Saturday, December 31, 2016

කාලය ගෙවී යන්නේ කාටත් නොදැනීය. උදා වී ඇත්තේ වසරක් ගෙවී නව එළැඹෙන මොහොතකි. වසරක් තිස්සේ අප කළ කී දේවල් දැන් අතීතයට එක්ව ගොසිනි. ගෙවී යන වසරේදී අප හොඳ දේ මෙන්ම නරක දේ ද කරන්නට ඇත. වැරැදීම් වන්නට ඇත. සාර්ථක මෙන්ම අසාර්ථක ද වන්නට ඇත. අසාර්ථක වන්නට ඔබ උත්සහ නොකරන්නට ද ඇත.
ජීවිතය ඔහේ ගෙවා දැමිය යුත්තක් නොව, විඳිය යුත්තකි. ජීවිතය හිමිවීම්වලින් හා අහිමිවීම්වලින් පිරුණු නවාතැන්පළකි. එබැවින් හිමිවීම් මධ්‍යයේ සතුටු වන්නටත් අහිමිවීම් හමුවේ නොසැලී සිටින්නටත් අපි උගත යුතුය. ජීවිතයේ කොතෙකුත් බාධක පැමිණියද ඒවාට සාර්ථකව මුහුණ දෙමින් ඉදිරියට ගමන් කළ යුතුය. බාධක පැමිණිවිට කාලයට දීම විටෙක නුවණක්කාර තීරණයක් වන අතර තවත් විටෙක එය සාර්ථක නොවන්නට පුළුවන. නිහඬ බව සෑම විටම පිළිතුරක් වන්නේ ද නැත. එබැවින් ඒ ඒ ගැටලුවලට ඊට ආවේණික වූ විසඳුම් ඇත. ජීවිතයේ මුණ ගැසෙන ප්‍රශ්නවලට නොසැලී මුහුණ දිය යුතුය.
අප ජීවත් වන්නේ ඉතාමත් කෙටි කාලයකි. ඊළඟ පැයේදී කුමක් වනු ඇතැයි අපි කිසිවකුත් නොදනිමු. අවුරුදු 70ක් 80ක් ජීවත් වුවද එකී කාලයේද තමාටවත් කිසිවක් කර නොගත් මිනිසුන් අපේ ජීවිතවලදී අපට හමුවෙයි. මේ ජීවත්වන කාලයේදී එකිනෙකා හා කා කොටා ගැනීමෙන් කිසිවකුටත් පලක් වන්නේ නැත. රණ්ඩු සරුවල් ඇති කරගැනීමෙන් කිසිදු ප්‍රතිලාභයක් ඇති වන්නේ නැත. ඔබට හමුවන සෑම පුද්ගලයකුටම සිනහවකින් සංග්‍රහ කරන්න. ඔබට හමුවන පුද්ගලයකුටම සිතුවිල්ලකින් හෝ උපකාරයක් කරන්න. 
ඉපිද අධ්‍යාපනය ලබා රැකියාවක් කර විවාහයක් කරගෙන දරු මල්ලන් තනා මියයෑම හුදෙක් සියලු දෙනාම නියැලෙන වෘත්තියකි. ඉන් මිදී සමාජයට රටට යමක් කරන්නට උත්සහයක් ගන්න. අවම වශයෙන් කවියක් ලියන්න. පොතක් ලියන්න. ගමේ සමාජ කටයුත්තකට දායක වන්න. අපි වසරින් වසර වයසට යන්නෙමු. මියයන තෙක් ඉහත කී රැකියාවේ නිරත වන්නන් නොවන්නට අපි උත්සහ කරමු. ජීවන අරගලය හුදෙක් තමා වටා වන පිරිසකට කේන්ද්‍ර නොකරන්න. ඔබේ සිතුවිල්ලක වෙනස සමාජ යහපතට හේතුවන්නට පුළුවන.
ඉඳින් තව මිනිත්තු කිහිපයකින් නව වසර උදාවනු ඇත. මේ වසරට වඩා යහපත් වසරක් ඔබට ප්‍රාර්ථනා කරන්නෙමි. පොතක් පතක් කියවන්න. චිත්‍රපටයක් බලන්න. මිතුරන් සමඟ කාලය ගත කරන්න. ගෙදරට නාකි වීමෙන් අපට අත්වන සෙතක් නැත. සාධාරණය වෙනුවෙන් පෙනී සිටින්න. සත්‍ය දේ තමන් විශ්වාස දේ වෙනුවෙන් පෙනී සිටින්න. තමන් විශ්වාස කරන දේ වෙනුවෙන් නිතරම වෙහෙස වන්න. තමන්ට අවංක වන්න. හෘදයසාක්ෂියට එකඟව කටයුතු කරන්න. 
අපේ ජීවිතවල සියල්ල පාලනය කළ හැක්කේ අපට මිස අන් කිසිවකුටත් නොවන බව අප තේරුම්ගත යුතුය. සෑම විටම වෙනසක් කරන්න. යමක් ඉගෙන ගන්න. මිනිසුන් හා සිනහා වෙන්න. ඔබට කිසිතු නොලැබෙනු ඇත. එහෙත් මරණ මංචකයේදී ඔබට අන් සියලු දෙනාට වඩා සතුටට පත්වනු ඇත.
කනත්තේ මළ සිරුරු අතර වැළලී සිටින ධනවත්ම පුද්ගලයා වීමෙන් මට කිසිදු පලක් නැත. නින්දට යනවිට අද මම අපූරු දෙයක් කළා යන සිතුවිල්ල මට ඒ සියලු ධනයට වඩා වටින්නේය.....

හර්ෂණ තුෂාර සිල්වා
2016.12.31

No comments:

Post a Comment

‘මිඩ්ල් ක්ලාස්’ ක්‍රියිසිස් සහ ‘ඩිකෝඩිං’

අපි ජන සමාජයක් විදියට උග්‍ර අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. දරුවෙක්ගේ සාර්ථකත්වය මනින්නේ, යාන වාහනවලින්, උපාධිවලින්, හම්බවෙන පඩියෙන්, කරන රස්සා...

Blog Archive