Showing posts with label සංහිඳියාව. Show all posts
Showing posts with label සංහිඳියාව. Show all posts

Monday, May 13, 2019

ඉවසීමෙන් වැඩ කරමු

රටක් ලෙස අපට තේරීම් දෙකක් තිබේ. එකක් නම් ලේ වගුරුවමින් ඝාතන කරමින්, කඩ සාප්පු කොල්ලකමින්, ජන ජීවිතය අවුල් කරමින්, අහිංසක ජන ජීවිත බිල්ලට ගනිමින් මේ රට විනාශයකට ඇද දැමීමය. අද වනවිට මුස්ලිම් ජනතාව කෙරෙහි ඇති වෙමින්, කැකෑරෙමින් තිබෙන වෛරය පුපුරුවා හරිමින් ජීවිත බිල්ලට ගනිමින් මේ රට මහා විනාශයක් සිදු කිරීමය. එය මුස්ලිම් ජනතාවගෙන් නොනැවතී, දෙමළ, කතෝලික, ඉන් පසුව සිංහල සිංහලයන් කෙළ ගැනීමෙන් අනතුරුව අවසන් වනු ඇත.

දෙවැන්න නම් සාමකාමීව ඉවසීමෙනුත් කටයුතු කරමින් මේ රට සාමය කරා ගෙන යාමය. තිස් වසරක් මුළුල්ලේ පැවැති සිවිල් යුද්ධය අපි 2009 වසරේදී අවසන් කළෙමු. එය එවකට ජනාධිපතිවරයාට, හමුදාපතිවරයාට මෙන්ම ගෞරවය හිමිවිය යුතු සියලු දෙනාටත් රටේ ජනතාවටත් කැප කිරීම් කළ සියලු දෙනාටත් ඒ කීර්තිය සහ ගෞරවය හිමිවිය යුතුය.

සාමයෙන් හා ඉවසීමෙන් කටයුතු කරමින් සියලු දෙනාගේ ආරක්ෂාව ඇති කරමින් සංහිඳියාව ඇති කිරීම දුෂ්කර වෑයමකි. එහෙත් එහි ප්‍රතිඵල සුන්දර බව අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැත. තම තමන්ගේ වැරැදි පිළිගනිමින්, අනවබෝධය දුරු කරමින්, සමාජයේ සියලු දෙනා අතර විශ්වාසය ඇති කරමින් කටයුතු කිරීම ඉතා වැදගත් බව සිහිපත් කළ යුතුය.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය ජාත්‍යන්තර සංවිධානයක, ජාත්‍යන්තර මූල්‍ය ආධාර මත ජාත්‍යන්තරයේ සැලසුම් කර මෙරට ක්‍රියාත්මක කරන ලද්දකි. ඊට සහාය දුන් සියලු දෙනාට එරෙහිව විශේෂයෙන්ම රට තුළ එයට සහාය දුන් සියලු දෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුය. වැරැදිකරුවන්ට දඬුවම් දෙන්නට ගෙනා මෙම ආණ්ඩුව වැරැදිකරුවන්ට දඬුවම් දුන්නා නම් මේ දේවල් මීට වඩා කලින් අඩු විනාශයකින් අවසන් කරගැනීමට ඉඩ තිබිණි. තමන් කළොත් හරි අනෙක් අය කළොත් වැරැදි යන්න තේමාව කරගෙන සිටින මෙරට දේශපාලනය තුළ එවැන්නක් බලාපොරොත්තු වීම කළ නොහැක්කි. සිංහල ද,  දෙමළ ද, මුස්ලිම් ද සුදු ද කළු ද යන්න නොබලා වැරැදිවලට දඬුවම් කිරීම මෙරට තුළ සිදු නොවූවකි. ඒවායේ අනිටු විපාක අද අපි අත්විඳිමින් සිටිමු. ජනාධිපති ද , අගමැති ද, හමුදාපති ද, බුද්ධි අංශයේ, මහ බැංකු අධිපති ද යන තරා තිරම් නොබලා වැරැදිකරුවන්ට දඬුවම් කළ යුතුය. එසේ නොකිරීමේ අනිටු විපාක අපි අත්විඳිමින් සිටිමු. 

අනෙක් අතට මේ රටේ දෙනාට සත්‍ය තේරුම් කිරීම කළ නොහැක්කකි. බොහෝ දෙනා පිළිගන්නේ තමන් පිළිගන්නට සහ විශ්වාස කරන්නට කැමැති දේ විනා සත්‍ය නොවේ. 

මෙතැන ඇත්තේ මුස්ලිම් ප්‍රජාව පිළිබඳ ගැටලුවක් නොව අන්තවාදය පිළිබඳ ප්‍රශ්නයකි. මේ අන්තවාදය පෝෂණය කරන්නේ මෙරට දේශපාලනඥයන් බව අමුතුවෙන් කියන්නට වුවමනා නැත. ඕනෑම ආකාරයක අන්තවාදයකට අපි විරුද්ධ විය යුතු වෙමු. එසේ නොවනතාක් පාස්කු ඉරිදා ප්‍රහාරය මෙන්ම මුස්ලිම් පල්ලිවලට ගල්මුල් ගසමින්, පොඩි මිනිසුන්ගේ කඩවලට ගිනි තබමින්, කටයුතු කිරීම අතර වෙනසක් නොවන්නේය. පාස්කු ඉරිදා එල්ල කළ පිරිස් සහ මුස්ලිම් පල්ලිවලට ගල්මුල් විසි කරමින් ප්‍රචණ්ඩත්වය වපුරන අය අතර වෙනසක් නැත. සියලු දෙනාම යක්ෂයන්ය. 

මෙරට දේශපාලනඥයන් හැකි අවස්ථාවකදීම රට ගිනි තැබීය. අදත් සිදුවෙමින් තිබෙන්නේ එයමය. අදත් දේශපාලනඥයන්ගේ පටු වුවමනා එපාකම් වෙනුවෙන් ඇතැම් පිරිස් රට ගිනි තබමින් රට අවුළුවමින් ලේ ඉල්ලති. බොහෝ දෙනා මේ කියවා අවසන් කරන්නටත් පෙර මගේ අම්මා තාත්තා මතක් කරනු ඇත. එහෙත් ඔබ නිවී සැණසිල්ලේ සිතා බලන්න. නැවත මේ රට ලේ විලක් කරනවාද නැතහොත් සියලු ප්‍රජාවන් ජීවත්වන සාමය සහ සංහිඳියාව පවතින රටක් දක්වා ගෙන යනවා ද කියා අප තීරණය කළ යුතුය. එක් අන්තවාදයකින් තවත් අන්තවාදයකට පිළිතුරු දිය නොහැක. එය අප තේරුම් ගත යුතුය. මුස්ලිම් අන්තවාදීන් කඩු අතට ගන්නේ නම් බෝම්බ පුපුරුවන්නේ නම් අප ද කඩු අතට ගනිමින් ඊට ප්‍රතිචාර දක්වන්නට ගියොත් සිදු වන්නේ අන්තවාදී නොවන අහිංසක මුස්ලිම් ප්‍රජාව ද මුස්ලිම් අන්තවාදයේ ගොදුරු බවට පත්වීමය. අනෙක් අතට ලේ වැගිරීමකි. ඒ නිසා ඉවසීමෙන් කටයුතු කරමින් ආරක්ෂක අංශවලට ඔවුන්ගේ රාජකාරිය ඉටු කිරීමට අවස්ථාව දිය යුතුය. එපමණකින් නොනැවතී රටේ සාමාන්‍ය මුස්ලිම් ප්‍රජාව අපෙන් ඈත් නොකරමින් ඔවුන් හා තිබෙන සබඳතා වැඩි කරගනිමින් මුස්ලිම් අන්තවාදයට එරෙහි සටන් ඔවුන් අතරින්ම ඔවුන්ගේ ප්‍රමුඛත්වයෙන්ම දියත් කිරීම සඳහා ඔවුන් පෙළඹවීමය. 

හර්ෂණ තුෂාර සිල්වා
2019.05.13

Friday, March 23, 2018

භාෂාවේ ගැටලුව

මෑතකදී ඇති වූ වාර්ගික ප්‍රචණ්ඩ ක්‍රියා සහ මෙරට සිංහල බෞද්ධ මහ සමාජයේ ක්‍රියාකාරීත්වය පාදක කරගනිමින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කලන සේනාරත්න ‘ද හින්දු’ වෙබ් අඩවියට අපූරු ලිපියක් ලියා තිබිණි.

එය ලිපිය කාලීන සමාජ හැසිරීම සම්බන්ධයෙන් ලියන ලද අපූරු විශ්ලේෂණාත්මක ලියවිල්ලකි. එය කිය වූ විගස දැනුණු ප්‍රධාන කරුණු අපේ සමාජයට, සමාජයේ පහළ ස්ථරවලට, පහළ මට්ටමට මේ අදහස් ගලා නොයාමේ ගැටලුවයි. 

විශේෂයෙන්ම අපේ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය, විශේෂයෙන්ම සිංහල මාධ්‍යවල පළ වන්නේ හෝ ප්‍රකාශයට පත්වන්නේ ජනප්‍රිය තලයේ සහ තමන්ට පළ කරන්නට වුවමනා කරුණුය. බොහෝ අවස්ථාවලදී එම අදහස් පලවීම් සීමිත පරාසයකට සීමා වී තිබේ. සිංහල භාෂාවෙන් පළවන පුවත්පතකට සම්බන්ධවී සිටින මට ද එම චෝදනාවෙන් ගැලවීමට නොහැක.

කනගාටුවට කරුණ නම් බොහෝ හොඳ ලිපි සමාජ විශ්ලේෂණාත්මක කරුණු පළවන්නේ ඉංග්‍රිසි බසින් වීමය. විද්වතුන්, විශේෂඥයන් , විශ්ලේෂකයන්, වෘත්තිකයන් ඉංග්‍රිසි බස හැසිරවීමේ දක්ෂයන් වුවත් සිංහල බසින් ලියන්නට ඇත්තේ අල්ප හැකියාවකි. එය ඔවුන්ගේ දුර්වලතාවක් කියන්නට හැකියාවක් ඇත්තේද නැත. චෝදනා කිරීමට ද හැකියාවක් නැත. අනෙක් අතට ප්‍රධාන ධාරාවේ මාධ්‍යවල ඉඩ වෙන් වන්නේ අතළොස්සකට පමණි. ඒවායේ හැමදාම වගේ දක්නට ඇත්තේ පුරුදු මුහුණු කිහිපයකි.

අප ඔක්කොටම කලින් විසඳා ගත යුතු ප්‍රශ්නයක් භාෂා ප්‍රශ්නය යැයි මම දැඩි සේ විශ්වාස කරමි. සිංහල සහ දෙමළ සහ මෙරටට ආවේණික වූ ඒවායේ උප භාෂා ආරක්ෂා කරගන්නා අතරවාරයේදී අපේ රටේ ජනතාවගේ ඉංග්‍රිසි භාෂා හැකියාව වැඩි දියුණු කළ යුතු යැයි මම විශ්වාස කරමි. අපෙන් පසු පරම්පරාවකදී හෝ එසේ සිදුවනු ඇතැයි බලාපොරොත්තු තබමි.

දූපතක් වීම නිසාදෝ අපේ රටේ බොහෝ දෙනෙක් ළිං මැඬි, කොදෙව් දූපත් මානසිකත්වයෙන් පෙළෙති. ඒවාට උදාහරණ ලෙස පොත් පිටින් ලිවිය හැක. ඊට කදිම උදාහරණය ඊයේ පෙරේදා ගණේමුල්ලෙන් වාර්තා වූ ඒඞ්ස් සිදුවීමයි. මෙම ගැටලුව නිසා ඉගෙනීමේ දක්ෂ කුඩා සිසුවියක් මහත් අපහසුතාවකට පත්ව සිටින්නීය.
ද්විභාෂාවෙන් ලියන කිහිපදෙනකුගේ නම් මෙහි සඳහන් කිරීමද වගකීමක් හා යුතුකමක් යැයි විශ්වාස කරමි. මහාචාර්ය රොහාන් සමරජීව, මහාචාර්ය ජයදේව උයන්ගොඩ, නාලක ගුණවර්ධන, තිසරණී ගුණසේකර, එම්.එස්.එම් අයුබ් ඒ නම් අතරන් කිහිපයකි. මොවුහු සමාජයේ පිළිගැනීමට ලක්වූ බුද්ධිමත්හු වෙති. ලේඛකයෝය. ඔවුන්ගේ අදහස් වටී.

අපේ රට, දැනුම, සමාජ ක්‍රමය, බුද්ධි මට්ටම් හා අවබෝධය යනාදිය සිංහල භාෂාව වටා කේන්ද්‍ර ගත වීම මහත් අභාග්‍යයකි. ඒ ගැන අපූරු සටහනක් තිබේ. නාලක ගුණවර්ධන මහතාගේ කෘතියකට පෙරවදනක් ලියන මහාචාර්ය උදාන් ප්‍රනාන්දු මෙසේ සඳහන් කරයි.

“ද්වීභාෂා කුසලතාව, 1956 පෙරළියට පිං සිදුවන්නට අපට අහිමි වුණු දෙයකි. එහි ප්‍රතිඵලයක් ලෙස සිංහල හා ඉංග්‍රිසි බසින් “ විශේෂයෙන් පුවත්පත්වල “ ලියවෙන්නේ සහමුලින් ම එකිනෙකට වෙනස් දේය. සිංහල පමණක් කියවන්නෙකුට කියවන්නට ලැබෙන්නේ සීමිත වපසරියක අදහස්ය.”

ඒ නිසා සමාජයේ ඇති අනවබෝධය, මිථ්‍යාව හා ළිං මැඬි බවට දූපත් මානිසකත්වයට අනෙකා කෙරෙහි ප්‍රචණ්ඩත්වය දියත් කිරීමට ප්‍රධාන හේතුවක් ලෙසින් භාෂා ගැටලුව හඳුන්වා දෙන්නට පුළුවන. රටේ අනෙක් ප්‍රශ්න ගැන අවබෝධය යොමු කරනවා සේම උනන්දුවක් දක්වන සියල්ලෝම මේ භාෂා අවුල් ලිහා ගැනීමට මැදිහත් වන්නේ නම් වටී. එය ඉක්මනින් එහෙත් ඉතා හොඳ සැලැස්මක් සහිතව සිදුවිය යුත්තකි. භාෂා අවුල ලිහා ගැනීමේ හොඳම විසඳුම පොදු භාෂාවක් ලෙස ඉංග්‍රිසි භාෂාව භාවිත කිරීමය. අනෙක් දැනට තිබෙන සිංහල හා දෙමළ භාෂා ඉගැන්වීම්වලට වඩා විධිමත් අයුරින් ඉගැන්වීමය. විෂය ඉගැන්වීමේ පොදු භාෂාව ඉංග්‍රිසි කරන අතරවාරයේදී විභාග කේන්ද්‍රීය ස්වභාවයෙන් මිදී රටේ සෑම දරුවකුටම සිංහල හා දෙමළ භාෂාව ඉගැන්වීමය. රටේ බොහෝමයක් ප්‍රශ්නවල සංකීර්ණ ස්වභාවය අඩු කරගැනීමට හෝ එය හේතුවනු ඇත. 

ඡායාරූපය ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් රියාස් හමිදුල්ලා මහතාගේ ෆේස්බුක් ගිණුමෙනි.. https://www.facebook.com/riaz.hamidullah

සබැඳි ලිපිය - නාලක ගුණවර්ධන
 https://nalakagunawardene.com/2014/10/08/සිවුමංසල-කොලූගැටයා-188-ලිංම/

Tuesday, February 6, 2018

වැරැදි තැනින් අල්ලා ගැනීම


මේ ලිපිය රාජ්‍ය තාන්ත්‍රිකභාවය සහ ගමේ චණ්ඩි පාට් යන ලිපිය හා සම්බන්ධිතය
 https://evabalava.blogspot.com/2018/02/blog-post_6.html


රටේ ජාතික ගැටලු උත්සන්න වීමට ප්‍රධානතම හේතුව රටේ ජාතික ගැටලු හෝ ඒ ඒ පාර්ශව අතර පොදු එකඟතාවක් නොවීම සහ තමන්ගේ පිටස්තරව නොසිතීමය. හමුදා නිලධාරියාගේ ක්‍රියාව අගයන පිරිස්, උතුර ගැන දැඩි ආවේගයකින්, දෙමළ ජනතාව ගැන දැඩි ආවේගයකින්, දෙමළ ඩයස්පෝරාව ගැන දැඩි ආවේගයකින් කටයුතු කරන පිරිස් අනෙක් අතට රජයේ හමුදාව, ආණ්ඩුව කතා කරන පාර්ශව දෙකම ඔවුන් එල්ඹ ගෙන සිටින මතවාදී අදහස්වලින් අඩියක් පසුපසට හෝ ඉදිරියට හෝ එන්නට වුවමනාවක් නැත. ඒ නිසා විශේෂයෙන්ම රටේ වාර්ගික අර්බුදය එකතැන පල්වෙමින් තිබේ. යුද්ධය අවසන් වී වසර නවයක් ගත වී තිබුණද අපට අඩියක් හෝ ඉදිරියට යෑමට නොහැකි වී ඇත්තේ ඒ නිසාය. ප්‍රශ්න විසඳීමට යෑමේදී සියලු පාර්ශව සතුටු කිරීමේ හැකියාවක් නැතිමුත් සියලු පාර්ශවවලට අවම වශයෙන් හෝ පිළිගත හැකි විසඳුම් තිබේ.




හමුදා නිලධාරියාගේ ගෙල සිඳින අබිනයත්, විදේශ ප්‍රතිපත්තියක් ගැන ලිවීමෙන් අනතුරුව ප්‍රධාන වශයෙන් හඳුනාගත හැකි පාර්ශව දෙකක විවේචනයට ලක්ව තිබේ. එක් පාර්ශවයක් හමුදා නිලධාරියාගේ ක්‍රියාව අගයන පිරිසය. අනෙක් පිරිස උතුරේ ජනතාවගේ මානව හිමිකම් සහ රජයේ හමුදාවලට දඬුවම් දිය යුතුය කියන මතයේ සිටින පිරිසය.

උතුරේ ජනතාවගේ ප්‍රශ්න විසඳී නැත. ජාත්‍යන්තරයට පිළිතුරු දිය යුත්තේ කෙසේ දැයි කියමින් මා ‘මදර් ශ්‍රී ලංකා’ , ආණ්ඩුව උතුරේ කරන සංවර්ධන ව්‍යාපෘති, ආණ්ඩුව ක්‍රියාත්මක සංහිඳියා ව්‍යාපෘති ගැන කීවේය. එයින් මා කිසිලෙසකින් වත් උතුරේ ජනතාවගේ ප්‍රශ්න විසඳී ඇතැයි කීවේ නැත. මා සඳහන් කළේ ජාත්‍යන්තරයට පිළිතුරු දීම ගැනය. ජාත්‍යන්තරයට පිළිතුරු දිය යුත්තේ කෙසේදැයි ගැනය.

අනෙක් අතට මා හමුදාව වැරැදි යැයි කොතැනකවත් කියා නැත. මුල ද අමතක වී නැත. අනුවණ ලෙස තැනට නොහොබිනා ලෙස කටයුතු කිරීම දේශප්‍රේමය ද නොවේ. යුද්ධය අවසන් වීම ගැන ඇත්තේ සතුටක් වුවත් එය අවසන් වෙද්දි වූ ඇතැම් සිදුවීම් ගැන ඇත්තේ කනගාටුවකි. යුද්ධයෙන් පසු සිදුවීම් ගැන ඇත්තේ ද දැඩි කනගාටුවකි. මහ කොමසාරිස් කාර්යාලය ඉදිරියේදී හමුදා නිලධාරියාව මා කිසිසේත් අනුමත කරන්නේ නැත. එහෙත් ඊට පෙර ඔහු එහි සිටින පිරිසකට කරුණු පැහැදිලි කිරීම අනුමත කරමි. විය යුත්තේ එයයි. එසේ කරුණු පැහැදිලි එක් සිදුවීමකින් ඔබ්බට යා යුතුය. අනෙක් කරුණු හමුදාව වැරැදි නැත. හමුදාවේ ඇතැම් පුද්ගලයන් කළ වැරැදිය. ඔවුන්ට දඬුවම් ලැබිය යුතුමය. යුද්ධයට මුවා වී යුද්ධය සමයේදී යුද භූමියේදීත්, යුද්ධයෙන් පසුත් කළ අපරාධවලට දඬුවම් දිය යුතුය. එය හමුදාවට දඬුවම් දීමක් නොවේ.

උතුරේ ජනතාවගේ විතරක් නොව දකුණේ ජනතාවගේත් ප්‍රශ්න විසඳී නැත. උතුර විතරක් නොව දකුණත් සංවර්ධනය වී නොමැත. සංවර්ධනය අපට බොහෝ දුරය. කොටින්ම මේ රටේ ජනතාවගේ ප්‍රශ්නය විසඳී නැත. උතුරේ මෙන්ම දකුණේ ජනතාව ද ඉඩම් ප්‍රශ්නවලට මුහුණ දී සිටිති. මේ ආකාරයෙන් දෙපැත්තේම බොහෝ ප්‍රශ්නවලට මුහුණ දෙමින් සිටිති. නිරන්තර පීඩනයට ලක්වෙති. ලක්වෙමින් සිටිති.

රාජ්‍ය තාන්ත්‍රිකභාවය සහ ගමේ චණ්ඩි පාට්



ලන්ඩන් සිදුවීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ බොහෝ අදහස් දැක්වීම් පළවෙමින් තිබේ. විටෙක මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශකවරයා වශයෙන් කටයුතු හමුදා නිලධාරියා අගයමින් ද තවත් විටෙක ඔහුගේ ක්‍රියාව විවේචනය කරමින් ද අදහස් පළ වී තිබිණි.

රාජ්‍ය තාන්ත්‍රිකව ගත් කළ හමුදා නිලධාරියාගේ හැසිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකි නොහබිනා, අශීලාචාර සහ මිලේච්ඡ ක්‍රියාවකි. එය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කර තිබෙන අයි.එස් සංවිධානයේ සාමාජිකයකු පිහියක් හෝ වෙනයම් හෝ ආයුදයක් ගෙන නිරායුධ මිනිසකුගේ බෙල්ලට තබාගෙන සිටිනවා හා සමාන ක්‍රියාවකි. අනෙක් අතට හමුදා නිලධාරියකු මෙවන්නකින් අඟවන්නේ සතුරාට නියත වශයෙන් මරණය හිමි බවය. යුද පිටියකදී සතුරා අභිමුව කළ යුත්තක් විදේශයක මහ කොමසාරිස් කාර්යාලයක නිලධාරියකු වශයෙන් සිටියදී විරෝධතාවක නියැලෙන නිරායුධ මිනිසුන් පිරිසක් ඉදිරියේ කරන්නට යෑම අමානුෂීය හා මිලේච්ඡ ක්‍රියාවක් හැරෙන්නට අන් යමක් නොවේ.

හමුදා නිලධාරියා කරනුයේ ඉංග්‍රිසි බසින් throat slitting/slash යනුවෙන් හඳුන්වන ගෙල සිඳින අභිනයකි. එසේත් නැතිනම් හිසත් කඳත් වෙන් කරන බව කියන අභිනයකි. මේ අභිනය රග්බි ක්‍රීඩාවේදී වඩාත් හුරුපුරුදු අභිනයකි. නවසීලන්ත කණ්ඩායම රග්බි තරගයක් ආරම්භ කිරීමට පෙර රඟ දක්වන Haka හකා නර්තනයේදී මේ හමුදා නිලධාරියාටත් වඩා හොඳින් ක්‍රීඩකයෝ රඟවති. හකා යනු යුද නැටුමකි. යුද පිටියේ, ක්‍රීඩා පිටියේ කරන දෑ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේදී,
ලෝක දේශපාලනයේදී නොකළ යුත්තේය.


රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේදී ඒ ප්‍රමිත පවත්වා ගත යුතුය. රාජ්‍ය තාන්ත්‍රික විය යුතුය. යුද්ධය අවසන් වී වසර නවයක් ගෙවී යන මොහොතේදීත් තවමත් අප ජාත්‍යන්තරයේ පීඩනයට පත්වෙමින් සිටින්නේ රාජ්‍ය තාන්ත්‍රිකව කටයුතු කළ යුතු තැන්වලදී රාජ්‍ය තාන්ත්‍රික නොවීම නිසාය. රටේ දමන චණ්ඩි පාට් ලෝකය හමුවේ දමන්නට යෑම නිසා නිවැරැදි ලෙස යුද වැදුණු හමුදා නිලධාරීන් පවා චෝදනාවලට ලක්වීමය. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව මෙන්ම මෛත්‍රී රනිල් ආණ්ඩුව ද රාජ්‍ය තාන්ත්‍රිකව හැසිරිය යුතු තැන්වලදී ගමේ චණ්ඩියාගේ චරිතය නිරූපණය කිරීමට යෑම නිසා, අහක යන කුණු ගොඩක් රටට ගෙනැවිත් තිබේ. හමුදා නිලධාරියාගේ ක්‍රියාවද ඊට නොදෙවැනි වන්නේය. ඔහු හුදෙක්ම කරනුයේ උද්ඝෝෂණය කරන පිරිසට අවැසි දෙයක් මිසක ශ්‍රී ලංකාව නියෝජනය කරන රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියකු කළ යුතු ක්‍රියාවක් නොවන්නේය.



රටේ බහුතර ජනතාවට, සාමාන්‍ය ජනතාවට සිංහල බසින් වහසි බස් දෙඩවීම හිටපු ජනාධිපතිවරයා මෙන්ම වත්මන් ජනාධිපතිවරයා ද කරමින් සිටින්නේය. මානව හිමිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව මෙතරම් අර්බුදයකට පත්ව සිටින්නේ හමුදාවේ ක්‍රියාකලාප නිසා නොව පසුගිය ආණ්ඩුවේත් වත්මන් ආණ්ඩුවේ වැරැදි විදේශ ප්‍රතිපත්ති හා ක්‍රියා කලාප නිසාය. අනෙක් අතට වඩාත් පැහැදිලි කරුණක් වනුයේ යුද අපරාධ චෝදනා එල්ල වන්නේ ශ්‍රී ලංකා යුද හමුදාවටය. යුද නැව් විනාශ කළ නාවික හමුදාවට හෝ ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කර තිබෙන එල්.ටී.ටී.ඊ සංවිධානයේ ඉලක්ක වෙත පහර දුන් ගුවන් හමුදාවට නොවේ. එසේ යුද අපරාධ චෝදනා එල්ල වීමට ප්‍රධාන හේතුව යුද්ධයට මුවා වී තමා පටු දේශපාලන වුවමනා එපාකම් වෙනුවෙන් හමුදා නිලධාරීන්, සෙබළුන් මෙහෙය වූ දේශපාලකයන් නිසාය. ඒ සම්බන්ධයෙන් වෙනමම කතා කළ යුතුය. අනෙක් කරුණ මහ කොමසාරිස් කාර්යාලය ඉදිරියේ උද්ඝෝෂණයේ නිරත වූයේ කවුරුන්ද යන වගය.



එල්.ටී.ටී.ඊ සංවිධානය යුදමය වශයෙන් පරාජය කළත් එම සංවිධානයේ මතවාදය තවමත් ඇතැම් කොටස් සතුව ව්‍යාප්තව තිබේ. එම සංවිධානයේ ජාත්‍යන්තර ජාලය තවමත් ක්‍රියාත්මකය. වෙනත් ඕනෑම සංවිධානයකට මෙන්ම එල්.ටී.ටී.ඊ යේ ජාත්‍යන්තර ජාලයේ එසේත් නැතිනම් එල්.ටී.ටී.ඊ යේ ජාත්‍යන්තර සංවිධානවලට ඔවුන්ගේ පැවැත්ම සඳහා හේතු අවශ්‍ය. මාතෘකා අවශ්‍ය. සිදුවීම් අවශ්‍යය. හමුදා නිලධාරියා ගෙල සිඳින අභිනයක් කරමින් ඔවුන්ට හේතුවක් සාදා දුන්නේය. එල්.ටී.ටී.ඊ සංවිධානයේ ජාත්‍යන්තර ජාලයේ පැවැත්ම ඇත්තේ ඊලාම් භූමියක් යන මතවාදය තුළය. දෙමළ ජනතාව පීඩා විඳින බව කීම තුළය. වෙනම රාජ්‍ය සංකල්පය, මානව හිමිකම් යන මාතෘකා තුළය. ශ්‍රී ලංකා රජයේ හමුදාව දෙමළ ජනතාව ඝාතනය කළ බව කීම සහ එසේ කළ බවට හේතුසාධක, සාක්ෂි තොරතුරු ලෝකය හමුවට ගෙන ඒම තුළය. හමුදා නිලධාරියා ඔවුන්ට එසේ හේතුවක් සාදා දී තිබේ.



මෙවැනි විරෝධතාවලට පිළිතුරු දිය යුත්තේ ගෙල සිඳින බව අභිනයකින් දැක්වීමෙන් නොව රාජ්‍ය තාන්ත්‍රිකවය. යුද්ධයෙන් පසු ශ්‍රී ලංකාවට පැමිණි දෙමළ ජනතාව හරහාය. උතුරේ සහ නැගෙනහිර පළාත්වල ජනතාව හරහාය. උතුරේ හා දකුණේ කර තිබෙන සංවර්ධන ව්‍යාපෘති, ඉඩම් නැවත ලබාදීම්, රට තුළ ක්‍රියාත්මක සංහිඳියාව වර්ධනය කිරීමේ වැඩසටහන්, උතුරේ දරුවන් දකුණේ දරුවන් එක්ව කරන ‘මදර් ශ්‍රී ලංකා’ වැනි වැඩසටහන් පිළිබඳ ලෝකයට කීමෙනි. අනෙක් අතට එවැනි දෑ සඳහා ඩයස්පෝරාව එකතු කරගැනීම ද අත්‍යාවශයෙන් ම කළ යුත්තේය. ඩයස්පෝරාව යනු ශ්‍රී ලංකාවේ ජනතාව මහත් භීතියට පත් කරන වචනයක් බවට පත්ව තිබේ. ඩයස්පෝරාව යනු රටක සිටින විදෙස් ජනකොට්ඨාශය. ඒ නිසා ජාත්‍යන්තර පිළිතුරු දීමට සිංහල, දෙමළ, මුස්ලිම් ආදී වාර්ගික ජනකොටස්වලින් සැඳුම්ලත් ශ්‍රී ලංකා ඩයස්පෝරාව එකතු කරගැනීමෙනි. ඕනෑම රටක සැලකිය යුතු ශ්‍රී ලංකා ඩයස්පෝරාවක් සිටියි.

හමුදා නිලධාරියාගේ ක්‍රියාව අගයන පිරිසගේ එක් තර්කයක් වී තිබෙන්නේ අයි.එස් සංවිධානයට සහාය දක්වන පිරිසක් ඇමෙරිකා තානාපති කාර්යාලයක් ඉදිරියේ සිටින අවස්ථාවක ඇමෙරිකා හමුදා භටයෙක් ඔවැන්නක් කළොත් කුමක් වේවිද යන්නය. ඊට සරල පිළිතුර ඇමෙරිකාව මානව හිමිකම් කඩ කරනවා, ඒ නිසා අපිත් මානව හිමිකම් කඩමුද යන්නය. ඇමෙරිකාව යනු ඇමෙරිකාවය. ශ්‍රී ලංකාව යනු ශ්‍රී ලංකාවය. ඇමෙරිකා එක්සත් ජනපදය ලෝක දේශපාලනයේ බලවතාය. යුදමය, දේශපාලනමය මෙන්ම ආර්ථිකමය වශයෙන් ලොව බලවතාය. එහෙත් ශ්‍රී ලංකාව එසේ නොවේ. එසේ බලවතකු නොවූ පමණින් නිවට නියාලුව, බියගුළුව කටයුතු කළ යුතු නොවේ. එහෙත් අවශ්‍ය වන්නේ ශක්තිමත් විදේශ ප්‍රතිපත්තියකි. සිංහල බසින් රටේ ජනතාවට වහසි බස් මහින්ද රාජපක්ෂ හෝ මෛත්‍රීපාල සිරිසේන වැනි නායකයන් නොව විදේශයකදී සෘජුව අදහස් දැක්විය හැකි, නායකයන්ය. ආණ්ඩු මාරුවන වනවිට විදේශ ප්‍රතිපත්ති නොවේ. අපට සිටි එවැනි එකම නායකයා ලක්ෂ්මන් කදිරගාමයර්. ඉන්පසු ඒ ආසන්නයට හෝ පැමිණියේ නම් ඒ මංගල සමරවීරය.


එම නිසා මෙවැනි සිදුවීම් ඉදිරියේදී සිදු නොවිය යුතුය. වඩාත් වැදගත් දරුණුතම දුර්වලතාව අපට නිශ්චිත විදෙස් ප්‍රතිපත්තියක් නොමැතිකමය. හැම අතින්ම මෙන්ම අපි විදේශ ප්‍රතිපත්තිය අතින් ද දුර්වලය. වඩාත් මුල් තැන දෙනුයේ සංවේදීතාවලට, මැතිවරණවලට, ගමේ චණ්ඩි පාට්වලට සහ ජනප්‍රියතාවදායටය. එහෙත් අපට අවශ්‍ය වනුයේ එවැන්නක් නොවේ. ශක්තිමත්, ස්ථීරසාර, ප්‍රායෝගික රාජ්‍ය ප්‍රතිපත්තිය. රටේ අභිමානයට මුල් තැන දෙන රටේ ජාතික ලැදියාවන් ආරක්ෂා කරන අතරම ජාත්‍යන්තරයට ගරු කරන ජාත්‍යන්තර ප්‍රතිපත්ති, ප්‍රඥප්තිවලට අනුකූල, රාජ්‍ය තාන්ත්‍රිකභාවය ආරක්ෂා කරන විදේශ ප්‍රතිපත්තියකි. එම විදේශ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළ යුත්තේ ද හදවතින් නොව මනසින් විමසා කටයුතු කරන පක්ෂ දේශපාලනයට ගැතිකම් නොකරන, සෘජු, උගත්, බුද්ධිමත්, රාජ්‍ය තාන්ත්‍රිකයෝය. අපට නැත්තේම එවැන්නෝය.

මංගල සමරවීර මහතා සහ ලක්ෂ්මන් කදිරගාමර් මහතා සිටින ඡායාරූප අයිතිය gettyimages
https://www.gettyimages.com/detail/news-photo/sri-lakshman-kadirgamar-former-foreign-minister-for-sri-news-photo/94875253#sri-lakshman-kadirgamar-former-foreign-minister-for-sri-lanka-right-picture-id94875253

අනෙක් ඡායාරූප අන්තර්ජාලයෙනි

හර්ෂණ තුෂාර සිල්වා
07.02.18

Monday, January 8, 2018

මේ දෙවියන්මදැයි තවමත් සැකය


මේ දිනවල ජාතික රූපවාහිනියේ යන දැන්වීමක කොටසක් මතක් වුණා දවස තිස්සෙම. ඒ කොටස පෙනි සිටින්නේ මහා කවි රත්න ශ්‍රී විජේසිංහ. ඔහු කියනවා සම්ප්‍රදාය ප්‍රතික්ෂේප කරන්නට නම් සම්ප්‍රදාය දැන සිටිය යුතුයි. ඔය කොටස දැකපු මුල්ම මෙලාවේදි මට මතක් වුණේ, අපේ ඉස්කොලේ උත්සවවලදී නිරන්තරයෙන් කියන වාක්‍ය කොටසක්. නිවේදන අංශ හිටපු අයියලා හැම විටම කිව්වා අපේ සෙට් එකේ උනුත් ඒ විදියට කිව්වා. මල්ලිලත් දැන් ඒ විදියට කියනවා ඇති. සම්ප්‍රදාය අතික්‍රමණය තමයි ඔය කෑල්ල. සම්ප්‍රදාය අතික්‍රමණය කරන අපි හැමදාමත් සම්ප්‍රදායට ගරු කරනවා........ඔහොම ඉතිං ආල වට්ටං දානවා. ජනවාරි 8 ගැන  ලියන්නේ කොහොමද කියලා හිතා හිතා ඔය විදියට පටන් ගත්තා. අපි මහින්ද ගැන දැන සිටියා. එහෙම වුණත් මෛත්‍රී ගැන දැනගෙන හිටියේ නැහැ. මට මතකයි අපේ පත්තරේ හෝ වෙනත් පත්තරයක නොදන්නා දෙවියන් යනුවෙන් ලිපියක් පළවුණා. ජනාධිපතිවරණය සමයේදීමයි. නොදන්න දෙවියෝ පත්වෙලා අවුරුදු තුනක් ගිහින්.

ජනවාරි 8 යන අපේ රටේ ඉතිහාසයේ බොහෝ මතක සටහන් ඇති බොහෝ සෙයින් වැදගත්කම් ඇති දිනයක් ලෙසින් හඳුන්වා දිය හැකිය. මාධයවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය වන්නේ අද වැනි දිනකය. වත්මන් ජනාධිපතිවරයාගේ මෙන්ම හිටපු ජනාධිපතිවරයාගේ පක්ෂය වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ දිවංගත අග්‍රාමාත්‍ය එස්.ඩබ්.ආර්.ඩී බණ්ඩාරනායකයන්ගේ උපන්දිනය යෙදෙන්නේ ද ජනවාරි 8 වැනිදාටය. මෙරට ඉතිහාසයේ තීරණාත්මක ජනාධිපතිවරණයක් පැවත්වෙන්නේ ද ජනවාරි 8 වැනිදාවකය. දෛවයේ සරදමකට දෝ මේ සිදුවීම් ත්‍රිත්වයම එකිනෙකට සම්බන්ධය.
වත්මන් ජනාධිපතිවරයා බලයට පත්වන්නේ එස්.ඩබ්.ආර්.ඩී බණ්ඩාරනායකගේ මහතා ආරම්භ කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කරන බවට පවසමිනි. ඔහු බලයට පත්වන්නේ මහින්ද රාජපක්ෂ සමයේදී ඝාතනය ලක්වූ ලසන්ත වික්‍රමතුංග ඇතුළු මාධ්‍යවේදීන්ගේ ඝාතකයන්, තාජුඩීන්, රොෂෙන් චානුක යන තරුණයන්ගේ ඝාතකයන් නීතිය ඉදිරියට පමුණුවන බවට සපථ කරමිනි. 

එහෙත් අද එසේ දුන් පොරොන්දු ඉටු වී තිබේද ? මහින්ද රාජපක්ෂ සමයේදී සිදු වූ වංචා දූෂණ ඒ අයුරින්ම නැතත් අඛණ්ඩවම සිදුවෙමින් පවතියි. මහා පරිමාණ වංචා සිදුවෙමින් පවතියි. වත්මන් ආණ්ඩුවට බලයට පත්වන්නේ යහපාලන මූලධර්ම සුරකින බවට ප්‍රතිඥා දෙමිනි. එහෙත් වත්මන් ආණ්ඩුව බලයට පත්ව මාස තුනක් යන්නට මත්තෙන්, ආණ්ඩුවේ පළමු දින සියය ඇතුළත මහා බැංකුවේ මහ මංකොල්ලයක් සිදුවන්නේය. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේදී ඉතිරි වූ යම් සත කිහිපයක් තිබුණේ ද වත්මන් ආණ්ඩුව බලයට පත්වූ පසු ඒ සත කිහිපය ද නැති භංගස්ථාන වී ගියේය. රටේ ජනතාවට සිදුවූයේ හිඟන්නාගේ පාත්‍රයට හෙනහුරා කඩාවැටුණා වැන්නකි.

වත්මන් ආණ්ඩුව කලින් ආණ්ඩුවට වඩා හොඳය. එහෙත් එයින් මේ ආණ්ඩුව හොඳයි කියවෙන්නේ නැත. තොරතුරු පනත ගෙනාවේය. 19 වැනි සංශෝධනය, මැතිවරණ ක්‍රමවේදයක්, ව්‍යවස්ථාවට අලුත් අංග, අලුත් ව්‍යවස්ථාවක් ගැන කතිකාවක් තිබෙන්නේය. එහෙත් ඒවා අල්පයක් තරම්ය. 

අන් සියල්ල පසෙකින් තබමු. බැඳුම්කර නිකුතු-වේදී සොරකම් සිදු වී ඇති බව දැන් සැකයක් නැත. එවැනි වටපිටාවක ඊට සම්බන්ධ වූ පිරිස්වලට දඬුවම් දීම වත්මන් ආණ්ඩුවේ ප්‍රමුඛතම වගකීමකි. 2008 වසරේ මහ බැංකුවේ සොරකම් සිදු වූවා කියා නිදහසට කරුණු කීමෙන් පලක් නැත. එසේ සිදු වූවා නම් ඒවා ගැන පරීක්ෂණ තබා නීතිය යුක්තිය ක්‍රියාත්මක කළ යුතුය. හැට දෙලක්ෂයක ඡන්දයෙන් වත්මන් ආණ්ඩුව පත් කරගත්තේ මහින්ද රාජපක්ෂ රෙජීමය කළ කී දෑ කිරීමට නොව මේ රට යමින් තිබූ අගාධයෙන් ගොඩගැනීමට. ප්‍රවීණ මාධ්‍යවේදී වික්ටර් අයිවන් සහ සෝභිත හිමිගේ සාධරණ සමාජයක් සංවිධානයේ වත්මන් සභාපතිවරයාගේ වචනවලින්ම කියන්නේ නම් අශ්ශීල සමාජයක් වෙනුවට යහ සමාජයක් ගෙන ඒමටය. ඒ වගකීමන් මිදෙන්නට වික්ටර් අයිවන්ට පමණක් නොව මහාචාර්ය සරත් විජේසූරියට ද බැරිය. යහ සමාජයක් අවශ්‍ය වන්නේ හැට දෙලක්ෂයට පමණක් නොව පනස් අට ලක්ෂයට ද යහ සමාජයක අවශ්‍යතාව තිබේ. ගැටලුව ඇත්තේ එවන්නක් කිරීමට නායකයන් අප සතු ද යන්න ය.

මහින්ද රාජපක්ෂ සමයේදී යුද්ධය අවසන් කළේය. හොඳය. එහෙත් ගැටලුව යුද්ධය අවසන් කළ පමණින් රටේ වාර්ගික ගැටලුවලද විසඳුම් ලැබුණේ ද යන්නය. වත්මන් ආණ්ඩුව ඊට විසඳුම් සොයා තිබෙන්නේ ද ? මානව හිමිකම් සම්බන්ධයෙන් ජාත්‍යන්තරයෙන් දැඩි පීඩනයක් එල්ල වෙමින් තිබිණි. මහින්ද රාජපක්ෂ රෙජීමය ලෝකය තිබෙන්නේ ලංකාවේ යැයි සිතා ඊට පිළිතුරු දෙන්නට ගියේය. එයින් ද පහර වැදුණේ රටේ ආර්ථිකයටය. වත්මන් ආණ්ඩුව එය සමනය කරගත්ත ද ප්‍රශ්නවලට විසඳුම් සොයා නැත. මහින්ද රාජපක්ෂ මහතා වසර දෙකකට පෙරාතුව ජනාධිපතිවරණයක් කැඳවූයේ ජාත්‍යන්තරයෙන් සම්බාධක එල්ල වීමට තිබූ නිසා යැයි ද ඉදිරියේදී රටේ ආර්ථික බුබුළ පුපුරා යෑමේ අවදානමක් තිබෙන නිසා යැයි ද කියැවිණි. 

එසේ කී වත්මන් රනිල් මෛත්‍රී ආණ්ඩුව ඊට විසඳුම් සොයා තිබෙන්නේ ද ? ජනාධිපතිවරණයේදී දුන් පොරොන්දු ඉටු කර තිබෙන්නේද ? ඝාතකයන් තවමත් නිදැල්ලේය. මහ පරිමාණ දූෂිතයන් තවමත් නිදැල්ලේය. මාධ්‍යවේදීන් පැහර නොගත්තද මාධ්‍යවේදීන්ට තවමත් තර්ජනය. බලපෑම් නැතත් එය එසේය. සොරුන් දූෂිතයන් තවමත් තනතුරුවලට පත් වන්නේය. ඔවුන් පත් කරන්නේ හොරුන්ට දඬුවම් දෙන බව කියමින් ධුරවලට පත්වූ ජනාධිපතිවරායය. අගමැතිවරයාය. ඔවුන් යටතේ සිටින ඇමැතිවරුය. හොරකම් කළ ඇමැතිවරුන් මේ ආණ්ඩුවේත් ඇමැතිවරුය. 

2015 ජනවාරි 8 වෙනසක් වුණේය. එය වැඩියෙන්ම දන්නේ අවබෝධ වන්නේ මහින්ද රාජපක්ෂ සමයේ පීඩාවට පත්වූවෝය. ඝාතනයට ලක්වූවෝය. ඔවුන්ගේ පවුල්වල ඥාතීන්ය. මාධ්‍යවේදීන්ය. එහෙත් ඒ දැනීම, අවබෝධය ඔවුන්ගෙන් ඔබ්බට ගොස් හැට දෙලක්ෂයක් මෛත්‍රීපාල සිරිසේනට ජනාධිපතිධුරයට පැමිණෙන්නට අවස්ථාව උදා කරන දුන්හ. ඒ හැට දෙලක්ෂය මෛත්‍රීපාල ජනාධිපතිවරයා කෙරෙහි විශ්වාසය තැබූහ. එහෙත් අවස්ථා කිහිපයකදීම ජනාධිපතිවරයා එම විශ්වාස බිඳ දැමීය.

මේ ආණ්ඩුව යමක් කර නැත්තෙමත් නැත. එමෙන්ම පසුගිය ආණ්ඩුව ද යමක් කර නැත්තෙමත් නැත. එබැවින් මේ ආණ්ඩුව පසුගිය ආණ්ඩුව සමයේ පැවැති මහා පරිමාණ දූෂිත නවතා දැමිය යුතුය. ජනාධිපතිවරණයේදී දුන් පොරොන්දු ඉටු කළ යුතුය. සෝභිත හිමියන්ගේ නිසල දේහය ඉදිරියේදී සපථ කළ අයුරින්ම විධායක ජනාධිපතිධුරය අහෝසි කළ යුතුය. පාලම් උන්වහන්සේ නමින් නම් කර එයින් ගැලවිය නොහැක. හැට දෙලක්ෂයක් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පත් කර ගන්නා ලද් දන්න යක්ෂයාට වඩා නොදන්න දෙවියන් හොඳ ඇතැයි කියා විශ්වාසය තබමිනි. පනස් අට ලක්ෂයක් නොදන්න දෙවියන් කුමක් කරනු ඇත්දැයි අවිශ්වාසයෙන් දන්නා යක්ෂය වෙනුවෙන් වූහ. එහෙත් අවසානයෙදී දන්නා යක්ෂයා පරයා නොදන්නා දෙවියන් ජයගත්තේය. එහෙත් මේ දෙවියන්මදැයි තවමත් සැකය. 



ඡායාරූපය ශෙහාන් ගුණසේකර   https://www.facebook.com/sheh1173/photos/a.730572830300599.1073742104.574293862595164/1063848833639662/?type=3&theater


හර්ෂණ තුෂාර සිල්වා
2018.01.08

  





Saturday, November 18, 2017

ප්‍රචණ්ඩත්වය වීරත්වය එකිනෙකාට පහර දීම ලේ වැගිරීම වීරත්වයට නංවන සමාජයක අපි ජීවත් වෙමු. වසර 2500ක මහා ඉතිහාසයක් ගැන නිරන්තරයෙන් පාරම්බාන අපට පසුගිය සියවසක කාලයේදී කතා කරන්නට දෙයක් තිබෙන්නේ ද ? මියගිය තරුණ පරම්පරාවක් ගැන, තිස් වසරක බිහිසුණු යුද්ධයක්, සිංහල, දෙමළ හා මුස්ලිම් කෝලහාල හැරෙන්නට අපට කතා කරන්නට ඇත්තේ ආඩම්බර වීමට ඇත්තේ අල්ප වූ ජයග්‍රහණ කිහිපයක් ගැන පමණි.

තිස් වසරක යුද්ධය ආයුධවලින් අවසන් වූවත් එම යුද්ධයට හේතු වූ කරුණු, අර්බුද, ප්‍රශ්නවලට විසඳුම් සෙවීමට අපි තවමත් අසමත් වී සිටින්නෙමු. තරුණ කැරැලි දෙකකින් නොනැවතී මහා සිවිල් යුද්ධයක් දක්වා මේ රට ගියේ, පාලකයන්ගේ සහ ජීවත් වූ පරම්පරාවල වැරැදි තීරණ නිසා දන්නා වුවත් අනෙකාට චෝදනා කිරීමෙන් පලක් වන්නේ නැත. අද වනවිට අනෙකාට චෝදනා කිරීම සරල බසින්ම කියන්නේ නම් බෝලය පාස් කිරීම අපේ රටේ සම්ප්‍රදායක් බවට පත්ව තිබෙන්නේය. 
යුද්ධය හුදෙක් දෙමළා ජනතාව මුහුණ දෙන අසාධාරණකම් නිසා ඇති වූවක් නොව රටේ සමස්තය, රටේ බහුතරය, පීඩිත ජනතාව නිසා ඇති වූවකි. රටේ බහුතරයක් අසාධාරණයට, පීඩාවට හා වදහිංසාවලට ලක්වෙති. ඒ බහුතරය තුළ සිංහල, දෙමළ හා මුස්ලිම් යන සියල්ලෝම සිටිති. රටේ සුළු තරයක් දෙනා තමන්ගේ පැවැත්වම උදෙසා බහුතරය තුළ ගිනි අවුලවමින්, රාජ්‍ය සම්පත්, රාජ්‍ය මුදල් මංකොල්ලකමින්, රටේ අධ්‍යාපන, සෞඛ්‍ය ආදී සියල්ල විනාශ මුඛයට ඇද දමමින් කටයුතු කරති. පුංචි ලේ කඳුළක් සෑම විටම මහා ලේ විලක් කිරීමට ඔවුහු මාන බලති. 

ගිංතොට සිදු වූයේ ද එයයි. පුද්ගලික ආරවුලක්, රිය අනතුරක් මහා විනාශයක් ඇද ගෙන යෑමේදී බහුතරය තුළ සිටින අනුවණ පිරිස් දැක් වූ සහයෝගය ද කිසිසේත් අමතක නොකළ යුතුය. මුග්ධයන්, මී හරකුන් අනුවණයන් ලෙසින් හැසිරෙමින් එකිනෙකා ඇණ කොටා මරා ගැනීම සම්ප්‍රදායක් වී තිබෙන සමාජයකට රතිඤ්ඤා හඬක් වුවද ප්‍රමාණවත්ය. රට තුළ ව්‍යවසන ඇති කිරීමට, බොරදියේ මාළු බෑමට බලා සිටින සුළුතරය සෑම විටම තම තමන්ගේ මංකොල්ලකෑම්, අපරාධ, දූෂණ හා වංචා වසා ගැනීමට රට තුළ ව්‍යවසන, අර්බුද, විවිධාකාරයේ ගැටුම් හා සිදුවීම් නිර්මාණය කරයි. බලයට පත්වන ආණ්ඩු ද එම ක්‍රියාවලිය අඩුවක් නැතිවම පවත්වාගෙන යයි. පසුගිය මහින්ද රාජපක්ෂ රෙජීමය මෙන්ම වත්මන් රනිල් මෛත්‍රී රෙජීමය ද එම ක්‍රියාවලිය හොඳින්ම ක්‍රියාත්මක කරයි.

ඒ සියල්ල පැත්තකින් තබමු. කවුරුන් කුමක් කළ ද සිහි බුද්ධියෙන් කටයුතු කිරීම සෑම පුද්ගලයකුගේම වගකීමකි. එහෙත් අපට එවැනි සමාජයක් තිබෙන්නේ ද ? චින්තනයක් සහිත සමාජයක්, පරම්පරාවක් තිබෙන්නේ ද? තවකකු කී පමණින් තවකෙකුට වද හිංස කරන , සෑම විටම යැපීම, වහල් බව, සම්ප්‍රදායක් කරගත් රටක් අද අප හමුවේ නිර්මාණය තිබේ. එබැවින් අප වෙනස් විය යුතුය. ඒ වෙනස කවදා ඇති වනු ඇත්දැයි මා දන්නේ නැත. එහෙත් විශ්වාසය බලාපොරොත්තුව වටින්නේය. හොරුන්, තක්කඩියන් ගෙදර යැවීමට එකතු නොවන මිනිසුන් තව එකෙකුගේ ලේ සෙලවීමට එකතු වීම නරුම කමක් මෙන්ම අරුමයකි. පාර්ලිමේන්තුවේ හොරුන් ගෙදර යවමු යැයි තැන තැන කියවන අපි, හොරුන් ගෙදර යැවීමට එකතු වූයේ කවදාද ? මැතිවරණයේදී හොරෙකු පරදවා තව හොරකු දිනවූවා මිසක අපි කළ දෙයක් නැත. වැරැද්ද ඇත්තේ අප අතේය. නිවැරැදි විය යුත්තේ ද අපය. 

ඒ නිසා සෑම විටම සාමය, අනෙකාගේ ගරුත්වය, ස්වඅභිමානය, විවිධත්වය අගයන සමාජයක් නිර්මාණය කිරීම අප කළ යුතුය. අපට නොවුණත් අපෙන් පසු උන්ට හෝ මේ රටේ සාමයෙන්, සමගියෙන් හා සහජීවනයෙන් ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය කළ යුතුය. සාධාරණය හා යුක්තිය ඉටුවන සමාජයක් නිර්මාණය විය යුතුය. සිංහල, දෙමළ හා මුස්ලිම් යනුවෙන් හෝ අතට, බුලත් කොළයට, අලියාට, සීනුවට හෝ පොහොට්ටුවට වහල් වීමෙන් හෝ එය කළ නොහැකිය. අප සියලු දෙනා ශ්‍රී ලාංකිකයන්ය. මුල්ම වෙනස විය යුත්තේ එතැනය. රටේ සියලු දෙනා නැතත් වැඩි දෙනකු හෝ එසේ සිතන දවසක් එනතුරු අප සටන් වැදිය යුතුය. 

ඡායාරූපය අමිල ගමගේ
https://www.facebook.com/photo.php?fbid=10205347760069034&set=a.4162228449557.167808.1099459155&type=3&theater


හර්ෂණ තුෂාර සිල්වා
2017.11.18

Tuesday, May 23, 2017

යුද්ධය ගැන නැවත නැවත ලිවීමට සිදුවීම අකැමැති මාතෘකාවක් වුවද ලියන්නට හේතු සාධක වන දෑ බොහෝ අවස්ථාවලදී අත්දකින්නට සිදුවේ. සිවිල් යුද්ධයක්, මහා පරිමාණ යුද්ධයක් ද හෝ මොනයම් අර්ථකතන දුන්න ද තිස් වසරක් මුළුල්ලේ පැවැති ගැටුම්වලින් අපට අහිමි වූ ජීවිත ගණන අති මහත්ය. ඒ නිසා මේ රටේ නැවත යුද්ධයක් හෝ ජාතීන් අතර ගැටුමක් ඇති වීමට ඉඩ නොදීම අප සියලු දෙනා සතු වගකීමකි.

දශක තුනක් පුරා පැවැති යුද්ධයේ අපි අමතක කළ යුතු නැත. එහෙත් යුද්ධය ගැන මතකය මිනිසුන්ගේ සිත්තුළ නැවත වෛරී අදහස් ඇති වීමට නොව සාමය කරා ගමනක් සඳහා විය යුතුය. එල්.ටී.ටී.ඊ සංවිධානය බිහිවන්නේ දකුණේ තරුණ පිරිස් මෙන්ම තම අයිතිවාසිකම් ඉල්ලමින් එම සටන දිනාගැනීමටය. එල්.ටී.ටී.ඊ යත් දකුණේ තරුණ කොටස් අතර වෙනසක් නැති තරම්ය. එහෙත් ප්‍රචණ්ඩත්වය කිසිදු ප්‍රශ්නයක් පිළිතුරක් නොදෙන්නා සේම එල්.ටී.ටී.ඊ යට ද අවි ආයුද ගැනීමෙන් ප්‍රතිඵලයක් අත්වූයේ නැත. අවි ගත්තෝ අවියෙන්ම නැසෙන්නේ යන පොදු ධර්මය ඔවුන්ට ද උරුමය. එම ලෝක ධර්මතාව සිංහල දෙමළ භේදයකින් තොරවම මේ රටේ බොහෝ දෙනා අත් විඳි බව අපි කවුරුත් දනිමු.

යුද විරෝධී සියලු දෙනාට යුද්ධය අවසන් වීම ගැන ඇත්තේ සතුටක් බව නොරහසකි. එය මෛත්‍රී පාක්ෂිකයන්, රනිල් මහින්ද පාක්ෂිකයන් හෝ වෙනයම් දේශපාලන මතයක් දැරුවේ ද කියා වෙනසක් නැත. යුද්ධය අවසන් වූ ආකාරය පිළිබඳ අපට ගැටලු ඇත. යුද්ධයට මුවා වී කළ වැරැදි ගැන අපි ප්‍රශ්න කළ යුතුය.
මැයි 18 හෝ ආසන්න දිනයකදී රූගත කරන ලද වීඩියෝ පටයක් මුහුණු පොතේ එහා මෙහා යමින් තිබිණි. මැයි 18 වැනිදා මතකද යන්න විමසමින් එහිදි ප්‍රශ්න කරන්නේය. එම ප්‍රශ්න කිරීමට එතැනින් එහාට ගොස් රටේ සාමය ඇති කිරීමට කළ යුත්තේ මොනවාදැයි විමසීමට හැකි වූවා නම් වඩා හොඳය.

තවමත් රටේ පිරිස් අතර දේශපාලකයන් අතර යුද්ධය අවසන් කළේ කවුද යන්නට මත ගැටුමක් තිබෙන බව පැහැදිලිය. එහෙත් කවදාවත් යුද්ධය ඇති කළේ කවුද යන්න හෝ එහි වගකීම බාරගැනීමට කවදාවත් කිසිවකුත් ඉදිරිපත්  වන්නේ හෝ අදහස් දක්වන්නේ නැත. යුද්ධය ඇති වූයේ ඇයි ද යන්න ගැන විමසා සිටින්නේ නම් එය ඉතා අතළොස්සකි. යුද්ධය ඇතිවීමේ මූලික වගකීම බාරගත යුත්තේ දේශපාලකයන්ය. දේශපාලකයන්ට සියල්ල පවරා නිහඬවම සිටීමට අපට නොහැක. ලෝකය විනාශ වී යන්නේ වැරැදි මිනිසුන්ගේ වැරැදි නිසා නොව යහපත් මිනිසුන්ගේ නිහඬ බව නිසා යැයි ඇල්බට් අයින්ස්ටයින් වරෙක කීවේය. එබැවින් යුද්ධයේ ආරම්භයට, ඒ පරම්පරාවත් ඊට පරම්පරා සියල්ලත් වගකිව යුතුය. යුද්ධය කඩිනමින් අවසන් කර නොගැනීමේ වරදට ඉන් පසු සියලු පරම්පරා වගකිව යුතුය. නැවත යුද්ධයක් ඇති නොවීමේ වගකීම වත්මන් පරපුර සතුය.  

බුදු දහම මුල් කරගත් රටක ජීවත්වන අපට බුදු දහමේ මූලික හර පද්ධති අමතකව ගොස් තිබීම කනගාටුවට කරුණකි. භික්ෂූන් වහන්සේලාට ඒ බව අමතකව යෑම තවදුරටත්  කනගාටුවකි. බුදුදහම මේ රටට ලැබෙන්න අශෝක අධිරාජ්‍යයාගේ මැදිහත් වීමෙනි. යුද්ධයෙන් අති විශාල ජනතාවක් ඝාතනය කරමින් තම අධිරාජ්‍යය පුළුල් කරගැනීමේ ගමනක යන අශෝක සාහිත්‍යයට අනුව චණ්ඩාශෝක යනුවෙන් නම් ලබන්නේය. එහෙත් නීග්‍රෝධි හිමියන්ගෙන් දහම් ඇසීමෙන් පසු චණ්ඩාශෝක බුදු දහම වැළැඳ ගනිමින් ධර්මාශෝක වන බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන්ය. යුද්ධයේ ආදීනව පිළිබඳ අපට සමීපතම පාඩම කියා දෙන්නේ බුදු දහම මෙරටට එවීමට මූලික වන ආශෝක රජුය. එම සරල කරුණ පවා අවබෝධ කර නොගන්නා දුවන්නන් වාලේ දුවන සමාජයක කොටස්කරුවෝ බවට අපි පත්ව සිටිමු.

යුද්ධය අවසන් වීම බොහෝ දෙනකු ජයග්‍රහණයක් යනුවෙන් හඳුන්වන අතරේම ජයග්‍රහණයට පියවරුන් බොහෝ දෙනකු සිටින බව නැවත නැවතත් පසක් කරමින් තමා යුද්ධය අවසන් කළේ යැයි කීමට බොහෝ පිරිස් නිරන්තරයෙන් සැදි පැහැදි සිටිති. එහෙත් අපි ජාතියක් වශයෙන් පරාදය. රටක් ලෙස පරාදය. ඉතිහාසය හැරෙන්න, පසුගිය කාලයේ දී ක්‍රීඩාව වශයෙන් හා පුද්ගලයන් වශයෙන් දිනාගත් දේ හැරෙන්නට අපි රටක් ලෙස දිනාගත් දෙයක් හෝ ආඩම්බර වීමට හෝ දෙයක් අපට නැත. විවිධ පුද්ගලයන් විවිධ ක්ෂේත්‍රවලින් දක්ෂතා දක්වමින් ජාත්‍යන්තරයට යෑම හැරෙන්නට අපට ආඩම්බර වන්නට දෙයක් නැත.

විජේවීර සැමරීමේ අයිතිය, ජේ.ආර්, ප්‍රේමදාස, බණ්ඩාරනායක සැමරීමේ අයිතිය මේ රටේ විවිධ කොටස්වලට තිබේ නම් ප්‍රභාකරන් සැමරීමේ අයිතිය ද හිමිවිය යුතුය. ඉහත කී සියලු දෙනාගේ තීන්දු තීරණ නිසා මේ රටට හිමි වූ දේවල්වලට වඩා අහිමි වූ දේවල් වැඩිය. යුද්ධය මැයි මාසයකම අවසන් වීම වඩාත් හොඳය. එයම නිමිත්තක් කරගනිමින් සමරන පිරිස්වලට ඔවුන්ගේ පාඩුවේ එය සමරන්නට ඉඩ දී ජාතියක් ලෙස මැයි මාසයම ජාතික සාම මාසය හෝ සංහිඳියාවේ මාසය යනුවෙන් නම් කරමින් ජාතික ප්‍රතිපත්තියක් ගෙන ආ හැකිය. මැයි 18 හෝ මැයි 19 වැනිදාට වෙසෙක් පොහොය දිනයක් යෙදෙන්නේ කවදාද අපට එදාට බොහෝ දේ කතා කළ හැකිය. එබැවින් අප ආයුද විසඳුම් හෝ ප්‍රචණ්ඩත්වය හෝ විසඳුමක් කර නොගත යුතුය.

හතළිස් අටට පෙරත් ඉන් පසුත් අද දක්වාම මේ රටේ විවිධාකාර ගැටුම් ඇතිවිය. තරුණයන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු සැපයීම පැවැති ආණ්ඩු මෙන්ම වත්මන් ආණ්ඩුව ද අසමත් වීම, සිංහල, දෙමළ හා මුස්ලිම් ජාතීන්වල අයිතීන් ආරක්ෂා කිරීමට පැවැති ආණ්ඩු හා වත්මන් ආණ්ඩුව අසමත්වීම රටේ ඇති වූ ගැටුම්වලට ප්‍රධාන හේතුය. පටු දේශපාලන වුවමනා වෙනුවෙන් ආණ්ඩු මෙන්ම විපක්ෂ කණ්ඩායම් ද විවිධ සංවිධාන කණ්ඩායම් පිහිටුවමින් රටේ කොටස් අතර ගැටුම් ඇති කිරීමේ උත්සාහයක නිරත වන බව පැවැති ආණ්ඩුවලින් මෙන්ම වත්මන් ආණ්ඩුවෙන් ද වෙනසකින් තොරව පෙනී යයි.

පසුගිය දින කිහිපයක කාලයේදී මුස්ලිම් හා දෙමළ ජාතීන් ඉලක්ක කරගනිමින් ප්‍රහාර කිහිපයක් එල්ල වූ බව රටේ විවිධ ස්ථානවලින් අපට අසන්නට ලැබුණි. තිස් වසරක පැවැති යුද්ධය මූලිකවම සිංහල දෙමළ අරගලයක් බවට පත් වූ අතර ඊට මුස්ලිම් ජාතිකයන් ද මැදිව තුන් කොන් අරගලයක් වූවා නම් මේ රට මීටත් වඩා විනාශයකට යෑමට ඉඩ තිබිණි. අද රට තුළ එවැනි තත්ත්වයක් නිර්මාණයක් කිරීම ඇතැම් කොටස්වල වුවමනාවක් බවට පත්ව තිබීමත් ආණ්ඩුවේ හා විපක්ෂවල පිරිස් එකිනෙකාට දොස් පවරා ගැනීමත් නිසා ප්‍රශ්නවලට විසඳුම් ලැබෙන සැටියක් පෙනෙන්නට නැත.

සෑම කරුණකම දේශපාලකයන්ට චෝදනා කරමින් සිටීම අපට අදත් හෙටත් තවත් වසර කිහිපයකින් වුවත් කළ හැකි පහසු කාර්යයකි. එහෙත් අප දැනට සිටිනාවට වඩා ඉදිරි පියවරක් තැබිය යුතුයි. පක්ෂ පාට භේදයකින් තොරව ප්‍රචණ්ඩත්වයට එරෙහි විය යුතුය. ඒ නිසා අපට අවශ්‍ය වන්නේ අවබෝධයෙන් කටයුතු කරනා ජනතාවකි. කවුරුන් හෝ කී පළියට හෝ සාම්ප්‍රදායික හෝ සමාජ හෝ නූතන මාධ්‍යයෙන් ප්‍රසිද්ධියට පත් වූ සැණින් විශ්වාස නොකරන කරුණු විමසන ජනතාවකි. දේශපාලකයන්ගෙන්, මාධ්‍යයෙන් හා වගකිව යුත්තන්ගෙන් අවබෝධයෙන් ප්‍රශ්න කරන ජනතාවකි. එවැනි අවබෝධයක් සහිත ජනතාවක් නොමැතිව මේ රටට ඉදිරි ගමනක් නැත. ආර්ථික, දේශපාලන හා සමාජයීය වශයෙන් අපි තවමත් පරාජිත ජාතියකි. පරාජිත්වයෙන් ගොඩ ආ හැක්කේ දිගුකල් පවත්නා සාමයකට ගමන් කිරීමෙන් පමණි.


කාටූනය අවන්ත අාටිගල 


හර්ෂණ තුෂාර සිල්වා
24.05.17


Saturday, May 20, 2017

සමාව දීමේ ක්‍රියාවලියක්

යුද්ධය අවසන් කළ හැක්කේ යුද්ධයෙන් බවත් එම නිසා තුවක්කුව අත්හැරීමට නම් තුවක්කුව අතට ගත යුතු බව මාඕ සේතුං වරෙක කියා සිටියේය. තිස් වසරක අඛණ්ඩ යුද්ධයකින් බැට කෑ අපි අද තුවක්කුව බිම තබා ඇත්තේ මහත් වූ පිරිවැයක් දරමිනි. ගැටුම් නිරාකරණයේදී ඕනෑම පිරිවැයක් යටතේ ගැටුම් නිරාකරණය කළ යුතුය යන්න මූලික කරගත්ත ද එම පිරිවැය මිනිස් ජීවිත නොවිය යුතුය. එහෙත් අපට වූ පිරිවැය වූයේම මිනිස් ජීවිතයි.

වසර 1983 ආරම්භ වූ සිවිල් යුද්ධය ඒ වසරේම ආරම්භයක් නොව විසිවැනි සියවසේ මුල සිටම පැවැති සිවිල් ගැටුම්, වාර්ගික ගැටුම් හා කලකෝලහාල ප්‍රතිඵලයකි. යහපත් හෝ අයහපත් අයුරින් හෝ යුද්ධය අවසන් වීම පිළිබඳ අප සතුටු විය යුතුය. එහෙත් සතුටු වීම පසෙකින් තබා කළ යුතු බොහෝ දේ අප හමුවේ ඇත. නැවත මේ රටේ යුද්ධයක් ඇතිවීම වැළැක්වීම සඳහා අප ගත යුතු බොහෝ ක්‍රියාමාර්ග තිබේ.

යුද්ධයෙන් වසර අටක් ගෙවී ගියද පසුගිය ආණ්ඩුව හෝ වත්මන් ආණ්ඩුව එවැනි පියවරක් ගෙන ඇති බව අපට පෙනෙන්නට නැත. වසර 1915, 56, 71, 80 සහ 83 වසරවලදී මෙන්ම රටේ පැවැති  සිවිල් යුද්ධය ප්‍රමුඛ ගැටුම්වලින් රටට අහිමි වූ ජීවිත ගණන, රටට අහිමි වූ මුදල් කන්දරාව, සම්පත්, රටේ ආර්ථිකයට වූ බලපෑම අපට වැය කරන්නට වූ සියල්ල මෙතැකයි කියා ගණනය කළ නොහැකියි. රටට එහෙම් පිටින්ම පරම්පරා නැති ව ගියේය. තරුණ දේශපාලකයන්, තරුණ වෘත්තිකයන් අහිමි විය.

සැබෑවටම නිදහස ලැබුවේ 48 ද 72 දී ද කියා තෝරා ගන්නට බැරි රටක 2009 මැයි 18 ද 19 ද කියා තෝරා ගන්නට බැරි රටක අපට සමරන්නට හෝ සතුටු වන්නට පුළුවන් දෙයක් නැත. රටක් ලෙස අප අද සිටින්නේ කොතැන ද යන්න හැමදාමත් අප මතක් කළ ද අමතක කර දමන කරුණකි. ආර්ථිකය අතින් කලාපයේ අනෙක් රටවල් ඉදිරියට යද්දි රටේ ඉතා කුඩා ප්‍රශ්න විසඳා ගැනීමට නොහැකිව අපි එකිනෙකාට බෝලය පාස් කරමින් සිටිමු.

රටේ ඇති වූ අරගල සියල්ලේ නිර්මාපකයන් වූයේ පටු අරමුණු සහිත මුග්ධ දේශපාලකයන් මිස අන්කවරකුත් නොවන බව පැහැදිලිය. අප විසඳුම් බලාපොරොත්තු වන්නේ ද එවැනි මුග්ධ දේශපාලකයන්ගෙනි. ඒ හැර අපට වෙන විකල්පයක් පෙනෙන්නට ද නැත. එබැවින් මේ යකුන්ගෙන්ම වැඩ ගැනීමට රටේ පුරවැසියන් ලෙස අපට කටයුතුව කළ යුතුව ඇත.

සාමයෙන් තොර සංවර්ධනයක් අපට අත්පත් කරගත නොහැක. තිරසර සංවර්ධනයෙන් තොර තිරසර සාමයක් ද තිරසර සාමයෙන් තොර තිරසර සංවර්ධනයක් ද අපට උදා කරගත නොහැක. යුද්ධයේ බිහිසුණු බව උණ්ඩවල බිහිසුණු බව අපට අපේ රටේ වැසියන්ට අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැත. එම නිසා තිස් වසරක යුද්ධයෙන් මියගියේ මේ රටේම තරුණයන්ම. මේ රටේ තරුණ පරම්පරාවය.

එම නිසා උතුරේ හෝ දකුණේ හෝ වේවා මියගිය තම දරුවන්, පියන්, ඥාතීන් සැමරීමේ සිහි කිරීමේ අයිතිය මේ රටේ සියලු දෙනාට හිමිවිය යුතුය. දඬුවම් දීමෙන් අපට අත්වන සෙතක් නොමැත. එම නිසා සමාව දීමේ ක්‍රියාවලියකට අප ගමන් කළ යුතුය. එසේ වුවද යුද්ධයෙන් නාමයෙන් , යුද්ධයට මුවා වී වැරැදි කළ සියලු දෙනාට දඬුවම් දිය යුතුය.

මැයි 18 හෝ වේවා 19 හෝ වේවා එදින සමාව දීමේ දිනයක් බවට පත් කරමින් අප සියලු දෙනාට සමාව දෙමින් අප සියලු දෙනා කළ වැරැදි නැවත නොවන්නට වගා බල ගත යුතුය. සමාව දීමේ ක්‍රියාවලියකට යාමෙන් තොරව අපට සාමයක් හෝ සංහිඳියාවක් හෝ උදා කරගත නොහැක. තරමක් දුෂ්කර හා ප්‍රායෝගික බවින් දුරස්ථ වුවත් අපට එවැනි මගකට ගමන් කිරීමේ හැකියාව ඇත. ඒ හැර දෙපාර්ශවයේම පිරිස්වලට දඬුවම් දීමට යාමෙන් සිදුවනුයේ නැවැති ඇති යුද්ධයට අත්තටු දීමක් පමණි. වැරැදිකරුවන් සෙවිය යුතුය. සමාව දීමේ ක්‍රියාවලියක්, සුව වීමේ ක්‍රියාවලියක් වගේම පාපෝච්චාරණ ක්‍රියාවලියක් අපට අවශ්‍යය.

රජයේ හමුදාව මෙන්ම එල්.ටී.ටී.ඊ ය ද වැරැදි කළේය. ඔවුන්ට වඩා වැරැදි කළෝ සිටිති. ඔවුනට වඩා වැරැදි ක‍ළෝ අද ලොකු පුටුවල වැජඹෙති.  එල්.ටී.ටී.ඊ සංවිධානය ආරම්භ වූයේ කෙසේ ද එය අවසන් වූයේ කෙසේ ද යන්න අප විමසා බැලිය යුතුය. අර්බුදයේ මුල සොයා ඊට විසඳුම් සෙවිය යුතුය. එල්.ටී.ටී.ඊ ය ආරම්භ වන්නේ විමුක්තිය සොයමින් වුවද අවසානයේ ඔවුන් තෝරාගත් මග නිසාම ඔවුන්ගේ මුල් අරමුණු ක්‍රමයෙන් වෙනස් විය. අවසානයේදී ඔවුන් ද අතකොළුවක් බවට පත්විය විය. අවසානයේදී හමුදාව මෙන්ම එල්.ටී.ටී.ඊ යද දේශපාලකයන්ගේ පටු වුවමනා ඉටු කරන ලද පාර්ශව දෙකක් බවට පත්විය.

කෙසේ වෙතත් අද වනවිට රටේ යුද්ධයක් නැති වුවත්, තැනින් තැනින් යුද්ධයට අත වනන සිදුවීම් වාර්තා වේ. රටේ දේශපාලකයන්ගේ පටු වුවමනා හා නොමනා තීරණ හේතුවෙන් රට තුළ වරින් වර ගැටුම් ඇති වූ අතර දශක තුනක් පැවැති සිවිල් යුද්ධය ඊට කදිම උදාහරණ සපයයි. සියල්ල දේශපාලකයන් පිට පැටවීමෙන් අත්වන සෙතක් ද අපට නැත. එබැවින් බුද්ධිමත් වීම අප සියලු දෙනා සතු වගකීමකි. රටේ බුද්ධිමතුන් ඊට පියවර තැබීම අනිවාර්යෙන්ම කළ යුත්තකි. උතුර හා දකුණු දැනුම්වත් කිරීමේ මාධ්‍යයට, සිවිල් සංවිධානවලට, විශ්වවිද්‍යාල සිසුන්ට මෙන්ම පාසල් සතුවද ඇත. සාමය, සංහිඳියාව, සමාව දීම හා පාපෝච්චාරණය ගැන කියාදෙන විෂයයක් විෂයමාලාවලට ඇතුළත් කිරීම එහි එක් පියවරකි.

උතුරේ හෝ දකුණේ සියලු දෙනාට  ගැටුම්වලින් මියගිය තම දරුවන්, ඥාතීන්, පියවරුන් හෝ කවුරුන් හෝ සිහි කිරීමේ අයිතිය හිමිවිය යුතුය. එම අයිතිය සුරක්ෂිත විය යුතුය. එහෙත් එම අයිතියට මුවා වී කිසිවකුටවත් තම තමන්ගේ පටු දේශපාලන අරමුණු හෝ මේ රට නැවත ආගාධයකට ගෙන යන ගැටුමක් නිර්මාණය කිරීමට අවස්ථාව නොදිය යුතුය. එය දැන උගත් සියලු දෙනාගේ වගකීමක් හා යුතුකමකි.

අප යුද්ධය අවසන් කළත්, ඇතමෙක් පවසන පරිදි අපි යුද්ධයෙන් ජයග්‍රහණය කළත් අපට තවමත් සාමය ජයගත හැකිව නැත. ලොව ත්‍රස්තවාදය අවසන් කළ එකම රට අප උදම් ඇණුවද තවමත් අපට සාමය ජයග්‍රහණය කිරීමට හැකියාවක් ලැබී නැත. සාමයෙන් ජය ගන්නට නම් අප බොහෝ කළ යුතුය. දැන් හෝ එවැනි දේ ආරම්භ කළ යුතුය. සාමය ජයගැනීමෙන් ලොව පරමාදර්ශී රටක් වීමේ හැකියාව අප සතුය. මේවා අපට බොහෝ දුරින් ඇති නමුත් අපට ළඟා කරගත හැකිය. අවශ්‍ය වන්නේ කැපවීම හා දීර්ඝ කාලීන ප්‍රායෝගික වැඩපිළි‍වෙළක් පමණි. එමෙන්ම එම වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවීමේදී සුදුසු පුද්ගලයන් සුදුසු තනතුරුවලට පත්විය යුතු වීම පූර්ව අවශ්‍යතාවකි.

ඡායාරූපය ෂෙහාන් ගුණසේකර



හර්ෂණ තුෂාර සිල්වා
20.05.17

‘මිඩ්ල් ක්ලාස්’ ක්‍රියිසිස් සහ ‘ඩිකෝඩිං’

අපි ජන සමාජයක් විදියට උග්‍ර අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. දරුවෙක්ගේ සාර්ථකත්වය මනින්නේ, යාන වාහනවලින්, උපාධිවලින්, හම්බවෙන පඩියෙන්, කරන රස්සා...

Blog Archive