Monday, March 14, 2022

ආර්ථික අර්බුදය 2

ඡායාරූපය - stuff


වත්මන් ආර්ථික අර්බුදයේ දී ආණ්ඩු පාර්ශවය ගෙනෙන ප්‍රධාන තර්කයක් නම් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් ඉහළ ගොස් ඇති බව ය.

වත්මන් ආණ්ඩුව වෙනස් ස්වරූපයකින් ආණ්ඩු බලය හෙබ වූ 2005 – 2010 කාලයේ දී ගෝලීය වශයෙන් ආර්ථික අර්බුදයක් නිර්මාණය වී තිබිණි. සරල බසින් නම්, ගෝලීය මූල්‍ය අර්බුදය ඇති වූයේ 2007-2008 කාලයේ දී ය.

එම කාලයේ දී වත්මන් ආණ්ඩුවේ සිටි පිරිස් ‘වහසි බස්’ නැතිනම් වාග්ලාංකාර කීවේ ලෝකයේ මූල්‍ය අර්බුදයක් තිබුණ ද ශ්‍රී ලංකාව ඊට ශක්තිමත් ව මුහුණ දී ඇති බව ය.

එහෙත් සත්‍ය කතාව නම්, එය 2000 දශකය වුව ද ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගෝලීය දාමයට සම්බන්ධ වී නොසිටීම ය.

ශ්‍රී ලංකාව මෑතක් වන තුරුත් ගෝලීය ආර්ථික දාමයට එතරම් සම්බන්ධ වී නැත. අදටත් එය එසේ ය.

අපගේ අපනයන පවා තවමත් කේන්ද්‍ර වී ඇත්තේ සීමිත වෙළෙඳපොළ ප්‍රමාණයකට වන අතර අපනයන විවිධාංගීකරණයට ද ලක් වී නැත.

එදා ආණ්ඩු පාර්ශවයේ සිටි බොහෝමයක් අද ආණ්ඩු පාර්ශවයේ සිටින අතර ඔවුන් බොහෝදෙනා ගෙනෙන තර්ක දෙක වනුයේ කොවිඩ්-19 වසංගතයත් වත්මන් රුසියානු-යුක්රේන යුද්ධත් ය. ඒවා ඔවුන්ගේ නිදහසට කරුණු වී තිබේ.
ඉකුත් ආණ්ඩුව ආණ්ඩු කරන සමයේ, ලෝක වෙළෙඳපොළ ගැන කී අවස්ථාවේ දී එසේ මුදල් ඇමැති කෙනකු අවශ්‍ය වන්නේ මොකටදැයි විමසූවේ ඊයේ පෙරේද අමාත්‍ය ධුරයෙන් ඉවත් වූ සුප්‍රකට දේශපාලනඥයෙකි.

මෙලෙස වත්මන් ආණ්ඩුව ගැන නරක කීමෙන් මීට පෙර සිටි කිසිදු ආණ්ඩුවක හොඳයි කියවෙන්නේ නැත.

අද දේශපාලනයේ සිටින බොහෝදෙනා කලින් කලට ආණ්ඩු කළේ ය.

ඒ ආණ්ඩුවේත් මේ ආණ්ඩුවේත් තනතුරු දැරුවේ ය. වත්මන් පාර්ලිමේන්තුවේ සිටින අලුත් මුහුණු හැරෙන්න ට අන් සියලු දෙනා ආණ්ඩු කළේ ය.

ආණ්ඩු නොකළා නම් දෙමළ ජාතික සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ ය.

ඔවුන් ද වක්‍රාකාරයෙන් ආණ්ඩුවලට සහාය දුන්නේ ය. දී ඇත.

අලුත් මුහුණු ද ඔය කොහේන් හෝ ඒවා ට සම්බන්ධ ය.

වත්මන් අර්බුදය විසඳා ගැනීමේ දී කළ යුත්තේ නිදහසට කරුණු කීමත් ලෝකයේ තත්ත්වය ගෙන කීමත් නොවේ.

ලෝක වෙළෙඳපොළ, ලෝක ආර්ථිකය, රුසියානු-යුක්රේන යුද්ධය, ජාත්‍යන්තර වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන්, භූ දේශපාලනය යනාදී සියල්ල ම මෙරට ආර්ථිකයට ද බලපෑම කර යි.

එය කාටවත් අමුතුවෙන් කිව යුතු නැත. එහෙත් වත්මන් ආණ්ඩුව කරන්නේ එය සිය වාසියට හරවා ගනිමින් ජනතාවගේ මොළ සුද්ද කිරීම ය.

එසේ කිරීමෙන් ප්‍රශ්න විසඳෙන්නේ නැත.

මේ මොහොතේ කළ යුතුව ඇත්තේ ජාත්‍යන්තර තත්ත්ව සහ වෙළෙඳපොළ තත්ත්ව හඳුනා ගනිමින් අර්බුද තේරුම් ගැනීමත් ඊට පිළියම් සෙවීමත් ය.

සියල්ලටම කලින් කළ යුත්තේ අර්බුදය තේරුම් ගැනීම ය.

අර්බුදය තේරුම් නොගන්නා තාක්කල් අර්බුදය විසඳිය නොහැකි ය.

අර්බුදය තේරුම් ගත් පසු ඊට කෙටිකාලීන, මධ්‍යකාලීන සහ දීර්ඝකාලීන පිළියම් සකස් කළ යුතු ය.

ඉන් අනතුරුව ඒවා ක්‍රියාත්මක කළ යුතු ය.

ඇතැම් විට මේවා දේශපාලන වශයෙන් ජනප්‍රිය නොවන නමුත් මේ පසුකාලීනව දේශපාලන වශයෙන් වාසිදායක විය හැකි ය.

ඇතැම් තීන්දු තීරණ, ප්‍රතිපත්ති කෙටිකාලීනව දේශපාලන වශයෙන් ජනප්‍රිය නොවේ. එය ඒවායේ ස්වභාවය යි.

එහෙත් මේ ආණ්ඩුවට තිබෙන ජනතා ප්‍රසාදය සහ ඔවුන්ගේ ශක්තිමත් සන්නිවේදන යාන්ත්‍රණය එම අභියෝගය ජයගැනීමට උපකාරී වේ.

වර්තමානයේ වනවිට වත්මන් ආණ්ඩුව කෙරෙහි ජනතා ප්‍රසාදය හීන වී ඇති බවක් පෙනෙන්නට තිබුණ ද එය අනෙක් පස හරවා ගැනීමේ හැකියාව වත්මන් ආණ්ඩුවට තිබේ.

මේ මොහොතේ කළ යුතුව ඇත්තේ ආණ්ඩු මාරුවක් වත්, ගෙදර යැවීමක් වත් නොව වත්මන් අර්බුදයෙන් ගැලවීම ය.

වත්මන් ආණ්ඩුව ගෙදර යැව්ව ද නැවත පත්ව එන්නේ කලක් ආණ්ඩු කළ පිරිසක්ම ය.

නවසීලන්තය රුසියානු-යුක්රේන අර්බුදයට ඉන්ධන මත පනවා ඇති බදු අඩු කිරීමෙන් සහ පොදු ප්‍රවාහනයේ ගාස්තු හරි අඩකින් අඩු කරමිනි.

අප කවුරුවත් කළ යුතු ඒවා කළ යුතු නොවේ. එහෙත් ලෝකයාගෙන් පාඩම් ඉගෙන ගත යුතු ය.

අප සෑම ප්‍රශ්නයකටම දේශීය විසඳුම්, දේශීය යාන්ත්‍රණ කියා කරන්නේ හිතුවක්කාරී වැඩ මිසක් ප්‍රශ්නවලට පිළිතුරු සෙවීම නොවේ.

ඒ නිසා මා කලින් සඳහන් කළාක් මෙන් අර්බුද විසඳීමටත්, අර්බුදය කුමක්දැයි හඳුනාගැනීමටත් පෙර මමත්වය සහ අහංකාරත්වය පසෙක තැබිය යුතු ය.



ඡායාරූපය - stuff - Christchurch shootings: Sign language interpreter a symbol of New Zealand's inclusive response - https://www.stuff.co.nz/national/christchurch-shooting/111501138/christchurch-shootings-sign-language-interpreter-a-symbol-of-new-zealands-inclusive-response

No comments:

Post a Comment

‘මිඩ්ල් ක්ලාස්’ ක්‍රියිසිස් සහ ‘ඩිකෝඩිං’

අපි ජන සමාජයක් විදියට උග්‍ර අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. දරුවෙක්ගේ සාර්ථකත්වය මනින්නේ, යාන වාහනවලින්, උපාධිවලින්, හම්බවෙන පඩියෙන්, කරන රස්සා...

Blog Archive