Wednesday, May 19, 2021

“සරත් එන්න පහනක් පත්තු කරමු”.

 



මේ රටට අර්ථාන්විත සහ දිගුකල් පවත්නා සාමයක් උදා කිරීමේ මහඟු අවස්ථාවක් හිටපු ජනාධිපති, වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට හිමිවිය.

එහෙත් ඔහුගේ පාලනය තුළ දී මැණිකකට පයින් ගසන්නාක් මෙන් එම අවස්ථාව අත්හැර දැමීය.

එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාට මේ රටට එන්නැයි කීවේත්, යුද්ධය සම්බන්ධයෙන් විමර්ශනයක් විමසා බැලීමක් කරන බවටත් මුල් වරට ප්‍රකාශ කළේ ඔහු ය.

එහෙත් අවසානයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඡන්දයට පමණක් යොදාගන්නා මාතෘකාවක් බවට පත් කරගත්තේ මහින්ද රාජපක්ෂ මහතා නායකත්වය දෙන දේශපාලන කණ්ඩායම ය.

ජාත්‍යන්තරයට යුද්ධය සම්බන්ධයෙන් සහ ඊට පසු ගත් ක්‍රියාමාර්ග, ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නිවැරැදිව පිළිතුරු දෙනවා වෙනුවට රාජපක්ෂ දේශපාලන තන්ත්‍රය කළේ, ගැලරියට විසිල් ගැසීම හෙවත් තම ප්‍රේක්ෂක ප්‍රජාව වන, විශේෂයෙන්ම වර්තමානයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාක්ෂික ප්‍රජාව පිනවීමය. සරල සිංහලෙන් කියනවා නම්, තමන්ගේ සෙට් එක චූන් කිරීමය.

අනෙක් අතට අමාත්‍ය සරත් වීරසේකර මහතා වැන්නවුන්ගේ ප්‍රකාශවලින් සිදු වන්නේ ජාත්‍යන්තරයට කරුණු සාදා දීමය ය.

සරත් වීරසේකර මහතාගේ ප්‍රකාශයට පිළිතුරු දුන් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා අපූරු කතාවක් කළේය.

දෙමළ ජනතාව මට ඡන්දය දුන්නේ යැයි හෙතෙම කීය. ඔහුට පමණක් නොව දෙමළ ජනතාව මහින්ද රාජපක්ෂ මහතාට ද ඡන්දය දුන්නේ ය.

මහින්ද රාජපක්ෂ මහතා සහ මෛත්‍රීපාල සිරිසේන මහතා අතර පැවැති ජනාධිපතිවරණ සටනේදී ද මහින්ද රාජපක්ෂ මහතාට උතුරෙන් ලැබී තිබුණු ඡන්ද ප්‍රමාණය වැඩි ව තිබිණි.

මහින්ද රාජපක්ෂ මහතාට මහ රජාණෙනි යැයි කියන්නටත් කලින් ඔහුට රජා යැයි කීවේ දෙමළ කතකි.

අතුරු කතාවක් ; ඒ දවස්වල ස්වාධීන රූපවාහිනි සේවයේ ඒ කතාගේ විඩියෝව බොහෝ වරට විකාශය කෙරුණි.

ඊයේ හෝ පෙරේදා දිනෙක, දෙරණේ ද එය නැවත වරක් විකාශය කෙරුණි.

කෙසේ නමුත් මහින්ද රාජපක්ෂ මහතා එම අනඟි අවස්ථාව මඟ හැරීමෙන් පසු සිරිසේන-වික්‍රමසිංහ රෙජීමයට මේ රටට අර්ථාන්විත සාමයක් තිරසර සාමයක් උදා කිරීමේ අවස්ථාව ලැබිණි.

මේ රටේ දේශපාලකයන්ට නොතේරෙනම කරුණක් වන්නේ හොඳින් දේශපාලනය කළහොත් ඉන් ප්‍රතිඵල ලැබෙන බව ය. හොඳ දේ කර මාකට් කරන්නට ලේසි ය. විශේෂයෙන්ම රාජපක්ෂ තන්ත්‍රයට එය පහසුවෙන්ම කළ හැකි ය.

එක්සත් ජාතික පක්ෂයේ සන්නිවේදන යාන්ත්‍රණය නම් දුර්වල ය. එනිසා කොච්චර හොඳ වැඩ කළත් වැඩක් නැත.

අපේ රටේ නම් හොඳ වැඩ කර ඒවා මාකට් කරන්නම ඕනෑම ය.

එය හොඳින්ම කරන්න පුළුවන් කණ්ඩායම රාජපක්ෂ කණ්ඩායම ය.

එහෙත් ඔවුන් නොකරන්නේම එය යි.

විශේෂයෙන්ම හොඳ වැඩවලට විරුද්ධ වීමේ පුරුද්දක් අපේ රටේ ඇත. එනම් තමන් කරද්දි නිවැරැදි එහෙත් අනුන් කරද්දි වැරැදි යැයි යන පිළිවෙත මේ රටේ එදා සිට පවතින්නකි.

දැන් එයින් වැඩියෙන්ම බැට කන්නේ වත්මන් ආණ්ඩුව ය.

කොහොම නමුත් මේ ආණ්ඩුව කරන්නේ තම ප්‍රේක්ෂක ප්‍රජාව පිනවීම ය.

යුද්ධය සම්බන්ධයෙන් ද එය එසේ ය.

උදාහරණයකට මානව හිමිකම් කවුන්සිලය.

මානව හිමිකම් කවුන්සිලය යනු ශ්‍රී ලංකාවට ලැබෙන අවස්ථාවකි. එනම් ජාත්‍යන්තරයට මේ රටේ පැවැති යුද්ධය සම්බන්ධයෙන් පිළිතුරු දීමටත් වැරැදි සාදාගෙන මේ රටේ සියලු ජන කොටස් එකතු කිරීමටත් සෑම වසරකදීම ලැබෙන අවස්ථාවකි.

එහෙත් මේ ආණ්ඩුව කරන්නේ ජාත්‍යන්තරයට, මානව හිමිකම් කවුන්සිලයට ඉංග්‍රිසයෙන් පිළිතුරු දෙනවා වෙනුවට සිංහලෙන් සිය ප්‍රේක්ෂක ප්‍රජාව පිනවීමය. ගැලරි කතා ය.

අවසාන වශයෙන්, අපේ රටේ මිනිස්සු තේරුම් නොගන්නා කරුණක් ද තිබේ.

එනම් මේ රටේ දේශපාලනඥයන් දිගින් දිගටම යුද්ධය විකුණාගෙන කන බව ය.

සරත් වීරසේකර කීවේ සුනිල් රත්නායක ඉන්නේ පැලක බව ය. රණවිරුවන්ට සලකනවා කියන්නේ ම ඔවුන් ය.

එහෙත් යුද්ධය නිසා දුක් විඳින්නේ යුද්ධය හෝ යුධ ජයග්‍රහණය උත්කර්ෂවයට පිරිස් නොවේ.

තාමත් ඈත ගම්මානවල තම පුතා එනතුරු අම්මාවරු බලා සිටිති.

එහෙත් උතුරේත් දකුණේත් ඇතැම් සිය දේශපාලන හෝ පෞද්ගලික වාසි තකා වෛයිරය වපුරන අතරේ ම, යුද්ධය මහත් උත්කර්ෂවයට නංවති.

ඇතැම් දේ යුද්ධයෙන් අවසන් කළ යුතු ය. තුවක්කුවෙන් නිහඬ කළ යුතු ය. යුද්ධ කරන්නට අවස්ථාව සැලසෙන හෝ අවස්ථාව සලසන හෝ ඒවා කරන්නට යම් නීති සහ නෛතික ක්‍රියාවලි හඳුන්වා දී ඇත්තේ ඒ නිසා ය. එක්ස්ට්‍රා ජුඩිෂියල් කිලින් (Extrajudicial Killings) යනුවෙන් වෙනම නීති හඳුන්වා දී ඇත්තේ යුද්ධ කිරීමට නෛතිකව අවස්ථාවලදී ඒවා මුවාවෙන් වෙනත් මනුෂ්‍ය ඝාතන කරන්නට බැරි වෙන්නට ය. මධුෂ්, කොස්ගොඩ තාරක සහ යුද්ධය සමයේ අනීතිකව සහ යුද්ධය මුවාවෙන් කළ මනුෂ්‍ය ඝාතන අයත් වන්නේ ඒවාට ය. හිටපු යුද හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා මෑතකදී ඒ ගැන පාර්ලිමේන්තුවේ දී පැහැදිලි කිරීමක් ද කළේය.

එයින් ප්‍රචණ්ඩත්වය තිබිය යුතු යැයි කියන්නේ නැත. යුද්ධ කළ යුතු යැයි කියන්නේ නැත.

මනුෂ්‍යයා ස්වභාවයෙන්ම ප්‍රචණ්ඩකාරී ය. මනුෂ්‍ය ඉතිහාසය ඊට කදිමට නිදසුන් සපය යි. එහෙත් යුද්ධය විකල්පයක් පමණි. ආයුධ සන්නද්ධ අරගල, කැරැලි කෝලහල විකල්ප පමණි. විකල්ප විසඳුම් සොයාගැනීමට හැකිය.

එහෙත් ඒවා යුද්ධ කරනවා තරම් පහසු නොවේ.

සාමයට, විශේෂයෙන්ම සාමය ඇති කිරීමේ ක්‍රියාවලිය පහසු නොවේ.

ඒත් මහින්ද මහත්තයා කියන දෙයක් දේව භාෂිතයෙන්ම පිළිගන්නා රටක එය කිරීම තරමක් පහසු ය.

එහෙත් මහින්ද රාජපක්ෂ හෝ වෙනත් රාජපක්ෂ කෙනකු එයින් ප්‍රයෝජන ගනීවිදැයි කියන්නට බැරි ය.

එවැන්නක් පෙනෙන්නට ද නැත.

අනෙක් අතට යුද්ධයෙන් වසර 12ක් ගෙවී ගිය ද උතුර, දකුණ , සිංහල දෙමළ සහ මුස්ලිම් යනාදී බෙදීම් නඩත්තු කිරීමට මේ රටේ දේශපාලනඥයන් ජනතාවට සේවය කිරීමට වඩා වෙහෙසක් ගන්නා බව නම් පසුගිය කාලයේ දී හොඳින්ම දක්නට ලැබිණි.

දැන් පැයක විතර සිට සෑම රූපවාහිනි නාලිකාවක් ම එය කරමින් සිටියි.

තවත් අතුරු කතාවක්,

“රටක මාධ්‍ය සිටිය යුත්තේ ආණ්ඩුවේ ප්‍රකාශකයා වීමට නොව ආණ්ඩු ප්‍රශ්න කිරීමටය. කොහොම නමුත් මේ රටේ මාධ්‍ය, විශේෂයෙන්ම රාජ්‍ය මාධ්‍ය දශක ගණනාවක සිට ආණ්ඩුවේ ප්‍රකාශක තනතුර හොබවයි. ඒවා රාජ්‍ය මාධ්‍ය යැයි කියා ඉන්නට පිළිවන. එහෙත් දැන් වසර ගණනාවක සිට පෞද්ගලික මාධ්‍ය ද එසේ කරමින් සිටියි. 2015 බල පෙරළියෙන් මේ රටට සිදු වූ ලොකුම හානිවලින් එකක් වන්නේ ද පෞද්ගලික මාධ්‍ය ප්‍රොපගැන්ඩාව තහවුරු කිරීමයි.”

අන්තිමට,

මහින්ද සරත් එන්න කේක් කපන්නැයි කීවේය. යුද්ධය නැති රටක සාමාන්‍ය පෙළ ලියූ පළමු කණ්ඩායම අපි යි.

අපි ඉස්කෝලේ යද්දි බංකර් අස්සට දිවූ සහෝදරවරු මට පහුගිය කාලයේ අතේ ඇඟිලි ගාණට හමුවිය. එවැන්නන් තවත් හමුවේවායි පතමි. ඔවුන් එක්ක එකට තේ කෝප්පයක් මගේ යහළු මිතුරන්ටත් අවස්ථාව උදා වේවා යැයි පතමි.

 

“සරත් එන්න පහනක් පත්තු කරමු”.

 

 

 ඡායාරූපය ගත්තේ මෙතැනින් - http://www.defence.lk/Article/view_article/862 ‍

හර්ෂණ තුෂාර සිල්වා
2021.05.19


Sunday, May 16, 2021

අපේ දෙබිඩි කම

 

පලස්තීන ජනාතව වෙනුවෙන් හරිම නම් මුලින්ම පාරට බහින්න ඕනේ මේ රටේ මිනිස්සු. ඒත් එහෙම වෙන්නේ නෑ. (වයිරසේ පැතිරෙන නිසා එක් රැස් වෙන්න බෑ කියන එක සාධාරණ හේතුවක්).

පොලිසියේ කෲරත්වය ගැන ඇමෙරිකාව මිනිස්සු පාරට බැස්සාම, ඇමෙරිකාවේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ වගේ තමයි අපේ මිනිස්සු හිටියේ.

හැබැයි අන්තිමට මොකද වුණේ ?


ලංකාවේ පොලිසිය මිනිස්සුන්ට ගහද්දි අපේ මිනිස්සු ගෙවල්වල. තමන්ට පුළුවන් විදියට වචනයකින් හරි විරෝධය පළ කරන මිනිස්සු ගැන නෙමෙයි මේ කියන්නේ.

අපේ දෙබිඩි කම් ගැන.

පලස්තීනේ ජනතාව වෙනුවෙන් මුලින්ම පාරට බහින්න ඕනේ ලංකාවේ මිනිස්සු කියන්න විශේෂ හේතු කිහිපයක්ම තියෙනවා.

එකක් ශ්‍රී ලංකා පලස්තීන  මිත්‍ර සංගමය ආරම්භය සනිටුවහන් කරන්නේ මහින්ද රාජපක්ෂ වෙන නිසා.

දෙවැන්න මහින්ද රාජපක්ෂ මහත්තයාගේ නමින් පලස්තීනයේ පාරක් තියෙනවා.

පලස්තීනයේ ඉහළම සම්මානයෙන් මහින්ද රාජපක්ෂ පිදුම් ලබා තිබීම තෙවැන්න යි.  

මෙවාගේ සරල සුමට හේතු නිසා ම නෙමෙයි.

පලස්තීනය නැතිනම් පලස්තීන ජනතාව සටන් වදින්නේ තමන්ට රටක් වෙනුවෙන්. එහෙම බලද්දි මේ ලංකාවේ මිනිස්සු රටක් වෙනුවෙන් සටන් වැදුණා.

පලස්තීන ප්‍රශ්නය සරල ප්‍රශ්නයක් නෙමෙයි.

අනෙක් කරුණු මේ ආණ්ඩුවේ සහ රට ඇතුළු තියෙන බොරු මුස්ලිම් විරෝධය.

විශේෂයෙන්ම මේ ආණ්ඩුවට, කලින් පැවැති මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට බෙහෙවින් උදව් කරපු පිරිසක් තමයි මුස්ලිම් රටවල්.

යුද්ධය අවසන් කරන්න පාකිස්තානය එහෙමත් විශාල සහායක් දුන්නා.

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාවට මුස්ලිම් රටවල් සහාය දුන්නා.

එහෙම තියාගෙන මේ ආණ්ඩුව ඡන්ද දිනන්න බොරු මුස්ලිම් විරෝධයක් ඇති කරනවා.

එහෙම තියෙන කොටම ඇතැම් මාධ්‍යයත් සමාජ මාධ්‍යයත් ඊශ්‍රායල පලස්තීන අර්බුදය මුස්ලිම් යුදෙව් එහෙමත් නැතිනම් අරාබි සහ යුදෙව් ප්‍රශ්නයක් විදියට හරිම සරල හා සාමාන්‍යකරණය කරනවා.

මේක ඒ විදියේ සරල ප්‍රශ්නයක් නෙමෙයි.

පලස්තීන ප්‍රශ්නය හා සමාන ප්‍රශ්න කිහිපයක්ම ලෝකයේ තියෙනවා.

උදාහරණයක් විදියට කාශ්මීරය.

ලෝක පැරැණිතම සහ සංකීර්ණම ගැටුම්වලින් එකක් තමයි ඊශ්‍රායල පලස්තීන අර්බුදය.

එල්.ටී.ටී.ඊ. සංවිධානය වෙනම රටක් වෙනම පාලනයක් ඉල්ලද්දි ඊට දැඩිව විරුද්ධ වුණ පිරිස් කොහොමද ඊශ්‍රායලයේ පැත්ත ගන්නේ ?

හරිම සරලයි, අවුරුදු 30ක යුද්ධයත්, දෙමළ ජනාතවත් තේරුම් නොගැනීම.

රටේ අවුරුදු 30ක සිවිල් යුද්ධය තේරුම් නොගැනීම.

විශේෂයෙන්ම සිවිල් යුද්ධය, එල්.ටී.ටී.ඊ. සංවිධානය සහ ශ්‍රී ලංකා හමුදාව අතර යුද්ධයක් විදියට සීමා කිරීම.

ත්‍රස්තවාදීන් පරාජය කිරීමක් විදියට සරල කිරීම.

යුද්ධය දේශපාලනීයකරණය කර, තමන්ගේ ඡන්දවලට යුද්ධයත් ඒ අර්බුදයත් භාවිත කිරීම.

ඉතා සංකීර්ණ ප්‍රශ්න සාමාන්‍යකරණය සහ සරල කිරීම අපේ රටේ පාලකයන්ගේ පුරුද්දක්. ඊට උඩගෙඩි දෙන මාධ්‍යයත් ඒවටම හරියන ජනතාවකුත් අපිට ඉන්න එක ගැන සතුටු වෙන්න අවශ්‍ය යි.

යුද්ධයත්, යුද්ධය අවසන් කිරීමෙන් ලද අර්ධ සාමයත්, ආරක්ෂක අංශ සාමාජිකයනුත් විකුණාගෙන කනවා මේ රටේ හැම පක්ෂයකම දේශපාලනඥයෝ. ඒකටම හරියන පාක්ෂිකයෝ ටිකක් ඒ ඒ පක්ෂවලට ඉන්නවා.

ඊශ්‍රායලයේ ගුවන් යානා ඇවිල්ලා පලස්තීනයේ සාමාන්‍ය මිනිස්සුන්ගේ පුංචි දරුවන්ගේ ගෙවල් දොරවල්වලට බෝම්බ දානවා. එහෙම නම්,

හමාස් සංවිධානය සහ පලස්තීනයේ සන්නද්ධ කණ්ඩායම් රොකට් ප්‍රහාර එල්ල කරද්දි, සයිරන් නාදෙට ඊශ්‍රායලයේ මිනිස්සු බයෙන් ඉන්නවා නම්,

ඒ වගේම දේවල් අපට අහලා පුරුදු හුරු පුරුදු තැන්වල වුණා කියලා හිතන්න පුළුවන් නම්,

ඉන්දියන් සාගරයේ පුංචියට තියෙන රට මීට වඩා ලස්සන වෙන්න තිබ්බා නේද ?

ඉතින් ඊශ්‍රායල පලස්තීන ප්‍රශ්නය,

පලස්තීනය වෙනුවෙන් පෙනී සිටින ගමන්, ඊශ්‍රායලයේ ජනතාව ගැනත් කතා කරන්න අවශ්‍ය යි. ඊශ්‍රායලයේ දැඩි අන්තවාදී මත අදහස් දරන තමන්ගේ පරාජය යුද්ධයකින් වසා ගන්න හදන පාලකයෝ වෙනුවෙන් නම් නෙමෙයි.

අසල්වැසි ඉන්දියාවේ ඇතැම් පාලකයෝත් එහෙමයි, ඡන්දේ වෙලාවට, පාකිස්තානය පරම හතුරා කියලා ජනතාවට ඒත්තු ගන්වනවා,

පලස්තීන ජනතාව වෙනුවෙන් පෙනී සිටින්න අවශ්‍ය වෙන්නේ, ඉස්සෙල්ලා කියපු හරිම සරල, සරල වචනයෙන් කිව්වොත් සරල හේතු නිසාමත්, දෙවැනියට කිව්ව බරපතළ කරුණු නිසාමත් නෙමෙයි නං, තුන්වෙනියට රටක් විදියට ප්‍රතිපත්තියක් විදියට අපි අනුගමනය කරන ප්‍රතිපත්ති නිසාවත් අඩු ගානේ,

ශ්‍රී ලංකාව පලස්තීනය රාජ්‍යයක් විදියට පිළිගන්නේ 1988, පලස්තීනය රාජ්‍යයක් විදියට පිළිගත්ත මුල්ම රටවල් කිහිපය අතරට අපිත් අයත්,

පී.එල්.ඕ./පලස්තීන් ලිබරේෂන් ඕගනයිෂේෂන් (Palestine Liberation Organization) එහෙමත් නැතිනම් පලස්තීන විමුක්ති සංවිධානය සහ ශ්‍රී ලංකාව අතර සම්බන්ධතා ඊටත් වඩා පැරැණියි, එම සංවිධානයේ කාර්යලයක් කොළඹ දී පිහිටුවන්නේ 1975 දී.

ඊශ්‍රායලය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා පටන් ගන්නේ ජේ.ආර්. ජයවර්ධන, ඔන්න ජේ.ආර්. සහ යු.එන්.පී. විරෝධී අයට ඊශ්‍රායලයට විරුද්ධ වෙන්න අවස්ථාවක්.

ඊට පස්සේ ආර්.ප්‍රේමදාස ඊශ්‍රායලය සමඟ සම්බන්ධතා නවත්වන්න පියවර ගන්නවා 1990 දී.

මේ විදියට අපට හේතු රැසක් තියෙනවා.

ඊශ්‍රායලය සතුරකු ලෙස දකින්න අවශ්‍ය නැහැ. ඇතැම් උද්ධච්ඡ පාලකයන්ගේ ක්‍රියාකාරකම් නිසා මේ අර්බුදය උත්සන්න වෙලා තියෙනවා.

ඊශ්‍රායලය සමඟ සම්බන්ධකම් තියාගන්න ගන්න ගමන් පලස්තීනයේ ජනතාව වෙනුවෙන් වගේම ඊශ්‍රායලයේ පීඩාවට පත්වෙන ජනතාව වෙනුවෙනුත් කතා කරන්න අපිට පුළුවන් වෙන්න ඕනේ.

පලස්තීන සහයෝගීතා දිනය වෙනුවෙන් අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉකුත් අවුරුද්දේ නිකුත් කරපු නිවේදනයෙන්ම මෙය අවසන් කරන්නං,

“පලස්තීන විමුක්ති සංවිධානය නමින් පලස්තීනය බේරා ගැනීමේ සන්ධානයක් ප්‍රථමවරට ශ්‍රී ලංකාව තුළ පිහිටුවීමේදී එහි සභාපතීත්වය මා හට පිරි නැමීමත්, පලස්තීනය වෙනුවෙන් කළ ජාත්‍යන්තර මැදිහත්වීම අගය කරමින් පලස්තීනයේ ඉහළම සම්මානය වන පලස්තීන තාරකාව මා හට පිරිනැමීමත් අද දිනයේ කෘතවේදීව  සිහිකරමි.
ශ්‍රී ලංකාව හා පස්තීන රාජ්‍යයන් අතර සබඳතා විශේෂය. පලස්තීන රජයට හා පලස්තීනයේ මිත්‍රශීලී ජනතාවට උපරිම සහායෝගය ලබාදීමට අපි ඉදිරියේදීත්
බැඳී සිටින්නෙමු. පලස්තීනය යනුවෙන් ස්වෛරී රාජ්‍යයක් නුදුරු දිනයක ලෝක සිතියමට එක්

වේවායි ප්‍රාර්ථනා කරමි!

මහින්ද රාජපක්ෂ
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
අග්‍රාමාත්‍ය”

 

https://sinhala.news.lk/news/political-current-affairs/item/41086-2020-11-28-14-30-45

http://archives.dinamina.lk/2014/01/10/_art.asp?fn=f1401102

https://mfa.gov.lk/pc-sl-p/

https://sinhala.news.lk/news/political-current-affairs/item/41086-2020-11-28-14-30-45

https://www.divaina.com/2014/07/24/news37.html

http://thediplomaticsociety.com/index.php/archive/archive/420-palestine-has-strong-historic-relations-with-sri-lanka-the-maldives-and-south-africa-ambassador-of-the-state-of-palestine-to-sri-lanka-and-the-maldives-

http://archives.dailynews.lk/2008/10/09/fea01.asp

https://www.upi.com/Archives/1990/03/20/Sri-Lanka-to-suspend-relations-with-Israel/6077637909200/

https://www.upi.com/Archives/1990/03/20/Sri-Lanka-to-suspend-relations-with-Israel/6077637909200/

ඡායාරූපය https://www.bbc.com/sinhala/news/story/2004/11/041112_arafat_funeral

 

 

‘මිඩ්ල් ක්ලාස්’ ක්‍රියිසිස් සහ ‘ඩිකෝඩිං’

අපි ජන සමාජයක් විදියට උග්‍ර අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. දරුවෙක්ගේ සාර්ථකත්වය මනින්නේ, යාන වාහනවලින්, උපාධිවලින්, හම්බවෙන පඩියෙන්, කරන රස්සා...

Blog Archive