ඔව් වෙනස සැපයි. ආණ්ඩුව පෙරළීම අරමුණු කරගනිමින් ජනතාව වෙනුවෙන් යැයි කියමින් යන ඒකාබද්ධ විපක්ෂ පාගමන වීඩියෝ පට නැරැඹුවා නම් ඔබට ඒ වෙනස හොඳින්ම අත්විඳ ගන්නට හැකියාව ඇත. දසවසරක කාලයක් පුරාවට විවිධ අත්තනෝමතික කම් හා නියමිත කාලයට වසර දෙකකට පෙර ජනපතිවරණයක් තබා ගෙදර යන්නට සිදු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාට හා ඔහුගේ ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමට මේ ආකාරයෙන් පාගමනක් යන්නට මඟ පෑදී ඇත්තේ ජනවාරි 8 වැනිදා වූ වෙනසේ සැප දැනෙන නිසාය.
එම ආණ්ඩුව කළ නිසා මේ ආණ්ඩුව කරන වැරැදි ක්‍රියා කිසිසේත්ම අනුමත හෝ සාධරණීය කළ නොහැක. අද එදාට වඩා යම් නිදහසක්, නීතිය ක්‍රියාත්මක කිරීමක් හා ප්‍රජාතන්ත්‍රවාදයක් රට තුළ ගොඩනැගෙමින් පවතියි. එහෙත් ආණ්ඩුවේ විවිධ පිරිස් කරන ඒ වූ පමණින් නොසලකා හැරිය නොහැක. මේ ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ට එකල මෙහෙම වූවා යැයි කියා තමන් කරන වැරැදි සාධාරණීයකරණය කිරීමට කිසිදු අයිතියක් නැත.
ඉකුත් වසරේ අගෝස්තු මාසයේ පැවැති මහ මැතිවරණයෙන් කිසිදු පක්ෂයට ආණ්ඩුවක් පිහිටුවීමට බලයක් හිමි නොවූ අතර ඔවුන් ජනවාරි 8 වැනිදා ජනතාවට වූ පොරොන්දුව ඉටු කරමින් ජාතික ආණ්ඩුවක් පිහිටුවීය. එහෙත් ඒ පොරොන්දුව හා තවත් කිහිපයක් ඇරෙන්නට තවමත් පොරොන්දු රැසක් තවමත් ඉතිර ව ඇත. ජාතික ආණ්ඩුවක් යැයි නම් කළ ද විපක්ෂයේ පක්ෂ කිහිපයක් ඇති බැවින් මෙය ජාතික ආණ්ඩුවක් නොවන අතර යහපාලන මූලධර්ම අනුගමනය නොකරන නිසා යහපාලන ආණ්ඩුවක් නොවන බව ද කිව යුතුය. මේ ආණ්ඩුව ජනාතවට දුන් පොරොන්දු ඉටු කළ යුතුව ඇති අතර පාක්ෂිකයන්ට රැකියා දීමට මේ ආණ්ඩුව පත් කර නොමැති බව මතක් කළ යුතුය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා සන්ධානයට හා එක්සත් ජාතික පක්ෂයට තම පක්ෂවල වැඩ කටයුතු කිරීමට හෝ නඩත්තු කිරීමට හෝ ජනතාව විසින් වරමක් දී නැත. එහෙයින් මේ ආණ්ඩුව ගත වූ වසර එකහාමාරකට ආසන්න කාලයේදී කළ අඩුපාඩු සකසා ගනිමින් ඉදිරියට යා යුතුය.
එමෙන්ම විපක්ෂයේ මේ පාගමනට ආණ්ඩුව දැන් දක්වන තරමින් ප්‍රතිචාර දැක්වීමේ අවශ්‍යතාවක් නැත. තමන්ගේ ද අඩුපාඩු රැසක් ඇති බැවින් ආණ්ඩුවට ඒ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන්නට සිදු ව ඇත. ඒ පැත්තේත් මේ පැත්තේත් යන දෙපැත්තේම දැන් හොරු සිටිති. එහෙත් මේ අලුත් ආණ්ඩුවක් පිහිටුවීමට හෝ ආණ්ඩුවක් පෙරළීමට කාලය නොවන බව අප පසක් කරගත යුතුය. ඇමෙරිකාවට හා ඉන්දියාවට පක්ෂපාතී වීම නිසාම හෝ අපට ජාත්‍යන්තරයේ පිළිගැනීමක් හිමිවෙමින් පවතියි. චීනය සමඟ ඇති සබඳතා ද ශක්තිමත් වන බවක් දකින්නට පුළුවනි. ඒ නිසා මේ රටේ ජනතාව ලෙස අප කළ යුත්තේ ආණ්ඩුව මෙන්ම විපක්ෂය ද නිවැරැදි මාර්ගයේ යැවීම සඳහා පක්ෂ පාට, කුලමල , ජාති ආගම් භේදයකින් තොරව පෙළ ගැසීමය. වැට් බද්ද ක්‍රියාත්මක කිරීමට සිවිල් සමාජය, විවිධ පක්ෂ නියෝජනය කළ පිරිස් ගත් උත්සාහය අගය කළ යුතු අතරම විමල් වීරවංශ ගත් ක්‍රියා පිළිවෙත ද අගය කළ යුතුය. එහෙත් එපමණින් විමල් වීරවංශ ඇතුළු පිරිසට ඇති චෝදනා කුණු ගොඩට දමන්නට බැරිය. ඒ නිසා දෙපැත්තේම හොරුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන තැනට මේ රට පත් කිරීමේත් රට ගොඩනැගීමෙත් වගකීම ඇත්තේ මේ රටේ ජනතාව සතුව මිස ඒ ඒ පක්ෂ සතුව නොවන බව අප තේරුම් ගත යුතුය.
හර්ෂණ තුෂාර සිල්වා
2016.07.31