කම්කරුවා යනු කවුරුන්ද ? අද කම්කරු දිනය දේශපාලන පක්ෂවල දිනයක් බවට පත්ව ඇත. දිනෙන් දින උග්‍ර වෙමින් මෙම දිනයේදී අපට නිරන්තරයෙන් ඇසෙන්නට ලැබෙන්නේ කම්කරුවන්ගේ සටන් පාඨ නොව, දේශපාලන පොර පිටියේ, දේශපාලන පක්ෂවල සටන් පාඨය. කම්කරු දින පෙළපාලී දේශපාලන පක්ෂවල සාමාජිකයන්ගෙන්, රුපියල් පන්සීයට, දාහට, බත් පැකට් එන ගම්වල ජනතාවය. ඔවුන් එසේ ඇයි ද තවත් පැතිකඩය.
අද කම්කරුවා යනු කවුරුන්ද යන්න නිර්වචනය කරගැනීමට ඉතා වැදගත්ය. සිය අතපය පමණක් වෙහෙසවා වැඩ කරන්නා පමණක් කම්කරුවන් වන්නේ ද ? ගුරුවරුන්, පුටුවක් මත ඉඳගෙන මෙය ලියන මාගේ වර්ගයේ පිරිස් කම්කරුවන් නොවන්නේ ද? පරිගණකයක් ළඟ ඉඳගෙන වෙනත් රැකියාවක් කරන්නෙක් කම්කරුවකු නොවන්නේ ද ? අයිතිකරුවන් හැරෙන්නට අන් සියලු දෙනා කම්කරුවන් ද ? ස්වයං රැකියාවක් හිමි පුද්ගලයකු කම්කරුවකු නොවන්නේ ද ? වැඩ කරන ජනතාව, රටක ශ්‍රම බලකායට අයත් සියලු දෙනා කම්කරුවන් ද ?
කම්කරු දිනය නිර්වචනයේ සිටම අපි මහත් අර්බුදයක සිටින්නේ යැයි මම විශ්වාස කරමි. කෙසේ හෝ දේශපාලන පක්ෂයකට කම්කරු දිනය සැමරීමේ අයිතියක් නැතැයි මා කියන්නේ නැත. එහෙත් වැඩ කරන ජනතාව උගුකසට තබමින් දේශපාලකයන් නටන නරි නාඩගම් නැවැත්විය යුතුය.
බස් රථවලට නැග පොත් විකුණන මිනිසුන්ගේ සිට සියලු වැඩ කරන ජනතාවට කම්කරු දිනයේ අයිතිය හිමි විය යුතුය. සෑම පුද්ගලයකුගේම ජීවිත, ජීවන තත්ත්වය යහපත් කිරීමේ හැකියාවක් ආණ්ඩුවකට හෝ වෙනත් කිසිම බලවේගයකට ඇතැයි සිතීම විහිළුවකි. එය එසේ වන්නේ නැත. එහෙත් පාරේ සිඟමන් යදින පිරිස, සපත්තු මහන පිරිස, බස් රථවලට මාරු වෙමින් පොත් විකුණන පිරිස අඩු කර ගැනීමේ හැකියාවක් පාලකයන් සතුව ඇත. රටේ වැඩ කරන ජනතාවගේ පවත්නා අර්බුදවලට විසඳුම් දීමේ හැකියාවක් ආණ්ඩුවලට ඇත.
හර්ෂණ තුෂාර සිල්වා
27.04.16