Showing posts with label පීඩාව. Show all posts
Showing posts with label පීඩාව. Show all posts

Thursday, December 1, 2016

පීඩිතයෝ සහ නිශ්ශබ්දතාව




පහත් ජලය ගලා බැස යන්නා සේ මෙරට සෑම විටම පීඩාවට පත්වන්නේ සාමාන්‍ය ජන සමාජයය. ආයතනවල පහතම සේවක කොටසය. පාලකයාගේ සිට වෘත්තීය සමිති ක්‍රියාකාරීත්වය දක්වා ගනු ලබන සෑම ක්‍රියාමාර්ගයකදීම එය එසේය.

මෙවර අයවැය ද පසුගය වර අයවැය තරම් නොවූවත්, ජනතා විරෝධයත්, වෘත්තීය සමිති විරෝධයක් හමුවේ හැල හැප්පීම්වලට ලක්වෙමින් පවතියි.

දෙදහස් පන්සියයේ තිබූ දඩය විසි පන්දාහ කළ බව පවසමින් බස් සංගම් කිහිපයක් ද, විශ්‍රාම වැටුප් ආදී කරුණු කිහිපයක් මුල් කරගිනිමින් දුම්රිය වෘත්තීය සමිති ද කරුණු පහක් මුල් කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන් ඇතුළු වෛද්‍යවරු ද උද්ඝෝෂණවල  නිරත වූ අතර නිරත වීමට නියමිතය.

මේ සෑම ක්‍රියාවකින්ම පීඩාවට පත්වන්නේ ජනතාවය. වෘත්තීය සමිති සියයට සියයක් නිවැරැදි බවක් මින් අදහස් වන්නේ නැත. එහෙත් වර්ජන අවසන් වන ආකාරය, වර්ජන කරන ආකාරය, කාලයක් නොපැවැති වර්ජන එකවර ක්‍රියාත්මක වීම, කාලයක් ක්‍රියාත්මක වූ වර්ජන මේ ආණ්ඩුව යටතේ නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම මේ සියල්ල යට කොන්ත්‍රාත් සහ එකිනෙකාගේ අරමුණු ඉටු කරන්නේ යන සැකය මිස අන් කවරක් වත් හැඟී යන්නේ නැත. 

බස් රථ සංගම් ප්‍රමුඛව ප්‍රවාහන ක්ෂේත්‍රයේ ප්‍රධාන සටන් පාඨයක් වී ඇත්තේ මාර්ග නීති උල්ලංඝනය කිරීම සඳහා පනවා ඇති විසි පන්දහසේ දඩයය. 

මෙරට රියදුරන්ගේ විනය ගැන අමුතුවෙන් කිව යුතු නැත. එය බස් රථ රියදුරාගේ සිට පා පැදිය දක්වාම එසේය. මාර්ගයේ විනය පයින් යන්නන්ටද නැත. බොහෝ රට මාර්ග නීති කඩ කිරීම් සම්බන්ධයෙන් දැඩි නීති රීති අනුගමනය කරන බවත් දඩ මුදල් පනවන බවටත් ඕනෑ තරම් උදාහරණ ඇත. එහෙත් දඩයක් පැනවීමේදී නීතියක් ක්‍රියාත්මක කිරීමේදී ක්‍රමානුකූල බවක් විධිමත් බවක් තිබිය යුතුය. බොහෝ පිරිස් සිතා මතා මාර්ග නීති උල්ලංඝණය නොකරන බව ද ඒ අතර කිව යුතුය. මාර්ග නීති උල්ලංඝනය කිරීම එයටම පමණක් සීමා වූවක් නොව ආකල්පමය වෙනසක් දක්වාම සිදු විය යුතුය. එම නිසා මාර්ග නීති උල්ලංඝනය සම්බන්ධයෙන් එකවර විසි පන්දහසක දඩයක් ප්‍රායෝගික නොවන බව කවුරු කවුරුත් පිළිගත යුතු සත්‍යයකි. 

අනෙක් කරුණ බස් රථය. බස් රථ රියදුරන්ගේ සිට ඊට සම්බන්ධ සියලු දෙනා තම පාරිභෝගිකයන්ට සලකන ආකාරය. ආසන දෙකක් සහිත බස් රථවල දෙදෙනකුටට ඉඳගෙන යෑමට නොහැකිය. පොල් පටවන්නා සේ මිනිසුන් පටවාගන්නා ආකාරය ගැන කතා කරන්නට කෙනෙක් නැත. මිනිසුන්ට ආසනයක ඉඳගත් පසු තම කකුල් නිසි පරිදි තබා ගැනීමට ඉඩක් නැත. අර්ධ සුඛෝපභෝගී යැයි කියන බස් රථ මාෆියාව ජනතාව සුරකන බව නොරහසකි. බස් රථ කොන්දොස්තරවරුන් ජනතාවට කතා කරන ආකාරය තවත් කරුණකි. ඉතුරු මුදල් නොදීම තවත් අර්බුදයකි. මේ ආකාරයෙන් ජනතාව බස් රථ තුළදී විඳින පීඩා අති මහත්ය.

අපි රටක් ලෙස ජනතාවක් ලෙස මෙවැනි දේ ගැන ලැජ්ජා විය යුතුයි. අනෙක් රටවල මිනිසුන් දේශපාලකයන්ගේ වැරැදි හමුවේ එක්ව නැගී සිටිද්දි, අපි පක්ෂ පාට ආගම්වලට බෙදී කා කොටා ගන්නෙමු. අපි අප ගැන ලැජ්ජා විය යුතු වෙමු. අප හමුවේ පවතින ප්‍රශ්නවලදී නිශ්ශබ්දව සිටින හුදෙක් දේශපාලනය, ආගම, ජාතිය ගැන වද වන්නෙමු. 

රටක විවිධ දේශපාලන අදහස් දරන්නන්, ආගම් අදහන්නන්, ජාතීන් සිටින බව අමුතුවෙන් කිව යුතු නැත. රටක සංස්කෘතිය පෝෂණය කරන්නේ ඒවාත් ඒවා ගොඩනැගුණු සංස්කෘතික පසුබිමත් ඉතිහාසයත් බව කිව යුතුය. එහෙත් ඒ වටිනාකම් පසෙකලා අපි එකිනෙකාගේ කොන්ත්‍රාත් ඉටු කරමින් කා කොටා ගනිමු. 
නැවත ආරම්භක මාතෘකාවට පිවිසිය හොත් ජනාතව නිරන්තරයෙන් පීඩාවට පත්වෙති. නිවසේ සිට රැකියා ස්ථානය දක්වාත්, රැකියා ස්ථානයේදී, පාසලක නම් පාසලක හෝ වෙනයම් හෝ තැනක නම් එතැනත් නැවත නිවසට යන තුරුත් පීඩාවලට ගොදුරු වෙති. 
මේ නොයෙක පීඩාවලට එරෙහිව නැගී සිටිය යුත්තේ එකමුතුව මිස පාට පක්ෂ වලට ආගම්වලට බෙදී නොවන බව අප තේරුම් ගත යුතුය. ශිෂ්‍ය ව්‍යාපාරය රාජ්‍ය විශ්ව විද්‍යාල පුද්ගලික විශ්ව විද්‍යාල කියා බෙදෙන තරමට ආණ්ඩුවට හොඳය. එවැනි තැනක ආණ්ඩුව හිතු මතේ අධ්‍යාපනයට වියදම් කප්පාදු කරන්නේය. ජනතාව කොටස්වලට කල්ලිවලට බෙදෙන තරමට ආණ්ඩුවට හොඳය. අප හැමදාමත් කරන ලද්දේ එයය. බෙදෙමින් බෙදෙමින් අපි අවුරුදු හැට අටක් පැමිණ අත්පත් කර ගත් දෙයක් නොමැති බව දැන් ඕනෑවටත් වඩා හොඳට පැහැදිලිය.

මේ මෑතක දිනක බිමල් රත්නායක මන්ත්‍රීවරයා හරි අපූරු කතාවක් කීවේය. අපේ දේශපාලන පක්ෂවල සංයුතිය ගැන ඔහු කීවේය. සියලු ජාතීන්ගේ නියෝජනය ගැන ඔහු කීවේය. වසර 1948 පෙර මෙරට ආරම්භ වූ පක්ෂ දෙකකි. එකක් එක්සත් ජාතික පක්ෂය වන අතර අනෙක ලංකා සම සමාජ පක්ෂයය. හතළිස් අටෙන් පසු ආරම්භ වූ සෑම පක්ෂයක්ම ජාතියක්, ආගමක් හෝ ඒ ආශ්‍රිත පදනමක් මත ගොඩනැගුණු පක්ෂය. මේ පක්ෂ සියල්ල අතරින් සිංහල, දෙමළ හා මුස්ලිම් යන නියෝජනය තරමක් සාධරණ මට්ටමක ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ පමණක් බව ඔහු කීවේය. අපි හතළිස් අටට පෙර එකාවන් ව සටන් කළ බවට ඉතිහාසය සාක්ෂි දරයි. ඒ මත ගොඩනැගුණු නිසා එය එසේය. එහෙත් අද වනවිට එප පක්ෂයත් ක්‍රමයෙන් එයින් බැහරට යමින් සිටින බව ද කීවේය. හැබෑය. අපි තව තවත් බෙදෙන තරමට අපේ වළ කපා ගනිමින්, මේ රට තව තවත් විනාශයට ඇද ගෙන යන බව අකැමත්තෙන් වුවද කිව යුතුය. 

එක් එක් පුද්ගලයා උපුටා දක්වමින් කිව යුතු නැත. මාටින් ලූතර් කිං ගේ සිට ඇල්බට් අයින්ස්ටයින්ම දක්වාම මේ සරල සත්‍යය පවසා ඇත. මේ ලෝකය වඩ වඩාත් නරක වන්නේ නරක මිනිසුන් නිසා නොව හොඳ මිනිසුන්ගේ නිශ්ශබ්දතාව නිසාය.

ඡායාරූපය රොයිටර්


හර්ෂණ තුෂාර සිල්වා
01.12.16 



‘මිඩ්ල් ක්ලාස්’ ක්‍රියිසිස් සහ ‘ඩිකෝඩිං’

අපි ජන සමාජයක් විදියට උග්‍ර අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. දරුවෙක්ගේ සාර්ථකත්වය මනින්නේ, යාන වාහනවලින්, උපාධිවලින්, හම්බවෙන පඩියෙන්, කරන රස්සා...

Blog Archive