Monday, February 26, 2018

හොඳයි. එහෙත් ඉතා හොඳ නැත.


කැබිනට් මණ්ඩල සංශෝධනය විගඩමක් බව අමුතුවෙන් කිව යුතු නැත. පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලයෙන් පසු කැබිනට් මණ්ඩලයේ සංශෝධනයක් විය යුතු යැයි ජනතාව ඉල්ලා සිටියේ නැත. පළාත් පාලන මැතිවරණය පවත්වන ලද්දේ අගමැතිවරයා වෙනස් කිරීමට හෝ කැබිනට් මණ්ඩලය සංශෝධනය කිරීමට නොවේ.


වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම ධුරයට පත්වූයේ 2015 වසරේ ජනවාරි 8 පැවැති ජනාධිපතිවරණයෙනි. එම වසරේ අගෝස්තුවේ පැවැති මහ මැතිවරණයෙන් අගමැතිවරයා සහ වත්මන් ජාතික ආණ්ඩුව පත් කරගන්නා ලදි. එම නිසා ජනාධිපතිවරයාට සහ අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට නියමිත කාලය වැඩ කටයුතු කිරීමට අවශ්‍ය ජනවරම තිබේ. එම කාලයේදී ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීමේ ජනාධිපතිවරයාගේ, අගමැතිවරයාගේ ආණ්ඩුවේ වගකීමකි.

ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂ දෙක පරාජයට පත්වූයේ පසුගිය තෙවසරක කාලයේදී ජනතා පොරොන්දු ඉටු නොකිරීම නිසාය. ආණ්ඩුවේ සන්නිවේදන දුර්වලතා නිසාය. වත්මන් ආණ්ඩුව යටතේ අණ පනත්, කොමිෂන් සභා යනාදී රටට දීර්ඝකාලීනව හිතකර වෙනස්කම් සිදු වුවත් ජනතාවට දැනෙන සහ ජනප්‍රිය යැයි හඳුන්වන කිසිවක් සිදුවූයේ නැත. ආණ්ඩුවක් තමන්ගේ දෙවැනි ධුර කාලයේදී කළ යුතු ඇතැම් දේ මේ ආණ්ඩුව තම පළමු ධුර කාලයේදීම කරන්නට ගොස් ඉල්ලාගෙන කෑ බව ද කිව යුතුය. උදාහරණයක් ලෙස ටැබ් ලබාදීම පෙන්වා දිය හැකිය. ටැබ් ලබාදීම හොඳ වැඩකි. එහෙත් එය කරන්නට තිබුණේ දෙවැනි කාලයේදීය. ටැබ් ලබාදීමෙන් පමණක් නොව එම ව්‍යාපෘතියෙන් ද හානි වූයේ ආණ්ඩුවටමය.

මහ මැතිවරණයකට තවත් වසර දෙකක් තිබේ. එම කාලයේදී ආණ්ඩුව වැරැදි නිවැරැදි කරගෙන ඉදිරියට යා යුතුය. මේ ආණ්ඩුව යටතේ කරගත හැකි උපරිම වැඩ කොටස කරගැනීමට ජනතාව හා සිවිල් සමාජය උත්සුක විය යුතුය. ඩීල් දැමීම්, මිතුරන් ආරක්ෂා කිරීම්, විගඩම් ආදිය අඛණ්ඩව පවතිනු ඇත. නව මැතිවරණ ක්‍රමය, තොරතුරු පනත, ස්වාධීන කොමිෂන් සභා යනාදියත් ජී.එස්.පී ප්ලස් සහනය නැවත ස්ථාපිත කිරීමට හැකියාව ලැබීම යනාදී යහපත් දේ ඉටු කරගත්තා සේම ඉදිරි වසර දෙකක කාලයේදී වත්මන් ආණ්ඩුව යටතේ පුළුවන් උපරිම වැඩ කොටසක් කරාගැනීම රටට හොඳය. පත්වන්නේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවක්, රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවක්, මෛත්‍රීපාල සිරිසේන ආණ්ඩුවක්ද නැතහොත් වෙනයම් ආණ්ඩුවක් ද යන්නට වඩා පත්වන ආණ්ඩු යටතේ රටට වැඩ කොටසක් ඉටු කරවා ගැනීමට ජනතාව උත්සුක විය යුතුය.

ශ්‍රී ලංකාව ශ්‍රී ලංකාව මිස සිංගප්පූරුවක් විය යුතුය. ශ්‍රී ලංකාව සිංගප්පූරුවක් කළ යුතුය. අපි ඉදිරියට යා යුතුය. සංවර්ධනය විය යුතුය. අධ්‍යාපනයට, සෞඛ්‍යට සහ අනෙකුත් ක්ෂේත්‍රවලට ජාතික ප්‍රතිපත්ති තිබෙන රටක් විය යුතුය. දේශපාලකයන් හෝ ආණ්ඩු මාරු වූ විට වෙනස් නොවන සංවර්ධන ප්‍රතිපත්තියක්, ජාතික ආර්ථික, විදේශ, අධ්‍යාපන, සෞඛ්‍ය ප්‍රතිපත්ති තිබිය යුතුය. අප අපට ගැලපෙන ජාතික ප්‍රතිපත්ති නිර්මාණය කර ගත යුතුය. අපට අපට ගැලපෙන සංවර්ධන මොඩලයක් තිබිය යුතුය. ඒවා එක රැයින් නිර්මාණය වන්නේ නැත. රටක් සංවර්ධනය වන්නේ අධ්‍යාපනික, දැනුවත්භාවය තිබෙන, සංවර්ධිත ජනතාවක් සිටින විටය. හිටියාට වඩා අපේ රටේ ජනතාව හොඳය. මහින්ද රාජපක්ෂ වැරැදි මාර්ගයක යන විට මහින්ද රාජපක්ෂ මහතා ගෙදර යැව්වේය. ආණ්ඩුව වැරැදි පාරේ යනවිට ආණ්ඩුවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේය. විකල්පයක් නොවූ හෙයින් එහි ප්‍රතිලාභය හිමිවූයේ බැසිල් රාජපක්ෂගේ සහ මහාචාර්ය ජී.එල් පීරිස්ගේ පොහොට්ටුවටය. විකල්පයක් තිබූණා නම් ප්‍රතිඵලය මීට වඩා වෙනස් වන්නට තිබිණි. ඡන්ද පත්‍රිකාවේ ඉහත කිසිවක් නොවේ යැයි තිබුණා නම් ප්‍රතිඵලය කෙසේ වන්නට තිබුණි ද ? හොඳයි. එහෙත් ඉතා හොඳ නැත. 

ඡායාරූපය රොයිටර් 


Tuesday, February 6, 2018

වැරැදි තැනින් අල්ලා ගැනීම


මේ ලිපිය රාජ්‍ය තාන්ත්‍රිකභාවය සහ ගමේ චණ්ඩි පාට් යන ලිපිය හා සම්බන්ධිතය
 https://evabalava.blogspot.com/2018/02/blog-post_6.html


රටේ ජාතික ගැටලු උත්සන්න වීමට ප්‍රධානතම හේතුව රටේ ජාතික ගැටලු හෝ ඒ ඒ පාර්ශව අතර පොදු එකඟතාවක් නොවීම සහ තමන්ගේ පිටස්තරව නොසිතීමය. හමුදා නිලධාරියාගේ ක්‍රියාව අගයන පිරිස්, උතුර ගැන දැඩි ආවේගයකින්, දෙමළ ජනතාව ගැන දැඩි ආවේගයකින්, දෙමළ ඩයස්පෝරාව ගැන දැඩි ආවේගයකින් කටයුතු කරන පිරිස් අනෙක් අතට රජයේ හමුදාව, ආණ්ඩුව කතා කරන පාර්ශව දෙකම ඔවුන් එල්ඹ ගෙන සිටින මතවාදී අදහස්වලින් අඩියක් පසුපසට හෝ ඉදිරියට හෝ එන්නට වුවමනාවක් නැත. ඒ නිසා විශේෂයෙන්ම රටේ වාර්ගික අර්බුදය එකතැන පල්වෙමින් තිබේ. යුද්ධය අවසන් වී වසර නවයක් ගත වී තිබුණද අපට අඩියක් හෝ ඉදිරියට යෑමට නොහැකි වී ඇත්තේ ඒ නිසාය. ප්‍රශ්න විසඳීමට යෑමේදී සියලු පාර්ශව සතුටු කිරීමේ හැකියාවක් නැතිමුත් සියලු පාර්ශවවලට අවම වශයෙන් හෝ පිළිගත හැකි විසඳුම් තිබේ.




හමුදා නිලධාරියාගේ ගෙල සිඳින අබිනයත්, විදේශ ප්‍රතිපත්තියක් ගැන ලිවීමෙන් අනතුරුව ප්‍රධාන වශයෙන් හඳුනාගත හැකි පාර්ශව දෙකක විවේචනයට ලක්ව තිබේ. එක් පාර්ශවයක් හමුදා නිලධාරියාගේ ක්‍රියාව අගයන පිරිසය. අනෙක් පිරිස උතුරේ ජනතාවගේ මානව හිමිකම් සහ රජයේ හමුදාවලට දඬුවම් දිය යුතුය කියන මතයේ සිටින පිරිසය.

උතුරේ ජනතාවගේ ප්‍රශ්න විසඳී නැත. ජාත්‍යන්තරයට පිළිතුරු දිය යුත්තේ කෙසේ දැයි කියමින් මා ‘මදර් ශ්‍රී ලංකා’ , ආණ්ඩුව උතුරේ කරන සංවර්ධන ව්‍යාපෘති, ආණ්ඩුව ක්‍රියාත්මක සංහිඳියා ව්‍යාපෘති ගැන කීවේය. එයින් මා කිසිලෙසකින් වත් උතුරේ ජනතාවගේ ප්‍රශ්න විසඳී ඇතැයි කීවේ නැත. මා සඳහන් කළේ ජාත්‍යන්තරයට පිළිතුරු දීම ගැනය. ජාත්‍යන්තරයට පිළිතුරු දිය යුත්තේ කෙසේදැයි ගැනය.

අනෙක් අතට මා හමුදාව වැරැදි යැයි කොතැනකවත් කියා නැත. මුල ද අමතක වී නැත. අනුවණ ලෙස තැනට නොහොබිනා ලෙස කටයුතු කිරීම දේශප්‍රේමය ද නොවේ. යුද්ධය අවසන් වීම ගැන ඇත්තේ සතුටක් වුවත් එය අවසන් වෙද්දි වූ ඇතැම් සිදුවීම් ගැන ඇත්තේ කනගාටුවකි. යුද්ධයෙන් පසු සිදුවීම් ගැන ඇත්තේ ද දැඩි කනගාටුවකි. මහ කොමසාරිස් කාර්යාලය ඉදිරියේදී හමුදා නිලධාරියාව මා කිසිසේත් අනුමත කරන්නේ නැත. එහෙත් ඊට පෙර ඔහු එහි සිටින පිරිසකට කරුණු පැහැදිලි කිරීම අනුමත කරමි. විය යුත්තේ එයයි. එසේ කරුණු පැහැදිලි එක් සිදුවීමකින් ඔබ්බට යා යුතුය. අනෙක් කරුණු හමුදාව වැරැදි නැත. හමුදාවේ ඇතැම් පුද්ගලයන් කළ වැරැදිය. ඔවුන්ට දඬුවම් ලැබිය යුතුමය. යුද්ධයට මුවා වී යුද්ධය සමයේදී යුද භූමියේදීත්, යුද්ධයෙන් පසුත් කළ අපරාධවලට දඬුවම් දිය යුතුය. එය හමුදාවට දඬුවම් දීමක් නොවේ.

උතුරේ ජනතාවගේ විතරක් නොව දකුණේ ජනතාවගේත් ප්‍රශ්න විසඳී නැත. උතුර විතරක් නොව දකුණත් සංවර්ධනය වී නොමැත. සංවර්ධනය අපට බොහෝ දුරය. කොටින්ම මේ රටේ ජනතාවගේ ප්‍රශ්නය විසඳී නැත. උතුරේ මෙන්ම දකුණේ ජනතාව ද ඉඩම් ප්‍රශ්නවලට මුහුණ දී සිටිති. මේ ආකාරයෙන් දෙපැත්තේම බොහෝ ප්‍රශ්නවලට මුහුණ දෙමින් සිටිති. නිරන්තර පීඩනයට ලක්වෙති. ලක්වෙමින් සිටිති.

රාජ්‍ය තාන්ත්‍රිකභාවය සහ ගමේ චණ්ඩි පාට්



ලන්ඩන් සිදුවීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ බොහෝ අදහස් දැක්වීම් පළවෙමින් තිබේ. විටෙක මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශකවරයා වශයෙන් කටයුතු හමුදා නිලධාරියා අගයමින් ද තවත් විටෙක ඔහුගේ ක්‍රියාව විවේචනය කරමින් ද අදහස් පළ වී තිබිණි.

රාජ්‍ය තාන්ත්‍රිකව ගත් කළ හමුදා නිලධාරියාගේ හැසිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකි නොහබිනා, අශීලාචාර සහ මිලේච්ඡ ක්‍රියාවකි. එය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කර තිබෙන අයි.එස් සංවිධානයේ සාමාජිකයකු පිහියක් හෝ වෙනයම් හෝ ආයුදයක් ගෙන නිරායුධ මිනිසකුගේ බෙල්ලට තබාගෙන සිටිනවා හා සමාන ක්‍රියාවකි. අනෙක් අතට හමුදා නිලධාරියකු මෙවන්නකින් අඟවන්නේ සතුරාට නියත වශයෙන් මරණය හිමි බවය. යුද පිටියකදී සතුරා අභිමුව කළ යුත්තක් විදේශයක මහ කොමසාරිස් කාර්යාලයක නිලධාරියකු වශයෙන් සිටියදී විරෝධතාවක නියැලෙන නිරායුධ මිනිසුන් පිරිසක් ඉදිරියේ කරන්නට යෑම අමානුෂීය හා මිලේච්ඡ ක්‍රියාවක් හැරෙන්නට අන් යමක් නොවේ.

හමුදා නිලධාරියා කරනුයේ ඉංග්‍රිසි බසින් throat slitting/slash යනුවෙන් හඳුන්වන ගෙල සිඳින අභිනයකි. එසේත් නැතිනම් හිසත් කඳත් වෙන් කරන බව කියන අභිනයකි. මේ අභිනය රග්බි ක්‍රීඩාවේදී වඩාත් හුරුපුරුදු අභිනයකි. නවසීලන්ත කණ්ඩායම රග්බි තරගයක් ආරම්භ කිරීමට පෙර රඟ දක්වන Haka හකා නර්තනයේදී මේ හමුදා නිලධාරියාටත් වඩා හොඳින් ක්‍රීඩකයෝ රඟවති. හකා යනු යුද නැටුමකි. යුද පිටියේ, ක්‍රීඩා පිටියේ කරන දෑ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේදී,
ලෝක දේශපාලනයේදී නොකළ යුත්තේය.


රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේදී ඒ ප්‍රමිත පවත්වා ගත යුතුය. රාජ්‍ය තාන්ත්‍රික විය යුතුය. යුද්ධය අවසන් වී වසර නවයක් ගෙවී යන මොහොතේදීත් තවමත් අප ජාත්‍යන්තරයේ පීඩනයට පත්වෙමින් සිටින්නේ රාජ්‍ය තාන්ත්‍රිකව කටයුතු කළ යුතු තැන්වලදී රාජ්‍ය තාන්ත්‍රික නොවීම නිසාය. රටේ දමන චණ්ඩි පාට් ලෝකය හමුවේ දමන්නට යෑම නිසා නිවැරැදි ලෙස යුද වැදුණු හමුදා නිලධාරීන් පවා චෝදනාවලට ලක්වීමය. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව මෙන්ම මෛත්‍රී රනිල් ආණ්ඩුව ද රාජ්‍ය තාන්ත්‍රිකව හැසිරිය යුතු තැන්වලදී ගමේ චණ්ඩියාගේ චරිතය නිරූපණය කිරීමට යෑම නිසා, අහක යන කුණු ගොඩක් රටට ගෙනැවිත් තිබේ. හමුදා නිලධාරියාගේ ක්‍රියාවද ඊට නොදෙවැනි වන්නේය. ඔහු හුදෙක්ම කරනුයේ උද්ඝෝෂණය කරන පිරිසට අවැසි දෙයක් මිසක ශ්‍රී ලංකාව නියෝජනය කරන රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියකු කළ යුතු ක්‍රියාවක් නොවන්නේය.



රටේ බහුතර ජනතාවට, සාමාන්‍ය ජනතාවට සිංහල බසින් වහසි බස් දෙඩවීම හිටපු ජනාධිපතිවරයා මෙන්ම වත්මන් ජනාධිපතිවරයා ද කරමින් සිටින්නේය. මානව හිමිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව මෙතරම් අර්බුදයකට පත්ව සිටින්නේ හමුදාවේ ක්‍රියාකලාප නිසා නොව පසුගිය ආණ්ඩුවේත් වත්මන් ආණ්ඩුවේ වැරැදි විදේශ ප්‍රතිපත්ති හා ක්‍රියා කලාප නිසාය. අනෙක් අතට වඩාත් පැහැදිලි කරුණක් වනුයේ යුද අපරාධ චෝදනා එල්ල වන්නේ ශ්‍රී ලංකා යුද හමුදාවටය. යුද නැව් විනාශ කළ නාවික හමුදාවට හෝ ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කර තිබෙන එල්.ටී.ටී.ඊ සංවිධානයේ ඉලක්ක වෙත පහර දුන් ගුවන් හමුදාවට නොවේ. එසේ යුද අපරාධ චෝදනා එල්ල වීමට ප්‍රධාන හේතුව යුද්ධයට මුවා වී තමා පටු දේශපාලන වුවමනා එපාකම් වෙනුවෙන් හමුදා නිලධාරීන්, සෙබළුන් මෙහෙය වූ දේශපාලකයන් නිසාය. ඒ සම්බන්ධයෙන් වෙනමම කතා කළ යුතුය. අනෙක් කරුණ මහ කොමසාරිස් කාර්යාලය ඉදිරියේ උද්ඝෝෂණයේ නිරත වූයේ කවුරුන්ද යන වගය.



එල්.ටී.ටී.ඊ සංවිධානය යුදමය වශයෙන් පරාජය කළත් එම සංවිධානයේ මතවාදය තවමත් ඇතැම් කොටස් සතුව ව්‍යාප්තව තිබේ. එම සංවිධානයේ ජාත්‍යන්තර ජාලය තවමත් ක්‍රියාත්මකය. වෙනත් ඕනෑම සංවිධානයකට මෙන්ම එල්.ටී.ටී.ඊ යේ ජාත්‍යන්තර ජාලයේ එසේත් නැතිනම් එල්.ටී.ටී.ඊ යේ ජාත්‍යන්තර සංවිධානවලට ඔවුන්ගේ පැවැත්ම සඳහා හේතු අවශ්‍ය. මාතෘකා අවශ්‍ය. සිදුවීම් අවශ්‍යය. හමුදා නිලධාරියා ගෙල සිඳින අභිනයක් කරමින් ඔවුන්ට හේතුවක් සාදා දුන්නේය. එල්.ටී.ටී.ඊ සංවිධානයේ ජාත්‍යන්තර ජාලයේ පැවැත්ම ඇත්තේ ඊලාම් භූමියක් යන මතවාදය තුළය. දෙමළ ජනතාව පීඩා විඳින බව කීම තුළය. වෙනම රාජ්‍ය සංකල්පය, මානව හිමිකම් යන මාතෘකා තුළය. ශ්‍රී ලංකා රජයේ හමුදාව දෙමළ ජනතාව ඝාතනය කළ බව කීම සහ එසේ කළ බවට හේතුසාධක, සාක්ෂි තොරතුරු ලෝකය හමුවට ගෙන ඒම තුළය. හමුදා නිලධාරියා ඔවුන්ට එසේ හේතුවක් සාදා දී තිබේ.



මෙවැනි විරෝධතාවලට පිළිතුරු දිය යුත්තේ ගෙල සිඳින බව අභිනයකින් දැක්වීමෙන් නොව රාජ්‍ය තාන්ත්‍රිකවය. යුද්ධයෙන් පසු ශ්‍රී ලංකාවට පැමිණි දෙමළ ජනතාව හරහාය. උතුරේ සහ නැගෙනහිර පළාත්වල ජනතාව හරහාය. උතුරේ හා දකුණේ කර තිබෙන සංවර්ධන ව්‍යාපෘති, ඉඩම් නැවත ලබාදීම්, රට තුළ ක්‍රියාත්මක සංහිඳියාව වර්ධනය කිරීමේ වැඩසටහන්, උතුරේ දරුවන් දකුණේ දරුවන් එක්ව කරන ‘මදර් ශ්‍රී ලංකා’ වැනි වැඩසටහන් පිළිබඳ ලෝකයට කීමෙනි. අනෙක් අතට එවැනි දෑ සඳහා ඩයස්පෝරාව එකතු කරගැනීම ද අත්‍යාවශයෙන් ම කළ යුත්තේය. ඩයස්පෝරාව යනු ශ්‍රී ලංකාවේ ජනතාව මහත් භීතියට පත් කරන වචනයක් බවට පත්ව තිබේ. ඩයස්පෝරාව යනු රටක සිටින විදෙස් ජනකොට්ඨාශය. ඒ නිසා ජාත්‍යන්තර පිළිතුරු දීමට සිංහල, දෙමළ, මුස්ලිම් ආදී වාර්ගික ජනකොටස්වලින් සැඳුම්ලත් ශ්‍රී ලංකා ඩයස්පෝරාව එකතු කරගැනීමෙනි. ඕනෑම රටක සැලකිය යුතු ශ්‍රී ලංකා ඩයස්පෝරාවක් සිටියි.

හමුදා නිලධාරියාගේ ක්‍රියාව අගයන පිරිසගේ එක් තර්කයක් වී තිබෙන්නේ අයි.එස් සංවිධානයට සහාය දක්වන පිරිසක් ඇමෙරිකා තානාපති කාර්යාලයක් ඉදිරියේ සිටින අවස්ථාවක ඇමෙරිකා හමුදා භටයෙක් ඔවැන්නක් කළොත් කුමක් වේවිද යන්නය. ඊට සරල පිළිතුර ඇමෙරිකාව මානව හිමිකම් කඩ කරනවා, ඒ නිසා අපිත් මානව හිමිකම් කඩමුද යන්නය. ඇමෙරිකාව යනු ඇමෙරිකාවය. ශ්‍රී ලංකාව යනු ශ්‍රී ලංකාවය. ඇමෙරිකා එක්සත් ජනපදය ලෝක දේශපාලනයේ බලවතාය. යුදමය, දේශපාලනමය මෙන්ම ආර්ථිකමය වශයෙන් ලොව බලවතාය. එහෙත් ශ්‍රී ලංකාව එසේ නොවේ. එසේ බලවතකු නොවූ පමණින් නිවට නියාලුව, බියගුළුව කටයුතු කළ යුතු නොවේ. එහෙත් අවශ්‍ය වන්නේ ශක්තිමත් විදේශ ප්‍රතිපත්තියකි. සිංහල බසින් රටේ ජනතාවට වහසි බස් මහින්ද රාජපක්ෂ හෝ මෛත්‍රීපාල සිරිසේන වැනි නායකයන් නොව විදේශයකදී සෘජුව අදහස් දැක්විය හැකි, නායකයන්ය. ආණ්ඩු මාරුවන වනවිට විදේශ ප්‍රතිපත්ති නොවේ. අපට සිටි එවැනි එකම නායකයා ලක්ෂ්මන් කදිරගාමයර්. ඉන්පසු ඒ ආසන්නයට හෝ පැමිණියේ නම් ඒ මංගල සමරවීරය.


එම නිසා මෙවැනි සිදුවීම් ඉදිරියේදී සිදු නොවිය යුතුය. වඩාත් වැදගත් දරුණුතම දුර්වලතාව අපට නිශ්චිත විදෙස් ප්‍රතිපත්තියක් නොමැතිකමය. හැම අතින්ම මෙන්ම අපි විදේශ ප්‍රතිපත්තිය අතින් ද දුර්වලය. වඩාත් මුල් තැන දෙනුයේ සංවේදීතාවලට, මැතිවරණවලට, ගමේ චණ්ඩි පාට්වලට සහ ජනප්‍රියතාවදායටය. එහෙත් අපට අවශ්‍ය වනුයේ එවැන්නක් නොවේ. ශක්තිමත්, ස්ථීරසාර, ප්‍රායෝගික රාජ්‍ය ප්‍රතිපත්තිය. රටේ අභිමානයට මුල් තැන දෙන රටේ ජාතික ලැදියාවන් ආරක්ෂා කරන අතරම ජාත්‍යන්තරයට ගරු කරන ජාත්‍යන්තර ප්‍රතිපත්ති, ප්‍රඥප්තිවලට අනුකූල, රාජ්‍ය තාන්ත්‍රිකභාවය ආරක්ෂා කරන විදේශ ප්‍රතිපත්තියකි. එම විදේශ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළ යුත්තේ ද හදවතින් නොව මනසින් විමසා කටයුතු කරන පක්ෂ දේශපාලනයට ගැතිකම් නොකරන, සෘජු, උගත්, බුද්ධිමත්, රාජ්‍ය තාන්ත්‍රිකයෝය. අපට නැත්තේම එවැන්නෝය.

මංගල සමරවීර මහතා සහ ලක්ෂ්මන් කදිරගාමර් මහතා සිටින ඡායාරූප අයිතිය gettyimages
https://www.gettyimages.com/detail/news-photo/sri-lakshman-kadirgamar-former-foreign-minister-for-sri-news-photo/94875253#sri-lakshman-kadirgamar-former-foreign-minister-for-sri-lanka-right-picture-id94875253

අනෙක් ඡායාරූප අන්තර්ජාලයෙනි

හර්ෂණ තුෂාර සිල්වා
07.02.18

Saturday, February 3, 2018

ආදරණීය වික්ටෝරියා ගැන ආදරයෙන්

කියවන පොත් ගැන සටහනක් තැබීමට නිරන්තරයෙන් සිතාගෙන සිටියත් එය කිසිදු අවස්ථාවකදී මෙතෙක් කලක් ඉටු නොවුණු බලාපොරොත්තුවක් විය. කෙසේ නමුත් මේ වසරේදීවත් කියවන පොතක් ගැන එක ඡේදයක් හෝ ලියා තබන බවට කරගත් අදිටන අද කූඨප්‍රාප්ත වී තිබේ. බ්ලොග් අඩවියේ මුලින්ම ලියන්නට සිතුනේ ආචාර්ය ලියනගේ අමරකීර්තිගේ කුරුළු හදවත ගැනය. පසුගිය වසර කිහිපයේදී මට වඩාත් සමීප වූ පොත් කිහිපය අතර මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේ සෙංකොට්ටං හා කුරුළු හදවතට හිමිවන්නේ මුල් තැන බව නොකිවමනාය. ඒ තැනට තවත් අලුත් පොතක් එක් කළ හැකිය. ඒ මොහාන් රාජ් මඩවලගේ ආදරණීය වික්ටෝරියා කෘතියයි.

මා සටහන ලිවීම ආරම්භ කරන ලද්දේ පෙබරවාරි 4 උදා වීමට පැයක් තිබෙන මොහොතකය. හෙට උදා වන්නේ ශ්‍රී ලංකාවේ 70 වැනි නිදහස යැයි කියති. නිදහස ලැබුණාද, නිදහස දිනාගත්තා ද , සුද්දා රට දාලා ගියා ද ? නිදහස හරියටම ලැබුණේ 1972 වසරේදී කියා තෝරා බේරා ගන්නට බැරි රටක අපි ජීවත් වන්නෙමු. එහෙව් රටක තීරණාත්මක කාල පරිච්ඡේදයක් ගැන මොහාන් අපුරූවට ආදරණීය වික්ටෝරියා හි ලියා තබා තිබේ.

බි්‍රතාන්‍ය පාලනයත්, බි්‍රතාන්‍ය පාලනයෙන් උරුම වූ දෑ නිසි පරිදි ගලපා ගැනීමට නොහැකි වීමත්, බඩජාරී කමට කෑ දෑ දිරවා ගත නොහැකි තත්ත්වයත් පොතේ අපුරූවට ලියා තබා ඇත. අද වනවිට ලංකාවේ තිබෙන සමාජ, සංස්කෘතිමය හා ආර්ථිකමය මෙන්ම ආකල්ප හා සිතුවිලිවලට සුවිශේෂී බලපෑමක් කරන ලද කාලසීමාවක් ලෙෂ බි්‍රතාන්‍ය පාලන කාලයත්, එයිනුත් වික්ටෝරියානු රැජින යටතේ පැවති බි්‍රතාන්‍ය පාලනයත් විශේෂයෙන් පෙන්වා දිය හැකිය.

වික්ටෝරියානු රැජිනගේ පාලන සමයේදී බි්‍රතාන්‍ය තුළ සමාජ, සංස්කෘතික, ආර්ථිකමය , දේශපාලනමය ඇතුළු බොහෝ ක්ෂේත්‍රවල ප්‍රතිසංස්කරණ රැසක් සිදු වූ අතර එහි බලපෑම එවකට බි්‍රතාන්‍ය පාලනය යටතේ පැවති ලංකාව වැනි කොලනිවලට ද තදින්ම බලපෑවේය.

වික්ටෝරියානු සුචරිතවාදය, වික්ටෝරියානු සංස්කෘතිය, වික්ටෝරියානු සදාචාරය යනුවෙන් හඳුන්වනුයේ වික්ටෝරියානු රැජිනගේ පාලන සමයේදී සිදු වූ සමාජ සංස්කෘතික ප්‍රතිසංස්කරණය, වෙනස්කම්. එම ප්‍රතිසංස්කරණ එසේත් නැතිනම් වෙනස්කම්වලින් පසු එඞ්වඞ් රජුගේ යුගය ආරම්භ වූ අතර ඉන් පසු වත්මන් දෙවැනි එළිසබෙත් රැජිනගේ කාලය වනතෙක් දක්වා පැමිණ තිබේ. මෙම යුගවලදී බි්‍රතාන්‍ය වික්ටෝරියානු ප්‍රතිසංස්කරණවලට බොහෝ දුර ගොස් තිබේ. බි්‍රතාන්‍ය අද වනවිට බොහෝ දුරක් පැමිණ ඇතත් ශ්‍රී ලංකාව තවමත් පය දෙතැනක තබාගෙන සිටියි. බි්‍රතාන්‍ය තුළ නූතන තත්ත්වලට ගැලපෙන අයුරින් බොහෝ ප්‍රතිසංස්කරණ සිදුව තිබේ. තාක්ෂණය අතින් ඔවුන් බොහෝ දුර ගොස් තිබේ.

ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන ඇතැම් නීතිරීති බි්‍රතාන්‍ය පාලන සමයේදී, විශේෂයෙන්ම වික්ටෝරියානු රැජිනගේ පාලන සමයේදී පැනවූ නීතිරීති වීම ඊට හොඳම උදාහරණයයි. එය මෑතකදී වඩාත් හොඳින් දක්නට ලැබිණි. කාන්තාවන්ට මත්පැන් මිලදී ගැනීම තහනම් කරමින් බි්‍රතාන්‍ය පාලනයේදී පනවන ලද නීති තවදුරටත් අඛණ්ඩව පවත්වාගෙන යෑමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා කටයුතු කිරීමට ඊට කදිම උදාහරණයකි. ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව අතින් බි්‍රතාන්‍ය ඉදිරියට යද්දි, කාන්තාවන්ගේ අයිතීන් සීමා කරමින් බි්‍රතාන්‍ය පාලන සමයේදී පනවන ලද නීතිරීති වෙනස් කර අදට ගැලපෙන සහ රටට ගැලපෙන නීතිරීති සකස් කිරීමට වත්මන් පාලකයන් පවා අසමත් වීම වික්ටෝරියානු බලපෑම කොතරම් තදින් සිදු ව ඇත්දැයි පෙනී යයි.

පෘතුගිසී, ලන්දේසි සහ බි්‍රතාන්‍ය පාලන සමවලට පෙර ලංකාවත්, එම පාලන සම සහ බි්‍රතාන්‍ය පාලනයෙන් පසු 1948 සිට 1972 දක්වාත් ඉන් පසු අද දක්වා කාලයත් බැලීමේ දී රටක් ලෙෂ අසාර්ථකවීම, කඩාවැටීම මනාව අවබෝධ කරගත හැකිය. වික්ටෝරියානු රැජිනගේ පාලනයේදී ශ්‍රී ලංකාවේ සිදුවන සමාජ, ආර්ථික සිදුවීම් මනාව පෙන්වාදෙන මොහාන් , තම කෘතියේ එක් තැනක මෙසේ සඳහන් කරයි.

“ඔය ධර්මපාල සිංහල මිනිසුන්ගේ නිදහස සීමා කරලා හදන්ඩ හදන සුචරිතවත් සමාජයම තමයි, වික්ටෝරියා මහ බිසවුන්නාන්සෙත් ඒ විදිහටම හදන්ඩ බලාපොරොත්තු වෙන්නේ.....”

පෘතුගිසී, ලන්දේසි සහ විශේෂයෙන්ම බි්‍රතාන්‍ය පාලනයත්, එම පාලන සමයේ වික්ටෝරියානු පාලන සමයේදීත් අපට සිදු වූ ඛේදවාචකය ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපට අපේ සංස්කෘතිය , අපේ කම අපේ ශක්තීන් මොනවාදැයි හඳුනාගැනීමට නොහැකි වීමය. අපට අපගේ අනන්‍යතාව හඳුනාගැනීමට නොහැකිවීම මෙහි ඛේදවාචකයයි. එහි ප්‍රතිඵලයක් ලෙස අවසාන වශයෙන් බිහි වූයේ මිශ්‍ර, විකෘති, දෙමුහුන් (හයිබි්‍රඞ්) නිශ්චිත අර්ථ කථනයක් නොදිය හැකි සමාජයකි.

මොහාන් ආදරණීය වික්ටෝරියා අවසන් කරන ආකාරය ගැන මට ඇත්තේ අපිළිවෙළ ගතියකි. එහෙත් එම අපිළිවෙළ, එම අවසානය ශ්‍රී ලංකාවේ වත්මන් මිශ්‍ර, විකෘති, දෙමුහුන් (හයිබි්‍රඞ්) නිශ්චිත අර්ථ කථනයක් නොදිය හැකි සමාජයේ ආරම්භය සනිටුවහන් කරයි. කෘතියේ අවසානයේ සඳහන් වනුයේ හිටපු අග්‍රාමාත්‍ය එස්.ඩබ්.ආර්.ඩී බණ්ඩාරනායක මහතාගේ උපතය. බණ්ඩාරනායක මහතා සම්බන්ධයෙන් දැඩි විවේචනයක් තිබේ. සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කරමින් ඔහු මහත් විනාශයක් රටට අත්කළ බව මාගේ විශ්වාසයයි. තමන්ගේ දරුවන් ඉංග්‍රිසි බසින් ද අකුරු කරද්දි, රටේ අනෙක් දරුවන්ට තිබූ එම අවස්ථාව අහිමි කිරීමේ ප්‍රතිවිපාක අපි අද හොඳින් අත් විඳින්නෙමු.

ආදරණීය වික්ටෝරියා මෙසේ අවසන් වෙයි.

“කෙසේ හෝ මේ දවසේම රාත්‍රියේ තවත් අහඹු සිද්ධියක් සිද්ධ වී තිබුණේය. එනම් කොළඹ මහමුදලි වලව්වේ මහමුදලි සොලමන් බණ්ඩාරනායකගේ බිරිඳ ඬේසි ඔබේසේකර පිරිමි දරුවකු ප්‍රසූත කළාය. සර් ජෝසප් වෙස්ට් රිජ්වේ ඉංග්‍රිසි ආණ්ඩුකාරවරයාගේ  අතිශයින්ම කුලුපග සේවකයකු වූ මහමුදලි බණ්ඩාරනායක සිය කුලදුල් පිරිමි දරුවාට සිය නමේ සොලමන් ඩයස් යන කොටසත්, ඉංග්‍රිසි ආණ්ඩුකාරවරයාගේ වෙස්ට් රිජ්වේ යන කොටසත් එකට එක්කොට සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක නමින් නම් තැබුවේ ඊට දින කිහිපයකට පසුය”.

ඉන් වසර 12කට, 1901 වසරේ පෙබරවාරි 4 වැනිදා බි්‍රතාන්‍යයේ වික්ටෝරියා රැජිනගේ ‘රාජකීය දේහය’ වින්ඞ්සර්හි ‘ෆ්‍රොග්මෝ මුසලියම්’ හෙවත් ෆ්‍රොග්මෝ රාජකීය සුසාන භූමියේදී භූමදානය කරන ලදි. 

ඡායාරූපය 1901 වසරේ පෙබරවාරි 04 වැනිදා ‘මැන්චෙස්ටර් ගාඩියන්’ හි පළ වූවකි. අයිතිය ‘ද ගාඩියන්’
https://www.theguardian.com/theguardian/2012/feb/04/archive-1901-death-queen-victoria

Friday, February 2, 2018

පුවත්පත් හා සමාජ මාධ්‍යය


රාවය පුවත්පත සම්බන්ධයෙන් මතු වී තිබෙන මතභේදාත්මක තත්ත්වය සම්බන්ධයෙන් මේ සතියේ රාවය පුවත්පතේ පැහැදිලි කිරීම් සහ ලිපිවලට අමතරව පසුගිය සති දෙකක කාලයේදී මුහුණු පොතේ ද විවිධ අදහස් දැක්වීම් දක්නට ලැබිණි. මා ලියන්නට යන්නේ රාවය විවාදයෙන් මතු වී එන වෙනත් කරුණක් ගැනය. රාවය පුවත්පත සම්බන්ධයෙන් සහ ජනරංජන මහතාගේ ඉවත් වීම හෝ ඉවත් කිරීම සම්බන්ධයෙන් දීර්ඝ පැහැදිලි කිරීමේ ලිපියක් පළ කරන වික්ටර් අයිවන් මහතා එම ලිපියේ පළමු ඡේදයෙන් වැඩි හරියක් කතා කරන්නේ සමාජ මාධ්‍යය ගැනය.

වඩාත් වැදගත් කරුණ වන්නේ වික්ටර් අයිවන් මහතාගේ ලිපියේ වැඩිමනක් පාදක වන්නේ සමාජ මාධ්‍ය ජාලවල පළවූ අදහස් ද සමඟය. එහිදි පැන නගින ගැටලු දෙකකි. රාවය පාඨකයෝ සියලු දෙනාම සමාජ මාධ්‍ය ජාල භාවිත කරන්නෝ ද ? සමාජ මාධ්‍යයේ රාවය ගැන පළවු ලිපි, අදහස් දැක්වීම් සියල්ල රාවය පාඨකයෝ දුටුවා ද ? රාවය පුවත්පත සම්බන්ධයෙන් ඇති වී තිබෙන තත්ත්වය මෙරට ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ එක් සුවිශේෂී සිදුවීමක් වනවා සේම අනෙක් අතට ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ඉදිරි ගමනට හේතු කරගත යුතු සිදුවීමක් යැයි විශ්වාස කරමි.

ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ඉදිරි ගමනට එය හේතුවක් කරගැනීම යනුවෙන් මා අදහස් කරනුයේ, සමාජ මාධ්‍යය සහ සාම්ප්‍රදායික මාධ්‍යය අතර ඝට්ටනයයි. ඉහත සඳහන් කළ අයුරින්ම වික්ටර් අයිවන් මහතා තම කරුණු පැහැදිලි කිරීම් මූලික වශයෙන් පදනම් කරගනුයේ සමාජ මාධ්‍යයි.

පුවත්පත් පිටු සමාජ මාධ්‍යයේ ඔස්සේ ප්‍රකාශයට පත් කිරීම සමාජ මාධ්‍යය විශේෂයෙන්ම මුහුණු පොතේ හාස්‍ය උත්පාදක ඡායාරූප යනාදිය පුවත්පත්වල පළ කිරීම යනාදිය තුළින් මීට පෙර දක්නට ලැබුණි. එහෙත් වික්ටර් අයිවන් මහතාගේ පැහැදිලි කිරීම කෙරෙන්නේ ම මුහුණු පොතේ පළ වූ අදහස් දැක්වීම් සම්බන්ධයෙනි. එහි වඩාත් සැලකිය යුතු කරුණු වන්නේ රාවය පුවත්පත සම්බන්ධයෙන් පැන නැගී ඇති අර්බුදය සම්බන්ධයෙන් අදහස් දැක්වීමට තිබෙන්නේ මාධ්‍ය , වේදිකා (ප්ලැට්ෆෝම්ස් දෙකක් වීමය). එකක් රාවය පුවත්පතය. ඉඩකඩ සීමිතය. පළ වන්නේ සතිපතාය. අනෙක් වේදිකාව සමාජ මාධ්‍ය, නැතිනම් අන්තර්ජාලය කේන්ද්‍ර කරගත් මාධ්‍යය. සංසඳනාත්මකව ගත් විට සමාජ මාධ්‍යයේ ඉඩකඩ වැඩිය. අවස්ථා වැඩිය. ඕනෑම අවස්ථාවක අදහස් ප්‍රකාශ කළ හැකිය.

ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය මෙන්ම ලෝකයේ ජනමාධ්‍ය ප්‍රවණතා සම්බන්ධයෙන් සැලකිල්ලක් දක්වන පිරිස්වලට මෙය ඉතා හොඳ අවස්ථාවක් මෙන්ම ඉතා හොඳ මාතෘකාවක යැයි විශ්වාස කරමි.

සාර්ථකත්වයට පත්වන්නේ එක්ව යන ගමන්ය. පුවත්පත්වලට, මුද්‍රිත මාධ්‍යවලට හා සාම්ප්‍රදායික මාධ්‍යවලට වෙන් ගමන් කිරීමෙන් අත්පත්වන සාර්ථකත්වය නැත. අනෙක් අතට සමාජ මාධයයට එම කරුණ වලංගුය. එම නිසා තොරතුරු සැපයීම, තොරතුරු එක්රැස් කිරීම, තොරතුරු බෙදාහැරීම, මූලාශ්‍ර යන කරුණුවලදී සමාජ මාධ්‍ය සහ සාම්ප්‍රදායික මාධ්‍ය අතර සහ සම්බන්ධය තවදුරටත් වැඩි කරමින් මාධ්‍ය දෙක අතර තිබෙන පරස්පරතා සීමා කිරීම සම්බන්ධයෙන් කතා කිරීම වඩාත් වැදගත් වේ.


ඡායාරූපය රොයිටර් පුවත් සේවයෙනි

‘මිඩ්ල් ක්ලාස්’ ක්‍රියිසිස් සහ ‘ඩිකෝඩිං’

අපි ජන සමාජයක් විදියට උග්‍ර අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. දරුවෙක්ගේ සාර්ථකත්වය මනින්නේ, යාන වාහනවලින්, උපාධිවලින්, හම්බවෙන පඩියෙන්, කරන රස්සා...

Blog Archive