Sunday, November 8, 2015

ඒ මා දුටු එකම බෞද්ධ භික්ෂූන් වහන්සේය !

සෝභිත හාමුදුරුවන් යනු; මගේ ජිවිත කාලය තුළ, මා දුටු එකම බෞද්ධ භික්ෂූන් වහන්සේය. උන් වහන්සේ ගැන මා මුලිම්ම දැන ගන්නේ 88/89 රාජ්‍ය භීෂණ කාලය තුළ අපේ ගෙදරට රැස්වූ මානව හිමිකම් ක්‍රියාකාරී අංකල්ලා ගේ කටිනි. දකුණු පළාතේ උන් ප්‍රාදේශීය මානව හිමිකම් ක්‍රියාකාරීන් ගමේ තත්වය ගැන නිරන්තරව වාර්තා කළේ උන් වහන්සේටය. එකල අපි දිවයින පත්තරේ උන් වහන්සේගේ ඉන්ටර්වීව් කියවීමු. උන්වහන්සේ ප්‍රේමදාස රජයෙන් රටේ මිනිස්සු රකින්නට ඉදිරියට ආ මුල් පෙළ නායකත්වයක් වූ සේක. මට කලින් මෙලොව එලිය දුටු කාමලිකා තෙන්නකෝන් ට සෝභිත හාමුදුරුවන් ගැන මතකය පටන් ගන්නේ 83 කළු ජූලියෙනි.දේශමාමක රෝගීන් බොරැල්ලේ දමිළ කඩ ගිනි තියද්දී-දමිළ වාසගම් සහිත මිනිසුන් එලොව යවන්න තතනද්දී තනි සිංහයෙකු ලෙස එතැන සටන් කර ඇත්තේ උන්වහන්සේ ලු.සුලුජාතිකයන් මරාගෙන කන්න ඉල්ලන චීවරධාරීන් ඉන්නා රටක, ඒ මා දුටු එකම බෞද්ධ භික්ෂූන් වහන්සේය.ප්‍රේමදාස රජය පෙරළා රටට යහපාලනය උදා කරන්නට චන්ද්‍රිකා රැගෙන එන සටන පටන් ගත්තෙත් උන් වහන්සේ තමයි ය. ඒ ප්‍රේමදාස ට විරුද්ධව කටේ කෙළ බිඳක් හලන්නට බැරි මිනිස්සු හිටි රටකය. එවක රාවය පත්තරේ ගිය උන්වහන්සේගේ ලිපි හඬගා කියවූ මගේ තාත්තා, ඉන් සමහරක් පිටුවෙන් වෙන්කර ගෙදර බිත්තියේ අලවා තියෙනු මට තාමත් මතකය. මහින්ද රාජපක්ෂ අගමැති කමට ගෙනෙන්නට චන්ද්‍රිකා ට බල කළ සුළුතරය අතර සෝභිත හාමුදුරුවන් ද විය. පුදුමය එය එසේ නොවුනානම් ය.
උන්වහන්සේ රටේ සියලු ජන-පෙරළි වල මූලිකත්වය වූහ. සෝභිත හිමියන් නැඟි සිටින්නේ කොතනද, එතැන බල-පෙරළියක් නියත වග සිහිසම්පන්න රටේ ජනතාව දැන උන්හ."යහපාලනය" මිස ඔය එක පෙරලියකින්වත් උන්වහන්සේ අපේක්ෂා කළ පෞද්ගලික වරදානයක් නැත. එය එසේ වුවා නම් ; උන්වහන්සේ ඊළඟ සටනට නායකත්වය දෙන්නේ ද නැත.
තමන් ගේ අරගලය තුළින් හැදුණු ආණ්ඩුවක දොස් දැක, සියල්ලන්ටම කළින් කිපුණේ උන් වහන්සේය. ඒ රොටියත් කරවුණු බව දැක චිත්ත සංතාපයට පත්වූයේ උන්වහන්සේය. අපේ ලෝකය යහපත් කිරීමේ "අව්‍යාජ වෑයම" තිබුණේ උන්වහන්සේගේ සිතෙහි පමණක් බව මම විශ්වාස කරමි. දර දිය ඇද, පිටි අනා, රොටි පුච්චා, අතට දෙනකන් බකන්නිලා ඉන්න "ප්‍රජාතන්ත්‍රවාදී නිකමුන්" බහුල රටක් සමාජීයව සංවර්ධනය කරන්නට උන් වහන්සේ සෑහෙන්න වෙහෙස විය. එය උන්වහන්සේට තනියම කළ හැක්කක් නොවන බව දැන දැනත් අපට රොටි පුච්චන්ට ඉදිරියට වැඩියේ උන්වහන්සේ පමණි.
සෝභිත හාමුදුරුවෝ යනු බයියන්ගේ ‪#‎බයියාන්ඩුව‬ පෙරළන්න මුලිකත්වය ගත් නායකත්වය පමණක් නොවේ. ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකා හිරේ දමද්දීත්, අගවිනිසුරුවරිය තනතුරෙන් එළවද්දීත්, නායකකාරකාදීන් ගේ හොර ගේම් දැක ව්‍යවස්ථාදායකය අහක බලද්දිත් මිනිස්සු අවදිකරවමින් ‪#‎වහල්බවින්‬ මිදෙන්නට අරගල කළ නායකත්වය ද වේ. බයියාන්ඩුව පෙරළී ‪#‎ගේමාණ්ඩුව‬ ක් ඇතිවීම උන්වහන්සේගේ දෝෂයක් නොවේ. ඒක සදාකාලිකව වහල්කමට පුරුදු කළ දේශපාලනික වහලුන් ඉන්නා රටක රටවැසියන්ගේ වැරැද්ද ය. උන්වහන්සේ අපවත්වුයේ සිත්තැවුලෙනි. ඒ තැවුල, නුඹලාගේ පයේ විලංගුව ලිහන්නට උන්වහන්සේට කාලයක් හෝ හැකියාවක් ඉතිරි නොවීම ගැනය. ඔය ‪#‎බයියාන්ඩු‬ සහ ‪#‎ගේමාණ්ඩු‬ ඇතිවන්නේ වහලුන්ගේ සමාජයක ය. ඊට උන්වහන්සේ වගකිවයුතු නැත.රටේ සැලකියයුතු පිරිසක් මනෝ-දේශපාලනික වහල්භාවයෙන් මුදවා ගැනීමට සෝභිත හිමියන් කටයුතු කළෝය. අද, උන්වහන්සේගේ අපවත්වීමෙන් යමෙකුට සතුටක් දැනෙන්නේ නම් ; ඒ , පයෙහි ලූ විලංගුව "පාසලඹක්" ලෙසින් දකින වහලෙකි.
සෝභිත හිමියන් ජනතාව අතර හිඳ ජනතාවගේ යහ පැවැත්ම වෙනුවෙන් හදවතින් වැඩ කළ උත්තමයෙකි. උන්වහන්සේ ට කාම සුඛල්ලික අසපු නොවීය. වස්වසින්නට යුරෝපෙට දුවන්න ඕනා නොවීය. තමන් විසින් මාර්ගපල අවබෝධ කර ගැනීමට පෙර රටේ මිනිස්සු හරි මාර්ගයේ යවන්නට උන් වහන්සේට කවදත් ඕනා විය. කොටිම්ම, උන් වහන්සේ උත්කර්ෂ දේශපාලන නායකත්වය පස්සෙන් ගිය කෙනෙකු නොවූහ, දේශපාලකයන් ජනතාව පස්සෙන් එවන්නට වැඩ කළ නායකයෙකු වූහ. තමන් මුලිකව ඇතිකළ සමාජ-දේශපාලන පෙරළියකින් මිනිසුන්ට සැබෑ සෙත නොසැලසිම ගැන අවංකව "සිත්තැවුලට" පත් එකම නායකයා උන්වහන්සේය. ඒ 'සිත් තැවුල', "රටක් ලෙස ලත් පරාජය" පිළිබඳවය. ශ්‍රී ලංකාව යනු ; තමන්ගේ ආණ්ඩුව මුහුදුබත් වෙන්න ලං වෙන බව දැනුණු වහා ඊළඟ ආණ්ඩුවට පනින්නට ගේම් ගහන දේශපාලන මීයන්,කැරපොත්තන් ඉන්නා රටකි. ඩී එස් සේනානායක ලාගේ කාලයේ පටන් මා අසා ඇති කිසිදු සමාජ දේශපාලන චරිතයක් "රටක පරාජය" නිසා සිත්තැවුලෙන් අවසන්ගමන් ගොස් නැත. ඉතිං, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයට මේ අහිමි වුයේ රටට වඩාත්ම ආදරය කළ අතිගෞරවනිය පුරවැසියා ය.

Nadeesha Chandrasena             
https://www.facebook.com/nadeesha.chandrasena

No comments:

Post a Comment

‘මිඩ්ල් ක්ලාස්’ ක්‍රියිසිස් සහ ‘ඩිකෝඩිං’

අපි ජන සමාජයක් විදියට උග්‍ර අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. දරුවෙක්ගේ සාර්ථකත්වය මනින්නේ, යාන වාහනවලින්, උපාධිවලින්, හම්බවෙන පඩියෙන්, කරන රස්සා...

Blog Archive