නිදහස් අධ්‍යයාපනය, නොමිලේ අධ්‍යාපනය ලබාදීමට කිසිවකුත් විරුද්ධ නැත. අද
පාගමන් යන අන්තරේ හෝ වෙනත් අයකු හෝ වේවා පුද්ගලික උපකාර පන්තිවලින් අධ්‍යාපනය ලබා
නැද්ද ? අසල ඇති ඩිස්පෙන්සරියකින් සෞඛ්‍ය සේවා ලබා නැද්ද ?
සයිටම් අර්බුදය මේ වනවිට දැඩි ලෙස පාර්ශවීකරණයකට ලක්ව ඇත. දේශපාලනීකරණය වී
ඇත. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රමුඛ වෘත්තීය සමිති අද තම පටු වුවමනා මුදුන්
පමුණුවා ගැනීම සඳහා සයිටම් අර්බුදය යොදාගනිමින් සිටිති.
නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය ගැන කතා කරන රෝගීන් අයිතිවාසිකම් ගැන කතා
කරන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතින් කොතරම් රෝගී අයිතිවාසිකම් කඩ වන්නේ ද ?
රෝහලේ ඖෂධ තිබියදී ෆාමසියකින් ඖෂධ ගන්නැයි ලියන වෛද්‍යවරු අදටත් සිටිති. මා
පුද්ගලිකවම ද මෙම අත්දැකීමට මුහුණ දී ඇත. කොළඹ ජාතික රෝහලේදී මේ තත්ත්වයට
කොතෙකුත් මුහුණ දුන් අය වෙති.
රජයේ රෝහලේ සිටිය යුතු වුවද පෞද්ගලික චැනල් සේවා අවසන් කර රජයේ රෝහලට
පැමිණෙන වෛද්‍යවරුන් ගැන දැනගන්නට අදටත් අපට හැකියාව ඇත. තමා උගත් දෙයින්, තමාගේ
දක්ෂතාවයෙන් තමා කළ කැපවීමෙන් ප්‍රයෝජනයක් ගත්තාට වරදක් නැත. එහෙත් වෛද්‍ය වෘත්තීය
තමාගේ බූදලය යැයි සිතා කටයුතු කරන වෛද්‍යවරු .. දෙකක් ගසා පන්නා දැමිය යුතුය.
අද පාගමන් යන වෛද්‍ය සිසුන් අද නිදහස් අධ්‍යාපනය ගැන කියන කතා තවත් අවුරුදු
පහකින් හයකින් කියාවිද ? රෝගී අයිතිවාසිකම් ගැන කියන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ
සංගමයේ සාමාජිකයන් රෝගීන් කොතරම් නම් අපහසුතාවට පත් කරන්නේ ද ?
අදටත් පුද්ගලික උපකාරක පන්තියකට යන්නට සල්ලි නැති සිසුන් ඕනෑ තරම් ලංකාවේ
සොයාගන්නට ඇත. වැඩිදුර යා යුතු නැත බස්නාහිර පළාතනේ සොයා ගත හැක. අන්තරේ මිතුරන්
පුද්ගලික උපකාරක පන්ති ගැන කිනම් අදහසක් දරන්නේ ?
පාසල් අධ්‍යාපනය හා පුද්ගලික උපකාරක පන්ති නියාමනය ප්‍රායෝගිකව දුෂ්කර
කාර්යයකි. එහෙත් අපට කළ හැකි දෙය නම් පාසල් අධ්‍යාපනය ශක්තිමත් කිරීමය. පාසල්වල
හොඳින් ඉගැන්වීම් කටයුතු කිරීමය. එසේම හොරු ගුරුවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග
ගැනීම, සිසුන් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීම, විෂය මාලා නවීකරණය හා විධිමත්
කිරීම ආදී ක්‍රියාමාර්ග අපට ගත හැකිය.
එහෙත් උපාධි පිරිනමන ආයතන පෞද්ගලික විශ්ව විද්‍යාල නියාමනය කිරීමේ හැකියාව
රජය සතුව අදාළ වෘත්තීය ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨයන් ප්‍රමුඛ පිරිස සතු විය යුතුය. රජයේ
වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉන් එකකි. අප කිසිවකුත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය
එපා යැයි කියන්නේ නැත. එහෙත් එය පටු අරමුණු පුද්ගල වුවමනාවලින් බැහැර විය යුතුය.
සයිටම් වසා දැමීම වෙනුවෙන් ගෙනෙන තර්කයක් වනුයේ මිනිස් ජීවිතය. සෑම වෘත්තීය
ක්ෂේත්‍රයක්ම පුද්ගල බද්ධය. වෛද්‍යවරයාගේ අත් වැරැදීමකින් රෝගියකු මිය යන්නා සේම,
ඉංජිනේරුවකු වරදින් ද අහිංසක පුද්ගලයකු මියයන්නට පුළුවනි. අනෙක් අතට වෛද්‍යවරුන්ගේ
අත්වැරැදීම්, නොසලකා හැරීම් නිසා අද වනතෙක් කොතරම් ප්‍රමාණයක් මිය ගොස් ඇත් ද ?
එසේ අත්වැරැදීම් කළ, නොසලකා හැරීම් කළ සියලු දෙනා සයිටම් වෛද්‍යවරුන් ද ?
අධ්‍යාපනය ලැබිය යුත්තේ මුදල් ඉපැයීමේ අරමුණින් නොවූවත්, සෑම දෙනාම අධ්‍යාපනය
ලබන්නේ යහපත් ජීවිතයක් උදා කරගැනීමටය. අන්තරේ සිටින සියලු දෙනාත් අද රජයේ විශ්ව
විද්‍යාලවල අධ්‍යාපන ලබන සියලු දෙනාත් පුද්ගලික අධ්‍යාපන ආයතනවල අධ්‍යාපනය ලබන
සියලු දෙනාත් යහපත් ජීවිතයක් අපේක්ෂා කරති. සියලු දෙනාටම දේශපාලන අරමුණු ඉලක්ක ප්‍රත්පත්ති
මෙන්ම පුද්ගලික අරමුණු ඉලක්ක ද ඇත. රැකියාවක් අවශ්‍යය. ජීවත්වන්නට මුදල් අවශ්‍යය.
එම අධ්‍යාපනය සෛද්ධාන්තික අධ්‍යාපනය වන්නට පුළුවන. එසේත් නැතිනම් වෘත්තීය අධ්‍යාපනයක්
වන්නට පුළුවනි. මේවා ඉතා සරල කරුණුය.
රාජ්‍ය අධ්‍යාපනය තිබිය යුතුය. නිදහස් අධ්‍යාපනය මෙන්ම අධ්‍යාපනයේ නිදහස ද
තිබිය යුතුය. නැති බැරි අයට, වත්කම් අතින් පහළ මට්ටමේ සිටින සියලු දෙනාට නොමිලේ
අධ්‍යාපනය ලැබීමේ වරප්‍රසාදය හිමිවිය යුතුය. ඇති හැකි අයට අවශ්‍ය නම් රාජ්‍ය අධ්‍යාපනය
ද අවශ්‍ය නම් පුද්ගලික අධ්‍යාපනය ද ලැබීමේ අයිතිවාසිකම වරප්‍රසාදය හිමිවිය යුතුය.
එහෙත් අධ්‍යාපනය ලැබීමේදී ඇති හැකි අය ද නැති බැරි අය ද කියා වෙනසක් නොතිබිය
යුතුය. රාජ්‍ය හෝ පෞද්ගලික වේවා, උපාධි පිරිනමන සියලු ආයතන අංශවල ප්‍රමිතිය මැන
බැලෙන නිර්ණායක, සාධක ආදියේ වෙනසක් නොවිය යුතුය. ගුණාත්මකභාවය මැන බැලෙන සාධකවල
වෙනසක් නොවිය යුතුය. තත්ත්ව එක සමාන විය යුතුය.
ඡායාරූය ෂෙහාන් ගුණසේකරගෙනි
හර්ෂණ තුෂාර සිල්වා
2017.02.18

