ලංකාවේ ශිෂ්‍ය අරගලය වෙනස් විය යුතු බව කීපවරෙක්ම සඳහන් කළෙමි. එය හුදෙක් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයට හා රටේ රාජ්‍ය විශ්ව විද්‍යාලවලට පමණක් සීමා නොවිය යුතුය. ලංකාවේ ශිෂ්‍ය අරගලය අධ්‍යාපනයේ ගුණාත්මකභාවය වැඩි කිරීමේ අධ්‍යාපන අයිතීන් දිනා ගැනීම දක්වාත්, ඉන් එහාට ගිය සමාජයේ පොදු ප්‍රශ්න විසඳීම දක්වාත් ගමන් කළ යුතුයි. මක්නිසාදයත් රටේ අනාගතය රඳා පවතින්නේ රටේ තරුණ කැළ සතුවය.
මේ සටහන සංඛ්‍යා දත්තවලින් පිරවීමේ අවශ්‍යතාවක් නැත. උසස් පෙළට සහභාගී වන සිසුන්ගෙන් සරසවි වරම් ලබන්නේ කොපමණ සංඛ්‍යාවක් ද යන්න අපි හොඳින් දනිමු. අද අපේ අධ්‍යාපනය කඩා වැටී ඇති තත්ත්වය, රටේ ඉහළම ක්‍රීම් එක යැයි පවසන විශ්ව විද්‍යාල සිසුන් පත්වී ඇති අපි හොඳින් දනිමු. රාජ්‍ය විශ්ව විද්‍යාලයකට නොගිය ද ඉන් පිටස්තර බොහෝ දෙනා මා ඇතුළු මේ සියලු කරුණු දනිමි.
පුද්ගලික වෛද්‍ය විද්‍යාල සම්බන්ධ ගැටලුව මුල් කරගනිමින් රටේ බොහෝ පාර්ශව එක් වේදිකාවට එකතු කරගන්නට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විරෝධී මධ්‍යස්ථානය ප්‍රමුඛව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය, වෛද්‍ය පීඨ සමත් විය. එය ධනාත්මක කරුණකි. විවිධ මත දරන්නන් එකම වේදිකාවට ගෙන එමින් තම අරගලය ගෙන ඒමට සමත්වීම ඉතා හොඳය.
එහෙත් අප මේ සත්‍යය තේරුම් ගත යුතුයි. රටේ පුද්ගලික අධ්‍යාපන ආයතන ඇති විය යුතු බව මම තරයේ විශ්වාස කරමි. එයට හේතු සාධක ඕනෑ තරම්ය. එය වෛද්‍ය විද්‍යාව හා ඕනෑම විෂයක් සඳහා විය හැකිය. උසස් පෙළ ලියා විශ්ව විද්‍යාලයකට ඇතුළත් වීමේ සුදුසුකම් ලැබුවද විශ්ව විද්‍යාලයකට පිවිසිය හැක්කෙ දළ වශයෙන් 25,--000කට ආසන්න ප්‍රමාණයකි. අපේ වගේ දියුණු වෙමින් රටක, දේශපාලකයන් හිතු මතේ කටයුතු කරන රටක, කිසිදු ප්‍රතිපත්තියක් නැති රටක සරසවි සුදුසුකම් ලබන සියලු දෙනාට රජයේ විශ්ව විද්‍යාලවලට කඩිනමින් ඇතුළත්වීමට හැකි ආකාරයක් ගැන සිතීමත් අනුවණ කමකි.
පෞද්ගලික වෛද්‍ය විද්‍යාල එපා යැයි පවසන පිරිස් පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන, පුද්ගලික රෝහල් සම්බන්ධයෙන් වෙනස් මතයක් අනුගමනය කරන්නේ ඇයි ද යන්නට පිළිතුරු දිය යුතුයි. එපමණක් නොව සරසවියකට ප්‍රවේශවීමේ සුදුසුකම් ලැබුවද 25,000 ගොඩට ඇතුළත් නොවන ලක්ෂ ගණනක දරුවන් තම උසස් අධ්‍යාපන අවශ්‍යතා සපුරා ගැනීමට කුමක් කළ යුතු ද යන ප්‍රශ්නයට පිළිතුරු දිය යුතුයි.
එහෙයන් රටේ පුද්ගලික අධ්‍යාපන බිහිවිය යුතුයි. එහි දෙකක් නැත. එහෙත් ඒවා නිසි ආකාරයෙන් නියාමනය විය යුතුයි. රජයේ නිසි අධීක්ෂණයට ලක්විය යුතුයි. විශේෂයෙන්ම වෛද්‍ය සිසුන්ටත් පවත්වන විභාග රජයේ විශ්ව විද්‍යාලවල ප්‍රමිත නීති රීතවලට අදාළ විය යුතුය. රටේ පොදු නීති වෛද්‍ය සභාව ඔය ආදියේ ඇති නීති රෙගුලාසිවලට අදළා විය යුතුයි.
ගිණුම්කරණය, අලෙවිකරණය, මානව සම්පත් කළමනාකරණය ආදි විෂයන් සඳහා රටේ පුද්ගලික අධ්‍යාපන ආයතනවල ප්‍රමාණය අති මහත්ය.
ඒ.ඒ.ටී, සී.එම්.ඒ, සී.ඒ, ඒ.සී.සී.ඒ, ඒ.සී.සී.ඒ ඔය ආකාරයේ ක්‍රමවේද රැසක්ම ඇත. එන්.එස්.බී.එම්, තොරතුරු තාක්ෂණ ආයතනය, වෘත්තීය පුහුණු ආයතන, පාසල් මේ සියලු දෙනා එක අරමුණක පවත්වා ගැනීම ලාංකේය සිසු ව්‍යාපාරයේ වගකීමය.
ඇත්ත වශයෙන්ම පීඩාවට පත්වූවෝ කවුරුන් ද යන ප්‍රශ්නයට පිළිතුරු සෙවුහොත් සත්‍ය පිළිතුර කුමක් වනු ඇත් ද? උසස් පෙළ ලියා සරසවියකට ප්‍රවේශ වන්නට සුදුසුකම් ලැබුවද විශ්ව විද්‍යාලයකට පිවිසීමට නොහැකි පිරිස යන්න පිළිතුර විය යුතුයි. පසුගිය වසරේදී පමණක් උසස් පෙළ ලියූ පිරිසේන් සියයට 60ක් සරසවි ලබද්දි සරසවිවලට ඇත-ුළත් වන්නේ සියයට 17. ප්‍රමාණයකි.
එම නිසා සටන් පාඨය විය යුත්තේ මාලබේ හොර උපාධි කඩය වසා දැමීම යන්න නොව වෛද්‍ය අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවය යන්නයි. තමා ඉගෙන ගන්නා අධ්‍යාපන ආයතනය වසා දමන්නයි තවත් පිරිස් උද්ඝෝෂණයේ යෙදීමන් සායිටම් ආයතනයේ ඉගෙන ගන්නා අප වගේම පිරිසට කුමක් දැනෙනු ඇත් ද? පන්ති තහනමට එරෙහිව සටන් කරන පිරිස් තමන් හා සමානම තමන්ගේ වයස්වල පසුවන පිරිස් ඉගෙන ගන්නා ආයතනයක් වසා දමන්න යැයි උද්ඝෝෂණ කිරීම කෙරතම් සාධාරණ ද?
ඒ නිසා පුද්ගලික අධ්‍යාපන ආයතන වසා දැමීම නොව ඒවා නිසි ආකාරයෙන් නියාමනය කිරීම සිදු විය යුතුයි. ඒවා අධීක්ෂණය කළ යුතුය. රජයේ නීති රීතිවලට අනුකුල විය යුතුයි. ඒ නිසා සායිටම් හි සිසුන් ද සිසු අරගලයේ කොටස්කරුවන් විය යුතුයි. සායිටම් ආයතනය රජයට පවරා ගැනීම හෝ එහි ගුණාත්මකභාවය, විභාගවල තත්ත්වය, පරීක්ෂණ, රෝගීන්ම පරීක්ෂා කිරීම්, අය කිරීම අඩු කිරීම ආදී කරුණුවලට මුල් දැන සටන් කළ යුතුය.
මේ රටේ සිසුන් යන රජයේ විශ්ව විද්‍යාලවල ඉගෙන ගන්නා පිරිස පමණක් නෙවා ඉන් බාහිරව අධ්‍යාපන පිරිස් සටන් බව තේරුම් ගත යුතුයි. එම නිසා අධ්‍යාපන ආයතනයක් එපා වෙනුවට යම් කිසි අඩු පාඩු සහිත අධ්‍යාපන ආයතයක වේ නම් එහි වරද පෙන්වා ගුණාත්මකභවෙයන් ඉහළ තැනකට ගෙන ඒමට උපකාර කළ යුතුයි.
එපමණක් නෙවා ලාංකයේ ශිෂ්‍ය දේශපාලනය පැහැදිලි ඉරකින් දේශපාලන පක්ෂ හා සිසු ව්‍යාපාරය අතර සබඳතා වෙන් කළ හැකි විය යුතුය. අවසාන වශයෙන් නැවතත් කීමට ඇත්තේ අරගලය වෙනස් විය යුතුය යන්නයි.
හර්ෂණ තුෂාර සිල්වා
2016.07.16
No comments:
Post a Comment