Monday, December 12, 2016

ආචාරධර්ම හා පහරදීම

නාවික හමුදාපතිවරයාගේ සිදුවීම් සම්බන්ධයෙන් මේ වනවිට බොහෝ පාර්ශව අදහස් දැක්වීමට පටන් ගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන් බෙදීම් ද හටගෙන ඇත. එපමණක් නොව එම සිදුවීම් දේශපාලනීකරණය වීමක් ද සිදුව ඇත. නැව් නවත්වාගෙන සිටීම ආදී කරුණු පසෙකින් තැබූ විට වැඩිම අවධානයක් යොමුවූයේ මාධ්‍යවේදියකු පහරදුන් දුන් සිදුවීමය.

ප්‍රජාතන්ත්‍රවාදය, මානුෂීයත්වය අගයන රටක කිසිදු ලෙසකින් තවත් පුද්ගලයකුට හිංසා කිරීමේ අයිතියක් තවත් පුරවැසියකුට හිමි වන්නේ නැත. එය ජනාධිපතිවරයාගේ සිට මාධ්‍යවේදියා, ත්‍රිවිධ හමුදාපතිවරයා ඇතුළු රටේ සියලු පුරවැසියන්ට අදාළය. රටක පුරවැසියන්ට නිදහසේ ජීවත්වීමේ අයිතිය හිමිය. ඒ නිදහස අන් පුරුවැසියන්ට ද හිමි බව අප අවබෝධ කරගත යුතුය. 

ජනමාධ්‍යවේදීන්ට රජය හැඳුනුම්පතක් දී ඇත. එහි සරල අදහස නම් සිදුවීම් හෝ යම් කිසිවක් වාර්තා කිරීමට යෑමේදී හඳුනාගැනීම සඳහාය. එම හැඳුනුම්පත හුදෙක් ජඩවැඩ කිරීමට එය පෙන්වා විශේෂ වරප්‍රසාද ගැනීමට නොව, හඳුනාගැනීමේ පහසුව උදෙසාය. අනෙක් අතට තම රාජකාරිය බාධාවකින් තොරව කරගෙන යෑමටය. එය ජනමාධ්‍යවේදීන්ට පමණක් නොව බොහෝ රාජ්‍ය ආයතන කරන දෙයකි. විශ්ව විද්‍යාල සිසුන්ට පවා හැඳුනුම්පතක් නිකුත් කරන්නේ හඳුනාගැනීම සහ ඔවුන්ගේ අධ්‍යාපනික කටයුතුවල පහසුව උදෙසාය. හැඳුනුම්පතක වටිනාකම අවතක්සේරු නොකළ යුතුය. නාවික හමුදාවේ නිලධරයන්ට සාමාජිකයන්ට පවා හැඳුනුම්පතක් ඇත. 

ජනමාධ්‍යවේදීන්ගේ සීමාව කුමක් ද ? ජනමාධ්‍ය ආචාරධර්ම මොනවාද ? යන්න පිළිබඳව තවමත් ලංකාවේ නිශ්චිත පැහැදිලි කිරීමක් අප සතුව. ඒ සඳහා ඉගැන්වීමේ ක්‍රියාවලියක් හෝ බඳවා ගැනීමේ ක්‍රියාවලියක් අප සතුව. කොළඹ, කැලණිය හා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේත්, ජනමාධ්‍ය විද්‍යාලයෙත් ඒ සඳහ ඩිප්ලෝම් හා ඒ ආශ්‍රිත ඉගැන්වීම් ක්‍රම තිබුණ ද ඒ සියල්ල සඳහා නිසි පිළිවෙළක් නොමැත. මෙරට ජනමාධ්‍යයේ වෘත්තීයභාවය පිළිබඳ නොවිසිඳුණු අර්බුද රැසකි. උපාධියකින් ජනමාධ්‍යවේදියකු වීම තීරණය කිරීමේ හැකියාවක් නැත. සිද්ධාන්තවලින් පමණක් ජනමාධ්‍යවේදීන් බිහිවන්නේ නැත. ඒ සඳහා කදිම උදාහරණය මාර්ටින් වික්‍රමසිංහය. 

විවිධ මාධ්‍ය තම මාධ්‍යවේදියා යැයි හැඳින්වීම අනෙක් කරුණය. බොහෝ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් ආයතන කිහිපයකට තම සේවය සපයයි. උදාහරණයකට ලංකාදීපයට ලියන ප්‍රාදේශීය වෙනත් නමකින් හෝ එම නමින්ම මව්බිම, දිවයින හෝ වෙනයම් හෝ පුවත්පතකට පුවත් සපයයි. රූපවාහිනි මාධ්‍යවේදීන් ද එසේය. ස්වර්ණවාහිනියට පුවත් සපයන්නා හිරු පුවත් සේවයට ද පුවත් සපයයි. 

අනෙක් කරුණ පහර කෑමට ලක්වූ මාධ්‍යවේදියා බෝතල් පත්තරකාරයකු හැඳින්වීමය. පුද්ගලයන්ට අපහාස කිරීම අපේ රටේ සුලබ කරුණක් බවට පත්ව ඇත. එවැන්නක් කෙතරම් සුදුසුද යන්න සිතා බැලිය යුතුය. නාවික හමුදාපතිවරයා හෝ එම මාධ්‍යවේදියා එම නම්වලින් හෝ තනතුරුවලින් හැඳින්වීම විනා ඔවුන්ට අපහාස වන අයුරින් කටයුතු කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැක. එපමණක් නොව උපහාසය හා අපහාසය ද අප තෝරා බේරා ගත යුතුය.

ඒ සියල්ල පසුබ්ම කතාය. ඔලිවර් වෙන්ඞ්වෙල් හෝම්ස් (කනිෂ්ඨ) කියූ පරිදි යමකුගේ නිදහස අනෙක නාසය ආරම්භ වන තැනින් අවසන් වන්නේය. එබැවින් තවකකුගේ නිදහස තවකකුට බාධාවක් නොවිය යුතුය. එබැවින් නාවික හමුදාපතිවරයා කොතරම් සුදුසුකම් ලද්දෙක් වුවද ඔහුට මාධ්‍යවේදියකුට හෝ සාමාන්‍ය වැසියකු හෝ වේවා කිසිවකුට පහර දීමේ අයිතියක් හෝ බලයක් හෝ නොමැත. මේ පහර දීමා හෙළා නොදැකීමෙන් මෙම පහරදීමට එරෙහිව නීතිමය පියවරක් නොගැනීමෙන් වනුයේ නාවික හමුදාපතිවරයත් නාවික හමුදාවත් තමන් නිර්දෝෂී බවක් ආරෝපණය කරගැනීමක් අන් යමක් නොවන බව කිව යුතුය. එම නිසා මේ සම්බන්ධයෙන් නීතිමය පියවර ගත යුතුමය. 

අනෙක් කරුණ ආචාර්ය රංග කලන්සූරිය මහතා ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ජෙනරාල්වරයා වශයෙන් නිකුත් කරන ලද නිවේදනයයි. ආචාර්ය රංග කලන්සූරිය යනු ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨයකි. දැනුම ඇත්තෙකි. අද සිටින බොහෝ ජනමාධ්‍යවේදීන්ගේ ගුරුවරයාය. බොහෝ පිරිසකගේ ගෞරවයට පාත්‍ර වූවෙකි. ඔහු එම තනතුරට පත්වූ විට අප ද ඇතුළු බොහෝ පාර්ශව ඔහුගෙන් වැඩක් ගත යුතු බව කීහ. ඇත්තය. එහෙත් මේ සිදුවීමේ දී ඔහු ජනමාධ්‍ය ගුරුවරයකුට වන්නට ගොස් හාත් පොළේ ගා ගෙන ඇති බව කිව යුතුය. එය ඔහු දන්නවා ඇතිවාට සැක නැත. එම නිසා වැරැදි නිවැරැදි කරගත යුතුය. ආචාර්ය රංග කලන්සූරිය තමා සිටින තැන තමාගේ ධුරය ගැන දන්නවා ඇති බව අප කිව යුතු නැත. ඔහු ඔහුගේ වගකීම් නොදන්නවා නොවිය හැක. එබැවින් ඔහු ජනමාධ්‍ය ආචාරධර්ම ගැන කීමට පෙර පහර කෑ මාධ්‍යවේදියා වෙනුවෙන් පෙනි සිටිමින් ඒ වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා පියවර ගත යුතුය.

ජනමාධ්‍යවේදීන් පහර කන රටක ජනමාධ්‍ය ආචාරධර්ම ගැන කීමෙන් පලක් නැත. අනෙක් අතට මේ පහර දීම වන්නේ යහපාලන මූලධර්ම ආරක්ෂා කරන බව පවසමින් ජනමාධ්‍යවේදීන් ආරක්ෂා කරන බව පවසමින්  ජනමාධ්‍ය නිදහස ආරක්ෂා කරන බව පවසමින් බලයට පත්වූ ජනාධිපතිවරයකු හා ආණ්ඩුවකට පාලනය පවතින අවස්ථාවකය. 
මේ සියලු සිදුවීම් මධ්‍යයයේ මාධ්‍යවේදියාට පහර දීම කිසිසේත් අනුමත කළ නොහැක බව නැවත නැවතත් කිව යුතුය. ඊට එරෙහිව පියවර ගත යුතුය. මාධ්‍යවේදියකුට කළ පහර දීම හෙට සමාජයේ අහිංසක පුරුවැසියකට අත්වන්නට ඉඩ ඇත. එය නැවත නැවත කිව යුතුය. නිහඬ බව හොඳම පිළිතුර යැයි කීවද නිහඬ බව සෑම විටම ප්‍රශ්නවලට පිළිතුරක් නොවන්නේය. 

මාර්ටින් නිමෝලර් පියතුමෝ මෙසේ ලියූහ.


“පළමුව ඔවුහු සමාජවාදීන් සොයා ආහ, මම හඬ නොනැගුවෙමි.
මක්නිසාදයත් මා සමාජවාදියකු නොවූ හෙයිනි,

ඉන් අනතුරුව ඔවුහු වෘත්තීය සමිති නියෝජිතයන් සොයා ආහ, මම හඬ නොනැගුවෙමි.
මක්නිසාදයත් මා වෘත්තීය සමිති නියෝජිතයකු නොවූ හෙයිනි,

ඉන් අනතුරුව ඔවුහු යුදෙව්වන් සොයා ආහ, මම හඬ නොනැගුවෙමි.
මක්නිසාදයත් මා යුදෙව්වකු නොවූ හෙයිනි,

ඉන් අනතුරුව ඔවුහු හා සොයා ආහ, එහෙත් ඒ අවස්ථාවේ මා වෙනුවෙන් කිසිවෙක් නොවීය..


හර්ෂණ තුෂාර සිල්වා
12.12.16




No comments:

Post a Comment

‘මිඩ්ල් ක්ලාස්’ ක්‍රියිසිස් සහ ‘ඩිකෝඩිං’

අපි ජන සමාජයක් විදියට උග්‍ර අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. දරුවෙක්ගේ සාර්ථකත්වය මනින්නේ, යාන වාහනවලින්, උපාධිවලින්, හම්බවෙන පඩියෙන්, කරන රස්සා...

Blog Archive