මා කලකට කලියෙන් මගේ බ්ලොග් අඩවියේ දෙවියන් මුණ ගැසීම සම්බන්ධයෙන් බ්ලොග් සටහන් ලිවීය. ඊට පාදක වූ කිසිත් නොවූ අතර කොයියෝගේ පොතක තැනක තිබුණක් ගැන අදහස් ඊට මුල් විය.
“ “සෙමනේරියේදී මට දෙවියන් වහන්සේ මුණ ගැහෙන්න පුළුවන් වුණේ නෑ”. ඉර උදාව දෙස බලා ඉන්න ගමන් ඔහු කල්පනා කළේය.”
මට දෙවියන් වහන්සේ මුණ ගැහෙන්න පුළුවන් වුණේ නෑ
මට කුඩා කළ සිටම ආගමික සංස්ථාව සම්බන්ධයෙන් කුකුසක් ව තිබිණි. ආගම හෝ ආගමික ලබ්ධීන් හෝ යම් ආකාරයක විශ්වාස, විශ්වාස කිරීම සම්බන්ධයෙන් සැකයත්, විශ්වාසයත් අවිශ්වාසයත් අතර සිරවුණු මතභේදාත්මක තත්ත්වයකි.
මා හැදී වැඩුණේ ඉතාම මිශ්‍ර පරිසරයක ය. සිංහල-බෞද්ධ ඥාතී වටපිටාවත්, සිංහල-බෞද්ධ පාසල් පසුබිමත් දහම් පාසලත් යනාදිය මධ්‍යයේ මගේ සමීප මිතුරු මිතුරින් බවට පත්වූයේ වෙනත් ආගමික පසුබිම්වල අය ය.
මේ නිසාම සිංහල බෞද්ධ උරුවත්, ඊට පරිභාහිරව අනෙකුත් ආගම්වල ආභාෂයත්, පොතපත කියවීමේ ලාලසාව නිසා ඒ ඒ ආගමික පසුබිම්වල සාහිත්‍යයත් තරමක් දුරට ආශ්‍රය කිරීමේ ඉඩකඩ ලැබිණි.
ඒ කෙසේ වෙතත් කාලයත් යත්ම වාමාංශික පොතපත කියවීමත් ඇසුරු කරන්නට යෙදුණු උගතුන්, වැඩිහිටියන්, මිතුරු මිතුරියන් යනාදී මේ සියල්ල මධ්‍යයේ මා උග්‍ර සිංහල-බෞද්ධ ආගමික-සංස්කෘතික පසුබිමෙන් ඉවත්ව, සර්වාගමික තත්ත්වයකට වැටුණා යැයි කිවහොත් වඩාත් නිවැරැදි වේ. සර්වාගමික කාරණාවේ දී ද වැඳුම් පිදුම් කිරීමටත් වඩා දෙවියන් කවුරු ද යන වගත්, ආගම්වල කියන්නාවූ පරම සත්‍ය, අසවලුන් කියන්නා වූ අසවල් දෙවියන්, බුදු රදුන්, ජේසුස් යනාදී ආගමික ශාස්තෘවරුන් යනා දී සියල්ල සොයා යෑමේ ලාලසාවක් මා තුළ තිබිණි.
මගේ ඉතිහාසය ගුරුවරුන්ට ද එහි ප්රණාමයක් බැර විය යුතු අතර ම, ඔවුන්ගේ නොනවත්වා ප්‍රශ්න ඇසීමත්, ඒ මධ්‍යයේ වුවත් ඉතිහාසයත් ආගමත්, යන කරුණු කාරණා මධ්‍යයේ ළාබාල මාාා කුතුහලය සංසිඳවීම වෙනුවෙන් ඔවුන්ගේ ඉවසීමට විශේෂ ස්තුතියක් හිමි විය යුතු ම ය.
මෙවැනි පසුබිමක බොහෝ අසාධාරණකම් සිත්තැවුල්, පාප අපරාධ, දුශ්ශීල ක්‍රියා මධ්‍යයේ දෙවියන් වැඩ සිටිනවාද යන බරපතළ ප්රශ්නය මා තුළ නොනිත් පැන නැගුණි.
ඉතින් දෙවියන් සොයායෑමේ දෙවැනි වෑයම ආරම්භ වන්නේ මෙවැනි සමයක ය.
දෙවියන් සම්බන්ධයෙන් සමීප මිත්‍රයකු සමඟ මීට මාස ගණනාවකට කලියෙන් බීර වීදුරු හිස් කරමින් මම බරපතළ සංවාදයක යෙදුණෙමි.
එහිදි පැන නැගුණු කරුණු කාරණා රැසක් ඒ සැටියෙන් මට මතක නැතත්, එහි අප අතර ගොඩනැගුණු සංවාදයේ බොහෝ දෑ සැකෙවින් මතක තිබේ. ඒවා වඩාත් නිවැරැදි කරගැනීමේ ඒවා ලියා පිළියම් පිරිසුදු කරගත යුතු වේ.
ටී.එම්. ජයරත්න ගයන අඳුරු කුටිය තුළ ගීයේ මුල් තැනෙක මෙසේ කියයි.
අඳුරු කුටි තුළ, දොරගුළු ලාගෙන ගයන ගීතිකා යදින යාතික දෙවියන් හට නෑසෙන බව ය.
ගීතයේ යම් තැනක දෙවියන්ට උපමා කරන්නේ වෙහෙස මහන්සි වී වැඩ කරන ජනතාව ය.
අපේ බස් හුරුවෙහිදි, අප අපගේ ඉතාම සමීප පුද්ගලයන් දෙවියන් යැයි ද, ඇතැම් විට සිය දරුවන්, ඇතැම් විටෙස ස්වාමි-පුරුෂ හෝ භාර්යාව හෝ මේ යනාදි දෙනා මගේ දෙයියෝ හෝ ඊට සමීප වචනවලින් හඳුන්වයි.
ආචාර්ය ඔබේසේකරයන් පිළිබඳ වැඩසටහන් නැරැඹීමෙන් අනතුරුව වඩාත් තහවුරු වූ කරුණක් වූයේ ඇතැම් සිංහල හා සිංහල-බෞද්ධ ගැමි සමාජය තුළ දෙවියන් හා හඳුන්වන බොහෝ දෙනා සාමාන්‍ය මනුෂ්‍යයන් ලෙස ජීවත් වූවන් බව ය.
මාත් මිතුරු මිතුරියන් තිදෙනකුත් අල්ලාප සල්ලාපයක දී මේ ගැන කතා කළේ කතරගම පුදබිමේ දී කතරගම දෙවියන් අලලා ඇති වූ සංවාදයක දී ය.
දෙවියන් සොයා යෑමේ මගේ ගමන් මගට නැවත පිවිසීමේ දී මට වඩාත් තේරුම් ගිය කරුණක් නම්, දෙවියන් සොයායෑමට පෙර ඔබ දොරගුළු හැර දමා අඳුරු කුටි තුළින් එළියට පැමිණිය යුතු බව ය.
අඳුරු කුටියේ ඇති එකම ආලෝකය ඔබ වන්නට පිළිවන. ඇතැම් විට එය දීප්තිමත්ව දිලෙන අඩුම තරමේ වහලයේ හිලකින් හෝ ඔබට හිරු එළියේ බිඳක් වැටිය යුතුම ය.
දෙවියන් සොයා අතරවරයේ දිනක මගක දී නැවත හමුවෙමු.
