දැන් නැවත
වරක් විදුලි කප්පාදුවේ පැය ගණනත්, තෙල් පෝලිමේ දිගත් වැඩි වෙමින් තිබේ. ඒ අතරවාරයේ
දී මර්දනයත් දිනෙන් දින විවිධාකාරයෙන් සිදුවෙමින් තිබේ. විවිධාකාරයේ මතභේද, වෙනස්කම්
මධ්‍යයේ ගෝඨාභය රාජපක්ෂ පාලනය පලවා හැරීමට පැමිණි කණ්ඩායම්වල පරස්පරතා බෙදීම් යනාදී
සියල්ල ද එකිනෙකාගේ දේශපාලන ස්ථාවර දේශපාලන මතවාද ද මේ වනවිට පැහැදිලිව වෙන් කර හඳුනාගැනීමට
අවස්ථාව ලැබී තිබේ.
දැන් ඇත්තේ
මහජනතාවගේ අරගලය ඉදිරියට ගෙන යන්නේ කෙසේදැයි තීරණය කිරීම ය. ඉදිරි උපාය මාර්ග සැලසුම්
කිරීම ය.
ගාලු මුවදොර
ගෝඨාගෝගම ඇතුළු අරගල භූමිවලින්, පාලන බලයේ සිටින්නන් ඉවත් වන්නැයි කී විට ඉවත් වීම
අරගලය දැයි ඇතැමෙක් විමසා තිබිණි. එක් අතකින් එය සාධාරණ පැනයක් මෙන්ම අනෙක් අතින් ඉවත්
වීම සම්බන්ධයෙන් සාධාරණ තර්ක ඉදිරිපත් වී තිබිණි.
කෙසේ නමුත්
අරගල භූමියෙන් ඉවත් වෙනවා ද, ඉදිරියේ කළ යුත්තේ මොනවාද යනාදිය තීරණය කිරීම එකී පාර්ශව
සතු ය.
අරගල කළ යුත්තේ
කෙසේ දැයි ඒවා විය යුත්තේ කෙසේ දැයි ඉගැන්වීම් ගැන ද පසුගිය කාලයේ දී දැඩි කතාබහක්
ඇති වී තිබිණි. මහජන නැගිටීම් විය යුත්තේ කෙසේ ද යන්න කීම, කතාබහට ලක්වූ ආකාරයෙන්
මෙසේ කළ යුතුයි, එසේ කළ යුතු යි කීම කළ නොහැක්ක කි. මක්නිසාදයත්, මහජන නැගිටීම්, මහජන
අරගල , මහජන විරෝධතා සිදුවන්නේ ඒවායේ ආකෘතියෙනි. ඒවා සිදුවන්නේ ඒ ඒ ආකෘතිවලිනි. ඒවා
ඒ අවස්ථාවට ආවේණික ය. මෙහි අපි තේරුම් ගත යුතු ප්‍රධානම කරුණ වනුයේ, මහජනතාවගේ බලය
කොතරම් ප්‍රබල ද යන කරුණ ය. මහජනතාව එක් වන්නේ නම් එය පෙරළිය නොහැකි ආපසු හැරවිය නොහැකි
බලයකි. කෙසේ නමුත් මුළු මහත් මහජනතාවක් එකා වන්ව, එක් වන්නේ ද යන්න ප්‍රායෝගිකව ගැටලුවකි.
එසේ වුවත් සැලකිය යුතු මහජනතාවකට වුව ද යමක් කළ හැකි බව ජූලි 9 වැනිදා පෙන්නුම් කළේ
ය. පාලකයන් බිය වන්නේ ද මහජනතාවගේ මෙම බලයට ය.
දැන් පැමිණ
ඇත්තේ පසුපාදයේ ආරක්ෂිතව ක්‍රීඩා කිරීමේ තත්ත්වයකට ය.
‘යන්න කී විට’
අරගලකරුවන් යෑම සාධරණීයකරණය කළ හැක්කේ මේ තත්ත්වය මත ය.
මහජනතාවගේ
විරෝධතාවයේ විශේෂයෙන්ම ගාලු මුවදොර කේන්ද්‍ර කරගත් විරෝධතා ව්‍යාපාරයේ සාර්ථකත්වයට
මෙන්ම අසාර්ථකත්වයට ද බලපෑවේ එකම සිදුවීම් කිහිපයක් බව අප මුලින්ම තේරුම් ගත යුතු ය.
මේ නිසා දැන්
කළ යුත්තේ අඩුපාඩු වැරැදි යනාදියෙන් පාඩම් ඉගෙන නැවත ප්‍රතිසංවිධානය වීම ය.
මහජනතාවගේ
විරෝධය හමුවේ පාලක පැලැන්තියේ හැසිරීමත්, රනිල් වික්‍රමසිංහ ජනාධිපති වීමෙන් ඇතැමුන්
නිශ්ශබ්දී වීමත්, මර්දනය හමුවේ ඇතැමුන්ගේ දෙබිඩි පිළිවෙතත් යනාදී කරුණු රැසකින් අප
තේරුම් ගත යුතු ප්‍රධාන කරුණක් තිබේ. එනම්
ඇතැම් පිරිස්වලට තිබී ඇත්තේ හුදෙක් රාජපක්ෂ විරෝධයක් පමණක් බව ය. පන්තිය සම්බන්ධ ගැටලුවක්
බව ය. මේ නිසා ශිෂ්ට සම්පන්න රටක් ගොඩනැගීම රාජපක්ෂ පාලනය පෙරළා දැමීමෙන් සිදු වන්නේ
නැත. එය උඩ සිට පහළටත් පහළ සිට උඩටත් සිදු විය යුත්තකි.
බොහෝ පිරිසකට
තිබී ඇති ගැටලුව නම් රාජපක්ෂ තන්ත්‍රය මේ ජරා ජීර්ණ ක්‍රමය නඩත්තු කිරීමය ය. ඔවුන්ගේ
අයකු එය නඩත්තු නොකිරීමේ ගැටලු වය. තමන්ගේ අයකු පැමිණ එය නඩත්තු කිරීමේ දී ඔවුන්ට ගැටලුවක්
නැත. මෙහි ඇති භයානක කරුණක්, මෙය ජාත්‍යන්තර සම්බන්ධතාවලටත් අදාළ වීම ය.
ඒ නිසා රනිල්
වික්‍රමසිංහගේ ජාත්‍යන්තර සම්බන්ධතා අවතක්සේරු කිරීම, හෑල්ලුවට ලක් කිරීම නොකළ යුත්තකි.
ගෝඨාභය රාජපක්ෂටත්,
රාජපක්ෂලාටත් වඩාත් රනිල් වික්‍රමසිංහ භයානක බව මම කිහිපවරක්ම ලීවෙමි.
එනම් ජාත්‍යන්තර
පීඩනය හමුවේ රාජපක්ෂලා වුවද ඇතැම් විට ඇතැම් දේ කරන්නට මැලිවෙති. බියවෙති. එහෙත් රනිල්
වික්‍රමසිංහ ඊට වෙනස් ය. වික්‍රමසිංහ ජාත්‍යන්තරයේ අත්පොත්වලින්ම ඒ දේවල් කර ඒවායින්ම
ඔවුන්ට පිළිතුරු දෙනු ඇත.
දැන් ගෙවුණු
කාලයේ දී සිදු වී ඇත්තේ එය යි.
ජාත්‍යන්තර
දේශපාලනයේ, යුද්ධය නීති විරෝධී දෙයක් නොවේ. අප යුද්ධය ප්‍රතික්ෂේප කළත් ජාත්‍යන්තර
දේශපාලනය තුළ යුද්ධය ප්‍රතික්ෂේප වී නැත. යුධ කළ යුතු ආකාරය සම්බන්ධයෙන් නීති සකසා
ඇත්තේ එනිසා ය.
ප්‍රජාතන්ත්‍රවාදය
ගැන කියන රටවල් ම යුද්ධ කරන්නේ ද ඒ නිසා ය.
එක් අවස්ථාවකදී
අපගේ ඉගැන්වූ දේශකයකු කීවේ පොතේ හැටිය ට මරන්න කියා ය. ඒ නිසා අප තේරුම් ගත යුත්තේ
ඒකාධිපතීත්වය ප්‍රතික්ෂේප කරන පාර්ශව තමන්ගේ න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කරන ඒකාධිපතියන්ට
සහාය දක්වා ඇති බව ය.
රනිල් ද ජාත්‍යන්තරය
හමුවේ සිය ලිබරල් මුහුණ නඩත්තු කරමින්, ජාත්‍යන්තරයේ ම උදාහරණ ගනිමින් ඔහුගේ පාලනය
ගෙන යමින් තිබේ.
අනෙක් අතට
ජාත්‍යන්තරය රනිල්ට බෙදන්නේ රාජපක්ෂලාට බෙදූ හැද්දෙන් නොවන බවත් අප තේරුම් ගත යුතු
ය.
අනෙක් අතට
වත්මන් මර්දනය ක්‍රියාත්මක වන්නේ, ඉදිරියේදී මෙවැන්නක් ඇති වීම, මහජනතාවගේ නැගී සිටීමක්
ඇති වීම වැළැක්වීමට මිස අන් යමක් නිසා නොවේ.
වත්මන් ආර්ථික
අර්බුද ඉදිරියේ දී තවත් උග්‍ර වනු ඇත. අනෙක් සමාජ, දේශපාලන සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල
අර්බුද ද තීව්‍ර වනු ඇත.
රටේ වත්මන්
තත්ත්වය දෙස බැලීමේදීත්, ගෝලීය ආර්ථිකය දෙස බැලීමේදීත් විශේෂඥ අදහස් දෙස බැලීමේදීත්
ඒ බව පෙනී යයි.
මේ නිසා දැන්
පසුපාදයේ ආරක්ෂිතව ක්‍රියාත්මක කරන අතරම වරින් වර පෙර පාදයේ ප්‍රහාරත්මක පිතිකරණයකද
නිරත විය.
ඒ සඳහා හරි
ම පන්දුව තෝරාගැනීමේ අභියෝගය මහජනතාව ට තිබේ. විශේෂයෙන්ම විරෝධතා ව්‍යාපාරයේ නායකයන්
හෝ නායක කණ්ඩායම් හෝ ඉදිරි පෙළ පිරිස් හමුවේ මෙම අභියෝගය ඇත.



