Saturday, December 31, 2016

කාලය ගෙවී යන්නේ කාටත් නොදැනීය. උදා වී ඇත්තේ වසරක් ගෙවී නව එළැඹෙන මොහොතකි. වසරක් තිස්සේ අප කළ කී දේවල් දැන් අතීතයට එක්ව ගොසිනි. ගෙවී යන වසරේදී අප හොඳ දේ මෙන්ම නරක දේ ද කරන්නට ඇත. වැරැදීම් වන්නට ඇත. සාර්ථක මෙන්ම අසාර්ථක ද වන්නට ඇත. අසාර්ථක වන්නට ඔබ උත්සහ නොකරන්නට ද ඇත.
ජීවිතය ඔහේ ගෙවා දැමිය යුත්තක් නොව, විඳිය යුත්තකි. ජීවිතය හිමිවීම්වලින් හා අහිමිවීම්වලින් පිරුණු නවාතැන්පළකි. එබැවින් හිමිවීම් මධ්‍යයේ සතුටු වන්නටත් අහිමිවීම් හමුවේ නොසැලී සිටින්නටත් අපි උගත යුතුය. ජීවිතයේ කොතෙකුත් බාධක පැමිණියද ඒවාට සාර්ථකව මුහුණ දෙමින් ඉදිරියට ගමන් කළ යුතුය. බාධක පැමිණිවිට කාලයට දීම විටෙක නුවණක්කාර තීරණයක් වන අතර තවත් විටෙක එය සාර්ථක නොවන්නට පුළුවන. නිහඬ බව සෑම විටම පිළිතුරක් වන්නේ ද නැත. එබැවින් ඒ ඒ ගැටලුවලට ඊට ආවේණික වූ විසඳුම් ඇත. ජීවිතයේ මුණ ගැසෙන ප්‍රශ්නවලට නොසැලී මුහුණ දිය යුතුය.
අප ජීවත් වන්නේ ඉතාමත් කෙටි කාලයකි. ඊළඟ පැයේදී කුමක් වනු ඇතැයි අපි කිසිවකුත් නොදනිමු. අවුරුදු 70ක් 80ක් ජීවත් වුවද එකී කාලයේද තමාටවත් කිසිවක් කර නොගත් මිනිසුන් අපේ ජීවිතවලදී අපට හමුවෙයි. මේ ජීවත්වන කාලයේදී එකිනෙකා හා කා කොටා ගැනීමෙන් කිසිවකුටත් පලක් වන්නේ නැත. රණ්ඩු සරුවල් ඇති කරගැනීමෙන් කිසිදු ප්‍රතිලාභයක් ඇති වන්නේ නැත. ඔබට හමුවන සෑම පුද්ගලයකුටම සිනහවකින් සංග්‍රහ කරන්න. ඔබට හමුවන පුද්ගලයකුටම සිතුවිල්ලකින් හෝ උපකාරයක් කරන්න. 
ඉපිද අධ්‍යාපනය ලබා රැකියාවක් කර විවාහයක් කරගෙන දරු මල්ලන් තනා මියයෑම හුදෙක් සියලු දෙනාම නියැලෙන වෘත්තියකි. ඉන් මිදී සමාජයට රටට යමක් කරන්නට උත්සහයක් ගන්න. අවම වශයෙන් කවියක් ලියන්න. පොතක් ලියන්න. ගමේ සමාජ කටයුත්තකට දායක වන්න. අපි වසරින් වසර වයසට යන්නෙමු. මියයන තෙක් ඉහත කී රැකියාවේ නිරත වන්නන් නොවන්නට අපි උත්සහ කරමු. ජීවන අරගලය හුදෙක් තමා වටා වන පිරිසකට කේන්ද්‍ර නොකරන්න. ඔබේ සිතුවිල්ලක වෙනස සමාජ යහපතට හේතුවන්නට පුළුවන.
ඉඳින් තව මිනිත්තු කිහිපයකින් නව වසර උදාවනු ඇත. මේ වසරට වඩා යහපත් වසරක් ඔබට ප්‍රාර්ථනා කරන්නෙමි. පොතක් පතක් කියවන්න. චිත්‍රපටයක් බලන්න. මිතුරන් සමඟ කාලය ගත කරන්න. ගෙදරට නාකි වීමෙන් අපට අත්වන සෙතක් නැත. සාධාරණය වෙනුවෙන් පෙනී සිටින්න. සත්‍ය දේ තමන් විශ්වාස දේ වෙනුවෙන් පෙනී සිටින්න. තමන් විශ්වාස කරන දේ වෙනුවෙන් නිතරම වෙහෙස වන්න. තමන්ට අවංක වන්න. හෘදයසාක්ෂියට එකඟව කටයුතු කරන්න. 
අපේ ජීවිතවල සියල්ල පාලනය කළ හැක්කේ අපට මිස අන් කිසිවකුටත් නොවන බව අප තේරුම්ගත යුතුය. සෑම විටම වෙනසක් කරන්න. යමක් ඉගෙන ගන්න. මිනිසුන් හා සිනහා වෙන්න. ඔබට කිසිතු නොලැබෙනු ඇත. එහෙත් මරණ මංචකයේදී ඔබට අන් සියලු දෙනාට වඩා සතුටට පත්වනු ඇත.
කනත්තේ මළ සිරුරු අතර වැළලී සිටින ධනවත්ම පුද්ගලයා වීමෙන් මට කිසිදු පලක් නැත. නින්දට යනවිට අද මම අපූරු දෙයක් කළා යන සිතුවිල්ල මට ඒ සියලු ධනයට වඩා වටින්නේය.....

හර්ෂණ තුෂාර සිල්වා
2016.12.31

Thursday, December 15, 2016

ඔවුන් ඔබ සොයා ඒවි

නාවික හමුදාපතිවරයා කළ පහරදීම සාධාරණීය කරන්නට බොහෝ පාර්ශව උත්සහ දරමින් සිටින බවත් තවත් පිරිසක් නිහඬව සිටින බවත් පැහැදිලිව පෙනෙන්නට ඇත. තවත් පිරිසක් මාධ්‍යවේදියට පහරදීම විවේචනය කරන පිරිස්වලට අපහාසයට උපහාසයට ලක් කරන බව ද කිව යුතුයි.
නැවත නැවතත් කිව යුතුව ඇත්තේ මාධ්‍යවේදියකු හෝ වෙනයම් ඕනෑම පුද්ගලයකු හෝ වේවා කිසිවකුගේ අඩත්තේට්ටම්වලට පහරකෑම්වලට ලක් නොවිය යුතුය. 

ඕනෑම සිදුවීමක දෙපැත්තක් හෝ පැතිකඩ කිහිපයක් ඇති බව අප තේරුම් ගත යුතු කරුණකි. හම්බන්තොට වරාය සිදුවීමේ දී මාධ්‍යවේදියා වැරැදිද නිවැරැදිද යන්න පසුවට තබමු.මාධ්‍යවේදියා වැරැදි යැයි උපකල්පනය කළ ද නාවික හමුදාපතිවරයා වේවා, වෙන ඕනෑම පුද්ගලයකු වේවා තවත් පුද්ගලයකුට පහරදීමේ අයිතියක් ඔහුට හිමිවන්නේ නැත. 

මෙම සිදුවීමත් සමඟ මතු වූ තවත් කරුණක් වූයේ මාධ්‍යවේදීන්ට ඕනෑම තැනකට යා හැකි ද යන්නයි. මාධ්‍යවේදීන්ට පමණක් නොව, රටේ ඉහළම නිලධාරීන්ට පවා අවසරයකින් තොරව යා නොහැකි ස්ථාන ඇති බව අප පිළිගත යුතු සත්‍යයකි. එසේ වුවද යම්කිසි සිදුවීමකදී එසේ අවසර ගෙන යෑම ප්‍රායෝගික නොවන්නක් බව ද පිළිගත යුත්තකි. නාවික හමුදාවේ හෝ වරායේ හෝ වෙනයම් සංවේදී, ආරක්ෂිත ස්ථානයක ගින්නක්, හදිසි අනතුරක් සිදු වූ විට මාධ්‍යවේදීන් හෝ ගිලන් රථ හෝ සෞඛ්‍ය සේවකයන් හෝ යා යුත්තේ අදාළ අවසරය ගෙන ද යන්න වරායට ඇතුළු වීමට අවසර ගත යුතු බව පවසන පිරිස් සිතා බැලිය යුතුය. 
මෙම සිදුවීමත් සමඟ මාධ්‍යවේදීන් බෝතල් පත්තකරුවන් යැයි හඳුන්වා දෙන්නට බොහෝ පිරිස් උත්සහ ගෙන තිබිණි. කීමට ඇති ප්‍රමුඛතම කරුණ වන්නේ ඕනෑම වෘත්තීයකට වෘත්තීය ගෞරවය යන්න තිබිය යුතුය යන්නයි. එය වෛද්‍යවරයාගේ සිට කසල ශෝධකයා දක්වාම හිමි විය යුත්තකි. තමන් නාවික හමුදාවේ හෝ වෙනත් වෘත්තීයක වූ පමණින් අනෙක් වෘත්තීන් පහළ දැමීම තමාගේ තත්ත්වය පෙන්නුම් කිරීමක් විනා, අනෙක් වෘත්තීය පහතට වැටීමක් නොවන බව තේරුම් ගත යුතුය. එම නිසා ඒ ඒ වෘත්තීන්ට හිමි ගෞරවය දීමෙන් තමාට ද ඒ වෘත්තීය ගෞරවය හිමි වන බවත්, එසේ නොකිරීමෙන්, ස්වභාවික දහම මත, තමාගේ වෘත්තීය කෙදිනක හෝ හෑල්ලුවට ලක්වන සිහි තබා ගන්නවා නම් අගනේය. වෘත්තීයක් හෑල්ලුවට ලක් කිරීම සම්බන්ධයෙන් මෙයැයි කියා දඬුවම් දෙන්නට හෝ චෝදනා කරන්නට අපට හැකියාවක් නැත. කොතරම් විද්‍යාව තාක්ෂණය තිබුණ ද සොබාදහම නීතියක් බව අප අමතක කළ යුතු නැත. 

එමෙන්ම මතක් කළ යුතු තවත් කරුණකි. මාධ්‍ය කිරි පැකට් එකේ හොරකම ගැන කතා කරන විට කෝටි ගණනින් සිදුවන හොරකම් වාර්තා නොකරන බවට වන චෝදනාවයි. මාධ්‍ය හා මාධ්‍යවේදීන් හොරකම්, වංචා, අල්ලස් දූෂණ වාර්තා කිරීමට සූදානමින් සිටියි. වංචා, දූෂණ ඕනෑ තරම් අනාවරණය කරන්නට මාධ්‍ය ඊයේ කටයුතු කර තිබූ බවට ඕනෑ තරම් සාක්ෂ්‍ය ඇත. එය අදත් හෙටත් වනු ඇත. මරණ තර්ජන මධ්‍යයේ ජීවිත අවදානම් මධ්‍යයේ බොහෝ මාධ්‍යවේදීන් හොරකම් වංචා දූෂණ අනාවරණය කර ඇත. එමෙන්ම මනුස්සයෙක්ට පහරදීම සහ හොරකම්, වංචා, දූෂණ අනාවරණය කිරීම කිසිසේත්ම එක තැන තැබිය නොහැකි කරුණු දෙකක් බව ද අවබෝධ කරගත යුත්තකි. හොරකම් අනාවරණය කිරීම ද කොතරම් සොරකමක් සිදු වූ බව දැන සිටියත්, ඒ ගැන වාර්තා කිරීමට නිශ්චිත හේතු සාධක තිබිය යුතුයි.

අනෙක් අතට ‘මම මීඩියා’ යැයි කියාගෙන හනිමූන්වලට හෝ ගෙවල්වලට පනිනවා යැයි බොළඳ දෙකයි පනහේ තර්ක ගෙනෙන අයට ද කිව යුත්තේ, මම මීඩියා, මම නේවි කියාගෙන නිකං ගෙවල්වලට නොපනින බවය. ඒවා ප්‍රායෝගිකව සිදු නොවන දේවල්ය. නිවසකට මම මාධ්‍යයෙන් කියා පැමිණෙන්නේ නැත. එසේ පැමිණියේ නම්, නිවැසියන්ට ඇයිදැයි ප්‍රශ්න කළ හැකිය. අවශ්‍ය නම්, පොලිසියකට පැමිණිලි කළ හැකිය. නිවැසියන්ට කරදරයක් කරන්නට ගියේ නම්, එතැන ගැටුමකි. එයත් නාවික හමුදාපතිවරයා මම මාධ්‍යවේදියකු යැයි පැවැසූ විට ඔහුට පහරදීමයි කිසිසේත් සමාන කළ නොහැකි සිදුවීම් දෙකකි. 

අනෙක් කරුණ නාවික හමුදාපතිවරයා ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ නියෝගයක් ඉටු කළ බවය. එසේ ජනමාධ්‍යවේදීන්ට, රටේ පුරවැසියන්ට පහර දෙන්නට අණ නොදෙන රටක් බිහි කිරීම අප සියලු දෙනාගේ වගකීමය. පුරවැසියන්ට, මාධ්‍යවේදීන්ට, සිසුන්ට පහර දෙන්නට අණ කළ විට, අහිංසක මිනිස්සුන්ට පහර දෙන්නට බැහැයි කිව හැකි නිලධාරීන් රටක් බිහි කිරීම අප සියලු දෙනාගේ වගකීමකි, යුතුකමකි. මා දන්නා පරිදි, අසා ඇති පරිදි ජෙනරාල් කොබ්බෑකඩුව එසේ කළ නිලධරයෙකි. එක රැයින් එවැනි රටක් බිහි වන්නේ නැත. එබවින් ඒ සඳහා සියලු දෙනා එකමුතුව විය යුතුය. ඒ අතරම මේ ආණ්ඩුව හමුදාව හෑල්ලුවට ලක් කිරීමේ උත්සහයක නිරත වන බව තවත් පිරිසක් කියති. ඔවුන්ට මතක් කළ යුතු සිදුවීම් කිහිපයකි. රතු පස්වල, හලාවත හා කටුනායක දී යුද හමුදාව නිරායුද සිවිල් වැසියන්ට පහර දුන්නේය. වෙඩි තැබුවේය. එවිට හමුදාව හෑල්ලුවට ලක් නොවුණේ ද ?

නැවත නැවතත් කිව යුත්තේ නිහඬ බව සෑම විටම පිළිතුරක් නොවන්නේය. ආණ්ඩුවක, දේශපාලකයන්ගේ අණ දීම් මධ්‍යයේ මාධ්‍යවේදීන්ට සිවිල් වැසියන්ට පහරදීම කිසි ලෙසකින් අනුමත කළ නොහැක. අද මාධ්‍යවේදියකු රාජ්‍ය ත්‍රස්තවාදයේ ගොදුරක් වූයේ නම්, ආණ්ඩුවක මැරකම්වලට හෙට ඔබ ගොදුරු විය හැක. ඔබ නිහඬව සිටින්න. එහෙත් ඔවුන් ඔබ සොයා එන බව අමතක නොකරන්න. 

කාටූනය අවන්ත ආටිගල ගෙනි..  https://www.facebook.com/Awantha.artigala/?fref=ts

හර්ෂණ තුෂාර සිල්වා
15.12.16

Monday, December 12, 2016

ආචාරධර්ම හා පහරදීම

නාවික හමුදාපතිවරයාගේ සිදුවීම් සම්බන්ධයෙන් මේ වනවිට බොහෝ පාර්ශව අදහස් දැක්වීමට පටන් ගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන් බෙදීම් ද හටගෙන ඇත. එපමණක් නොව එම සිදුවීම් දේශපාලනීකරණය වීමක් ද සිදුව ඇත. නැව් නවත්වාගෙන සිටීම ආදී කරුණු පසෙකින් තැබූ විට වැඩිම අවධානයක් යොමුවූයේ මාධ්‍යවේදියකු පහරදුන් දුන් සිදුවීමය.

ප්‍රජාතන්ත්‍රවාදය, මානුෂීයත්වය අගයන රටක කිසිදු ලෙසකින් තවත් පුද්ගලයකුට හිංසා කිරීමේ අයිතියක් තවත් පුරවැසියකුට හිමි වන්නේ නැත. එය ජනාධිපතිවරයාගේ සිට මාධ්‍යවේදියා, ත්‍රිවිධ හමුදාපතිවරයා ඇතුළු රටේ සියලු පුරවැසියන්ට අදාළය. රටක පුරවැසියන්ට නිදහසේ ජීවත්වීමේ අයිතිය හිමිය. ඒ නිදහස අන් පුරුවැසියන්ට ද හිමි බව අප අවබෝධ කරගත යුතුය. 

ජනමාධ්‍යවේදීන්ට රජය හැඳුනුම්පතක් දී ඇත. එහි සරල අදහස නම් සිදුවීම් හෝ යම් කිසිවක් වාර්තා කිරීමට යෑමේදී හඳුනාගැනීම සඳහාය. එම හැඳුනුම්පත හුදෙක් ජඩවැඩ කිරීමට එය පෙන්වා විශේෂ වරප්‍රසාද ගැනීමට නොව, හඳුනාගැනීමේ පහසුව උදෙසාය. අනෙක් අතට තම රාජකාරිය බාධාවකින් තොරව කරගෙන යෑමටය. එය ජනමාධ්‍යවේදීන්ට පමණක් නොව බොහෝ රාජ්‍ය ආයතන කරන දෙයකි. විශ්ව විද්‍යාල සිසුන්ට පවා හැඳුනුම්පතක් නිකුත් කරන්නේ හඳුනාගැනීම සහ ඔවුන්ගේ අධ්‍යාපනික කටයුතුවල පහසුව උදෙසාය. හැඳුනුම්පතක වටිනාකම අවතක්සේරු නොකළ යුතුය. නාවික හමුදාවේ නිලධරයන්ට සාමාජිකයන්ට පවා හැඳුනුම්පතක් ඇත. 

ජනමාධ්‍යවේදීන්ගේ සීමාව කුමක් ද ? ජනමාධ්‍ය ආචාරධර්ම මොනවාද ? යන්න පිළිබඳව තවමත් ලංකාවේ නිශ්චිත පැහැදිලි කිරීමක් අප සතුව. ඒ සඳහා ඉගැන්වීමේ ක්‍රියාවලියක් හෝ බඳවා ගැනීමේ ක්‍රියාවලියක් අප සතුව. කොළඹ, කැලණිය හා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේත්, ජනමාධ්‍ය විද්‍යාලයෙත් ඒ සඳහ ඩිප්ලෝම් හා ඒ ආශ්‍රිත ඉගැන්වීම් ක්‍රම තිබුණ ද ඒ සියල්ල සඳහා නිසි පිළිවෙළක් නොමැත. මෙරට ජනමාධ්‍යයේ වෘත්තීයභාවය පිළිබඳ නොවිසිඳුණු අර්බුද රැසකි. උපාධියකින් ජනමාධ්‍යවේදියකු වීම තීරණය කිරීමේ හැකියාවක් නැත. සිද්ධාන්තවලින් පමණක් ජනමාධ්‍යවේදීන් බිහිවන්නේ නැත. ඒ සඳහා කදිම උදාහරණය මාර්ටින් වික්‍රමසිංහය. 

විවිධ මාධ්‍ය තම මාධ්‍යවේදියා යැයි හැඳින්වීම අනෙක් කරුණය. බොහෝ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් ආයතන කිහිපයකට තම සේවය සපයයි. උදාහරණයකට ලංකාදීපයට ලියන ප්‍රාදේශීය වෙනත් නමකින් හෝ එම නමින්ම මව්බිම, දිවයින හෝ වෙනයම් හෝ පුවත්පතකට පුවත් සපයයි. රූපවාහිනි මාධ්‍යවේදීන් ද එසේය. ස්වර්ණවාහිනියට පුවත් සපයන්නා හිරු පුවත් සේවයට ද පුවත් සපයයි. 

අනෙක් කරුණ පහර කෑමට ලක්වූ මාධ්‍යවේදියා බෝතල් පත්තරකාරයකු හැඳින්වීමය. පුද්ගලයන්ට අපහාස කිරීම අපේ රටේ සුලබ කරුණක් බවට පත්ව ඇත. එවැන්නක් කෙතරම් සුදුසුද යන්න සිතා බැලිය යුතුය. නාවික හමුදාපතිවරයා හෝ එම මාධ්‍යවේදියා එම නම්වලින් හෝ තනතුරුවලින් හැඳින්වීම විනා ඔවුන්ට අපහාස වන අයුරින් කටයුතු කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැක. එපමණක් නොව උපහාසය හා අපහාසය ද අප තෝරා බේරා ගත යුතුය.

ඒ සියල්ල පසුබ්ම කතාය. ඔලිවර් වෙන්ඞ්වෙල් හෝම්ස් (කනිෂ්ඨ) කියූ පරිදි යමකුගේ නිදහස අනෙක නාසය ආරම්භ වන තැනින් අවසන් වන්නේය. එබැවින් තවකකුගේ නිදහස තවකකුට බාධාවක් නොවිය යුතුය. එබැවින් නාවික හමුදාපතිවරයා කොතරම් සුදුසුකම් ලද්දෙක් වුවද ඔහුට මාධ්‍යවේදියකුට හෝ සාමාන්‍ය වැසියකු හෝ වේවා කිසිවකුට පහර දීමේ අයිතියක් හෝ බලයක් හෝ නොමැත. මේ පහර දීමා හෙළා නොදැකීමෙන් මෙම පහරදීමට එරෙහිව නීතිමය පියවරක් නොගැනීමෙන් වනුයේ නාවික හමුදාපතිවරයත් නාවික හමුදාවත් තමන් නිර්දෝෂී බවක් ආරෝපණය කරගැනීමක් අන් යමක් නොවන බව කිව යුතුය. එම නිසා මේ සම්බන්ධයෙන් නීතිමය පියවර ගත යුතුමය. 

අනෙක් කරුණ ආචාර්ය රංග කලන්සූරිය මහතා ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ජෙනරාල්වරයා වශයෙන් නිකුත් කරන ලද නිවේදනයයි. ආචාර්ය රංග කලන්සූරිය යනු ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨයකි. දැනුම ඇත්තෙකි. අද සිටින බොහෝ ජනමාධ්‍යවේදීන්ගේ ගුරුවරයාය. බොහෝ පිරිසකගේ ගෞරවයට පාත්‍ර වූවෙකි. ඔහු එම තනතුරට පත්වූ විට අප ද ඇතුළු බොහෝ පාර්ශව ඔහුගෙන් වැඩක් ගත යුතු බව කීහ. ඇත්තය. එහෙත් මේ සිදුවීමේ දී ඔහු ජනමාධ්‍ය ගුරුවරයකුට වන්නට ගොස් හාත් පොළේ ගා ගෙන ඇති බව කිව යුතුය. එය ඔහු දන්නවා ඇතිවාට සැක නැත. එම නිසා වැරැදි නිවැරැදි කරගත යුතුය. ආචාර්ය රංග කලන්සූරිය තමා සිටින තැන තමාගේ ධුරය ගැන දන්නවා ඇති බව අප කිව යුතු නැත. ඔහු ඔහුගේ වගකීම් නොදන්නවා නොවිය හැක. එබැවින් ඔහු ජනමාධ්‍ය ආචාරධර්ම ගැන කීමට පෙර පහර කෑ මාධ්‍යවේදියා වෙනුවෙන් පෙනි සිටිමින් ඒ වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා පියවර ගත යුතුය.

ජනමාධ්‍යවේදීන් පහර කන රටක ජනමාධ්‍ය ආචාරධර්ම ගැන කීමෙන් පලක් නැත. අනෙක් අතට මේ පහර දීම වන්නේ යහපාලන මූලධර්ම ආරක්ෂා කරන බව පවසමින් ජනමාධ්‍යවේදීන් ආරක්ෂා කරන බව පවසමින්  ජනමාධ්‍ය නිදහස ආරක්ෂා කරන බව පවසමින් බලයට පත්වූ ජනාධිපතිවරයකු හා ආණ්ඩුවකට පාලනය පවතින අවස්ථාවකය. 
මේ සියලු සිදුවීම් මධ්‍යයයේ මාධ්‍යවේදියාට පහර දීම කිසිසේත් අනුමත කළ නොහැක බව නැවත නැවතත් කිව යුතුය. ඊට එරෙහිව පියවර ගත යුතුය. මාධ්‍යවේදියකුට කළ පහර දීම හෙට සමාජයේ අහිංසක පුරුවැසියකට අත්වන්නට ඉඩ ඇත. එය නැවත නැවත කිව යුතුය. නිහඬ බව හොඳම පිළිතුර යැයි කීවද නිහඬ බව සෑම විටම ප්‍රශ්නවලට පිළිතුරක් නොවන්නේය. 

මාර්ටින් නිමෝලර් පියතුමෝ මෙසේ ලියූහ.


“පළමුව ඔවුහු සමාජවාදීන් සොයා ආහ, මම හඬ නොනැගුවෙමි.
මක්නිසාදයත් මා සමාජවාදියකු නොවූ හෙයිනි,

ඉන් අනතුරුව ඔවුහු වෘත්තීය සමිති නියෝජිතයන් සොයා ආහ, මම හඬ නොනැගුවෙමි.
මක්නිසාදයත් මා වෘත්තීය සමිති නියෝජිතයකු නොවූ හෙයිනි,

ඉන් අනතුරුව ඔවුහු යුදෙව්වන් සොයා ආහ, මම හඬ නොනැගුවෙමි.
මක්නිසාදයත් මා යුදෙව්වකු නොවූ හෙයිනි,

ඉන් අනතුරුව ඔවුහු හා සොයා ආහ, එහෙත් ඒ අවස්ථාවේ මා වෙනුවෙන් කිසිවෙක් නොවීය..


හර්ෂණ තුෂාර සිල්වා
12.12.16




Friday, December 2, 2016

පීඩිතයෝ සහ නිශ්ශබ්දතාව 2

බස් රථ වැඩ වර්ජනය සම්බන්ධයෙන් දිනය මුළුල්ලේම විවිධ අදහස් දැක්වීම් සිදුවිණි. ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කළා නම්, වැඩි පක්ෂපාතීත්වය වූයේ දඩය තවදුරටත් ක්‍රියාත්මක කරන ලෙසටය. අනෙක් කරුණ රාජ්‍ය ප්‍රවාහන සේවය ශක්තිමත් කිරීමටය. දඩය වැඩි කිරීම සම්බන්ධයෙන් මානුෂීය පැතිකඩකින් ද බැලිය යුතු වෙමු. 
රුපියල් විසි පන්දහසක දඩයක් යනු මසක වැටුපකි. එබැවින් ඒ තත්ත්වයෙන් ක්‍රමානුකූලව ගොඩනැගිය යුත්තකි. දඩ මුදල විසි පන්දහසේම තැබිය යුතු යැයි අප කොතරම් පැවසුවද, එය ප්‍රායෝගික තත්ත්වයක් නොවන්නේය. විසි පන්දහසේ දඩය එසේ තැබිය හැකි ඉතා හොඳය. එහෙත් ක්‍රමයෙන් සංශෝධනය කළ යුතුය. අපේ රටේ මාර්ග පද්ධතිය, මාර්ග සංඥා ආදිය තවමත් නිසි පරිදි සංවර්ධනය වී නැත. එම නිසා ඒ සඳහා පුළුල් ප්‍රතිසංස්කරණයක් අවශ්‍යය.
ශ්‍රී ලංගම බස් රථ යොදා ගැනීම සම්බන්ධයෙන් බොහෝ පිරිසක් තම සතුට ප්‍රකාශ කර තිබිණි. ඒ අනුව පුද්ගලික ප්‍රවාහන සේවය පවතින විටම හෝ, පුද්ගලික බස් රථ සියල්ල රජයට පවත්වා ගනිමින් යහපත් හා ගුණාත්මකභාවයෙන් යුතු මගී ප්‍රවාහන ක්‍රමවේදයක් සැකසීම ආණ්ඩුවේ වගකීමය. 
පොදු මගී ප්‍රවාහන සේවය ගුණාත්මක තත්ත්වයක් දක්වා ඉහළ නැංවීම කළ යුත්තකි. රියදුරන් කොන්දොස්තවරුන් නිසි ලෙස පුහුණු කර බස් රථ ධාවනය සඳහා යොමු කිරීම ඒ සඳහා අවසර පත්‍රයක් දීම කළ යුත්තකි. 
බස් රථ තුළ ගුණාත්මකභාවය වැඩි කිරීම අනෙක් කරුණය. බස් රථවල ආසන, අර්ධ සුඛෝපභෝගී සහ සුඛෝපභෝගී බස් රථ නම් කරන ප්‍රමිතිය, තත්ත්ව ආදී සහිත ක්‍රමවේදයක් සැකසීම කළ යුතු යෝජනා ලෙස පෙන්වා දිය හැකිය. 
අනෙක් අතට මේ වර්ජනය සම්බන්ධයෙන් පිටස්තර සමාජයේ කෙසේ වෙතත් සමාජ මාධ්‍ය තුළ සංවාදයක් ඇති ව තිබිණි. එය යහපත් ලක්ෂණයකි. කිසිදු වැදගත් කමක් නොමැති දේ වෙනුවට මෙවැනි දේ පිළිබඳව, ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් මහ මගදී අප මුහුණ දෙන අර්බුද සම්බන්ධයෙන් නිරන්තරයෙන් සංවාද ඇතිවීම අගය කළ යුත්තකි. පුද්ගල අරමුණුවලින් තොරව එවැනි සංවාදවලට අප කුහකත්වයෙන් පක්ෂපාතිත්වයෙන් තොරව සම්බන්ධ වෙමින් එම අරගල ඉදිරියට ගෙන යා යුතුය.
මේ වැඩ වර්ජනයෙන් මේ ඇති වූ සංවාදයෙන් දේශපාලනඥයන්ට හෝ වෙනත් පටු පාර්ශවලට වාසි සලසා ගැනීමට ඉඩ නොදී ජනතා හිතවාදී ප්‍රවාහන පද්ධතියක් ඇති කිරීම සඳහා මේ අරගලය ගෙන යා යුතුය. එය හෙටින් අවසන් නොවිය යුතුය. ගුණාත්මකභාවයෙන් යුතු ප්‍රවාහන පද්ධතියක් සතියකින් බිහි වන්නේ නැති බව ද සිහි තබා ගත යුතුය.

හර්ෂණ තුෂාර සිල්වා
02.01.16



Thursday, December 1, 2016

පීඩිතයෝ සහ නිශ්ශබ්දතාව




පහත් ජලය ගලා බැස යන්නා සේ මෙරට සෑම විටම පීඩාවට පත්වන්නේ සාමාන්‍ය ජන සමාජයය. ආයතනවල පහතම සේවක කොටසය. පාලකයාගේ සිට වෘත්තීය සමිති ක්‍රියාකාරීත්වය දක්වා ගනු ලබන සෑම ක්‍රියාමාර්ගයකදීම එය එසේය.

මෙවර අයවැය ද පසුගය වර අයවැය තරම් නොවූවත්, ජනතා විරෝධයත්, වෘත්තීය සමිති විරෝධයක් හමුවේ හැල හැප්පීම්වලට ලක්වෙමින් පවතියි.

දෙදහස් පන්සියයේ තිබූ දඩය විසි පන්දාහ කළ බව පවසමින් බස් සංගම් කිහිපයක් ද, විශ්‍රාම වැටුප් ආදී කරුණු කිහිපයක් මුල් කරගිනිමින් දුම්රිය වෘත්තීය සමිති ද කරුණු පහක් මුල් කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන් ඇතුළු වෛද්‍යවරු ද උද්ඝෝෂණවල  නිරත වූ අතර නිරත වීමට නියමිතය.

මේ සෑම ක්‍රියාවකින්ම පීඩාවට පත්වන්නේ ජනතාවය. වෘත්තීය සමිති සියයට සියයක් නිවැරැදි බවක් මින් අදහස් වන්නේ නැත. එහෙත් වර්ජන අවසන් වන ආකාරය, වර්ජන කරන ආකාරය, කාලයක් නොපැවැති වර්ජන එකවර ක්‍රියාත්මක වීම, කාලයක් ක්‍රියාත්මක වූ වර්ජන මේ ආණ්ඩුව යටතේ නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම මේ සියල්ල යට කොන්ත්‍රාත් සහ එකිනෙකාගේ අරමුණු ඉටු කරන්නේ යන සැකය මිස අන් කවරක් වත් හැඟී යන්නේ නැත. 

බස් රථ සංගම් ප්‍රමුඛව ප්‍රවාහන ක්ෂේත්‍රයේ ප්‍රධාන සටන් පාඨයක් වී ඇත්තේ මාර්ග නීති උල්ලංඝනය කිරීම සඳහා පනවා ඇති විසි පන්දහසේ දඩයය. 

මෙරට රියදුරන්ගේ විනය ගැන අමුතුවෙන් කිව යුතු නැත. එය බස් රථ රියදුරාගේ සිට පා පැදිය දක්වාම එසේය. මාර්ගයේ විනය පයින් යන්නන්ටද නැත. බොහෝ රට මාර්ග නීති කඩ කිරීම් සම්බන්ධයෙන් දැඩි නීති රීති අනුගමනය කරන බවත් දඩ මුදල් පනවන බවටත් ඕනෑ තරම් උදාහරණ ඇත. එහෙත් දඩයක් පැනවීමේදී නීතියක් ක්‍රියාත්මක කිරීමේදී ක්‍රමානුකූල බවක් විධිමත් බවක් තිබිය යුතුය. බොහෝ පිරිස් සිතා මතා මාර්ග නීති උල්ලංඝණය නොකරන බව ද ඒ අතර කිව යුතුය. මාර්ග නීති උල්ලංඝනය කිරීම එයටම පමණක් සීමා වූවක් නොව ආකල්පමය වෙනසක් දක්වාම සිදු විය යුතුය. එම නිසා මාර්ග නීති උල්ලංඝනය සම්බන්ධයෙන් එකවර විසි පන්දහසක දඩයක් ප්‍රායෝගික නොවන බව කවුරු කවුරුත් පිළිගත යුතු සත්‍යයකි. 

අනෙක් කරුණ බස් රථය. බස් රථ රියදුරන්ගේ සිට ඊට සම්බන්ධ සියලු දෙනා තම පාරිභෝගිකයන්ට සලකන ආකාරය. ආසන දෙකක් සහිත බස් රථවල දෙදෙනකුටට ඉඳගෙන යෑමට නොහැකිය. පොල් පටවන්නා සේ මිනිසුන් පටවාගන්නා ආකාරය ගැන කතා කරන්නට කෙනෙක් නැත. මිනිසුන්ට ආසනයක ඉඳගත් පසු තම කකුල් නිසි පරිදි තබා ගැනීමට ඉඩක් නැත. අර්ධ සුඛෝපභෝගී යැයි කියන බස් රථ මාෆියාව ජනතාව සුරකන බව නොරහසකි. බස් රථ කොන්දොස්තරවරුන් ජනතාවට කතා කරන ආකාරය තවත් කරුණකි. ඉතුරු මුදල් නොදීම තවත් අර්බුදයකි. මේ ආකාරයෙන් ජනතාව බස් රථ තුළදී විඳින පීඩා අති මහත්ය.

අපි රටක් ලෙස ජනතාවක් ලෙස මෙවැනි දේ ගැන ලැජ්ජා විය යුතුයි. අනෙක් රටවල මිනිසුන් දේශපාලකයන්ගේ වැරැදි හමුවේ එක්ව නැගී සිටිද්දි, අපි පක්ෂ පාට ආගම්වලට බෙදී කා කොටා ගන්නෙමු. අපි අප ගැන ලැජ්ජා විය යුතු වෙමු. අප හමුවේ පවතින ප්‍රශ්නවලදී නිශ්ශබ්දව සිටින හුදෙක් දේශපාලනය, ආගම, ජාතිය ගැන වද වන්නෙමු. 

රටක විවිධ දේශපාලන අදහස් දරන්නන්, ආගම් අදහන්නන්, ජාතීන් සිටින බව අමුතුවෙන් කිව යුතු නැත. රටක සංස්කෘතිය පෝෂණය කරන්නේ ඒවාත් ඒවා ගොඩනැගුණු සංස්කෘතික පසුබිමත් ඉතිහාසයත් බව කිව යුතුය. එහෙත් ඒ වටිනාකම් පසෙකලා අපි එකිනෙකාගේ කොන්ත්‍රාත් ඉටු කරමින් කා කොටා ගනිමු. 
නැවත ආරම්භක මාතෘකාවට පිවිසිය හොත් ජනාතව නිරන්තරයෙන් පීඩාවට පත්වෙති. නිවසේ සිට රැකියා ස්ථානය දක්වාත්, රැකියා ස්ථානයේදී, පාසලක නම් පාසලක හෝ වෙනයම් හෝ තැනක නම් එතැනත් නැවත නිවසට යන තුරුත් පීඩාවලට ගොදුරු වෙති. 
මේ නොයෙක පීඩාවලට එරෙහිව නැගී සිටිය යුත්තේ එකමුතුව මිස පාට පක්ෂ වලට ආගම්වලට බෙදී නොවන බව අප තේරුම් ගත යුතුය. ශිෂ්‍ය ව්‍යාපාරය රාජ්‍ය විශ්ව විද්‍යාල පුද්ගලික විශ්ව විද්‍යාල කියා බෙදෙන තරමට ආණ්ඩුවට හොඳය. එවැනි තැනක ආණ්ඩුව හිතු මතේ අධ්‍යාපනයට වියදම් කප්පාදු කරන්නේය. ජනතාව කොටස්වලට කල්ලිවලට බෙදෙන තරමට ආණ්ඩුවට හොඳය. අප හැමදාමත් කරන ලද්දේ එයය. බෙදෙමින් බෙදෙමින් අපි අවුරුදු හැට අටක් පැමිණ අත්පත් කර ගත් දෙයක් නොමැති බව දැන් ඕනෑවටත් වඩා හොඳට පැහැදිලිය.

මේ මෑතක දිනක බිමල් රත්නායක මන්ත්‍රීවරයා හරි අපූරු කතාවක් කීවේය. අපේ දේශපාලන පක්ෂවල සංයුතිය ගැන ඔහු කීවේය. සියලු ජාතීන්ගේ නියෝජනය ගැන ඔහු කීවේය. වසර 1948 පෙර මෙරට ආරම්භ වූ පක්ෂ දෙකකි. එකක් එක්සත් ජාතික පක්ෂය වන අතර අනෙක ලංකා සම සමාජ පක්ෂයය. හතළිස් අටෙන් පසු ආරම්භ වූ සෑම පක්ෂයක්ම ජාතියක්, ආගමක් හෝ ඒ ආශ්‍රිත පදනමක් මත ගොඩනැගුණු පක්ෂය. මේ පක්ෂ සියල්ල අතරින් සිංහල, දෙමළ හා මුස්ලිම් යන නියෝජනය තරමක් සාධරණ මට්ටමක ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ පමණක් බව ඔහු කීවේය. අපි හතළිස් අටට පෙර එකාවන් ව සටන් කළ බවට ඉතිහාසය සාක්ෂි දරයි. ඒ මත ගොඩනැගුණු නිසා එය එසේය. එහෙත් අද වනවිට එප පක්ෂයත් ක්‍රමයෙන් එයින් බැහරට යමින් සිටින බව ද කීවේය. හැබෑය. අපි තව තවත් බෙදෙන තරමට අපේ වළ කපා ගනිමින්, මේ රට තව තවත් විනාශයට ඇද ගෙන යන බව අකැමත්තෙන් වුවද කිව යුතුය. 

එක් එක් පුද්ගලයා උපුටා දක්වමින් කිව යුතු නැත. මාටින් ලූතර් කිං ගේ සිට ඇල්බට් අයින්ස්ටයින්ම දක්වාම මේ සරල සත්‍යය පවසා ඇත. මේ ලෝකය වඩ වඩාත් නරක වන්නේ නරක මිනිසුන් නිසා නොව හොඳ මිනිසුන්ගේ නිශ්ශබ්දතාව නිසාය.

ඡායාරූපය රොයිටර්


හර්ෂණ තුෂාර සිල්වා
01.12.16 



Tuesday, November 8, 2016

දර්ශන රතුවිතානට පිළිතුරක්,




//මොහු සිතන ආකාරයට දුටු ගැමුනුද වීරයෙකු නොවේ.. එවන් ගොබ්බයින් මා කොතෙකුත් දැක ඇත.. යුද්ධයෙන් වීරයන් බිහි නොවේ යැයි මොහු පවසයි.. ඒ ඔහුගේ දැක්මය.. ඊරිසියාව කුහක කම විසින් ඔහුගේ සිත තවත් කෙනෙකුගේ වීරත්වය සැහැල්ලු ආකාරයට දැකීමට පොලඹවයි.. එහෙත් ඔහු යුද්ධය ඇති කාලයේ උතුර නොව වවුනියාවටවත් යාමට බියෙන් සිටි අයෙකු විය හැකියි.. එවිට යුධ වීරයෙකු ගැන කී විට ඔහුට තමන් ඒ කාලයේ සිටි බියගුලු ස්වභාවය මැවී පෙනෙන්නට ගනී.. එවිට ඔහු අන් අයගේ වීරත්වය සුලු කොට කතා කරමින් ඔහුද ඇතුලුව සියල්ලන් සමාන මනුශ්‍යයින් ලෙස දකී..
දෙවන සිදු වීමේදී, රාජ්‍ය ආරක්ෂක ලේකම් විසින් විශ්‍රාමික හමුදා සෙබලුන් හට රැකියා දීමකට සැරසේ.. හමුදා සෙබලුන් විරුද්ධ වෙයි.. ඇයි ඒ.. පුද්ගලික අංශයේ රැකියා නිසාද? නැත. ඔබ හිතා මතා අමතක කරන දෙයක් වෙයි.. එනම් ඒ පුද්ගලික අංශයේ සාමාන්‍ය රැකියා නොව , ආරක්ෂක සේවයේ( සිකියුරිටි) රැකියාය. මෙය ලබා ගැනීමට රජය මැදිහත් විය යුතු නොවේ.. හමුදා විශ්‍රාමික කිවූ සැනින් සිකියුරිටි කොම්පැනි ඔවුන්ව බඳවා ගන්නේ ක්ෂනයෙනි.. රජය මැදිහත් වූ පසු ඔවුන් බලා පොරොත්තු වන්නේ වෙනත් රැකියායි.. පුද්ගලික අංශයේ වුවත්, ගබඩා පාලක/ ලිපිකරු .. ආදී නොයෙකුත් රැකියා කරන විශ්‍රාමික හමුදා සොල්දාදුවන් සිටී.. ඔවුන් බලාපොරොත්තු වන්නේ එවැනි රැකියා මිස පත්තරයක පසුපස පිටුවේ ඇති තරම් තිබෙන සිකුයුරිටි රැකියා නොවේ.. //


මට වඩා විස්සකින් වැඩිමල් දර්ශන මහතාට කරුණු කිහිපයක් මතක් කර දෙනු කැමැත්තfමි. වයසින් වැඩුණත් ඔබට ඒ බව අමතක ගොසිනි. තමන්ගේම් දේශපාලන මතයක් තිබෙන බව සඳහන් ඔබ වෙනත් අයෙක් වෙනත් මතයක් දැරූ ගොබ්බයන්, කුහකයන්, රීරිසියාව කුහකකම යැයි හඳුන්වයි.
ඔබ වීරත්වය කෙසේ අර්ථකතනය කරන්නේ ද ? යුද සාහිත්‍ය තුළ දුටු ගැමුණු රජු වීරයෙක් ලෙසින් හැඳින්වුවද, ඔබ තර්ක කරන ආකාරයට ඔහුට වඩා විරුවෝ මෙරට විසූහ. මහාවංශය මඟින් දුටුගැමුණු රජුට සුවිශේෂී තැනක් දෙමින්, ඔහු වීරත්වයට නංවයි. එහෙත් ඔබට අමතකව ගිය කරුණ, විදේශ පවා ආක්‍රාමණය කළ රජවරු මෙරට සිටි බවයි. කෙනකුට වීරයකු වන්නකු තවත් අයකුට වීරයකු නොවන්නට පුළුවනි. ඔබට වීරයා වන අයකු වෙනත් අයකු වීරයකු නොවන විට ඔබ ඔවුන් ගොබ්බයන් යැයි හඳුන්වයි. එය කෙබඳු මානසිකත්වයක් ද ?
මා කිසිඳු අවස්ථාවක කිසිවකුගේ වීරත්වය, හෝ වගකීම හෝ කාර්යභාරය හෑල්ලුවට ලක්කර නොමැත. ඔබ ලිපිය සම්පූර්ණයෙන් කියවා ඇත්දැයි ද මට සැකයක් නැගේ. යුද කළා හෝ නොකළ මගේ පළමු වීරයා මගේ අම්මාත් තාත්තාත්ය. ඉන්පසු ගුරුවරුය. ඒ අර්ථයෙන්, මෙන්ම මා පෙර ලිපියෙන් ද සඳහන් කළ පරිදි සියලු දෙනාටම පැවරුණු සුවිශේෂී වගකීම් හා කාර්යභාරය පවතියි. හමුදා සෙබළකු කරන කාර්යභාරය මට කරන්නට බැරිය. මා කරන කාර්යය හමුදා සෙබළකුට කරන්නට බැරිය. බොහෝ දේ දස්කම් දක්වන්නන් හැරෙන්නට එක් අයකුගේ කාර්යයක්, තවත් අයකුට කළ නොහැක. විශේෂඥයන් බිහි වන්නේ ද එබැවිනි. 
ඔබට නැවත නැවතත් මතක් කළ යුත්තකි. ගෝත්‍රිකත්වයේ සිට අද දක්වා ගමනේදී අපි යුද විරෝධී ප්‍රචණ්ඩත්වය ප්‍රතික්ෂේප කරන තැනට පත්ව තිබේ. යුද සාහිත්‍යයත් යථාර්ථයක් පටලවා නොගන්න. එමෙන්ම එකිනෙකාගේ අවශ්‍යතා මත වීරයන් දුෂ්ඨයන් බිහි කරන රටක යථාර්ථය තේරුම් ගැනීමට උත්සහ කරන්න. යුද්ධය අවසන් කිරීමේදී පොලිසිය, ත්‍රිවිධ හමුදා ඇතුළු ආරක්ෂක අංශ සුවිශේෂී කාර්යයභාරයක් කළ බව අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැත. එය සමස්ත රටම පිළිගන්න සත්‍ය කරුණකි. එය අවිවාදිතය. 
විශ්‍රාමික හමුදා සෙබළු යනු විශ්‍රාම වැටුපක් දීමනාවක් ලබන පිරිසකි. එම පිරිස ආර්ථිකයට සම්බන්ධ කරගැනීම සඳහා ආණ්ඩුව මැදිහත් රැකියා දීමා අගය කළ යුත්තකි. එයින් ආර්ථිකයට යම් දායකත්වයක් ලැබෙයි. එය මුරකරු රැකියාවක් ද, කසල ශෝධක යන්න වැදගත් වන්නේ නැත. මාර්ග පිරිසුදු, ඉදිකිරීම් ආදී කටයුතුවලට හමුදාව යොදාගන්නා කාලයේ ඔය කතා කවුරුන් හෝ කීවා ද ?තමන් අකමැති වීම වෙනත් කරුණකි. එය පුද්ගලික කරුණකි. පත්තර පිටුපස ඇති සෙකියුරිටි රස්සාව කියමින්, පුද්ගලයන්ට අපහාස කරන්නේ ඔබ ද මම ද යන්න කියවන පිරිස තේරුම් ගනු ඇත. මට කසල ශෝධකයාත් වීරයෙකි. ඔවුන් කරන්නේ ද ගෞරවාන්විත රැකියාවකි. 

හර්ෂණ තුෂාර සිල්වා
08.11.16

http://htsilva.blogspot.com/2016/11/blog-post_7.html?spref=tw

Monday, November 7, 2016

ආබාධිත රණවිරුවන් යනුවෙන් නම් කරගන්නා ලද පිරිසක් දින හතරක් පුරා කරන ලද විරෝධතා ව්‍යාපාරය අද අවසන් විය.  ඔවුන් ආබාධිත රණවිරුවන් යැයි කියමු. පළමු කරුණ යුද සාහිත්‍ය තුළ විරුවන්, වීරත්වය ගොඩනැගුවද, ක්‍රමයෙන් මනුෂ්‍යත්වය කරා පරිණාමය වන මිනිස් සමාජයේදී යුද්ධයෙන් විරුවන් බිහි නොවන බවත්, යුද්ධයකින් සිදු වන්නේ ලේ වැගිරීම් පමණක් බව අප පිළිගත යුතුය. 
විරෝධතා ව්‍යාපාරයට එක්ව සිටියේ විශ්‍රාමික හමුදා සෙබළු පිරිසකි. ඔවුහු වසර 12ක කාලයක් සම්පූර්ණ කිරීමට ස්ව කැමැත්තෙන් විශ්‍රාම ගිය පිරිසකි.  ඔවුන් වසර 12ක කාලය සම්පූර්ණ කිරීමට විශ්‍රාම ගිය බැවින්, විශ්‍රාමක් වැටුපක් නොවන දීමනාවක් සහ ආබාධිත තත්ත්වය නිසා ගෙවීමක් ද ලබති. එම මුදල හිමිවන්නේ ඔවුන් ජීවිත් වන තුරු පමණක් වන අතර යැපෙන්නන්ට කිසිදු මුදලක් ලැබෙන්නේ නැත. ඔවුන් ඉල්ලා සිටියේ, යැපෙන්නන්ටද හිමිවන විශ්‍රාම වැටුපකි. මෙහි ආර්ථික විද්‍යා පසුබිම ගැන කෙටි සටහනක් කළහොත්, එවැනි ගෙවීම් ආර්ථිකයකට බරකි. එය වෙනම ලිවිය යුත්තකි.
ඔවුන්ගේ ඉල්ලීම කොතරම් සාධාරණ ද අසාධාරණ ද ? ඔවුන්ගේ මේ ඉල්ලීම ඉල්ලන්නට මෙතරම් ප්‍රමාද වූයේ ඇයි ද ? වත්මන් ආණ්ඩුව පත් වන තුරු ඔවුන් මෙම ඉල්ලීම් සිදු කළා ද? වසර 12ක කාලය සම්පූර්ණ කිරීමට පෙර විශ්‍රාම ගිය ආබාධිත හමුදා සෙබළුන් සිටින්නේ කොටුවට පැමිණ උද්ඝෝෂණය කළ පිරිස පමණ ද ? ආබාධිත නොවන, එහෙත් වසර 12ක කාලය සම්පූර්ණ කිරීමට පෙර විශ්‍රාම හමුදා සෙබළුන් මෙවැනිම විරෝධතාවක් දැක්වුවහොත් ආණ්ඩුව කෙබඳු ප්‍රතිචාරයක් දක්වන්නේ ද ? මෙම විරෝධතා ව්‍යාපාරය දේශපාලන වශයෙන් පක්ෂපාතී ස්වරූපයක් ගත්තේ ඇයි ද ?
අනෙක් කරුණ, ආණ්ඩුවලට හෝ කාලයේ අවශ්‍යතා මත මාධ්‍ය මෙන්ම විවිධ පිරිස් විවිධ මාතෘක තනති. එටිසලාට් සිම් කැඩීම, ශ්‍රී පාදය, ජනපතිවරයා පසුගිය දිනෙක කරන ලද ප්‍රකාශය, ආදිය රට හමුවේ ඇති සැබෑ ප්‍රශ්න යට කරන්නට සමත්විය. පසුගිය ආණ්ඩුවේ සාර්ථක උපක්‍රමයක් වූ එය මේ ආණ්ඩුව ද ක්‍රමයෙන් භාවිත කරමින් සිටියි.
එමෙන්ම වීරත්වය උත්කර්ෂවයට නංවන්නට පසුගිය ආණ්ඩුව කරන ලද ක්‍රියාව නිසා, රටේ ආරක්ෂක අංශ අද හෑල්ලුවට ලක්වෙමින් සිටියි. හමුදාව තිස් වසරක යුද්ධය අවසන් කිරීමේ දී සුවිශේෂී කාර්යභාරයක් කළ බව අමතක නොකළ යුතුයි. එහෙත් , ඔවුන් මෙන්ම සමාජය තුළ රට වෙනුවෙන් අති විශාල කැප කිරීම් කරන නිහඬ පිරිස් සිටන බව අප අමතක නොකළ යුතුය. කසල ශෝධකයන් කවුරුවන් හෝ කතා කරන්නේ ද ? ඔවුන් දවසක් දෙකක්, කොටුවට පැමිණ විරෝධතාවල නිරත වූවා නම් කෙසේ වනු ඇත් ද ? ඒ නිසා රටේ ඉහළම රාජ්‍ය සේවකයා වන ජනාධිපති ලේකම්වරයාගේ සිට, පුද්ගලික අංශයත්, කසල ශෝධකයා දක්වාත් කරන කාර්යභාරය කිසිදු අයුරකින් එකිනෙකට සමාන කළ නොහැකිය. යුද හමුදා සෙබළාද ? ගුරුවරයාද ? ශිෂ්‍යයාද කියා එය වෙනසක් නැත. හරය වනුයේ තමන්ට පැවරෙන වගකීම, රාජකාරිය ඉටු කිරීමය. ත්‍රිවිධා හමුදා සාමාජිකයන්, පොලිසිය ද රජයේ සේවකයන්ය. 
යුද සාහිත්‍යයක් ගොඩනැංවීම ඊට හාත්පසින්ම වෙනස් කරුණක් බව ද කිව යුතුය. අනෙක් කරුණ සාමකාමී විරෝධතාවලට පවා පොලිසිය දක්වන හදිසි ප්‍රතිචාර දැක්වීමේ ස්වභාවයයි. කිසිදු අයුරකින් අපි ප්‍රචණ්ඩත්වය අනුමත කරන්නේ නැත. පොලිසිය කළද, සිවිල් සමාජය කළද, හමුදාව  කළද, විරෝධතා ව්‍යාපාරවලට සම්බන්ධ වූ පිරිස් කළ ද කවුරු කළ ද මනුෂ්‍යයකුට පහර දීම අප කිසි සේත් අනුමත කරන්නේ නැත. 
අනෙක් සිදුවීම,

විශ්‍රාමික හමුදා සෙබළුන්ට රැකියාවක් දීම සඳහා රැකියා වෙළෙඳපොළක් සඳුඳා (7) පැවැත්විණි. එහිදි පුද්ගලික අංශයේ රැකියා එපා, හමුදාව විකුණනවා යැයි එහිදි අදහස් ඊට සහභාගී වූ විශ්‍රාමික හමුදා සාමාජිකයන්ගෙන් පිරිසක් පැවසූහ. විශ්‍රාම ගිය පිරිසකට, රැකියා දීම කොතරම් උචිත ද ? රටේ රැකියා නොමැති පිරිසක් සිටින්නේ ද ? 
අප තවමත් සිටින ආදී කාලයේය. තවමත් රාජ්‍ය අංශයේ රැකියා සොයති. සාම්ප්‍රදායික ක්‍රමවලින් මිදීමට කැමැත්තක් නැත. ස්වයං රැකියා, පර්යේෂණ හා සංවර්ධන ගැන අප කොතරම් පසු පසින් සිටින්නේ ද ? විශ්‍රාමික අවුරුදු 35 40 ඉක්මවූ පිරිස්වලට රැකියා දීමට ගිය විට, එය පුද්ගලික යැයි පවසමින් ප්‍රතික්ෂේප කිරීම කොතරම් අනුචිත ක්‍රියාවක් ද ? 
වැඩිහිටි ජනගහනය වැඩිවෙමින් පවතින රටක, විශ්‍රාම යෑමේ වයස් සීමාව අවුරුදු 60 හෝ 65 කිරීමේ අවදානමකට මුහුණ පා සිටින අප වැනි රටක පිරිසකට රැකියා දෙන්නට ගිය අවස්ථාවක පුද්ගලික අංශයේ යැයි පවසමින් ප්‍රතික්ෂේප කිරීම කොතරම් යෝග්‍යය ද ?
අනෙක් අතට වත්මන් ආණ්ඩුව රටේ තරුණ පිරිසට රැකියා දීමට උත්සහ කරන්නේ මේ ආකාරයෙන් සිතා බැලිය යුතු බොහෝ තැන ඇත. රටේ ආර්ථිකය, සෞඛ්‍යය, අධ්‍යාපනය ආදී ප්‍රධාන ක්ෂේත්‍ර රැසක් අර්බුද රැසකින් පෙළෙමින් පවතියි. ඒවා හුදෙක් වත්මන් ආණ්ඩුව නිසා ඇති වූ අර්බුද නොව, කාලයක් තිස්සේ දිග්ගැස්සෙමින් පවතින ප්‍රශ්නය. මේවාට විසඳුම් සෙවිය යුතුය. 

ඡායාරූපය ළහිරු හර්ෂණ

හර්ෂණ තුෂාර සිල්වා
07.11.16

Thursday, November 3, 2016

කවුරුවන් හෝ කලාකරුවකු මියගියාම, ඒ ගැන විස්තර කියන්න ඉන්න ප්‍රමාණය ඔවුන් කියන කතා දැක්කම හිනත් යනවා. අමරදේව යනු එක්තර යුගයක් බිහි කළ කලාකරුවෙක්. සරලව කිව්වොත් ලෙජන්ඩ් එකක්. හැබැයි අමරදේවයන් මියගිය පමණින් සංගිත කලාව මිය යන්නේ නැහැ. කුඩා කාලයේ ඉදන්ම කුමක් හෝ හේතුවකට අමරදේව යනු මගේ ප්‍රියතම ගායකයයි. එහෙත් ඔහුගේ මියයෑම සම්බන්ධයෙන් කනගාටුවක් නැත. 

(ඡායාරූපය ඩේලිමිරර්)

ඔහු පරමායුෂත් ඉක්මවා ජීවත්වූවා පමණක් නොව, මතක හිටින යමක් කර ඇත. කිසිවකු මියගිය පසු කනගාටුවක් ඇති වන්නේ නම් ඇතිවිය යුත්තේ අඩු වයසින් මිය ගියා නම් පමණි, මන්දයත් මරණය සියලු දෙනාට පොදු නිසාය. මහේල සංගක්කාර ක්‍රීඩාවෙන් විශ්‍රාම ගියාම ක්‍රිකට් ඉවරයි, ටීම් එකට එන්න වගේ කතා අමරදේවයන් මියගියාම කියනා කතා අතරේත් වෙනසක් නැහැ. විය යුත්තේ අමරදේවයන් ඇති කළ සම්ප්‍රදාය අනාගතයට දායාද කිරීමය. නැවත අමරදේවයන් කෙනකු ඇති වන්නේ නැති අතර අප එසේ බලාපොරොත්තු තැබිය යුතු ද නැත. අමරදේවගේ සංගීතයට ප්‍රිය කළා නම්, ඔබට එය අසන්නට ඇති පහසුකම් ඕනෑ තරම් ඇත. අමරදේවයාණෙින් සුබ ගමන්..අනෙක් අතට, තරුණ පරපුරට බැන අඬ ගසන බොහෝ දෙනකුට අමරදේවයන්ට ප්‍රිය කළ තරුණයන් කොතරම් සිටිනවාද, තරුණයන්ගේ රසඥතාව මියගොස් නැතැයි කීමට ද සාක්ෂි විජය නන්දසිරි තබා ගියා මෙන්ම අමරදේවයන් ද තබා ගොස් ඇති බව ඇස් පනාපිට ඇත. (අමරදේවගේ සංගීතයට ලක්වාසී සියලු දෙනාම ප්‍රියා කළ යුතු ද නැත)

හර්ෂණ
03.11.18

Thursday, October 20, 2016

පසුගිය කාලයේදී එක් ආරක පොත් කිහිපයක් කියවීමට අවස්ථාව ලැබීමත්, මෑත දිනෙක සුජීව ප්‍රසන්නආරච්චිගේ පොත් සම්බන්ධයෙන් දැඩි විවේචනයක් දකින්නට ලැබීමත් සමඟ සටහන තබන්නට සිත්විය. ආදරය සම්බන්ධයෙන් ලියැවෙන නවකතා සම්බන්ධයෙන් ඇත්තේ තබදල විවේචනයකි. මගේ අදහස නම් ඕනෑම ආකාරයක පොත් ලියවිය යුතුයි යන්නයි. එසේම ඒවා පමණක් නොව, ලියැවෙන ඕනෑම නිර්මාණයක් ගැන විචාර ඉදිරිපත් විය යුතුය. විවේචන, ගුණ දොස් විචාර ඉදිරිපත් විය යුතුය. එහෙත් ඒවා ද්වේශ සහගත නොවිය යුතුය.
ආදරය සම්බන්ධයෙන් ගත් විට, එක් ආකෘතියක නිර්මාණ රැසක් අපට දක්නට ලැබේ. සුජීව ප්‍රසන්නආරච්චිගේ කෘතිවලට ඉන් වැඩි විවේචනයක් නිරන්තරයෙන් එල්ල වන බව බොහෝ අවස්ථාවලදී දැක මෙන්ම අසාද ඇත. මා සුජීව ප්‍රසන්නආරච්චිගේ කෘතිවලින් කියවා ඇත්තේ එකක් හෝ දෙකක් පමණි. එම කෘති මෙන්ම ආදරය සම්බන්ධයෙන් ලියැවෙන බොහෝ නවකතාවල ප්‍රායෝගික යථා ලෝකයේ දක්නට නැති ආකරයේ සිදුවීම් ඇත. සරලව, ඉන්දියාවේ සිනමා නිර්මාණ, ටෙලි නිර්මාණවලට සමාන බවක්, පෙන්වයි. එක් ආකාරයකින් ඒවා බොළඳ යැයි සඳහන් කළ හැක. ආදර සබඳතා තුළ බොළඳ බව ද ගැබ් වී තිබෙන බව සැබෑ ලෝකයේදී වුවද අප අසන දකින අත් දකින දෙයකි.
පසුගිය සති දෙකක තුනක කාලයේදී කියවන්නට ලැබුණු කෘති ගැන කියන්නේ නම්, ඒ කෘතිවලින් අපට උකහා ගත හැකි දේ බොහෝය. ඒවා තුළ ද සමාජයට වැදගත් දේ ඕනෑ තරම් ඇති බව කිව යුතුය. ඕනෑම කෘතියකින් සමාජයක් අවැඩක් නොවන බව කිව යුතුය. වැරැදි අදහසක් සමාජ ගත ආකාරයේ කෘති බිහිවන්නට හැකි වුවද, ශක්තිමත් විචාර කලාවක්, හික්මීමක් සහිත සාධාරණ විවේචන තිබේ නම්, වැරැදි අදහස් සමාජ ගත නොවන බව කිව පැහැදිලිය.
ඕනෑම අයෙකුට නිර්මාණ කිරීමේ අයිතිය අප පිළිගත යුතු අතරම, තම නිර්මාණ තුළින් සමාජයට යම් වටිනාකම් එකතු කිරීමට නිර්මාණකරුවන් ද වගබලා ගැනීම සාහිත්‍ය කලාව ඉදිරි ගමණට හේතු වනු ඇතැයි විශ්වාස කරමි.
මෙය ලියන්නට සිත් වූ කරුණ නැවත කියන්නේ නම්, බොළඳ නවකතා යැයි හංවඩු ගසමින්, අප විසින් යම් නිර්මාණ බැහැර කිරීම නොකළ යුත්තකි. ඕනෑම නිර්මාණයකට කැමැති හා අකැමැති පිරිස් සිටිති. එබැවින් නිර්මාණ විවේචනය කිරීම විචාරය කිරීමේ කලාව ද අප විසින් ප්‍රගුණ කළ යුත්තකි යන්න මගේ හැඟීමයි. 


හර්ෂණ තුෂාර සිල්වා
2016.10.20

Wednesday, October 19, 2016

 (ඡායාරූපය අන්තර්ජාලයෙනි) 

   දේශපාලනඥයන් කරන ප්‍රකාශ සම්බන්ධයෙන් කලබලය නොවිය යුතු බව ඉතිහාසයේ පටන්ම අත්දැකීම්වලින් අප ඉගෙන ගත යුතුය. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මුල අමතක වූවකු ලෙස කටයුතු කරන බව පෙන්වන ලද අවස්ථා කිහිපයක්ම වූ අතර පසුගිය දින කළ කතාව එතරම් කලබලයට පත්විය යුතු කතාවක් ද නොවන බව හැඟීමයි. ඔහු එම කතාවේදී පෙන්වා දෙන ලද සමහර කරුණු කිසිසේත්ම පිළිගත නොහැකි අතර ඔවුන් එසේ කතා නොකරනු ඇතැයි විශ්වාසය තැබීමට නොහැකි බව අප අකැමැත්තෙන් වුවද දන්නා කරුණකි. 

අද පැවැති කැබිනට් මාධ්‍ය හමුවේදී ජනාධිපති මාධ්‍ය අංශය නොසලකා හරිමින් ජනාධිපතිවරයාගේ කතවා අසන්නැයි රාජිත සේනාරත්න මහතා පැවැසීමත් ඒ හා සමානය. ජනාධිපතිවරයා කළ කතාව අසන්නැයි ඔහු පවසන්නේ ජනාධිපති මාධ්‍ය අංශය එවන්නේ ජනාධිපතිවරයාගේ කතාව නොවන බව ඒත්තු ගන්වයි.
ඒ නිසා රටේ දේශපාලකයන් සම්බන්ධයෙන් කිසිසේත් විශ්වාසය තැබිය නොහැකි බව අපට වරින් වර පැහැදිලි වෙමින් පවතියි. පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලනය පරාජය කරමින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පත් කිරීමට වෙහෙස වූ පාර්ශව රැසකි. ඉන් ප්‍රධාන පිරිස මෙරට සිවිල් සංවිධාන බව අපි අමතක කිසි සේත් අමතක නොකළ යුත්තකි. 

මහින්ද රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ හෝ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඇතුළු රටේ දේශපාලකයන් සමඟ අපට කිසිදු පුද්ගලික කෝන්තර, නොහොඳ නෝක්කාඩුකම් අමනාපකම් නොමැත. අපට ඇත්තේ මේ රට යහපත් තැනක් කිරීමේ අරමුණ මිසක් ඔවුන් බලයේ තබාගැනීමේ හෝ බලයෙන් පන්නා දැමීමේ අරමුණක් නොවන බව කිව යුත-ුය.

ඔවුන් බලයට පත්කර ගනු ලබන්නේ, ජනතාවගේ ඉල්ලීම් මත ඔවුන් මැතිවරණ වේදිකාවලදී දෙන පොරොන්දු ඉටු කරවා ගැනීමටය. ඔවුන් ඒවා ඉටු කරනු ඇතැයි අප සියයට සියයක් විශ්වාස නොකළ ද ඔවුන් ලවා එම පොරොන්දු ඉටු කරවා ගැනීම අප සතු වගකීමක් හා යුතුකමක් ද වෙයි. 
යම් යම් සිදුවීම්වලදී පුද්ගලයන් වශයෙන් අරගල ජයගැනීමට සමත්වුවද රට හමුවේ සමාජය හමුවේ ඇති අර්බුදවලදී තනි අරගලයකින් පමණක් ඒවා දිනාගත නොහැක. ජයග්‍රහණය කළ නොහැක. ජනතා අරගලයක අවශ්‍යතාව මතු වන්නේ එවිටය. පක්ෂ පාට භේදයකින් තොරව එම අරගලය ඉදිරියට පැමිණිය යුතු වන්නේ එබැවිනි. 

අද වත්මන් ආණ්ඩුව පත් කළ පිරිස ආණ්ඩුවේ වැරැදි විවේචනය කරන අතරම, විපක්ෂ කණ්ඩායම් ද ඔවුන්ගේ දේශපාලන අරමුණුවලට මුවා වෙමින් වත්මන් ආණ්ඩුව විවේචනයේ නිරත වී සිටිති. එය එක් අතකට හොඳය. එහෙත් සැබෑවටම විය යුත්තේ වැරැද්ද විවේචනය කිරීමය. තමා ඡන්දය දීම හෝ නොදීම ඊට අදාළ නොවිය යුතුය. එහෙත් එවැන්නක් සියයට සියයකින් සිදුවනු ඇතැයි අප අපේක්ෂා කළ නොහැක.

මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රකාශයත් සමඟ සිවිල් සංවිධානවල යම් නැගී සිටීමත්, නිද්‍රාශීලබවකින් සිටියා නම් ඔවුන් අවදි වූ බවක් අපට දක්නට ලැබුණි. ඒ තත්ත්වය දිගින් දිගටම පවතින්නේ නම්, මේ ආණ්ඩුව යටතේ රටට තවත් බොහෝ දේ කරගත හැකි වනු ඇත. 


හර්ෂණ තුෂාර සිල්වා
19.10.16

Wednesday, September 28, 2016

කුඩා කල සිටම ඉතිහාසය විෂය සම්බන්ධයෙන් තිබූ උනන්දුව නිසාවෙන් ම ‘සිංහයාගේ ජනතාව’ - ප්‍රභවය, විකාශනය හා විපරිණාමය - කෘතියේ දොරට  වැඩුමට එක්වුණෙමි. සිංහල අනන්‍යතාව, ජනවාර්ගික - ජාතිකවාදය සහ ඉතිහාසවේදය අළලා මහාචාර්ය ආර්.ඒ.එල්.එච් ගුණවර්ධන සහ මහාචාර්ය කේ.එන්.ඕ. ධර්මදාස අතර ඇති වූ විවාදය  සිංහල බසින් කෘතියක් ලෙසින් මෙලෙස අද කොළඹ විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යනාංශ ශ්‍රවණාගාරයේදී එළිදැක්විණි.
සුමිත් චාමින්ද කෘතියේ සංස්කාරක වශයෙන් කටයුතු කර ඇති අතර ලිපි පරිවර්තන කටයුතුවලට ද ඔහු දායකත්වය සපයා ඇත. මහාචාර්ය මයිකල් ප්‍රනාන්දු, විදුර ප්‍රභාත් මුණසිංහ හා පැතුම් පුංචිහේවා යන අයද ලිපි පරිවර්තනය කරමින් කෘතියට දායකත්වය සපයා ඇත. කෘතිය දොරට වැඩීමේ අවස්ථාවේදී මහාචාර්ය රාජ් සෝමදේව, මහාචාර්ය ප්‍රේමකුමාර ඩී සිල්වා සහ ආචාර්ය නිර්මාල් රංජිත් යන දෙසුම් පැවැත්වූ අතර මේ දෙසුම් අසන්න වූයේ සීමිත පිරිසක් වීම නම් කනගාටුවට කරුණකි.
දේශකයන් තිදෙනා පැවැත්වූ දේශනවලින් රාජ් සෝමදේව සිත්ගන්නා දේශනයක් පැවැත්වූ බව සඳහන් කරනු කැමැත්තෙමි. ඊට ආචාර්ය නිර්මාල් රංජිත් සහ මහාචාර්ය ප්‍රේමකුමාර ඩී සිල්වා ද එකඟත්වය පළ කරනු ඇතැයි විශ්වාස කරමි.
මහාචාර්ය රාජ් සෝමදේවයන්ගේ දේශනයේදී කුකුළා ගැන කියූ අතර කුකුළ මෙරට පැමිණි ආකාරය ද පැහැදිලි කළේය. එහිදි ජාතික සත්වයා ලෙස වළිකුකුළා නම් කිරීම සම්බන්ධයෙන් ද ගැටලුවක් පැන නගිනු ඇතැයි මෙහෙයවීම කටයුතු කරන විශාකා සූරියබණ්ඩාර කී කතාවට සිනහා ද නැගුණි.
අප දන්නා එහෙත් පිළිගන්නා කරුණක් රාජ් සෝමදේව අපූරුවට පැහැදිලි කළේය. අපි කිසිවෙක් ශුද්ධ ජාතීන් නොවෙමු. ඔවුන්ගේ දේශනවල හඬ පටද සමාජජාල ගත කළෙමි. මේ ලොව පාරිශුද්ධ ජාතීන් යැයි කිව හැකි කිසිවෙක් නැත.
රාජ් සෝමදේවගේ දේශනයේ එක් කරුණක් ලා මේ සටහන ලියා අවසන් කරනු කැමැත්තෙමි. අපි බොහෝ විට වසර 2500ක ලිඛිත ඉතිහාසයක් පිළිබඳ කතා කරන්නෙමු. එහෙත් අපට අවුරුදු එකසිය විසි පන්දහසක (එක් ලක්ෂ විසි පන් දහසක්) පමණ ඉතිහාසයක් ඇතැයි මහාචාර්ය රාජ් සෝමදේවයන් පෙන්වා දුන්නේය. අපේ රටේ යකඩ භාවිත වන්නේ මීට වසර 440-0කට පෙරය. එහෙත් අප ඒ ඉතිහාසය අමතකි කරමින් දෙමළුන් සිංහලුන් යනුවෙන් පාරිශුද්ධභාවයක් සොයා යන්නෙමු. 
නවතම සොයාගැනීම්වලදී හමුවන කිසිවක් මේ දෙමළ මේ සිංහල යනුවෙන් නම් කළ නොහැකි බව රාජ් සෝමදේවයන් පෙන්වා දුන්නේය.  අප අවුරුදු 2500කට පෙර ඉතිහාසය අමතක කර ඇතැයි ද මහාචාර්ය රාජ් සෝමදේවයන් චෝදනාවක් ද කළේය.  
පසුගිය දිනක ඉන්දියන් එක්ස්ප්‍රස් පුවතපත ද මේ හා සම්බන්ධ වාර්තාවක් පළ කරමින්, සිංහලයන්, බෙංගාලියන් හා ඔඩිසා වැසියන් හා සමානකම් තිබෙන බව සඳහන් කර තිබුණි.
මේ ආකාරයෙන් පාරිශුද්ධත්වය සෙවීමට යෑමෙන් සිදුවන්නේ යුදෙව් සංහාරය වැන්නක් ඇතිවීම යැයි ද මහාචාර්ය රාජ් සෝමදේවයන් තවදුරටත් කීවේය.
ඒ අනුව අප අවබෝධ කරගත යුතු සරල කරුණ මෙයයි. මෙලොව කිසිවකු ශුද්ධ ජාතීන් නොවන බව පැහැදිලිය. ඉතිහාසය පුරාවටම වූ සංක්‍රමණ, නිසාවෙන් අපි සියල්ලෝම කලවම් ජාතීන් වෙමු. එබැවින මනුෂත්වයේ නාමයෙන් ප්‍රචණත්ඩත්වයෙන් වැළැකී අනෙකා ගෞරව කරන, අනෙකාගේ අයිතියට ගෞරව කරන, අනෙකාගේ අයිතිය සුරකින පුද්ගලයන් බවට පත්වීම කළ යුතුය. 
වසර 30ක යුද්ධයකින් අප ලබාගත් දෙයක්. බෝම්බ හඬවල් නැත. බෝම්බ පිපිරෙන්නේ නැත. හැබෑවය. එහෙත් යුද්ධය බිහිසුණු බව තවමත් පහව ගොස් නැත. යුද්ධයේ කම්පන හේතුවෙන් බියෙන් සැකයෙන් ජීවත්වන පිරිස් උතුරේත් දකුණේත් ඇති බව නොරහසකි. යුද්ධය නිසා අපට අහිමි වූ තරුණ ජීවිතය සංඛ්‍යාව කියා නිම කළ නොහැකි පාඩුවකි. 
එබැවින් මේ රටට තවත් යුද්ධයක් අවශ්‍ය නැත. තවත් තරුණ කැරැලි අවශ්‍ය වන්නේ නැත. අයිතිවාසිකම් දිනා ගත යුත්තේ සාමකාමීවය. සාකච්ඡාවෙනි. ප්‍රචණ්ඩත්වය කිසිවකට පිළිතුරු නොදෙන බව සක්සුදක් සේ පැහැදිලිය. එබැවින් කෝප වීමෙන්, පොලු මුගුරු අතට ගැනීමෙන්, එකිනෙකාට අපහාස කරගැනීමෙන් ලැබෙන දෙයක් නැති බව අවබෝධ කරගත යුතුය.
අප අනෙකාගේ අයිතීන් පිළිගන්නා තෙක් මේ රටට ඉදිරියට යෑමක් නැති බව අවබෝධ කරගත යුතුය. 

හර්ෂණ ත-ුෂාර සිල්වා
28.09.16

Tuesday, September 27, 2016

      ගලගොඩඅත්තේ ඥානසර හිමියන්ගේ යැයි දැක්වෙන ඡායාරූපයක් මුහුණු පොතේ පළ කිරීම සම්බන්ධයෙන් කිහිපදෙනකුම අදහස් දක්වා තිබුණි. එහි සිටින්නේ උන්වහන්සේ නොවේ නම් ඒ සම්බන්ධයෙන් කනගාටුව ප්‍රකාශ කරන අතරම උන්වහන්සේගේ ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය කරන බවස සඳහන් කරමි. උන්වහන්සේගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ඇති දැඩි විවේචනය නිසාම අදාළ ඡායාරූපය මගේ මුහුණු පොතේ බිත්තියේ එල්ලූ බව ද සඳහන් කරමි.
ජාතිවාදය, ආගම්වාදය ආදී වාද බොහෝ සීරු මාරුවෙන් තෝරාගත යුතුය. යමකුට තමා විශ්වාස කරන ආගම දහම හෝ මතයක් හෝ අන් යමක් පෙනි සීටිමට හැකි නමුත් ඉන් අන් අයට කිසිදු හානියක් සිදු නොවිය යුතුය. ප්‍රචණ්ඩත්වය ඇති නොවිය යුතුය. සමාජයට හානි නොවිය යුතුයි.
තමා විශ්වාස කරන ආගමක්, දහමක් ජාතියක් වෙනුවෙන් පෙනිසිටීම තවත් අයකු විසින් ජාතිවාදය, ආගම්වාදය හෝ ප්‍රචණ්ඩත්වය යනුවෙන් අර්ථ ගන්වනු ලැබිය හැකිය. විග්නේෂ්වරන්ගේ සිදුවීම ඊට කදිම උදාහරණයකි. 
ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව මුහුණ දී ඇති ගැටළු පිළිබඳව කතා කරන විට එය ජාතිවාදයක් හැටියට ඇතැමුන් විග්‍රහ කරන නමුත් සිය ජීවිත කාලය තුළ තමා කිසිම දිනක ජාතිවාදියකු නොවූ බවත් බීබීසී සංදේශය වෙනුවෙන් තිසර රතුවිතාන සමඟ සිදු කළ විශේෂ සාකච්ඡාවක දී උතුරු පළාත් සභාවේ මහඇමති සී වී විග්නේශ්වරන් පවසා තිබුණි. 
‘එලුග තමිල්‘ වැඩ පිළිවෙල ඉතාම සාමකාමී පාගමනක් වූ අතර එම අවස්ථාවේ තමා පැවැත්වූ කතාවේ දී මුලින් ම සඳහන් කළේ එය ‘සිංහල විරෝධී බෞද්ධ විරෝධී හෝ ආණ්ඩු විරෝධී වැඩපිළිවෙලක් නොවන බව‘ යයි මහඇමති සී වී විග්නේශ්වරන් එහිදි සඳහන් කර තිබුණි. 
එම නිසා අප එක් අයකුට ජාතිවාදි ආගම්වාදි යනුවෙන් චෝදනා කරන විට අප කරන්නේ අප ආගම වෙනුවෙන් ජාතිය වෙනුවෙන් පෙනි සිටීම යැයි එම පිරිස්වලට පැවැසිය හැකිය. එබැවින් ඕනෑම ජාතිවාදය, ආගම්වාදය හෝ වෙනයම් මතයක් සම්බන්ධයෙන් ගැටුම්   ඇති නොකරගෙන ප්‍රශ්න විසඳා ගැනීමේ ක්‍රියාවලියකට අප අවතීර්ණ විය යුතුය. 
දෙමළ ජනතාව තම අයිතිවාසිකම් ඉල්ලන්නට ගොසින් අවසානයේ එය අවසන් වූයේ බොහෝ දෙනකුට ජීවිත අහිමි කරමිනි. මේ ආකාරයෙන්ම උතුරේත් දකුණේත් අයිතිවාසිකම් ඉල්ලීමට ගොසින් ජීවිත අහිමි වූ බොහෝ දෙනකු සිටින බව නොරහසකි. එයින් පිරිසක් ආණ්ඩුවේ මර්දනයට හසු වූ බව ද අප අමතක නොකළ යුතුය. 
එම නිසා ඥානසාර හිමියන් බෞද්ධාගම වෙනුවෙන් පෙනී සිටින බව කියමින් හැසිරෙන ආකාරය කිසිසේත්ම අනුමත කළ නොහැක. එමෙන්ම උන් වහන්සේ දේශපාලනයන්ගේ ලැදිකම් අනුව කටයුතු කරමින් ජනතාව උසි ගන්වන බව ද නොරහසකි. උන්වහන්සේ සැබවින්ම පෙනි සිටින්නේ බුදු දහම රැකගැනීමටත්, සිංහල ජාතිය වෙනුවෙන් නම් ප්‍රචණ්ඩත්වය ඊට යොදාගත හැකි උපකරණය නොවන බව සඳහන් කරනු කැමැත්තෙමි. 
නැවත වරක්, උන්වහන්සේ සමඟ පෞද්ගලික අමනාපයක් නොමැති වුවත්, උන්වහන්සේගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ඇති දැඩි විරෝධය හා විවේචනය නිසාම අදාළ ඡායාරූපය මුහුණු පොතේ මගේ බිත්තියේ පළකළ බව ද අදාළ ඡායාරූපයේ සිටින්නේ උන්වහන්සේ නොවේ නම් ඒ සම්බන්ධයෙන් කනගාටුව පළ කරන බව ද සඳහන් කරමි. 

හර්ෂණ තුෂාර සිල්වා
2016.09.27

Friday, September 23, 2016

         ඔබට මතක ඇති නම් ඉකුත් 6 වැනිදා එනම් සැප්තැම්බර් 6 වැනිදා මේජර් ජෙනරාල් කමල් ගුණරත්න හමුදා දිවියේ සිය අත්දැකීම් අලළා ලියන ලද ‘රණමග ඔස්සේ නන්දිකඩාල්’ කෘතිය ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවේදී එළිදැක්විණි. ඉන් හරියටම සතියකට පසු එනම් සැප්තැම්බර් 13 වැනිදා සවස්වරුවේ කෘති  දෙකක් ජනගත කෙරුණි.

   ඉන් එකක් මාධ්‍යවේදී මා මිත්‍ර තරිඳු ජයවර්ධන ලියූ ‘ජන අරගලයක දිය සලක-ුණ - රතුපස්වල’ කෘතියයි. අනෙක පාර්ලිමේන්තු මන්ත්‍රී මලිත් ජයතිලක ලියූ ‘මා දුටු ජනවාරි 8 ’ කෘතියයි. 


මේ කෘති ජනගත කිරීමේ උත්සව තුනේදී පැහැදිලිව දක්නට තිබූ සමානතා හා අසමානාතා කිහිපයකි. එකක් මේ උත්සව තුනට සහභාගී වූ පිරිස්ය. කමල් ගුණරත්නගේ උත්සවයේ බොහෝ පිරිසක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ හිතවත් පාර්ශව යැයි යෝජනා කළ හැකිය. එහි දේශපාලන බැඳීමකින් තොර පිරිසක් සිටි බව ද අපට කිව හැකිය. ‘ජන අරගලයක දිය සලක-ුණ - රතුපස්වල’ සහ ‘මා දුටු ජනවාරි 8 ’ කෘති එළිදැක්වීමේ උලළේදී මහින්ද රාජපක්ෂ පාලනය පෙරළා දැමීමට කටයුතු කළ පිරිසක් දක්නට විය. ඒ අතරින් රතු පස්වල කෘතිය එළි දැක්වීමේ උලළේදී වත්මන් පාලනයත් පසුගිය පාලනයත් දැඩි ලෙස විවේචනය කරන පිරිසක් ද පැහැදිලිව දක්නට ලැබුණු අතර අන් උත්සව දෙකේ එසේ නොසිටියා යැයි කිව නොහැකිය. 

මෙම කෘති තුන කෙරෙහි අවධානය යොමු කිරීමේදී පොදු කරුණක් දෙස අවධානය යොමු කළ හැකිය. මේ කෘති තුනේම පසුගිය දශකයක කාලය තුළදී සිදු වූ එහෙත් දශක ගණනකට පෙර ආරම්භ වූ ගැටලුවල සංධිස්තානමය සිදුවීම් අන්තර්ගත වී ඇත. මෙවැනි කෘති තවත් බොහෝ ඇත. වික්ටර් අයිවන්ගේ කෘති, 71 කැරැල්ල ඊට උදාහරණය. 
එහෙත් අපට සමීප ඉතිහාසය දෙස බැලීමේදී මේ කෘති තුන ඉතා වැදගත්ය. ඕනෑම කෘතියකින්  සමාජගත කෙරෙන්නේ රචකයාගේ සිතුවිලිය. එසේත් නැතිනම් ඔහු හෝ ඇය විසින් මුහුණ දුන් අත්දැකීම්ය. මේ කෘති තුනේ ඇති වැදගත්ම කරුණ කෘතිවලින් කතා කරන සිදුවීම් තුනට එහි ලේඛකයන් තිදෙන සක්‍රීයව දායකවීමය. මෙම කෘතිවල ඇති කරුණුවලට යමෙක් එකඟ වන විට තවත් අයෙක් එකඟ නොවන්නටද පුළුවනි. එකඟ නොවන පිරිස් ඒ පිළිබඳ විචාරාත්මක විවේචනයක් කරන්නේ නම් එය හොඳය. සමාජය ඉදිරියට ගමන් කිරීමට එවැනි වාද විවාද, සංවාද විසංවාද හේතු වනු ඇත. එහෙත් ඒ සියල්ල ප්‍රචණ්ඩත්වයෙන් තොරය.
ඉහත කෘති තුන ලියවීමට හේතු වූ ආරම්භ ගැටලුවලට විසඳුම් ලැබී ඇත් ද ? ජලයේ විසබව නිසා පීඩා විඳින්නේ රතුපස්වල ජනතාව විතර ද ? රටේ ජාතික ගැටලුවට විසඳුමක් ලැබුණා ද ? දේශපාලන අර්බුදවලට විසඳුම් ලැබුණේ ද ? මේ කෘති ලියවන විට යම් තරමක හෝ වෙනසක් සිදු ව තිබුණද තවමත් එම ප්‍රශ්න එතැනමයි යනුවෙන් අපට කිව හැකිය. 

ඒ නිසා මෑත කාලීන ඉතිහාසයේ සිදුවීම් විශ්ලේෂණයේදී මෙම කෘති තුන විශාල කාර්යභාරයක් ඉටු කරනු ඇත. මේ කෘතිවල ඇති දෑ සත්‍ය යැයි පිළිගන්නා හෝ නොපිළිගන්නා පිරිස් ඕනෑ තරම් සිටින්නට පුළුවනි. එහෙත් වඩාත් වැදගත් වන්නේ මේ කෘතිවල අඩංගු කරුණුවලටත් වඩා එම කෘතිවල අන්තර්ගතයට, එසේත් නැතිනම් එම සිදුවීම්වල ආරම්භය කුමක් ද ? රටක් ලෙස අප ඒවාට විසඳුම් සෙව්වාද ? නැතිනම් සොයමින් සිටිනවාද යන්න සොයා බැලීමය. මේ කෘති තුන ගැනම විචාර ලියැවීමේ වැදගත් කමක් හිමිවන්නේ එහෙයිනි. 
ඕනෑම අයෙක් සත්‍යය ලෙස තේරුම් ගන්නේ තමා පිළිගැනීමට කැමැති දෙයි. ඉතිහාසය තීරණය වන්නේ එහි ලේඛකයාට අනුවය. එහෙන් රටේ ප්‍රධාන සිඳුවීම් තුනක් සම්බන්ධයෙන් එම සිදුවීම්වලට සක්‍රීයව දායක වූ පුද්ගලයන් තිදෙනෙකු කෘති තුනක් ලියා ඇත. ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කරමින් එම සිදුවීම් ගැන ඔවුන් සටහන් තබා ඇත. දැන් අවශ්‍ය වන්නේ ඊට විචාර මිස එහි මෙසේ ලියන්නට තිබුණාය, ලියා ඇති දේ වැරැදිය, මේවා එක්ව විය යුතුය ආදිය කියනවාට වඩා කෘති ගැන විචාරයක් එම කෘතිවලින් කතා කරන සිදුවීම් තුන ආරම්භ වීමට හේතු මොනවාද ? ඒවා විසඳන්නේ කෙසේ ද යන්න විචාරයක් කිරීමය. කෘති ද ඇතුළත්ව විචාර විවේචන ලියැවීමය. සංවාද විසංවාද කිරීමය. 

හර්ෂණ තුෂාර සිල්වා
23.09.16


ඡායාරූප ඩේලි එෆ්.ටී, සරසවි පොත් සාප්පුවේ වෙබ් අඩවිය, තරිඳු ජයවර්ධනගෙන් ෆේස්බුක් පිටුවෙනි..

Wednesday, September 14, 2016

සයිටම් අර්බුදය මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ සුවිශේෂී ස්ථානයක් සටහන් කරනු ඇතැයි මීට පෙර කිහිප අවස්ථාකදීම සඳහන් කළෙමි. එම අරගලයේ සතුරු හා මිත්‍ර පාර්ශව හඳුනාගැනීමේ වැදගත් කමද මම කීවෙමි. සයිටම් අර්බුදය හුදෙක් සයිටම් වැසීමෙන් හෝ ඊට විසඳුමක් දීමෙන් අවසන් නොකර එය සමස්ත අධ්‍යාපන ක්‍රියාවලිය තුළම සුවිශාල පුළුල් ප්‍රතිසංස්කරණයක් සිදු කිරීම කෙරෙහි යොමු කළ යුතු බව අප දැන්වත් තේරුම් ගත යුතුය.
ස්ලිට් ආයතනයේ සිසුන් සංවිධානය කළ පාගමනක, ඔවුන් ප්‍රදර්ශනය කළ පාඨ විකෘති කරමින් පහත් මානසිකත්වයකින් හැසිරුණේ කවුරුන්ද යන්න පිළිබඳව නොදන්නා නමුත් ඇත්තේ කනගාටුවකි. සයිටම් අර්බුදය එකිනෙකාගේ දේශපාලන වාසිවලට හසු වීමට ඉඩ නොදීම අධ්‍යාපනයට ආදරය කරන අප සියලු දෙනාගේම වගකීමකි.
සයිටම් එසේත් නැතිනම් මාලඹේ පුද්ගලික විශ්ව විද්‍යාලය ආරම්භ කළ ආාරයේ සිටම එය අවුල් ජාලයක් බව අප සියලු දෙනා දන්නා කරුණකි. සයිටම් වසා දැමීමෙන් මේ අර්බුදය විසඳනේනේ නැත. මෙරට ලියාපදිංචි කරන බොහෝ අධ්‍යාපන ආයතන තවමත් ලියාපදිංචි කෙරෙන්නේ ආයෝජනය මණ්ඩලයේය. සයිටම් පාලනාධිකාරිය අත්තතනෝමතික ලෙස ක්‍රියාකරන බව ද නොරහසකි.
ගැටලුව ඇත්තේ සටන ගෙන යා යුත්තේ කෙසේ ද යන්න පිළිබඳවය. අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය හෝ ඒ පිරිස් ’උපාධි කඩ’ යන වචනය භාවිතය සම්බන්ධයෙන් නම් මගේ ඇත්තේ කනගාටුවකි. ලාභ අරමුණු කරගෙන පටන් ගත්තද අධ්‍යාපනය දෙන තැනකට එවැන්නක් භාවිත කිරීම නුසුදුසුය යන්න මගේ හැඟීමයි. 
අධ්‍යාපන වෙළෙඳ භාණ්ඩයක් නොවන බව හැබෑය. එහෙත් වර්තමානයට සුදුසු අයුරින් අනාගත පරම්පරාවල අධ්‍යාපන අවස්ථා සැපයිය යුතුය. අධ්‍යාපනය රජයේ හෝ පුද්ගලික අංශයේ සෙල්ලම් බඩුවක් නොව, මානව අයිතිවාසිකමකි. ඒ මානව අයිතිවාසිකම නියමිත පරිදි ලැබීමට හැකි සැලසුම් සකස් කිරීමට මැදිහත් වීම අප සියලු දෙනාගේ වගකීමකි. 
සයිටම් අරගලය හුදෙක් සයිටම් වැසීමෙන් හෝ එහි ගුණාත්මකභාවය ඇති කර පිළිගත හැකි සුදුසු තැනක් බවට පත්කිරීමෙන් සියල්ල අවසන් වන්නේ නැත. පළමු ශ්‍රේණියේ සිටම, පුද්ගලික පන්ති, පුද්ගලික විශ්ව විද්‍යාල, උපාධියක් ලැබීමේ අවම සුදුසුකම් , උපාධි දෙන ආයතන ලියාපදිංචි කිරීම, ඒවායේ තත්ත්වය පරීක්ෂා කිරීම , විෂය නිර්දේශ, පහ ශිෂ්‍යත්ව විභාගය සිට උසස් පෙළ දක්වා විභාග, උසස් පෙළ අසමත් වන සිසුන්ට වෙනත් අවස්ථා සැලැසීම ආදිය ද ඇතුළු පුළුල් ප්‍රතිසංස්කරණ සිදු කරමින් රාජ්‍ය අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකසන තැනට මේ අරගලය ගෙන යා යුතුය. 

හර්ෂණ තුෂාර සිල්වා
14.09.16

කාලයකට කලින් මට නන්දා මාලිනිගේ පෝස්ටුවක් හම්බ වුණා. මේ පෝස්ටුවේ අයිතිකරු කවුරුන්ද යන වග සඳහන් කිරීමට නොහැකි වීම ගැන කනගාටුව ප්‍රකාශ කරමි.

අප නිරන්තරයෙන් එක් සිදුවීමකට කොටු වී කටයුත කරනවා විනා නිසි අවබෝධයකින් කටයුතු නොකරයි. එවැන් අවස්ථාවට අප සියලු දෙනාම වරින් වර ගොදුරු වී ඇත. යම් විටෙක පසුව කරුණු අවබෝධ කරගෙන නිහඬ වන අප යම් අවස්ථාවකදී ඒ නිවැරැදි අදහස් දැක්වීමක් සිදු කිරීමයි. යම් විටෙක කරුණු අවබෝධ කරගත්ත ද සත්‍යය නොපවසන අතර නැවතත් නැවතත් සත්‍ය සඟවමින් කටයුතු කරයි.   

නන්දා මාලිනි සුදු පැහැති ඔසරියක් හැඳ හිරු නාලිකවේ සිනමා සම්මාන උත්සවයට පැමිණීම අද වනවිට ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව ඇත. ඇය කුමක් හෝ පුද්ගලික හේතුවක් නිසා නිතර අඳින්න සුදු ඔසරිය බව ඇයගේ ගීත රස විඳින ඇය හඳුනන බොහෝ දෙනා දනිති. ඔබ දන්නවා මාර්ක සකර්බර්ග බොහෝ විට හඳින්නේ එකම වර්ණයේ ටී ෂර්ට් එකකි. එසේ එකම වර්ණයේ ඇඳුම් අඳින මා දන්නා බොහෝ පිරිස් වෙතා. ඒ අතරින් බොහෝ පිරිස් ප්‍රසිද්ධ හෝ ජනප්‍රිය චරිත නොවෙති.

නන්ද මාලිනිගේ ගීතයක් පවා අසා නැති පිරිස් මේවා මාතෘකා බවට පත් කරගනිද්දි, මීට වඩා ප්‍රශ්න අප සමාජයේ තිබෙන බව අප අවබෝධ කරගන්නේ නැත. නන්දා මාලිනි සුඳු ඔසරියක් ඇඳ පැමිණීම මාතෘකාවක් කරගත යුතු දෙයක් වන්නේ නැත. අප ඇගේ ගීතයක් ගැන කීවා නම් ඇය ගායනා කළ ගීතයක් රස වින්ඳා විචාරයක් ලීවා නම් මීට වඩා හොඳය. 



Sunday, September 11, 2016

උපන්දා සිට අප සියලු දෙනා බොහෝ සිහින පෙරදැරිව ජීවත්වන අතරම අප ඉදිරියට ගෙන යනු ලබන්නේ ද මේ සිහිනය. සමහර විටෙක අප විසින් බලාපොරොත්තු තබන බොහෝ දේ නොලැබී යන අතරම අනපේක්ෂිත අවස්ථාවලදී අප පතාගෙන සිටි යම් යම් දේ අප ඉදිරියට පැමිණෙන්නේය. 
කුඩා සිට වැඩිවියට පත්වන තුරුත් ඉන් පසුව මිය යන තුරුත් අපි විවිධ සිහින දකිමු. කුඩා කාලයේ දකින සිහින කලින් කලට වෙනස් වන අතර ජීවිතයේ සැඳෑ සමයට පැමිණෙන විට අප දකින සිහින කුඩා කාලයේ දුටුවාට වඩා හාත්පසින්ම වෙනස්ය. 
සිහින යනු එක්තරා ආකාරයකට අප සතුව දැන් නොමැති දෙයක් අත්පත් කරගැනීම හා සමානය. කුඩා කාලයේදී යම් වෘත්තිකයකු වීමේ සිහින දකින අපි වැඩිවියට පත්ව ඒ සිහිනය තරමක් සංකීර්ණ කර ගන්නෙමු. වෛද්‍යවරයකු වීම සිහිනය අප සියලු දෙනා සතුව තිබුණි. තිබෙන්නට ඇත. කුඩා කාලයේ වෛද්‍යවරයකු නොවූ අයෙක් නැති තරම්ය. 
සිහින අතර බැඳීම් පිළිබඳව, ජීවන සහකරුවන් පිළිබඳ අප දකින සිහින ද සුන්දරය. ඒ සිහින ආදරණීය වන අතරම එක්තරා ආකාරයට බොළඳ බවක් ද ඇති කරයි. අපි මේ සිහින පසුපස යන්නෙමු. සැබෑ වන සිහින අතරම බොඳ වී යන සිහින ද නැතුවා නොවේ. එහෙත් අප නැවතත් සිහිනවල ජීවත් වමු. අප ප්‍රසිද්ධියේ කීවද නොකීවද සියලු දෙනාම සිහින දකින අතර ඒවා රසවිඳිමින් කාලය ගත කරති.  
අපි විශ්වාස මත ජීවත් වන්නෙමු. සිහිනවල ජීවත් වන්නෙමු. මේ විශ්වාස හා සිහින නොවන්නට යම් විටෙක මිනිසුන් රොබෝවරුන් වී හමාරය. 
සිහින වචනාර්ථයෙන් ගත්විට නින්දේදී දකින්නකි. එහෙත් සිහිනයක් දැකීම එක්තරා ආකාරයක වෙනත් අත්දැකීමක් ලෙස ද කිව හැකිය. නින්දේදී දකින සිහින අපගේ යටි හිතේ ඇතිවන සිතුවිලි දාමයක ප්‍රතිඵලයකි. අප අත්විඳි සිදුවීම්වල අත්දැකීම්වල මතක ගොන්නකි. එහෙත් නොනිදා දකින ඊට හාත්පසින්ම වෙනස්ය. ඒ අතර බලාපොරොත්තු තවත් එකකි. 
නොනිදා දකින සිහින එක්තරා ආකාරයකට බලාපොරොත්තු ගොන්නකි. අප විසින් නොනිදා දකින සිහින, බලාපොරොත්තු ඉටු වන විට සතුටට පත්වන අපි ඒවා ඉටු නොවන විට දුකට පත්වෙමු. එහෙත් අපි අවබෝධ කරගත යුතු කරුණ නම් බලාපොරොත්ත-ු සිහින ඉටු නොවුණද ඉදිරියට යා යුතු බවය. හඳ හෝ හිරු නොපායන දවස් ඇත. එහෙත් අද නොපායන සඳ හෙට පායන්නට ඕනෑවටත් වඩා ඉඩ ඇත. අද වැසෙන දොර හෙට ඇරෙන්නට ඉඩ ඇත. එබැවින් සිහින දකින්න, බලාපොරොත්තු තබන්න, ඒ කෙරෙහි විශ්වාසය තබන්න. ඒ වෙනුවෙන් ජීවත්වෙන්න. ඉඩෝරයට පසු වැසි වසින බව අපි දනිමු. නිසංසල සීත සුන්දර හඳ දකින්නට නම් ඔබ ගිනියම් දහවල් කාලය පසු කළ යුතුය.  එබැවින් එක දවසකින් දෙකකින්, එක් පුංචි සිදුවීමකින්, සිත් රිදවීමකින් සිහින දැකීම, බලාපොරොත්තු තැබීම අත් නොහරින්න.

හර්ෂණ තුෂාර සිල්වා
11.09.16

“ජන අරගලයක දිය සලකුණ” - “රතුපස්වල”

ඔහු මට හමුවන්නේ මා පාසලේ උසස් පෙළ පන්තියේ සිටින සමයේය. පාසලේ විවිධ උත්සව ආවරණය කිරීමට පාසලට පැමිණි ඔහුත් මාත් අතර මිත්‍රත්වයක් ගොඩනැගුණු අතර පත්තර රස්සාවට ඒ මිත්‍රත්වය පාලමක් විය. සැබැවින්ම කියතොත් පත්තර රස්සාවේ මගේ මුල් ගුරුවරයා ඔහුය. මා පත්තර රස්සාවට පැමිණෙන්නේ 2013 වසරේ ජනවාරි මාසයේදීය.
එම වසරේ අගෝස්තු මාසයේදී මා දෙවැනි වරට උසස් පෙළ ලියන අගෝස්තු උදා විය. ජූලි 27 වැනිදා රතු පස්වල හා අවට ගම්මානවල ජනතාව ප්‍රදේශයේ ජලය පානයට සුදුසු නැති බව කියමින් උද්ඝෝෂණයක් ඇරැඹීය. එම උද්ඝෝෂණයට අගෝස්තු 2 වැනිදා තිස් වසරක යුද්ධයක් අවසන් රජයේ හමුදාවල ප්‍රහාරයක් එල්ල වූ එම ගැටුම්වලින් තරුණයකුට ජීවිතය ද තවත් බොහෝ පිරිසක් තුවාල ලැබූහ. එම ගැටුම්වලින් කායිකව පීඩා විඳින බොහෝ පිරිස් තවමත් වෙති.
රජයේ හමුදා හෝ ත්‍රස්තවාදය හෝ ගැටුම්වල, ප්‍රචණ්ඩ ක්‍රියාවල, ආයුදවල මිලේච්ඡත්වය, බියකරු බව තේරුම් ගැනීමට රතුපස්වල සිදුවීම් එක් සුවිශේෂී සිදුවීමකි. එක් අවස්ථාවකදී වීරත්වයෙන් උත්කර්ෂයට නංවන ලද හමුදාව තවත් අවස්ථාවකදී ප්‍රතිවාදීන් බවට පත්වූ කදිම අවස්ථාවකි රතුපස්වල සිදුවීම. එබැවින් ප්‍රචණ්ඩත්වයට, මිලේචත්වය, යුද්ධයට, ආයුදවලට එරෙහිව අප සිටගත යුත්තේ කොතැනද යන්නට කදිම උදාහරණයක් රතුපස්වල සිදුවීම අපට ලබාදෙයි. 
ඕනෑම යුද්ධයකදී රජයේ හමුදාවක නම් එම සෙබළුන්, ත්‍රස්තවාදී කණ්ඩායමක නම් එම සාමාජිකයන්, වෙනයම් සටන්කාමී කණ්ඩායමක නම් ඔවුන් කටයුතු කරන්නේ ඔවුන්ගේ නායකයන් හෝ ඉහළ පෙළ දෙන තීන්දු තීරණවලට, අණකිරීම්වලට අනුව ඒ අතරම අප විසින් අවබෝධ කරගත යුතු තවත් කරුණකි. එය ශ්‍රී ලංකා යුද හමුදාවට වුවද, එල්.ටී.ටී.ඊ ත්‍රස්ත සංවිධානයට හෝ වෙනයම් සංවිධානයකට වුවද පොදු තත්ත්වයකි. මෙරට පැවැති සිවිල් යුද්ධයේදී හමුදාවේ හෝ එල්.ටී.ටී.ඊ සංවිධානයෙන් පිරිස් අතින් අනේක වැරැදි සිදුවන්නට ඇත. ඒ සම්බන්ධයෙන් සියලු පාර්ශව එකිනෙකාගෙන් සමාව ගත යුතුය. රතුපස්වලින් හමුදාවට බැඳුණු ඕනෑ තරම් තරුණයන් ඇත. රතුපස්වල ජනතාව හමුදාවට ගරු කරනු ඇතැයි අපට නොසිතා නොසිටිය නොහැක. ඒ අතරම තමාගේ අයිතිවාසිකම් උදුරා ගන්නන්ට එරෙහිව කොතරම් ගරු කරන්නෙකු ආදරය කරන්නෙකු වුවද ඔවුන්ට එරෙහිව නැගී සිටින බවට රතු පස්වල උදාහරණයකි.
රතුපස්වල සිදුවීම් ආරම්භ වන්නේ ඇයි ? රතුපස්වල සිදුවීම ආරම්භ වන්නේ ප්‍රදේශයේ කර්මාන්තශාලාවකින් පරිසරයට එක්වන අපද්‍රව්‍ය හේතුවෙන් ප්‍රදේශයේ භූගත ජලය අපවිත්‍රවන බව පවසමිනි. ජනතාව ඊට විරෝධය පාන්නේ අද ඊයේ නොවන බව බොහෝ දෙනකු නොදැන සිටිනවා වන්නට පුළුවනි. ආහාරපාන හා ජලය යනු මිනිසාගේ මූලික අයිතිවාසිකමකි. ඕනෑ තරම් ජලය ඇතැයි කියන රටේ බීමට දිය පොදක් නොමැතිව පීඩා විඳින ජනතාව දහස් ගණනකි. ජලයට විස එකතුවීම නිසා අද වනවිට රටේ බොහෝ ප්‍රදේශවල ජනතාව විවිධ රෝගාබාධවලට ගොදුරුව ඇති බව නොරහසකි. බීමට ඇති ජලයට විස එකතුවීම තවත් අභාග්‍යයකි. මහත් අවාසනාවකි. බොහෝ වැරැදි සිදු වෙද්දීත් නිහඬව සිටින ජනතාව අතර රතුපස්වල ජනතාවට ඉතිහාසයේ සුවිශේෂී ස්ථානයක් හිමිවන්නේ, ඔවුන්ගේ සටන්කාමීත්වය නිසාම බව කිව යුතුය.
රත-ුපස්වල අරගලය දියත් වන්නේම මේ රටේ කෙදිනකවත් නොතිබූ බලයක් හිමිව තිබූ, මහත් ජනප්‍රසාදයට පත් ආණ්ඩුවකට එරෙහිවය. රතුපස්වල අරගලය ආණ්ඩු මාරු කිරීමට හේතුවක් වන්නේය. ජනාධිපතිවරණයේ සටන් පාඨයක් වන්නේය. ඒ අරුතින්ම රතුපස්වල ජන අරගලය මෙරට ඉතිහාසයේ සුවිශේෂී ස්ථානයක් හිමිවන අරගලයකි. 
අද වනවිට රතුපස්වල ජනතාවට සියයක් නොවුණද යම් යම් සාධාරණ හිමිව ඇති බව කිව යුතුය. රතුපස්වල ජනතාවගේ සටන මේ රටේ සෑම කොනකම දියත් විය යුතු සටනකි. අරගල පාවාදීම්, ජනතා එකමුතුව ආදී සියල්ලට රතුපස්වල අරගලය හොඳම උදාහරණ සපයන බව මගේ විශ්වාසයයි. ගහ කොළින් ස්වයාපෝෂිත මේ ලක් භූමියට මිනිසා විසින් කර ඇති හානියට රතුපස්වල උදාහරණ සපයයි. අප විසින් කරන ලද හානියට පරිසරයට පෙරළා අපට දඬුවම් දීමට රතුපස්වල හොඳම උදාහරණයකි.
රතුපස්වලින් උගත යුතු පාඩම් රැසකි. රතුපස්වල ජනතා අරගලවලට හොඳ තෝතැන්නකි. අනාගත අරගලවලට උත්තේජනයකි.
මේ රතුපස්වල අරගලය බොහෝ චරිත වෙති. ජනමාධ්‍යවේදීන් කිහිපදෙනකුගේම නම් ඒ අතර වෙයි. සටහන ආරම්භයේදී මම ඔහු ගැන යම් සඳහනක් කළෙමි. හවස තේ බොන්නට ගියවිට, දහවල් ආහාර ගන්නා විට ඔහු රතුපස්වල නොකී අවස්ථා විරලය. පත්තරකාරයකු ලෙස වැඩෙත්ම රතුපස්වල ගැනත් ජනමාධ්‍යය ගැනත් මම උගත ගතිමි. මුල් කාලයේදී රතුපස්වල එක් සිදුවීමක් වුවත් පසුකාලීනව මම බොහෝ දේ උගත්තෙමි. 
පෙර කී පරිදි ඔහු බොහෝ අවස්ථාවලදී රතුපස්වල ගැන කතා කළේය. හැකි සෑම අවස්ථාවකදීම රතුපස්වල ගැන ලීවේය. රතුපස්වල ජනතාවට සාධාරණය ඉටු කිරීමට බොහෝ දේ කළේය. තවමත් ඔහුගේ සටන අවසන් නැත. මීට මාස කිහිපයකට පෙර දවසක මල්ලි මං රතුපස්වල ගැන පොතක් ලියන බව ඔහු කීවේය. දැන් එය ලියා අවසන්ය. දැන් ඇත්තේ එය කියවීමේ අවස්ථාවය. සටන ඇරැඹෙනු ඇත්තේ දැන්ය. පොත ගැනත් ඔහු ගැනත් දැන් බොහෝ දෙනකු කතා කරන්නට පටන්ගෙනය. පොත ගැන ඉදිරියටත් කතා කරනු ඇත. ඔහුගේ පොත මේ රටේ අරගල ගැන, සිදුවීම් අධ්‍යයනය ගැන සුවිශේෂී සටහනක් තබනු ඇත. අරගල අධ්‍යයනයට ඔහුගේ කෘතිය අත්පොතක් වනු ඇතැයි යන්න මගේ විශ්වාසයයි. 
“ජන අරගලයක දිය සලකුණ” - “රතුපස්වල” ලියා අවසන් කරන ලද්දේ ඔහුය. ඔහු මා මිත්‍ර, පත්තර කලාවේ මුල් ගුරුවරයා ද වන තරිඳු අයියාය. https://www.facebook.com/tharindu.iranga
රතුපස්වල ජනතාව විඳි දුක විඳින්නට කැමැති නම්, ජනඅරගලයක දිය සලකුණ දකින්නට කැමැති නම්, ජල බෝතලයක් රැගෙන එන්න. වතුර බිඳක් නොබී දේශන අවසන් වන තුරු රැඳී සිටින්න. ඔබේ පැමිණීම, ඔබ විසින් දිය පොදක් පානය නොකර  දේශනවලට සවන් දෙමින් ඔබ කරන අරගලයට මගේ ප්‍රණාමය. 
එසේ අකැමැති නම්,  මෙරට අරගලවල ප්‍රධාන සාක්ෂිකරුවන් වන, විවිධ අවස්ථාවල සිය පෑනත් හඬත් අවදිකළ මහාචාර්ය සරත් විජේසුරියගේ හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන්ගේ දේශනවලට සුවපහසුව අසුන්ගෙන සවන් දෙන්න.  “ජන අරගලයක දිය සලකුණ” - “රතුපස්වල” ඔවුන් ඔබට කියාවි. කෘතිය රසවිඳීම විවේචන ඔබට බාරය.

හර්ෂණ තුෂාර සිල්වා
11.09.16

Friday, September 9, 2016

දුමින්ද සිල්වාගේ නඩු තීන්දුවත් සමඟ හිරු නාලිකාව කෙසේ කටයුතු කරනු ඇත්දැයි බොහෝ පාර්ශව බලා සිටි අතර හිරු නාලිකාව වෙනස්ම ආකාරයකට එම පුවත වාර්තා කළේය. මා ද ඇතුළුව බොහෝ පාර්ශව ඒ සම්බන්ධයෙන් විවිධ උසුළු විසුළු කළද  අප තේරුම්ගත කරුණු කිහිපයක් ඇත. 
මෙරට ජනමාධ්‍ය බොහෝ විට කටයුතු කරන්නේ එහි අයිතිකරුවන්ගේ වුවමනා එපාකම්වලට හෝ එම ආයතන ප්‍රධානීන්ගේ දේශපාලන ලැදිකම්වලට අනුවය. එය බොහෝ අවස්ථාවලදී සිදුවන්නකි. එය ජනමාධ්‍යවේදීන්ගේ වරදක් නොවන බව අප වටහා ගත යුතුය. මීට කදිම උදාහරණය දෙරණ හා සිරස නාලිකා අතර සිදු වූ ගැටුමය. එම ගැටුමින් වඩාත් අපහසුතාවට පත්වූයේ සිරස නාලිකාවේ මාධ්‍යවේදිනියයි. 
මෙරට ජනමාධ්‍යයේ වෘත්තීමය තත්ත්වය පිළිබඳ බොහෝ ගැටලු ඇති බව අපි සක් සුදක් සේ දනිමු. මෙරට බොහෝ හිමිකරුවන් ජනමාධ්‍ය ආයතන පවත්වාගෙන යන්නේ සැබෑවමට ජනමාධ්‍යයේ අවශ්‍යතාවක් නිසාද වෙනත් ව්‍යාපාර හෝ කළු සල්ලි සුදු කිරීමේ අවශ්‍යතාව හෝ වෙනත් අවශ්‍යතාවක් නිසාද යන්න සම්බන්ධයෙන් විවිධ අදහස් හා මතවාද පවති. සැබෑ අරමුණට පිටස්තර අරමුණු වෙනුවෙන් බොහෝ ආයතන පවත්වාගෙන යන බව ද කණින් කොනින් අසා ඇත්තෙමු. සැබෑ අරමුණු වෙනුවෙන්ම පවත්වාගෙන යන ඒවාද නැතැයි නොපවසමි. 
දුමින්ද සිල්වාගේ සිදුවීම්  ප්‍රධාන හා වඩාත් කතාබහකට ලක්වූ සිදුවීමක් නිසා ඊට වැඩි අවධානයක් යොමු විය. එහෙත් අපේ රටේ සෑම පුවත්පතක්ම, සෑම රූපවාහිනි නාලිකාවක්ම, සෑම ගුවන් විදුලියක්ම, වෙබ් අඩවියක්ම තම මිත්‍ර පාර්ශවයකට හෝ තම ආයතනයට සමබඳතාවක් ඇති හෝ පුවත් වාර්තා නොකළ අවස්ථා ඕනෑ තරම් ඇත. එමෙන්ම දේශපාලන හිතවත්කම් වාර්තා නොකළ පුවත් ඕනෑ තරම් ඇත. 
එම නිසා දුමින්ද සිල්වාගේ නඩු තීන්දුව අධිකරණයේ ස්වාධිපත්‍යය, ස්වාධීනත්වය ක්‍රියාත්මක වීමක් නොව අපේ රටේ ජනමාධ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ද තීරණාත්මක සංධිස්ථානයක් සනිටුවහන් කරනු ඇත. දැනට පවත්නා තත්ත්වය වෙනස් නොවූහොත් ජනමාධය ක්ෂේත්‍රයේ වෘත්තීයභාවය සම්බන්ධයෙන් වෙනස්කම් සිදු නොවූහොත්, පුවත් වාර්තා කරණය සම්බන්ධයෙන් ප්‍රතිසංස්කරණ සිදුනොවූහොත් හිරු නාලිකාවේ මාධ්‍යවේදීන් මුහුණ දුන් ඉරණමට වෙනත් ආයතනවලට මාධ්‍යවේදීන්ට ද අනාගතයේ දවසක මුහුණ දීමට සිදුවනු ඇත.



Tuesday, September 6, 2016

මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා විසින් රචිත ‘රණ මඟ ඔස්සේ නන්නදිකඩාල්’ කෘතිය කොළඹ ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවේදී ඊයේ (6) එළිදැක්විණි. මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතා අමුත්තා වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාත්, එතැනි සිටි අනෙකුත් අමුත්තන් හා නොපැමිණි බව කී, මේජර් ජෙනරාල් විජය විමලරත්න මහතාගේ බිරිඳ හැරුණුකොට අන් ආරාධිතයන් හා ආරාධනා කර නොපැමිණි අය කවුරුන්ද යන වග මම නොදනිමි. තිස් වසරක යුද්ධය නිමා කිරීමේදී පළමු හමුදා සෙබළාගේ තවමත් විවිධ පීඩා මැද ජීවත්වන හමුදා සෙබළුන් ඇතුළු සියලු දෙනා අනේක විධ කැප කිරීම් කළහ. යුද්ධය අති බිහිසුණු බව අනූව දශකයේ ඉපදුණු අපටද අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැත. එය විසි එක්වැනි සියවසේ ඉපැද තවමත් නව යොවුන් වියටවත් පා නොතැබූ පරම්රාව පවා යුද්ධයක බිහිසුණු බව කොරතම් ද යන්න දනිති. යුද්ධයකදී සියලු පාර්ශව අතින් වැරැදි සිදුවන බව ජීවිත හානි සිදුවන බව අප විවාදයකින් තොරව පිළිගත යුතුය. කෙසේ වෙතත් 2009 මැයි මස යුද්ධය අවසන් වෙද්දි මේ රටේ උපන් නූපන් සියලු පරම්පරාවන් ඊට දායකත්වය දක්වා තිබුණි.
යුද්ධය අවසන් කිරීමේදී එවකට බලයේ සිටි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාත් ඔහුගේ ආණ්ඩුවේ පිරිස්, විපක්ෂයේ ඇතැම් කණ්ඩායම්, රටේ ජනතාව, ත්‍රිවිධ හමුදාව ඇතුළු රටේ සියයට 90කට වැඩි පිරිසක් ඊට දායකත්වය සැපයූ බව අපි දනිමු. ඊට දේශපාලන වෙනස්කමක් නොතිබිය යුතුය. ලියන්නට පටන් නිසා බොහෝ දේ ලියන්නට වන බැවින් මෙය මෙසේ අවසන් කරමි.
කමල් ගුණරත්න මහතාගේ පොත පිළිගැන්වීමේ උත්සවයට ආරාධන කර නොපැමිණි අය කවුරුන්ද යන්න නොදනිමි. ඔහුගේ පොත පිළිගැන්වීමේ උත්සවයට ආරාධන ලද යුද හමුදාවේ ඔහුගේ සමකාලීනයන් නොපැමිණියේ ඇයි ද යන්න නොදනිමි. ආන්නද විද්‍යාලයේ විදුහල්පතිවරයාට හදිසියේ අමාත්‍යාංශයට කැඳවීමක් ලැබුණේ කෙසේ ද යන්න නොදනිමි.   කමල් ගුණරත්න මහතා යුද හමුදාවෙන් ඉල්ලූ සහයෝගය නොලැබුණේ ඇයි ද යන්න නොදනිමි. එහෙත් මා නිශ්චිතව දන්න එක් කරුණකි. අපි දේශපාලන සත්වයෝ වෙමු. එහෙත් දේශපාලන මැදිහත්වීම යනු ඊට හාත්පසින්ම වෙනස් ප්‍රජාතන්ත්‍රවාදය තුට්ටුවකට මායිම් නොකරන කටයුත්තක් බව ද අපි හොඳකාරයෙන් දනිමු. කමල් ගුණරත්න මහතා මහින්දවාදියකු යැයි කෙනෙකුට තර්ක කළ හැකිය. එහෙත් යුද්ධය යනු මේ රටේ සියලු පාර්ශව විසින් භුක්ති විඳ අත්දැකීම් ලැබූවකි. එබැවින් එවැන්නක් ගැන තම අත්දැකීම් ඇසුරින් රචිත කෘතියක් එළිදක්වන උත්සවයකට කමල් ගුණරත්න මහතා පවසන අයුරින් යම් යම් බාධා පැමිණවීම දේශපාලන මැදිහත්වීම් යැයි මම විශ්වාස කරමි. ඔහුගේ කෘතියේ මහින්දවාදී අදහස් තිබෙන්නට පුළුවනි. සරත් ෆොන්සේකාට විරුද්ධව හෝ ඔහුට පක්ෂව හෝ අදහස් තිබිය හැකිය. එය එසේ නම් කෘතියේ එවැනි කොටස් පිළිබඳ විචාර විවේචන ලියවීමය සිදු විය යුත්තේ.  රටක ඉතිහාසයේ කොටසක් ලියවී තිබෙන කෘතියක් එළිදක්වන උත්සවයකට කමල් ගුණරත්න මහතා කියන පරිදි මුහුණ දීමට සිදු වූ යම් යම් බාධා මෙරට සාහිත්‍යයටත්  කරන අගෞරවයක් යැයි විශ්වාස කරමි. මා ද ඇතුළු තවත් පිරිස් ඉල්ලා සිටින්නේ අවස්ථානුකූලව ලියා සිටින්නේ ද මහින්ද රාජපක්ෂ පාලනය යටතේ වුවද මෛත්‍රී රනිල් හවුල් පාලනය යටතේ වුවද වෙනයම් හෝ පාලනයක් යටතේ වුවද මේ රට තුප්පහි ලැජ්ජා සහගත දේශපාලනීකරණය වූ සංස්කෘතිය වෙනස් කිරීම මිස අන් යමක් නොවන බව කවුරුන් අවබෝධ කරගනිත් ද ? එය අවබෝධ කරගන්නා තුරු අප මහින්ද රාජපක්ෂ යටතේත් මෛත්‍රී රනිල් හවුල් ආණ්ඩුවත් යටතේත් ඉදිරි ආණ්ඩුවක් යටතේත් මේ සමාජ සංස්කෘතියේ පීඩිතයෝ ලෙස ජීවත් වනු ඇත.

හර්ෂණ තුෂාර සිල්වා
2016.-09.06

Wednesday, August 31, 2016

සයිටම්

 #සයිටම් මෙරට අධ්‍යාපන අරගලයේ #හැරවුම් ලක්ෂ්‍යක් වන බවට දැන් සැකයක් නැත. සයිටම් #අර්බුදයේදී අප විසින් හඳුනාගත යුතු කණ්ඩායම් රැසක් ඇත. සයිටම් අර්බුදය පෞද්ගලික විශ්ව විද්‍යාලය වසා දැමීමෙන් නොව සියලු දෙනාට අධ්‍යාපන අවස්ථා විවර කර දීමෙන් අවසන් වන අරගලයක් බවට පත් කරගැනීම අප සියලු දෙනාගේ අරමුණ බව කිව යුතුය.
සයිටම් අර්බුදයේදී පැහැදිලිව පෙනෙන පාර්ශව කිහිපයකි. එකක් අන්තර් විශ්ව විද්‍යාලය ශිෂ්‍ය බල මණ්ඩලය හා වෛද්‍ය පීඨ එකතුවයි. මාලඹේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලයේ මාපිය එකමුතුව තවත් එකකි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තවත් පාර්ශවයකි. ආණ්ඩුව තවත් පාර්ශවයකි. මාධ්‍ය, මහජනතාව හා සයිටම් වෙනුවෙන් පෙනි සිටින සමාජ මාධ්‍ය ඇතුළු කණ්ඩායම් තවත් පාර්ශවයකි. අනෙක් පාර්ශව ලෙස සිවිල් සංවිධාන පෙන්වා දිය හැකිය. සයිටම් අර්බුදය හේතුවෙන් පුරවැසි බලය ඇතුළු සංවිධානය කිහිපයකම අභ්‍යන්තර මත ගැටුම් ද ඇති වූ බව නොරහසකි.
අප විසින් මේ කණ්ඩායම් නිසි ලෙස බෙදා වෙන් කරගැනීමේ මේ සටනේදී ඉතා වැදගත් වනු ඇත. පුද්ගලික විශ්ව විද්‍යාල අවශ්‍ය බව අප විසින් තේරුම් ගත තිත්ත ඇත්තකි. එහෙත් ඒවා නියාමනය කිරීම, රාජ්‍ය විශ්ව විද්‍යාල තරගකාරී උසස් ගුණාත්මකභාවයකින් යුතු ඒවා බව පත් කිරීම ආදී කරුණු වෙනමම සාකච්ඡා කළ යුත්තකි.
සයිටම් වසා දැමීමෙන් මේ අර්බුදය විසඳෙන්නේ නැත. රාජ්‍ය විශ්ව විද්‍යාලවලට වසරකට ඇතුළත් කරගන්නා සිසුන් සංඛ්‍යාව 25,---000කට ආසන්නය. රජය සරසවි වරම් ලබන සියලුම සිසුන් විශ්ව විද්‍යාලවලට බඳවා ගන්නා තෙක්, සෑම වසරකම සරසවි වරම් ලැබූ එහෙත් විශ්ව විද්‍යාලයකට ප්‍රවේශ වීමේ අවස්ථාව අහිමි වූ සිසුන් කුමක් කළ යුතු ද ? යන ප්‍රශ්නයට පුද්ගලික විශ්ව විද්‍යාල එපා යැයි පවසන පිරිස පිළිතුරක් දිය යුතුයි. 
සයිටම් සිසුන් රැවටීමකට, අසාධාරණයකට ලක් වී ඇති බව පැහැදිලිය. අධ්‍යාපන ආයතනයක් වසා දැමීම අරගල කරනවාට වඩා, සයිටම් සිසුන් සමඟ එක්ව ඔවුන්ට වූ අසාධාරණයට එරෙහිව සටන් කළ යුතු බව නැවත නැවතත් අවධාරණය කරනු කැමැත්තෙමි. මේ රටේ තව තවත් අධ්‍යාපන ආයතන බිහිවිය යුතුයි. රජයේ මෙන්ම පුද්ගලික අංශයේ අධ්‍යාපන ආයතනය නියාමනය කරන එක් ආයතනයක්, පෞද්ගලික අධ්‍යාපන ආයතන පිහිටුවීම සම්බන්ධයෙන් නිශ්චිත නීතියක් පිහිටුවීම සම්බන්ධයෙන් අප සියලු දෙනා එක්ව අරගල කළ යුතුයි.
එබැවින් නියම කණ්ඩායමට පිරිසක් එක්විය යුතුයි. නියම කණ්ඩායම යනු කුමක් ද ?  සයිටම් විශ්ව විද්‍යාලයේ වැරැදි හදාගන්නා ලෙස බල කරන, පුද්ගලික අධ්‍යාපන ආයතන හා රජයේ විශ්ව විද්‍යාල තවත් බිහි කරන්නැයි ඉල්ලන, රජයේ හා පුද්ගලික යන දෙඅංශයේම අධ්‍යාපන ආයතන නියාමනය කරන, ඒවායේ ගුණාත්මකභාවය පරීක්ෂා කරන්නැයි ඉල්ලන, ඒ සඳහා ආයතන පිහිටුවන්නැයි ඉල්ලන, රාජ්‍ය ආධ්‍යපන ප්‍රතිපත්තියක් ඉල්ලන කණ්ඩායම නියම කණ්ඩායම යැයි විශ්වාස කරමි. 

#සයිටම් #ප්‍රතිපත්තිය #අධ්‍යාපන #අරගලය #හැරවුම් #අර්බුදය

හර්ෂණ තුෂාර සිල්වා
2016.08.31


අපි ජීවිත ගෙවා දමන ආකාරය ගැන කිව්වාම සංවාද කිහිපයකම යෙදෙන්න අවස්ථාව ලැබුණා. අපි ජීවිතවල සතුට තීරණය කරුණු දෙකක් තියෙනවා. එකක් අපි කැමැති දෙය කිරීම. අනෙක අපි කැමැති පුද්ගලයන් සමඟ සිටීම. අපි කැමැති දේවල් කිරීම තවත් කෙනෙකුගේ අකැමැත්තට හේතු වෙන්න පුළුවන්..ඒ ගැන වෙනමම කතා කරමු.
අපේ ජීවිතවල විවිධ ප්‍රශ්න අභියෝග, අරගල කරන්න සිදුවෙනවා. ඒක හැමෝටම පොදු කරුණක්. රටේ ජනාධිපතිවරයා, ලොව පොහොසත්ම පුද්ගලයා සිට ලොව දුප්පත්ම පුද්ගලයා දක්වා පොදු කරුණක්. එක් එක් අයගේ සමාජ මට්ටම්, වත් පොහොසත් කම්, හැකියා, දක්ෂතා, පවුල් පසුබිම මේ හැමදේම මත ඔවුන්ගේ ප්‍රශ්න රඳා පවතිනවා. සමහර ප්‍රශ්න විනාඩි දෙක තුනකට සීමා වෙන්න පුළුවන්. හැම ප්‍රශ්නයකටම උත්තරයක් තියෙනවා කිව්වට සැබෑවටම උත්තර නැති ප්‍රශ්නත් තියෙනවා. සමහර ප්‍රශ්න අපි මැරෙන තුරාවටම අපි හිත්වල ඉතිර වෙන්න පුළුවන්.
අපි හැම දවසකම මග තොටදී විවිධාකාරයේ පුද්ගලයන් හමුවෙනවා. සමහරු මුළු ජීවිත කාලේටම ඒ දකින මොහොත වෙන්න පුළුවන්. මේ හැමෝම විවිධාකාරයේ ප්‍රශ්න ඔළුවේ තියාගෙන ජීවත් වෙන මිනිස්සු වෙන්න පුළුවන්. ඒ නිසා හැමෝම කුමක් හෝ අරගලයක නිරත වෙන අරගලකරුවෝ. ඒකට පක්ෂ භේදයක්, ආගම් භේදයක්, කුල මල භේදයක් නැහැ. බඩගින්න කියන්නේ හැමෝටම පොදු ප්‍රශ්නයක්. අපි කුමන මට්ටමක, කුමන දේශපාලන දැක්මක් හෝ මොනයම් හෝ දෙයකට අයිති හෝ අදහසක් දැරුවත් මුළු ලෝකයම මුහුණ දෙන්නේ එකම ප්‍රශ්න වැලකට. එහෙත් එකිනෙකා ඒවා දකින ආකාරය, විසඳුම් සොයන ආකාරය එකිනෙකට වෙනස්. 
ඒ නිසා අපි හැමෝටම පුළුවන් තරම් කාරුණික වීමට උත්සුක විය යුතුයි. හැමෝටම ආදරයෙන් කටයුතු කරන්න මහන්සි වෙන්න ඕනේ. මේක සියයට සියයක්ම අපට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. එහෙත් අපට හමුවෙන මනුස්සයෙක් ඉල්ලන උදව්වක් කරන්න, ඔවුන්ට කාරුණික වෙන්න උත්සාහ කරන අපට ආත්ම තෘප්තියක් ගෙන දේවි. අප උපකාර කරන පුද්ගලයන්, අපව රවටාවි. අපේ මුදල් කොල්ලකාවී. අපේ සිත් රිදවාවි. එහෙම වෙන්නේ අපි බොහෝ දේ බලාපොරොත්තු වෙන්න ගියාම. සිතුවිලි තියෙන මිනිස්සු විදියට අපට අන් අයට කාරුණික වීමට යෑමෙන් සිත් රිදවීම් ඇතිවේවි. එහෙත් අනාගතයේ දවසක ඔබට සතුටු වෙන්න බොහෝ දේ ඉතිරි වේවි. කාරුණික වීම, ආදරණීය වීම ඔබට දවසක සතුටක් ගෙන ඒවි.

හර්ෂණ තුෂාර සිල්වා 
2016.08.31

Tuesday, August 30, 2016

අප විසින් ගෙවා දමන ජීවිතවල ඇති  සංකීර්ණ බව අවබෝධ වන්නේ යම් මොහොතකට වැඩ ලෝකයෙන් නිදහස් වූ වෙලාවකටය. අප ගෙවා දමන්නේ කොතරම් වෙහෙසකර, සංකීර්ණ නිස්සාර ජීවිත ද යන්න තේරුම් යන්න ඊටත් වඩා සරල දිවි ගෙවන්නන් හමු අවස්ථාවකදීය. අප බොහෝ ප්‍රශ්නවලට මුහුණ දී සිටින බව සිතුවත්, ඊටත් වඩා ප්‍රශ්නවල මුහුණ දෙන පිරිසක් සිටින බව අපට තේරුම් යන්නේ ඔවුන් හමුවූ විටය. සංකීර්ණ ජීවිතවලින් මිදීම සඳහා අප විසින් තෝරාගත යුතු බොහෝ දේ ඇති නමුත් වෙහෙසකර බව නිසාම එවැනි දෑ අප අතින් මඟ හැරී යයි. 

වෘත්තීයමය ක්ෂේත්‍රවල ඇති වැටුප්, වෘත්තීය බවක් නොතිබීම්, බොහෝ දේ නිසා අප පරීක්ෂණාගාර මීයන් බවට පත්ව ඇත. එයින් මිදීමට පොත් කියවීම, ගීතවලට සවන්දීම වැනි විවිධ පිළිතුරු තිබුණද ඒවා පවා අප වෙතින් මඟ හැරී යන්නේ අප නොදැනුවත්මය. එහෙයින් සංකීර්ණ ජීවිතවලින් ඈත්වීමට බොහෝ වෙහෙසක් ගැනීමට සිදුව ඇත. අනෙක් අතට අපව වඩාත් වෙහෙසට පත් කරන්නේ අපට සමීප යැයි සිතන අප වඩාත් ආදරය කරන පිරිස්ය. මනුස්ස බැඳීම් පවා අද වනවිට සංකීර්ණ බවට පත්ව ඇත. මනුස්ස බැඳීම් ද ලාභ අලාභ පවතින ව්‍යාපාරවල තත්ත්වයට පත්ව ඇත. සමහර අවස්ථාවකදී එසේ නොවුණද මනුස්ස බැඳීම් කිසිදු හේතුවක් නොමැතිවම අපෙන් දුරස්ව යයි. මිනිසුන් අනෙකාගේ සිතුවිලි නොතේරුම් ගැනීමට තරම් අකාරුණික ලෝකයක අප ජීවත්වන බව වරින් වර පසක් වීමම කනගාටුවට කරුණකි. එහෙත් තෘප්තිමත් බව ගෙනෙන යම් අවස්ථාවක් කොයිම හෝ අවස්ථාවක උදාවිය හැකි යන විශ්වාසයෙන් අපි ජිවිත ගෙවා දමන්නෙමු. ඒ විශ්වාසය බොහෝ විට අප ජීවත් කරවනු ඇත.  

Friday, August 19, 2016

යුද්ධයේ බිහිසුණු බව කියන්නට අපට ඇති හොඳම උදාහරණය යුද්ධයක් නැතිව පුපුරා ගිය සාලාවේ හමුදා කඳවුරය. අයිලාන් කුර්දි, ඔම්රාන් මේ යුද්ධයේ බිහිසුණු බව කියන්නට තවත් කතාය. යුද්ධය අයිලාන් කුර්දිට ජීවිත අහිමි කළ අතර ඔම්රාන්ට තවත් අවස්ථාවක් දුන්නේය. මලාලා තවත් චරිතයකි. සිරියානු යුද්ධය නිසා මේ වනවිට මියගොස් ඇති දරුවන්ගේ සංඛ්‍යාව පනස් දහසකට ආසන්නය. ඔවුන් කළ වරදක් නැත. ඔවුන් දැනගෙන සිටි දෙයක් නැත. ඔවුන් දැන දේශපාලනයක් නැත. 
යුද්ධවලට වගකිව යුත්තේ ඇමෙරිකාව යැයි චෝදනා කරන මෙරට සිටින පිරිස් ඇතුළු ලොව බොහෝ පාර්ශව, තවත් යුද්ධයක් ඇරැඹීම සඳහා පිඹුරුපත් සකසති. අර ලේ මේ ලේ යනුවෙන් බෝඞ් ගසා ගන්නා අප කවුරුවත් කවදාවත් මනුස්ස ලේ වෙනුවෙන් සටන් වදින්නේ නැත. 
වසර තිහක යුද්ධය පැවැති කාලයේ මෙරට මියගිය දරුවන්ගේ සංඛ්‍යාව කොතරම් ද යන්න අප නිශ්චිතව දන්නේ නැත. යුද්ධයත්, දේශපාලන අර්බුදත් නිසා රටට අහිමි වූ තරුණ පරම්පරාවේ ගණන අප දන්නේ නැත. නැති වූවන්, අතුරුදන් වූවන්, පැහැරගත්තවුන් මේ සියල්ල සොයා බැලිය යුතුය.
අතුරුදන්වූවන් පිළිබඳ යාන්ත්‍රණය ක්‍රියාත්මක කළ යුත්තේ අදාළ පවුල්වල කැමැත්ත අකැමැත්ත අනුව මිස රජයේ, ජාත්‍යන්තරයේ හෝ වෙනත් පාර්ශවවල කැමැත්ත නොවන බව අප තේරුම් ගත යුතුය. යමෙක් මිය ගියේද, යමෙක් අතුරුදන් වූයේද ඔවුන් පිළිබඳ ඉදිරි තීරණයක් ගැනීමේ අයිතිය, අදාළ පුද්ගලයාගේ මාපියන්, ඥාතීන්, සහෝදර සහෝදරියන්, දරුවන් හෝ සමීප ඥාතීන් සතුවිය විය. මරණයෙන් පසු අදාළ පුද්ගලයා වෙනුවෙන් අපට කළ හැකි දෙයක් නැත. ඔහුට ජීවිතය දෙන්නට අපට හැකියාවක් නැත. එහෙත් අපේ රටේ පැවැති දුක්ඛිත ඉතිහාසය නැවත කවදාවත් ඇති නොවන්නට නම්, එසේ එවැන්නක් ඇතිවන්නට හේතු සොයා ඒවාට පිළියම් සෙවිය යුතුය.
මරණයට හෝ අතුරුදන්වූවන් පිළිබඳ සෙවීම යනු සංවේදී ක්‍රියාවලියකි. තමන් හැර ගිය අයකු සම්බන්ධයෙන් සෙවීම යම් විටෙක ඔහුගේ හෝ ඇයගේ සමීපතයන්ගේ දුකක් ගෙන දිය හැකිය. ඔවුන්ගේ අකැමැත්තෙන් එවැන්නක නොකළ අතර යුතු අතරුදන් වූ අයකු සම්බන්ධයෙන් සෙවීමට එම පුද්ගලයාගේ සමීපතයන් කැමැත්ත පළ කළහොත් එය නිවැරැදි ආකාරයකින් සිදු කළ යුතුය.
අද වනවිට ලසන්තගේ ඝාතනය, එක්නැළිගොඩගේ ඝාතනය, ජනක සිසිත, තාජුඩීන්, ලලිත් කූගන් දේශපාලන සටන් පාඨ වී ඇති එය ඔවුන්ගේ සමීපතයන්ගේ හිත රිදවීමකට ලක් කරනවා විනා අන් යමක් කරන්නේ නැත. එම නිසා අතුරුදන් වූවන් පිළිබඳ සෙවීමේ ක්‍රියාවලිය නියම ක්‍රමවේදයටම සිදුවිය විය යුතුය.
ඉන්පසු බලහාත්කාරයෙන් අතුරුදන් කර ඇතිනම් එසේ කළවුන්ට දේශපාලන බලපෑම් හෝ දේශපාලන ඇඟලි ගැසීම්වලින් තොරව දඬුවම් දිය යුතුය. යුද්ධයේ සමයේදී රටේ රාජ්‍ය හමුදාව නියෝජනය කරන පිරිස්, එල්.ටී.ටී.ඊ සංවිධානයේ පිරිස් මේ දෙකටම අයත් නොවන සාමාන්‍ය පිරිස් අතුරුදන්වන්නට ඇත. මියයන්නට ඇත. එබැවින් ඒ පිළිබඳව කරුණු සොයා සමාව දීමේ ක්‍රියාවලියකට අප ගමන් කළ යුතුය.
සංහිඳියාව, සාමය ගොඩනැගීමට පෙර අප එකිනෙකාට සමාව දී රට ඉදිරියට ගෙන යෑමට උත්සුක විය යුතුය. උතුරේ ජනතාවට දකුණේ ජනතාවටත්, දකුණේ ජනතාවට උතුරේ ජනතාවටත් සමාව දෙන්නට බැරි නම් අපට කෙදිනකවත් සංහිඳියාවක් ගොඩනැගිය නොහැකිය. 

හර්ෂණ ත-ුෂාර සිල්වා
19.08.16

‘මිඩ්ල් ක්ලාස්’ ක්‍රියිසිස් සහ ‘ඩිකෝඩිං’

අපි ජන සමාජයක් විදියට උග්‍ර අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. දරුවෙක්ගේ සාර්ථකත්වය මනින්නේ, යාන වාහනවලින්, උපාධිවලින්, හම්බවෙන පඩියෙන්, කරන රස්සා...

Blog Archive