යුද්ධය
අවසන් කළ හැක්කේ යුද්ධයෙන් බවත් එම නිසා තුවක්කුව අත්හැරීමට නම් තුවක්කුව අතට ගත
යුතු බව මාඕ සේතුං වරෙක කියා සිටියේය. තිස් වසරක අඛණ්ඩ යුද්ධයකින් බැට කෑ අපි අද
තුවක්කුව බිම තබා ඇත්තේ මහත් වූ පිරිවැයක් දරමිනි. ගැටුම් නිරාකරණයේදී ඕනෑම
පිරිවැයක් යටතේ ගැටුම් නිරාකරණය කළ යුතුය යන්න මූලික කරගත්ත ද එම පිරිවැය මිනිස්
ජීවිත නොවිය යුතුය. එහෙත් අපට වූ පිරිවැය වූයේම මිනිස් ජීවිතයි.
වසර
1983 ආරම්භ වූ සිවිල් යුද්ධය ඒ වසරේම ආරම්භයක් නොව විසිවැනි සියවසේ මුල සිටම
පැවැති සිවිල් ගැටුම්, වාර්ගික ගැටුම් හා කලකෝලහාල ප්‍රතිඵලයකි. යහපත් හෝ අයහපත්
අයුරින් හෝ යුද්ධය අවසන් වීම පිළිබඳ අප සතුටු විය යුතුය. එහෙත් සතුටු වීම පසෙකින්
තබා කළ යුතු බොහෝ දේ අප හමුවේ ඇත. නැවත මේ රටේ යුද්ධයක් ඇතිවීම වැළැක්වීම සඳහා අප
ගත යුතු බොහෝ ක්‍රියාමාර්ග තිබේ.
යුද්ධයෙන්
වසර අටක් ගෙවී ගියද පසුගිය ආණ්ඩුව හෝ වත්මන් ආණ්ඩුව එවැනි පියවරක් ගෙන ඇති බව අපට
පෙනෙන්නට නැත. වසර 1915, 56, 71, 80 සහ 83 වසරවලදී මෙන්ම රටේ පැවැති සිවිල් යුද්ධය ප්‍රමුඛ ගැටුම්වලින් රටට අහිමි
වූ ජීවිත ගණන, රටට අහිමි වූ මුදල් කන්දරාව, සම්පත්, රටේ ආර්ථිකයට වූ බලපෑම අපට වැය
කරන්නට වූ සියල්ල මෙතැකයි කියා ගණනය කළ නොහැකියි. රටට එහෙම් පිටින්ම පරම්පරා නැති
ව ගියේය. තරුණ දේශපාලකයන්, තරුණ වෘත්තිකයන් අහිමි විය.
සැබෑවටම
නිදහස ලැබුවේ 48 ද 72 දී ද කියා තෝරා ගන්නට බැරි රටක 2009 මැයි 18 ද 19 ද කියා
තෝරා ගන්නට බැරි රටක අපට සමරන්නට හෝ සතුටු වන්නට පුළුවන් දෙයක් නැත. රටක් ලෙස අප
අද සිටින්නේ කොතැන ද යන්න හැමදාමත් අප මතක් කළ ද අමතක කර දමන කරුණකි. ආර්ථිකය
අතින් කලාපයේ අනෙක් රටවල් ඉදිරියට යද්දි රටේ ඉතා කුඩා ප්‍රශ්න විසඳා ගැනීමට
නොහැකිව අපි එකිනෙකාට බෝලය පාස් කරමින් සිටිමු.
රටේ
ඇති වූ අරගල සියල්ලේ නිර්මාපකයන් වූයේ පටු අරමුණු සහිත මුග්ධ දේශපාලකයන් මිස
අන්කවරකුත් නොවන බව පැහැදිලිය. අප විසඳුම් බලාපොරොත්තු වන්නේ ද එවැනි මුග්ධ
දේශපාලකයන්ගෙනි. ඒ හැර අපට වෙන විකල්පයක් පෙනෙන්නට ද නැත. එබැවින් මේ යකුන්ගෙන්ම
වැඩ ගැනීමට රටේ පුරවැසියන් ලෙස අපට කටයුතුව කළ යුතුව ඇත.
සාමයෙන්
තොර සංවර්ධනයක් අපට අත්පත් කරගත නොහැක. තිරසර සංවර්ධනයෙන් තොර තිරසර සාමයක් ද
තිරසර සාමයෙන් තොර තිරසර සංවර්ධනයක් ද අපට උදා කරගත නොහැක. යුද්ධයේ බිහිසුණු බව
උණ්ඩවල බිහිසුණු බව අපට අපේ රටේ වැසියන්ට අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැත. එම නිසා
තිස් වසරක යුද්ධයෙන් මියගියේ මේ රටේම තරුණයන්ම. මේ රටේ තරුණ පරම්පරාවය.
එම
නිසා උතුරේ හෝ දකුණේ හෝ වේවා මියගිය තම දරුවන්, පියන්, ඥාතීන් සැමරීමේ සිහි කිරීමේ
අයිතිය මේ රටේ සියලු දෙනාට හිමිවිය යුතුය. දඬුවම් දීමෙන් අපට අත්වන සෙතක් නොමැත.
එම නිසා සමාව දීමේ ක්‍රියාවලියකට අප ගමන් කළ යුතුය. එසේ වුවද යුද්ධයෙන් නාමයෙන් ,
යුද්ධයට මුවා වී වැරැදි කළ සියලු දෙනාට දඬුවම් දිය යුතුය.
මැයි
18 හෝ වේවා 19 හෝ වේවා එදින සමාව දීමේ දිනයක් බවට පත් කරමින් අප සියලු දෙනාට සමාව
දෙමින් අප සියලු දෙනා කළ වැරැදි නැවත නොවන්නට වගා බල ගත යුතුය. සමාව දීමේ ක්‍රියාවලියකට
යාමෙන් තොරව අපට සාමයක් හෝ සංහිඳියාවක් හෝ උදා කරගත නොහැක. තරමක් දුෂ්කර හා ප්‍රායෝගික
බවින් දුරස්ථ වුවත් අපට එවැනි මගකට ගමන් කිරීමේ හැකියාව ඇත. ඒ හැර දෙපාර්ශවයේම
පිරිස්වලට දඬුවම් දීමට යාමෙන් සිදුවනුයේ නැවැති ඇති යුද්ධයට අත්තටු දීමක් පමණි. වැරැදිකරුවන්
සෙවිය යුතුය. සමාව දීමේ ක්‍රියාවලියක්, සුව වීමේ ක්‍රියාවලියක් වගේම පාපෝච්චාරණ ක්‍රියාවලියක්
අපට අවශ්‍යය.
රජයේ
හමුදාව මෙන්ම එල්.ටී.ටී.ඊ ය ද වැරැදි කළේය. ඔවුන්ට වඩා වැරැදි කළෝ සිටිති. ඔවුනට
වඩා වැරැදි කළෝ අද ලොකු පුටුවල වැජඹෙති. එල්.ටී.ටී.ඊ
සංවිධානය ආරම්භ වූයේ කෙසේ ද එය අවසන් වූයේ කෙසේ ද යන්න අප විමසා බැලිය යුතුය.
අර්බුදයේ මුල සොයා ඊට විසඳුම් සෙවිය යුතුය. එල්.ටී.ටී.ඊ ය ආරම්භ වන්නේ විමුක්තිය
සොයමින් වුවද අවසානයේ ඔවුන් තෝරාගත් මග නිසාම ඔවුන්ගේ මුල් අරමුණු ක්‍රමයෙන් වෙනස්
විය. අවසානයේදී ඔවුන් ද අතකොළුවක් බවට පත්විය විය. අවසානයේදී හමුදාව මෙන්ම
එල්.ටී.ටී.ඊ යද දේශපාලකයන්ගේ පටු වුවමනා ඉටු කරන ලද පාර්ශව දෙකක් බවට පත්විය.
කෙසේ
වෙතත් අද වනවිට රටේ යුද්ධයක් නැති වුවත්, තැනින් තැනින් යුද්ධයට අත වනන සිදුවීම්
වාර්තා වේ. රටේ දේශපාලකයන්ගේ පටු වුවමනා හා නොමනා තීරණ හේතුවෙන් රට තුළ වරින් වර
ගැටුම් ඇති වූ අතර දශක තුනක් පැවැති සිවිල් යුද්ධය ඊට කදිම උදාහරණ සපයයි. සියල්ල
දේශපාලකයන් පිට පැටවීමෙන් අත්වන සෙතක් ද අපට නැත. එබැවින් බුද්ධිමත් වීම අප සියලු
දෙනා සතු වගකීමකි. රටේ බුද්ධිමතුන් ඊට පියවර තැබීම අනිවාර්යෙන්ම කළ යුත්තකි. උතුර
හා දකුණු දැනුම්වත් කිරීමේ මාධ්‍යයට, සිවිල් සංවිධානවලට, විශ්වවිද්‍යාල සිසුන්ට
මෙන්ම පාසල් සතුවද ඇත. සාමය, සංහිඳියාව, සමාව දීම හා පාපෝච්චාරණය ගැන කියාදෙන
විෂයයක් විෂයමාලාවලට ඇතුළත් කිරීම එහි එක් පියවරකි.
උතුරේ
හෝ දකුණේ සියලු දෙනාට ගැටුම්වලින් මියගිය
තම දරුවන්, ඥාතීන්, පියවරුන් හෝ කවුරුන් හෝ සිහි කිරීමේ අයිතිය හිමිවිය යුතුය. එම
අයිතිය සුරක්ෂිත විය යුතුය. එහෙත් එම අයිතියට මුවා වී කිසිවකුටවත් තම තමන්ගේ පටු
දේශපාලන අරමුණු හෝ මේ රට නැවත ආගාධයකට ගෙන යන ගැටුමක් නිර්මාණය කිරීමට අවස්ථාව
නොදිය යුතුය. එය දැන උගත් සියලු දෙනාගේ වගකීමක් හා යුතුකමකි.
අප
යුද්ධය අවසන් කළත්, ඇතමෙක් පවසන පරිදි අපි යුද්ධයෙන් ජයග්‍රහණය කළත් අපට තවමත්
සාමය ජයගත හැකිව නැත. ලොව ත්‍රස්තවාදය අවසන් කළ එකම රට අප උදම් ඇණුවද තවමත් අපට
සාමය ජයග්‍රහණය කිරීමට හැකියාවක් ලැබී නැත. සාමයෙන් ජය ගන්නට නම් අප බොහෝ කළ
යුතුය. දැන් හෝ එවැනි දේ ආරම්භ කළ යුතුය. සාමය ජයගැනීමෙන් ලොව පරමාදර්ශී රටක් වීමේ
හැකියාව අප සතුය. මේවා අපට බොහෝ දුරින් ඇති නමුත් අපට ළඟා කරගත හැකිය. අවශ්‍ය
වන්නේ කැපවීම හා දීර්ඝ කාලීන ප්‍රායෝගික වැඩපිළිවෙළක් පමණි. එමෙන්ම එම වැඩපිළිවෙළ
ක්‍රියාවට නැංවීමේදී සුදුසු පුද්ගලයන් සුදුසු තනතුරුවලට පත්විය යුතු වීම පූර්ව
අවශ්‍යතාවකි.
ඡායාරූපය ෂෙහාන් ගුණසේකර
හර්ෂණ
තුෂාර සිල්වා
20.05.17
No comments:
Post a Comment