Wednesday, December 27, 2017

සියළු නිරාගමිකයන් සහ වෙන්ට නිරාගමිකයන් වෙත,

වත්මනේදී නිරාගමිකයන් හෝ ආගමික විශ්වාස නොදරන්නන්, එසේ සිතනුයේ විද්‍යාත්මක චින්තනය පදනම කරගෙනය.....
එය එසේ වීම යහපත් දෙයකි......
මිනිස් ශිෂ්ඨාචාරයේ ඓතිහාසික පෙළගැස්ම සමග සසඳා බලන කල, එදා තිබී නැසී ගිය, සහ අද දවසේ ප්‍රබල සංස්ථා බවට පත්ව රජ කරන, සියලු ආගම් වල දැක ගත හැකි පොදු ලක්ෂණ තිබේ......ඒවා නම් -
- අතීතයේ ජීවත් වූ හෝ ජීවත්ව සිටි බව කියන එක් ශ්‍රේෂ්ඨ මිනිසෙකු විසින් යම් චින්තනයක් ඇසුරින්, පරිසරයේ සහ විශ්වයේ අප දකින ප්‍රපංච තනි තනි වශයෙන් වියුක්තව හෝ,
සමස්ථයක් ලෙස විග්‍රහ කිරීමටත්, ඒවායේ ක්‍රියාකාරීත්වය පිටුපස ඇති හේතු සාධක ලෙස තමන් විසින් ඥාණනය කරනු ලබන දේ හෙළිදරව් කිරීමටත් දරන ලද උත්සාහයක් තිබීම
- ඒ උත්සාහය නිසා ඒ මනුෂ්‍යයා වටා එක් රොක් වූ ශ්‍රාවකයන් සහ පසුව ඒ ශ්‍රාවකයන් අතුරින්, ඒ මිනිසාගේ දේශනා ගැන පැහැදී, ඔහු අනුව කරන්නන් හෙවත් " අනුගාමිකයන්" සිටීම
- පසු කළෙක එකී ප්‍රවාහය ජනප්‍රිය වනවිට, එයින් "සංස්ථාවක්, ආගමික ව්‍යුහයක්" ගොඩ නගාගෙන, එයින් ධනවතුන්, බලවතුන් බවට පත්වීමට මාන බැලූ අය සිටීම
- ඒ අය විසින් ගොඩ නගනු ලබන සංස්ථාවන් ස්වකීය දේශපාලන වාසිය තකා, පිරිස් බලය උපයා ගැනීමට සහ අධිරාජ්‍ය පවත්වා ගැනීමට, එකිනෙකට වෙනස් සංස්කෘතීන් පොදු එකඟතාවයක් යටතේ අධිරාජ්‍යයක් තුළ පාලනය කිරීමට පාවිච්චි කළ දේශපාලකයන් සහ මිලිටරි නායකයන් සිටීම
- ක්‍රමයෙන් අදාළ මුල් ශාස්තෘවරයාගේ අරමුණු වලින් බෙහෙවින්ම ඈතට යන, අන්ධ භක්තිකයන් පරපුරෙන් පරපුරට රවටනු ලැබීම සහ මිථ්‍යාන්ධකාරය වෙනුවෙන් ඔවුන්ගේ ඉණ ඉහ අතගෑම....
- ශාස්තෘවරුන්ට සමකාළීනව සිටි උගතුන් මුලින් ආකර්ෂණය කරන ලද දර්ශණය, අවසානයේදී සියවස් ගණනක් මුලුල්ලේ සිතන්නට බුද්ධි පෞර්ෂය නැති ජනයා රවටනු ලැබීම....
මේ කරුණු කාරණා නිසා මිහිපිට සිදුවූ අවාසනාවන්ත සිද්ධි දාමයන් වල නිමක් නැත......ඒ නිසා ලක්ෂ කෝටි ගණන් මිනිස්සු අකළට මිය පරලොව ගියහ, වහළුන් ලෙස විකුණනු ලැබූහ, අතවරයන්ට ගොදුරු වූහ, අප්‍රමාණ වධ හිංසා, කුරිරු බන්ධන වලට ඇතුළත් කරනු ලැබූහ.....
අදටත් මිනිසාට ස්වභාවිකව ලැබී ඇති සහජාශයන් සන්තර්පණය කරමින් සතුටක් ලබන්නට අවසර නොදෙන, බියකරු, අස්වාභාවික, අඳුරු සංස්ථා හුදෙක් පරලොව කෙරෙහි ඇති භීෂණය මත පවත්වාගෙන යන නරුම ක්‍රමවේදයන් සෑම ආගමකම ඇත.....
එසේ හෙයින් විද්‍යාත්මක පුනරුදයක් උදාවෙමින් පවතින මොහොතක, මේ දරදඬු පාර-භෞතික හෝ අභෞතික විශ්වාස නිසා විපතට පත්වන ජනතාවට නිදහස ලබා දීමට විද්‍යාත්මක චින්තනය ඇති, නිදහස් මනසක් ඇති සියළු දෙනා උපරිම උත්සාහය දැරිය යුතුය......එය ඔවුන්ගේ පරම යුතුකමකි.....
නමුත්,
හොඳට හෝ නරකට, මේ වසර දහස් ගණන් පැරණි ආගමික සංස්ථා මිනිස් වර්ගයාගේ ශිෂ්ඨාචාරයන් සැකසීමේලා ප්‍රමුඛ කාර්ය භාරයක් ඉටු කර ඇත......
එසේ හෙයින්, වත්මනේදී අප දකින මිනිස් සමාජයන්ගේ පදනම වී තිබෙන්නේ මේ ආගමික චින්තනයන් සහ එ ඇසුරින් හටගත් සම්ප්‍රදායන්, වතාවත් සහ කතිකාවත්ය.....
ඔබ කොතරම් විද්‍යාවාදියෙක්, භෞතික වාදියෙක්, අනුභූති වාදියෙක් උනත්, මොකක් හෝ ගැටලුවකට මුහුණ දෙන්නට සිදුවූ විට, " අම්මපා මේක නම් මහා "කරුමයක්" කියන්නේද, "දෙයියොම බලා ගත්තාවෙ.....දෙයියනේ !" කියන්නේද මේ මහා ශිෂ්ඨාචාර වල පදනම වූ ආගමික චින්තන ඔබේ ඇට මිදුළු අස්සට යමක් එන්නත් කොට ඇති නිසාය....
ඒ නිසා,
නූතනයේදී ඔබ ලබා ගනිමින් සිටින දැනුම අනුව සහ ප්‍රශ්ණ කිරීමේ නිදහස අනුව අප ආගම් වල ඇති අභෞතික දේ දැඩි ලෙස විවේචනයට ලක් කළ යුතු වුවත්,
ආගමික දේශනා පමණක් නොව, කිසිවෙකුත් කියන කිසිවක් නොවිමසා බාර නොගන්නා තැනට ජනතාව හුරු කළ යුතු වුවත්,
එය කළ යුත්තේ ඔබත් සිටගෙන සිටින ආගමික චින්තනයන්ගේ පදනමට, සම්ප්‍රදායන්ට, වතාවත් වලට උන්මත්තකයන් සේ, කිසිදු ඉවක් බවක් නැතුව නින්දා අපහාස කිරීමෙන් නොවන බව ඔබ වටහා ගත යුතුය......
ඔබ විවේචනය කළ යුත්තේ ආගමික කරුණු කාරණා නම්, ඒ ආගම් වල පොත්පත් හොඳින් කියවා, මුලින්ම තමාගේ විවේචනයට බඳුන් වන්නට නියමිත ආගමේ ධර්ම සන්දර්භය ගැන යම් කිසි උගත් කමක් ඇති කරගන්න..... මෙහිදී එහි සියල්ල ඔබ අවබෝධ කරගත යුතු නැත.....ආගමික චින්තනයේ කේන්ද්‍රගත ප්‍රධාන ඉගැන්වීම් කිහිපයක් ගැන තදින් ගවේෂණය කර සිටීම ප්‍රමාණවත්ය......
ඔබ විවේචනය කළ යුත්තේ ආගමික සම්ප්‍රදාය, ආගමික සංස්කෘතිය සම්බන්ධ යම් කිසි වතාවත් ක්‍රමවේදයක් නම්, ඒ ගැන හොඳින් හදාරා, ප්‍රාමාණික දැනුමක් ඇති කරගෙන සිටිය යුතුය.....
ඒ සියල්ලටම වඩා ඔබ විසින් දිනවන්නට යන භෞතික වාදී චින්තනය / විද්‍යාවාදී චින්තනය ගැන නිසි අවබෝධයක් ඇති කර ගන්න.......තමන් ඔසවා තබන්නට යන්නේ කුමක්දැයි තමන් නොදන්නා විට ඒ කරන දෙයින් කිසි තේරුමක් නැත.....
ඉන් පසුව ඔබේ විවේචනය අරඹන්න..... නියම විවේචනය යනු එයයි......
බුදුන් හමුවේ බමුණු පඬිවරුන්ද, කිතුන් හමුවේ සෙනගෝගයේ පඬිවරුන්ද, අනන්ත අප්‍රමාණ වාද විවාද පවත්වා උන් වහන්සේලාගේ ධර්මයන්ට විවේචන ගෙනවුත් ඇත.......එසේ හෙයින් ඔබත් ගෙනෙන විවේචන අනිවාර්යයෙන් එසේ ගෙන ආ යුතුය......
එදවස ඒ ශාස්තෘන්ට සමගාමීව සිටි උගතුන්ගේ දැනුමේ ප්‍රමාණය අනුව ගෙන ආ තර්ක විතර්ක නිසා ඒ ඒ ආගම් වල ධර්ම කථිකාවත් වඩා අලංකාර විය...... අද මිනිස් වර්ගයා ඊට වඩා විශාල, පෘථුල දැනුමක් ස්වභාවික ප්‍රපංච ගැන හිමිකරගෙන සිටිති.....එසේ නම් අද එදාට වඩා දහගුණයකින් මේ වාද තීව්‍ර විය යුතුය......තර්කයේ නිර්මල ජල දහරාව මගින් ගතානුගතික මිසදිටු විශ්වාස ගිල්වා දමනු ලැබිය යුතුය.......
මේවා නොකර, ඔබ විසින් කිසිදු හේතුවක් නැතිව ආගමික ශාස්තෘවරුන්ට නින්දා අපහාස කරමින්, ඉවක් බවක් නැති ලෙස කවුරුන් හෝ ආදරය කරන හර පද්ධතීන්ට පහර දීමෙන් සිදුවන්නේ ඒ අය අඳුරෙන් එළියට ඒම නොව, ඔවුන් කෝපාවිෂ්ඨ වී ඔබේ වෛරක්කාරයන් බවට පත්වීම, සහ තව තව ඒ ආගමික චින්තනය තරයේ වැළඳගෙන, එය දෙසටම පසු බැසීමය.......
යම් ආගමික විශ්වාසයක එන සංස්කෘතික කාරණයක් හෝ ප්‍රතිපදාවක් මිනිස් වර්ගායට අහිතකර වන්නේ නම්, එයට තාර්කිකව පහර දුන්නාට කම් නැත......කිසිවෙකුටත් කරදරයක් නැතිව තමන්ගේ ආගමික විශ්වාස පවත්වා ගන්නා අයගේ සිත් රිදවන්නට යෑමෙන් ඔබලා සැමගේම අප්‍රසාදය දිනාගත් වෛරයෙන් පිරුණු මළ යකුන් පිරිසක් වනවා විනා, ඔබලා දෙන්නට වෑයම් කරන පණිවිඩය කිසිවෙකු අතටත් යන්නේ නැත.......එවිට ඔබලාගේත්, ඔබ විසින් හෙළා දකින්නට වෑයම් කරන ආගමික අන්තවාදීන්ගේත් අතර කිසිදු වෙනසක් නොමැත.....එවිට ඔබත් ආගම් රකින්නට කඩු පොලු අරගෙන නැටූ මිනීමරුවන්ගේ ගොන්නටම එකතු කළ හැකි මානසිකත්වයක් ඇත්තවුන් බවට ක්‍රමයෙන් පත්වනු ඇත......එහි අවසන් ප්‍රතිඵලය වන්නේ "නිරාගමික ත්‍රස්තවාදයක්" හෝ අන්තවාදයක් විනා අන් කිසිවක් නොවේ...... නිරාගමික අන්තවාදයද, අනෙක් සියළු අන්තවාදයන් මෙන්ම බියකරුය.....
ඔබ සැම විද්‍යාවේ පරතෙරට ගිය ඇත්තන් නොවන බවද, ලෝකයේ අද සිටින අග්‍ර ගණ්‍යම උගතුන් පවා එසේ තමා ගැන තක්සේරුවක නොසිටින බවද මතක තබා ගන්න.......අප සැවොම දන්නා දෙයට වඩා නොදන්නා දෙය අති දැවැන්තය.....
ආගමික තර්ක පරාජය කළ යුත්තේ, කරුණු කාරණා සමග තර්කයෙන් විනා අපහාසයෙන් හෝ හිංසනයෙන් නොවේ..... කරුණු වෙනුවට අපහාස ඉදිරියට ගෙන එන අය තමන් ඉන්නා ස්ථාවරය ගැනවත් කිසිවක් නොදන්නා අය වෙති......
- ආගමික ව්‍යාප්තවාදය තරයේ විවේචනය කරන්න
- ආගමික ව්‍යාපාරකරණය ඒ ශාස්තෘවරුන් ගත කළ අල්පේච්ඡ ජීවිත හා ඔවුන්ගේ දේශනා ඇසුරෙන් විවේචනය කරන්න
- ආගම් මුවාවෙන් බඩ වඩාගන්නා, දූෂිත දේශපාලනය, හොරුන්, මිනීමරුවන් රකින නින්දිත මිනිසුන් සිටී නම් ඔවුන්ව දැඩි ලෙස, නිර්දය ලෙස විවේචනය කරන්න...
නමුත් ආගම නම් ප්‍රස්තුතයෙහි විවේචකයෙකු වනවා විනා, ත්‍රස්තවාදියෙකු නොවන්නට වග බලාගන්න.... මක් නිසාද මේ ලෝකයේ මිනිසුන් එල්බගෙන ඇති මතවාද නිසා බිහිවී ඇති ත්‍රස්තවාදයන් හොඳටම ප්‍රමාණවත්ය......
ඔබලාට යම් මතයක් ව්‍යාප්ත කළ යුතු නම්, ඒ මතයට පටහැණි මතයන් දරන අයගේ සතුරෙකු වීමෙන් එය කළ නොහැක......ඔබලාගේ මතය ජය ගැන්වීමට නම්, ඔවුන්ව දිනාගත යුතුය..... ඒ සඳහා කල්ලි ගැසී අපහාස කරනවාට වඩා වෙනත් සහනශීලී ක්‍රම ඕනෑ තරම් ඇත.......එවිට ඔවුන්ද යමක් සිතා බලන්නට පෙළඹෙනු ඇති අතර, කාළයක් යනවිට ඒ සිතිවිලි වඩා ප්‍රබල වනු ඇත.....
විවේචනය කරන්නා සතුරෙකු නොවන බව ආගමිකයන්ද වටහා ගත යුතු දෙයකි......

දමිත් කේතක විසින් ලියන ලද්දකි https://www.facebook.com/LordDK82?hc_ref=ARR8UQLG5TLMjBXhX4HCiKn1i1IvOmY9m8aD93PKRYaeBC0XyY66uwudzPv1lTGVR0Y&fref=nf

Friday, December 22, 2017

අපට බලාපොරොත්තුවක් දෙන්න

ක්‍රිකට් තරගවල සුන්දරත්වය රැඳී ඇත්තේ තරගකාරීත්වය මතය. බලාපොරොත්තු මතය. ජය පරාජයටත් වඩා වඩාත් වැදගත් වන්නේ තරගකාරීත්වයයි. ප්‍රේක්ෂකයන් වඩාත් ප්‍රිය කරන්නේ අවසන් පන්දුව දක්වා දිගහැරෙන ක්‍රිකට් තරගවලටය. 

ශ්‍රී ලාංකිකයන් වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහාණයට අප ප්‍රිය කරන්නා සේම, ඉන්දීය ප්‍රේක්ෂයන් ද එසේය. ක්‍රිකට් ක්‍රීඩා කරන අනෙක් රටවල ප්‍රේක්ෂකයන් ද එසේය. එසේ වුවත් පරාජයට වුවද පිළිගැනීමට අප සූදානම් වන්නේ එම තරගය බලාපොරොත්තු පොඳි බැඳගත් තරගයක් වුවහොත්ය. තරගකාරීත්වයෙන් පූර්ණ වුවහොත්ය. අවසන් පන්දුව තෙක් නොවුණත් උණුසුම් වුවහොත්ය. සුද්දාගේ බසින් කිවහොත් ‘නේල් බයිටින්’ එහෙමත් නැතිනම් පුටුවේ ආසනයේ කෙළවරට අප ගෙන්වන තරගයක් වුවහොත්ය. 

අද අපට අහිමි වී ඇත්තේ බලාපොරොත්තුය. තරග පරාජය වීම අනුමත කළ හැක්කේ තරගයකදී ප්‍රතිවාදී කණ්ඩායමට කරට කර සටනක් දුන්හොතය්. තරගකාරීත්වයේ උපරිමයට පැමිණියහොත්ය. එහෙත් අද ශ්‍රී ලංකාවේ ක්‍රිකට් උන් කීයක් ගැහුවත් අප ගහන්නේ අපට ඕන ගණන යැයි කියන තැනට පත්ව තිබේ. මේ තරගාවලිය මෙසේ අවසන් වීම එක් අතකින් වාසනාවකි. 

ශ්‍රී ලංකාවේ දී ඉන්දියාව සමඟ පැවැති තරගාවලිය 9ට 0ක් ලෙස පරාජයට පත්ව මේ තරගාවලිය ඊට වෙනස් ප්‍රතිඵලයක් දක්වා ගෙන ඒමට හැකිවීම සම්බන්ධයෙන් සතුටු විය යුතුය. ඉන්දියාවේදී, ඉන්දියාවට වාසි වන අයුරින් සකසන තණතීරුවල, ඉන්දීය ප්‍රේක්ෂකයන්ගේ පීඩනය හමුවේ ටෙස්ට් තරගාවලිය 1ට 0ක් ලෙසත් එක්දින් තරගාවලිය 2ට 1ක් ලෙස අවසන් කරගැනීමට හැකි වීම සතුටුදායකය. 

ගැටලුව ඇත්තේ කොතැනද ? දක්ෂතාව නම් නොවේ. මෑත කාලයේ ක්‍රීඩා කළ සියලුම ක්‍රීඩකයන් පාහේ දක්ෂයෝය. නායකයාගේ ද ? නැත. නායකයා පමණක් ක්‍රීඩා කරන්නේ නම් එසේ කිව හැකිය. අඩුපාඩුව ඇත්තේ වුවමනාවට වඩා විශ්වාසය නොමැතිකම. කැපවීම නොමැතිකමය. වගකීම් විරහිත බවය. ආකල්පවලය. තරගකාරීත්වය නොමැතිකම. සතුටට කරුණ නම් මීට වසර ගණනකට පෙර අපි දුටු උපුල් තරංග නැවතත් දක්නට ලැබීමය. කුසල් ලකුණු අතරට පැමිණීමය. මේ තත්ත්වය දිගින් දිගටම පවතින්නේ නම් හොඳය.

වුවමනාවට වඩා විශ්වාසය තැබීම අඛණ්ඩ පරාජයන්ට ප්‍රධාන හේතුවකි. අනෙක් අතට දක්ෂතා එක දිගට පවත්වා නොගැනීමය. ශ්‍රී ලංකා කණ්ඩායමේ මෙම කඩා වැටීම අද ඊයේ ආරම්භ වූවක් නොවේ. කාලයක් පටන් අළුයට ගිනි මෙන් කාලයක් පැවැති දුර්වලතා එක ගොන්නට පුපුරා යෑමය. මේ පුපුරා යෑම කොතැනකින් නවතින්නේ ද යන්න සැක සහිතය. මෙය හුදෙක් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ හිටපු ක්‍රීඩා අමාත්‍යවරුන්ගේ හා පරිපාලනවල දුර්වලතාය. නොසැලකිල්ලය. වත්මන් පරිපාලනයත් ඊට වගකිව යුතුය. අද ශ්‍රී ලංකා ක්‍රිකට්වලට අත්ව තිබෙන ඉරණමට එක් අයකු පමණක් වග කිව යුතු නොවේ. සියලු දෙනා වගකිව යුතුය.

චන්දික හතුරුසිංහ කණ්ඩායමේ පුහුණුකාරධුරයට පත්ව තිබේ. ඔහු අපට බලාපොරොත්තුව දේවිද ? 

ඡායාරූපය තාරක බස්නායක https://www.facebook.com/photo.php?fbid=1747450721953871&set=a.117085894990370.13746.100000668801507&type=3&theater

 http://www.gettyimages.com/

හර්ෂණ තුෂාර සිල්වා
22.12.17


Friday, December 8, 2017

මිනිසුන්ගේ නොදැනුවත්කම් අවබෝධයක් නොමැති කමත්, එම දුර්වලතා දෙකම දේශපාලකයන් ඇතුළු විවිධ කණ්ඩායම් තම තමන්ගේ පටු වුවමනා ඉටු කරගැනීම සඳහා භාවිත කිරීමත් කනගාටුවට කරුණකි. මේ සිදුවීම මට වඩාත් සමීප වන්නේ එෙඬ්රමුල්ල ග‍්‍රාමය මීට සම්බන්ධ වීමයි. එෙඬ්රමුල්ල ග‍්‍රාමයේ නම වෙනස් කර නොමැති බව මුලින්ම සහ විශ්වාසයෙන් අවධාරණය කළ යුතුය.

සීමා නිර්ණය කටයුතුවලදී වෙන් කරන කොට්ඨාශ අනුව එෙඬ්රමුල්ල යනුවෙන් වෙනම කොට්ඨාශයක් ද අක්බාර් ටවුන් යනුවෙන් වෙනම කොට්ඨාශයක් ද වේ. මේ අනුව මහර ප‍්‍රාදේශීය සභාවට අයත් කොට්ඨාශ 6කි. කිරිමැටියාගාරය, දළුපිටිය, නාතුඩුව, එෙඬ්රමුල්ල, අක්බාර් ටවුන් සහ ගොංගිතොට යනු එම කොට්ඨාශ හයයි. මේවා හුදෙක් මැතිවරණයට පමණක් අයත් වන මැතිවරණ එසේත් නැතිනම් ඡුන්ද කොට්ඨාශ විනා ගම්වල නම් වෙනස් කිරීමක් නොවේ. 

එම වෙන්කිරීම්වල ඡුායාරූප සහ අදාළ ගැසට් පත‍්‍රයේ ‘ලින්ක්’ පහත දක්වා තිබේ. කිසිදු කරුණු සොයා බැලීමෙන් යන්නන් වාලේ කටයුතු කිරීම සම්ප‍්‍රදායක් වීම කනගාටුවට කරුණකි. සමාජයේ උගත් බුද්ධිමත් යැයි විශ්වාස කරන පුද්ගලයන් පවා මුග්ධ අමනයන් මෙන් කටයුතු කරමින් විවිධ පිරිස්වල පටු වුවමනා ඉටු කරමින් ප‍්‍රචණ්ඩත්වයට පාර කැපීමත්, සාමයෙන් විසූ ජන කොටස් අතර අසමගිය වැපිරීමත් ඛේදනීය හා කනගාටුදායක කරුණකි. 

යමක් සම්බන්ධයෙන් කටයුතු කිරීමට හෝ ප‍්‍රතිචාර දැක්වීමට පෙර ඒ පිළිබඳව හොඳින් විමසා බලා සාක්ෂාත් කරගැනීමේ පුරුද්දක් අප සමාජයේ බොහෝ දෙනා සතුව නොමැති වීම කනගාටුවට කරුණකි. මා දන්නා කාලයේ පටන්, සිංහල, මුස්ලිම් යන ජාතීන් ද්විත්වයත් බෞද්ධ, ඉස්ලාම් සහ කතෝලික ආගම් අදහන ජනකොටස් සාමයෙන් සමගියෙන් ජීවත් වූ ප‍්‍රදේශයක් ලෙස එෙඬ්රමුල්ල සහ අක්බාර් සහ ඒ අවට ප‍්‍රදේශ ගැන කිව හැකිය. ප‍්‍රදේශයේ සියලූ ජාතීන් සහ ආගම්වල දරුවෝ යන්න එකම පාසල් කිහිපයකටය. වැඩි ආටෝප නැතුව ලියන්නට ඇත්තේ ප‍්‍රචණ්ඩත්වයට පාර කැපීම වෙනුවට කරුණු විමසා බලා සාමකාමීව කටයුතු කරන්න යනුවෙනි. 




හර්ෂණ තුෂාර සිල්වා
08.12.17

Saturday, November 18, 2017

ප්‍රචණ්ඩත්වය වීරත්වය එකිනෙකාට පහර දීම ලේ වැගිරීම වීරත්වයට නංවන සමාජයක අපි ජීවත් වෙමු. වසර 2500ක මහා ඉතිහාසයක් ගැන නිරන්තරයෙන් පාරම්බාන අපට පසුගිය සියවසක කාලයේදී කතා කරන්නට දෙයක් තිබෙන්නේ ද ? මියගිය තරුණ පරම්පරාවක් ගැන, තිස් වසරක බිහිසුණු යුද්ධයක්, සිංහල, දෙමළ හා මුස්ලිම් කෝලහාල හැරෙන්නට අපට කතා කරන්නට ඇත්තේ ආඩම්බර වීමට ඇත්තේ අල්ප වූ ජයග්‍රහණ කිහිපයක් ගැන පමණි.

තිස් වසරක යුද්ධය ආයුධවලින් අවසන් වූවත් එම යුද්ධයට හේතු වූ කරුණු, අර්බුද, ප්‍රශ්නවලට විසඳුම් සෙවීමට අපි තවමත් අසමත් වී සිටින්නෙමු. තරුණ කැරැලි දෙකකින් නොනැවතී මහා සිවිල් යුද්ධයක් දක්වා මේ රට ගියේ, පාලකයන්ගේ සහ ජීවත් වූ පරම්පරාවල වැරැදි තීරණ නිසා දන්නා වුවත් අනෙකාට චෝදනා කිරීමෙන් පලක් වන්නේ නැත. අද වනවිට අනෙකාට චෝදනා කිරීම සරල බසින්ම කියන්නේ නම් බෝලය පාස් කිරීම අපේ රටේ සම්ප්‍රදායක් බවට පත්ව තිබෙන්නේය. 
යුද්ධය හුදෙක් දෙමළා ජනතාව මුහුණ දෙන අසාධාරණකම් නිසා ඇති වූවක් නොව රටේ සමස්තය, රටේ බහුතරය, පීඩිත ජනතාව නිසා ඇති වූවකි. රටේ බහුතරයක් අසාධාරණයට, පීඩාවට හා වදහිංසාවලට ලක්වෙති. ඒ බහුතරය තුළ සිංහල, දෙමළ හා මුස්ලිම් යන සියල්ලෝම සිටිති. රටේ සුළු තරයක් දෙනා තමන්ගේ පැවැත්වම උදෙසා බහුතරය තුළ ගිනි අවුලවමින්, රාජ්‍ය සම්පත්, රාජ්‍ය මුදල් මංකොල්ලකමින්, රටේ අධ්‍යාපන, සෞඛ්‍ය ආදී සියල්ල විනාශ මුඛයට ඇද දමමින් කටයුතු කරති. පුංචි ලේ කඳුළක් සෑම විටම මහා ලේ විලක් කිරීමට ඔවුහු මාන බලති. 

ගිංතොට සිදු වූයේ ද එයයි. පුද්ගලික ආරවුලක්, රිය අනතුරක් මහා විනාශයක් ඇද ගෙන යෑමේදී බහුතරය තුළ සිටින අනුවණ පිරිස් දැක් වූ සහයෝගය ද කිසිසේත් අමතක නොකළ යුතුය. මුග්ධයන්, මී හරකුන් අනුවණයන් ලෙසින් හැසිරෙමින් එකිනෙකා ඇණ කොටා මරා ගැනීම සම්ප්‍රදායක් වී තිබෙන සමාජයකට රතිඤ්ඤා හඬක් වුවද ප්‍රමාණවත්ය. රට තුළ ව්‍යවසන ඇති කිරීමට, බොරදියේ මාළු බෑමට බලා සිටින සුළුතරය සෑම විටම තම තමන්ගේ මංකොල්ලකෑම්, අපරාධ, දූෂණ හා වංචා වසා ගැනීමට රට තුළ ව්‍යවසන, අර්බුද, විවිධාකාරයේ ගැටුම් හා සිදුවීම් නිර්මාණය කරයි. බලයට පත්වන ආණ්ඩු ද එම ක්‍රියාවලිය අඩුවක් නැතිවම පවත්වාගෙන යයි. පසුගිය මහින්ද රාජපක්ෂ රෙජීමය මෙන්ම වත්මන් රනිල් මෛත්‍රී රෙජීමය ද එම ක්‍රියාවලිය හොඳින්ම ක්‍රියාත්මක කරයි.

ඒ සියල්ල පැත්තකින් තබමු. කවුරුන් කුමක් කළ ද සිහි බුද්ධියෙන් කටයුතු කිරීම සෑම පුද්ගලයකුගේම වගකීමකි. එහෙත් අපට එවැනි සමාජයක් තිබෙන්නේ ද ? චින්තනයක් සහිත සමාජයක්, පරම්පරාවක් තිබෙන්නේ ද? තවකකු කී පමණින් තවකෙකුට වද හිංස කරන , සෑම විටම යැපීම, වහල් බව, සම්ප්‍රදායක් කරගත් රටක් අද අප හමුවේ නිර්මාණය තිබේ. එබැවින් අප වෙනස් විය යුතුය. ඒ වෙනස කවදා ඇති වනු ඇත්දැයි මා දන්නේ නැත. එහෙත් විශ්වාසය බලාපොරොත්තුව වටින්නේය. හොරුන්, තක්කඩියන් ගෙදර යැවීමට එකතු නොවන මිනිසුන් තව එකෙකුගේ ලේ සෙලවීමට එකතු වීම නරුම කමක් මෙන්ම අරුමයකි. පාර්ලිමේන්තුවේ හොරුන් ගෙදර යවමු යැයි තැන තැන කියවන අපි, හොරුන් ගෙදර යැවීමට එකතු වූයේ කවදාද ? මැතිවරණයේදී හොරෙකු පරදවා තව හොරකු දිනවූවා මිසක අපි කළ දෙයක් නැත. වැරැද්ද ඇත්තේ අප අතේය. නිවැරැදි විය යුත්තේ ද අපය. 

ඒ නිසා සෑම විටම සාමය, අනෙකාගේ ගරුත්වය, ස්වඅභිමානය, විවිධත්වය අගයන සමාජයක් නිර්මාණය කිරීම අප කළ යුතුය. අපට නොවුණත් අපෙන් පසු උන්ට හෝ මේ රටේ සාමයෙන්, සමගියෙන් හා සහජීවනයෙන් ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය කළ යුතුය. සාධාරණය හා යුක්තිය ඉටුවන සමාජයක් නිර්මාණය විය යුතුය. සිංහල, දෙමළ හා මුස්ලිම් යනුවෙන් හෝ අතට, බුලත් කොළයට, අලියාට, සීනුවට හෝ පොහොට්ටුවට වහල් වීමෙන් හෝ එය කළ නොහැකිය. අප සියලු දෙනා ශ්‍රී ලාංකිකයන්ය. මුල්ම වෙනස විය යුත්තේ එතැනය. රටේ සියලු දෙනා නැතත් වැඩි දෙනකු හෝ එසේ සිතන දවසක් එනතුරු අප සටන් වැදිය යුතුය. 

ඡායාරූපය අමිල ගමගේ
https://www.facebook.com/photo.php?fbid=10205347760069034&set=a.4162228449557.167808.1099459155&type=3&theater


හර්ෂණ තුෂාර සිල්වා
2017.11.18

Friday, October 6, 2017

කඩ්ඩෙන් දුරස්වීම

ඉංග්‍රිසි භාෂාව ප්‍රචලිත කිරීමට ලංකාවේ දරුවන් යොමු කිරීම, රටේ තිබෙන ඇතැම් කරුණු සම්බන්ධයෙන් ලංකාව තුළ තිබෙන අනවබෝධය දුරු කිරීම බෙහෙවින් හේතුවනවා නොඅනුමානයි. අනෙක් අතට විෂය කරුණු, අලුත් දැනුම අපේ රටේ පිරිසකට සීමිත වීමට ප්‍රධාන හේතුව ඉංග්‍රීසි දැනුම, ඉංග්‍රිසි භාෂා භාවිතය අවම වීම. ඒ වගේම ශ්‍රී ලංකාවේ බොහෝ කටයුතුවලට ඉංග්‍රිසි භාෂාව මැදිහත් භාෂාව, ප්‍රධාන භාෂාව ලෙස යොදා ගැනීම රටේ තිබෙන වාර්ගික ප්‍රශ්නය ඇතුළු ප්‍රශ්න රැසකට විසඳුම් සපයා දෙනු ඇත.

එවැනි අවස්ථාවක බිග් බෑඩ් වුල්ෆ් වැනි පොත් ප්‍රදර්ශන එහෙමත් නැතිනම්, පොත් සල්පිල් ශ්‍රී ලංකාවේ පාඨකයන්ට ඉතා හොඳ අවස්ථාවක් ලබා දී තිබෙනවා. ශ්‍රී ලංකාවේ ඉංග්‍රිසි පොත්වල මිල සාමාන්‍යයෙන් ඉහළ බව නොරහසක්. අනෙක් අතට ඉංග්‍රිසි පොත කියවීමත් ඉතා සීමාකාරියි. එවැනි තත්ත්වයක් මත ‘බිග් බෑඞ් වුල්ෆ්’ කියන්නේ ලංකාවේ හැමෝටම ඉතාමත් හොඳ අවස්ථාවක්.
කොළඹ මේ දිනවල පැවැත්වෙන ‘බිග් බෑඩ් වුල්ෆ්’ දෙවැනි වරටත් ලියන්න හිතුනේ, මිත්‍රයකුගේ මේ සටහන නිසයි.

"බිග් බෑඩ් වුල්ෆ්ට බය කවුද? මෙහෙම අහල තිබ්බෙ Damith Kethaka . බොහොම වලංගු ප්‍රශ්නයක්.

මට දේවල් කීපයක් කියන්න පුලුවන්

එක, බිග් බෑඩ් වුල්ෆ් ප්‍රදර්ශනයේ අඩුපාඩු තියෙනව. එයාලා ලංකාවෙ මාර්කට් එක ගැන තියෙන දැනුම මදි බව පේනවා. උදාහරණයක් විදියට Tin Tin, Asterix වගේ පොත් නැති එක ගන්න පුලුවන්.
දෙක, අඩුපාඩු හරි ගස්සගෙන දිගටම මේක කරගෙන ගියොත්, කොළඹ "ජාත්‍යන්තර" පොත් ප්‍රදර්ශනයට එන ඉංග්‍රීසි පාඨකයො ගාණ පහල වැටෙනව.
තුන, සමහර අංශවලින් හොඳ පොත් මෙයාලා ළඟ තියෙනව. චීන, ජපන් වගේ රටවල නූතන ලේඛකයන්ගෙ පොත් කීපයක්ම මේ අය ළඟ තිබ්බා.
හතර, ඉංග්‍රීසි පොත් විතරක් තිබ්බා කියල, කවුරු බය වුනත් අපි බය වෙන්න අවශ්‍ය නෑ. ළමයින්ට ගන්න හොඳ පොත් ලාබෙට එහෙ තියෙනව. ළමයින්ට පොඩි කාලෙම ඉංග්‍රීසි පොත් අරන් දෙන්න. ළමයින්ව භාෂාවට ආස කරවන්න. අපිට බැරි වෙච්ච තරම් හොඳට එයාලා ඉංග්‍රීසි ඉගෙන ගනිවි.
මම නම් අද ඒක පටන් ගත්තා".

Chamara Sumanapala කියනවා වගේ, බිග් බෑඩ් වුල්ෆ් උත්සවයේ අඩුපාඩු තිබෙනවා. ලංකාව සම්බන්ධයෙන්, ඔවුන්ට ලොකු වැටහීමක් තිබෙන බව පේනවා. අඩුපාඩු මධ්‍යයේ මේ කරන ලද කාර්යය ඇගයිය යුත්තක්. ඒ නියතයෙන්ම කළ යුතුයි. භාෂාවක් සම්බන්ධයෙන් තිබෙන දැනුම අඩුකම අපේ සීමා කරනවා. අලුත් දේ සොයා යන්න තිබෙන ආශාව අඩු කරනවා. භාෂා කිහිපයක් දැන ගැනීම ඉතාමත් වටින්නේ ඒ නිසයි. භාෂා කිහිපයක් වෙතත්, අපේ රටේ ප්‍රධාන භාෂා දෙක වන සිංහල දෙමළ දැනගැනීම අපට බොහෝ දේ ඉගෙන ගැනීමට අවස්ථාව උදා කරනවා.
ඒ අර්ථයෙන්ම, ලෝකයේ ප්‍රධානතම භාෂාව වන ඉංග්‍රිසි ඉගෙන ගැනීම අපේ රටට, අපේ පසු පරම්පරාවවලට, අපේ පරම්පරාවට අතිශයින්ම වැදගත් වෙනවා. ලංකාවේ දක්ෂයන්ට ලෝකය ඉදිරියට යන්න, එයි නිතැතින්ම අවස්ථාව උදා කරනවා. අපට ලස්සන සාහිත්‍යයක් තිබුණත්, ඒවා ලෝකයට නොගියේ මේ භාෂාමය සීමාව නිසා. සිංහල හා දෙමළ යනු ලස්සන භාෂා දෙකක්. සුවිශේෂී අනන්‍යතාවක් තිබෙන, ඉතිහාසයක් තිබෙන භාෂා දෙකක්. එහෙත් සිංහල බසින් ලියැවුණු කෘති, දෙමළ බසින් ලියැවුණු කෘති ලෝකයට නොගියේ අපේ රටේ තිබුණා ඉංග්‍රීසි භාෂාමය දැනුම අඩු බව, භාෂාව භාවිත කරන පිරිසේ සීමිත බව යන කරුණු යන්න අදහසයි. මැදිහත් භාෂාවක් ලෙස ඉංග්‍රිසි භාෂාවට අපේ රටේ සමාජයේ වැඩි ඉඩක් ලැබුණේ නැහැ. ඉංග්‍රිසි භාෂාව මැදිහත් භාෂාවක්, සියල්ල එක් කරන භාෂාවක් කරන්නා වගේම, සිංහල හා දෙමළ යන භාෂා පුළුල් කළ යුතුයි.
ඒ නිසා භාෂාවක් පෝෂණය කිරීම යන කරුණේදී කලාව හා සාහිත්‍යයට හිමිවන්නේ ඉතා ඉහළ ස්ථානයක්. සාහිත්‍ය හා කලාව තුළ යොදාගන්නා භාෂාව මිනිස්සුන්ගේ දැනුම වර්ධනය කරනවා. මිනිස්සුන්ගේ භාෂාව පොහොසත් කරනවා. පොත් පත්, නාට්‍යය, චිත්‍රපට යනාදිය භාෂා පොහොසත් කිරීමේදී කරන කාර්යයභාරය අපට මෙතැකියි කියන්න බැහැ.


එනයින් ගත් කළ කියවීම, එසේත් නැතිනම් පොත පත කරන කාර්යය ඉතාමත් ඉහළයි. එහෙත් අපට ඉංග්‍රිසි බසින් කියවන්න පොත් තිබෙනවද? රටේ බහුතරයකට ඉංග්‍රිසි පොත පත මිලදී ගන්න, පොත් කියවන්න, ඒ සඳහා ප්‍රවේශය තිබෙනවාද ? එම නිසා බිග් බෑඩ් වුල්ෆ් කියන්නේ අපිත් ඉංගි‍්‍රසි බසත් අතර පාලමක්, අපිත් ඉංගි‍්‍රසි පොත පතත් අතර පාලමක්. බිග් බෑඩ් වුල්ෆ් අපිත් ඉංගි‍්‍රසි බසත් අතර තිබෙන පරතරය අඩු කරාවි. ඒ වගේම මේ පාලම හැම අවුරුද්දෙදිම විවෘත වේවි යන්න අපේ පැතුමයි.



හර්ෂණ තුෂාර සිල්වා
06.10.17

Monday, June 12, 2017

පරාජය අවජාතකය


ශූරයන්ගේ කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූයේ තරග තුනම පරාජය වී ගෙදර එන තත්ත්වයක සිටය. එහෙත් ඉන්දියාව සමඟ තරගයේදී වාසනාව සහ දක්ෂතාව මතත් ඉන්දියාව පරාජය කළ යුතුය යන්නේ සිටත් තරගයට එක්වෙමින් තරගය ජය ගත්ත ද පාකිස්තානය සමඟ අද පැවැති තරගයේදී වාසනාව ශ්‍රී ලංකාව සතු නොවීය. මේ ක්‍රිකට්ය. ක්‍රිකට්වල හැටිය. එහෙම කියා හිත හදාගන්නට තිබ්බාය. එහෙත් තරගයක් දිනා තරග දහයක් පරදින විට එය කොතැනක හෝ වරදක් පෙන්වීමකි. තරුණ කණ්ඩායමක් එකම අත්වැරැද්ද හැමදාම කිරීම, ක්‍රීඩකයන් කළමනාකරණය කර ගැනීමට නොහැකිවීම, කණ්ඩායමේ ක්‍රීඩකයන් අතර සාමූහිකත්වය නොවීම, වගකීම් විරහිත ලෙස ක්‍රීඩා කිරීම, පීඩනය දරා ගැනීමට නොහැකි වීම ආදි සියල්ලේ ප්‍රතිවිපාක අපි අද දුටුවෙමු. ඉන්දියාවට එරෙහිව ජය ලැබූ අවස්ථාවේදී අප සියලු දෙනා සතුටු වූවා සේම මේ පරාජය ද විඳ දරාගත යුතුය. කෙසේ වෙතත් අවසාන මොහොත තෙක් නොවුණත් සටනක් දී නම්බුකාර ලෙස පරාජයට පත්වීම සතුටට කරුණකි. ජයග්‍රහණයට පියවරු රැසක් සිටියත් පරාජය අවජාතකය. කණ්ඩායමක් ලෙස දක්ෂ නවක ක්‍රීඩකයන් අප සතුය. අවශ්‍ය වන්නේ ඔවුන් නිසි ලෙස කළමනාකරණය කරගැනීමය. නිසි උපදෙස්ය. නිසි කළමනාකාරීත්වයක් සහ සැලැස්මක්ය. 


ඡායාරූපය අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ට්විටර් ගිණුමෙනි https://twitter.com/ICC

Wednesday, June 7, 2017

ආදරේ කරන්න - හිනාවෙන්න


මුහුදෙන් වටවෙච්චි රටක් නිසාද මන්දා අපි හැමදාමත් රැල්ලට යන රටක් වෙලා. එක සතියක එක මාතෘකාවක් තවත් සතියක තව මාතෘකාවක්. අපි කොහොමත් රැලිවලට ආසයි. හැමෝම මොනයම් විදියකින් හෝ මේ රැලිවලට අහු වෙනවා. මෑතකාලීනව සනත් ජයසූරියගේ ඉඳන් ගංවතුර, රහල් අල්විස් එතැනින් නොනැවතී ආසන්නතම සිදුවීම බවට පේරාදෙණිය ශිෂ්‍යයාව ආවා. මුහුදක් ගාවා ඉද්දි ඇත්තටම සිසිලසක් අපේ හිත්වලට හරි සැහැල්ලු හැඟීමක් එනවා වගේම අන්තර්ජාලයේ, සමාජයේ නිර්මාණය වන ඇතැම් රැළි නිසා සමාජයේ තිබෙන සැබෑ ප්‍රශ්න රට යනවා.

සියදිවි නසා ගැනීම්වලින් අංක එක වෙච්ච රටක, ලිංගිකත්වය ගැන අමුම අමු ගොබ්බ මානසිකත්වයකින් ඉන්න රටක ප්‍රසිද්ධියේ ආදරය කරන එක, කොල්ලෙක් කෙල්ලෙක්ට හාද්දක් දෙන එක පිටසක්වලයෝ ගොඩබෑවා වගේ අමුතු දෙයක් වෙච්ච රටක මනුස්සයෙක්ට ගහන බනින එක මනුස්සයෙක්ට හිරිහැර කරන එක මිනිස්සු මරණ එක වීරත්වයක් වෙච්ච රටක අපි තවමත්  ගල් යුගයේ ජීවත් වන්නෙමු.

මනුස්සයෙක් සියදිවි නසාගන්න එක, සංවේදී සිදුවීම් සම්බන්ධයෙන් මාධ්‍ය හැසිරිය යුතු ආකාරය ඉතාමත් ඛේදනීය තත්ත්වයකට පත්වෙලා. මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙක් හැටියට, නැතිනම් ලංකාවට අනුව මාධ්‍ය ආයතනයක සේවකයෙන් හැටියට ඇතැම් පිරිස්වල හැසිරීම ගැන තිබෙන්නේ කලකිරීමක් සහ කනගාටුවක්. මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන් ක්ෂේත්‍රයේ ඇතැම් ප්‍රවීණයන්ගෙන් පොත පතින්, හා විදේශීය මාධ්‍ය භාවිතයෙන් අප උගන්නා ආචාරධර්ම ඇතැම් ජ්‍යෙෂ්ඨයන් විසින්ම අමු අමුවේ උල්ලංඝණය කිරීම, ඇතැම් වෙබ් අඩවි, රූපවාහිනි මාධ්‍ය, පුවත්පත් අමු අමුවේ විනාශ කර දැමීම, එවැනි ආචාරධර්ම තඹ දොයිතුවකට මායිම් නොකිරීම සම්බන්ධයෙන් ඇත්තේ දැඩි කනගාටුවකි.
අධ්‍යායපනයට සියයට හයක් වෙන් කරන්නැයි විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ප්‍රමුඛව බොහෝ පිරිසක් දැඩි අරගලයක නිරත විය. එම අරගලය පසුගිය ආණ්ඩුව යටතේ ආරම්භ වුවත් වත්මන් ආණ්ඩුව යටතේද මුල් අවස්ථාවේ තිබූ සක්‍රීයත්වය නොතිබුණ ද අරගලය පැවැතුණි. එහි නියමුවකු ලෙස ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පෙන්වා දිය හැකි අතර එක් අවස්ථාවකදී එක්තර පුද්ගලයකු ඔහුගෙන් සියයට හය ලැබුණේදැයි විමසා තිබුණි. සියයට හය නිර්මාල් රංජිත් දේවසිරිට පෞද්ගලික අරගලයක් නොවන බව පෙන්නුම් කරමින් තිබියදී එවැනි ප්‍රශ්න විමසන පුද්ගලයෝ මේ රටේ බොහෝ වෙති. ඒ මේ රට් හැටිය. මාධ්‍ය වෘත්තිය, වෘත්තියක් ලෙස පත් කරගැනීමට නොහැකිව තිබෙන්නේ ද නිසි මාධ්‍ය ආචාරධර්ම පද්ධතියක් සියයක් සියයක් නොමැති වුවත් යහපත් මාධ්‍ය සංස්කෘතියක් බිහි කරගැනීමට නොහැකි වී තිබෙන්නේ ද ඔවැනි කරුණු නිසාය.

පේරාදෙණියේ සිසුවියගේ සිදුවීම ගත්ත ද එසේය. උඩින් පෙනේනට ඉතා ලස්සනට තිබුණ ද මේ රට සම්පූර්ණ විභාගයක් බවට පත්ව තිබේ. අධ්‍යාපනය, සෞඛ්‍ය ආදී සියලු ක්ෂේත්‍රවල ඇත්තේ දැඩි අර්බුදකාරී තත්ත්වයකි. රට තුළ ආගමික, සංස්කෘතිමය, සමාජමය ප්‍රශ්න රැසක් නිර්මාණය වී සහ නිර්මාණය වෙමින් පවතියි. සියදිවි නසා ගැනීම එහි එක් පැතිකඩකි.

සියදිවි මොනයම් හේතුවක් නිසාවත් සාධාරණීය කළ නොහැක. මේ ලොව තිබෙන සෑම මනුස්ස ජීවිතයකටම වටිනාකමක් තිබෙන්නේය. මනුස්ස ජීවිතවලට පමණක් නොව ගහකොළ, ඇළදොළ, සත සීපාවෝ සියලු දෙනාටම මේ ලොව ජීවත්වීමට අයිතියක් මෙන්ම, ජීවත්වීමට වටිනාකම් තිබේ. ඒ ඒ ජීවිතවලට ලෝකය තුළ කරන්නට කාර්යභාරයක් ෂේක්ස්පියර් කීවා මෙන් රංග දක්වන්නට භූමිකාවක් තිබේ. ඒ ඒ භූමිකා කිසිම අවස්ථාවක සමාන වන්නේ නැත. සමාජයක කසළ ශෝධකයාගේ කාර්යභාරය තවත් වෘත්තියක් හා සමාන කළ නොහැක. මේ සමස්ත ලෝකයම ජාලයක් මිස එකිනෙකා උස් හෝ පහත් හෝ වන්නේ නැත. එකිනෙක එකිනෙකට බැඳී තිබේ. මේ ලෝකයට කසළ ශෝධකයන් මෙන්ම ප්‍රකෝටිපතියන් ද අවශ්‍යය. අපි සියලුදෙනා දාමයක පුරුක් වෙමු.
සියදිවි නසා ගැනීම කියන්නේ නම්, එය පුද්ගලයකුගේ දරා ගැනීමට හැකි සීමාව ඉක්මවා ගිය අවස්ථාවකි. සියලු දෙනා තමාගේ ජීවිතවලට ආදරය කරන අතර මොහොතක සිදුවන කරුණක් නිසා ඇති වන්නකි. වෛද්‍ය විද්‍යාත්මක මේ ගැන කියනවාට වඩා සරල කරුණ එයයි. මානසික තත්ත්ව, මූල්‍ය අර්බුද, පවුල් ආරවුල්, විවිධ රෝගාබාධ, ආදර සබඳතා බිඳී යෑම් වැනි දේ සියදිවි නසා ගැනීම්වලට පොදු හේතු කරුණු කාරණාය.

සියදිවි නසා ගැනීම යනු වෙනමම ලිවිය යුතු මාතෘකාවකි. එහෙත් මිනිසුන් තමන්ගේ ජීවිතවලදී ගන්නා පෞද්ගලික තීරණ ගැන විචාර ලිවීමට, විවේචන ලිවීමට හෝ ඒවා ගැන දොස් තැබීමට අපට අයිතියක් නැත. මිනිසුන් ගන්නා පෞද්ගලික තීරණවලින් සමාජයට, රටට බලපෑමක් වන්නේ නම්, සමාජ යහපතට හෝ අයහපතට බලපෑමක් වන්නේ නම් පමණක් අපට ඒ සම්බන්ධයෙන්  කතා කළ හැකිය.

ඇය මොනයම් හෝ හේතුවක් මත ජීවිතය ගත කළ කාලය අවසන් කිරීමට තීරණය කළාය. ඒ ඇය ඒ මොහොත් ගත් තීරණය. ඇය මොන දේ ලියා තබා ගිය ද, මොන දේ කළ ද, අප අද දන්නේ මොනවා වුවද ඇය ඒ තීරණය ගත්තේ ඇයිදැයි දන්නේ ඇයම පමණි. එහි හරි වැරැද්ද තීරණය කළ හැක්කේ ඇයටම පමණි. අප අතීතයේ ගත් තීරණ ඕනෑම අයකුට හරි වැරැදි බව කිව හැකි වුවද ඒ සියල්ලේ අවසාන වගකීම ඇත්තේ අප සතුය. එය ඇයටත් පොදුය. ඇය මෝඩ කෙල්ලක නොව අප පහුකළ අති දුෂ්කර අවස්ථාවක් හා සමාන අවස්ථාවක් ඇයට පසු කරගැනීමට බැරි වූවා පමණි. එවැනි අය අප සමාජයේ තවත් බොහෝ වෙති.

අපට සමාජයේ මුණ ගැසෙන සියලු දෙනා, බස් රථයේ, දුම්රියේ අප අසුනේ සිටින අනෙක් පුද්ගලයා, රැකියා ස්ථානයේ අප සමඟ සිටින මිතුරුන්, අපට මුණ ගැසෙන සියලු දෙනා මොනයම් හෝ ප්‍රශ්නයකට මුහුණ දී සිටින්නේදැයි අපි දන්නේ නැත. හැමෝගේම ජීවිතවල ප්‍රශ්න තිබේ. ඒ ඒ අවස්ථාවලදී යම් මොහොතකට හෝ ජීවිතයෙන් යන්නට, ජීවිතයට සමුදෙන්නට අපට සිතෙන අවස්ථා ඕනෑ තරම් තිබේ. ඇතැමකුට එසේ කරගන්නට අවස්ථාවක් නොලැබෙන අතර ක්ෂණික තීරණයකින් ඔවුහු තම ජීවිතවලට අවසානය ගෙන්වා ගනිති. එය නතර කරන්නට අපට හැකියාවක් ඇත. හැකිතාක් මිනිසුන්ට කාරුණික වීමට ගන්නා උත්සහායකින් කෙනකුගේ ජීවිතයක බොහෝ දේ වෙනස් කළ හැකිය. එක් සිනහාවකින්, එක් වචනයකින් මිනිසුන්ගේ ජීවිතයක් බේරා ගැනීමට හැකිය. කොතරම් භෞතික සැප සම්පත් තිබුණද ජීවිත රඳා පවතින්නේ ආදරය, කාරුණිකත්වය, සෙනෙහස, පරිත්‍යාගශීලිත්වය, දයාව ආදී මානුෂික හැඟීම් මතය. ඇගේ අවසන් තීරණයට පෙර අවාසනාවකට, කාරුණිකව ඇගේ හිත සනසන්නට ඇයට ආදරණීය වචනයක් කියන්නට කෙනකු මුණ නොගැසෙන්නට ඇත. අපේ සමාජයේ මේ ව්‍යවසනකාරී තත්ත්වයෙන් මුදා ගන්නට කතා කරන්නන්ට වඩා මිනිසුන්ට සවන් දෙන්නන් අවශය කර තිබේ. සිනහා වෙන්නන් අවශ්‍ය ව තිබේ. ඔබේ එක් ආදරණීය වචනයකින් එක් ආදරණීය හා කාරුණික සිහිනයකින් තවකකුගේ ජීවිතය ආරක්ෂා විය හැකිය. මොහොතක් ඒ ගැන සිතන්න.


ඡායාරූපය  Stephanie Rabemiafara/Art in All of Us via Getty Images




හර්ෂණ තුෂාර සිල්වා

2017.06.07



Saturday, June 3, 2017




තරුවක අහසක
අඳුර ගලන වෙලාවක
සිහිනෙන් සිහිනෙන්
පියැවුණු නෙත් ඈ
සොයනවා












හර්ෂණ

03.06.17

Sunday, May 28, 2017

අද හවස වැඩට එද්දි හැමදාම වගේ මම බස් එකේ ජනේලයෙන් එළිය බලාගෙන ආවා. වෙච්චි දේවල් ටික පිළිවෙළින්, වෙඩින් එකක්, වෙඩින් එකක්, වෙඩින් එකක්, වෙඩින් එකක්, මළි මිනියක් උස්සන් යනවා, පොඩි හාමුදුරු නමක් ස්මාර්ට් ෆෝන් එකක් දිහා බලාගෙන ඉන්නවා, පෑලියගොඩ පහුවෙද්දි තියෙන මුඩුක්කු ගෙවල්වල බබෙක් හම්බවෙන්න ඉන්න අම්මා කෙනෙක් අමාරුවෙන් ඉඳගෙන ඉන්නවා, තව බබෙක් හම්බවෙන්න වෙන්න ඉන්න අම්මා කෙනෙක් බස් එකෙන් බහින්න, නිල් කොට කළිසමක් ඇඳගෙන පොත් බෑග් එකක් උස්සගෙන ගෙදර යන පොඩි පිරිමි ළමයෙක්. පළවෙනියට දැකපු වෙඩින් එකේදී මනාල යුවළ පිටත්වෙනවා. දෙවැනි වෙඩින් එක ගැන අවබෝධයක් නැහැ. තුන්වැනි එකත් ඉවරයා. හතරවැනි එකේ බීලා වැඩිඋන අය වාහනවලට හේතුවෙලා ඉන්නවා. ලොරියකට බීම කේස් ටික පටවනවා. අන්තිමට මළගෙදරක්, මිනිය ගෙනියනවා. ඔය අතරේ මට පිටිපස්සේ හිටපු මහත්තයෙක් කියනවා, යාළුවට ඔක්කොමලා දඟලන්නේ ඕකට නේද කියලා. ඔව් අපි ඔක්කොම දඟලන්නේ ඕකට. ඊට පස්සේ හාමුදුරු නමක් ස්මාර්ට් ෆෝන් එක්ක පාවිච්චි කරනවා. ඒක කැපද අකැපද කියන දේ ගැන මම කියන්න යන්නේ නැහැ. මේ මම කියපු ටික අපි හැමදාම අපි අත් දකිනවා. අම්මා බඩෙන් ලෝකයට එන අපි අන්තිමට යන්නේ පෙට්ටියෙන්. එහෙම යන්නත් ඒ පෙට්ටිය උස්සන් යන්න අපි බැඳීම් ඇති කරගෙන ඉන්න ඕන. එහෙම නැත්නම් පොලිසියෙන් අරන් ගිහින් කොහේ හරි දායි. ඉපදීමත් මරණයත් අතර අපිට තියෙන්න ඕන දේවල් මොනවාද. කෝටි ප‍්‍රකෝටි ගණන් සල්ලි තිබ්බත්, අවසානයේදී ඒකෙන් සත පහක් අපි අරන් යන්නේ නැහැ. අපේ මරණයකට එන මිනිස්සුන්ගෙන් මනින්න බැහැ, ඒ මනුස්සයත් අපිත් අතර තියෙන මනුස්ස සබඳතාව. ඒත් සාපේක්ෂව එහෙම එන පිරිසෙන් අපිට හිතන්න පුළුවන් ඒ මනුස්සයත් අවට සමාජයත් අතර තිබුණ බැඳීම. ජීවිතයත් මරණයත් අතර අපි ගොඩනැගෙන්නේ පවතින්නේ ආදරයත්, මනුස්ස බැඳීම් කියන දේ අතර. මනුස්ස කම අතර. අනේකාට කරන ගරු කිරීම මත. අනෙකාගේ හැඟීම් දැනීම් තේරුම ගැනීම මත. මේ ටික අපිට පුළු පුළුවන් විදියට කරන්න පුළුවන් නම්, මේ ලොකේ පොඞ්ඩක් හරි වෙනස් වේවි. සාපේක්ෂව. දවසට රුපියල් 250ක් පඩි ගන්න මනුස්සයාට, 2500ක් පඩිගන්න, 25000ක් පඩිගන්න, 250,000ක් පඩිගන්න හෝ ඊටත් වඩා පඩිගන්න මනුස්සයෝ හැමෝටම තියෙන්නේ එකම ප‍්‍රශ්න ටික. අපි ඒවා විසඳන්න ක‍්‍රමවේදය හා ඒ සඳහා කෙරෙන මහන්සියේ ප‍්‍රමාණයේ වටිනාකම වැඩියි. සමහර විට 250,000ක් පඩි ගන්න මනුස්සයා තමන්ගේ දරුවා ඉස්කොලේට දාගන්කොට දවසේ පඩිය 250ක් වුණ මනුස්සයට තමන්ගේ දරුවාව පාසලට දාගන්න බැරි වෙන්න පුළුවන්. මේක තමා ලෝකේ යථාර්ථය. අපි අම්මා බත් ටික නොකා විසිකරන වෙලාවල් තියෙනවා. ඒත් ඒ ටික තියා, නිකන් බත් ටිකක් වත් කන්න බැරි අඩුගානේ තුන් වේලෙන් එක වේලකටවත් බත් නැති, දවස් තුන හතරකින් කටට රහට නොකාපු මිනිස්සු ඉන්න පුළුවන්. මේක හරිම සාපේක්ෂ සරල සංසිද්ධියක්. මේක වෙනස් කරන්න බැහැ.. නොකා ඉන්න මිනිස්සු ප‍්‍රමාණය අඩු කරන්න අපිට පුළුවන්, අසතුටෙන් ඉන්න මිනිස්සු දවසක් හරි සතුටු කරන්න අපිට පුළුවන්. මෙහෙම ලියන දෙයක් කියවලා, කවුරු හරි, තව කෙනෙක්ගේ බඩ පුරවනවා නම්, මම වගේම මෙහෙම ලියන, නොලියන ගොඩක් අය සතුටුවේවි.

Friday, May 26, 2017


ගංවතුර ස්විභාවික ව්‍යසනයක් යැයි ද එය ආසියාව හා අප්‍රිකාව වැනි දුප්පත් යැයි කියන රටවලට පමණක් ඇති වන්නක් යැයි ඔබ සිතනවා නම්, ඔබ කරන මුල්ම වැරැද්ද එයයි. ලොව ඇති වන සෑම ගංවතුර තත්ත්වයක්ම ස්වභාවික ඒවා යැයි වර්ග කළ නොහැක. බොහෝ ගංවත--ුර තත්ත්වලට හේතුව නොමනා මිනිස් ක්‍රියාකාරකම්ය. ඇමෙරිකාව, බි්‍රතාන්‍ය ඇතුළු දියුණු යැයි සම්මත රටවලට පවා ගංවතුර ඇතුළු දරුණු ස්වභාවික ව්‍යවසනවලට මුහුණ දීමට සිදු වේ. එසේ ඇතිවන ස්වභාවික ව්‍යවසන හා ගංවතුර තත්ත්ව හේතුවෙන් මිනිස් ජීවිත හා දේපළවලට මෙතකැයි කිව නොහැකි හානි සිදු වන බව නොරහසකි.  

ලොව දරුණුතුම ගංවතුර තත්ත්ව ඇති වූ වසරක් ලෙස 1998 වසර හඳුන්වයි. එම වසරේදී උතුරු ඇමෙරිකාව, දකුණු ඇමෙරිකාව, ආසියාව හා යුරෝපයේ බොහෝ රටවලට ගංවතුර තත්ත්ව ඇති වූ අතර එම ගංවතුර තත්ත්වලට හේතුව එල් නීනෝ හා ලා නීනා තත්ත්වය යැයි ද පැවැසිණි. එම සාධක දෙකට අමතරව ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑම ද ස්වභාවික ව්‍යවසන දරුණු වීමට හේතු වී ඇතැයි විද්‍යඥයෝ පෙන්වා දෙති. ගෝලීය උෂණ්තවය ඉහළ යන්නේ අන් කවරක්වත් නිසා නොව මිනිසුන්ගේ අත්තනෝමතික ක්‍රියා හේතුවෙනි.

වන විනාශය හා ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑම ස්වභාවික ව්‍යවසන ඇති වීමට බලපාන ප්‍රධානම මිනිස් ක්‍රියාකාරකම් දෙක ලෙස හඳුනාගෙන ඇත. මිනිසාගේ වගක් නැති ක්‍රියාකාරකම් නිසා පරිසරයට සිදුවන බලපෑම මුළු ලෝකයටම පාරා වළල්ලක් වී ඇති අතර මිනිසාගේ ක්‍රියාකාරකම් නිසා ඇතිවන ව්‍යවසනවලින් හානි සිදුවන්නේ ද මිනිසුන්ටමය. එවැනි අවස්ථාවලදී මිනිස් ජීවිත විශාල ප්‍රමාණයකට ජීවත් වීමේ වරම ද අහිමි වී යන්නේය. 

කාලයකට වැස්ස නැතැයි ද කාලයකට අව්ව නැතැයි ද කියන මිනිසුන් ස්වභාවික ව්‍යවසන ඇති වූ විට එය ද සොබාදහමට දොස් තබන අතර තවත් කොටසක් ස්වභාවික ව්‍යවසනවලට හේතුව මිනිස් ක්‍රියාකාරකම් යැයි ද පවසති. මේ සම්බන්ධයෙන් මිනිසුන් අතරමේ වාද විවද පවතියි. සොබාදහමේ අප ජීවිතවල කොටසක් නොවන බවත් අප සොබාදහමේ කොටසක් බවත් අප විසින් තේරුම් ගත යුතුව ඇත.

එක් වරක් චීනයට බලපෑ ගංවතුරින් මිලියන 250කට වැඩි පිරිසකට පීඩා ගෙන දුන් අතර පසුගිය සති දෙක තුනක කාලයේදී මෙරට බලපෑ ගංවතුර තත්ත්වයෙන් ලක්ෂ පහකට ආසන්න ප්‍රමාණයක් පීඩාවට ලක්විය. වර්ෂාව ඇති වීමට පෙර අප රට දැඩි ඌෂ්ණ කාලයක් ගෙවා දැමුවේය. මේ සංසද්ධීන් තුනටම හේතු ව එල් නීනෝ යැයි පැවැසිණි. මෙම කරුණු සොබාදහම සඳහා වන වන සත්ව අරමුදලේ (WWF) වෙබ් අඩවියේ සඳහන්ව ඇත. 

මිනිස් ක්‍රියාකාරකම් ගංවතුරට ප්‍රධාන හේතුව යැයි ද මිනිසුන් විසින් කරන ගස් කැපීම් වන විනාශයන් ගංවතුරට හේතු යැයි ද නැවත නැවත අනාවරණය වෙමින් පවතියි. වන විනාශයන් හේතුවෙන් පසට සිදුවන හානිය ගංවතුර තත්ත්ව ඇති කරයි. 

ගංඟ ද්‍රෝණිවලට, ගං ඉවුරුවලට, කඳුකරයේ ගස් කපා දැමීම්, ජලය බැස යන මාර්ග අවහිර කිරීම ආදිය මිනිසුන්ගේ ක්‍රියාකාරකම්ය. ඉවක් බවක් නොමැති සංවර්ධනය, නාගරීකරණය මිනිසුන්ගේ ක්‍රියාකාරකම්ය. මිනිසුන් ගස් සිටුවීම වෙනුවට කොන්ක්‍රීට් වනාන්නතර ඉදි කිරීම ජලයට රිසි සේ ගලා බැසීමට ඇති ඉඩකඩ අහුරන අතර තම මඟ ඇහිරීම නිසා කෝපයට පත්වන සොබාදහම මිනිසුන්ට පාඩම් උගන්වන්නට අමතක නොකරයි. 

සියලු ජල මාර්ග හා පහත් බිම් විනාශ කරමින් දැවැන්ත සංවර්ධන ක්‍රියාවලියක් සිදු කිරීම සඳහා සියල්ල සකසා ඇතැයි පරිසර හා සොබාදහම් සංවර්ධන අධ්‍යයන මධ්‍යස්ථානය පෙන්වා දෙයි. බස්නාහිර නගර කලාපයේ මිලියන 3.5ක ජනතාවක් ද, දකුණ, ගාල්ල, නැගෙනහිර හා යාපනය යන මහ නගර කලාපවල මිලියනය බැගින් ද, උතුරු මැද මිලියන 4ක ජනතාවක් ද පදිංචි කිරීමට නියමිත යැයි ද ඉත් ඉක්මනින් ස්වභාවික ආපදාවලට ලක්වන ජනතාව ස්වේච්ඡාවෙන් ඉහත කී නගර කලාප වෙත සංක්‍රමණය යුතු බව ට තීරණය වී ඇතැයි ද 2030 වනවිට  ලංකවේ මුළු ගුවන් තොටුපොළ සංඛ්‍යාව 19ක් වනු ඇතැයි ජාතික භෞතික සැලැස්මේ සඳහන්ව ඇතැයි එම මධ්‍යස්ථානය කියයි. 

මෙවැනි දෑ මෙතරම් පුංචි රටකට දරා ගත හැකි ද ? උඩු ගුවනේ සිට නරඹන හරිත පරාදීසයක් පැවැති පුංචි වැසි වනාන්තරය ක්‍රමයෙන් කොන්ක්‍රීට් වනාන්තරයක් බවට පත් වෙමින් තිබේ. අනාගතයේ දිනක කව් ගී ලියන්නට හන්තාන කඳු වැටියක් නොවන්නට පුළුවනි. අත්තනෝමතික ලෙස කරන සංවර්ධනය නවතාලන්නට, පරිසර විනාශයන් නවතන්නට අප දැන්වත් පියවර ගත යුතුය. මොණරුන්ගේ මාර්ග, අලි ඇතුන්ගේ නිජබිම් වනසමින්, ගහ කොළ විනාශ කරමින් අපි අධිවේගී මාර්ග ඉදි කර වේගයෙන් ගමන් කරන්නේ ද විනාශයට නොවේ ද ? රෝමයට ගිය පසු රෝමයේ අයුරින් ජීවත් විය යුතු යැයි කියමනක් ඇත. අප සිටින්නේ අපට සින්නකරව හෝ උරුමයෙන් ලද භූමියක නොවන බව පසක් කර ගත යුතුය. අපි සොබාදහමේ කොටස්කරුවෝ වෙමු. එහෙයින් ඊට අනුකූලව ජීවත් වීමට අප කටයුතු කළ යුතු එසේ නොවුණහොත් පස් යට වැළලෙන්නට සිදුවන දවස ඉක්මනින්ම අප වෙත ළඟා වෙනු ඇත.


ඡායාරූපය රොයිටර්



හර්ෂණ තුෂාර සිල්වා 
ගිය අවුරුද්දේ මැයි 31 වැනිදා ලියපු එකක්    



Tuesday, May 23, 2017

යුද්ධය ගැන නැවත නැවත ලිවීමට සිදුවීම අකැමැති මාතෘකාවක් වුවද ලියන්නට හේතු සාධක වන දෑ බොහෝ අවස්ථාවලදී අත්දකින්නට සිදුවේ. සිවිල් යුද්ධයක්, මහා පරිමාණ යුද්ධයක් ද හෝ මොනයම් අර්ථකතන දුන්න ද තිස් වසරක් මුළුල්ලේ පැවැති ගැටුම්වලින් අපට අහිමි වූ ජීවිත ගණන අති මහත්ය. ඒ නිසා මේ රටේ නැවත යුද්ධයක් හෝ ජාතීන් අතර ගැටුමක් ඇති වීමට ඉඩ නොදීම අප සියලු දෙනා සතු වගකීමකි.

දශක තුනක් පුරා පැවැති යුද්ධයේ අපි අමතක කළ යුතු නැත. එහෙත් යුද්ධය ගැන මතකය මිනිසුන්ගේ සිත්තුළ නැවත වෛරී අදහස් ඇති වීමට නොව සාමය කරා ගමනක් සඳහා විය යුතුය. එල්.ටී.ටී.ඊ සංවිධානය බිහිවන්නේ දකුණේ තරුණ පිරිස් මෙන්ම තම අයිතිවාසිකම් ඉල්ලමින් එම සටන දිනාගැනීමටය. එල්.ටී.ටී.ඊ යත් දකුණේ තරුණ කොටස් අතර වෙනසක් නැති තරම්ය. එහෙත් ප්‍රචණ්ඩත්වය කිසිදු ප්‍රශ්නයක් පිළිතුරක් නොදෙන්නා සේම එල්.ටී.ටී.ඊ යට ද අවි ආයුද ගැනීමෙන් ප්‍රතිඵලයක් අත්වූයේ නැත. අවි ගත්තෝ අවියෙන්ම නැසෙන්නේ යන පොදු ධර්මය ඔවුන්ට ද උරුමය. එම ලෝක ධර්මතාව සිංහල දෙමළ භේදයකින් තොරවම මේ රටේ බොහෝ දෙනා අත් විඳි බව අපි කවුරුත් දනිමු.

යුද විරෝධී සියලු දෙනාට යුද්ධය අවසන් වීම ගැන ඇත්තේ සතුටක් බව නොරහසකි. එය මෛත්‍රී පාක්ෂිකයන්, රනිල් මහින්ද පාක්ෂිකයන් හෝ වෙනයම් දේශපාලන මතයක් දැරුවේ ද කියා වෙනසක් නැත. යුද්ධය අවසන් වූ ආකාරය පිළිබඳ අපට ගැටලු ඇත. යුද්ධයට මුවා වී කළ වැරැදි ගැන අපි ප්‍රශ්න කළ යුතුය.
මැයි 18 හෝ ආසන්න දිනයකදී රූගත කරන ලද වීඩියෝ පටයක් මුහුණු පොතේ එහා මෙහා යමින් තිබිණි. මැයි 18 වැනිදා මතකද යන්න විමසමින් එහිදි ප්‍රශ්න කරන්නේය. එම ප්‍රශ්න කිරීමට එතැනින් එහාට ගොස් රටේ සාමය ඇති කිරීමට කළ යුත්තේ මොනවාදැයි විමසීමට හැකි වූවා නම් වඩා හොඳය.

තවමත් රටේ පිරිස් අතර දේශපාලකයන් අතර යුද්ධය අවසන් කළේ කවුද යන්නට මත ගැටුමක් තිබෙන බව පැහැදිලිය. එහෙත් කවදාවත් යුද්ධය ඇති කළේ කවුද යන්න හෝ එහි වගකීම බාරගැනීමට කවදාවත් කිසිවකුත් ඉදිරිපත්  වන්නේ හෝ අදහස් දක්වන්නේ නැත. යුද්ධය ඇති වූයේ ඇයි ද යන්න ගැන විමසා සිටින්නේ නම් එය ඉතා අතළොස්සකි. යුද්ධය ඇතිවීමේ මූලික වගකීම බාරගත යුත්තේ දේශපාලකයන්ය. දේශපාලකයන්ට සියල්ල පවරා නිහඬවම සිටීමට අපට නොහැක. ලෝකය විනාශ වී යන්නේ වැරැදි මිනිසුන්ගේ වැරැදි නිසා නොව යහපත් මිනිසුන්ගේ නිහඬ බව නිසා යැයි ඇල්බට් අයින්ස්ටයින් වරෙක කීවේය. එබැවින් යුද්ධයේ ආරම්භයට, ඒ පරම්පරාවත් ඊට පරම්පරා සියල්ලත් වගකිව යුතුය. යුද්ධය කඩිනමින් අවසන් කර නොගැනීමේ වරදට ඉන් පසු සියලු පරම්පරා වගකිව යුතුය. නැවත යුද්ධයක් ඇති නොවීමේ වගකීම වත්මන් පරපුර සතුය.  

බුදු දහම මුල් කරගත් රටක ජීවත්වන අපට බුදු දහමේ මූලික හර පද්ධති අමතකව ගොස් තිබීම කනගාටුවට කරුණකි. භික්ෂූන් වහන්සේලාට ඒ බව අමතකව යෑම තවදුරටත්  කනගාටුවකි. බුදුදහම මේ රටට ලැබෙන්න අශෝක අධිරාජ්‍යයාගේ මැදිහත් වීමෙනි. යුද්ධයෙන් අති විශාල ජනතාවක් ඝාතනය කරමින් තම අධිරාජ්‍යය පුළුල් කරගැනීමේ ගමනක යන අශෝක සාහිත්‍යයට අනුව චණ්ඩාශෝක යනුවෙන් නම් ලබන්නේය. එහෙත් නීග්‍රෝධි හිමියන්ගෙන් දහම් ඇසීමෙන් පසු චණ්ඩාශෝක බුදු දහම වැළැඳ ගනිමින් ධර්මාශෝක වන බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන්ය. යුද්ධයේ ආදීනව පිළිබඳ අපට සමීපතම පාඩම කියා දෙන්නේ බුදු දහම මෙරටට එවීමට මූලික වන ආශෝක රජුය. එම සරල කරුණ පවා අවබෝධ කර නොගන්නා දුවන්නන් වාලේ දුවන සමාජයක කොටස්කරුවෝ බවට අපි පත්ව සිටිමු.

යුද්ධය අවසන් වීම බොහෝ දෙනකු ජයග්‍රහණයක් යනුවෙන් හඳුන්වන අතරේම ජයග්‍රහණයට පියවරුන් බොහෝ දෙනකු සිටින බව නැවත නැවතත් පසක් කරමින් තමා යුද්ධය අවසන් කළේ යැයි කීමට බොහෝ පිරිස් නිරන්තරයෙන් සැදි පැහැදි සිටිති. එහෙත් අපි ජාතියක් වශයෙන් පරාදය. රටක් ලෙස පරාදය. ඉතිහාසය හැරෙන්න, පසුගිය කාලයේ දී ක්‍රීඩාව වශයෙන් හා පුද්ගලයන් වශයෙන් දිනාගත් දේ හැරෙන්නට අපි රටක් ලෙස දිනාගත් දෙයක් හෝ ආඩම්බර වීමට හෝ දෙයක් අපට නැත. විවිධ පුද්ගලයන් විවිධ ක්ෂේත්‍රවලින් දක්ෂතා දක්වමින් ජාත්‍යන්තරයට යෑම හැරෙන්නට අපට ආඩම්බර වන්නට දෙයක් නැත.

විජේවීර සැමරීමේ අයිතිය, ජේ.ආර්, ප්‍රේමදාස, බණ්ඩාරනායක සැමරීමේ අයිතිය මේ රටේ විවිධ කොටස්වලට තිබේ නම් ප්‍රභාකරන් සැමරීමේ අයිතිය ද හිමිවිය යුතුය. ඉහත කී සියලු දෙනාගේ තීන්දු තීරණ නිසා මේ රටට හිමි වූ දේවල්වලට වඩා අහිමි වූ දේවල් වැඩිය. යුද්ධය මැයි මාසයකම අවසන් වීම වඩාත් හොඳය. එයම නිමිත්තක් කරගනිමින් සමරන පිරිස්වලට ඔවුන්ගේ පාඩුවේ එය සමරන්නට ඉඩ දී ජාතියක් ලෙස මැයි මාසයම ජාතික සාම මාසය හෝ සංහිඳියාවේ මාසය යනුවෙන් නම් කරමින් ජාතික ප්‍රතිපත්තියක් ගෙන ආ හැකිය. මැයි 18 හෝ මැයි 19 වැනිදාට වෙසෙක් පොහොය දිනයක් යෙදෙන්නේ කවදාද අපට එදාට බොහෝ දේ කතා කළ හැකිය. එබැවින් අප ආයුද විසඳුම් හෝ ප්‍රචණ්ඩත්වය හෝ විසඳුමක් කර නොගත යුතුය.

හතළිස් අටට පෙරත් ඉන් පසුත් අද දක්වාම මේ රටේ විවිධාකාර ගැටුම් ඇතිවිය. තරුණයන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු සැපයීම පැවැති ආණ්ඩු මෙන්ම වත්මන් ආණ්ඩුව ද අසමත් වීම, සිංහල, දෙමළ හා මුස්ලිම් ජාතීන්වල අයිතීන් ආරක්ෂා කිරීමට පැවැති ආණ්ඩු හා වත්මන් ආණ්ඩුව අසමත්වීම රටේ ඇති වූ ගැටුම්වලට ප්‍රධාන හේතුය. පටු දේශපාලන වුවමනා වෙනුවෙන් ආණ්ඩු මෙන්ම විපක්ෂ කණ්ඩායම් ද විවිධ සංවිධාන කණ්ඩායම් පිහිටුවමින් රටේ කොටස් අතර ගැටුම් ඇති කිරීමේ උත්සාහයක නිරත වන බව පැවැති ආණ්ඩුවලින් මෙන්ම වත්මන් ආණ්ඩුවෙන් ද වෙනසකින් තොරව පෙනී යයි.

පසුගිය දින කිහිපයක කාලයේදී මුස්ලිම් හා දෙමළ ජාතීන් ඉලක්ක කරගනිමින් ප්‍රහාර කිහිපයක් එල්ල වූ බව රටේ විවිධ ස්ථානවලින් අපට අසන්නට ලැබුණි. තිස් වසරක පැවැති යුද්ධය මූලිකවම සිංහල දෙමළ අරගලයක් බවට පත් වූ අතර ඊට මුස්ලිම් ජාතිකයන් ද මැදිව තුන් කොන් අරගලයක් වූවා නම් මේ රට මීටත් වඩා විනාශයකට යෑමට ඉඩ තිබිණි. අද රට තුළ එවැනි තත්ත්වයක් නිර්මාණයක් කිරීම ඇතැම් කොටස්වල වුවමනාවක් බවට පත්ව තිබීමත් ආණ්ඩුවේ හා විපක්ෂවල පිරිස් එකිනෙකාට දොස් පවරා ගැනීමත් නිසා ප්‍රශ්නවලට විසඳුම් ලැබෙන සැටියක් පෙනෙන්නට නැත.

සෑම කරුණකම දේශපාලකයන්ට චෝදනා කරමින් සිටීම අපට අදත් හෙටත් තවත් වසර කිහිපයකින් වුවත් කළ හැකි පහසු කාර්යයකි. එහෙත් අප දැනට සිටිනාවට වඩා ඉදිරි පියවරක් තැබිය යුතුයි. පක්ෂ පාට භේදයකින් තොරව ප්‍රචණ්ඩත්වයට එරෙහි විය යුතුය. ඒ නිසා අපට අවශ්‍ය වන්නේ අවබෝධයෙන් කටයුතු කරනා ජනතාවකි. කවුරුන් හෝ කී පළියට හෝ සාම්ප්‍රදායික හෝ සමාජ හෝ නූතන මාධ්‍යයෙන් ප්‍රසිද්ධියට පත් වූ සැණින් විශ්වාස නොකරන කරුණු විමසන ජනතාවකි. දේශපාලකයන්ගෙන්, මාධ්‍යයෙන් හා වගකිව යුත්තන්ගෙන් අවබෝධයෙන් ප්‍රශ්න කරන ජනතාවකි. එවැනි අවබෝධයක් සහිත ජනතාවක් නොමැතිව මේ රටට ඉදිරි ගමනක් නැත. ආර්ථික, දේශපාලන හා සමාජයීය වශයෙන් අපි තවමත් පරාජිත ජාතියකි. පරාජිත්වයෙන් ගොඩ ආ හැක්කේ දිගුකල් පවත්නා සාමයකට ගමන් කිරීමෙන් පමණි.


කාටූනය අවන්ත අාටිගල 


හර්ෂණ තුෂාර සිල්වා
24.05.17


‘මිඩ්ල් ක්ලාස්’ ක්‍රියිසිස් සහ ‘ඩිකෝඩිං’

අපි ජන සමාජයක් විදියට උග්‍ර අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. දරුවෙක්ගේ සාර්ථකත්වය මනින්නේ, යාන වාහනවලින්, උපාධිවලින්, හම්බවෙන පඩියෙන්, කරන රස්සා...

Blog Archive