Wednesday, August 31, 2016

සයිටම්

 #සයිටම් මෙරට අධ්‍යාපන අරගලයේ #හැරවුම් ලක්ෂ්‍යක් වන බවට දැන් සැකයක් නැත. සයිටම් #අර්බුදයේදී අප විසින් හඳුනාගත යුතු කණ්ඩායම් රැසක් ඇත. සයිටම් අර්බුදය පෞද්ගලික විශ්ව විද්‍යාලය වසා දැමීමෙන් නොව සියලු දෙනාට අධ්‍යාපන අවස්ථා විවර කර දීමෙන් අවසන් වන අරගලයක් බවට පත් කරගැනීම අප සියලු දෙනාගේ අරමුණ බව කිව යුතුය.
සයිටම් අර්බුදයේදී පැහැදිලිව පෙනෙන පාර්ශව කිහිපයකි. එකක් අන්තර් විශ්ව විද්‍යාලය ශිෂ්‍ය බල මණ්ඩලය හා වෛද්‍ය පීඨ එකතුවයි. මාලඹේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලයේ මාපිය එකමුතුව තවත් එකකි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තවත් පාර්ශවයකි. ආණ්ඩුව තවත් පාර්ශවයකි. මාධ්‍ය, මහජනතාව හා සයිටම් වෙනුවෙන් පෙනි සිටින සමාජ මාධ්‍ය ඇතුළු කණ්ඩායම් තවත් පාර්ශවයකි. අනෙක් පාර්ශව ලෙස සිවිල් සංවිධාන පෙන්වා දිය හැකිය. සයිටම් අර්බුදය හේතුවෙන් පුරවැසි බලය ඇතුළු සංවිධානය කිහිපයකම අභ්‍යන්තර මත ගැටුම් ද ඇති වූ බව නොරහසකි.
අප විසින් මේ කණ්ඩායම් නිසි ලෙස බෙදා වෙන් කරගැනීමේ මේ සටනේදී ඉතා වැදගත් වනු ඇත. පුද්ගලික විශ්ව විද්‍යාල අවශ්‍ය බව අප විසින් තේරුම් ගත තිත්ත ඇත්තකි. එහෙත් ඒවා නියාමනය කිරීම, රාජ්‍ය විශ්ව විද්‍යාල තරගකාරී උසස් ගුණාත්මකභාවයකින් යුතු ඒවා බව පත් කිරීම ආදී කරුණු වෙනමම සාකච්ඡා කළ යුත්තකි.
සයිටම් වසා දැමීමෙන් මේ අර්බුදය විසඳෙන්නේ නැත. රාජ්‍ය විශ්ව විද්‍යාලවලට වසරකට ඇතුළත් කරගන්නා සිසුන් සංඛ්‍යාව 25,---000කට ආසන්නය. රජය සරසවි වරම් ලබන සියලුම සිසුන් විශ්ව විද්‍යාලවලට බඳවා ගන්නා තෙක්, සෑම වසරකම සරසවි වරම් ලැබූ එහෙත් විශ්ව විද්‍යාලයකට ප්‍රවේශ වීමේ අවස්ථාව අහිමි වූ සිසුන් කුමක් කළ යුතු ද ? යන ප්‍රශ්නයට පුද්ගලික විශ්ව විද්‍යාල එපා යැයි පවසන පිරිස පිළිතුරක් දිය යුතුයි. 
සයිටම් සිසුන් රැවටීමකට, අසාධාරණයකට ලක් වී ඇති බව පැහැදිලිය. අධ්‍යාපන ආයතනයක් වසා දැමීම අරගල කරනවාට වඩා, සයිටම් සිසුන් සමඟ එක්ව ඔවුන්ට වූ අසාධාරණයට එරෙහිව සටන් කළ යුතු බව නැවත නැවතත් අවධාරණය කරනු කැමැත්තෙමි. මේ රටේ තව තවත් අධ්‍යාපන ආයතන බිහිවිය යුතුයි. රජයේ මෙන්ම පුද්ගලික අංශයේ අධ්‍යාපන ආයතනය නියාමනය කරන එක් ආයතනයක්, පෞද්ගලික අධ්‍යාපන ආයතන පිහිටුවීම සම්බන්ධයෙන් නිශ්චිත නීතියක් පිහිටුවීම සම්බන්ධයෙන් අප සියලු දෙනා එක්ව අරගල කළ යුතුයි.
එබැවින් නියම කණ්ඩායමට පිරිසක් එක්විය යුතුයි. නියම කණ්ඩායම යනු කුමක් ද ?  සයිටම් විශ්ව විද්‍යාලයේ වැරැදි හදාගන්නා ලෙස බල කරන, පුද්ගලික අධ්‍යාපන ආයතන හා රජයේ විශ්ව විද්‍යාල තවත් බිහි කරන්නැයි ඉල්ලන, රජයේ හා පුද්ගලික යන දෙඅංශයේම අධ්‍යාපන ආයතන නියාමනය කරන, ඒවායේ ගුණාත්මකභාවය පරීක්ෂා කරන්නැයි ඉල්ලන, ඒ සඳහා ආයතන පිහිටුවන්නැයි ඉල්ලන, රාජ්‍ය ආධ්‍යපන ප්‍රතිපත්තියක් ඉල්ලන කණ්ඩායම නියම කණ්ඩායම යැයි විශ්වාස කරමි. 

#සයිටම් #ප්‍රතිපත්තිය #අධ්‍යාපන #අරගලය #හැරවුම් #අර්බුදය

හර්ෂණ තුෂාර සිල්වා
2016.08.31


අපි ජීවිත ගෙවා දමන ආකාරය ගැන කිව්වාම සංවාද කිහිපයකම යෙදෙන්න අවස්ථාව ලැබුණා. අපි ජීවිතවල සතුට තීරණය කරුණු දෙකක් තියෙනවා. එකක් අපි කැමැති දෙය කිරීම. අනෙක අපි කැමැති පුද්ගලයන් සමඟ සිටීම. අපි කැමැති දේවල් කිරීම තවත් කෙනෙකුගේ අකැමැත්තට හේතු වෙන්න පුළුවන්..ඒ ගැන වෙනමම කතා කරමු.
අපේ ජීවිතවල විවිධ ප්‍රශ්න අභියෝග, අරගල කරන්න සිදුවෙනවා. ඒක හැමෝටම පොදු කරුණක්. රටේ ජනාධිපතිවරයා, ලොව පොහොසත්ම පුද්ගලයා සිට ලොව දුප්පත්ම පුද්ගලයා දක්වා පොදු කරුණක්. එක් එක් අයගේ සමාජ මට්ටම්, වත් පොහොසත් කම්, හැකියා, දක්ෂතා, පවුල් පසුබිම මේ හැමදේම මත ඔවුන්ගේ ප්‍රශ්න රඳා පවතිනවා. සමහර ප්‍රශ්න විනාඩි දෙක තුනකට සීමා වෙන්න පුළුවන්. හැම ප්‍රශ්නයකටම උත්තරයක් තියෙනවා කිව්වට සැබෑවටම උත්තර නැති ප්‍රශ්නත් තියෙනවා. සමහර ප්‍රශ්න අපි මැරෙන තුරාවටම අපි හිත්වල ඉතිර වෙන්න පුළුවන්.
අපි හැම දවසකම මග තොටදී විවිධාකාරයේ පුද්ගලයන් හමුවෙනවා. සමහරු මුළු ජීවිත කාලේටම ඒ දකින මොහොත වෙන්න පුළුවන්. මේ හැමෝම විවිධාකාරයේ ප්‍රශ්න ඔළුවේ තියාගෙන ජීවත් වෙන මිනිස්සු වෙන්න පුළුවන්. ඒ නිසා හැමෝම කුමක් හෝ අරගලයක නිරත වෙන අරගලකරුවෝ. ඒකට පක්ෂ භේදයක්, ආගම් භේදයක්, කුල මල භේදයක් නැහැ. බඩගින්න කියන්නේ හැමෝටම පොදු ප්‍රශ්නයක්. අපි කුමන මට්ටමක, කුමන දේශපාලන දැක්මක් හෝ මොනයම් හෝ දෙයකට අයිති හෝ අදහසක් දැරුවත් මුළු ලෝකයම මුහුණ දෙන්නේ එකම ප්‍රශ්න වැලකට. එහෙත් එකිනෙකා ඒවා දකින ආකාරය, විසඳුම් සොයන ආකාරය එකිනෙකට වෙනස්. 
ඒ නිසා අපි හැමෝටම පුළුවන් තරම් කාරුණික වීමට උත්සුක විය යුතුයි. හැමෝටම ආදරයෙන් කටයුතු කරන්න මහන්සි වෙන්න ඕනේ. මේක සියයට සියයක්ම අපට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. එහෙත් අපට හමුවෙන මනුස්සයෙක් ඉල්ලන උදව්වක් කරන්න, ඔවුන්ට කාරුණික වෙන්න උත්සාහ කරන අපට ආත්ම තෘප්තියක් ගෙන දේවි. අප උපකාර කරන පුද්ගලයන්, අපව රවටාවි. අපේ මුදල් කොල්ලකාවී. අපේ සිත් රිදවාවි. එහෙම වෙන්නේ අපි බොහෝ දේ බලාපොරොත්තු වෙන්න ගියාම. සිතුවිලි තියෙන මිනිස්සු විදියට අපට අන් අයට කාරුණික වීමට යෑමෙන් සිත් රිදවීම් ඇතිවේවි. එහෙත් අනාගතයේ දවසක ඔබට සතුටු වෙන්න බොහෝ දේ ඉතිරි වේවි. කාරුණික වීම, ආදරණීය වීම ඔබට දවසක සතුටක් ගෙන ඒවි.

හර්ෂණ තුෂාර සිල්වා 
2016.08.31

Tuesday, August 30, 2016

අප විසින් ගෙවා දමන ජීවිතවල ඇති  සංකීර්ණ බව අවබෝධ වන්නේ යම් මොහොතකට වැඩ ලෝකයෙන් නිදහස් වූ වෙලාවකටය. අප ගෙවා දමන්නේ කොතරම් වෙහෙසකර, සංකීර්ණ නිස්සාර ජීවිත ද යන්න තේරුම් යන්න ඊටත් වඩා සරල දිවි ගෙවන්නන් හමු අවස්ථාවකදීය. අප බොහෝ ප්‍රශ්නවලට මුහුණ දී සිටින බව සිතුවත්, ඊටත් වඩා ප්‍රශ්නවල මුහුණ දෙන පිරිසක් සිටින බව අපට තේරුම් යන්නේ ඔවුන් හමුවූ විටය. සංකීර්ණ ජීවිතවලින් මිදීම සඳහා අප විසින් තෝරාගත යුතු බොහෝ දේ ඇති නමුත් වෙහෙසකර බව නිසාම එවැනි දෑ අප අතින් මඟ හැරී යයි. 

වෘත්තීයමය ක්ෂේත්‍රවල ඇති වැටුප්, වෘත්තීය බවක් නොතිබීම්, බොහෝ දේ නිසා අප පරීක්ෂණාගාර මීයන් බවට පත්ව ඇත. එයින් මිදීමට පොත් කියවීම, ගීතවලට සවන්දීම වැනි විවිධ පිළිතුරු තිබුණද ඒවා පවා අප වෙතින් මඟ හැරී යන්නේ අප නොදැනුවත්මය. එහෙයින් සංකීර්ණ ජීවිතවලින් ඈත්වීමට බොහෝ වෙහෙසක් ගැනීමට සිදුව ඇත. අනෙක් අතට අපව වඩාත් වෙහෙසට පත් කරන්නේ අපට සමීප යැයි සිතන අප වඩාත් ආදරය කරන පිරිස්ය. මනුස්ස බැඳීම් පවා අද වනවිට සංකීර්ණ බවට පත්ව ඇත. මනුස්ස බැඳීම් ද ලාභ අලාභ පවතින ව්‍යාපාරවල තත්ත්වයට පත්ව ඇත. සමහර අවස්ථාවකදී එසේ නොවුණද මනුස්ස බැඳීම් කිසිදු හේතුවක් නොමැතිවම අපෙන් දුරස්ව යයි. මිනිසුන් අනෙකාගේ සිතුවිලි නොතේරුම් ගැනීමට තරම් අකාරුණික ලෝකයක අප ජීවත්වන බව වරින් වර පසක් වීමම කනගාටුවට කරුණකි. එහෙත් තෘප්තිමත් බව ගෙනෙන යම් අවස්ථාවක් කොයිම හෝ අවස්ථාවක උදාවිය හැකි යන විශ්වාසයෙන් අපි ජිවිත ගෙවා දමන්නෙමු. ඒ විශ්වාසය බොහෝ විට අප ජීවත් කරවනු ඇත.  

Friday, August 19, 2016

යුද්ධයේ බිහිසුණු බව කියන්නට අපට ඇති හොඳම උදාහරණය යුද්ධයක් නැතිව පුපුරා ගිය සාලාවේ හමුදා කඳවුරය. අයිලාන් කුර්දි, ඔම්රාන් මේ යුද්ධයේ බිහිසුණු බව කියන්නට තවත් කතාය. යුද්ධය අයිලාන් කුර්දිට ජීවිත අහිමි කළ අතර ඔම්රාන්ට තවත් අවස්ථාවක් දුන්නේය. මලාලා තවත් චරිතයකි. සිරියානු යුද්ධය නිසා මේ වනවිට මියගොස් ඇති දරුවන්ගේ සංඛ්‍යාව පනස් දහසකට ආසන්නය. ඔවුන් කළ වරදක් නැත. ඔවුන් දැනගෙන සිටි දෙයක් නැත. ඔවුන් දැන දේශපාලනයක් නැත. 
යුද්ධවලට වගකිව යුත්තේ ඇමෙරිකාව යැයි චෝදනා කරන මෙරට සිටින පිරිස් ඇතුළු ලොව බොහෝ පාර්ශව, තවත් යුද්ධයක් ඇරැඹීම සඳහා පිඹුරුපත් සකසති. අර ලේ මේ ලේ යනුවෙන් බෝඞ් ගසා ගන්නා අප කවුරුවත් කවදාවත් මනුස්ස ලේ වෙනුවෙන් සටන් වදින්නේ නැත. 
වසර තිහක යුද්ධය පැවැති කාලයේ මෙරට මියගිය දරුවන්ගේ සංඛ්‍යාව කොතරම් ද යන්න අප නිශ්චිතව දන්නේ නැත. යුද්ධයත්, දේශපාලන අර්බුදත් නිසා රටට අහිමි වූ තරුණ පරම්පරාවේ ගණන අප දන්නේ නැත. නැති වූවන්, අතුරුදන් වූවන්, පැහැරගත්තවුන් මේ සියල්ල සොයා බැලිය යුතුය.
අතුරුදන්වූවන් පිළිබඳ යාන්ත්‍රණය ක්‍රියාත්මක කළ යුත්තේ අදාළ පවුල්වල කැමැත්ත අකැමැත්ත අනුව මිස රජයේ, ජාත්‍යන්තරයේ හෝ වෙනත් පාර්ශවවල කැමැත්ත නොවන බව අප තේරුම් ගත යුතුය. යමෙක් මිය ගියේද, යමෙක් අතුරුදන් වූයේද ඔවුන් පිළිබඳ ඉදිරි තීරණයක් ගැනීමේ අයිතිය, අදාළ පුද්ගලයාගේ මාපියන්, ඥාතීන්, සහෝදර සහෝදරියන්, දරුවන් හෝ සමීප ඥාතීන් සතුවිය විය. මරණයෙන් පසු අදාළ පුද්ගලයා වෙනුවෙන් අපට කළ හැකි දෙයක් නැත. ඔහුට ජීවිතය දෙන්නට අපට හැකියාවක් නැත. එහෙත් අපේ රටේ පැවැති දුක්ඛිත ඉතිහාසය නැවත කවදාවත් ඇති නොවන්නට නම්, එසේ එවැන්නක් ඇතිවන්නට හේතු සොයා ඒවාට පිළියම් සෙවිය යුතුය.
මරණයට හෝ අතුරුදන්වූවන් පිළිබඳ සෙවීම යනු සංවේදී ක්‍රියාවලියකි. තමන් හැර ගිය අයකු සම්බන්ධයෙන් සෙවීම යම් විටෙක ඔහුගේ හෝ ඇයගේ සමීපතයන්ගේ දුකක් ගෙන දිය හැකිය. ඔවුන්ගේ අකැමැත්තෙන් එවැන්නක නොකළ අතර යුතු අතරුදන් වූ අයකු සම්බන්ධයෙන් සෙවීමට එම පුද්ගලයාගේ සමීපතයන් කැමැත්ත පළ කළහොත් එය නිවැරැදි ආකාරයකින් සිදු කළ යුතුය.
අද වනවිට ලසන්තගේ ඝාතනය, එක්නැළිගොඩගේ ඝාතනය, ජනක සිසිත, තාජුඩීන්, ලලිත් කූගන් දේශපාලන සටන් පාඨ වී ඇති එය ඔවුන්ගේ සමීපතයන්ගේ හිත රිදවීමකට ලක් කරනවා විනා අන් යමක් කරන්නේ නැත. එම නිසා අතුරුදන් වූවන් පිළිබඳ සෙවීමේ ක්‍රියාවලිය නියම ක්‍රමවේදයටම සිදුවිය විය යුතුය.
ඉන්පසු බලහාත්කාරයෙන් අතුරුදන් කර ඇතිනම් එසේ කළවුන්ට දේශපාලන බලපෑම් හෝ දේශපාලන ඇඟලි ගැසීම්වලින් තොරව දඬුවම් දිය යුතුය. යුද්ධයේ සමයේදී රටේ රාජ්‍ය හමුදාව නියෝජනය කරන පිරිස්, එල්.ටී.ටී.ඊ සංවිධානයේ පිරිස් මේ දෙකටම අයත් නොවන සාමාන්‍ය පිරිස් අතුරුදන්වන්නට ඇත. මියයන්නට ඇත. එබැවින් ඒ පිළිබඳව කරුණු සොයා සමාව දීමේ ක්‍රියාවලියකට අප ගමන් කළ යුතුය.
සංහිඳියාව, සාමය ගොඩනැගීමට පෙර අප එකිනෙකාට සමාව දී රට ඉදිරියට ගෙන යෑමට උත්සුක විය යුතුය. උතුරේ ජනතාවට දකුණේ ජනතාවටත්, දකුණේ ජනතාවට උතුරේ ජනතාවටත් සමාව දෙන්නට බැරි නම් අපට කෙදිනකවත් සංහිඳියාවක් ගොඩනැගිය නොහැකිය. 

හර්ෂණ ත-ුෂාර සිල්වා
19.08.16

Friday, August 5, 2016

සටන කුමක් ද ? කා සමඟ ද? කොහොමද කරන්නේ ?

 මාලඹේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලය නමින් හඳුන්වන, සයිටම් හි මාපිය සංවිධානය විසින් අද පුද්ගලික වෛද්‍ය අධ්‍යාපනය රටට අවශ්‍ය ඇයි ? යන තේමාව යටතේ සම්මන්ත්‍රණයක් සංවිධානය කර තිබුණි. මේ සම්මන්ත්‍රණයට දඹර හාමුදුරුවෝ, ගාමිණි වියන්ගොඩ, සමන් රත්නප්‍රිය, උපුල් ජයසූරිය, ජේ.සී වැලිඅමුණ, මහාචාර්ය නෙවිල් පෙරේරා, රාජා උස්වැටකෙයියාව ආදී පිරිසක් සහභාගී වෙමින් දේශන පැවැත්වූහ. 
මෙහිදි යමෙක් සෘජුවම සයිටම් ආයතනය වෙනුවෙන් පෙනි සිටිද්දි තවත් දේශකයන් මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. මයුර සේනානායක ප්‍රශ්න ඇසීමට උත්සාහ කළ අවස්ථාවේදී , මා විශ්වාස කරන පරිදි මාපියන් හැසිරුණු ආකාරය නම් කිසිසේත්ම අනුමත කළ නොහැක.
එහෙත් සාකච්ඡාවෙන් පසු ගැමුණු විජේරත්න, මහාචාර්ය නෙවිල් පෙරේරා, කොළඹ වෛද්‍ය පීඪයේ සිසුන්, පොලිසිය, මාලඹේ සිසුන් සුහදත්වයෙන් වත්මන් ගැටලු පිළිබඳ සාකච්ඡා කළ ආකාරය නම්  අගය කළ යුතුමය. 
අපට සයිටම් පිළිබඳව ප්‍රශ්නයක් ඇත. එහෙත් ප්‍රශ්නය විසඳිය යුත්තේ සයිටම් වසා දැමීමෙන් නොවන බව අප තේරුම් ගත යුතුය. සයිටම් සිසුන්ට අසාධාරණයක් වී ඇත. එමෙන්ම සමස්ත සෞඛ්‍ය ක්ෂේත්‍රයක්ට ද අසාධාරණයක් සිදු ව ඇති බව අප තේරුම් ගත යුතුය.
සයිටම් වසා දැමීම යනු එහි සිටින සිසුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමකි. පුද්ගලික අධ්‍යාපන ආයතන බිහිවිය යුතු බව මම තරයේ විශ්වාස කරමි. එය හුදෙක් මගේ පුද්ගලික මතය මිස මා නියෝජනය කරන පාර්ශව, මා සේවය කරන ආයතනයේ හෝ මිතුරු කණ්ඩායම්වල මතය ද නොවේ. රටේ විශ්ව විද්‍යාලවල දොරටු විවර වන්නේ 25,000කට පමණි. ඉතිරි පිරිස පොල් ගාන්න ද යනුවෙන් ප්‍රශ්නයක් නොනැගිය යුතුය. උසස් පෙළින් පසු සරසවි වරම් නොලබන පිරිසට අධ්‍යාපනය ලැබීමට අවස්ථාවක් තිබිය යුතුය. එය රටින් පිට හෝ රට තුළ හෝ විය යුතුය. රට තුළ නම් ආර්ථික වශයෙන් හා රටේ අධ්‍යාපන ක්ෂේත්‍රය ලෙස එය අප ලබන ජයග්‍රහණයකි.
සයිටම් අර්බුදය අපි නිවැරැදි ලෙස විග්‍රහ කර ගත යුතුය. අර්බුදය විසඳා ගත යුත්තේ කා සමඟ ද කෙලෙසක ද කුමන ආකාරයකින් ද යන්න අප විසින් විග්‍රහ කර ගත යුතුය. එමෙන්ම මේ ප්‍රශ්නය සමස්ත අධ්‍යාපනයේම ප්‍රශ්නයක් වන අතර දේශපාලනීකරණය වීමට ඉඩ නොදිය යුතුය. මෙය ලියන මා සිසුවෙකි. සයිටම් ප්‍රශ්නය වෙනුවෙන් හඬ නගන එක් පාර්ශවයකි, රාජ්‍ය විද්‍යාල නියෝජන කරන ශිෂ්‍ය පිරිස. මාලඹේ සිසුන් අනෙක් කොටසය. රාජ්‍ය හා පුද්ගලික අංශයේ ගුරුවරු මීට මැදිහත්ව සිටිති. වෛද්‍යවරු මැදිහත්ව සිටිති. දේශපාලන බලාධිකාරිය මීට මැදිහත්ව සිටිති. නිදහස් අධ්‍යාපනය, නිදහසේ අධ්‍යාපනය ලැබීමට අයිතිය, රටේ දරුවන්ගේ අධ්‍යාපනය අයිතිය යන තුන වෙනුවෙන් පෙනි සිටින පිරිස මේ අර්බුදය දේශපාලන වාසියක් ගෙන විසඳුමකට ඉඩ නොදීමට වගා බලා ගත යුතුය. අප මේ ප්‍රශ්නය විසඳා ගත යුත්තේ සරලව කියනවා නම්, අපේ නංගිලා මල්ලිලාට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීම වෙනුවෙනි. මොකද මේ රටේ අධ්‍යාපන ප්‍රශ්නය තවත් පරම්පරාවකට ඉතිරි නොකළ යුතුය. සෑම ප්‍රශ්නයකටම විසඳුමක සෙවීමට යෑමේදී එක පරම්පරාවකට කැපවීමක් කිරීමට සිදුවන බව අත්දැකීමෙන් නොවුණත්, අවබෝධයෙන් දනිමි. ඒ කැප කිරීමට මා නියෝජනය කරන පරම්පරාව වෙනුවෙන් මා සූදානම්, ඔබ ?

හර්ෂණ තුෂාර සිල්වා
2016.08.05

ජයග්‍රහණය පරාජයට හේතුවක් කර නොගත යුතුයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ මේ නැගී සිටීම ගැන අප සතුටු විය යුතුයි. එහෙත් කණ්ඩායම හදා ගත වැරැදි රැසක් ඇති බව අමතක නොකළ යුතු. දැනටමත් ලබාගෙන ඇති ජයග්‍රහණ නිසා වැරැදි අමතකව යෑමට ඉඩ නොදිය යුතුය. එමෙන්ම දඟ පන්දු යවන්නන්ගේ පිටියක මිචෙල් ස්ටාර්ක් දැක් වූ දක්ෂතාව අප බොහෝ සෙයින් අගය කළ යුතුය. දිමුත් කරුණාරත්න තෙවැනි ටෙස්ට් තරගයේ දී අවස්ථාවක් ලැබේවිද නැද්ද යන්න අනාවැකි පළ කළ නොහැක. තෙවැනි ටෙස්ට් තරගයේදී අවස්ථාවක් ලැබුණහොත් ඔහු ඉන් උපරිම ප්‍රයෝජන ගත යුතුය. කණ්ඩායම එක්වන ක්‍රීඩකයන් අදක්ෂයන් නොවන බව අපි දනිමු. එහෙත් අවශ්‍ය අවස්ථාවේදී දස්කම් නොදැක්වීම හෝ එකදිගට දක්ෂතා නොදැක්වීම අපේ කණ්ඩායම තුළ අප දිගින් දිගටම දුටු අඩුපාඩුවයි. සංගක්කාර පමණක් එම තත්ත්වයෙන් මිදුණු අතර මැතිව්ස් හා ඩිල්ෂාන් ද පසුගිය කාලයේ ඒ අපලයෙන් තරමක් හෝ මිදී සිටිනු අපට දක්නට ලැබුණි. ඒ නිසා ඉදිරිය කතා කරන්නට පෙර මේ තරගය ජයගෙන සිටිමු.

‘මිඩ්ල් ක්ලාස්’ ක්‍රියිසිස් සහ ‘ඩිකෝඩිං’

අපි ජන සමාජයක් විදියට උග්‍ර අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. දරුවෙක්ගේ සාර්ථකත්වය මනින්නේ, යාන වාහනවලින්, උපාධිවලින්, හම්බවෙන පඩියෙන්, කරන රස්සා...

Blog Archive