පරිපූරක ඇස්තමේන්තු යොදමින් කෝටි ගණනක වාහන ගෙන්වීමට ඇමැතිවරු කටයුතු කරමින් සිටිති. ගංවතුර හා නායයෑම්වලින් ද කොස්ගම යුද හමුදා කඳවුරේ පිපිරීමෙන් ද රටට සිදු වූ හානිය අතිමහත්ය.
දැවැනත් ණය අර්බුදයක ගිලී සිටින රටක ඇමැතිවරුන් කටයුතු කරන්නේ එසේය. එපමණක් නොව ඉන්දියාවේ ඇමැතිවරුත් එසේය තවද මෙසේ වාහන ගෙන්වන්නේ ජනාතවට සේවය කිරීමට යැයි ද පවසති.
කෙසේ හෝ දුක් මහන්සි වී උපයා ගත් මුදලින් වාහනයක් ගැනීම බොහෝ දෙනකුගේ සිහිනයකි. එම සිහිනයට ද දොරටු වැසූ වත්මන් ආණ්ඩුව ඇමැතිවරුන්ට සුඛෝපබෝගී වාහන ගෙන්වීම සඳහා කෝටි ගණනක පරපූරක ඇස්තමේන්තු ඉදිරිපත් කරති.
රටේ ආදායම ණය සේවා ගෙවා දැමීමට පමණක් යොදාගන්නා රටක මෙවැනි ක්‍රියා සිදු කරන්නේ හිත් පිත් නැති මිනිසුන් අන් කවරකුත් නොවන බව පැහැදිලිය. යහපාලන මූල ධර්ම ආරක්ෂා කරන බව පවසමින් බලයට පත් වූ වත්මන් ආණ්ඩුව නීතියේ ආධිපත්‍යයේ සිට සියලු යහපාලන මූලධර්ම මායිම් නොකරමින් කටයුතු කරන්නේ වත්මන් ආණ්ඩුවේත් පසුගිය ආණ්ඩුවේත් වෙනසක් නැති බව පෙන්වමිනි.
පසුගිය නොවැම්බර් මාසයේදී රටේ ණය ප්‍රමාණය කෝටි නව ලක්ෂය ඉක්මවා ඇතැයි පැවැසූ ආණ්ඩුව මේ කටයුතු කරන්නේ රටට කෝටි දස ලක්ෂයක අතිරික්තයක් තිබෙන අයුරිනි. මේ වනවටි රට කෝටි දස ලක්ෂයකට වඩා ණයකට උරුමකම් කියන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඉකුත් දිනෙක කීවේය.
රාජපක්ෂ ආණ්ඩුව රට රුපියල් ටි්‍රලියන 10ක ණය උගුලක හිර කර ඇතැයි ඉකුත් මාර්තු මාසයේදී ප්‍රකාශයක් කරමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය. කෙසේ වෙතත් එතරම් ණයක් උරුම රටක ඇමැතිවරුන් කටයුතු කරන ආකාරය මෙසේ දැයි ජනාධිපතිවරයා, අගමැතිවරයාගේ සිට පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන්ගෙන් ප්‍රශ්න කළ යුතුය. මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා උගන්ඩාවේ සංචාරයක නිරත වන්නේ රාජ්‍ය සම්පත්වලින්ය. මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාට ශ්‍රී ලංකා මහ බැංකුවෙන් දී ඇති ණයපත උපයෝගී කරමින් මාස 11 ක කාලයකදී ඔහු කර ඇති වියදම මිලියන 14 ඉක්මවයි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ 2015 වාර්ෂික වර්තාවට අනුව රටේ ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 76කි. එය ඊට පෙර වසරට සාපේක්ෂව සියයට 6ක වර්ධනයකි. රටේ නොපියවූ විදේශීය ණය ප්‍රමාණය රුපියල් බිලියන 2015 වසර අවසාන වන විට දී රුපියල් බිලියන 3,544.1ක් වූ අතර දේශීය ණය ප්‍රමාණය 4,959.2කි.
එහෙව් රටක ඇමැතිවරු කටයුතු කළ යුත්තේ කෙසේ ද යන්න ප්‍රශ්න කළ යුතුයි. මහජන මුදලින් වැටුප් ලබන, මහජනයා විසින් තෝරාපත් කර යවන මැති ඇමැතිවරුන් කටයුතු කරන ආකාරය පිළිබඳ, ඔවුන් රාජ්‍ය සම්පත්, රාජ්‍ය මුදල් භාවිත කරන ආකාරය පිළිබඳ රටේ සියලු පුරවැසියන් එක්ව ප්‍රශ්න කළ යුතුය. පක්ෂ පාටවලට වෙන් වී කාලය ගත කරන තාක්කල් දුර්දාන්ත පාලකයෝ මහජන මුදල් සැප සේ අව භාවිත කරනු ඇත.
හර්ෂණ තුෂාර සිල්වා
2016.06.08
මට හිතෙන දැනෙන දකින දේවල් ලියලා තියන තැන, ඇවිල්ලා බලන්න, එවබලව.............................මෙහි පළවන්නේ මාගේ පෞද්ගලික අදහස්ය
Wednesday, June 8, 2016
Monday, June 6, 2016
කොස්ගම සාලාව යුද හමුදා කඳවුරේ ඇති වූ පිපිරීමෙන් පසු බොහෝ දෙනා විවිධ ප්‍රකාශ කරන්නට විය. බොහෝ දෙනා මෙය තමන්ගේ පටු දේශපාලන වුවමනා එපාකම් ඉෂ්ඨ කරගැනීමේ පටු කාර්යවල නිරත වන අයුරු ද දක්නට තිබුණි. යුද්ධය හා ආයුද ගබඩාවක් පිපිරීම් අතර වෙනසක් ඇති බව පැහැදිලිය. එහෙත් එවැනි අවස්ථාවක ජනතාවට දැනෙන හැඟීම, ජීවිත බිය යුද්ධය, ගං වතුර ද, පිපිරීමක් ද යන්න වෙනසක් නැතිව මිනිසුන්ට දැනෙයි. මරණ බිය කාට වුව ද දැනෙයි. එහි වෙනසක් නැත.
හිටපු ජනපති, වත්මන් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාමල් රාජපක්ෂ හා උදය ගම්මන්පිල මහතා ජනාකීර්ණ ප්‍රදේශයක මෙසේ යුද හමුදා කඳවුරක් හා අවි ගබඩාවක් පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් ප්‍රකාශ කර තිබුණි.
මේ ආකාරයෙන් ආයුද ගබඩාවක් ජනාකීර්ණ ප්‍රදේශයක පවත්වා ගැනීම සම්බන්ධයෙන් බොහෝ දෙනකු ඊට විරෝධය දක් වා තිබුණි. එය එලෙස නම් උතුරේ හමුදා කඳවුරු පවත්වාගෙන යෑම ගැනද කියන්නට ඇත්තේ එයමය. දකුණේ සාමාන්‍ය ජනතාව ගැවසෙන තැන්වල හමුදා කඳවුරු පවත්වාගෙන යෑම නුසුදුසු නම් යුද්ධයක් නැති කලෙක උතුරට එය සුදුසු වන්නේ කුමන් පදනමින් ද යන්න පිළිබඳ ව කොස්ගම හමුදා කඳවුර හා ආයුද ගබඩාව පවත්වාගෙන යෑමට පමණක් විරුද්ධ පිරිස පැහැදිලි කළ යුතුය.
අපට යමක් වන තුරු අප බොහෝ දේ තේරුම් ගන්නේ නැත. ආපදා තත්ත්වයකදී හෝ හදිසි තත්ත්වයකදී කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ අපට නිසි අවබෝධයක් නැත. කොතරම් නිලධාරීන් සිටියද ආපදා තත්ත්වයකදී හෝ හදිසි තත්ත්වයකදී එම ප්‍රදේශවල දළ වශයෙන් හෝ කොතරම් පිරිසක් සිටියාද යන්න කීමට හැකි යාන්ත්‍රණයක් අප සතුව නැත. නීතිමය කටයුතු සම්බන්ධයෙන් ඇත්තේ ද අඩු සැලකිල්ලකි.
අවසානයේදී අප පාඩම් ඉගෙන නොගෙන නැවත හදිසි හෝ ආපදා හෝ තත්ත්වයක් ඇති වූ විට පැලැස්තර අලවා නිහඬව සිටිමු. කාලයක් තිස්සේ මේ ආකාරයෙන් මෙය සිදු වෙයි. මීරියබැද්ද, අරණායක, මීට වසර දෙකකට පෙර මුහුදු බඩ ප්‍රදේශවලට බලපෑ සුළං හා වැසි තත්ත්වය නිසා සිදු වූ හානිය හා කොස්ගම සාලාවේ සිදුවීමේ මීට කදිම උදාහරණය.
අප කවදා මේ තත්ත්වයෙන් ගොඩ එනු ඇත් ද ?
හර්ෂණ තුෂාර සිල්වා
2016.06.06
Friday, June 3, 2016
බි්‍රතාන්‍ය රජය 2008 වසරේ කිසිවකුට අලින් සුරතලින් ලෙස ඇති කළ නොහැකි බව පවසමින් නිවේදනයක් නිකුත් කළේය.
මහජනතාව අලි පැටවුන් සුරතලුන් ලෙස අලෙවි කිරීමට අවසර ලබාදෙන ලෙස ඉල්ලමින් ඉදිරිපත් කරන පෙත්සමකට බි්‍රතාන්‍ය ආණ්ඩුව අදාළ තීරණය ගන්නා අතර එම පෙත්සම නොසලකා හරිමින් අලි පැටවුන් සුරතලුන් ලෙස ඇති කිරීම වරදක් බව බි්‍රතාන්‍ය රජය අවධාරණ කර සිටියේය.
අදාළ පෙත්සමට සහාය දක්වමින් 650 දෙනකු ඊට අත්සන් යොදා තිබූ අතර අලි පැටවුන් සමඟ කාලය ගත කිරීමට ලැබීමෙන් මෙම මිහිපිට සිටින විශාලම ක්ෂීරපායි සතුන් පිළිබඳ අවබෝධයක් ලබාගැනීමට දරුවන්ට හැකි වනු ඇතැයි ද ඔවූහූ අවධාරණය කළහ.
කෙසේ වෙතත් අලින් ළඟා තබා ගැනීම ආරක්ෂිත නොවන බව පවසමින් එවකට පැවැති බි්‍රතාන්‍ය ආණ්ඩුව එම යෝජනාව ප්‍රතික්ෂේප කළේය.අලියකු සුරතලකු ලෙස තබාගැනීම සම්බන්ධයෙන් පෙත්සම්කරුවන් විසින් විවිධ කරුණු ඉදිරිපත් කර තිබූ අතර එම පෙත්සමට ආණ්ඩුව මෙසේ ප්‍රතිචාර දක්වා තිබුණි.
“ සුරතල-කු ඇති කිරීම මඟින් අපට ප්‍රතිලාභ රැසක් ලැබෙනවා. එය කුඩා වැඩිමහල් ද කියා වෙනසක් නැහැ. සෑම වයසකම සිටින අයකුට සුරතල-කු සිටීම ප්‍රතිලාභ රැසක් ගෙන දෙනවා.
කොහම වුණත් අලින් සුරතල් සතකු ලෙස ඇති කිරීම සුදුසු යැයි ආණ්ඩුව හිතන්නේ නැහැ. අලින් යනු ප්‍රමාණයෙන් විශාල සත්ව විශේෂයෙක්. ඔවුන් සුරතල් සතුන් ලෙස සිටීමට හුරු පුරුදු වී නැහැ. අලින්ට අවශ්‍යතා රැසක් තිබෙනවා. මනුෂ්‍යකුගේ නිවසක දී හෝ සුරතල් සතුන් ඇති කරන මධ්‍යස්ථානයකට එම අවශ්‍යතා සපුරන්න බැහැ. ” යනුවෙනි.
ද ගාඩියන් ඇසුරිනි
http://www.theguardian.com/uk/2008/jan/10/politics http://www.theguardian.com/uk/2008/jan/10/politics
අලියා පොදු දෙපලක් ද යන්න සැක සහිත බවත් ඒ නිසා සැකකරු රිමාන්ඞ් භාරයේ තබාගැනීම සිදු කළ නොහැකි බවත් පවසමින් තිළිණ ගමගේ මහතාට ඇප ලබාදීමට නුගේගොඩ අතිරේක මහේස්ත්‍රාත්වරයා කටයුතු කර තිබිණි.
අධිකරණ ක්‍රියාවලිය ඉදිරියට යන්නේ පූර්වාදර්ශ පදනම් කරගනිමිනි. අධිකරණයේ විභාග වන නඩුවකදී නිරන්තරයෙන් පෙර නඩු තීන්දු උපුටා දැක්වීම් සිදු කරනු ලබයි. විජිත හේරත් මහතා බීමතින් සිටි බව ඔප්පු කිරීමට නොහැකි වන්නේ ද ඔහු එම චෝදනවාට නිදහස් වන්නේ මේ ආකාරයේ පූර්වාදර්ශයක් පදනම් කරගෙනය.
තිළිණ ගමගේ මහතා අලි පැටවකු තබා ගැනීම සම්බන්ධයෙන් තවමත් සැකකරුවකු පමණි. ඒ නිසා ඔහුට නිර්දෝෂීභාවයේ පූර්ණ නිගමනය මත පිහිටා කටයුතු කළ හැකි වුවද අලියකු පොදු දේපලක් ද යන්න සැක සහිත බව ට මහේස්ත්‍රාත්වරයකු විසින් ප්‍රකාශ කිරීම බරපතළ කරුණකි.
එය සැලකිල්ලට ගැනීමේදී අනාගතයේ දිනෙක ඕනෑම අයෙකුට කොටි පැටවකු ගෙදර තබා ගැනීමට හැකියාව ලැබෙනු ඇත, වැලි ගොඩ දැමීමට හැකියාව ලැබෙනු ඇත. මක්නිසාදයත් ඒවා පොදු දේපළ ලෙස අර්ථ ගැන්වීමේ සැකසහිතය.
අපේ අධිකරණ පද්ධතිය මෙතරම් ජරාජීර්ණ වී ඇත්තේම සාමාන්‍ය පුරවැසියන් නීතිය නොදැනීමත් එය පරතෙරටම දැන උගත් පුද්ගලයන් එය තමන්ගේ බූදලයක් බවට පත් කරගනිමින් තමන්ට රිසි සේ භාවිත කිරීමත් හේතු කරගෙනය.
ජාතික නීති සම්මේලනය දිනයේදී නීති වෘත්තියේ යෙදි සිටින අප විසින්ම මේ ජරාජීර්ණ වී ඇති අධිකරණ පද්ධතිය පිරිසුදු කර යාවත්කාලීන කර, නිසි පරිදි ක්‍රියාත්මක වන ස්වාධීන යුක්ති සහගත පද්ධතියක් බවට පත් කර ගත යුතු බව ඔවුන් විසින් කීව ද පසුගිය කාලය පුරාවට අධිකරණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය පෙන්නුම් කරන්නේ යහපාලන තුළ ද වෙනසක් සිදු වී නැති බව නොවේද ?
තිළිණ ගමගේ මහතා අධිකරණ පද්ධතියේ තනතුරක් දැරුව ද නොදැරුව ද විත්ති කූඩුවේදී ඔහු සාමාන්‍ය පුරවැසියෙක් පමණි. ඔහුට එක් විදියක් ද ? උඩුවේ ධම්මාලෝක හිමියන්ට තවත් විදියක් ? ගෝඨාභය රාජපක්ෂ ට එක විදියක් ද ක්‍රියාත්මක වන්නේ යහපාලනයේ කුමන න්‍යයක් පදනම් කරගෙන දැයි වත්මන් ආණ්ඩුවත් අධිකරණ පද්ධතියේ ඉහළ තනතුරුවල සිටින පිරිසුත් රටවැසියන්ට පැහැදිලි කළ යුතුය.
අලියකු ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් විවිධ පුද්ගලයන්ට විවිධාකාරයෙන් නීතිය ක්‍රියාත්මක වන විට වත්මන් ආණ්ඩුව යහපාලන වචනය අව භාවිත කරමින් සිටින බව ද කිව යුතුය. යහපාලන ආණ්ඩු යැයි තමන්ගේ ආණ්ඩුව හඳුන්වා ගන්නා වත්මන් ආණ්ඩුව කිව යුත්තේ එවැනි ආණ්ඩු නැති බවය. යහපාලන, යහපත් රාජ්‍ය පාලනය දේශපාලන සංකල්පයකි. ඒ සංකල්පය යටතේ ගැනෙන ප්‍රධාන මූලධර්ම කිහිපයකි.
එම මූලධර්ම අනුගමනය කරමින්, ඒවා කඩ නොකරමින් යහපත් ලෙස රාජ්‍යය පාලනය කිරීම යහපාලනය බව කිව යුතුය. වත්මන් ආණ්ඩුව ඒ මූලධර්ම මත පිහිටා කටයුතු කරන්නේ ද ?
හර්ෂණ තුෂාර සිල්වා
2016.06.03
Subscribe to:
Posts (Atom)
‘මිඩ්ල් ක්ලාස්’ ක්‍රියිසිස් සහ ‘ඩිකෝඩිං’
අපි ජන සමාජයක් විදියට උග්‍ර අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. දරුවෙක්ගේ සාර්ථකත්වය මනින්නේ, යාන වාහනවලින්, උපාධිවලින්, හම්බවෙන පඩියෙන්, කරන රස්සා...
-
කැලැරන්ස් විජේවර්ධන, සිනමා කතාව බලන්නට ඉස්පාසුවක් ලැබුණේ අද ඉරිදා ය. මිතුරන් කිහිපදෙනකු සමඟ කැලැරන්ස් බලන්නට මීට සති දෙකකට කලින් ප්‍රවේශ පත...
-
අපි ජන සමාජයක් විදියට උග්‍ර අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. දරුවෙක්ගේ සාර්ථකත්වය මනින්නේ, යාන වාහනවලින්, උපාධිවලින්, හම්බවෙන පඩියෙන්, කරන රස්සා...