Sunday, August 17, 2025

‘මිඩ්ල් ක්ලාස්’ ක්‍රියිසිස් සහ ‘ඩිකෝඩිං’

අපි ජන සමාජයක් විදියට උග්‍ර අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. දරුවෙක්ගේ සාර්ථකත්වය මනින්නේ, යාන වාහනවලින්, උපාධිවලින්, හම්බවෙන පඩියෙන්, කරන රස්සාවෙන්, නැත්තං ලබපු අධ්‍යාපන සුදුසුකම්/සහතිකවලින්. ඒ වගේම අපි උග්‍ර අනන්‍යතා අර්බුදයකත්, උග්‍ර මධ්‍යම පාන්තික අර්බුදයකටත් මුහුණ දීලා ඉන්නවා.


අද (අගෝස්තු 17) සැලුන් එකට ගියාම වෙච්ච කතාබහක් තමයි, මිනිස්සුන්ට සල්ලි නෑ කිව්වාට, පාරට ගියාම අලුත් වාහන ගොඩයි කියන කතාව. ඇත්ත, කන්න බොන්න නැතුව, බෙහෙත් ටික නැතුව, තෙල් ටික, විදුලිය නැතුව උද්ඝෝෂණ කරපු රටක, ලෝකයට ණය රටක, පාරක තොටක ගියාම තියෙන අලුත් වාහන ගාණ, රටේ ආර්ථිකය කරන හැඳින්වීමට කිසිසේත් ගැලපෙන්නේ නැහැ. පසුගිය කාලයේ අපි විහිළුවට කිව්වෙත්, විරෝධතා ආණ්ඩුමාරු, පුටු පෙරළිවලින් පස්සේ රටේ පාරවල් සරසවපු විදිය, දන්සැල් දීපු විදිය, අවුරුදු කාපු විදිය, සංගීත ප්‍රසංග ආදිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැක්කා නං කියලා. ඒවා වෙන වෙනම කතාබහ කරන්න අවශ්‍ය මාතෘකා. 


ඉතිං, ජනසමාජයේ ආර්ථිකයත්, තනි පුද්ගලයකුගේ ආර්ථිකයත්, සමස්ත රටේ ආර්ථිකයත් අතරේ සමානකම් වගේම නොසෑහෙන්න වෙනස්කම් වගේම, ඒවා ක්‍රියාත්මක වන ආකාරයේ බරපතළ වෙනස්කම් තියෙනවා. ඉතිං මනුස්සයෙක් දියුණු වීම පොහොසත් වීම වත්කම් අත්පත් කරගැනීමත් ආර්ථිකය පල්ලම් බැහීමත්, දියුණු වීමත් සංවර්ධනය අත්පත් කරගැනීමත් කියන්නේ වෙනස්ම ආකාරයේ මාතෘකා දෙකක්. 


මෙතැන නොපෙනෙන කතාව තමයි, ලෝකය පුරාම අපි දකින දුප්පත් පොහොසත් පිරිස අතරේ ඇතිවෙන පරතරය. ඇති නැති පරතරය, සරලවම කිව්වොත්. මැදක් නැතිවෙන හැටි. අධ්‍යාපනය, සාර්ථකත්වය, දියුණුව, සංවර්ධනය කියන කරුණුවලදීත් ඇතිවෙමින් තිබෙන්නේ මේ විපරීත බව. මනුස්සකම, සානුකම්පාව, සහකම්පනය, මේ කියන දේවල් තුළින් වුණත් ඇතිවෙමින් තිබෙන්නේ මේ බරපතළ පරතරය. විපරීත ස්වභාවය. නූතන ලෝකයේ තියෙන දරුණු අර්බුදය. මධ්‍යම පාන්තික අර්බුදයේ ඉඳන් මේක හැමතැනකටම විහිදිලා. ආර්ථිකයේ ඉඳන් මනුස්සකම් සම්බන්ධකම් වෙනකම් ම. ඒ වගේම මිනිස්සු විදියට අපි තුළ ඇතිවෙමින් තිබෙන දෙබිඩි පිළිවෙත්. නූතන ලෝකයේ ආර්ථික මොඩලයත් මේකට විශාල වශයෙන් වගකියන්න ඕනේ. 


මධ්‍යම පාන්තිකයෝ විදියට මුහුණ දීලා උග්‍ර අර්බුදය අද ලාල්කාන්ත ලස්සනට කියනවා. ගේ ඉස්සරහා අලුත්ම අලුත්, හැබැයි ෆ්‍රිජ් එක හිස්. ඒ විඩියෝව මෙතැනින් බලන්න පුළුවන්. මේ කියන කතාවෙන් මේ අර්බුද සම්පූර්ණයෙන්ම කියවෙන්නේ නෑ. අපේ ජනසමාජයේ තියෙන අර්බුදය ආර්ථිකයේ පොඩි පැත්තක් විතරයි මෙතැනින් කියවෙන්නේ. 


මම මේ බ්ලොග් සටහන ලියන්න හිටියේ ඊයේ (අගෝස්තු 15). අටවන බුවනෙක බලලා එන ගමන් කල්පනා කර කර ආවේ. ඒත් නින්ද හරස් වුණා. අදත් ලියාගෙන හිටියට, සැලුන් එකයි ලාලයි ඒකට හැඳින්වීමක් අරන් දුන්නා. 


මට පුංචි කාලේ ඉඳන්, අපි දෛනකිව නොකරන, ඒත් සතුට වෙනුවෙන්, විනෝදය, රසාස්වාදය, මිහිර වෙනකං දෙයක් කරද්දි හැමතිස්සෙම ඔළුවට එන දෙයක් තියෙනවා. ඒ අම්මට තාත්තට මෙහෙම කරන්න පුළුවන් වුණා නං, මේ කෑම තිබ්බා නම්, ඉඳන් මුළු මහත් ලෝකයා සම්බන්ධයෙන් එන අදහස. රස කෑමක් කද්දි, අම්මා තාත්තා ඉඳලා එහෙම කෑමක් කන්න නොලැබෙන හැමෝම ගෙන අදහස. 


මේ අදහස එන්න ඇතැම් විට හේතු වන්නේ ඇත්තේ අපිට කවද්දි පොවද්දි, ඉතියෝපියාවේ ළමයි මතක් කරලා බැනපු හින්දද දන්නේ නෑ. ලංකාවේ ගම් පළාත්වල ළමයින්ට කන්න බොන්න නෑ කියලා පෙන්නද්දි, අම්මා තාත්තා ඒවා පෙන්න පෙන්න බැනපු නිසා ද දන්නේ නෑ. මේ ඉතියෝපියානු ළමයි ගැන කතාව මං හිතන්නේ ලංකාවට විතරක් සීමා සහිත නෑ. ලෝකයේ බොහෝ රටවලත් උදාහරණයක් විදියට උපහැරණයක් විදියට පාවිච්චිවෙලා තියෙනවා. ඒක ගැන ‘මීම්’ එකක් තිබ්බා ෆේස්බුක් එකේ, මේ ඉන්නේ ඒ ඉතියෝපියානු ළමයා කියලා. 


හැබැයි මට දැන් කල්පනා වුණේ, යුද්දේ හෝ යාපනයේ ළමයි දුක් විඳිනවා, ළමයින්ට ඉස්කෝලේ යන්න බැහැ කියන උදාහරණය අපේ අම්මලා තාත්තලා පාවිච්චි කළා ද කියලා. සහකම්පනයත් සානුකම්පාවත් සමහර විට, තමන්ගේ වත්තට විතරයි වගේ. 


ඉතිං ඊයේත් පුරුදු පරිදි මේ අදහස ආවා. නාට්‍ය බලද්දි, නාට්‍යයක් බලන්න සල්ලි නැතුව වගකීම් අස්සේ හිරවෙන මිනිස්සු, සල්ලි තිබ්බත් ඒ පහසුකම් තමන්ගේ පැත්තේ නැති මිනිස්සු, සල්ලිත් නැති අවස්ථාවත් නැති මිනිස්සු කියලා මේ විදියට දහස් ගණනක් ඉන්නවා. 


මිනිස්සුන්ගේ සවිඥානය වැඩි කරන්න පොත්පත්වලට, සිංදු ගීතවලට, නාට්‍යවලට, චිත්‍රපටවලට ලොකු හැකියාවක් තියෙනවා. කොටින්ම කිව්වොත්, කලාවට සහ සාහිත්‍යයට. හිතවත් විමුක්තිවාදියෙක් නං ඒ අදහස බැහැරවෙලා, ගල උස්සලා තිබ්බොත් මං ගෙනියන්නං කියලා කතාවක් කියලා ෂේප් වුණා. 


කොච්චර නාට්‍ය තිබ්බත්, කොච්චර පොත්පත් තිබ්බත්, ඒවා බලන්න කියවන්න අහන්න අවස්ථාවක් නැතිනං, මිනිස්සු අතරට ඒවා යන්නේ නැතිනම් අපිට පුළුවන් ද හිතන්න මිනිස්සුන්ගේ සවිඥානය වැඩිවෙයි කියලා. ඒවා ගැන කතා කරන්නේ නැතිනං අපිට පුළුවන් ද තාර්කිව හිතන මිනිස්සු හිතන රටක් බිහිවෙයි කියලා බලාපොරොත්තු තියන්න. මොකක්හරි සාහිත්‍යයක කලාවක තියෙන දෙයක්, බෙදලා බෙදලා පොඩියට තේරුම් ගන්න, ඩිකෝඩ් කරගන්න පුළුවන්නං. 


"The planet does not need more successful people. The planet desperately needs more peacemakers, healers, restorers, storytellers, and lovers of all kinds" 


දැන් ඔය උඩ කියන කතාව හැමතිස්සේම එහා මෙහා වෙනවනේ. ඔය කියන මිනිස්සු ඔක්කොම හිටියත්, මිනිස්සු පුරුදු වෙලා නැත්තං, කොච්චර ආදරේ කරන මිනිස්සු හිටියත්, කාරුණික මිනිස්සු හිටියත්, සුවපත් කරන මිනිස්සු හිටියත්, කතා කියන අය හිටියත් වැඩක් වෙයි ද ? (මේක කිසිසේත් ම ආදරය වෙනුවෙන් සාමය වෙනුවෙන් මිනිස්සු කරන වැඩ කන්දරාව හෝ කැපවීම හෝ අවතක්සේරු කිරීමක් නෙමෙයි). 


දැන් උදාහරණයකට, අපේ රටේ ඔය කියන හැමවිදියේම මිනිස්සු ඉන්නවා. එහෙම මම පෞද්ගලිකව දන්න විශාල පිරිසක් ඉන්නවා. මාධ්‍යවේදීන්ගේ ඉඳලා, කතා කියන අයගේ ඉඳලා. ලෝකය ගත්තත් එහෙමයි. මිනිස්සු සූදානම් නැතිනම්, හෝ මිනිස්සු පුරුදු පුහුණු වෙලා නැත්තං, කොච්චර කතා කිවව්ත් වැඩක් වෙයි ද ? අඩුම තරමේ සාහිත්‍යයක කලාවක තියෙන දෙයක් ‘ඩිකෝඩ්’ කරගන්න මිනිස්සුන්ට පුළුවන් වෙයි ද ? ඒක කරගන්න පුළුවන් සුළුතරය ගැන ප්‍රශ්නයක් නැහැ. ඒක හරියට පන්තියක වැඩ පුළුවන් ළමයි සහ බැරි ළමයි වගේ. අපි ගොඩයන්න නං, වැඩ පුළුවන් ළමයා වගේම වැඩ බැරි ළමයවත් තමයි ගමන යන්න ඕනේ. අනෙක් තර්කය තමයි, වැඩ බැරි ළමයි කියලා පිරිසක් නෑ, එක එක ළමයට අවශ්‍ය අවධානය, ආදී වශයෙන් අවශ්‍ය වෙන සාධක. 


අනෙක් පැත්ත තමයි ආර්ථිකය. මිනිස්සුන්ට ‘ඩිකෝඩ්’ කරගන්න වේලාවක් නැතිකම. තමන්ගේ පවුල වෙනුවෙන් ළමයි වෙනුවෙන් වාහනයක් ගන්න කන්න බොන්න ගෙයක් දොරක් හදාගන්න, මිනිස්සුන්ට පේන්න සතුටින් ජීවත් වෙන්න හැල්මේ දුවනවා. (මේ කියන කාරණය කාවවත් විවේචනය කරන්නවත්, සැලැස්මක් ඇතිව තමන්ගේ අරමුණුවලට යන මිනිස්සු හෑල්ලු කරන්නවත් නෙමෙයි. කොටින්ම කිසිම කෙනෙක් පහළට දැමීමක්, අවතක්සේරු කිරීමකවත් නෙමෙයි). 


ඔන්න ඔය කාරණයේ දී තමයි ඉතිහාසය ඉගෙන ගැනීමත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණත් වැදගත් වෙන්නේ. මිනිස්සු, මහජනතාවක් නෙමෙයි, පුරවැසියෝ බිහිකරන්නත්, ආදරය සහකම්පනය, කරුණාව, මනුස්සකම තියෙන මනුස්සයෙක් බිහි කරන්නත් තමයි අධ්‍යාපනය සකස් වෙන්න ඕනේ. 


මෙතැනින් එහාට මට නින්ද ගියා. මට නින්දෙන් ඇහරුණේ දොඩම් ගෙඩියක් හෝ ඒ් සමාන කතාවක් හීනෙන් දැකලා. මතක විදියට, දොඩම් ගෙඩියක් දැකලා නැති, කාලා නැති මිනිස්සුන්ගෙන් දොඩම් රස කොයි වගේද කියලා ප්‍රශ්න අහලා වැඩක් නෑ. සවිඥානයත්, සහකම්පනයත් ඒ වගේ තමයි. මම ලියන්න හිතාගෙන හිටියේ මේ ගැන නෙමෙයි. ඒක පස්සේ ලියමු.


Sunday, July 20, 2025

දුන්නට පැණි වරකා - දෙන්නම් කලු හරකා මා ගැන තව සලකා- දෙනවද බහ මැණිකා



කැලැරන්ස් වි‍ජේවර්ධන, සිනමා කතාව බලන්නට ඉස්පාසුවක් ලැබුණේ අද ඉරිදා ය. මිතුරන් කිහිපදෙනකු සමඟ කැලැරන්ස් බලන්නට මීට සති දෙකකට කලින් ප්‍රවේශ පත්‍ර තිබේදැයි බැලූ අවස්ථාවේදී ඉඩකඩ නොමැති හෙයින් අපට අදහස අත්හැර දමන්නට විය. 

අදත් තවත් ටිකක් වේලා ප්‍රමාද වූවා නම් අද ද චිත්‍රපටය බලන්නට වන්නේ නැත. සවස 4.30ත්, 7.30ත් යන ‘ෂෝ’ දෙකේ ම ආසන බොහෝමයක් අද දහවල වනවිටම අලෙවී වී තිබිණි. සිංහල චිත්‍රපටයක් සම්බන්ධයෙන් මා මෙවැනි අත්දැකීමක් ලැබුවේ පළමු වරට යැයි කීමේ කිසිදු වරදක් නැත. 

සිංහල චිත්‍රපටයක් බලන්න බොහෝ සෙනඟක් පැමිණි අවස්ථා, අත්දැකීම් තිබුණ ද මේ ආකාරයේ අත්දැකීමක් ලැබුවේ පළමු වරට ය. 

කැලැරන්ස් විජේවර්ධන ගැන චිත්‍රපටයක් කියූ සැණින් එලෙස බලන්නට තරම් චිත්‍රපටයක් තිබේ ද යන්න ගැන මට සිතුවිල්ලක් විය. අසන්නට ගීත නම්, අසන ගමන් ගයන්නට සිංදු නම්, කැලැරන්ස් ගැන කතා කරන්නට සිදුවීම් නම් බොහෝ ඇත. එහෙත් කැලරන්ස් ගැන චිත්‍රපටයක් යන, සිතුවිල්ල සිතේ විය. ඉතිං කැලැරන්ස් ගැන චිත්‍රපටයක් යනු කුකුස සිතුවිල්ලක් සිතේ විය. 

අඩු වියදමින් කැලැරන්ස් විජේවර්ධන සංගීත ප්‍රසංගයක් නැරැඹුවා හා අත්දැකීමක් ද චිත්‍රපටය නැරැඹීමෙන් පසු සිතෙහි තිබේ. මිත්‍රයෙකුද එවැන්නක් චිත්‍රපටය නැරැඹීමෙන් පසු පැවැසීය. 

මේ කතා කරන්නට යන්නේ චිත්‍රපටයේ කැමරා, හඬ, රංගනය යනාදී තාක්ෂණික කාරණා නොවේ. ඒවායේ අඩුපාඩු ද, මදිපාඩු ද, නොගැලපෙන තැන් ද ප්‍රායෝගික නොවන තැන් ද , කතාව සිදුවීමෙන් සිදුවීමට පනින තැන් ද, ස්වභාවික කතාබහට නොගැලපෙන තැන් ද විය. හොඳ ද නැතුවා නොවේ. සිංහල චිත්‍රපටවල මේවා අඩුවැඩියෙන් ඕනෑම සිංහල චිත්‍රපටයක ඕනෑ තරම් දැකිය හැකි ය. චිත්‍රපටයේ බොහෝ හොඳ, ලස්සන, නැතුවා නොවේ. එමෙන්ම අලුත් යැයි දක්නට සිටි නළු නිළියන් ද ඔවුන්ට හැකි පමණින් චිත්‍රපටයට සාධාරණයක් කර තිබේ යැයි කීමේ කිසිදු වරදක් නැත. 

මෑතකාලීනව සිනමාවේ පෙන්වුණු, සිංහල චිත්‍රපට දෙස බැලීමේ දී එක්කෝ සම්භාව්‍ය යැයි කියන ගණයට වැටෙන ඒවා ය. එක්කෝ කුඩා දරුවන්, යනාදීන් මුල් කරගත් චිත්‍රපටය. එසේත් නැතනම් රංජන් රාමනායක පන්නයේ චිත්‍රපටය. ඒ අතරමැද ආදර කතා ය. එසේත් නැතිනම් අතිශය සංකීර්ණ සිතන්නට පොළඹවන, යම් කිසි ආයාසයක් දරා බලා සිටිය යුතු චිත්‍රපටය ය. ඔළුව වෙහෙසිය යුතු ඒවා ය. එසේ නැතිනම් නෙළුම් කුලුන පන්නයේ චිත්‍රපටය. එසේත් නැතිනම් යම් කිසි ප්‍රහසනයක්, උපහාසයක් ඇති ආකාරයේ චිත්‍රපටය. මේ වර්ගීකරණය එතරම් සාධාරණ වර්ගීකරණයක් නොවුණ ද සිංහල සිනමාව තුළ මෑත කාලයේ ම‍ා‍ගේ අත්දැකීම නම් බිහිවෙන සිනමා නිර්මාණ එක්තරා ආකාරයක බුද්ධි මට්ටමකට ‍ජන කොට්ඨාශයකට හෝ ධ්‍රැවීකරණයකට හෝ සීමා වන ආකාරයක් නිරීක්ෂණය කළ හැකි බව ය. 

අනෙක් අතට ඉතිහාසය හෝ රජවරු හෝ ‍යනාදී ඉතිහාස සිදුවීම් පදනම් කරගත් නිර්මාණ ය. එසේත් නැතිනම් ගින්නෙන් උපන් සීතල හෝ රාණි හෝ පන්නයේ මෑත ඉතිහාසයේ සිදුවීම් සම්බන්ධ චිත්‍රපටය. මේ චිත්‍රපට ‍බොහෝමයක මාගේ අත්දැකීම නම් මේවා දෙස යම් ආකාරයක වෙහෙසක් දරා බලා සිටීමට සිදුවීම ය. යම් කිසි ආයාසයක් දැරීමට සිදුවීම ය. සිනහාව ගෙනෙන චිත්‍රපටවල ද ඒ ලක්ෂණය දක්නට ලැබෙන්නේ ය. 

සිනමා කෘතියකින් ප්‍රේක්ෂකයා සිතන්නට පෙළඹවීම ඉතා ම හොඳ ය. දේශපාලන කතාවක් කීම වඩාත් හොඳ ය. එමෙන්ම ඉහත කී ආකාරයේ විවිධ ශානරවල විවිධ ආකාරවල චිත්‍රපට බිහිවීමත්, ඒ වගේම විවිධ ස්වරූපවල චිත්‍රපට බිහිවීම ද ඉතා ම හොඳ ය. කර්මාන්තයක උන්නතියට දියුණුවට විවිධත්වය අත්‍යවශයෙන් ම අවශ්‍ය වේ. 

කැලැරන්ස් චිත්‍රපටයේ කුමන අඩුපාඩු මධ්‍යයේ වුව ද ආරම්භයේ සිට ම අවසානය දක්වාම චිත්‍රපටය බලා සිටිය හැකි වීමේ ගුණය, චිත්‍රපටය මුළුල්ලේ ම තිබිණි. එමෙන්ම ඒ ගැන සිතන්නට වෙහෙසක් දරන්නට ද අවශ්‍යතාවයක් නොවී ය. හරිම සරල සිංහලෙන් කියන්නේ නම් කම්මැලි නැතිව බලා සිටිය හැකි චිත්‍රපටයකි. 

චිත්‍රපටය (තාක්ෂණික කරුණු හැරෙන්නට) බලන අතවාරයේ වෙනත් සිතන්නට හෝ ආයාසයක් දරන්නට හෝ අවශ්‍යතාවයක් ඇති වන්නේ නැත. එපමණක් නොව ඒ ගැන ඒ තරම් විවේචනයක් ද ඇති වන්නේ නැත (නැතුවා නොවේ). උදාහරණයක් ලෙස නෙළුම් කුලුන බලන අතරවාරයේ දී එහි කොතරම් උසුළු විසුළු තිබුණ ද, චිත්‍රපටයේ තිබෙන ප්‍රායෝගික දුර්වලතා, සැබෑ ලොවට පරස්පර සිදුවීම් ගැන සිතන්නට සිදුවිය. පෙළඹවීමක් ඇති කළේ ය. මේ චිත්‍රපටය තුළින් එවැනි බලපෑමක් නොවී ය. 

එම නිසා ම, ප්‍රේක්ෂකයන් සිනමා ශාලාවලට ගෙන්වා ගැනීමට නම් මේ ආකාරයේ රසය ගෙනෙන චිත්‍රපට තව තවත් වැඩියෙන් නිෂ්පාදනය විය යුතු ය. වාණිජ සිනමාවේ සාර්ථක අත්හදා බැලීමක් ලෙස මෙම චිත්‍රපටය පෙන්වා දිය හැකි ය. චිත්‍රපටයේ කතාව, සිනමා රසය, සමාජ, දේශපාලනික පණිවුඩ, චිත්‍රපටය ලබාදෙන පණිවුඩය, යනාදී බොහෝ දේ ගැන තර්ක විතර්ක තිබිය හැකි ය. දේශපාලන පණිවුඩ කියන, සමාජ ප්‍රශ්න ගැන කියන, ප්‍රහසනය, උපහාසය ගෙනෙන චිත්‍රපට බිහි විය යුතු ය. ඒ ගැන ගැටලුවක් හෝ විවාදයක් නොමැත. කොහොම නමුත් මනුස්සයෙක්ට හවස් වරුවක් ගිහින් නිදහසේ බලන්නට මේ ආකාරයේ චිත්‍රපට බිහිවිය යුතු යි යන්න මාගේ අදහස ය. විශේෂයෙන්ම නොයෙක විධ ප්‍රශ්නවලින් ගැටලුවලින් හෙම්බත් වූ මිනිස්සුන්ට මේ ආකාරයේ විවේකයක් අවශ්‍ය ම ය. 

අනෙකුත් කරුණු සකසා ගනිමින්, ගුණාත්මකභාවය ඉහළ නංවා ගන්නා අතරවාරයේ දී ම කර්මාන්තයක් ලෙස සිරි ලංකාවේ සිනමා කර්මාන්තය උසස් කරගැනීමට නම්, දියුණු සහ වර්ධනය කරගැනීමට අවශ්‍ය නම්, මේ ආකාරයේ ‍ප්‍රේක්ෂකයන් චිත්‍රපටය තුළ කම්මැලි නැතිව, ආයාසයක් නැතුව රැඳෙන ආකාරයේ නිර්මාණය, බිහිවිය යුතු වේ.


Wednesday, December 18, 2024



මා කලකට කලියෙන් මගේ බ්ලොග් අඩවියේ දෙවියන් මුණ ගැසීම සම්බන්ධයෙන් බ්ලොග් සටහන් ලිවීය. ඊට පාදක වූ කිසිත් නොවූ අතර කොයියෝගේ පොතක තැනක තිබුණක් ගැන අදහස් ඊට මුල් විය.


“ “සෙමනේරියේදී මට දෙවියන් වහන්සේ මුණ ගැහෙන්න පුළුවන් වුණේ නෑ”. ඉර උදාව දෙස බලා ඉන්න ගමන් ඔහු කල්පනා කළේය.”   

මට දෙවියන් වහන්සේ මුණ ගැහෙන්න පුළුවන් වුණේ නෑ


මට කුඩා කළ සිටම ආගමික සංස්ථාව සම්බන්ධයෙන් කුකුසක් ව තිබිණි. ආගම හෝ ආගමික ලබ්ධීන් හෝ යම් ආකාරයක විශ්වාස, විශ්වාස කිරීම සම්බන්ධයෙන් සැකයත්, විශ්වාසයත් අවිශ්වාසයත් අතර සිරවුණු මතභේදාත්මක තත්ත්වයකි. 


මා හැදී වැඩුණේ ඉතාම මිශ්‍ර පරිසරයක ය. සිංහල-බෞද්ධ ඥාතී වටපිටාවත්, සිංහල-බෞද්ධ පාසල් පසුබිමත් දහම් පාසලත් යනාදිය මධ්‍යයේ මගේ සමීප මිතුරු මිතුරින් බවට පත්වූයේ වෙනත් ආගමික පසුබිම්වල අය ය. 


මේ නිසාම සිංහල බෞද්ධ උරුවත්, ඊට පරිභාහිරව අනෙකුත් ආගම්වල ආභාෂයත්, පොතපත කියවීමේ ලාලසාව නිසා ඒ ඒ ආගමික පසුබිම්වල සාහිත්‍යයත් තරමක් දුරට ආශ්‍රය කිරීමේ ඉඩකඩ ලැබිණි. 


ඒ කෙසේ වෙතත් කාලයත් යත්ම වාමාංශික පොතපත කියවීමත් ඇසුරු කරන්නට යෙදුණු උගතුන්, වැඩිහිටියන්, මිතුරු මිතුරියන් යනාදී මේ සියල්ල මධ්‍යයේ මා උග්‍ර සිංහල-බෞද්ධ ආගමික-සංස්කෘතික පසුබිමෙන් ඉවත්ව, සර්වාගමික තත්ත්වයකට වැටුණා යැයි කිවහොත් වඩාත් නිවැරැදි වේ. සර්වාගමික කාරණාවේ දී ද වැඳුම් පිදුම් කිරීමටත් වඩා දෙවියන් කවුරු ද යන වගත්, ආගම්වල කියන්නාවූ පරම සත්‍ය, අසවලුන් කියන්නා වූ අසවල් දෙවියන්, බුදු රදුන්, ජේසුස් යනාදී ආගමික ශාස්තෘවරුන් යනා දී සියල්ල සොයා යෑමේ ලාලසාවක් මා තුළ තිබිණි. 


මගේ ඉතිහාසය ගුරුවරුන්ට ද එහි ප්‍රණාමයක් බැර විය යුතු අතර ම, ඔවුන්ගේ නොනවත්වා ප්‍රශ්න ඇසීමත්, ඒ මධ්‍යයේ වුවත් ඉතිහාසයත් ආගමත්, යන කරුණු කාරණා මධ්‍යයේ ළාබාල මාාා කුතුහලය සංසිඳවීම වෙනුවෙන් ඔවුන්ගේ ඉවසීමට විශේෂ ස්තුතියක් හිමි විය යුතු ම ය.


මෙවැනි පසුබිමක බොහෝ අසාධාරණකම් සිත්තැවුල්, පාප අපරාධ, දුශ්ශීල ක්‍රියා මධ්‍යයේ දෙවියන් වැඩ සිටිනවාද යන බරපතළ ප්‍රශ්නය මා තුළ නොනිත් පැන නැගුණි. 


ඉතින් දෙවියන් සොයායෑමේ දෙවැනි වෑයම ආරම්භ වන්නේ මෙවැනි සමයක ය. 


දෙවියන් සම්බන්ධයෙන් සමීප මිත්‍රයකු සමඟ මීට මාස ගණනාවකට කලියෙන් බීර වීදුරු හිස් කරමින් මම බරපතළ සංවාදයක යෙදුණෙමි. 


එහිදි පැන නැගුණු කරුණු කාරණා රැසක් ඒ සැටියෙන් මට මතක නැතත්, එහි අප අතර ගොඩනැගුණු සංවාදයේ බොහෝ දෑ සැකෙවින් මතක තිබේ. ඒවා වඩාත් නිවැරැදි කරගැනීමේ ඒවා ලියා පිළියම් පිරිසුදු කරගත යුතු වේ.


ටී.එම්. ජයරත්න ගයන අඳුරු කුටිය තුළ ගීයේ මුල් තැනෙක මෙසේ කියයි. 


අඳුරු කුටි තුළ, දොරගුළු ලාගෙන ගයන ගීතිකා යදින යාතික දෙවියන් හට නෑසෙන බව ය. 


ගීතයේ යම් තැනක දෙවියන්ට උපමා කරන්නේ වෙහෙස මහන්සි වී වැඩ කරන ජනතාව ය. 


අපේ බස් හුරුවෙහිදි, අප අපගේ ඉතාම සමීප පුද්ගලයන් දෙවියන් යැයි ද, ඇතැම් විට සිය දරුවන්, ඇතැම් විටෙස ස්වාමි-පුරුෂ හෝ භාර්යාව හෝ මේ යනාදි දෙනා මගේ දෙයියෝ හෝ ඊට සමීප වචනවලින් හඳුන්වයි. 


ආචාර්ය ඔබේසේකරයන් පිළිබඳ වැඩසටහන් නැරැඹීමෙන් අනතුරුව වඩාත් තහවුරු වූ කරුණක් වූයේ ඇතැම් සිංහල හා සිංහල-බෞද්ධ ගැමි සමාජය තුළ දෙවියන් හා හඳුන්වන බොහෝ දෙනා සාමාන්‍ය මනුෂ්‍යයන් ලෙස ජීවත් වූවන් බව ය. 


මාත් මිතුරු මිතුරියන් තිදෙනකුත් අල්ලාප සල්ලාපයක දී මේ ගැන කතා කළේ කතරගම පුදබිමේ දී කතරගම දෙවියන් අලලා ඇති වූ සංවාදයක දී ය. 


දෙවියන් සොයා යෑමේ මගේ ගමන් මගට නැවත පිවිසීමේ දී මට වඩාත් තේරුම් ගිය කරුණක් නම්, දෙවියන් සොයායෑමට පෙර ඔබ දොරගුළු හැර දමා අඳුරු කුටි තුළින් එළියට පැමිණිය යුතු බව ය. 


අඳුරු කුටියේ ඇති එකම ආලෝකය ඔබ වන්නට පිළිවන. ඇතැම් විට එය දීප්තිමත්ව දිලෙන අඩුම තරමේ වහලයේ හිලකින් හෝ ඔබට හිරු එළියේ බිඳක් වැටිය යුතුම ය. 


දෙවියන් සොයා අතරවරයේ දිනක මගක දී නැවත හමුවෙමු. 


Sunday, December 31, 2023

ඉතිං සුබ අලුත් අවුරුද්දක් !

 


අලුත් අවුරුද්දක් යනු අලුත් බලාපොරොත්තුවක්, අලුත් හැඟීමක්, අලුත් විශ්වාසයක්. මේ අලුත් බව අස්සේ හැංඟිච්ච ගොඩක් පරණ දේවල් තියෙනවා. හිතේ කාලයක් තිස්සේ තිබ්බ වැඩ රාජකාරී, කාලයක් බලාපොරොත්තුවෙන් තිබ්බ දේවල්, දුක සතුට, පීඩාව, ප්‍රශ්න, සතුටු කඳුළු, ආදී බොහෝමයක් දේ මේ අලුත් බව අස්සේ හැංඟිලා තියෙනවා. ඒක නිකං හරියට මේ ඉර යට අලුත් දෙයක් නෑ කියන්නා වගේ, (there is nothing new under this sun).

ඒ කොහොම මොනවා වුණත් ජනවාරි 1 වැනිදා කියන්නේ පුංචි හරි අලුත් හැඟීමක්. ගිය අවුරුද්ද කියන්නේ ජීවිතේ පුදුමාකාර විදියට පාඩම් ඉගෙන ගත්ත අවුරුද්දක්.

මනුස්සයෙක්ට කොච්චර විභවයක්, සරලවම කිව්වොත් පොටෙන්ෂල් (potential) එකක්, ධාරිතාවයක්, කැපසිටි එකක් (capacity) එකක් තියෙනවද කියලා ඒ මනුස්සයා දන්නේ නෑ. මේක මේ ලෝකේ හැමෝටම අදාළ යි.

ඒ වගේම අර මං දවසකත් කිව්වා වගේ, ලෝකේ මේ විදියට පවතින්නේ හැමෝම නිසා නෙමෙයි පිස්සු විකාර, අතළොස්සක් නිසා.

මත මතක විදියට රිකී ජාර්විස්ගේ ආර්මගෙඩන් (Armageddon), වැඩසටහනකදී කොහෙද කියනවා, පෘථිවියට ග්‍රහලෝකයක් කඩන් වැටෙන්න යනවා නං බිලියන 8ක ඒ ගැන වද වෙන්නේ නෑ, මිලියන 100ක් වැඩිම වුණොත් ඒ ගැන වදවේවි, ඒකට පිළියම් සොයාවි කියන කතාව. මේක මීට වඩා රසවත්ව ඔහු කියනවා.

මේ මෑතකදී අර මං ලිව්වේ, මිනිස්සුන්ගේ තෘප්තිය ගැන. එහෙම තෘප්තිමත් නොවී අලුත් දේවල්, අලුත් දැනුම, තර්ක විතර්ක, වාද විවාද කරන මිනිස්සු නිසා ලෝකය ඉස්සරහට යනවා. ඒක දේශපාලනයටත් අයිතියි. හැමෝම ඇවිත් මානව හිමිකම් හරි මිනිස්සුන්ගේ අයිතිවාසිකම් ගැන හරි කතා කරන්නේ නෑ. හරිම අතළොස්සක් විතරයි ඒක කරන්නේ.

ඉතිං මං ලියන්න ගත්තේ අලුත් අවුරුද්ද ගැන. අලුත ගැන.

ජීවිතය කියන්නේ එකම විදියට සිද්ධ වෙන දෙයක් නෙමෙයි. බුදු දහමේ කියනවා වගේ අටලෝ දහම, ඔය හැම මඟුලකම මේකේ තියෙනවා. අපි කියනවා කිරියෙන් පැණියෙන් ඉතිරින්නේ නෑ, එහෙම නොවී තියෙන්නෙත් නෑ.

ජීවිතයේ ලොකුම පාඩමක් තමයි, මානසික නිදහස, මානසික තෘප්තිය, මානසික සතුට කියන්නේ. ඒක කාටවත් ගෙනත් දෙන්න හරි කාටවත් දෙන්න හරි උඩින් වැටෙන දෙයක් හරි නෙමෙයි. ඒක අපිම ළඟා කරගන්න අවශ්‍ය දෙයක්.

ඒ වගේම මේ ගෙවුණු අවුරුදු තුනේ අපි ඉගෙන ගත්තු ලොකුම පාඩමක් තමයි අපි හම්බ කරාට අපිට කන්න බැරි බව.

මේ දෙකම එකතු කළාම, අපි ජීවිතයේ ඉගෙන ගන්න අවශ්‍ය/වුවමනා පාඩම තමයි, ජීවිතය තනි තනිවමත් සාමූහිකවත් ගෙවා දැමිය යුත්තක් කියන දේ.

ඒක ඉතිං බුදු හාමුදුරුවන්ගෙන් ජේසුස් වහන්සේ, එතැන ඉඳන් නෙල්සන් මැන්ඩෙලා ඉඳන් ඔය ලැයිස්තුව දිහා බලලා තේරුම් ගන්නත් පුළුවන්. හැබැයි ඒ හැම එකක්ම එකිනෙකට වෙනස්. අපි හැමෝම වෙනස්. එකිනෙකට වෙනස්. ආවේණික යි.

අපි හැමෝම අපේ ජීවිතවල අරුත හොයාගන්නවා කියන්නේ ලේසි පහසු වැඩක් නෙමෙයි. ඒත් එක්කම සාමූහිකව ජීවත් වෙනවා කියන්නෙත් ලේසි පහසු වැඩක් නෙමෙයි.

අපි අපේ මානසික සුවය, මානසික තෘප්තිය ළඟා කරගන්න අතරෙම, ඉස්සරහ ගැන හිතන එක, සාමූහිකව ජීවත් වෙනවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. මේ දෙක කොච්චර දුරට බැලැන්ස් කරගන්න පුළුවන් ද කියන හරිම තීරණාත්මක වැඩක්.



ඔය දෙක අතරේ මට සිංදු දෙකක් මතක් වුණා.

 

නිවහල් සිතුවිලි සිතනා සිතත් උදාරයි

නිවහල් නිමැවුම් මවනා හිසත් උදාරයි

 

සබඳ අපි කඳු නොවෙමු

උනුන් පරායා නැඟෙන

සුනිල දිය දහර වෙමු

එකම ගඟකට වැටෙන

 

ඒත් එක්කම තව කතාවක් තියෙනවනේ, අපි මිනිස්සු හදන්න අවශ්‍ය වෙන්නේ අපිත් එක්ක යන්න නෙමෙයි, අපි ව පහුකරගෙන යන්න කියලා.

 

මං හිතන්නේ ඩෝල්ටන් පතපු රට හරි, කපුගේ කියපු මිතුරෝ හරි බිහිවෙන්න කාලය හරි. ඒක තනි තනිව තැනිත් තැන කාලයෙන් කාලයට වෙලා තියෙනවා. ඒත් ඒක සාමූහිකව වෙන්න ඔ්නෑයි කියලා තමා මං හිතන්නේ.

 

ඉතිං සුබ අලුත් අවුරුද්දක්.

 

Friday, July 28, 2023

තරිඳු නිදහස් කරනු

ඡායාරූපය - ෆේස්බුක් 


මා හා තරිඳු අතර මිත්‍රත්වය ආරම්භ වන්නේ මීට අවුරුදු දහයකට පෙර යැයි කිවහොත් වඩාත් නිවැරැදි ය. එකල තරිඳු රාවය පුවත්පතේ ය. මම ලංකාදීපයේ ය.

තරිඳු සිරගත කිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ විශේෂයෙන්ම ෆේස්බුක් ජන සමාජය තුළ විශාල කතාබහක් ඇති වී තිබේ. අනෙක් අතට තරිඳු කවුරුන්ද යන වග නොදන්නා අති විශාල ජන පිරිසක් මේ රටේ ජීවත් වෙති. තරිඳු ගැන නොදැනීම නම් කමක් නැත. එහෙත් මානව හිමිකම් යනු කවරේද ? භාෂණයේ නිදහස, ප්‍රකාශනයේ නිදහස, සිතීමේ නිදහස, විරෝධතා කිරීමේ නිදහස යනාදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ම සහතික කර දී ඇති මානව සමාජයක ප්‍රගමනයට බලපාන බොහෝ මූලික මිනිස් අයිතිවාසිකම් නොදන්නා අති විශාල ජනකායක් මෙරට ජීවත් වෙති.

අනෙක් අතට සම්බෝලයි බතුයිවත් කන්නට බැරි මිනිස්සුන්ට මොන මානව හිමිකම් ද යන ප්‍රශ්නය ද පැන නැගේ. ඔවුන් සවිබල ආහාර වේලක් ගන්නා දවසක මානව හිමිකම් කියා දෙන්නට ගියහොත් කියා දෙන්නට මානව හිමිකමකුත් කන්නට සම්බෝලයි බතුයිවත් නොතිබෙන්නට පුළුවන.

මා හා තරිඳු අතර, නැතිනම් අප යාළු මිත්‍රකමට කියන උඩුවා අතර මිත්‍රත්වය ආරම්භ වන්නේ තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ආරම්භ කිරීමට යන සමයේ ය.

තරිඳු මෙන්ම බිඟුන්, තරිඳු ජයවර්ධන, කසුන් පුස්සෙවල, ශාලික විමලසේන, නිරෝෂ් මෛත්‍රී, දිල්හාන් විමල්ක ආදී මෙකී නම් රැසක් කියන්නට හැකි ය. මේ මිත්‍ර සමාගම්වලට නීතිඥයන්, ක්‍රියාකාරීන්, ඇතුළු විවිධ වෘත්තිකයෝ ද එක්වූහ. ජයන්ත, රමිඳු, නජිත් මේ යනාදී අය වන අතර ඔවුන් ද තරිඳු ගැන මේ වනවිටත් සිය අවංක අදහස් සමාජ මාධ්‍යයට එක් කර ඇත.

තරිඳු ගැන ලිවීමේ ප්‍රධාන කාරණය. තරිඳු යනු අප සියලු දෙනා කැමැති අප බොහෝදෙනා ගරු කරන පුද්ගලයෙකි.

අප මිත්‍ර සංගමය තුළ ද නිරන්තරයෙන් වාද විවාද විවිධ මති මතාන්තර ඉදිරිපත් ව තිබේ. අප මේ සම්බන්ධයෙන් ඕනෑ තරම් වාද විවාද කර ඇත.

තරිඳු සිරභාරයට ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ මේ වනවිට ලොකු කතාබහක් ඇති වී තිබේ.

ඉන් ප්‍රධානම කාරණයක් වනුයේ තරිඳු මාධ්‍යවේදියෙක් ද ? සමාජ ක්‍රියාකාරිකයෙක් ද ? තරිඳු විඩියෝ කළේ ද නැද්ද යනාදි යි. මාධ්‍යවේදී හෝ සමාජ ක්‍රියාකාරි භූමිකාව හෝ දෙකම එකට කළ හැකි ද යනාදී ප්‍රශ්න ය.

මේ රටේ මාධ්‍ය ආචාර ධර්ම සම්බන්ධයෙන් විශාල කතාබහක් ද තිබේ. ඉහත සඳහන් කළ හෝ සමාජ මාධ්‍යයේ තරිඳු ගැන කරන කිසිදු ප්‍රශ්නයක් තරිඳු සිරභාරයට ගැනීමට හේතුවක් නොවේ. තරිඳුට මාධ්‍යවේදියකු වන්නටත් සමාජ ක්‍රියාකාරියකු වන්නටත් අයිතියක් තිබේ. ඒ දෙකම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර තිබෙන අයිතිවාසිකම් ය. පොලිසියේ නොපනත්කම් විඩියෝ කරන්නට ඕනෑම පුරවැසියකුට අයිතියක් තිබේ.

කොණ්ඩයෙන් ඇදීමටත්, පහරදීමටත්, වදහිංසා කරමින් අමානුෂික ලෙස පහර දීමටත් කිසිවකුටත් අයිතියක් නැත. ඒ කිසිවක් නොමැතිව නිදහසේ සිතීමට, නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමට, තමන් කැමැති ලිවීමට කීමට පුරවැසියන්ට අයිතියක් තිබේ. පුරවැසියන්ට තිබෙන සීමා මායිම් නිසා ඔවුන්ට ඡන්ද අයිතිවාසිකම් තුළින් තමන් වෙනුවෙන් තීන්දු තීරණ ගැනීමට ඒවා ක්‍රියාත්මක කිරීම යන ක්‍රියාවලියට නියෝජිතයන් පත් කර යැවීමට හැකියාව තිබේ. මේ පත් කර යවන පිරිස් ඒවා කරන්නේ ද යන්න වෙනම කාරණයකි.

මාධ්‍ය හෝ මාධ්‍යවේදීන් හෝ යනු ඒ ක්‍රියාවලියට සමාන පිරිසකි. මාධ්‍ය, රටක සිව්වුනි ආණ්ඩුව වන්නේ ද එක අතකින් ඒ නිසා ය. පුරවැසියන්ට සීමා ඇත. මාධ්‍යවේදීන් යනු පුරවැසියන් වෙනුවෙන් රටේ මහජනතාව වෙනුවෙන් එම සීමා ඉක්මවා යන පිරිසකි. මාධ්‍යයේ ප්‍රධාන මූලධර්මය ‘මහජන යහපත’, ‘මහජන ලැදියාව’, ‘මහජන අභිලාෂ’, වන්නේ එහෙයිනි.

තරිඳු මාධ්‍යවේදියෙක් ද ? සමාජ ක්‍රියාකාරිකයෙක් ද ? මාධ්‍යවේදියෙක් සමාජ ක්‍රියාකාරිකයෙක් නම් මාධ්‍යවේදියෙක් වන්නේ කොහොම ද ? සමාජ ක්‍රියාකාරිකයකුට මාධ්‍යවේදියකු විය හැකි ද යනා දී අනෙක් ප්‍රශ්න අසමින් ඔහුගේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් නිහඬ ප්‍රතිපත්තියක් දරන්නේ නම්, කියන්නට ඇත්තේ ඔවුන් ඔබ සොයා පැමිණෙනු ඇති බව ය. එවිට ඔබට ඔබවත් නොසිටිනු ඇත.

මාධ්‍යවේදියකු හෝ සමාජ ක්‍රියාකාරියකු හෝ සාමාන්‍ය පුරවැසියකු හෝ මෙලෙස අත්අඩංගුවට ගැනීමටත් මිලේච්ඡ ලෙස පහර දීමටත් කිසිවකුටත් අයිතියක් නැත. පොලිසියේ කෲර සැලකීම් ගැන දැන් කලක් තිස්සේ කතාබහට ලක්වූවත් තවමත් ඒවාට කිසිදු පිළියමක් ලැබී නැත. බොහෝ දෙනාගේ නිහඬ බව නිසාම ඒවා දිගින් දිගටම සිදුවෙමින් තිබේ.

තරිඳු සිරභාරයට ගැනීම මාධ්‍ය නිදහසට, භාෂණයේ නිදහසට, පුරවැසි අයිතිවාසිකම්වලට, මානව හිමිකම්වලට, යනාදී ශිෂ්ට සම්පන්න සමාජයක අපි පිළිගන්නා සියලු දේට එල්ල වූ බරපතළ ප්‍රහාරයකි. මේ මොහොතේ ඊට විරුද්ධ වීම හැර වෙනත් කිසිදු ප්‍රමුඛ කාර්යයක් නැත.

Sunday, August 28, 2022

හරිම ‘බෝලේ’ තෝරාගැනීම

 


දැන් නැවත වරක් විදුලි කප්පාදුවේ පැය ගණනත්, තෙල් පෝලිමේ දිගත් වැඩි වෙමින් තිබේ. ඒ අතරවාරයේ දී මර්දනයත් දිනෙන් දින විවිධාකාරයෙන් සිදුවෙමින් තිබේ. විවිධාකාරයේ මතභේද, වෙනස්කම් මධ්‍යයේ ගෝඨාභය රාජපක්ෂ පාලනය පලවා හැරීමට පැමිණි කණ්ඩායම්වල පරස්පරතා බෙදීම් යනාදී සියල්ල ද එකිනෙකාගේ දේශපාලන ස්ථාවර දේශපාලන මතවාද ද මේ වනවිට පැහැදිලිව වෙන් කර හඳුනාගැනීමට අවස්ථාව ලැබී තිබේ.

දැන් ඇත්තේ මහජනතාවගේ අරගලය ඉදිරියට ගෙන යන්නේ කෙසේදැයි තීරණය කිරීම ය. ඉදිරි උපාය මාර්ග සැලසුම් කිරීම ය.

ගාලු මුවදොර ගෝඨාගෝගම ඇතුළු අරගල භූමිවලින්, පාලන බලයේ සිටින්නන් ඉවත් වන්නැයි කී විට ඉවත් වීම අරගලය දැයි ඇතැමෙක් විමසා තිබිණි. එක් අතකින් එය සාධාරණ පැනයක් මෙන්ම අනෙක් අතින් ඉවත් වීම සම්බන්ධයෙන් සාධාරණ තර්ක ඉදිරිපත් වී තිබිණි.

කෙසේ නමුත් අරගල භූමියෙන් ඉවත් වෙනවා ද, ඉදිරියේ කළ යුත්තේ මොනවාද යනාදිය තීරණය කිරීම එකී පාර්ශව සතු ය.

අරගල කළ යුත්තේ කෙසේ දැයි ඒවා විය යුත්තේ කෙසේ දැයි ඉගැන්වීම් ගැන ද පසුගිය කාලයේ දී දැඩි කතාබහක් ඇති වී තිබිණි. මහජන නැගිටීම් විය යුත්තේ කෙසේ ද යන්න කීම, කතාබහට ලක්වූ ආකාරයෙන් මෙසේ කළ යුතුයි, එසේ කළ යුතු යි කීම කළ නොහැක්ක කි. මක්නිසාදයත්, මහජන නැගිටීම්, මහජන අරගල , මහජන විරෝධතා සිදුවන්නේ ඒවායේ ආකෘතියෙනි. ඒවා සිදුවන්නේ ඒ ඒ ආකෘතිවලිනි. ඒවා ඒ අවස්ථාවට ආවේණික ය. මෙහි අපි තේරුම් ගත යුතු ප්‍රධානම කරුණ වනුයේ, මහජනතාවගේ බලය කොතරම් ප්‍රබල ද යන කරුණ ය. මහජනතාව එක් වන්නේ නම් එය පෙරළිය නොහැකි ආපසු හැරවිය නොහැකි බලයකි. කෙසේ නමුත් මුළු මහත් මහජනතාවක් එකා වන්ව, එක් වන්නේ ද යන්න ප්‍රායෝගිකව ගැටලුවකි. එසේ වුවත් සැලකිය යුතු මහජනතාවකට වුව ද යමක් කළ හැකි බව ජූලි 9 වැනිදා පෙන්නුම් කළේ ය. පාලකයන් බිය වන්නේ ද මහජනතාවගේ මෙම බලයට ය.

දැන් පැමිණ ඇත්තේ පසුපාදයේ ආරක්ෂිතව ක්‍රීඩා කිරීමේ තත්ත්වයකට ය.

‘යන්න කී විට’ අරගලකරුවන් යෑම සාධරණීයකරණය කළ හැක්කේ මේ තත්ත්වය මත ය.

මහජනතාවගේ විරෝධතාවයේ විශේෂයෙන්ම ගාලු මුවදොර කේන්ද්‍ර කරගත් විරෝධතා ව්‍යාපාරයේ සාර්ථකත්වයට මෙන්ම අසාර්ථකත්වයට ද බලපෑවේ එකම සිදුවීම් කිහිපයක් බව අප මුලින්ම තේරුම් ගත යුතු ය.

මේ නිසා දැන් කළ යුත්තේ අඩුපාඩු වැරැදි යනාදියෙන් පාඩම් ඉගෙන නැවත ප්‍රතිසංවිධානය වීම ය.

මහජනතාවගේ විරෝධය හමුවේ පාලක පැලැන්තියේ හැසිරීමත්, රනිල් වික්‍රමසිංහ ජනාධිපති වීමෙන් ඇතැමුන් නිශ්ශබ්දී වීමත්, මර්දනය හමුවේ ඇතැමුන්ගේ දෙබිඩි පිළිවෙතත් යනාදී කරුණු රැසකින් අප තේරුම් ගත යුතු ප්‍රධාන කරුණක් තිබේ.  එනම් ඇතැම් පිරිස්වලට තිබී ඇත්තේ හුදෙක් රාජපක්ෂ විරෝධයක් පමණක් බව ය. පන්තිය සම්බන්ධ ගැටලුවක් බව ය. මේ නිසා ශිෂ්ට සම්පන්න රටක් ගොඩනැගීම රාජපක්ෂ පාලනය පෙරළා දැමීමෙන් සිදු වන්නේ නැත. එය උඩ සිට පහළටත් පහළ සිට උඩටත් සිදු විය යුත්තකි.

බොහෝ පිරිසකට තිබී ඇති ගැටලුව නම් රාජපක්ෂ තන්ත්‍රය මේ ජරා ජීර්ණ ක්‍රමය නඩත්තු කිරීමය ය. ඔවුන්ගේ අයකු එය නඩත්තු නොකිරීමේ ගැටලු වය. තමන්ගේ අයකු පැමිණ එය නඩත්තු කිරීමේ දී ඔවුන්ට ගැටලුවක් නැත. මෙහි ඇති භයානක කරුණක්, මෙය ජාත්‍යන්තර සම්බන්ධතාවලටත් අදාළ වීම ය.

ඒ නිසා රනිල් වික්‍රමසිංහගේ ජාත්‍යන්තර සම්බන්ධතා අවතක්සේරු කිරීම, හෑල්ලුවට ලක් කිරීම නොකළ යුත්තකි.

ගෝඨාභය රාජපක්ෂටත්, රාජපක්ෂලාටත් වඩාත් රනිල් වික්‍රමසිංහ භයානක බව මම කිහිපවරක්ම ලීවෙමි.

එනම් ජාත්‍යන්තර පීඩනය හමුවේ රාජපක්ෂලා වුවද ඇතැම් විට ඇතැම් දේ කරන්නට මැලිවෙති. බියවෙති. එහෙත් රනිල් වික්‍රමසිංහ ඊට වෙනස් ය. වික්‍රමසිංහ ජාත්‍යන්තරයේ අත්පොත්වලින්ම ඒ දේවල් කර ඒවායින්ම ඔවුන්ට පිළිතුරු දෙනු ඇත.

දැන් ගෙවුණු කාලයේ දී සිදු වී ඇත්තේ එය යි.

ජාත්‍යන්තර දේශපාලනයේ, යුද්ධය නීති විරෝධී දෙයක් නොවේ. අප යුද්ධය ප්‍රතික්ෂේප කළත් ජාත්‍යන්තර දේශපාලනය තුළ යුද්ධය ප්‍රතික්ෂේප වී නැත. යුධ කළ යුතු ආකාරය සම්බන්ධයෙන් නීති සකසා ඇත්තේ එනිසා ය.

ප්‍රජාතන්ත්‍රවාදය ගැන කියන රටවල් ම යුද්ධ කරන්නේ ද ඒ නිසා ය.

එක් අවස්ථාවකදී අපගේ ඉගැන්වූ දේශකයකු කීවේ පොතේ හැටිය ට මරන්න කියා ය. ඒ නිසා අප තේරුම් ගත යුත්තේ ඒකාධිපතීත්වය ප්‍රතික්ෂේප කරන පාර්ශව තමන්ගේ න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කරන ඒකාධිපතියන්ට සහාය දක්වා ඇති බව ය.

රනිල් ද ජාත්‍යන්තරය හමුවේ සිය ලිබරල් මුහුණ නඩත්තු කරමින්, ජාත්‍යන්තරයේ ම උදාහරණ ගනිමින් ඔහුගේ පාලනය ගෙන යමින් තිබේ.

අනෙක් අතට ජාත්‍යන්තරය රනිල්ට බෙදන්නේ රාජපක්ෂලාට බෙදූ හැද්දෙන් නොවන බවත් අප තේරුම් ගත යුතු ය.

අනෙක් අතට වත්මන් මර්දනය ක්‍රියාත්මක වන්නේ, ඉදිරියේදී මෙවැන්නක් ඇති වීම, මහජනතාවගේ නැගී සිටීමක් ඇති වීම වැළැක්වීමට මිස අන් යමක් නිසා නොවේ.

වත්මන් ආර්ථික අර්බුද ඉදිරියේ දී තවත් උග්‍ර වනු ඇත. අනෙක් සමාජ, දේශපාලන සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල අර්බුද ද තීව්‍ර වනු ඇත.

රටේ වත්මන් තත්ත්වය දෙස බැලීමේදීත්, ගෝලීය ආර්ථිකය දෙස බැලීමේදීත් විශේෂඥ අදහස් දෙස බැලීමේදීත් ඒ බව පෙනී යයි.

මේ නිසා දැන් පසුපාදයේ ආරක්ෂිතව ක්‍රියාත්මක කරන අතරම වරින් වර පෙර පාදයේ ප්‍රහාරත්මක පිතිකරණයකද නිරත විය.

ඒ සඳහා හරි ම පන්දුව තෝරාගැනීමේ අභියෝගය මහජනතාව ට තිබේ. විශේෂයෙන්ම විරෝධතා ව්‍යාපාරයේ නායකයන් හෝ නායක කණ්ඩායම් හෝ ඉදිරි පෙළ පිරිස් හමුවේ මෙම අභියෝගය ඇත.

 

 

Sunday, June 26, 2022

ආර්ථික අර්බුදය 5

 



ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් දේශපාලන විචාරකයන්, විශ්ලේෂකයන්, ආර්ථික විද්වතුන් මෙන්ම මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන බොහෝ දෙනා මේ වනවිට බො‌හෝ දේ ලියා ඇත.

ලාංකිකයන් පමණක් නොව මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන විදේශිකයන් පවා මේ සම්බන්ධයෙන් දිගින් දිගටම අදහස් දක්වා ඇත.

මෙය ලියන මම ද මාධ්‍යවේදියකු ලෙස නොව සාමාන්‍ය සමාජයේ සාමාන්‍ය තරුණයකු ලෙස යමක් ලිවිය යුතු යැයි අදහස් කරගනිමින් සරල යමක් ලියන්නට ආරම්භ කළ අතර මාර්තු 12 වැනිදා මගේ බ්ලෝග් අඩවියේ එසේ ලියා පළ කළෙමි.

වඩාත් බරසාර යමක් නොව සාමාන්‍යය සරල භාෂාවකින් ද සරලව යම් ගැටලුවක් ප්‍රශ්නයක් ඇති නම් අපි කළ යුත්තේ මොනා ද යන්න සම්බන්ධයෙන් සාමාන්‍ය තරුණයකු ලෙස මට අත්දැකීම් මා සිතන දේ ද එසේ ලියන්නට ආරම්භ කළ අතර ඒ අනුව ලිපි අතළොස්සක් එහි පළ කළෙමු.

පළමු ලිපිය ලියද්දීම මම මෙසේ ලීවෙමි. “මේ වනවිට රට දරුණු අර්බුදයකට මුහුණ දී සිටියි. ආර්ථික විශ්ලේෂකයන් ට අනුව නම් හරි අර්බුදය තවමත් ආරම්භ වී නොමැත.”

මේ ගැන මටත් වඩා හොඳට මා මිත්‍ර ධනා, එහෙමත් නැතිනම් ධනනාත් ප්‍රනාන්දු එක් අවස්ථාවක ලියා තිබිණි.

ධනා ලියපු ලිපි දෙකක්, එක දෙක

ධනනාත් ආර්ථිකය සම්බන්ධයෙන් නිරන්තරයෙන් අදහස් දක්වන ඒ සම්බන්ධයෙන් විශේෂඥතාවයක් දක්වන සහ ඒ සම්බන්ධයෙන් නිතර අදහස් දක්වන අයෙකි.

ධනනාත් නියෝජනය කරන ආර්ථික කඳවුර සම්බන්ධයෙන් යම් විවේචනයක් තිබේ. එනම් ඔවුන් ධනවාදී සහ ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති නියෝජනය කරන්නේ ය යනුවෙනි. මම මේ සම්බන්ධයෙන් ලියා තැබුවෙමි. මෙතැන තියෙනවා.

අපේ රටේ ලේබල් ගැසීමත් යම් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට යෑමේදී, වමේ ප්‍රතිපත්ති, නියෝ ලිබරල්, ධනවාදය ආදී එකී මෙකී නොකී තර්ක ගෙන ඒම සුලබම සිදුවන්නකි.

මගේ අදහස නම් යම් අවස්ථාවකදී, යම් ගැටලුවකට අවශ්‍ය වන්නේ ප්‍රායෝගික විසඳුම් ය. තිරසර විසඳුම් ය. එය ඇතැම් විටෙක ධනවාදී වන්නටත් තවත් විටෙක වමට බර වන්නටත් පුළුවන් ය.

අවශ්‍ය වන්නේ ගැටලුවක් ඇති නම් ගැටලුවට තිරසර විසඳුම් ය.

එම කරුණ අදටත් වලංගුය. ඊට ප්‍රධානම කරුණක් වන්නේ අපි ගසන්නේ “රෝල්” බැවිනි.

අතනින් ටිකක් අරගෙන මෙතැනටත්, මෙතැනින් ටිකක් අරගෙන අතනටත් දීමේ ක්‍රමවේදය අපි භාවිත කරමු. රටක් ලෙසත් රටේ පුරවැසියන් ලෙසත් මෙය නිරන්තරයෙන් සිදුවන්නකි.

අවුරුදු 74ක් තිස්සේ ම අපි මෙම ක්‍රමවේදය දිගින් දිගටම භාවිත කළෙමු.

යම් පුද්ගලයකු ලෙස එය කරනවා වගේ නෙමෙයි රටක ආර්ථික ප්‍රතිපත්තිය එහෙම වුණාම.

අපි අවුරුදු ගාණක් ආර්ථිකයේ මූලධාර්මික එහෙමත් නැතිනං මූලික ප්‍රශ්නවලට විසඳුම් හෙව්වේ නෑ. දීර්ඝකාලීන ප්‍රතිපත්ති සකස් කළේ නෑ.

අපි පාර්ලිමේන්තුවට පත් කරලා යවන දේශපාලනඥයෝ කළේ පුළුවන් තරම් හම්බ කරගත්තු එක සහ අවුරුදු පහකින් ආයේ පත්වෙන්න මොනාද කරන්න පුළුවන් ඒ ටික කරපු එක. ඔය චක්‍රය තමයි දිගටම කැරැකුණේ.

එහෙමයි කියලා අද රට මේ තියෙන තත්ත්වයට හේතුව දේශපාලනඥයෝ විතරක් ම නෙමෙයි. රටේ ජනතාව, එහෙමත් නැතිනම් මහජනතාවත් වගකියන්න අවශ්‍ය යි. එතැන තියෙන ප්‍රධානම කරුණ තමයි, අපට පුරවැසියෝ හිඟ වීම.

කොහොමින් කොහොම හරි පහුගිය අවුරුදු දෙක තුනේදී වුණේ, ටිකක් පස්සේ එන්න තිබ්බ අවුල් ගොඩක් ඉක්මන් කරගත්තු එක.

කලින් පත්වෙච්චි ආණ්ඩු පැලැස්තර විසඳුම් ගහලා, රෝල් ගහලා වැඩේ ෂේප් කරගත්තා.

බිත්තියක සිදුරකින් වහලේ හිලකින් වතුර වැටෙනවා නං අපි කරන්නේ මොකක් හරි විදියකින් තාවකාලිකව සිදුර හෝ හිල වහන එක. වතුර වැටෙන තැනට භාජනයක් තියන එක. ඒත් මේ ආණ්ඩුව කළේ ඒ සිදුර නැතිනං හිල ලොකු කරපු එක.

ඒකෙන් වුණු ඉරි තලපු තැන් තවත් ඉරි තැලුවා. වතුර ගලන එක වැඩි වුණා. දැන් ඉතින් එක දිගට ගලනවා.

එහෙම වෙලත් මේ ආණ්ඩුව තවමත් අඩුම ගාණේ කෙටි කාලීන සැලැස්මක් ඇතිව හරි වැඩ කරන බවක් පේන්නේ නෑ.

පොඩි පොඩි තැන් තිබ්බට දීර්ඝකාලීන සැලැස්මක්, මධ්‍ය කාලීන හා කෙටිකාලීන සැලැස්මක් පේන්න නැහැ.

ඒ වගේම කලින් කරපු වැරැදි ටික ඒ විදියට කරගෙන යනවා.

තමන්ගේ පැවැත්ම තහවුරු කරගන්න වත් බුද්ධිමත් දෙයක් කරන බවක් පේන්නේ නැහැ.

ඒ වගේ විරෝධතාකරුවන්ට පහර දුන්නු සැකකරුවෝ අත්අඩංගුවට ගන්නවා වගේ සාධනීය දේවල් කරන්නෙත් නැහැ.

ඒ වගේම විරෝධතාවල හිටපු මිනිස්සු අත්අඩංගුවට ගන්නවා. පොලිස් කෲරත්වය පවත්වාගෙන යනවා. රාජ්‍ය මර්දනය ක්‍රියාත්මක කරනවා.

මේ ක්‍රියාදාමයෙන් වෙන්නේ තවමත් ආණ්ඩුව ගැන විශ්වාසය තියාගෙන ඉන්න මිනිස්සු ටිකත් නැති කරගැනීම.

ඒ වගේම අර්බුදය තවදුරටත් උත්සන්න කිරීම.

Thursday, April 14, 2022

කියවන්නම ඕනේ පොතක්

 

 

අලුත් අවුරුද්දට, අවුරුද්ද ලබද්දි, නැතිනං වැඩ අල්ලදි අම්මා පොඩි කාලේ ඉඳන් අපිට පුරුදු කළේ පොතක් කියවන්න.

මේ පුරුද්ද ජනවාරි 1 වැනිදටත් සිංහල දෙමළ අලුත් අවුරුද්දත් දැන් අවුරුදු ගාණක් තිස්සේ කෙරෙනවා.

ඉතිං මේ අලුත් අවුරුද්ද ලබද්දි, අලුත් අවුරුද්දේ වැඩ අල්ලද්දි කියවන්න හොඳම පොත තමා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව.

නිල භාෂාවෙන් කියනවා නම්, ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව.

මේ පොතේ රට ගැන, රටේ ජනතාව, ජනතාවගේ අයිතිවාසිකම්, අධිකරණය, පාර්ලිමේන්තුව, මහජන ආරක්ෂාව, මේ දවස්වල අපි වැඩි වැඩියෙන් කතා වෙන මූල්‍ය ආදී ඉතා වැදගත් කරුණු ගණනාවක් තිබෙනවා.

රටක දේශපාලන සාක්ෂරතාව ඇති පුද්ගලයකු වීමට නම් ඔහු හෝ ඇය හෝ එම මනුෂ්‍යයා අනිවාර්යෙන්ම මෙය කියවිය යුතු යැයි යන්න මගේ අදහස යි.

පාර්ලිමේන්තුවට පත්වන නීති සම්පාදකයන්ගෙන් බොහෝ පිරිසක් මෙය නොකියවීම ම අපේ රටේ අභාග්‍යයක්.

රටේ ඉහළම පාලකයන් ආණ්ඩුකම ව්‍යවස්ථාව නොකියවීම තවත් අර්බුදයක්.

මුලින් ම සඳහන් කළ යුතු යමක් අමතක වුණා.

රට කරවන ලියවිල්ල තමා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව.

එහෙමත් නැතිනං රටේ ප්‍රධාන නීති ලියවිල්ල වෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි.

මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මම වැඩියෙන්ම කැමැති පරිච්ඡේද දෙක නම්, ප්‍රමුඛතාව දෙන්නේ 1 වැනි සහ 3 වැනි පරිච්ඡේදය.

පළමුවැනි පරිච්ඡේදය ජනතාව, රජය සහ පරිමාධිපත්‍ය යි.

තෙවැන්න, මූලික අයිතිවාසිකම්.

මේ මූලික අයිතිවාසිකම්වල

සිතීමේ නිදහස, හෘදය සාක්ෂියේ නිදහස සහ ආගමික නිදහස ගැන තියෙනවා.

ඊට අමතරව භාෂණයේ, රැස්වීමේ, සමාගමයේ, රැකියාවේ සහ යාම් ඊම් යනාදියේ නිදහස තියෙනවා.

ඉතිං මේ දවස්වල අපි භුක්ති විඳින්නේ මේ නිදහස තමයි.

පසුගිය දවසක අපේ මේ නිදහස උල්ලංඝනය වුණා.

අලුත් අවුරුද්දේ අලුතෙන් හිතමු.

අපි මේ අවුරුද්දේ අපේ සිතීම නිදහස භුක්ති විඳිනකොට, අලුත් රටක් ගැන හීන දකින්න වුවමනාය. එය අත්‍යවශ්‍ය යි.

‘මිඩ්ල් ක්ලාස්’ ක්‍රියිසිස් සහ ‘ඩිකෝඩිං’

අපි ජන සමාජයක් විදියට උග්‍ර අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. දරුවෙක්ගේ සාර්ථකත්වය මනින්නේ, යාන වාහනවලින්, උපාධිවලින්, හම්බවෙන පඩියෙන්, කරන රස්සා...

Blog Archive