Sunday, August 26, 2018

මට දෙවියන් වහන්සේ මුණ ගැහෙන්න පුළුවන් වුණේ නෑ

පොත් කියවීම කොහොම හුරු වූවාදැයි කියන්නට මට ඒ හැටි මතකයක් නැත.  එහෙත් අම්මාගේ බලපෑම ඊට විශාල වශයෙන් හේතුවිය. සෑම ජනවාරි පළමු වැනිදාවකම, සෑම බක් මහකම අලුත් අවුරුදු උදාවේදී වැඩ අල්ලන නැකතට මා පොතක් කියවන්නට පුරුදු වූයේ අම්මාගේ බලපෑම හා වුවමනාව නිසාය. කුඩා කාලයේ දී අම්මාගේත් තාත්තාගේත් කියවීම හා බලපෑම නිසා චාරිත්‍රයක් වූ එය කාලයත් සමඟ මා දැඩි කැමැත්තකින් හා වුවමනාවකින් කරන්නට යෙදුණක් විය. අවුරුදු 25ක් ගත වී ඇති තැන මා තවමත් එම චාරිත්‍රය ඉටු කරන්නේය. එය චාරිත්‍රයකට වඩා ජීවිතය හා බැඳුණු පුරුද්දක් වී තිබේ. එය මගෙන් මගේ සහෝදරියට ද උරුම වීම එක්තරා ආකාරයක තෘප්තියක් ගෙන දෙන්නකි.  

අද වනවිට මගේ පොත් කියවීමේ පුරුද්දත් පොත් මිලදී ගැනීමේ උන්මන්තකභාවයත් අම්මාට කරදරයක් වී තිබේ. තැන තැන විසිරුණු පොත් ඉවක් බවක් නොමැතිව පොත් මිලදී ගැනීමත් ඇයට මහත්  හිසරදයක් ව තිබේ. මිලදී ගත් බොහෝ පොත් මා තවමත් කියවා නැත. මිලදී ගන්නා ලද පොත් කියවා අවසන් නොකර දිගින් දිගටම පොත් මිලදී ගැනීම විටෙක මට ම එක්තරා ආකාරයක පීඩාවක් ගෙන දෙන්නකි. එහෙත් එම පීඩාවට පොත් මිලදී ගැනීමෙන් හා ඒවා නිතර නිතර දැකීමෙන් ගෙන දෙන තෘප්තිය මග හැර යන්නට හෝ මැඩ පැවැත්වීමට හෝ හැකියාවක් නැත.

මෑතකදී තැන තැන විසිරුණු පොත් කිහිපයක් එක් තැනකට ගොනු කරන්නට අවස්ථාව ලැබිණි. ඒ නිසාම කලකට කලින් කියවන ලද පොත් කිහිපයක පිටු පෙරළන්නට නැවත වරක් අවස්ථාව ලැබිණි. නොකියවූ පොත් රැසක් ද ඒ අතර විය. එයින් ද චූලානන්ද සමරනායකගේ මහතාගේ පරිවර්තනවලට මම මහත් ඇළුම් කරමි. සිත්ගත් පරිවර්තකයන් අතර ඔහුට මුල් තැනක් හිමි වේ. කාටත් චූල අයියා, චූලේ අයියා හෙවත් චූලානන්ද සමරනායක මහතා මට අවසන් වරට මුණ ගැසුණේ ප්‍රියන්ත කොඩිප්පිලිගේ ‘කොඩි’ කවිපොත එළිදැක්වූ දිනයේදීය. ඊට අමතරව ඔහු මෑතකදී විශ්ව විද්‍යාලයක කරන ලද දේශනයක් සහ ඔහු ගැන අසන්න ලැබුණු ආරක්ෂණීය තොරතුරු කිහිපයක් නිසාම මා සතු ඔහුගේ වඩාත් සිත්ගත් පරිවර්තනයක් නැවත කියවන්නට ගතිමි.

පාවුලෝ කොයියෝ යනු මෑත කාලයේදී මෙරට පාඨක ජනතාවගේ ආකර්ෂණය දිනාගත් විදෙස් ලේඛකයෙකි. බ්‍රසීල ලේඛකයකු වන කොයියෝ 1988 දී පෘතුගිසි බසින් ප්‍රකාශයට පත් කරන “ ඔයැ ්කජයැපසිඑ ද ඇල්කෙමිස්ට්” කෘතිය චූලානන්ද සමරනායක මහතා සිංහලට නගන්නේ 2003 වසරේදීය. මේ කෘතිය මුල් වරට ඉංග්‍රීසි බසින් මුද්‍රණය වන්නේ 1993 වසරේදීය. ජාත්‍යන්තරයේ විශාල අලෙවියකට හිමිකම් කියන ද ඇල්කෙමිස්ට් කෘතිය භාෂා 70කට වැඩි සංඛ්‍යාවකට පරිවර්තනය වී ඇතැයි පැවසේ.

මේ පොත කියවන අයකුට අපූරු තැන් බොහෝමයක් මුණ ගැසෙනු ඇත. ඒවා තම තමන්ට කැමැති කැමැති ආකාරයට අර්ථ ගන්වා ගත හැකිය. ඕනෑම කෘතියක් කලා නිර්මාණයක් පාඨකයන්ගේ රසිකයන්ගේ ග්‍රහණයට ලක්වන්නේ ඔවුන්ගේ සිතුම් පැතුම් හා අත්දැකීම්වලට අනුවය.

සැලකිය යුතු ආගමික පසුබිමක් හා නැඹුරුවක් මෙන්ම ආගම සැලකිය යුතු ආකාරයකින් ආගම බද්ධ වූ ජීවිත ගෙවන්නන් සිටිනි අප වැනි රටක ජනතාව දෙවියන් බුදුන් පස්සේ යෑම අලුත් දෙයක් නොවේ. අපි බොහෝමයක් දෙනා බොහෝ දේ සොයමින් යන්නෙමු. සතුට, සැපත, සත්‍යය ආදී බොහෝ දේ සොයා යන්නෙමු. බුද්ධාගම ප්‍රධාන ආගම වන මේ රටේ බොහෝ දෙනා නිවන සොයා යන්නෝ වෙති. එහෙත් අපි සොයන දේ අපට හමු වූයේ ද යන්න අප අපගෙන් විමසිය යුතු ප්‍රශ්නයකි. දේශපාලන, සමාජ ආර්ථික, භෞතික හා ආධ්‍යාත්මික බොහෝ දේ සොයා යන අපට බොහෝ දේ මග හැරී ඇති බව නම් සහ සුදක් සේ පැහැදිලිය. සොයන දේ වෙනුවට වෙනත් බොහෝ දෑ හමු වී ඇති බවත් සියල්ල අවුල් ජාලයක් බවට පත්ව ඇති බවත් නොකිවමනාය.

සන්තියාගෝ නම් සැරිසන්නා නමින් සිංහලට පරිවර්තනය වන ද ඇල්කෙමිස්ට්හි පරිවර්තති කෘතියේ 11 වැනි පිටුව අවසානයේ එඬේර කොලුවා මෙසේ කල්පන් කරන්නේය. ඔහුගේ කල්පනාව තුළ බොහෝ දේ කියවෙන්නේය. අපි පාසල් යන්නෙමු. කෝවිල් යන්නෙමු. රැකියාව ද යන්නෙමු. අධ්‍යාපනය ලබන්නෙමු. පාසල් යන්නෙමු. පල්ලි දේවලවල ගාටන්නෙමු. තවත් බොහෝ දේ සොයා යන්නෙමු. රස්තියාදු වන්නෙමු. එහෙත් අපි සොයන දේ හමු වී ඇත් ද ?

“ “සෙමනේරියේදී මට දෙවියන් වහන්සේ මුණ ගැහෙන්න පුළුවන් වුණේ නෑ”. ඉර උදාව දෙස බලා ඉන්න ගමන් ඔහු කල්පනා කළේය.”  

Thursday, August 23, 2018

ද ඩිස්කෂන්


මෑතකදී සහභාගී වන්නට ලැබුණු සංවාද දෙකකදීම මූලිකව අවධානය යොමු වූ කරුණක් කෙරෙහි ලියන්නට සිත් විය. එම කරුණු නම් මෙරට තුළ තිබෙන විද්වත් සංවාද හෝ සාකච්ඡා හෝ අදහස් හුවමාරු කරගැනීමට හෝ  ප්‍රකාශ කිරීම එක් ස්ථානයකට එක්වීමේ අඩුපාඩුවයි. කථිකාචාර්යවරයකු හා ආචාර්යවරයකු ඒ සංවාද දෙකේදී ඒ බව එම සභාවල අවධානයට යොමු කළ අතර එම සංවාද සභා දෙකේ සිටි අයද ඒ බව අනුමත කළහ. විශේෂයෙන්ම විශ්ව විද්‍යාල තුළින් එවැනි සංවාද, කථිකා ඇති නොවීම සම්බන්ධයෙන් අවධානය යොමු විය යුතුව. එය විශ්ව විද්‍යාල සිසුන්ගේ හෝ විශ්ව විද්‍යාල ප්‍රජාවගේ වගකීමක් බව එයින් හැඟ වෙන්නේ නැත. 


අඩු වැඩි වශයෙන් අද වනවිට නොයෙක් ස්ථානවල නොයෙක් මාතෘකා සම්බන්ධයෙන් කථිකා, සංවාද සංවිධානය කළ ද එහි අඩුවක් තිබෙන බව අප පිළිගත යුතුය. එය බොහෝ අවස්ථාවලදී කතාබහට ලක්වූවකි. පොත් පත් ගැන සිනමාව ගැන ආදී නොයෙක් මාතෘකා සම්බන්ධයෙන් විචාරත්මක, විවේචනාත්මක, පර්යේෂණාත්මක වශයෙන් හෝ සාහිත්‍යමය වශයෙන් ඒ ඒ මාතෘකා සම්බන්ධයෙන් ප්‍රවේශ විය හැකි විවිධ ආකාරවලින් සංවාද, කථිකා පැවැත්වීමේ අවශ්‍යතාව මතුවිය.

එවැනි සංවාද පැවැත්වීමේදී ඇතැම් අධ්‍යාපන ආයතන, විශ්ව විද්‍යාල කරන සාධනීය මැදිහත් වීමට ද ස්තූතිවන්ත විය යුතුය. එනමුත් ඊටත් වඩා මැදිහත් වීමක් අවශ්‍යව තිබේ. එය දර්ශනය, දේශපාලනය, ජාත්‍යන්තර සබඳතා, සංස්කෘතිය, පොත පත, චිත්‍රපට ආදී නොයෙක් විෂයධාර හා ඔස්සේ විහිද යා යුතුය. සිනමාව හෝ පොත පතට හෝ දේශපාලන මතවාදවලට හෝ පමණක් සීමා නොවිය යුතුය.

ඡායාරූපය ‘ගෙටී ඉමේජස්’  - ‘ද ස්කූල් ඔෆ් ඇතැන්ස්’, ඇතැන්ස් පාසල 1511, ( 1483 - 1520 කාල වකවානුවේ ජීවත් වූ ඉතාලි ජාතික චිත්‍ර ශිල්පී රෆායල් සැන්සියෝ (රෆායලේ සන්සියෝ) අදින ලද සිත්තමකි.

ප්ලේටෝ සහ ඇරිස්ටෝටල් සංවාදයක යෙදී සිටින අයුරු (මැද) 

https://www.gettyimages.com/detail/news-photo/the-school-of-athens-1511-fresco-raphael-italian-painter-news-photo/113494615#/the-school-of-athens-1511-fresco-raphael-italian-painter-and-plato-picture-id113494615

Wednesday, August 22, 2018

සමාජයේ බොහෝ සිදුවීම්වලදී, සමාජය හැසිරෙන ආකාරය විශේෂයෙන්ම සමාජයේම කොටසක් වන සමාජ මාධ්‍ය හෙවත් එයත් ඇතුළත් සයිබර් අවකාශයේ හැසිරීම ඉතා සිත් ගන්නා සුළුය. එයින් ද විශේෂයෙන්ම ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍යය පරිශීලකයන්ගේ හැසිරීම ගැන අප නැවත නැවතත් සිතා බැලිය යුතු කාලය එළැඹ තිබේ.

පසුගිය සතියක දෙකක කාලයේදී සමාජ මාධ්‍ය ජාලවලදී වැඩි අවධානයක් දිනාගත්තේ තරුණයන් දෙදෙනකි. අයෙක් වි.ජ.මු ලොකු බණ්ඩාරගේ පුත් උදිත ලොකු බණ්ඩාරය. අනෙක් තරුණයා අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම් ළහිරු වීරසේකරය. මොවුන් දෙදෙනා ගැන ලියන මා ද මොවුන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍යවල අදහස් පළ කළ, ඒවාට අදාළ ඡායාරූප පළ කළ, සරලව ෆේස්බුක් පෝස්ට් දැමූ, ඒවා ෂෙයාර් කළ අති මහත් බහුතරය තරුණයන්.

මේ සියල්ලම සරලව ගත්විට අපේ රටේ තරුණ ප්‍රජාවගේ ඛේදනීය ඉරණම ඉතා හොඳින් පෙන්නුම් කෙරේ.
උදිත බණ්ඩාර බැණුම් අසන්නේ රටේ හිටපු ජනාධිපතිවරයාගෙනි. ඒ බැනීම සහ ඒ සිදුවීම් දාමය පසෙකින් තබමු. එහෙත් ඔහු බැණුම් ඇසීම අපි බොහෝමයක් දෙනා එය විහිළුවකට ගත්තෙමු. නිදහසේ සිතා බැලුවහොත් කවුරුවන් හෝ යටතේ සේවය කරන අප සියලු දෙනා එවැනි බැණුම් අසා ඇත. අනන්තවත් අසා ඇත. එසේ නැතිනම් එක්වරක් හෝ අසා ඇත. එවැනි තත්ත්වයක අපි හැසිරුණු ආකාරය ගැන නැවත සිතා බැලිය යුතුය.

කෙටියෙන්ම කිවහොත් අන්තරය සම්බන්ධයෙන් අපට බොහෝ විවේචන ඇත. අන්තරයේ ක්‍රියාකාරකම් ගැන අපට කතා කරන්නට බොහෝ දේ තිබේ. ශිෂ්‍ය අරගලය ගැන කතා කරන්නට බොහෝ දේ තිබේ. එහෙත් අප පිළිගත යුතු සත්‍යය නම් අද වනවිට රටේ නිදහස් අධ්‍යාපනය හෝ එසේත් නැතිනම් ජනතා බදු මුදලින් නඩත්තු වන අධ්‍යාපනය ක්ෂේත්‍රය මේ පමණින් හෝ රැකී පැවැතීවමට අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩය සැලකිය යුතු දායකත්වයක් දී ඇති බවය. ඒ සම්බන්ධයෙන් විවාදයක් නැත.

එවැනි වාතාවරණයක් තුළ ළහිරු වීරසේකර උපහාසයට නැගීම ලැජ්ජා සහගත අපුල හා අශීලාචාර ක්‍රියාවකි. මා කලීන් සඳහන් කලාක් මෙන් අන්තරය ගැන දැඩි විවේචනක් අප සතුය. එහෙත් කුමන තත්ත්වයකදී වුවත් ඊයේත් අදත් ෆේස්බුක්හි දක්නට ලැබුණු දේවලින් දැනෙන්නේ කලකිරීමක් හා දුකක් මිස අන් යමක් නොවේ. අප විසින් හෑල්ලුවට ලක් කරමින් සිටින්නේ අපවම බවට අපට අමතකව ගොස් තිබේ. මුග්ධ පාලකයන්ට මේ රට වෙනස් කිරීමේ මේ රට මීට වඩා යහපත් තැනක් කිරීමේ අවශ්‍යතාවක් නැත. එසේ තිබේ නම් එසේ ඇත්තේ ජනතා හිතවාදී පාලකයන් කිහිපදෙනකුට පමණි. එවැන්නෝ අතේ ඇඟිලි ගණනටත් අඩුය.

අනෙක් අතට ටවුන්හෝල් හි මීට දින ගණනකට පෙර ස්ථාපිත කර තිබූ අට්ටාලයටත් එහි සිටි සිසුන්ටත් එල්ල කළ ජල ප්‍රහාරය නින්දිතය.

අප අතරේ නොගැලපීම්, මතවාද හා වෙනස්කම් තිබෙන්නට පුළුවන. එහෙත් එම වෙනස්කම් මුග්ධ පාලකයන්ගේ අවි බවට පත්වීමට ඉඩ නොතැබිය යුතුය. අප එක්විය යුතුය. එසේ නොවන  තාක්කල් වෙනසක් නැත. අප බෙදන තරමට කැමැති අශීලාචාර පාලකයෝ ඔවුන්ගේ සුඛ විහරණය වෙනුවෙන්ම පියවර ගනිති. ඔවුහු සැම විටම අපේ බෙදීම ඔවුන්ගේ වාසිය සඳහා යොදා ගනිති.


ඡායාරූපය මෙත්මලි දිසානායක ෆේස්බුක් ගිණුමෙන් 

Friday, August 17, 2018

කලාව, සාහිත්‍යය හා ඉතිහාසය කන්නදැයි ඇසූ පාලකයන් සිටින රටක සාහිත්‍යය නිර්මාණයක් වාරණයට ලක්වීම පුදුමයට කරුණක් නොවේ.
පොතක් ලියූ සැණින් පොත ලියූ එකාට අම්මා අප්පා මුතක් කර බැනීම, නාට්‍යයක් කළ සැණින් නාට්‍යකරුවන්ට පහර දීම, හූ කීම ආදී ත්‍රාඩ වැඩවලින් පිරුණු සමාජයක් නිර්මාණය වී ඇත්තේ ඉතිහාසය, සාහිත්‍ය හා කලාව වළපල්ලට යෑමේ ප්‍රතිඵලයක් ලෙසය.
ජනතාව සමඟ සිටිමින් ජනතාව ක්‍රියාශීලි කරනවා වෙනුවට කලාකරුවන්ගෙන් බොහෝ දෙනා පාලකයන්ගේ නළකරුවන් වී සිටිති.
හුදෙක් ජනතාව වෙනුවෙන් ජනතාවගේ දැනුම හා බුද්ධිය වෙනුවෙන් රසාස්වාදය වෙනුවෙන් නිර්මාණ කරන කලාකරුවෝ වාරණයට ලක්වෙති.
පොතක් ලියූ විට පොතේ කරුණු ගැන සංවාදයේ යෙදෙනවා වෙනුවට පොත නොකියවා පොතේ ලියූ එකාගේ අම්මා අප්පා සිහි කරන සංස්කෘතියක් බිහි ව තිබේ. නාට්‍යයක් කළ විට තමන් පමණක් නාට්‍යය බලා එය තමන්ගේ පන්තියට නොගැලපේ නම් එය වාරණයට ලක් කරන සමාජ සංස්කෘතියක් නිර්මාණය වී තිබේ.
නිර්මාණ යනු නිර්මාණය. ඒවා වාරණයට ලක් කළ නොහැක. තහනම යනු වාරණය යනු මිනිසුන් තව තවත් එම කලා නිර්මාණයට සමීප කිරීමක් බව මුග්ධ පාලකයෝ නොදනිති. 






ඡායාරූපය ‘මං කෙළින් මිනිහෙක්’ ෆේස්බුක් පිටුවෙන්




‘මිඩ්ල් ක්ලාස්’ ක්‍රියිසිස් සහ ‘ඩිකෝඩිං’

අපි ජන සමාජයක් විදියට උග්‍ර අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. දරුවෙක්ගේ සාර්ථකත්වය මනින්නේ, යාන වාහනවලින්, උපාධිවලින්, හම්බවෙන පඩියෙන්, කරන රස්සා...

Blog Archive