Wednesday, November 25, 2015

මෙවර අයවැයෙන් අධ්‍යාපනයට වෙන් කළ මුදල ගැටලුකාරීය. මුදල් අමාත්‍යාංශය සෞඛ්‍යයටත් අධ්‍යාපනයටත් බිලියන 210ක් වෙන් කළ බව කියයි. අධ්‍යාපනය අමාත්‍යවරයාට අනුව එය මිලියන 90,000කි. බිලියනවලින් 90 වකි. ඊයේ සායිටම් හි සිසුන් පිරිසක් කළ උද්ඝෝෂණයත් ඒ ඔවුන් එය කළ ආකාරයත් ආදිය සම්බන්ධයෙන් විවිධ අදහස් හා මතවාද පළවෙමින් පවතියි. ගැටලූව තිබිය යුත්තේ සායිටම් හි සිසුන් උද්ඝෝෂණ කරන ආකාරය පිළිබඳව නොවන බව අප මතක තබා ගත යුතුය. අප ප‍්‍රශ්න කළ යුත්තේ රජයේ අධ්‍යාපන ප‍්‍රතිපත්තිය පිළිබඳවය. පුද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කළ යුතුය. එහෙත් ඒවා නියාමනය කිරීමේ වගකිම තිබිය යුත්තේ රජය සතුය. පුද්ගලික හෝ රාජ්‍ය විශ්වවිද්‍යාලයක ඉගෙනුම ලබන්නේ රටේ දරුවන්ය. එබැවින් ඔවුන්ගේ මූලික අයිතිවාසිකම්, සුරක්ෂිත කිරීම රටේ පාලකයන්ගේ වගකීමකි. රටේ වැඩිහිටියන්ගේ වගකීමකි. අධ්‍යාපනය අර්බුදය සම්බන්ධයෙන් සියලූ සිසුන් එක්විය යුතුය. මුදල් ගසාකෑමකින් තොරව, රටේ සියලූ දරුවන්ට ගුණත්වයෙන් ඉහළ අධ්‍යාපනයක් ඉල්ලා අප සියලූ දෙනා අරගල කළ යුතුය. රට තුළ පුද්ගලික විශ්වවිද්‍යාල ඇති කළ යුතු අතර ඒවාට ඇතුළත් කරගන්නා අවම සුදුසුකම, මිල ගණන් සියල්ල සම්බන්ධයෙන් රාජ්‍ය ප‍්‍රතිපත්තියක් තිබිය යුතුය. 


හර්ෂණ තුෂාර සිල්වා
2015.11.25

Sunday, November 22, 2015

බැඳීම්

අම්මාගේ කළලයට අප එන්නේම බොහෝ ඥාතී මිත‍්‍රකම් ඇති කරගනිමින්ය. අප ජීවිතය ගැට ගසාගන්නේ මේ බැඳීම් මතය. ගුරුවරුන්, නෑයන්, පෙම්වතුන්, පෙම්වතියන්, මිතුරු මිතුරියන්, අසල්වැසියන්, හිත මිතුරන් ඇතුළු බොහෝ දෙනකුගේ බැඳීම් අපේ ජීවන ගමන ගෙවී යැයි. අපේ ලෞකික ජීවිතය ගැට ගැසී ඇත්තේම මේ බැඳීම් මතය. බැඳීම් ඇති වීමත් නැති වීමත් නිරන්තරයෙන් දුක් ගෙන දෙන්නේ, එය භෞතික ද අභෞතික ද යන්න මත නොවය, අදාළ ප‍්‍රාණියා හෝ අප‍්‍රාණවාචිය සමඟ ඇති සබඳතාවයේ ශක්තිවන්ත කම මතය. යම් පිරිස් තමා සමඟ ජීවත්වන්නන්ට වඩා තමා සතුව ඇති ප‍්‍රාණයක් නැති වස්තූන්වලට අපමණව ආදරය කරති.
බැඳීම් අත්හැරීම, සිහි නුවණින් අත්හැරීම නිවනට මඟ ඉක්මන් කරගැනීම යැයි බුද්ධ දේශනාවේ සඳහන් වන්නකි. බැඳීම් නිවනට ඇති මඟ පමා කරන්නකි. විද්‍යාවත් අවිද්‍යාවත් අතරත්, මුදලත් මනුසත්කමත් අතර පෙරළෙමින් පවතින සමාජයක, බුදුන්, ජේසුස් , ගාන්ධි, මැන්ඩෙලා වැනි අතිශය දුර්ලභ ගණයේ මිනිසුන් නැති ලොවක, ආදරය, මනුසත්කම පවත්වා ගැනීම දුෂ්කර කාර්යයක් බවට පත්ව ඇත. එකිනෙකා ආගම්, කුල මල ආදී නොයෙක දෑ වෙනුවෙන් සටන් කරත.ි
අප අපේ සමීපතයන් අතින් නිරන්තරයෙන් රැුවටීමට ලක්වෙති. නොසැලකිල්ලට ලක්වෙති. ඔවුහූ සිතා මතාම නොසලකා හරිති. සියල්ල අනිත්‍ය බව වටහා ගැනීමට මහා පරිමාණ බුද්ධියක් අවශ්‍ය නොවන්නේය. තමාගේ සතුට ඇත්තේ තමා සතුවය. තම තමන්ගේ ශක්ති ප‍්‍රමාණය ගැන දන්නේ, තම තමන්ය. අප විසින් බොහෝ දෙනා ද, බොහෝ දෙනා විසින් අප වද රවටන අතර, වෙනස ඇත්තේ ඒ ඒ රැුවටීම් කළ අවස්ථාව, රැුවටීම කරන ලද සිතුවිල්ල, රවටන ලද ප‍්‍රමාණය අනුවය. යහපත් සිතුවිල්ලකින් අන් අයකු රැුවටීම පත් වන අවස්ථා ද ඇත. අන් අයෙක් බේරා ගැනීම සඳහා බොරුවක් කීමට සිදුවන අවස්ථා  ඕනෑ තරම්ය.
දැඩි සේ ආදරය කරන අය අතින් රැුවටීමට ලක්වීම, නොසලකා හැරීමකට ලක්වීම බොහෝ සේ සිත් වේදනා ගෙන දෙන්නකි. එය මරණය ගෙ දෙන තරම් වේදනාකාරී වන අවස්ථා ද එමටය. එහෙත්, ඒ රැුවටීම නොසලකා හැරීම ශක්තියක් කරගෙන ජීවත්වීමය අවශ්‍ය වන්නේ. මරණයට පත්වීම බොහෝ පහසුය. එහෙත් වඩාත් වැදගත් වන්නේත්, අත්‍යවශය වන්නේත් දුෂ්කර වන්නේත් ජීවත්වීමය. එක් අයෙක් නිසා අප මරණය ළඟා කරගන්නේ නම්, අපට ආදරය කරන තවත් බොහෝ පිරිසක් දුක් වන බව ද අප මතක තබා ගත යුතුය. යම් පුද්ගලයකු අතින් රැුවටීම හෝ නොසලකා හැරීමට පත්වීම නිසා ජීවිතයේ සියල්ල අත් හරින්නේ නම්, ඒ තරම් අනුවණකාරී අන් යමක් තවත් නැත.
ජීවත්වීමට අරගල කරන බොහෝ දෙනා අප දැක නැතුවාට සැක නැත. මහරගම පිළිකා රෝහල ඊට කදිම තැනෙකි. යම් විටෙක එක් බැඳීමක්, මරණය මතක් කර දෙන විට, අපේ ජීවත්වීම අපේක්ෂා කරන තවත් බොහෝ බැඳීම පවතින බව අප අමතක නොකළ යුතුය. පිළිකා රෝහලේ ජීවන අරගලය කරන්නෝ බොහෝය. වෛද්‍යවරු ඔවුනට මරණය සඳහා දින නියම කරති. රෝගීහූ ඊට වඩා එක් දිනක් ජීවත්වීමට බොහෝ සේ අරගල කරති.
අප විසින් අපව මරණයට පත් කරගැනීමට කිසිදු අයිතියක් නැත. සරලව කියන්නේ නම්, සියදිවි නසා ගැනීමට අපට අයිතියක් නැත. අපට මරණය ගෙන එන්නේ ස්වභාවධර්මයයි. අප සොබාදම් මෑණියන්ගේ ¥ දරුවන්ය. අපේ මරණය සිදු විය යුත්තේ  සොබාදහම නියම කරන දිනයකදීය. දෛවයක් ඇත්නම්, ඒ නියම කරන දිනයකදීය. ගෙන ආ ආයු කාලයක් ඇත්නම්, ඒ ආයූ කාලය අවසානයේදීය.
අප තේරුම් ගත යුතු තවත් එක් දෙයකි. කෙතරම් බැඳීම් තිබුණද අප සියලූ දෙනාගේ සතුට රැුඳී ඇත්තේ අප අතර බව අප අවබෝධ කරගත යුතු කරුණකි. අන් අය ඔස්සේ සතුටක් ලැබෙන්නේ එය තාවකාලිකය. අප විසින් සොයන සතුට සොයා ගත යුත්තේ අන් අය ඔස්සේ නොව අප විසින්ය. අප සොයන සතුට ඇත්තේ අප තුළමය. එය හාර අවුස්සා සොයගැනීමට වෙහෙස මහන්සි විය යුත්තේ අපය. අප තුළ ඇති අපේ සතුට සොයන මං පෙත් විවර කර ගත යුත්තේත්, එම මාර්ග සොයා ගත යුත්තේත් අපය.

හර්ෂණ තුෂාර සිල්වා
2015.11.22

Thursday, November 12, 2015

මම ජනපති වුණේ සෝභිත හාමුදුරුවෝ නිසා

‘මම ජනපති වූයේත් , රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැතිවූයේත්, ප‍්‍රධාන පක්ෂ දෙක මෙලෙස එක්කාසූ වූයේත්................’ සෝභිත හාමුදුරුවෝ නිසා යැයි ජනපතිවරයා සෝභිත හිමියන්ගේ ආදාහන උත්සවය ඇමැතූ ජනපතිවරයා පැවැසීය. විධායක ජනපතිධුරය අහෝසි කරන බව ද ජනාධිපතිවරයා එහිදි සපථ කරමින් පැවැසීය. 

ජනපතිවරයාගේ අනතුරුව, ස්තූති කතාව ද පැවැත්වීමෙන් අනතුරුව, මහාචාර්ය සරත් විජේසූරියත්, කතානායකවරයාත් කතා පැවැත්වීම එක්තරා ආකාරයක අවුල් බවක් පෙන්නුම් කිරීමකි. මහාචාර්ය සරත් විජේසූරිය සිය කතාව අවසන් කරන ලද්දේ සිවිල් සංවිධාන වෙනුවෙන් විනාඩි පහක් ලබාදීමට කටයුතු කළ කතානායකවරයාට ස්තූතිය පළ කරමිනි. සංවිධාන කමිටුවල න්‍යාය පත‍්‍රවලින් සෝභිත හිමියන්ගේ සාධාරණ සමාජයක් ව්‍යාපාරයට කතාවක් ලබාදීමට අමතක වූවා නම් එය බරපතල ගැටලූවකි. නැවත නැවතත් සිතා බැලිය යුත්තකි.

සෝභිත හිමියන්ගේ අවසන් කැමැත්ත වූයේ මෙය යැයි හඳුන්වමින් විවිධ වීඩියෝ පට, ලිපි ලේඛන මුද්‍රිත, විද්‍යුත් හා සමාජ මාධ්‍ය ඔස්සේ ප‍්‍රසිද්ධියට පත්විය. විවිධ පිරිස් සෝභිත හිමියන් අවසන්වරට පැවැසුවේ මෙය යැයි පැවැසීය. මහින්ද පාර්ශවය කියා සිටියේ, සෝභිත හිමියන් ‘අපට වැරැුදුණා මහත්තයෝ’ යයි කී බවය. එහෙත් මේ කිසිවක් සෝභිත හිමි ජීවමාන වදනින් ඇරෙන්නට සාක්ෂාත් කරගත නොහැකිය. ඒ උන්වහන්සේ අප හැර ගොස් ඇති බැවිනි. මෙවැන් උත්සවයක් නොපැවැත් වූවානම්, රටට මෙතරම් මෙහෙයක් කළ සෝභිත හාමුදුරුවෝ වෙනුවෙන් කිසිවක් නොකළයි බැන වැදීමට අද අවසන් කැමැත්ත ගැන කතා කරන පාර්ශව නොපැකිළී කටයුතු කරන්නට ඉඩ තිබිණි. 

දැන් උන්වහන්සේ අප අතර නැත. උන්වහන්සේ මුල්ම කැමැත්තත් අවසන් කැමැත්තත් වූයේ, සාධාරණ සමාජයකි. අද පටන් සියලූ දෙනා ඒකරාශී වූයේ සාධාරණ සමාජයක් උදෙසාය. ඊට පක්ෂ, පාට, ආගම්, කුලමල, භේද කිසිවක් නොතිබිය යුතුය. 


උන්වහන්සේගේ අවසාන ගමන පවා අපට අරුත් දන්වන්නේ සාධාරණ සමාජයක්, ශීලාචාර සමෘද්ධිමත් රටක් වෙනුවෙන් ඒකරාශී වන්නටය. ආගම් භේදයකින් තොරව සමාජ කි‍්‍රයාකාරිකයකුගේ, බුද්ධ පුත‍්‍රයකුගේ, ස්වභාවදම් සත්ත්වයකුගේ අවසන් ගමනට මෙවැනි ගෞරව දැක්වීම පිළිබඳ ඉතිහාසයක් මා දන්නේ නැත.
රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයාගෙන් සෝභිත හිමියන් අවසන් වරට ඉල්ලූවා යැයි කියන්නේ ද ජනපතිවරයා හා එක්ව සාධාරණ රටක්, ශීලාචාර රටක්, ගොඩනගන ඉල්ලීම යැයි අගමැතිවරයා ද, කතානායකවරයා ද, මහාචාර්ය සරත් විජේසූරිය ද සිය කතාවලදී පැවැසූහ. 

සියල්ල නිහඬව සිටියදී, නිදහස් නිවහල් රටක් වෙනුවෙන් සාධාරණ සමාජයක් වෙනුවෙන් සටන් වදින්නේ සෝභිත හිමියන්ය. ජනපතිවරයාත්, අගමැතිවරයාත් උන්වහන්සේගේ දේහය ඉදිරියේ සිට සපථ කරන්නේ සෝභිත හිමියන් පැවැසූ මූලධර්ම අරමුණු ආරක්ෂා කරන බවය, විධායක ජනපතිධුරය අහෝසි කරන බවය. මළ මිනියක් ඉදිරියේ දුන් පොරොන්දු හෝ ඉටු කරන්නට මේ දේශපාලකයන් කටයුතු කළ යුතුය. එය ජීවත්ව සිටි විට දුන් පොරොන්දුවකට වඩා බලවත් යැයි සිතමි. 


සාධාරණ සමාජයක් වෙනුවෙන්....


හර්ෂණ තුෂාර සිල්වා
2015.11.12

Wednesday, November 11, 2015

සෝභිත හිමියන්ගේ අපවත්වීමත්, ඇවන්ගාඞ් සිදුවීමත් නිසාමීට සති දෙකකට පෙර එච්.එන්.ඞී.ඒ සිදුවීම සම්බන්ධ කි‍්‍රයාවලිය බොහෝ පිරිස්වලට අමතකව ගිය බවක් පෙනෙන්ට ඇත. අද පැවැති මාධ්‍ය හමුවකදී අන්තර් විශ්වවිද්‍යාලයීය බල මණ්ඩලයේය කැඳවුම්කරු ප‍්‍රකාශ කර සිටියේ තවමත් ගැටලූ විසඳී නැති බවය. 

තිලක් මාරපන හිටපු අමාත්‍යවරයාගේ ඉවත් වීම පවා එක්තරා ආකාරයක රංගනයක් යැයි කිව යුතුය. ඔහු ඉවත් වෙමින් අදාළ ආයතනයේ නිරවද්‍යතාව සපථ කර සිටින්නේ, කිසිම අයුරකින් එම ආයතන හා ඒ සම්බන්ධ කි‍්‍රයාවලිවලදී නිතිවිරෝධී කිසිවක් සිදුව නැති බව පවසමිනි. 

ඉකුත් මහින්ද රාජපක්ෂ සමයේදී සිදුවූයේ මෙවැනි දෑමය. සැබෑ ප‍්‍රශ්න යට යැවීමත්, ඒ වෙනුවට එක් යමක් අල්ලාගැනීමත්ය. රාජපක්ෂ ආණ්ඩුවට ‘යුද්ධය අවසන් කිරීම’ තුරුප්පු වද තිබීය. 

රටක දියුණුවට වඩාත් වැදගත් සාධකය වන්නේ අධ්‍යාපනය යැයි දැඩි සේ විශ්වාස කරමි. අධ්‍යාපනය විවිධාකාරයෙන් කොටස් කළ හැකිය. වෘත්තීය වශයෙන්, විෂය වශයෙන් ආදිය නෙයෙක ක්ෂේත‍්‍ර ඔස්සේ වර්ග කළ හැකිය. 

එම නිසා රටක රාජ්‍ය හෝ පෞද්ගලික අධ්‍යාපන ආයතන බිහි වීම සුදුසුය. එසේ අධ්‍යාපන ආයතන ආරම්භ කිරීමේදී රජය සතුව සුවිශේෂී වගකීමක් වෙයි. පෞද්ගලික අධ්‍යාපන ආරම්භ කරන විටකදී ඒවායේ ගුණාත්මකභාවය, අය කරන මිල ගණන්, ආදී බොහෝ සාධක කෙරෙහි අවධානය යොමු කරන අතරම, පෞද්ගලික අධ්‍යාපන ආයතනයත් රාජ්‍ය අධ්‍යාපන ආයතන අතරත් තරගකාරීත්වයක් නිර්මාණය කළ යුතුය.
සෑම වසරකදීම දෙලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටිති. 2003 වසරේදී 213,201ක් දෙනෙක් උසස් පෙළ විභාගයට පෙනී සිටි අතර 2010 වසරේදී එම සංඛ්‍යාව 233,354ක් විය. 2014 මහ බැංකු වාර්තාව අනුව පසුගිය වසරේදී පමණක් උසස් පෙළ විභාගයට පෙනී සිටි සංඛ්‍යාව 247,396කි. එපමණක් නොව පසුගිය වසරේ උසස් පෙළ විභාගයට අයදුම් පත‍්‍ර කළ යොමු කළ සංඛ්‍යාව 290,517ක් වීම තවත් සුවිශේෂී කරුණක් වන්නේය. 2003 වසරේදී විශ්වවිද්‍යාල ප‍්‍රවේශයට සුදුසුකම් ලබන පිරිස 93,292ක් වනවිට 2010 වසරේදී එම සංඛ්‍යාව 142,415 ක් වන්නේය. 

2010 වසරේදී විශ්ව විද්‍යාලවලට ඇතුළත් වීමට වරම් ලබන්නේ 21,547කි. පසුගිය වසරේදී සිසුහූ 143,740ක් සරසවි වරම් ලබති (මහ බැංකුව වාර්තාවට අනුව*. එහෙත් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කරගනු ලැබුවේ 25,200කි. එහෙත් ජන හා සංඛ්‍යාලේඛන වාර්තාවට අනුව 2014 වසරේදී විශ්වවිද්‍යාලවලට සුදුසුකම් ලැබූ පිරිස 149,489කි. මහ බැංකු (2014* වාර්තාවට අනුව 143,740ක් සුදුසුකම් ලබනවිට විශ්වවිද්‍යාවලට ඇතුළත් වන්නේ 25,200කි. ප‍්‍රතිශතයක් ලෙස ගත්කළ විට සියයට 58.27ක් සුදුසුකම් ලබද්දි විශ්වවිද්‍යාවලට ඇතුළත් වන්නේ සියයට 17.50කි. 

ඉතිරි 118,540ට උසස් අධ්‍යාපනය අකැපද ? එපමණක් නොව විශ්වවිද්‍යාලවරම් නොලබන පිරිසට උසස් අධ්‍යාපනය අකැපද? උසස් පෙළ අසමත් වන, නොයෙක් හේතු නිසා උසස් පෙළට වාඩි නොවූ 50,000කට ආසන්න පිරිස ‘මැට්ටෝ’ ද ?


හර්ෂණ තුෂාර සිල්වා
2015.11.11

Sunday, November 8, 2015

වීරයා මැරිලා

මට මතකයි පුංචි කාලේ, මම අතේ එල්ලිලා කිරිබත්ගොඩ සුදර්ශනාරාමයේ තිබුණු සෝම හාමදුරුවන්ගේ බණක් අහන්න ගියා. බණ අහන්න වුණේ පන්සලේ ගේට්ටුව ගාව ඉඳන් , ඒ තරමට සෙනඟ. මට බණ අහනවා තියා ඒ ගැන දැනුමක් වක් තිබ්බේ නැහැ. මං වැඩියෙන්ම ආදරය කරපු හාමුදුරු නම සෝම හාමුදුරුවෝ. සෝම හාමුදුරුවෝ අපවත් වුණා කියපු වේලේ ඇඩුණා. එතැන් පටන් අද වෙනතෙක් හාමුදුරු නමක් අපවත් වූ බව අසා මා කඳුළු හෙළා නැහැ. ඒත් සෝභිත හිමියන්ගේ අභාවය, මගේ දෑසට පමණක් නොව බොහෝ දෙනාගේ දෑසට කඳුළු බිඳු ගෙනා බව නොරහසකි. උන්වහන්සේ සමඟ සමීපයෙන් ආශ‍්‍රය නොකළ ද, එක්වරක් උන්වහන්සේ සමඟ දුරකථනයෙන් කතා කළ බව මතකයට ගෙන එද්දිත් සියුම් ආඩම්බරයක් දැනෙයි. එහෙත් අවාසානවකට උන් වහන්සේ සමඟ කිරීමට යොදා ගත් සම්මුඛ සාකච්ඡුාව කරගත නොහැකි වූයේ, උන්වහන්සේ දුර බැහැරක වැඩ සිටි හෙයිනි. සෝම හාමුදුරුවෝ අපවත් වනවිට හය හතර නොදත් මා අද යම් අවබෝධයක් ඇත්තෙක්මි.  අගමැතිවරයා අද කියා සිටියේ, සෝභිත හිමියන්ගේ අරමුණු ඉටු කිරීමට බැඳී සිටින බවකි. පැවැති සෑම ආණ්ඩුවක් පෙරළීමට නොබියව මූලිකත්වය ගත්තෙක් වූවා නම්, ඒ අල්පය අතර සෝභිත හිමියන්ගේ නමද විය. සෘජු ලෙස අදහස් කීමට නොපැකිළි උන්වහන්සේ සෑම විටම පෙනී සිටියේ, උන්වහන්සේ සිහින දුටු සාධාරණ සමාජය උදෙසාමය. එය ඉටු කිරීම අප සැමගේ වගකීමකි. උන්වහන්සේගේ අභාවයෙන් අධමයන් සතුටු වන අයුරුත් උන්ගේ පාදඩ කම පෙන්නුම් කිරීමක් ලෙස පෙන්වාදිය යුත-ුය.
උන්වහන්සේ මෙන්, නිර්භීත පුද්ගලයකු සොයා ගත යුතුව ඇත. අපට සමීප ජනවාරි 8 පෙරළියට නායකත්වය දුන්නේ සෝභිත හිමියන්ය. එම නිසා සාධරණයක් සමාජයක් සඳහා නායකයන් අවශ්‍යය. වීරයන් වුවමනා කර තිබේ. එබැවන්, සෝභිත හිමියන්ගේ තැන ගන්නට කිසිවකුත් නැත. සියලූ දෙනා එක්ව සටන් කළ යුතුව. අප විසින් සෝභිත හිමියන්ට කරන ලොකුම ගෞරවය එය වනු ඇත. උන්වහන්සේ වදනින්ම, ගිහියන් දහසකට කළ හැකි දේ, එක් හිමි නමකට කළ හැකිය. ඔබ වහන්සේ නිවැරැුදිය. අපි ඔබ වහන්සේට ආදරය කළෙමු. සෑම අවුලකදීම ඔබ වහන්සේ කියන්නේ කුමක් දැයි බලා සිටියෙමු. ජනතාව ඔබ සිටි බව අපටත් විශ්වාසය. ඔබවහන්සේ කළ සියල්ල, ජනපතිවරයකුටත් කළ නොහැකි බව දනිමු. එබැවින් දහස බැගින් ඒක්කාසු විය. ඊට පක්ෂ පාට ආගම් කුල මල භේද නොපැවැතිය යුතුය.
හුස්ම වැටීම නැවැතුණු පසු මළ සිරුරට වන්දනා මාන කරනාවට වඩා, ජීවමානව සිටියදී යම් අරමුණක්, යම් දෙයක් පැතුවා නම්, පුත නුඹ මෙසේ විය යුතු යැයි සිතුවා නම්, ජීවත්ව සිටින උන්ගේ පරම වගකීම වන්නේ එම අරමුණු ඉෂ්ට කර දීම යැයි විශ්වාස කරමි.  සාධාරණ සමාජයක් ගොඩනැගීමේ නියම සටන ආරම්භ වන්නේ දැන්ය. වීරයෙක් නොමැතිව, සටන දුෂ්කරය.


හර්ෂණ තුෂාර සිල්වා
2015.11.08

ඒ මා දුටු එකම බෞද්ධ භික්ෂූන් වහන්සේය !

සෝභිත හාමුදුරුවන් යනු; මගේ ජිවිත කාලය තුළ, මා දුටු එකම බෞද්ධ භික්ෂූන් වහන්සේය. උන් වහන්සේ ගැන මා මුලිම්ම දැන ගන්නේ 88/89 රාජ්‍ය භීෂණ කාලය තුළ අපේ ගෙදරට රැස්වූ මානව හිමිකම් ක්‍රියාකාරී අංකල්ලා ගේ කටිනි. දකුණු පළාතේ උන් ප්‍රාදේශීය මානව හිමිකම් ක්‍රියාකාරීන් ගමේ තත්වය ගැන නිරන්තරව වාර්තා කළේ උන් වහන්සේටය. එකල අපි දිවයින පත්තරේ උන් වහන්සේගේ ඉන්ටර්වීව් කියවීමු. උන්වහන්සේ ප්‍රේමදාස රජයෙන් රටේ මිනිස්සු රකින්නට ඉදිරියට ආ මුල් පෙළ නායකත්වයක් වූ සේක. මට කලින් මෙලොව එලිය දුටු කාමලිකා තෙන්නකෝන් ට සෝභිත හාමුදුරුවන් ගැන මතකය පටන් ගන්නේ 83 කළු ජූලියෙනි.දේශමාමක රෝගීන් බොරැල්ලේ දමිළ කඩ ගිනි තියද්දී-දමිළ වාසගම් සහිත මිනිසුන් එලොව යවන්න තතනද්දී තනි සිංහයෙකු ලෙස එතැන සටන් කර ඇත්තේ උන්වහන්සේ ලු.සුලුජාතිකයන් මරාගෙන කන්න ඉල්ලන චීවරධාරීන් ඉන්නා රටක, ඒ මා දුටු එකම බෞද්ධ භික්ෂූන් වහන්සේය.ප්‍රේමදාස රජය පෙරළා රටට යහපාලනය උදා කරන්නට චන්ද්‍රිකා රැගෙන එන සටන පටන් ගත්තෙත් උන් වහන්සේ තමයි ය. ඒ ප්‍රේමදාස ට විරුද්ධව කටේ කෙළ බිඳක් හලන්නට බැරි මිනිස්සු හිටි රටකය. එවක රාවය පත්තරේ ගිය උන්වහන්සේගේ ලිපි හඬගා කියවූ මගේ තාත්තා, ඉන් සමහරක් පිටුවෙන් වෙන්කර ගෙදර බිත්තියේ අලවා තියෙනු මට තාමත් මතකය. මහින්ද රාජපක්ෂ අගමැති කමට ගෙනෙන්නට චන්ද්‍රිකා ට බල කළ සුළුතරය අතර සෝභිත හාමුදුරුවන් ද විය. පුදුමය එය එසේ නොවුනානම් ය.
උන්වහන්සේ රටේ සියලු ජන-පෙරළි වල මූලිකත්වය වූහ. සෝභිත හිමියන් නැඟි සිටින්නේ කොතනද, එතැන බල-පෙරළියක් නියත වග සිහිසම්පන්න රටේ ජනතාව දැන උන්හ."යහපාලනය" මිස ඔය එක පෙරලියකින්වත් උන්වහන්සේ අපේක්ෂා කළ පෞද්ගලික වරදානයක් නැත. එය එසේ වුවා නම් ; උන්වහන්සේ ඊළඟ සටනට නායකත්වය දෙන්නේ ද නැත.
තමන් ගේ අරගලය තුළින් හැදුණු ආණ්ඩුවක දොස් දැක, සියල්ලන්ටම කළින් කිපුණේ උන් වහන්සේය. ඒ රොටියත් කරවුණු බව දැක චිත්ත සංතාපයට පත්වූයේ උන්වහන්සේය. අපේ ලෝකය යහපත් කිරීමේ "අව්‍යාජ වෑයම" තිබුණේ උන්වහන්සේගේ සිතෙහි පමණක් බව මම විශ්වාස කරමි. දර දිය ඇද, පිටි අනා, රොටි පුච්චා, අතට දෙනකන් බකන්නිලා ඉන්න "ප්‍රජාතන්ත්‍රවාදී නිකමුන්" බහුල රටක් සමාජීයව සංවර්ධනය කරන්නට උන් වහන්සේ සෑහෙන්න වෙහෙස විය. එය උන්වහන්සේට තනියම කළ හැක්කක් නොවන බව දැන දැනත් අපට රොටි පුච්චන්ට ඉදිරියට වැඩියේ උන්වහන්සේ පමණි.
සෝභිත හාමුදුරුවෝ යනු බයියන්ගේ ‪#‎බයියාන්ඩුව‬ පෙරළන්න මුලිකත්වය ගත් නායකත්වය පමණක් නොවේ. ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකා හිරේ දමද්දීත්, අගවිනිසුරුවරිය තනතුරෙන් එළවද්දීත්, නායකකාරකාදීන් ගේ හොර ගේම් දැක ව්‍යවස්ථාදායකය අහක බලද්දිත් මිනිස්සු අවදිකරවමින් ‪#‎වහල්බවින්‬ මිදෙන්නට අරගල කළ නායකත්වය ද වේ. බයියාන්ඩුව පෙරළී ‪#‎ගේමාණ්ඩුව‬ ක් ඇතිවීම උන්වහන්සේගේ දෝෂයක් නොවේ. ඒක සදාකාලිකව වහල්කමට පුරුදු කළ දේශපාලනික වහලුන් ඉන්නා රටක රටවැසියන්ගේ වැරැද්ද ය. උන්වහන්සේ අපවත්වුයේ සිත්තැවුලෙනි. ඒ තැවුල, නුඹලාගේ පයේ විලංගුව ලිහන්නට උන්වහන්සේට කාලයක් හෝ හැකියාවක් ඉතිරි නොවීම ගැනය. ඔය ‪#‎බයියාන්ඩු‬ සහ ‪#‎ගේමාණ්ඩු‬ ඇතිවන්නේ වහලුන්ගේ සමාජයක ය. ඊට උන්වහන්සේ වගකිවයුතු නැත.රටේ සැලකියයුතු පිරිසක් මනෝ-දේශපාලනික වහල්භාවයෙන් මුදවා ගැනීමට සෝභිත හිමියන් කටයුතු කළෝය. අද, උන්වහන්සේගේ අපවත්වීමෙන් යමෙකුට සතුටක් දැනෙන්නේ නම් ; ඒ , පයෙහි ලූ විලංගුව "පාසලඹක්" ලෙසින් දකින වහලෙකි.
සෝභිත හිමියන් ජනතාව අතර හිඳ ජනතාවගේ යහ පැවැත්ම වෙනුවෙන් හදවතින් වැඩ කළ උත්තමයෙකි. උන්වහන්සේ ට කාම සුඛල්ලික අසපු නොවීය. වස්වසින්නට යුරෝපෙට දුවන්න ඕනා නොවීය. තමන් විසින් මාර්ගපල අවබෝධ කර ගැනීමට පෙර රටේ මිනිස්සු හරි මාර්ගයේ යවන්නට උන් වහන්සේට කවදත් ඕනා විය. කොටිම්ම, උන් වහන්සේ උත්කර්ෂ දේශපාලන නායකත්වය පස්සෙන් ගිය කෙනෙකු නොවූහ, දේශපාලකයන් ජනතාව පස්සෙන් එවන්නට වැඩ කළ නායකයෙකු වූහ. තමන් මුලිකව ඇතිකළ සමාජ-දේශපාලන පෙරළියකින් මිනිසුන්ට සැබෑ සෙත නොසැලසිම ගැන අවංකව "සිත්තැවුලට" පත් එකම නායකයා උන්වහන්සේය. ඒ 'සිත් තැවුල', "රටක් ලෙස ලත් පරාජය" පිළිබඳවය. ශ්‍රී ලංකාව යනු ; තමන්ගේ ආණ්ඩුව මුහුදුබත් වෙන්න ලං වෙන බව දැනුණු වහා ඊළඟ ආණ්ඩුවට පනින්නට ගේම් ගහන දේශපාලන මීයන්,කැරපොත්තන් ඉන්නා රටකි. ඩී එස් සේනානායක ලාගේ කාලයේ පටන් මා අසා ඇති කිසිදු සමාජ දේශපාලන චරිතයක් "රටක පරාජය" නිසා සිත්තැවුලෙන් අවසන්ගමන් ගොස් නැත. ඉතිං, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයට මේ අහිමි වුයේ රටට වඩාත්ම ආදරය කළ අතිගෞරවනිය පුරවැසියා ය.

Nadeesha Chandrasena             
https://www.facebook.com/nadeesha.chandrasena

Friday, November 6, 2015

අගෝස්තු 17 වැනිදා පැවැත්වෙන මහ මැතිවරණයෙන් පසු කාලය, මන්තී‍්‍රවරුන් ඉහළම මිල ගණන්වලට විකිණෙන කාලය යැයි අපි අනාවැකි පළ කළෙමු. දැන් පාර්ලිමේන්තුවේ හඬ නගන්නේ එම මුදල්ය. තිලක් මාරපන අමාත්‍යවරයාත්, විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයාත් හත් පොළේ ගා ගන්නා ආකාරය දැන් හොඳකාරවම පෙනෙන්නට ඇත්තේ එම තත්ත්වයයි. මහින්ද රාජපක්ෂ පාලනය සමයේ ආණ්ඩුවේ මැති ඇමැතිවරු පමණක් නොව විපක්ෂයේ පිරිස් ද මුදලට යට වූ බව නොරහසකි. ආණ්ඩුවේ ප‍්‍රධානම අමාත්‍යධුර දරන්නන් එකක් පවසද්දි ආණ්ඩුවේ සම කැබිනට් ප‍්‍රකාශක රාජිත සේනාරත්න අමාත්‍යවරයා පවසා සිටින්නේ තිලක් මාරපන අමාත්‍යවරයාත්, විජයදාස අමාත්‍යවරයාත් කළ ප‍්‍රකාශ ආණ්ඩුවේ මතය නොවන බවය. එසේ නම්, එම ඇමැතිවරුන් කරන කියන දෑ ගැනද අපට විශ්වාසයක් තිබිය නොහැක. තිලක් මාරපන අමාත්‍යවරයා යම් කිසි සිදුවීමක් සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කළ විට  එය ආණ්ඩුවේ මතය නොවේ යැයි ආණ්ඩුවම පවසනු ඇත. ආණ්ඩුවේ අමාත්‍යවරයෙක් යනු ආණ්ඩුවේ නියෝජනයයි. ඔහු කරන කියන දෑ ආණ්ඩුවට ද අදාළය.
එපමණක් නොව මෙම ආණ්ඩුව ගෙන ඒමට ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා යම් කිසි කාර්යභාරයක් කළ බව අමතක නොකළ යුතුය. ඔහුගේ තනතුරට අවමන් කරමින්, අද විජයදාස අමාත්‍යවරයා කළ ප‍්‍රකාශය පිළිකුල් සහගතය. ආණ්ඩුවේ සැබෑ ස්වරූපය මේ ආකාරයෙන් පෙන්නුම් කිරීම වඩා හොඳය. ඒ ආණ්ඩුවට ඔවුන්ගේ වැරැුදි නිවැරැුදි කරගෙන ඉදිරියට යෑමේ අවස්ථාවක් උදා වීමත්, ජනතාවට ආණ්ඩුවේ ස්වභාවය තේරුම් ගැනීමට අවස්ථාවක් උදාවීමත්  යන හේතු කාරණා නිසාය. තවමත් මේ ආණ්ඩුව රාජපක්ෂ ආණ්ඩුවට වඩා හොඳයි. මීට පෙර කිසි දිනෙක ඉහළ පෙළේ නිලධාරීන් ප‍්‍රශ්න කිරීම් සඳහා ගෙන් වූ බවක් අප අසා නැත. කැබිනට් අමාත්‍යවරුන්, ජනපතිවරුන්ට එසේ කළ බවක් අසා නැත. මෙය දේශපාලන පළිගැනීමක්, අපහාසයෙන් උපහාසයෙන් ඔබ්බට යා යුතුය. වික්ටර් අයිවන් කීවාක් මෙන් මෙය චක‍්‍රයක් වශයෙන් සිදුවනු ඇත. වෙනත් ආණ්ඩුවක් පත් වූ පසු නැවතත් දැන් බලයේ සිටින්නට එසේ සිදුවනු ඇත. එසේ හෝ මේ ක‍්‍රමය නිවැරැුදි වනු ඇත.
රාජිත සේනාරත්නත්, චම්පික රණවකත්, ඇතුළු තවත් එක්සත් ජාතික පක්ෂයේ නොවන පිරිසක් ආණ්ඩුව තුළ සිටීම රටට සුබවාදීය. ඒ පරස්පර මතවාදත්, හොරුන්ට අවස්ථාවක් නොදීමත් යන කරුණු හේතුවෙනි. පාර්ලිමේන්තුවේ සිටින කිසිවකුත් සුදනන් නොවන බව අපි දනිමු. ජනතා විමුක්ති පෙරමුණට ද එය අදාළය. එහෙයින් අපට අවශ්‍ය කරන්නේ අවම වැරැුදයි. අපරාධ අඩු තැනැත්තනත්. නම අඩුවෙන් කැත කරගත්තවුන්ය.
අනෙක් කරුණ. පසුගිය රාජපක්ෂ පාලන කාලය පුරාවමටම ත‍්‍රස්තවාදයත්, අන්තවාදයත් ඉදිරියට දමමින්, ආණ්ඩුව විවිධ ප‍්‍රශ්න නිර්මාණය කරමින්, සැබෑ ප‍්‍රශ්න යටගැසීමට කටයුතු කළේය. වර්තමානයේ සිදුවෙමින් ඇත්තේත් එවැනි කි‍්‍රයාවලියකි. සැබෑ ප‍්‍රශ්න යටයමින් පවතියි. ආණ්ඩුවක් වශයෙන් තවමත් මේ ආණ්ඩුවට රටේ ජනතවාගේ ප‍්‍රසාදයක් නැත. අවම වශයෙන් ආණ්ඩුවට ඡුන්දය දුන් පිරිස් ද සිටින්නේ කලකිරිමෙන්ය. එබැවින් ආණ්ඩුව වැරැුදි නිවැරැුදි කර ගත යුතුය. මහින්ද රාජපක්ෂ සමයේ සිදු වූ යහපත් දෑ ඉදිරියට ගෙන යෑමත්, අලූත් දෑ කිරීමත් කළ යුතුය. අධ්‍යාපනය, සෞඛ්‍ය, ආදී ප‍්‍රධාන ක්ෂේත‍්‍ර රැුසක ප‍්‍රතිසංස්කරණ කළ යුතුය. නව ව්‍යවස්ථාවක් සැකැසීම සම්බන්ධයෙන් පැවැති කතිකාවත ඉදිරියට ගෙන යා යුතුය.
එබැවින් මේ ආණ්ඩුවට තවමත් කල් ඇත. නිවැරැුදි කරනොගතහොත් ආණ්ඩුවට රාජපක්ෂ ආණ්ඩුවට පෙර ගෙදර යෑමට ඇති අවදානම වැඩිය.


හර්ෂණ තුෂාර සිල්වා
2015.11.06

Wednesday, November 4, 2015

කොළඹ ගෝලීයව තරගකාරී නගරයක් කිරීම තේමාව කරගනිමින් අදත් ඊයේත් සමුළුවක් පැවැති එහිදි හුවමාරු වූ අදහස් වැදගත් බව කිව යුතුය. එහිදි රාජ්‍ය අංශය නියෝජනය කරමින්, ආයතන රැුසක් සහභාගී වී සිටියද, එය ප‍්‍රමාණවත් නොවන බව හැඟීමයි. එපමණක් නොව, මහාමාර්ග, ප‍්‍රවාහනය, ආදී එකට තිබිය යුතු විෂය විවිධ අමාත්‍යාංශවලට කැඞී ගොස් තිබීමේ බරපතළ විපාකයකට අප මුහුණ දී සිටීමත්, එලෙස සමාන්තරව ගමන් කළ යුතු අමාත්‍යාංශ වෙන වෙනම කටයුතු කිරීමෙන් සිදුවන නාස්තිය, යටිතල පහසුකම් දියුණු කිරීමේ ව්‍යාපෘතී සුදු අලීන් බවට පත්වීමේ දරුණු අර්බුදයකටත් අප පත්ව සිටියි. එනම්, මාර්ග සංවර්ධන අධිකාරිය, ප‍්‍රාදේශීය සභාවක් හෝ අදාළ පළාත් පාලන ආයතනයක් විසින් මාර්ගයක් ප‍්‍රතිසංස්කරණය කිරීමෙන් පසු ජල සම්පාදන මණ්ඩලයෙන් පැමිණ පිළිසකර කළ මාර්ගය කඩා බට දැමීම ඊට සරල උදාහරණයක් ලෙස පෙන්වා දිය හැකි කරුණකි. 

මෘදුකාංග නිර්මාණකරුවන් වෙත ලියමි.

මෙම සමුළුවේ අවසාන සැසියේදී අදහස් දැක් වූ සිස්කෝ උපදේශන සේවා ආයතනයේ රවීන්ද්‍ර පාල් සිං ගේ අදහසක් මෘදුකාංග නිර්මාණකරුවන් ගේ අවධානය ට යොමු කරමි.

ඔහු කී පරිද්දෙන් මෘදුකාංගයක් මෙරට පිරිස් නිර්මාණය කර ඇත්දැයි සම්බන්ධයෙන් අවබෝධයක් මට නැත. බැංගලෝරයේ කුණු දැමීම සම්බන්ධයෙන් ගෙන එන ලද කරුණක දී, කුණු දමන ස්ථාන පිළිබඳව අදාළ බලධාරීන්ගේ අවධානයට යොමු කළ ද ඉන් පලක් නොවූ එම මෘදුකාංගය නිර්මාණය කර තිබුණි. මාදූකාංගය අනුව, පාරේ යම් තැනක අපද්‍රව්‍ය බැහැර කර ඇත්නම්, එහි ඡුායාරූපයක් ගෙන එය අදාළ ස්ථානවලට යැවීමේ පහසුකම් නිර්මාණය කරන ලද මෘදූකාංගය ඔස්සේ ලබාදෙයි. එපමණක් නොව එම ඡුායාරූපයම, සමාජ වෙබ් අඩවි හෝ වෙනත් ආකාරයකින් ප‍්‍රසිද්ධියට පත් කිරීමක් ද සිදුවෙයි. එමඟීන් බලධාරීන් ට එය පැහැර හැර සිටීමේ හැකියාවක් නොවීය. මාසයකට පමණ පසු මෘදුකාංගය නිසා අදාළ ස්ථානවල අපද්‍රව්‍ය බැහැර කිරීම් නවතා ගැනීමට අදාළ පාර්ශවවලට හැකියාව ලැබී ඇත. එපමණක් නොව මෙම මෘදුකාංගය පසුව නගර රැුසක ප‍්‍රචලිත වී ඇති අතර මිලියන දෙකකට ආසන්න පිරිසක් මෘදුකාංගය භාගත කර ඇති බවත් ඔහු පැවැසීය. 



හර්ෂණ තුෂාර සිල්වා
2015.11.04

Monday, November 2, 2015

ශිෂ්‍ය මර්දනයේ ප‍්‍රභේද

ශිෂ්‍ය මර්දනයේ ප‍්‍රභේද 

1. ඉල්ලීම් ඉල්ලන සරසවි සිසුන්ට පහරදීම
2. අධ්‍යාපන කප්පාදුව
3. පාසල් වර්ගීකරණය (සුපිරි පාසල්, කොළඹ පාසල්,ජාතික පාසල්, පරිගණක විද්‍යාගාර සහිත පාසල් ) සම අධ්‍යාපන අයිතිවාසිකම් සීමා කිරීම
4. විෂය නිර්දේශ යාවත්කාලීන නොකිරීම
5. වෘත්තීය අධ්‍යාපනය සීමා කිරීම
6.පහේ ශිෂ්‍යත්වයෙන් , අවුරුදු දෙකක විෂය නිර්දේශ, (සා/පෙ, උ‍්‍රපෙ ) එක ප‍්‍රශ්න පත‍්‍රයකට කොටු කිරීම
7. තමන්ට කැමැති විෂය ක්ෂේත‍්‍රවලින් අධ්‍යාපනය ලැබීමේ අයිතිය සීමා වීම

මෙවැනි බොහෝ ගැටලූ මතකයේ තිබුණද, ලියනවිට මතකයට පැමිණියේ ඉහත හත පමණි. මර්දනය යනු පහරදීමම නොවන බව මගේ හැඟීමයි. අපේ රටේ අධ්‍යාපනයේ ඇති සීමා බොහෝය. සාක්ෂරතාව ඉහළ අගයක් ගැනීමෙන් අධ්‍යාපනයේ ඉහළ මට්ටමක යැයි හැඟවෙන්නේ නැත. නිසි අධ්‍යාපන ප‍්‍රතිපත්තියක් සැකැසීමේ දැඩි අවශ්‍යතාවකට රටක් ලෙස අපි මුහුණ දී සිටිමු. පහේ ශිෂ්‍යත්ව විභාගයම අවුලක් වන්නේ ඔවුන් සිටින පාසලෙන් පහසුකම් වැඩි පාසලක් යන්න කුඩා කාලයේම දරුවාගේ මනසට ඇතුළුවීම. අපිදි ශිෂ්‍යත්ව සමත් වීමු. ඉන් වෙනත් පාසලකට ගිය බව ද සත්‍යයකි. මේ කියන්නේ එය නැති කරන්නට නොව, මා ශිෂ්‍යත්ව දක්වා ඉගෙන ගත් පාසලත් ඉන් පසු ඉගෙන ගත් පාසලෙනුත් ලබාදෙන අධ්‍යාපනයේ ගුණත්වය එක හා සමාන විය යුතුයි යන්නයි. සම්පත් වලින් දරුවන්ට අඩුවක් නොවිය යුතුයි. පාසල් වෙන් කරන්නේ නම් ඒ කළ යුත්තේ, විෂය අනුව, තොරතුරු තාක්ෂණ පාසල්, විද්‍යා ගණිත පාසල්, වෘත්තීය පුහුණු පාසල් ආදිය ලෙසය. එවිට අපට ඒ විෂයෙන් ප‍්‍රවීණයෝ බිහි කළ හැකිය. මේසන් වැඩට දක්ෂ සිසුවකුට, ඒ පිළිබඳ අධ්‍යාපනයත්, වෘත්තීය පුහුණවත් දිය හැකි නම්, ඔහු එම ක්ෂේත‍්‍රයේ විශේෂඥයකු වනු ඇත. රටක සියලූ දෑ රඳා පවතිනුයේ අධ්‍යාපනය මතය යන්නයි මගේ හැඟීමයි. එය විභාග සමත්වීමම පමණක් නොව, දැනුම බුද්ධියේ තරමයි. නම අගට ඇති ඉංගී‍්‍රසි අක-ුරුවලින් අධ්‍යාපනයේ තරම මිණිය නොහැක. එහෙත් සියලූ දෙනා ප‍්‍රාථමික අධ්‍යාපනයක් ලැබිය යුතුයි. කතා කළ යුතු දේ බොහෝය. සාකච්ඡුාවක් කෙරෙන්නේ නම් මේ සුදුසුම කාලයයි. කතා කරමු අපි. මෙය ලියන මා ද තවම ශිෂ්‍යයෙකි. එහෙත් අපි ඉදිරියට යා යුත්තේ අප විසින් දියුණුව අත්පත් කරගනිමින් පමණක් නොව, අදාළ ක්ෂේත‍්‍රයේද දියුණුව උන්නතිය ඇති කරමින් ය යන්න හැඟීමයි.

හර්ෂණ තුෂාර සිල්වා
2015.11.02

‘මිඩ්ල් ක්ලාස්’ ක්‍රියිසිස් සහ ‘ඩිකෝඩිං’

අපි ජන සමාජයක් විදියට උග්‍ර අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. දරුවෙක්ගේ සාර්ථකත්වය මනින්නේ, යාන වාහනවලින්, උපාධිවලින්, හම්බවෙන පඩියෙන්, කරන රස්සා...

Blog Archive