යාපනයේ සරසවියේ සිදු වූ ප්‍රහාරයත් සමඟ කරුණු කිහිපයක් කෙරෙහිම සමාජයේ අවධානය යොමු වී ඇත. ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය, දෙමළ ජාතික සන්ධානය විපක්ෂය දෙසටත් විශ්ව විද්‍යාල සිසුන්, අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය, ඩයස්පෝරාව , දේශපාලන පක්ෂ මේ ආකාරයේ විවිධ පාර්ශවවල අදහස් මත ප්‍රකාශවලටත් ඒ ඒ අයගේ ඉදිරි ක්‍රියාකාරකම් ගැනත් ජනතාව අවධියෙන් පසුවෙයි.
ජූලි 18 පැවැති මාධ්‍ය හමුවකදී සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර මහතා හරි අපුරූ කතාවක් කීවේය. ගිනිගෙන දැවෙන විට අතට හසුවන ඕනෑම බාල්දියක් ඔළුවේ හළා ගැනීමෙන් ගින්න නොනිමෙන බවත්, අවාසනාවකට එම බාල්දියේ පෙට්‍රල් තිබිය හැකි බවත් ඔහු කීය. මෙය හරි අපූරු කතාවක්. අපි සෑමවිටම පොලු මුගුරු අතට ගැනීමේ සම්ප්‍රාදයට මහත් කැමැත්තක් දක්වයි. එහෙත් කවදාවත් මේ පොලු එසෙවිය යුතු දිසාවලට යොමු වෙන්නේ නැත.
යාපනය ගැන මට තවමත් ඇත්තේ සුන්දර සිහිනයකි. ගුරුවරයා කවුරුන්ද යන්න මට නිච්චියක් නැත. එහෙත් ඔහු අපට යාපනයේ සිසුන් ගැන කියා අම්බානක බැන්නේය. මතක හැටියට උසස් පෙළ පන්තියේ පන්ති භාර සිරිමල් සර් විය යුතුය. “තොපිට උදේ 7.30 ඉස්කෝලෙට එන්න, ඒකට යාපනේ ළමයි, උදේ තුනට හතරට ටියුෂන් යනවා” ඔහු කීවේය. එහෙම තත්ත්වයක් දකුණේ ඇති වේ යැයි මම සිහින දුටිමි. ඒ ඇත්තටම සවසට ටියුෂන් යෑමට ඇති අකැමැත්ත නිසාමය.
අපට හය වසරේ ගණන් ඉගැන්නුවේ සංජීවන් සර්ය. සංජීවන් සර්ට හරියට සිංහල හැසිර විය නොහැකි විය. සර් අපට විවිධ නම්වලින් ආමන්ත්‍රණය කළේය. මා මහර සිටි නිසා මට මහර යැයි ඇමැතීය. මගේ මිතුරන්ට ඔවුන් සුවිශේෂී යමකින් ඔහු ඇමැතුවේය. එය අපට මහත් විනෝදයක් වීය. ඒ කාලයේ සංජීවන් සර්ට අපේ සෙට් එකම මහත් සේ ආදරය කළේය. සංජීවන් සර් අපේ ඉස්කෝලෙට ආවේ අවුරුද්දක කාලයකටයි. ඊට පස්සේ වරින් වර පාසලට පැමිණියේය. එක් දවසක ඔහු පැමිණියේය. මතක විදියට අපි අට වසරේය. ඔහු අපේ පන්තිය ගාවින් යනවිට අපි සියල්ලෝම නැගී සිටියෙමු. පන්තියේ ගුරිවරියක් ද වූවාය. එහෙත් අපට ගාණක් නොවීය. වැඬේ වැරැදිය. හැබැයි ඒ අපි ඔහුට ආදරය කළ තරමයි.
අපත් ඔහුත් අතරත් පුදුමාකාර වෙනස්කම් තොගයක් විය. එහෙත් වෙනස්කම් අපත් සංජීවන් සර් අතරත් අපූරු සබඳතාවයට හේතු විය. දෙමළ ඔවුන් අතරත් සිංහල අප අතර මුස්ලිම් මිතුරන් අතරත් අප්‍රාමාණික වෙනස්කම් ඇත. අපට අනන්‍ය ලක්ෂණ ඇත. ආගමික වශයෙන්, ජාතීන් වශයෙන්, සංස්කෘතික වශයෙන්, වෙනස්කම් ඇත. එපමණක් නොව ආගම් වශයෙන්, උඩරට, පහත රට වශයෙන්, දකුණ, විලච්චිය, ඕනෑ තරම් වෙනස්කම් පෙන්වා දිය හැකිය. එරංග සහෝදරයා කීවා සේ, එළියට ඇවිත් අහස බලන්න, තරු එකිනෙකට වෙනස්ය. නුවර පාරයි, ගාලු පාරයි වෙනස්ය. අඹ ගහයි, කොස් ගහයි වෙනස්ය.
අපේ රට හරි පුංචිය. හැබැයි මේ රට ඇතුළේ ලෝකයේ ලොකුම රටවලත් නැති අපූර්ත්වයක් ඇත. ඒ කොළඹින් කිලෝමීටර ගාණක් යද්දි පරිසරයේ ඇති වෙනස්කමේ සිට බොහෝ වෙනස්කම් නිසා ඇති වූ අපූර්වත්වයකි.
ගැහැණිය හා පිරිමියා එකිනෙකට වෙනස්ය.. ඒ වෙනස ජීවිතවයට ගෙන එන්නේ හරි අපූර්තවයකි. අම්මාගේ ආදරයයි තාත්තාගේ ආදරයයි එකිනෙකට. ඒ වෙනසට අපි පුදුමාකාර ස්නේහයක් දක්වයි.
ආදරයෙන් ඔබ්බට ගොස් ආහාර ගත්තත් එසේය. අපි සියලු වෙනස්කම්වලට පුරුදු පුහුණු වී සිටිමු. එහෙත් අනෙකාගේ සංස්කෘතිය, අනෙකාගේ ආගම, අනෙකාට අනන්‍ය වූ වෙනස, ඔවුන්ගේ ඉල්ලීම් මතවලට කන්දීමට අප තවමත් පුරුදුව නැත. දකුණේ කාවඩි, කුංකුමි ඕනෑ තරම් නටා ඇත. උතුරේ උඩරට පහත රට දෙකම නටා ඇත. එහෙත් පසුගිය කාලයට පුරාවටම වෙනස්කමට වෛර කරන ජාතියක් බවට අප විසින් අපවම පත් කරගත්තෙමු. ඒ නිසා අනෙකාගේ වෙනසට ගරු කරන ආදරය කරන, ඒ වෙනස ඉවසන ජාතියක් බවට පත්වීමේ දැවැන්ත අභියෝගයක් අප ඉදිරියේ ඇත. එපමණක් නොව අප සියලු දෙනා අනෙකාගෙන් වෙනස්වන හේතුව, අනෙකාගේ සාමයට බාධාවක් නොවීමටත් අප වගබලා ගත යුතුය.
හර්ෂණ තුෂාර සිල්වා
2016.07.22
No comments:
Post a Comment