උපන්දා සිට අප සියලු දෙනා බොහෝ සිහින පෙරදැරිව ජීවත්වන අතරම අප ඉදිරියට ගෙන යනු ලබන්නේ ද මේ සිහිනය. සමහර විටෙක අප විසින් බලාපොරොත්තු තබන බොහෝ දේ නොලැබී යන අතරම අනපේක්ෂිත අවස්ථාවලදී අප පතාගෙන සිටි යම් යම් දේ අප ඉදිරියට පැමිණෙන්නේය.
කුඩා සිට වැඩිවියට පත්වන තුරුත් ඉන් පසුව මිය යන තුරුත් අපි විවිධ සිහින දකිමු. කුඩා කාලයේ දකින සිහින කලින් කලට වෙනස් වන අතර ජීවිතයේ සැඳෑ සමයට පැමිණෙන විට අප දකින සිහින කුඩා කාලයේ දුටුවාට වඩා හාත්පසින්ම වෙනස්ය.
සිහින යනු එක්තරා ආකාරයකට අප සතුව දැන් නොමැති දෙයක් අත්පත් කරගැනීම හා සමානය. කුඩා කාලයේදී යම් වෘත්තිකයකු වීමේ සිහින දකින අපි වැඩිවියට පත්ව ඒ සිහිනය තරමක් සංකීර්ණ කර ගන්නෙමු. වෛද්‍යවරයකු වීම සිහිනය අප සියලු දෙනා සතුව තිබුණි. තිබෙන්නට ඇත. කුඩා කාලයේ වෛද්‍යවරයකු නොවූ අයෙක් නැති තරම්ය.
සිහින අතර බැඳීම් පිළිබඳව, ජීවන සහකරුවන් පිළිබඳ අප දකින සිහින ද සුන්දරය. ඒ සිහින ආදරණීය වන අතරම එක්තරා ආකාරයට බොළඳ බවක් ද ඇති කරයි. අපි මේ සිහින පසුපස යන්නෙමු. සැබෑ වන සිහින අතරම බොඳ වී යන සිහින ද නැතුවා නොවේ. එහෙත් අප නැවතත් සිහිනවල ජීවත් වමු. අප ප්‍රසිද්ධියේ කීවද නොකීවද සියලු දෙනාම සිහින දකින අතර ඒවා රසවිඳිමින් කාලය ගත කරති.
අපි විශ්වාස මත ජීවත් වන්නෙමු. සිහිනවල ජීවත් වන්නෙමු. මේ විශ්වාස හා සිහින නොවන්නට යම් විටෙක මිනිසුන් රොබෝවරුන් වී හමාරය.
සිහින වචනාර්ථයෙන් ගත්විට නින්දේදී දකින්නකි. එහෙත් සිහිනයක් දැකීම එක්තරා ආකාරයක වෙනත් අත්දැකීමක් ලෙස ද කිව හැකිය. නින්දේදී දකින සිහින අපගේ යටි හිතේ ඇතිවන සිතුවිලි දාමයක ප්‍රතිඵලයකි. අප අත්විඳි සිදුවීම්වල අත්දැකීම්වල මතක ගොන්නකි. එහෙත් නොනිදා දකින ඊට හාත්පසින්ම වෙනස්ය. ඒ අතර බලාපොරොත්තු තවත් එකකි.
නොනිදා දකින සිහින එක්තරා ආකාරයකට බලාපොරොත්තු ගොන්නකි. අප විසින් නොනිදා දකින සිහින, බලාපොරොත්තු ඉටු වන විට සතුටට පත්වන අපි ඒවා ඉටු නොවන විට දුකට පත්වෙමු. එහෙත් අපි අවබෝධ කරගත යුතු කරුණ නම් බලාපොරොත්ත-ු සිහින ඉටු නොවුණද ඉදිරියට යා යුතු බවය. හඳ හෝ හිරු නොපායන දවස් ඇත. එහෙත් අද නොපායන සඳ හෙට පායන්නට ඕනෑවටත් වඩා ඉඩ ඇත. අද වැසෙන දොර හෙට ඇරෙන්නට ඉඩ ඇත. එබැවින් සිහින දකින්න, බලාපොරොත්තු තබන්න, ඒ කෙරෙහි විශ්වාසය තබන්න. ඒ වෙනුවෙන් ජීවත්වෙන්න. ඉඩෝරයට පසු වැසි වසින බව අපි දනිමු. නිසංසල සීත සුන්දර හඳ දකින්නට නම් ඔබ ගිනියම් දහවල් කාලය පසු කළ යුතුය. එබැවින් එක දවසකින් දෙකකින්, එක් පුංචි සිදුවීමකින්, සිත් රිදවීමකින් සිහින දැකීම, බලාපොරොත්තු තැබීම අත් නොහරින්න.
හර්ෂණ තුෂාර සිල්වා
11.09.16
No comments:
Post a Comment