කුඩා කල සිටම ඉතිහාසය විෂය සම්බන්ධයෙන් තිබූ උනන්දුව නිසාවෙන් ම ‘සිංහයාගේ ජනතාව’ - ප්‍රභවය, විකාශනය හා විපරිණාමය - කෘතියේ දොරට වැඩුමට එක්වුණෙමි. සිංහල අනන්‍යතාව, ජනවාර්ගික - ජාතිකවාදය සහ ඉතිහාසවේදය අළලා මහාචාර්ය ආර්.ඒ.එල්.එච් ගුණවර්ධන සහ මහාචාර්ය කේ.එන්.ඕ. ධර්මදාස අතර ඇති වූ විවාදය සිංහල බසින් කෘතියක් ලෙසින් මෙලෙස අද කොළඹ විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යනාංශ ශ්‍රවණාගාරයේදී එළිදැක්විණි.
සුමිත් චාමින්ද කෘතියේ සංස්කාරක වශයෙන් කටයුතු කර ඇති අතර ලිපි පරිවර්තන කටයුතුවලට ද ඔහු දායකත්වය සපයා ඇත. මහාචාර්ය මයිකල් ප්‍රනාන්දු, විදුර ප්‍රභාත් මුණසිංහ හා පැතුම් පුංචිහේවා යන අයද ලිපි පරිවර්තනය කරමින් කෘතියට දායකත්වය සපයා ඇත. කෘතිය දොරට වැඩීමේ අවස්ථාවේදී මහාචාර්ය රාජ් සෝමදේව, මහාචාර්ය ප්‍රේමකුමාර ඩී සිල්වා සහ ආචාර්ය නිර්මාල් රංජිත් යන දෙසුම් පැවැත්වූ අතර මේ දෙසුම් අසන්න වූයේ සීමිත පිරිසක් වීම නම් කනගාටුවට කරුණකි.
දේශකයන් තිදෙනා පැවැත්වූ දේශනවලින් රාජ් සෝමදේව සිත්ගන්නා දේශනයක් පැවැත්වූ බව සඳහන් කරනු කැමැත්තෙමි. ඊට ආචාර්ය නිර්මාල් රංජිත් සහ මහාචාර්ය ප්‍රේමකුමාර ඩී සිල්වා ද එකඟත්වය පළ කරනු ඇතැයි විශ්වාස කරමි.
මහාචාර්ය රාජ් සෝමදේවයන්ගේ දේශනයේදී කුකුළා ගැන කියූ අතර කුකුළ මෙරට පැමිණි ආකාරය ද පැහැදිලි කළේය. එහිදි ජාතික සත්වයා ලෙස වළිකුකුළා නම් කිරීම සම්බන්ධයෙන් ද ගැටලුවක් පැන නගිනු ඇතැයි මෙහෙයවීම කටයුතු කරන විශාකා සූරියබණ්ඩාර කී කතාවට සිනහා ද නැගුණි.
අප දන්නා එහෙත් පිළිගන්නා කරුණක් රාජ් සෝමදේව අපූරුවට පැහැදිලි කළේය. අපි කිසිවෙක් ශුද්ධ ජාතීන් නොවෙමු. ඔවුන්ගේ දේශනවල හඬ පටද සමාජජාල ගත කළෙමි. මේ ලොව පාරිශුද්ධ ජාතීන් යැයි කිව හැකි කිසිවෙක් නැත.
රාජ් සෝමදේවගේ දේශනයේ එක් කරුණක් ලා මේ සටහන ලියා අවසන් කරනු කැමැත්තෙමි. අපි බොහෝ විට වසර 2500ක ලිඛිත ඉතිහාසයක් පිළිබඳ කතා කරන්නෙමු. එහෙත් අපට අවුරුදු එකසිය විසි පන්දහසක (එක් ලක්ෂ විසි පන් දහසක්) පමණ ඉතිහාසයක් ඇතැයි මහාචාර්ය රාජ් සෝමදේවයන් පෙන්වා දුන්නේය. අපේ රටේ යකඩ භාවිත වන්නේ මීට වසර 440-0කට පෙරය. එහෙත් අප ඒ ඉතිහාසය අමතකි කරමින් දෙමළුන් සිංහලුන් යනුවෙන් පාරිශුද්ධභාවයක් සොයා යන්නෙමු.
නවතම සොයාගැනීම්වලදී හමුවන කිසිවක් මේ දෙමළ මේ සිංහල යනුවෙන් නම් කළ නොහැකි බව රාජ් සෝමදේවයන් පෙන්වා දුන්නේය. අප අවුරුදු 2500කට පෙර ඉතිහාසය අමතක කර ඇතැයි ද මහාචාර්ය රාජ් සෝමදේවයන් චෝදනාවක් ද කළේය.
පසුගිය දිනක ඉන්දියන් එක්ස්ප්‍රස් පුවතපත ද මේ හා සම්බන්ධ වාර්තාවක් පළ කරමින්, සිංහලයන්, බෙංගාලියන් හා ඔඩිසා වැසියන් හා සමානකම් තිබෙන බව සඳහන් කර තිබුණි.
මේ ආකාරයෙන් පාරිශුද්ධත්වය සෙවීමට යෑමෙන් සිදුවන්නේ යුදෙව් සංහාරය වැන්නක් ඇතිවීම යැයි ද මහාචාර්ය රාජ් සෝමදේවයන් තවදුරටත් කීවේය.
ඒ අනුව අප අවබෝධ කරගත යුතු සරල කරුණ මෙයයි. මෙලොව කිසිවකු ශුද්ධ ජාතීන් නොවන බව පැහැදිලිය. ඉතිහාසය පුරාවටම වූ සංක්‍රමණ, නිසාවෙන් අපි සියල්ලෝම කලවම් ජාතීන් වෙමු. එබැවින මනුෂත්වයේ නාමයෙන් ප්‍රචණත්ඩත්වයෙන් වැළැකී අනෙකා ගෞරව කරන, අනෙකාගේ අයිතියට ගෞරව කරන, අනෙකාගේ අයිතිය සුරකින පුද්ගලයන් බවට පත්වීම කළ යුතුය.
වසර 30ක යුද්ධයකින් අප ලබාගත් දෙයක්. බෝම්බ හඬවල් නැත. බෝම්බ පිපිරෙන්නේ නැත. හැබෑවය. එහෙත් යුද්ධය බිහිසුණු බව තවමත් පහව ගොස් නැත. යුද්ධයේ කම්පන හේතුවෙන් බියෙන් සැකයෙන් ජීවත්වන පිරිස් උතුරේත් දකුණේත් ඇති බව නොරහසකි. යුද්ධය නිසා අපට අහිමි වූ තරුණ ජීවිතය සංඛ්‍යාව කියා නිම කළ නොහැකි පාඩුවකි.
එබැවින් මේ රටට තවත් යුද්ධයක් අවශ්‍ය නැත. තවත් තරුණ කැරැලි අවශ්‍ය වන්නේ නැත. අයිතිවාසිකම් දිනා ගත යුත්තේ සාමකාමීවය. සාකච්ඡාවෙනි. ප්‍රචණ්ඩත්වය කිසිවකට පිළිතුරු නොදෙන බව සක්සුදක් සේ පැහැදිලිය. එබැවින් කෝප වීමෙන්, පොලු මුගුරු අතට ගැනීමෙන්, එකිනෙකාට අපහාස කරගැනීමෙන් ලැබෙන දෙයක් නැති බව අවබෝධ කරගත යුතුය.
අප අනෙකාගේ අයිතීන් පිළිගන්නා තෙක් මේ රටට ඉදිරියට යෑමක් නැති බව අවබෝධ කරගත යුතුය.
හර්ෂණ ත-ුෂාර සිල්වා
28.09.16



