ප්‍රචණ්ඩත්වය කිසි ලෙසකින් ප්‍රශ්න නොවිසඳන බව අප තවමත් අවබෝධ නොකර ගැනීම මේ රටේ යමින් තිබෙන ඛේදනීය තත්ත්වය ඕනෑවටත් වඩා හොඳින් අපට පසක් කර තිබේ. ඉතිහාසය පැත්තකින් තබමු. 1956 සිට අද දක්වාම අප කොතරම් ප්‍රචණ්ඩකාරීව හැසිරුණේද යන්නට අමුතුවෙන් හෝ අලුතෙන් ලිවිය යුතු නැත. කනගාටුව මොනතරම් ලේ වැගිරීම් සිදුවුවත් අපි කිසිදු අවස්ථාවකදී ඒ කිසිවකින් පාඩම් ඉගෙන නොගැනීමය.ආසන්න වශයෙන් අම්පාරත් ඉන් පසුවත් දිගනත් අපට ඒ බව හොඳින්ම කියා පාන්නේය. එපමණක් නොව දිවි නසා ගැනීම සඳහා හමුදා සාමාජිකයකු රැගෙන ආ බෝම්බයද අපට ඒ පාඩම් කියා දෙන්නේය. හමුදා සාමාජිකයා තමන් බෝම්බය රැගෙන ආවේ සිය දිවි නසා ගන්නට යැයි පාපොච්චාරණය කරද්දි ඇතැම් දේශපාලකයන් තම පටු දේශපාලන වාසි ඉටු කරගැනීම සඳහා එය ත්‍රස්තවාදය යැයි ද බෝම්බය යැයි ද නිරන්තරයෙන් පාරම්බාන්නට විය.
අම්පාරේ සිදුවීමේදී මෙන්ම දිගන සිදුවීමේදීත් වර්ගවාදය, ජාතිවාදය, ප්‍රචණ්ඩත්වය වපුරන ලොකු කුඩා සැමට ජාති, ආගම් ආදී කිසිදු භේදයකින් තොරව නීතිය ක්‍රියාත්මක විය යුතුය. පහළම සමාජ තත්ත්වයේ සිට ඉහළම සමාජ තත්ත්වය දක්වා දිවෙන සෑම තරාතිරමකම සිටින සියලු දෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුය.
ප්‍රශ්න විසඳාගැනීම සාකච්ඡා කිරීමට අකැමැති බහුතර ජනතාවක් සිටින රටක අපට සාමය ගොඩනැගීම සාමය ස්ථාපිත කිරීම සඳහා බොහෝ දේ කළ යුතුය. සිංහල දෙමළ මුස්ලිම් යනුවෙන් බෙදා වෙන් කොට මෙය ලියන්නට සිදුවීම තවත් කනගාටුවකි.
අම්පාරේදී සිංහලයන් ද දිගනදී මුස්ලිම් වැසියන් ද අමන හා මුග්ධ ලෙසින් හැසිරුණේය. අවසානයේ දෙපැත්තේම මුග්ධයෝ ගිනි තැබූහ.
අපේ රට මෙතරම් සුන්දර විවිධ ජන කොටස්, විවිධ ආගමික කොටස්, විවිධ සංස්කෘතීන් විවිධ ජන සම්ප්‍රදායන්ගෙන් පෝෂිත නිසාය. ජන කොටස් පමණක් නොව සොබා සම්පත අතින් ද විවිධත්වයට උරුමකම් කියන අපේ රටේ මෙතරම් ලස්සන විවිධත්වය නිසාය. මේ විවිධත්වය තේරුම් ගැනීමට නොහැකි අපේ අවාසනාව මිස අන් යමක් නොවේ.
රටවට කර මුහුද, කඳුකරය, රජරට, උතුර, දකුණ, දිය ඇළි මේ ආදී සියල්ලේ එකතුවට අප කියන නම ලංකාවය. සිංහල, දෙමළ, මුස්ලිම් යන ජනකොටස්, බෞද්ධ, හින්දු, කතෝලික, ඉස්ලාම් යන මේ සියලු ජනකොටස්වලින් සමන්විත අපි ශ්‍රී ලාංකිකයෝ වෙමු. මේ විවිධත්වය අපේ ශක්තියක් මිස අපේ දුර්වලතාවක් නොවන බව අප පසක් කරගන්නේ කවදාද එදින අපේ රටේ ජයග්‍රහණයේ පළමු පියවර වනු ඇත.
පනස් හයේ සිට කලකෝලහල, තිස් අවුරුද්දක යුද්ධය ඉන් පසු ඇති වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම් අපේ රටේ විනාශයටත් ආපස්සටත් ගෙන ගියා මිස අඩියක් හෝ ඉදිරියට ගෙන නොගියේය. දෙපැත්තට තුන් පැත්තට හැකි සෑම පැත්තකටම බෙදී එකිනෙකාට පහර දෙමින් ලේ වගුරුවමින් අප සොයන්නේ මොනවාදැයි මොහොතක් හෝ කල්පනා කරන්නට හැකි නම්, එහෙත් එවැන්නක් සිදු වන බවක් අපට පෙනෙන්නට නැත.
දේශපාලකයන් තම තමන්ගේ පටු වුවමනා එපාකම් වෙනුවෙන් ඕනෑම මුග්ධ මිලේච්ඡ ක්‍රියාවක් සිදු කරන බව අපට පසුගිය දශක කිහිපයේදීම දක්නට ලැබුණකි. සෑම පක්ෂයකම සෑම තරාතිරකම සෑම ජාතියක් ආගමක් නියෝජනය සෑම ආකාරයකම දේශපාලකයන්, අතලොස්සක් හැරෙන්නට අන් සියලු දෙනා ගිනි අවුලනවා මිස ගිනි නිවන්නට කිසිම අවස්ථාවකදී කටයුතු නොකළේය.
පාට පක්ෂ, ආගම්වලට, ජාතීවලට බෙදී ඇණ කොටා ගන්නවාට වඩා අපට කරන්නට බොහෝ දේ තිබේ. ශ්‍රී ලාංකිකයෝ ලෙස අපට කරන්නට බොහෝ දේ. රටක් ලෙස අප ලොව කෙසේ වෙතත් කලාපයේ අන් රටවලට සිටින්නේ ගව් ගණනක් පිටුපසිනි. අපට කරන්නට බොහෝ දේ තිබේ. පොලු මුගුරු ගෙන අනෙකාගේ ඔළු පෙළෙන්නට ඔබට කරන්නට තිබෙන දහසක් දේ ගැන සිතන්න. ඒ වෙනුවෙන් විනාඩියක් වැය කරන්න.
සේකරයන් හැත්තෑව දශකය මැදදි ධර්මෙලාට, කාසීම්ලාට, රාජසුන්දරම්ලාට ලෝකය යහපත් තැනක් කරන්නට එන්න කීවේය. කවි ලීවේය. පොත් ලීවේය. ලෝකය කෙසේ වෙතත් අපේ රට යහපත් තැනක් කරන්නට ධර්මෙලාට වුවමනා නොවීය. කාසීම්වලට වුවමනා නොවීය. රාජසුන්දරම්ලාට වුවමනා නොවීය. ඒ නිසා තවමත් අපි පව් ගෙවන්නෙමු. අපි අදත් කාසීම්ලාට, ධර්මෙලාට , රාජසුන්දරම්ලාට එන්න යැයි අඬ ගසමු. ඔවුන් කවදා අපේ ආරාධනාව පිළිගනිවිද ? එන්න . අපි දෑත් දිගුකර බලා හිඳින්නෙමු.
ඡායාරූපය අමිල ගමගේ
හර්ෂණ තුෂාර සිල්වා
2018.03.05
No comments:
Post a Comment