Monday, March 21, 2022

ආර්ථික අර්බුදය 3


ඡායාරූපය - රොයිටර්ස් 


වත්මන් ආර්ථික අර්බුදයට වගකිව යුත්තේ ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ ආණ්ඩුව සහ එම පාලන තන්ත්‍රය යි.

එහෙත් මේ අර්බුදය නිදහසින් පසු අනුගමනය කළ වැරැදි පිළිවෙත්, ප්‍රතිපත්ති සහ නොමනා හැසිරීමේ උච්ඡතම අවස්ථාවේ ආරම්භය හෝ එහි කොටසක් යැයි කිව හැකි ය.
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වූයේ 2019 වසරේ දී ය. වත්මන් ආණ්ඩුව බලයට පත්වූයේ 2020 වසරේ දී ය.

ඒ වනවිට මේ රට සුඛිත මුදිත සෞභාග්‍යමත්/වත් රටක් ව තිබුණේ නැත.
එහෙන් වත්මන් ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, ආණ්ඩුව, රාජ්‍ය තන්ත්‍රය, පාලන තන්ත්‍රය සහ නිලධාරී තන්ත්‍රය නිදොස් කොට නිදහස් කෙරෙන්නේ නැත.
නිදහසින් පසු ගෙවුණු වසර 70කට වැඩි කාලයේ දී මෙරට දේශපාලනඥයන්ගෙන් දැක්මක් ඇති ප්‍රතිපත්තිමය තීන්දු තීරණා ක්‍රියාත්මක කළා නම් එම පිරිසගේ ගණන හරි අතළොස්සකි.

රටේ සාක්ෂරතාව ඉහළ මට්ටමක පැවැතියත්, දේශපාලන, ආර්ථික, සමාජයීය, සහ මාධ්‍ය සාක්ෂරතාව ඇත්තේ ඉතාමත් පහළ මට්ටමක ය.

බොහෝ අමාරුවෙන් දුවන නිදහස් සෞඛ්‍යයත් නිදහස් අධ්‍යාපනයත් නොවෙන්නට මේ රට, මෙසේ නොතිබෙන්නට ඉඩ තිබිණි.

ඇතැම් විට ශ්‍රී ලංකාව කිය රටක් ද තිබෙන්නට ඉඩ නොතිබිණි.

මේ සියල්ල මධ්‍යයේ 1948 සිට 1972 දක්වාත්, 1972 සිට 1977 දක්වාත්, 1977 සිට 1994 දක්වාත්, 94 සිට 2000, 2001, 2002, යන වසරත්, 2004/2005ත් එතැන් සිට 2010 දක්වාත් ඉන්පසු 2015 දක්වාත් ඊටත් පසු 2019 දක්වාත් මේ රටේ තීරණාත්මක කාලපරිච්ඡේද ලෙස දැක්විය හැකි ය.

ඉහතින් සඳහන් කළ 1948 සිට 1972 දක්වාත්, 1972 සිට 1977 දක්වාත්, 1977 වසරත් මේ රටේ දේශපාලන තන්ත්‍රයේ සුවිශේෂී කාලපරිච්ඡේද සහ වසර ලෙස දැක්විය හැකි ය.

උගත් බුද්ධිමත් වියතුන්ගෙන් පිරි පාර්ලිමේන්තුව, කාලයත් සමඟ කොල්ලකාරයන්ගේ නිදහස් භූමියක් බවට පත්ව තිබේ.

නිදහස් ශ්‍රී ලංකාව උගත් බුද්ධිමත් වියතුන්ගේ පිරී නොතිබුණු බවට තර්ක කළ හැකි ය. මේ අර්බුදය සියල්ලට ම හේතුව ඇතැම් උගත් බුද්ධිමත් වියතුන්ගේ පටු අරමුණු යැයි තවකකුට තර්ක කළ හැකි ය.

කෙසේ නමුත් අවසන් නිගමනය ලෙස දැක්විය යුත්තේ වර්තමානයේ ඇති වී තිබෙන අර්බුදය හුදෙක් වසර දෙකක් තුළ නිර්මාණය වූවක් නොව නිදහසින් පසු ගෙවුණු වසර 70කට වැඩි කාලයේ දී කරන ලද නොමනා සහ අමනෝඥ, අදූරදර්ශී ප්‍රතිපත්ති තීරණවල ප්‍රතිවිපාක බව ය.

ඒ නිසා 69 ලක්ෂයකට දොස් තැබීමෙන් ප්‍රතිඵල අත්වන්නේ හෝ අනෙකා නිදහස් වන්නේ නැත.

මේ සා අර්බුදයකට ම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාටත්, සිරිසේන-වික්‍රමසිංහ ආණ්ඩුවටත් ඡන්දය දුන් ජනතාවට මුහුණ දෙන්නට සිදුවිය.

ජනතාව ඡන්දය භාවිත කරන්නේ පාලකයන්, දේශාපලනඥයන් ගැන විශ්වාසය තබා ය.

ඒ විශ්වාසය පළුදු කළ විට ජනතාවට දොස් තැබීමෙන් පලක් නැත.
ඒ නිසා ආණ්ඩුව හෝ පාලනයේ සිටින දේශපාලනඥයන් අසමත් වන විට අසාර්ථක වන විට ජනතාවට දොස් තැබීමෙන් වැඩක් හෝ ප්‍රතිඵලයක් හෝ අත්වන්නේ නැත.

එක පුද්ගලයකුට හෝ එක් පක්ෂයකට හෝ ඡන්දය දීමට නම් අප ජනාධිපතිවරණ, මහ මැතිවරණ යනාදී මැතිවරණ අවශ්‍ය වන්නේ නැත.
කොටින්ම ප්‍රජාතන්ත්‍රවාදය අවශ්‍ය වන්නේ නැත.

අප බිහි කළ යුත්තේ තමන් ඡන්දය දෙන දේශපාලනඥයන්, පාලකයන් වැරැදි මග යන විට ප්‍රශ්න කරන ජනතාවක් ය. තම දේශපාලන පක්ෂය හෝ දේශපාලන නායකයන් නොමනා වැඩ කරන විට ඒ සම්බන්ධයෙන් විවේචන ඉදිරිපත් කරන, ඔවුන්ගේ හැසිරීම ප්‍රශ්න, විචාර බුද්ධියෙන් හෙබි පුරවැසියන් ය, පාක්ෂිකයන් ය.

වත්මන් ජනාධිපතිවරයාටත්, වත්මන් ආණ්ඩුවටත් ඡන්දය දුන් 69 ලක්ෂයට චෝදනා කරන පිරිස කලින් සිටි දේශපාලන පක්ෂවලට හෝ දේශපාලන නායකයන් ට ඡන්දය භාවිත කර නැත් ද ?

වත්මන් ජනාධිපතිවරයා, වත්මන් ආණ්ඩුව, නොව විපක්ෂයේ සිටින අනෙක් දේශපාලකයන් අපේ රට සුඛිත මුදිත කර තිබේ ද ?

අද විපක්ෂයේ සිටින මීට වසර දෙක තුනකට පෙර ආණ්ඩුවේ සිටි මැති ඇමැතිවරුන් වංචා දූෂණ නොකළේ ද ?

අද ආණ්ඩුවට බැන වදින හිටපු ජනාධිපතිවරයා කොතරම් අමනෝඥ, අදූරදර්ශ ක්‍රියාමාර්ග ගත්තේ ද ?

ජනතාවට තෝරන්නට සිදු වන්නේ ඉදිරිපත් කරන ලැයිස්තුවෙන් ය.
අපට දැන් තෝරන්නට සිටින්නේ මේ රටේ ම මෙතෙක් සිටි පිරිස ය. අපට වෙනත් ලෝකයකින් දේශපාලකයන් පැමිණෙන්නේ නැත.

වත්මන් ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ගෙදර ගියහොත් හෝ යැව්වෝත් විකල්පය කවුරුන් ද ?

දැනට තිබෙන විකල්ප දෙක තුන නම් සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක, රනිල් වික්‍රමසිංහ, මෛත්‍රීපාල සිරිසේන යනවුන් ය.

අනුර කුමාර දිසානායක හැර අනෙක් අය රට කරවූ හැටි ගැන අපි හොඳින් දනිමු. සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායක ඇමැතිකම්වලට පමණක් සීමා වූවෝ ය.

ඉහත කී සිවුදෙනාට අමතරව විකල්පයක් තිබේ නම්, හොඳය. එසේ ඇති බවක් නම් පෙනෙන්නේ නැත.

කෙසේ නමුත් වත්මන් ආර්ථික අර්බුදයට වගකිව යුත්තේ ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, මුදල් ඇමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ය.

රට අද පත්ව ඇති තැනට නූපන් සියලු දෙනාත්, කුඩා අත දරුවන්, පොඩි දරුවන් හැර අන් සියලු දෙනාම වගකිව යුතු ය.

වත්මන් ආර්ථික අර්බුදය එක රැයින් ඇති වූවක් නොවේ.

මීට පෙර සිටි සියලු දෙනා අර්බුදවලට පැලැස්තර ඇලවූහ. වත්මන් ආණ්ඩුව තම උද්ධච්ඡ, අහංකාරත්වය සහ මමත්වය නිසා ප්‍රශ්නය තේරුම් නොගත්තේ ය. අඩු ගණනේ පැලැස්තර ඇලෙව්වේ ද නැත. එහෙයින් වසර ගණනාවක් තිස්සේ උඩ යමින් පහළ යමින් තිබූ අර්බුද ගණනාවක් උග්‍ර අතට හැරිණි.

මේ මොහොතේ විරෝධතා වැදගත් වන්නේ හෙයිනි. ආණ්ඩුවට, ජනාධිපතිවරයාට බල කර ඔවුන් ලවා නිවැරැදි කරවා ගැනීම ය.

ජනතා විරෝධය ද නොසලකා හැර තවදුරටත් සිය උද්ධච්ඡ, අහංකාර, අමනෝඥ සහ අදූරදර්ශ ප්‍රතිපත්ති අනුගමනය කරන්නේ නම්, ඔවුන්ට ඔවුන් අදහන දෙවියන්ගේ ම පිහිට යි.



ඡායාරූපය - රොයිටර්ස්

No comments:

Post a Comment

‘මිඩ්ල් ක්ලාස්’ ක්‍රියිසිස් සහ ‘ඩිකෝඩිං’

අපි ජන සමාජයක් විදියට උග්‍ර අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. දරුවෙක්ගේ සාර්ථකත්වය මනින්නේ, යාන වාහනවලින්, උපාධිවලින්, හම්බවෙන පඩියෙන්, කරන රස්සා...

Blog Archive