වත්මන් ආණ්ඩුව පෙරළා දැමීමේ අරමුණින් පොදුජන පෙරමුණ මෙම විරෝධතා පාගමන සංවිධානය කර ඇත. විශේෂයෙන්ම පොදුජන පෙරමුණේ තරුණ දේශපාලනඥයන් මෙම විරෝධතා පාගමන සංවිධානයේදී ප්‍රමුඛත්වය ගෙන කටයුතු කර ඇති බව පැවසෙන අතර ඔවුන් මෙවැනි විශාල පරිමාණයේ විරෝධතා පාගමනක් සංවිධානය කරන පළමු අවස්ථාව බව ද පැවසේ. පා ගමන සඳහා ජනතාව එක්රැස් කිරීම, දැනුවත් කිරීම සහ ගෙන්වා ගැනීම වෙනුවෙන් මොවුන් සමාජ මාධ්‍ය භාවිත කර ඇත.
මේ ආකාරයෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ජනතාව ගෙන්වා ගැනීමේ, ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගිය සතියේදී කොළඹ ගාලු මුවදොර පිටිය කේන්ද්‍ර කරගනිමින් පැවැත්විණි. ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය එය සංවිධානය කර තිබිණි.
අතුරුදන්වූවන්ගේ ජාත්‍යන්තර දිනය නිමිත කරගෙන ඔවුන් එම සමාජ ව්‍යාපාරය දියත් කර තිබිණි.
එක් පැත්තකින් බලන විට මේ ව්‍යාපාර දෙකම ආණ්ඩුවට පීඩනයක්, ආණ්ඩුවට බලපෑමක් එල්ල කිරීම සඳහා දියත් කෙරුණු සහ දියත් කෙරෙන ව්‍යාපාර දෙකකි.
කෙසේ නමුත් සතියක කාලයක තුළ වෙනස්ම පාර්ශව දෙකක් මෙම ව්‍යාපාර දෙක සංවිධානය කර තිබේ.
ජාත්‍යන්තරය ගත් විට අන්තර්ජාල දේශපාලනය, එසේත් නැතිනම් සයිබර් පොලිටික්ස් කෙරෙහි ඇති ප්‍රවණතාව ඉහළ යමින් තිබේ. දේශපාලන, ආර්ථික සහ සමාජයීය ක්‍රියාකාරකම් සඳහා සමාජ මාධ්‍යය සහ අන්තර්ජාල උපකරණ හා අන්තර්ජාල වේදිකා (ප්ලැට්ෆෝම්ස්) භාවිත කිරීම එන්න එන්නම වැඩි වෙමින් තිබේ.
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගත්විට දේශපාලනිකව සමාජ මාධ්‍යයේ ක්‍රියාකාරීත්වය දිගින් දිගටම වැඩි වෙමින් තිබේ. මීට වසර තුනකට පෙර 2015 වසරේ ජනවාරි මස පැවැති ජනාධිපතිවරණය එහි එක් උච්චතම අවස්ථාවක් ලෙස පෙන්වා දිය හැකිය.
පසුගිය වසර තුනක කාලයේදී සමාජ මාධ්‍යවල ක්‍රියාකාරීත්වය ඉතා දරුණු ප්‍රචණ්ඩ ක්‍රියාවලට මෙන්ම සමාජ ප්‍රගමනය සඳහා බෙහෙවින් උපකාරී විය. දෙපැත්ත කැපෙන කඩුවක් ලෙස හැඳින්විය හැකි සමාජ මාධ්‍ය ජාලවල ක්‍රියාකාරීත්වය විශේෂයෙන්ම දේශපාලනික ක්‍රියාකාරීත්වය සමීපව අධ්‍යයනය කිරීම ඉතා වැදගත්ය.
ඉහතින් සඳහන් කළ ව්‍යාපාර දෙක, විරෝධතා ව්‍යාපාර දෙකේ සමාජ ක්‍රියාකාරීත්වය සැලකිල්ලට ගැනීමේ අපූර්ව කරුණක් අනාවරණය කරගැනීමට හැකිව තිබේ.
සමාජයට බලපෑම් කිරීමේදී සමාජ මාධ්‍යය අද වනවිට ඉතා ප්‍රබල උපකරණයක් බවට පත්ව තිබේ.
ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ ‘තවමත් පිළිතුරු නැත’ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ‘ජන බලය කොළඹට’ සමාජ මාධ්‍යය හැසිරීම විශේෂයෙන්ම ට්විටර් සමාජ මාධ්‍යයේ හැසිරීම සිතියම් ගත කිරීමට සංජන හත්තොට්ටුව කටයුතු කර තිබිණි.
එකම රටක දින දහයකට අඩු කාල පරාසයක් තුළ සිදුවන සමාජ ක්‍රියාකාරකම් දෙකක්, විරෝධතා ව්‍යාපාර දෙකක් කිසිදු සහ සම්බන්ධයක් නොමැතිව සිදුවන ආකාරය එම සිතියම් දෙස බැලීමේදී හොඳින් පෙනී යයි.
මෙම සිතියම් ගත කිරීම් නිරීක්ෂණය කිරීමේදී එම විරෝධතා දෙක ග්‍රහලෝක දෙකක සිදුවන විරෝධතා දෙකක් ලෙස පෙන්වා දිය හැකි බව පැවසීමේ වරදක් නැත. අනෙක් අතට ආණ්ඩු බලය නොමැතිව වුවද රටේ ප්‍රධාන විපක්ෂ කණ්ඩායමක් වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ කණ්ඩායම සතු සන්නිවේදන හැකියාව ඉතා ප්‍රබලය.
එහි අනෙක් පැත්ත වසර තුනක් ගත වී ඇතත්, ආණ්ඩු බලය තිබුණත් වත්මන් සම්මුතිවාදී ආණ්ඩුවේ සන්නිවේදන යාන්ත්‍රණය දුර්වල මට්ටමක පවතින බවය.
ට්විටර් සමාජ මාධ්‍ය ජාලය ගත්විය එහි එහි ප්‍රබලම දේශපාලකයා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂය. අනුගාමිකයන් හෙවත් ෆ්ලෝවර්ස් සංඛ්‍යාව අනුව හිටපු ජනාධිපතිවරයා මුල්තැන පසුවෙද්දි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුවන්නේ දෙවැනි තැනය. තෙවැනි තැන ජනබලය විරෝධතා පා ගමනේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂය.
පසුගිය මාසය පමණක් සැලකිල්ලට ගැනීමේදී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨභය රාජපක්ෂගේ ට්විටර් ගිණුම යම් ආකර්ෂණයක් දිනාගෙන ඇති බව පෙනී යයි.
මේ කරුණු සියල්ලත් සංජන හත්තොට්ටුවගේ සිතියම් සැලකිල්ලට ගැනීමේදී සමාජ මාධ්‍ය තුළ යම් ධ්‍රැවීකරණයක් සිදුව ඇති බව පෙනී යයි.
විශේෂයෙන්ම ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ ආණ්ඩුවේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීත්වය සහ හිටපු ජනාධිපතිවරයා සහ විපක්ෂ කණ්ඩායම්වල සමාජ මාධ්‍ය ක්‍රියාකාරීත්වය එකට ගෑවී නොගෑවී ක්‍රියාත්මක වන බවට නිගමනයකට එළැඹිය හැකිය.
අනෙක් අතට දේශපාලනික සිවිල් සංවිධානවල සමාජ මාධ්‍යය ක්‍රියාකාරීත්වය ද එසේය. මෙහි පළ කර තිබෙන සිතියම්වලින් එය හොඳින් පෙනී යයි.



No comments:
Post a Comment