පසුගිය සතියක දෙකක කාලයේදී සමාජ මාධ්‍ය ජාලවලදී වැඩි අවධානයක් දිනාගත්තේ තරුණයන් දෙදෙනකි. අයෙක් වි.ජ.මු ලොකු බණ්ඩාරගේ පුත් උදිත ලොකු බණ්ඩාරය. අනෙක් තරුණයා අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම් ළහිරු වීරසේකරය. මොවුන් දෙදෙනා ගැන ලියන මා ද මොවුන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍යවල අදහස් පළ කළ, ඒවාට අදාළ ඡායාරූප පළ කළ, සරලව ෆේස්බුක් පෝස්ට් දැමූ, ඒවා ෂෙයාර් කළ අති මහත් බහුතරය තරුණයන්.
මේ සියල්ලම සරලව ගත්විට අපේ රටේ තරුණ ප්‍රජාවගේ ඛේදනීය ඉරණම ඉතා හොඳින් පෙන්නුම් කෙරේ.
උදිත බණ්ඩාර බැණුම් අසන්නේ රටේ හිටපු ජනාධිපතිවරයාගෙනි. ඒ බැනීම සහ ඒ සිදුවීම් දාමය පසෙකින් තබමු. එහෙත් ඔහු බැණුම් ඇසීම අපි බොහෝමයක් දෙනා එය විහිළුවකට ගත්තෙමු. නිදහසේ සිතා බැලුවහොත් කවුරුවන් හෝ යටතේ සේවය කරන අප සියලු දෙනා එවැනි බැණුම් අසා ඇත. අනන්තවත් අසා ඇත. එසේ නැතිනම් එක්වරක් හෝ අසා ඇත. එවැනි තත්ත්වයක අපි හැසිරුණු ආකාරය ගැන නැවත සිතා බැලිය යුතුය.
කෙටියෙන්ම කිවහොත් අන්තරය සම්බන්ධයෙන් අපට බොහෝ විවේචන ඇත. අන්තරයේ ක්‍රියාකාරකම් ගැන අපට කතා කරන්නට බොහෝ දේ තිබේ. ශිෂ්‍ය අරගලය ගැන කතා කරන්නට බොහෝ දේ තිබේ. එහෙත් අප පිළිගත යුතු සත්‍යය නම් අද වනවිට රටේ නිදහස් අධ්‍යාපනය හෝ එසේත් නැතිනම් ජනතා බදු මුදලින් නඩත්තු වන අධ්‍යාපනය ක්ෂේත්‍රය මේ පමණින් හෝ රැකී පැවැතීවමට අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩය සැලකිය යුතු දායකත්වයක් දී ඇති බවය. ඒ සම්බන්ධයෙන් විවාදයක් නැත.
එවැනි වාතාවරණයක් තුළ ළහිරු වීරසේකර උපහාසයට නැගීම ලැජ්ජා සහගත අපුල හා අශීලාචාර ක්‍රියාවකි. මා කලීන් සඳහන් කලාක් මෙන් අන්තරය ගැන දැඩි විවේචනක් අප සතුය. එහෙත් කුමන තත්ත්වයකදී වුවත් ඊයේත් අදත් ෆේස්බුක්හි දක්නට ලැබුණු දේවලින් දැනෙන්නේ කලකිරීමක් හා දුකක් මිස අන් යමක් නොවේ. අප විසින් හෑල්ලුවට ලක් කරමින් සිටින්නේ අපවම බවට අපට අමතකව ගොස් තිබේ. මුග්ධ පාලකයන්ට මේ රට වෙනස් කිරීමේ මේ රට මීට වඩා යහපත් තැනක් කිරීමේ අවශ්‍යතාවක් නැත. එසේ තිබේ නම් එසේ ඇත්තේ ජනතා හිතවාදී පාලකයන් කිහිපදෙනකුට පමණි. එවැන්නෝ අතේ ඇඟිලි ගණනටත් අඩුය.
අනෙක් අතට ටවුන්හෝල් හි මීට දින ගණනකට පෙර ස්ථාපිත කර තිබූ අට්ටාලයටත් එහි සිටි සිසුන්ටත් එල්ල කළ ජල ප්‍රහාරය නින්දිතය.
අප අතරේ නොගැලපීම්, මතවාද හා වෙනස්කම් තිබෙන්නට පුළුවන. එහෙත් එම වෙනස්කම් මුග්ධ පාලකයන්ගේ අවි බවට පත්වීමට ඉඩ නොතැබිය යුතුය. අප එක්විය යුතුය. එසේ නොවන තාක්කල් වෙනසක් නැත. අප බෙදන තරමට කැමැති අශීලාචාර පාලකයෝ ඔවුන්ගේ සුඛ විහරණය වෙනුවෙන්ම පියවර ගනිති. ඔවුහු සැම විටම අපේ බෙදීම ඔවුන්ගේ වාසිය සඳහා යොදා ගනිති.
ඡායාරූපය මෙත්මලි දිසානායක ෆේස්බුක් ගිණුමෙන්

No comments:
Post a Comment