැනීමට එතරම් අපහසු කාර්යයක් නොවේ. යමකුගේ වෘත්තීය ජීවිතය හා පෞද්ගලික ජීවිතය යනු දෙකකි. පෞද්ගලික ජීවිතයේදී ඔහු නීතිමය සීමා ඉක්මවා නොයමින් මොනයම් අයුරින් කටයුතු කළත් ඉන් අන් අයට පලක් වන්නේ නැත. මිනිසකුට තම ආත්ම අභිමානය සතුව ජීවත් වීමේ අයිතියි තමන් කැමැති ජීවන රටාවකට අනුව ජීවිත් වීමේ අයිතිය ව්‍යවස්ථාව විසින්ම ලබාදි ඇත. ගැහැණියක වුවද පිරිමියක වුවද තමන් කැමැති දෙයක් කිරීමේ නිදහස ඇති අතර තෝරා ගැනීම සහ අවශ්‍ය තැන්වලට අවශ්‍ය පරිදි තමන්ගේ කැමැත්ත අකැමැත්ත අනුව ගැලපෙන කටයුතු කිරීම තීරණය ඔවුනොවුන් සතුය. වෘත්තිකයකු තම වෘත්තීමය රාජකාරි පැහැර හරින්නේ නම්, වගකීම් පැහැර හරින්නේ ගැටලුව විය යුත්තේ එයයි. අරගල කළ යුත්තේ වෘත්තිකයන් ඔවුන්ගේ වගකීම නිවැරැදිව කරන තැනට ගෙන ඒමටය.
මෙය ලියන්නට පාදක වූ කරුණම සලකා බලන්නේ නම් අදාළ තරුණිය බිකිණියක් හැඳ උසාවියකට හෝ විශ්ව විද්‍යාලයට හෝ සුදුසු ඇඳුමක් අවශ්‍ය තැනකට එසේ නොවන ආකාරයෙන් සහභාගී වූවා නම් ඒ ගැන කතා කිරීමේ වරදක් නැත. එහෙත් එය ද ඔවුනොවුන්ගේ ආත්ම ගෞරවයට හානි නොවන අයුරින්, ඒ කරුණු අවධාරණය කිරීම හෝ අවශ්‍ය පියවර ගැනීම යුතු වන්නේය.
මෙරට අධ්‍යාපන අර්බුදයත් මේ ප්‍රශ්නයට ඈඳා ගන්නා නිසාම මේ දේ ලිවිය යුතුයි. රටේ දැවැන්ත අධ්‍යාපන අර්බුදයක් උද්ගතව තිබියදී අප සයිටම් වසා දැමීම හෝ පෞද්ගලික අධ්‍යාපනය එපා යැයි කියන කුඩා ප්‍රශ්නයක එල්ලී සිටිමු. නිදහසින් පසු වසර 70කට ආසන්න කාලයක් ගෙවී ගියද මිලියන 21කට ආසන්න ජනතාවක් සිටින රටේ රාජ්‍ය විශ්ව විද්‍යාල ඇත්තේ 17කි. මිලියන අටකටත් අඩු ජනගහනයක් සහිත ජෝර්දානයේ රාජ්‍ය හා පෞද්ගලික විශ්ව විද්‍යාල 30ක වැඩි සංඛ්‍යාවක් තිබේ. මහ බැංකුවේ 2016 වාර්ෂික වාර්තාවට අනුව විශ්ව විද්‍යාලවලට ඇතුළත් වීම සඳහා සියයට 51.43ක් සුදුසුකම් ලබද්දි සුදුසුකම් ලැබුවන්ගෙන් ඇතුළත් වන්නේ සියයට 18.61ක් පමණි. ආසන්න වශයෙන් විශ්ව විද්‍යාල සඳහා සුදුසුකම් ලබන සියයකට 30කට ආසන්න ප්‍රමාණයකට සුදුසුකම් ලැබුවද රාජ්‍ය විශ්ව විද්‍යාලයකට ඇතුළත්වීමට අවස්ථාව හිමි වන්නේ නැත. ඔවුන්ගේ වගකීම බාරගන්නේ කවු ද ?
උපුටා දැක්වීම,
“රජය යටතේ පවතින විශ්ව විද්‍යාල 17 තුළ සීමිත සම්පත් විශාල ශිෂ්‍ය සංඛ්‍යාවකට උසස් අධ්‍යාපන අවස්ථා ලබාදීමට තරම් ප්‍රමාණවත් නොවන බව පැවැති සියලුම රජය විසින් හඳුනාගෙන ඇත. එබැවින් රජය විසින් උසස් අධ්‍යාපනය සඳහා ආයෝජනය කිරීමට සහ උපාධි පාඨමාලා පවත්වන රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන පිහිටුවීමට පෞද්ගලික ආයෝජකයන්ට අවස්ථාව සලසා දීමට පියවර ගෙන ඇත” උපුටා දැක්වීම අවසන්.
මෙසේ කියන්නේ 2016 ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවයි.
එය පසෙකින් තබන්න. සරසවි වරම් ලැබුවත් සරසවියකට ඇතුළත් නොවන පිරිසත් ඉතිරි සියයකට 49කට ආසන්න පිරිසත් රැකියා සහ වෙනත් උසස් අධ්‍යාපන ක්‍රමවේද සොයා යයි. ඇතමෙක් විදෙස් ගතවෙයි.
උසස් පෙළින් සිය අධ්‍යාපන කටයුතු හමාර කරන පිරිස හැරෙන්නට අන් සියලු දෙනාම උසස් අධ්‍යාපනයේ නිරත වෙති. එයින් මාපියන් වියදම් දරන දරුවෝ අනෙක් සියලු දෙනාම කුමක් හෝ රැකියාවක් කරමින් අධ්‍යාපනය නිරත වෙති. එය රාජ්‍ය විශ්ව විද්‍යාල ද පෞද්ගලික විශ්ව විද්‍යාල ද කියා වෙනසක් නැත. පීසා විකුණන රාජ්‍ය විශ්ව විද්‍යාලවල සිසුන්, හන්දි ගානේ පත්තර විකුණන රාජ්‍ය විශ්ව විද්‍යාලවල මිතුරන් මෙන්ම මුරකරු රස්සාව කරමින් පෞද්ගලික විශ්ව විද්‍යාලවල අධ්‍යාපනය ලබන මිතුරන් ද පුද්ගලිකව හඳුනමි. ඒ නිසා තමන්ගේ දහඩියෙන් නීතිමය සීමාවල උපයාගත් මුදලින් අධ්‍යාපනය ලැබීමේ ඕනෑම ශිෂ්‍යයකුට ශිෂ්‍යයාවකට හිමිය. අයකුගේ ලිංගික අවශ්‍යතා සපයමින් අධ්‍යාපන කටයුතුවලට මුදල් උපයා ගන්න සිසුවියන් ඇත. එය ඇයට තිබෙන පහසුම මඟ විය හැකිය. එය ඔවුන්ගේ කැමැත්ත වුවත්, වෙනත් ක්‍රමයකින් ඔවුන් තම අධ්‍යාපන මුදල් උපයන්නේ නම් අප බෙහෙවින් කැමැති වන්නේ එය ඔවුන්ගේ ජීවිතයටම යහපතක් වනු ඇතැයි අපේක්ෂාවෙනි.
උතුරු හා නැගෙනහිර පළාත්වල පිරිමි සිසුන්ගේ 1 සිට 11 ශ්‍රේණිය දක්වා දළ රැඳී සිටීමේ අනුපාතය නැගෙනහිර පළාතේ සියයට 71.59ක් වශයෙන් ද උතුරු පළාතේ සියයට 75.36ක් වශයෙන් අඩු අගයක පවතින බව මහ බැංකු වාර්තාව සඳහන් කරයි. තම ගෘහ ආදායමට දායක වීම සඳහා පිරිමි දරුවන් පාසල් හැරගොස් රැකියා අවස්ථා සොයා යෑම නිසා 11 ශ්‍රේණිය දක්වා රැඳී සිටීම අඩු අගයක පවතින බව ද සඳහන් කරයි.
මේ, රටේ අර්බුදවලින් අල්පයකින් අල්පයකි. නීතිවේදිනියගේ බිකිණියට වඩා අපට සිතන්නට, කියන්නට කරන්නට ලියන්නට බොහෝ දේ ඇත.
ඡායාරූපය ෂෙහාන් ගුණසේකරගේ ෆේස්බුක් ගිණුමෙනි..
https://www.facebook.com/photo.php?fbid=1270576133035996&set=pb.100002508644713.-2207520000.1494955676.&type=3&theater
හර්ෂණ තුෂාර සිල්වා
16.05.17
Subscribe to:
Posts (Atom)
‘මිඩ්ල් ක්ලාස්’ ක්‍රියිසිස් සහ ‘ඩිකෝඩිං’
අපි ජන සමාජයක් විදියට උග්‍ර අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. දරුවෙක්ගේ සාර්ථකත්වය මනින්නේ, යාන වාහනවලින්, උපාධිවලින්, හම්බවෙන පඩියෙන්, කරන රස්සා...
-
කැලැරන්ස් විජේවර්ධන, සිනමා කතාව බලන්නට ඉස්පාසුවක් ලැබුණේ අද ඉරිදා ය. මිතුරන් කිහිපදෙනකු සමඟ කැලැරන්ස් බලන්නට මීට සති දෙකකට කලින් ප්‍රවේශ පත...
-
අපි ජන සමාජයක් විදියට උග්‍ර අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. දරුවෙක්ගේ සාර්ථකත්වය මනින්නේ, යාන වාහනවලින්, උපාධිවලින්, හම්බවෙන පඩියෙන්, කරන රස්සා...

