මාලඹේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලය නමින් හඳුන්වන, සයිටම් හි මාපිය සංවිධානය විසින් අද පුද්ගලික වෛද්‍ය අධ්‍යාපනය රටට අවශ්‍ය ඇයි ? යන තේමාව යටතේ සම්මන්ත්‍රණයක් සංවිධානය කර තිබුණි. මේ සම්මන්ත්‍රණයට දඹර හාමුදුරුවෝ, ගාමිණි වියන්ගොඩ, සමන් රත්නප්‍රිය, උපුල් ජයසූරිය, ජේ.සී වැලිඅමුණ, මහාචාර්ය නෙවිල් පෙරේරා, රාජා උස්වැටකෙයියාව ආදී පිරිසක් සහභාගී වෙමින් දේශන පැවැත්වූහ.
මෙහිදි යමෙක් සෘජුවම සයිටම් ආයතනය වෙනුවෙන් පෙනි සිටිද්දි තවත් දේශකයන් මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. මයුර සේනානායක ප්‍රශ්න ඇසීමට උත්සාහ කළ අවස්ථාවේදී , මා විශ්වාස කරන පරිදි මාපියන් හැසිරුණු ආකාරය නම් කිසිසේත්ම අනුමත කළ නොහැක.
එහෙත් සාකච්ඡාවෙන් පසු ගැමුණු විජේරත්න, මහාචාර්ය නෙවිල් පෙරේරා, කොළඹ වෛද්‍ය පීඪයේ සිසුන්, පොලිසිය, මාලඹේ සිසුන් සුහදත්වයෙන් වත්මන් ගැටලු පිළිබඳ සාකච්ඡා කළ ආකාරය නම් අගය කළ යුතුමය.
අපට සයිටම් පිළිබඳව ප්‍රශ්නයක් ඇත. එහෙත් ප්‍රශ්නය විසඳිය යුත්තේ සයිටම් වසා දැමීමෙන් නොවන බව අප තේරුම් ගත යුතුය. සයිටම් සිසුන්ට අසාධාරණයක් වී ඇත. එමෙන්ම සමස්ත සෞඛ්‍ය ක්ෂේත්‍රයක්ට ද අසාධාරණයක් සිදු ව ඇති බව අප තේරුම් ගත යුතුය.
සයිටම් වසා දැමීම යනු එහි සිටින සිසුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමකි. පුද්ගලික අධ්‍යාපන ආයතන බිහිවිය යුතු බව මම තරයේ විශ්වාස කරමි. එය හුදෙක් මගේ පුද්ගලික මතය මිස මා නියෝජනය කරන පාර්ශව, මා සේවය කරන ආයතනයේ හෝ මිතුරු කණ්ඩායම්වල මතය ද නොවේ. රටේ විශ්ව විද්‍යාලවල දොරටු විවර වන්නේ 25,000කට පමණි. ඉතිරි පිරිස පොල් ගාන්න ද යනුවෙන් ප්‍රශ්නයක් නොනැගිය යුතුය. උසස් පෙළින් පසු සරසවි වරම් නොලබන පිරිසට අධ්‍යාපනය ලැබීමට අවස්ථාවක් තිබිය යුතුය. එය රටින් පිට හෝ රට තුළ හෝ විය යුතුය. රට තුළ නම් ආර්ථික වශයෙන් හා රටේ අධ්‍යාපන ක්ෂේත්‍රය ලෙස එය අප ලබන ජයග්‍රහණයකි.
සයිටම් අර්බුදය අපි නිවැරැදි ලෙස විග්‍රහ කර ගත යුතුය. අර්බුදය විසඳා ගත යුත්තේ කා සමඟ ද කෙලෙසක ද කුමන ආකාරයකින් ද යන්න අප විසින් විග්‍රහ කර ගත යුතුය. එමෙන්ම මේ ප්‍රශ්නය සමස්ත අධ්‍යාපනයේම ප්‍රශ්නයක් වන අතර දේශපාලනීකරණය වීමට ඉඩ නොදිය යුතුය. මෙය ලියන මා සිසුවෙකි. සයිටම් ප්‍රශ්නය වෙනුවෙන් හඬ නගන එක් පාර්ශවයකි, රාජ්‍ය විද්‍යාල නියෝජන කරන ශිෂ්‍ය පිරිස. මාලඹේ සිසුන් අනෙක් කොටසය. රාජ්‍ය හා පුද්ගලික අංශයේ ගුරුවරු මීට මැදිහත්ව සිටිති. වෛද්‍යවරු මැදිහත්ව සිටිති. දේශපාලන බලාධිකාරිය මීට මැදිහත්ව සිටිති. නිදහස් අධ්‍යාපනය, නිදහසේ අධ්‍යාපනය ලැබීමට අයිතිය, රටේ දරුවන්ගේ අධ්‍යාපනය අයිතිය යන තුන වෙනුවෙන් පෙනි සිටින පිරිස මේ අර්බුදය දේශපාලන වාසියක් ගෙන විසඳුමකට ඉඩ නොදීමට වගා බලා ගත යුතුය. අප මේ ප්‍රශ්නය විසඳා ගත යුත්තේ සරලව කියනවා නම්, අපේ නංගිලා මල්ලිලාට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීම වෙනුවෙනි. මොකද මේ රටේ අධ්‍යාපන ප්‍රශ්නය තවත් පරම්පරාවකට ඉතිරි නොකළ යුතුය. සෑම ප්‍රශ්නයකටම විසඳුමක සෙවීමට යෑමේදී එක පරම්පරාවකට කැපවීමක් කිරීමට සිදුවන බව අත්දැකීමෙන් නොවුණත්, අවබෝධයෙන් දනිමි. ඒ කැප කිරීමට මා නියෝජනය කරන පරම්පරාව වෙනුවෙන් මා සූදානම්, ඔබ ?
හර්ෂණ තුෂාර සිල්වා
2016.08.05
No comments:
Post a Comment