Friday, July 29, 2016

මම ශ්‍රී ලාංකිකයෙක්.

එකම උත්සවයේදී ජාතික ගීතය දෙරවක් වාදනය හෝ ගායනය කළ දින තිබුණද මට ඒවා ගැන හරි හැටි මතකයක් නැහැ. පාසල් රැස්වීම ආරම්භයේදී ජාතික ගීයත් අවසානයේදී පාසල් ගීතයක් ගායන කළ බව නම් මතකයි. යාපනය හාර්ට්ලි විද්‍යාලයේ වාර්ෂික මහ සභා රැස්වීම් ජූලි 28 වැනිදා පැවැත්වුණා. මෙහිදි උත්සවය ආරම්භ වුණේ ජාතික ගීය වාදනය කරමින්. උත්සවය අවසන් කෙරුණෙත් ජාතික ගීය වාදනය කරමින්. 
කාලයක් තිස්සේ අපි අනෙකා දෙස සැක සහිත විදිහට බලන්න පුරුදු වුණා. වාසුදේවට විග්නේරෂ්වරන්ට නෑයෝ වෙන්න පුළුවන්නම් යාපනේ ශෂිදරන්ලට දකුණේ ශෂිනිලට එකට පවුල් කන්න පුළුවන්. අවුරුදු ගණනක් කොළඹ හිටපු කොළඹ තමන්ගේ ගෙදර තියෙන විග්නේෂ්වරන් උතුරට ගිහින් දෙමළ අයිතිවාසිකම් ගැන කියනවා. වහිනකොට, නාය යනකොට, සුනාමිය එනකොට උඹ දෙමළ ද සිංහල ද මුස්ලිම් ද කියලා අහලා අනන්‍යතාව හොය හොයා ඉන්නේ නැහැ. 
විග්නේෂ්වරන්, මහින්ද මෛත්‍රීලා මොරගහකන්දට අයිතිවාසිකම් කියන්න හදනවා. එහෙත් රෑට විස්කි වීදුරු බෙදාගන්නේ ඒ අයම තමයි. ඒක නොදන්න පහළ පන්තිය නියෝජනය කරන මිනිස්සු විග්නේෂ්වරුන්ලා, මහින්දලා මෛත්‍රීලා දෙන පොලු අරගෙන තමන්ගේ පන්තියේ උන්ගේ ඔළු මත පතිත කරනවා. මේ අමන වැඬේ උතුර නියෝජන කරන දේශපාලන පක්ෂ වගේම දකුණේ ශ්‍රීලනිපය, යුන්පිය, ජවිපෙය මේ හැමෝම කාලයක් සිදුකළා. ජවිපේ යම් වෙනස් මගක් අනුගමනය කළත්, යම් යම් ප්‍රතිපත්ති ගැන අපට විවේචන තිබෙනවා. ඒක වෙනම කතා කළ යුතු මාතෘකාවක්. 
මොරගහකන්දට හෝ මේ වතුර බිඳුවකට හෝ රටේ ඉදි කරන කිසිදු ව්‍යාපෘතියකට අයිතිවාසිකම් කියන්න මොනම නායකයකුටත් තඹ දොයිතුවක් අයිතියක් නැහැ. යම් ව්‍යාපෘතියක් ඉදි කිරීම, ආරම්භ කිරීම නිම කිරීම සම්බන්ධයෙන් දේශපාලන නායකත්වයට, එය කළ නිලධාරීන් , කම්කරුවන් ඇතුළු සම්බන්ධ පාර්ශවවලට ගෞරවය හිමි විය යුතු නමුත් ඒ කිසිවක අයිතියක් ඔවුන්ට නැහැ. ඔවුන් ඉදි කරන්නේ රට වෙනුවෙන්. ඒ සඳහා ණය ගෙවන්නේ රටේ මිනිස්සු. ප්‍රතිලාභ ලබන්නේ රටේ මිනිස්සු. ඒ නිසා මොරගහකන්ද ගැන කතා කරන්න උතුරේ විග්නේෂ්වරන්ට විතරක් නෙමෙයි දකුණේ මෛත්‍රී, මහින්දට හා රනිල්ට අයිතියක් නැහැ. ඒත් ඒ ජලයෙන් ප්‍රයෝජන ගැනීමේ අයිතියක් මේ රටේ හැම මිනිහටම තියෙනවා. 
මනෝ ගනේෂන් , අනුර කුමාර යන දෙන්නා මෑතකදී කළ ප්‍රකාශවලට එකඟවෙමින් මේ රට බහුසංස්කෘතික, බහුආගමික, බහුවාදී රටක් බව කිව යුතුයි. මේ සුන්දරත්වය ගැබ් වී තිබෙන්නේ ඒ බහුවාදීත්වය මතයි. රටේ බහුභාෂා පිළිවෙත නියම ආකාරයෙන් ක්‍රියාත්මක විය යුතු අතරම හැම පිරිසක්ම අතරම පොදුවේ කතා කරන්න ඉංග්‍රීසි භාෂා හැකියාව රටේ තරුණ පරම්පරාවට දීමට ද ආණ්ඩුව කටයුතු කළ යුතුයි. අපිට වර්ගවාදයෙන් ජාතිවාදෙයන් තොරව කතා කරන්න මාතෘකා ගොඩක් තියෙනවා.
පටන් ගත්තු කතාව ඉවර කළොත් උත්සවය ආරම්භ කළේ සිංහල බසින් ජාතික ගීය ගායනා කරමින්. අවසන් කළේ දෙමළ බසින් ගීතය ගායනා කරමින්. අන්න ඒ විදියට අපට දෙමළ භාෂාවත් සිංහල භාෂාවත් පිළිගන්න පුළුවන් නම් වෙස් නැටුමක් නැටුවා කියලා ගහ ගන්න වෙන්නේ නැහැ. හාද්දකට හූ කියන්න වෙන්නේ නැහැ. අනෙකාගේ අනන්‍යතාව පිළිගන්න පුළුවන් නම්, අනෙකාගේ වෙනසට ගරු කරන්න පුළුවන් නම් මේ රටේ අනාගතය ගැන අපට දැන්මම පේන කියන්න පුළුවන්. අපිට ලංකාවේ මිනිස්සු කියන්න පුළුවන්නම්, මම සිංහල මම දෙමළ මම මුස්ලිම් කියනවාට වඩා හුඟාක් ලස්සන වේවි.  මම ශ්‍රී ලාංකිකයෙක්. 

හර්ෂණ තුෂාර සිල්වා
2016.07.29


No comments:

Post a Comment

‘මිඩ්ල් ක්ලාස්’ ක්‍රියිසිස් සහ ‘ඩිකෝඩිං’

අපි ජන සමාජයක් විදියට උග්‍ර අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. දරුවෙක්ගේ සාර්ථකත්වය මනින්නේ, යාන වාහනවලින්, උපාධිවලින්, හම්බවෙන පඩියෙන්, කරන රස්සා...

Blog Archive