පුංචි දරුවන්ට අවුරුද්ද කියන්නේ පුදුමාකාර අත්දැකීමක්. උන්ට ඉස්කෝලේ නිවාඩු ලැබෙනකන් බලාගෙන ඉන්නේ. ඒ අගෝස්තු, දෙසැම්බර් නිවාඩුව වඩා අලුත් අවුරුදු නිවාඩුව උන්ට මාර අත්දැකීමක්. කතෝලික දරුවන්ට දෙසැම්බර් මාසේත්, මුස්ලිම් දරුවන්ට රාමසාන් මාසයත්, ඔය විදියට ඔය නිවාඩු කාලවලට විවිධාකාර අත්දැකීම් තියෙනවා. කැවුම්, කොකිස් කන්න කතෝලික, මුස්ලිම් යාලුවෝ මට ඕනෑ තරම් ඉන්නවා. අප්‍රේල් නිවාඩු සති දෙකක් කරලා අපි කරන්නේ මොක්ක ද ? මේ පුංචි දරුවන්ට ගමකට ගිහින් එන්න නිදහසක් වෙලාවක් නැහැ. අප්‍රේල් නිවාඩුවෙනුත් බාගයක් අමතර පන්තිවලට. මේ කරුණට වඩා වෙනත් දෙයක් ගැනයි, මම කියන්න යන්නේ.
රටේ බොහෝමයක් අවුරුද්ද සමරනකොට, බොහෝමයකට ඒ අවුරුද්ද සමරන්න වෙන්නේ නැහැ. පිරිසක්, වීදිවල හිඟ කනවා. පිරිසක් හිර ගෙවල්වල, තවත් පිරිසක් ඉස්පිරිතාලවල ඇඳන් උඩ, තවත් පිරිසක් ඇඳන් උඩ ඉන්න අයට සාත්තු සප්පායම් කරනවා. බෙහෙත් දෙනවා. නර්ස්ලා, දොස්තරලා, හමුදාවේ, පොලිසියේ පිරිස් මේ විදියට අවුරුද්ද සමරන්න අවස්ථාවක් ලැබෙන්නේ නැති බොහෝමයක් දෙනා ඉන්නවා.
අපේ බහුතරයක් මිනිස්සු ඇඳුම් ගන්නේ මහාපරිමාණ සාප්පුවලට. එය මටත් බොහෝමයකටත් අදාළ කරුණක්. ඉඳලා හිටලා අපි පොඩි කඩවලටත් යනවා. ඒ අතරේ ඔය ඇඳුම් පැළඳුම්, නැතිනම්, කෙසෙල් ඇවරි ටික, ගස්ලබු ටික, නැත්නම්, එළවළු සෙල්ලම් බඩු ඔය ටික විකුණලා, අලුත් අවුරුද්දට මොකක් හරි දෙයක් කරගන්න බලන පුංචි වෙළෙන්ඳෝ ඉන්නවා. අපේ මිනිස්සු ඒ ඒ තැන්වලින් බඩු නොගන්න හේතු කිහිපයක් තියෙනවා. එකක් බඩුවල ගුණාත්මකභාවය. ඒ වගේම ඒ තැන්වල සමහර මිනිස්සුන්ගේ හැසිරීම.
මේ ඔක්කොම පැත්තකින් තියමු. අපි දන්නව කොටසක් හොඳට අවුරුද්ද සමරනකොට තවත් පිරිසක් අමාරුවෙන් පුංචි පුංචි දේවල් ටිකක් එකතු කරගෙන අවුරුද්ද සමරනවා. ඒත් එක්කම අවුරුද්ද කොයිම විදියකටත් සමරගන්න බැරි, අවුරුද්ද සමරන මිනිස්සු, දිහා බලාගෙන හූල්ලන, මිනිස්සු කොච්චර ඉන්නව ද ? මේ හූල්ලන එක වැරැදි විදියට තේරුම් නොගන්නවා නම් මම කැමැතියි. අනිත් දරුවෝ අලුත් ඇඳුම් ඇඳගෙන යද්දි, ඒ ගැන දුක් විඳින දරුවෝ, දරුවන්ට අලුත් ඇඳුමක් අරන් දෙන්න බැරි වුණ නිසා, හිත පිච්චි පිච්චි ඉන්න අම්මලා තාත්තලා කොච්චර ඉන්නවා ද?
ඒ නිසා අපි සමරන අවුරුද්දට යහපත් අර්ථයක් දෙන්න පුළුවන්නම් වටිනවා. බොන නොබන එක එක පුද්ගලයාගේ කැමැත්ත මත තීරණය වෙන දෙයක්. මස් කනවද නැද්ද කියන එක තීරණය කරන්න ඕනේ තමන්. ඒත් තමන්ගේ කැමැත්ත අන් අයට බාධාවක් නොවිය යුතුයි. තමන් අවුරුද්ද සමරද්දි, තවත් බොහෝමයක් පිරිස් ඒ වාසනාව නැතිව දුක් වෙන බව හිතා තියාගෙන, අර්ථයක්, සතුටක් තියෙන විදියට අවුරුද්ද සමරන්න පුළුවන් බොහොමයක් වටිනවා කියලා මම විශ්වාස කරනවා.
ඔබ රතිඤ්ඤා පත්තු කරද්දි, ඉන් ගෙදර හුරතලේට ඇති කරන බල්ලෝ කොච්චර අපහසුතාවකට පත් වෙනවද කියන සරල තේරුම් ගන්න පුළුවන්නම්, අපිට මේ සමාජය යහපත් තැනක් කරන එච්චර අමාරු දෙයක් නෙමෙයි. මොකද ඒ සත්තුන්ට, එයින් දැනෙන්නේ මොකක්ද කියලා කියාගන්න වත් හැකියාවක් නැහැ. අපේ බල්ලා පුටුව යට හැංඟෙනවා. එයින් තේරුම්ගන්න පුළුවන් එකම දෙය, රතිඤ්ඤා නිසා, උන්ට යම්කිසි අපහසුතාවක් ඇති වෙනවා කියන දෙයයි. ඒ නිසා තමන්ගේ සතුට අනුන්ට හිරි හැරයක් නොවන අලුත් අවුරුද්දක් කරගන්න. සමහර දේවල් සමහර වෙලාවට ප්‍රායෝගික නොවෙන්න පුළුවන්. ඒත් හැකි සෑම අවස්ථාවකම තමන්ගේ සතුට අනිත් අයට හිරි හැරයක් නොවෙන්න වගා බලාගන්න, ඒ වගේම තමන් සතුටු වෙද්දි තවත් පිරිසක් දුකින් ඉන්න බවත් මතක තියාගන්න. ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක්. ජයෙන් ජය.
හර්ෂණ තුෂාර සිල්වා
2016.04.12
No comments:
Post a Comment