Friday, June 3, 2016

අලියා පොදු දෙපලක් ද යන්න සැක සහිත බවත් ඒ නිසා සැකකරු රිමාන්ඞ් භාරයේ තබාගැනීම සිදු කළ නොහැකි බවත් පවසමින් තිළිණ ගමගේ මහතාට ඇප ලබාදීමට නුගේගොඩ අතිරේක මහේස්ත්‍රාත්වරයා කටයුතු කර තිබිණි.

අධිකරණ ක්‍රියාවලිය ඉදිරියට යන්නේ පූර්වාදර්ශ පදනම් කරගනිමිනි. අධිකරණයේ විභාග වන නඩුවකදී නිරන්තරයෙන් පෙර නඩු තීන්දු උපුටා දැක්වීම් සිදු කරනු ලබයි. විජිත හේරත් මහතා බීමතින් සිටි බව ඔප්පු කිරීමට නොහැකි වන්නේ ද ඔහු එම චෝදනවාට නිදහස් වන්නේ මේ ආකාරයේ පූර්වාදර්ශයක් පදනම් කරගෙනය. 

තිළිණ ගමගේ මහතා අලි පැටවකු තබා ගැනීම සම්බන්ධයෙන් තවමත් සැකකරුවකු පමණි. ඒ නිසා ඔහුට නිර්දෝෂීභාවයේ පූර්ණ නිගමනය මත පිහිටා කටයුතු කළ හැකි වුවද අලියකු පොදු දේපලක් ද යන්න සැක සහිත බව ට මහේස්ත්‍රාත්වරයකු විසින් ප්‍රකාශ කිරීම බරපතළ කරුණකි. 

එය සැලකිල්ලට ගැනීමේදී අනාගතයේ දිනෙක ඕනෑම අයෙකුට කොටි පැටවකු ගෙදර තබා ගැනීමට හැකියාව ලැබෙනු ඇත, වැලි ගොඩ දැමීමට හැකියාව ලැබෙනු ඇත. මක්නිසාදයත් ඒවා පොදු දේපළ ලෙස අර්ථ ගැන්වීමේ සැකසහිතය. 

අපේ අධිකරණ පද්ධතිය මෙතරම් ජරාජීර්ණ වී ඇත්තේම සාමාන්‍ය පුරවැසියන් නීතිය නොදැනීමත් එය පරතෙරටම දැන උගත් පුද්ගලයන් එය තමන්ගේ බූදලයක් බවට පත් කරගනිමින් තමන්ට රිසි සේ භාවිත කිරීමත් හේතු කරගෙනය. 

ජාතික නීති සම්මේලනය දිනයේදී නීති වෘත්තියේ යෙදි සිටින අප විසින්ම මේ ජරාජීර්ණ වී ඇති අධිකරණ පද්ධතිය පිරිසුදු කර යාවත්කාලීන කර, නිසි පරිදි ක්‍රියාත්මක වන ස්වාධීන යුක්ති සහගත පද්ධතියක් බවට පත් කර ගත යුතු බව ඔවුන් විසින් කීව ද පසුගිය කාලය පුරාවට අධිකරණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය පෙන්නුම් කරන්නේ යහපාලන තුළ ද වෙනසක් සිදු වී නැති බව නොවේද ?

තිළිණ ගමගේ මහතා අධිකරණ පද්ධතියේ තනතුරක් දැරුව ද නොදැරුව ද විත්ති කූඩුවේදී ඔහු සාමාන්‍ය පුරවැසියෙක් පමණි. ඔහුට එක් විදියක් ද ? උඩුවේ ධම්මාලෝක හිමියන්ට තවත් විදියක් ? ගෝඨාභය රාජපක්ෂ ට එක විදියක් ද ක්‍රියාත්මක වන්නේ යහපාලනයේ කුමන න්‍යයක් පදනම් කරගෙන දැයි වත්මන් ආණ්ඩුවත් අධිකරණ පද්ධතියේ ඉහළ තනතුරුවල සිටින පිරිසුත් රටවැසියන්ට පැහැදිලි කළ යුතුය.

අලියකු ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් විවිධ පුද්ගලයන්ට විවිධාකාරයෙන් නීතිය ක්‍රියාත්මක වන විට වත්මන් ආණ්ඩුව යහපාලන වචනය අව භාවිත කරමින් සිටින බව ද කිව යුතුය. යහපාලන ආණ්ඩු යැයි තමන්ගේ ආණ්ඩුව හඳුන්වා ගන්නා වත්මන් ආණ්ඩුව කිව යුත්තේ එවැනි ආණ්ඩු නැති බවය. යහපාලන, යහපත් රාජ්‍ය පාලනය දේශපාලන සංකල්පයකි. ඒ සංකල්පය යටතේ ගැනෙන ප්‍රධාන මූලධර්ම කිහිපයකි. 

එම මූලධර්ම අනුගමනය කරමින්, ඒවා කඩ නොකරමින් යහපත් ලෙස රාජ්‍යය පාලනය කිරීම යහපාලනය බව කිව යුතුය. වත්මන් ආණ්ඩුව ඒ මූලධර්ම මත පිහිටා කටයුතු කරන්නේ ද ?
හර්ෂණ තුෂාර සිල්වා
2016.06.03 

No comments:

Post a Comment

‘මිඩ්ල් ක්ලාස්’ ක්‍රියිසිස් සහ ‘ඩිකෝඩිං’

අපි ජන සමාජයක් විදියට උග්‍ර අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. දරුවෙක්ගේ සාර්ථකත්වය මනින්නේ, යාන වාහනවලින්, උපාධිවලින්, හම්බවෙන පඩියෙන්, කරන රස්සා...

Blog Archive