එට්කා යන්න අද බොහෝ දෙනා අතර ඇති කර ඇත්තේ අනියත බියකි. එට්කි ගිවිසුමෙන් ශ්‍රී ලංකාවට වාසි හෝ අවාසි වන්නට පුළුවනි. එහෙත් කිසිදු අධ්‍යයනයකින් තොරව හිතු මනාපයට හෝ විවිධ දේශපාලකයන්ගේ වුවමනාවට හෝ රැල්ලට හෝ යමක් විවේචනය කිරීම නොකළ යුත්තකි. අපේ රට සංවාද හා විසංවාදවලට තවමත් වැඩි කැමැත්තක් දක්වන්නේ නැත. බොහෝ රටවල විවිධ මාතෘකා සම්බන්ධයෙන් විවෘත සංවාද, සාකච්ඡා ආදී වැඩසටහන් සංවිධානය කරයි. යම් කිසි ආකාරයකට රටේ ඒ තත්ත්වය ඇති වුවද, අපි තවමත් සිටින්නේ ප්‍රාථමික අවදියටත් පහළ අඩියකය.
කවුරුන් විරුද්ධ වුවද ගිවිසුමට අත්සන් තබන බව අගමැතිවරයා පවසා ඇත. ගිවිසුමට අත්සන් තැබුවහොත් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තර්ජනය කරයි. ජනතා විමුක්ති පෙරමුණ තවත් තැනකය. කිසිවකු රටේ ජනතාවට සත්‍ය කරුණු පවසන්නේ නැත. ආණ්ඩුව මෙහි සැබෑ තත්ත්වය හෙළි කිරීමේ හැකියාව තිබුණද, ඔවුන් ද ඒ සම්බන්ධයෙන් පියවරක් ගන්නා බව පෙනෙන්ට නැත. අපේ නැත්තේම විචාර බුද්ධියයි. ඒ හේතුවෙන් මේ රටේ දේශපාලකයන්ගේ, දේශපාලන පක්ෂවල වුවමනා එපාකම් හේතුවෙන් විනාශයට පත්විය. වාර්ගික අර්බුදවලට ගොදුරු විය. සිවිල් යුද්ධයක් ඇතිවිය. කලකෝලහාල ඇති විය. ඒ නිසා දේශපාලකයන් කියන කරුණු නොව විචාර බුද්ධියකින් මේ දෙස බැලිය යුතුය.
අද වනවිට අපේ විවිධ ගිවිසුම්වලට අත්සන් තබා. යම් යම් ගිවිසුම් සම්බන්ධයෙන් ජනතාවට කිසිදු අවබෝධයක් නැත. බහුතරයකට එවැනි දෑ ගැන දන්නේ ද නැත. ලියන මා ද බොහෝ දේ නොදන්නා බව කිව යුතුය. එහෙත් දේශපාලන බලාධිකාරිය ගන්නා තීරණ අපට කවදා කොයි මොහොතක හෝ බලපාන බව තේරුම් ගනිමින්, පවතින ආණ්ඩුව, විපක්ෂය ගන්නා තීරණ ගැන යම්කිසි අවබෝධයක් ලබාගත යුතුය. එය වැඩිහිටි පරම්පරාවෙන් අපට බලාපොරොත්තු විය නොහැක. එබැවින් රටේ තරුණ පරම්පරාව නියෝජනය කරන පිරිස වශයෙන් අවබෝධයකින් කටයුතු කිරීම වැදගත්ය. ඒ සඳහා දේශපාලන විද්‍යාව හෝ ආර්ථික විද්‍යාව හැදෑරු පිරිස් විය යුතු නැත.
එට්කා ගැන මේ දැනගත් කරුණු සටහන් කිරීමේ පළමු පියවර ලෙස මෙම සටහන තබමි. මෙය හුදෙක් අන් අයට යමක් සිතීමටත්, මගේ දැනුම් වර්ධනය කරගැනීමටත් කරන ක්‍රියාවක් මිස, දේශපාලන පක්ෂයකට හෝ දේශපාලකයකුට කඩා යන්නක් නොවන බව ද සඳහන් කරමි. ආණ්ඩුව කරන යමක් නිවැරැදි කියූ ගමන් ඔහු ආණ්ඩුවකට කඩා යන්නකු ලෙසත්, විරුද්ධ වූ ගමන් ඔහු රාජ්‍ය ද්‍රෝහියකු ලෙස හඳුන්වන රටක ජීවත්වන බැවින් ඉහත කරුණ සටහන් කළෙමි. බයියන්, ටොයියන් වශයෙන් අපි ගහ මරා ගත්ත ද, පාලකයෝ ඉහළ මාලයේ රස බොජුන් වළඳමින් තම පැළැන්තිය ආරක්ෂා කරන බව මේ රටේ මිනිසුන් වටහාගත යුතුය. දෙවැන්නෙන් හමුවෙමු.
හර්ෂණ තුෂාර සිල්වා
2016.03.17
No comments:
Post a Comment