Tuesday, March 15, 2016

උද්ඝෝෂණ සෑම විටම ජනතාවට ගෙන දෙන්නේ පීඩාවකි. එහෙත් බොහෝ විට යම් යම් උද්ඝෝෂණ ජනතාවට පීඩාවක් ගෙන දුන්න ද එම උද්ඝෝෂණවල නිරත වෙන බොහෝමයක් උද්ඝෝෂණය නිසා පීඩාවට පත්වෙන පිරිසේ ද අයිතිවාසිකම් ඉල්ලමින් රාජ්‍ය මර්දනයට හසු වන්නේය. බොහෝමයකගේ අවශ්‍යතා වෙනුවෙන් උද්ඝෝෂණවල නිරත වෙන්නේ සීමිත පිරිසකි.

බොහෝමයක් දෙනා කොයි ආණ්ඩුවක් එකය යන අදහසෙන් ඉල්ලීම් දිනා ගන්නේ නැත. ඒ වෙනුවෙන් පෙනි සිටින්නේ ද නැත. එසේ ඉල්ලීම් ඉල්ලන පිරිස්වලට සහාය දෙන්නේ ද නැත. කෙසේ වෙතත් ආණ්ඩුවකට බල කිරීමකින් තොර අයිතිවාසිකම් දිනාගැනීම තරමක් දුෂ්කර කාර්යයකි. කාලයක් පුරාවට නිරන්තරයෙන් තම අයිතිවාසිකම් ඉල්ලා හඬ නැගු පිරිසක් ලෙස ශිෂ්‍ය ප්‍රජාව, විශේෂයෙන් ම විශ්ව විද්‍යාල ප්‍රජාව පෙන්වාදිය හැකිය. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ප්‍රමුඛ එහිදි විශාල කාර්යභාරයක් ඉටු කර ඇත.

නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කරගැනීමේදී ඔවුන් කර ඇති කැපකිරීම ප්‍රශංසනීය බවට විවාදයක් නැත. කාලයත් සමඟ අරගලවල අරමුණු දේශපාලනිකව වෙනස් වූ බවක් දක්නට ලැබුණු අතර යම් යම් ඉල්ලීම් අවස්ථාවාදී ඒවා වූ අතර තවත් සමහරක් විවිධ දේශපාලන පක්ෂවල වුවමනා එපාකම් මත කෙරුණු ඒවා විය. 

මේ සියලු කරුණු අද සිදුවීමට වක්‍රාකාරව අදාළ වන්නේය. අද කොළඹ කේන්ද්‍ර කරගනිමින් උද්ඝෝෂණයක් හා රැලියක් පැවැත්විණි. ඕනෑම අයෙකුට තම අයිතිවාසිකම් ඉල්ලමින් උද්ඝෝෂණ රැලි හෝ අන් යමක් සිදු කළ හැකිය. එහෙත් ප්‍රජාතන්ත්‍රවාදයට අනුව එය අනෙකා හිරිහැරයට පත් කරන්නක් නොවිය යුතුය. එය එසේ වුවද උද්ඝෝෂණ හෝ රැලි නිසා සෑම විටම තවත් පාර්ශවයක් පීඩාවට ලක්වන්නේය.


කෙසේ වෙතත් උද්ඝෝෂණ හෝ රැලි හෝ අන් යමක් පවත්වන හේතූ සාධාරණ හෝ අසාධාරණ විය හැකිය. එහෙත් උද්ඝෝෂණ හෝ රැලි හෝ වෙනත් යමක නිරත වන සියලු දෙනාට සැලකිය යුතු වන්නේ එකම ආකාරයකටය. අද අන්තරේට ජල ප්‍රහාරත් එක්සත් ජාතික පක්ෂයේ රැලියට කිසිදු බාධාවක් නොවීමත් යහපාලනය නොවන්නේය. අන්තරේට ජල ප්‍රහාර කඳුළු ගෑස් ගහන්නේ නම්, එක්සත් ජාතික පක්ෂයේ රැලියට එය ආකාරයෙන්ම ලැබිය යුතුය.

සැමට සම අයිතියක් රටේ කටයුතුවලට සහභාගී වීමේ අයිතියක් ඇතැයි යන්න ඇති අයිතිය යහපාලනයේ ලක්ෂණයකි. එහෙත් අද එම ලක්ෂණය කඩ වූ බව කිව යුතුය. මේ ආණ්ඩුව බලයට පැමිණෙන්නේම යහපාලනය කරපින්නාගෙනය. මහින්ද රාජපක්ෂ රෙජීමයේදී කඳුළු ගෑස් නෙමෙයි සුදු වෑන් යැයි කීම ප්‍රශ්නවලට විසඳුමක් හෝ නිදහසට කරුණක් වන්නේ නැත. ප්‍රශ්නවලින් විසඳීමට මහින්ද රාජපක්ෂ රෙජීමයට දොස් තැබීම චෝදනා එල්ල කිරීම මේ ආණ්ඩුවේ යහපතට හේතු වන්නේ නැත. අද මහින්ද රාජපක්ෂ රෙජීමයේ නොතිබූ නිදහසක් ඇති බව සැබෑය. ඒ නිදහස බොහෝ අය උපරිමයෙන් භාවිත කරමින් ආණ්ඩුව විවේචනය කරන්නේය. ආණ්ඩුවේ කටයුතු ප්‍රශ්න කරන්නේය. එවැනි අවස්ථාවක ‘ඔබ මහින්දගේ කාලයේ කොහේද හිටියේ’ යන්න කිසිම අයුරකින් නිදහසට පිළිතුරක් වන්නේ නැත.

මේ ආණ්ඩුවේ ඉරණම තීරණය වන්නේ දැන් කරන ක්‍රියාකරකම් මතය. මහින්ද රාජපක්ෂ රෙජීමයේ සමයේ සිදු වූ කිසිවක් මේ ආණ්ඩුවේ අනාගතයට අදාළ වන්නේ නැත. මහින්ද රාජපක්ෂ රෙජීමයේ ක්‍රියාකාරීත්වය බලපෑවේ ඉකුත් ජනවාරි 08 වැනිදාට පමණි. එය එතැනින් අවසන්ය. එබැවින් මේ ආණ්ඩුව වැරැදි සාදා ගනිමින් ඉදිරියට යා යුතුය. ජනතාව වරමක් දුන්නේ මහින්ද රාජපක්ෂ ජනපතිවරයාගේ සමයේ දුටු දෑ නැවත බැලීමට නොව අලුත් රටක් උදෙසාය. අලුත් රටේ සියලු දෙනාට එකසේ සැලකිය යුතුය. සියලු දෙනාටම විවේචන කිරීමය, ප්‍රශ්න කිරීමට, උද්ඝෝෂණ කිරීමට අයිතිය ඇත්තේය. ඒ අයිතියට ගරු කරන්නට බැරි නම්, යහපාලන ආණ්ඩුවක් අවශ්‍ය වන්නේ නැත.


හර්ෂණ තුෂාර සිල්වා
2016.03.15

No comments:

Post a Comment

‘මිඩ්ල් ක්ලාස්’ ක්‍රියිසිස් සහ ‘ඩිකෝඩිං’

අපි ජන සමාජයක් විදියට උග්‍ර අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. දරුවෙක්ගේ සාර්ථකත්වය මනින්නේ, යාන වාහනවලින්, උපාධිවලින්, හම්බවෙන පඩියෙන්, කරන රස්සා...

Blog Archive