Thursday, November 12, 2015

මම ජනපති වුණේ සෝභිත හාමුදුරුවෝ නිසා

‘මම ජනපති වූයේත් , රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැතිවූයේත්, ප‍්‍රධාන පක්ෂ දෙක මෙලෙස එක්කාසූ වූයේත්................’ සෝභිත හාමුදුරුවෝ නිසා යැයි ජනපතිවරයා සෝභිත හිමියන්ගේ ආදාහන උත්සවය ඇමැතූ ජනපතිවරයා පැවැසීය. විධායක ජනපතිධුරය අහෝසි කරන බව ද ජනාධිපතිවරයා එහිදි සපථ කරමින් පැවැසීය. 

ජනපතිවරයාගේ අනතුරුව, ස්තූති කතාව ද පැවැත්වීමෙන් අනතුරුව, මහාචාර්ය සරත් විජේසූරියත්, කතානායකවරයාත් කතා පැවැත්වීම එක්තරා ආකාරයක අවුල් බවක් පෙන්නුම් කිරීමකි. මහාචාර්ය සරත් විජේසූරිය සිය කතාව අවසන් කරන ලද්දේ සිවිල් සංවිධාන වෙනුවෙන් විනාඩි පහක් ලබාදීමට කටයුතු කළ කතානායකවරයාට ස්තූතිය පළ කරමිනි. සංවිධාන කමිටුවල න්‍යාය පත‍්‍රවලින් සෝභිත හිමියන්ගේ සාධාරණ සමාජයක් ව්‍යාපාරයට කතාවක් ලබාදීමට අමතක වූවා නම් එය බරපතල ගැටලූවකි. නැවත නැවතත් සිතා බැලිය යුත්තකි.

සෝභිත හිමියන්ගේ අවසන් කැමැත්ත වූයේ මෙය යැයි හඳුන්වමින් විවිධ වීඩියෝ පට, ලිපි ලේඛන මුද්‍රිත, විද්‍යුත් හා සමාජ මාධ්‍ය ඔස්සේ ප‍්‍රසිද්ධියට පත්විය. විවිධ පිරිස් සෝභිත හිමියන් අවසන්වරට පැවැසුවේ මෙය යැයි පැවැසීය. මහින්ද පාර්ශවය කියා සිටියේ, සෝභිත හිමියන් ‘අපට වැරැුදුණා මහත්තයෝ’ යයි කී බවය. එහෙත් මේ කිසිවක් සෝභිත හිමි ජීවමාන වදනින් ඇරෙන්නට සාක්ෂාත් කරගත නොහැකිය. ඒ උන්වහන්සේ අප හැර ගොස් ඇති බැවිනි. මෙවැන් උත්සවයක් නොපැවැත් වූවානම්, රටට මෙතරම් මෙහෙයක් කළ සෝභිත හාමුදුරුවෝ වෙනුවෙන් කිසිවක් නොකළයි බැන වැදීමට අද අවසන් කැමැත්ත ගැන කතා කරන පාර්ශව නොපැකිළී කටයුතු කරන්නට ඉඩ තිබිණි. 

දැන් උන්වහන්සේ අප අතර නැත. උන්වහන්සේ මුල්ම කැමැත්තත් අවසන් කැමැත්තත් වූයේ, සාධාරණ සමාජයකි. අද පටන් සියලූ දෙනා ඒකරාශී වූයේ සාධාරණ සමාජයක් උදෙසාය. ඊට පක්ෂ, පාට, ආගම්, කුලමල, භේද කිසිවක් නොතිබිය යුතුය. 


උන්වහන්සේගේ අවසාන ගමන පවා අපට අරුත් දන්වන්නේ සාධාරණ සමාජයක්, ශීලාචාර සමෘද්ධිමත් රටක් වෙනුවෙන් ඒකරාශී වන්නටය. ආගම් භේදයකින් තොරව සමාජ කි‍්‍රයාකාරිකයකුගේ, බුද්ධ පුත‍්‍රයකුගේ, ස්වභාවදම් සත්ත්වයකුගේ අවසන් ගමනට මෙවැනි ගෞරව දැක්වීම පිළිබඳ ඉතිහාසයක් මා දන්නේ නැත.
රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයාගෙන් සෝභිත හිමියන් අවසන් වරට ඉල්ලූවා යැයි කියන්නේ ද ජනපතිවරයා හා එක්ව සාධාරණ රටක්, ශීලාචාර රටක්, ගොඩනගන ඉල්ලීම යැයි අගමැතිවරයා ද, කතානායකවරයා ද, මහාචාර්ය සරත් විජේසූරිය ද සිය කතාවලදී පැවැසූහ. 

සියල්ල නිහඬව සිටියදී, නිදහස් නිවහල් රටක් වෙනුවෙන් සාධාරණ සමාජයක් වෙනුවෙන් සටන් වදින්නේ සෝභිත හිමියන්ය. ජනපතිවරයාත්, අගමැතිවරයාත් උන්වහන්සේගේ දේහය ඉදිරියේ සිට සපථ කරන්නේ සෝභිත හිමියන් පැවැසූ මූලධර්ම අරමුණු ආරක්ෂා කරන බවය, විධායක ජනපතිධුරය අහෝසි කරන බවය. මළ මිනියක් ඉදිරියේ දුන් පොරොන්දු හෝ ඉටු කරන්නට මේ දේශපාලකයන් කටයුතු කළ යුතුය. එය ජීවත්ව සිටි විට දුන් පොරොන්දුවකට වඩා බලවත් යැයි සිතමි. 


සාධාරණ සමාජයක් වෙනුවෙන්....


හර්ෂණ තුෂාර සිල්වා
2015.11.12

No comments:

Post a Comment

‘මිඩ්ල් ක්ලාස්’ ක්‍රියිසිස් සහ ‘ඩිකෝඩිං’

අපි ජන සමාජයක් විදියට උග්‍ර අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. දරුවෙක්ගේ සාර්ථකත්වය මනින්නේ, යාන වාහනවලින්, උපාධිවලින්, හම්බවෙන පඩියෙන්, කරන රස්සා...

Blog Archive